පෙසප දක්ෂිනාංශික පක්ෂ සමග සන්ධානයකට සූදානම් වෙයි

පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන පුබුදු ජයගොඩ පුවත්පත් සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ, ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු පෙරමුනු (ශ්‍රීලපොපෙ ) ආන්ඩුව මහජනයාවෙත එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා, “සියලු වාමාංශික පක්ෂ, ප්‍රගතිශීලී කොටස්, සුලුධනේශ්වර පක්ෂ හා දක්ෂිනාංශික පක්ෂ සමගද” එක්ව  “මහජන ව්‍යාපාරයක්” ගොඩනැගීමට මූලිකත්වය ගන්නා බවයි. 

පෙසප, එහි ආරම්භයේ සිටම, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට එරෙහිව, පුලුල් “මහජන ව්‍යාපාරයක්” පිලිබඳ සූත්‍රය තොරොම්බල් කල නමුදු, එම “මහජන ව්‍යාපාරය” ට “දක්ෂිනාංශික පක්ෂ” ද එක්කර ගතයුතුයැයි පවසන විට එහි අර්ථය වන්නේ, මෙම ව්‍යාජ-වාම පක්ෂය තවත් දිගු අඩියක් දකුනට තබා ඇති බවයි.

පෙසප මෙම සූත්‍රය ඉදිරිපත් කරන්නේ, කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව, කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අර අඳිද්දී සහ එයට එරෙහිව පැන නැගීමට නියමිත පන්ති අරගල රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා ආඥාදායක පාලනයක් වෙත වේගවත් පියවර ගනිමින් සිටියදීය.

ආන්ඩුවේ මෙම ප්‍රහාර ගලා එන්නේ ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් සහ ඉන් මිරිකී සිටින ධනපති පාලක පන්තියේ ඓතිහාසික නොහැකියාවෙනි. එබැවින්, එම ප්‍රහාර පරාජය කිරීමේ සටන, අවශ්‍යයෙන්ම ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි දේශපාලන සටනක් වෙයි. එවන් සටනකට නායකත්වය දීම සඳහා ඓතිහාසිකව නිර්නය වූ සමාජ පන්තිය වන කම්කරු පන්තිය, දේශපාලනිකව ස්වාධීන කර ගත යුත්තේ එබැවිනි.

එයට එරෙහිව පෙසප යෝජනා කරන “මහජන ව්‍යාපාරය” සියලු පන්තීන්ගේ නියෝජනයෙන් සැදුම්ලත් පන්ති අච්චාරුවකි. කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම වනුයේ මෙවන් “මහජන ව්‍යාපාර” සියල්ල අවසානයේදී ධනපති පන්තියේ අවශ්‍යතාවයන්ට කම්කරු පන්තිය නතුකර දුන් බවයි. 

ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන පෙසප, මාක්ස්වාදයේ අතිමූලික සංකල්පයන් වන, ධනපති ක්‍රමය පෙරලා දැමීමේ විප්ලවවාදී පන්තිය වනුයේ කම්කරු පන්තිය යන්නත්, ධනපති ක්‍රමයට එරෙහි සටනේදී එහි පන්ති ස්වාධීනත්වය අත්‍යවශ්‍යම අංගයක් වෙතැයි යන්නත් ප්‍රතික්ෂේප කරයි. 

පෙසප නෑකම් කියන්නේ මාක්ස්වාදය ප්‍රතික්ෂේප කල පශ්චාත් නූතනවාදීන්ටය. කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කල පශ්චාත් නූතනවාදී ඇක්සෙල් හොනෙත්ට පිලිතුරු දෙමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ සඳහන් කලේය:

“අපි ජීවත්වන්නේ විප්ලවවාදී කාල පරිච්ඡේදයකය. යුද්ධය ඉස්මතු කරන එකී ප්‍රතිවිරෝධයෝම සමාජ විප්ලව සඳහාද භූමිය සකස් කරති. මාක්ස් සංකල්පනය කල පරිදි සමාජවාදී විප්ලවයේ මනෝමූල ආයතනය අතුරුදහන් වී ඇතැයි නිවේදනය කරන ආත්මීයවාදීන්ගේ හා අහේතුවාදීන්ගේ කියාපෑම්වලට පටහැනි ලෙස පසුගිය අඩසියවසතුල ධනවාදයේ ගෝලීය වර්ධනය මගින් කම්කරු පන්තියේ ශ්‍රේනි අතිමහත් ලෙස ප්‍රසාරනයකොට ඇත. මාක්ස්වාදීන් හැරෙන්නේ මේ මූලික බලවේගය වෙතය. මාක්ස්වාදීන් මුහුනදෙන මහා අභියෝගය වන්නේ ඉදිරියේ  එලඹෙන කම්කරු පන්තියේ බහුජන ව්‍යාපාරය දේශපාලන බලය දිනාගැනීම කරා මෙහෙයවිය හැකි වැඩිදියුනු කම්කරුවන්ගේ පෙරටු බල ඇනියක් දේශපාලනිකව සූදානම් කිරීමයි.” [රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද?, වෙලුම 1, පිටුව 203.]

මෙම පෙරටු බල ඇනිය දේශපාලනිකව සූදානම් කිරීමට එරෙහිව,  ධනපති කොටස් හා සන්ධානගත වන්නාවූ “මහජන ව්‍යාපාරයක්” එනම් “මහජන පෙරමුනක්” ගොඩනැගීමට පෙසප යත්න දරයි. 1917 රුසියාවේ දී ජයගත් සමාජවාදී විප්ලවයෙන් පසුව, ප්‍රන්සය හා ස්පාඤ්ඤය අතුලු රටවල් ගනනාවක විප්ලව පාවාදෙනු ලැබූයේ, ජයගොඩ යෝජනා කරනු ලබන “මහජන ව්‍යාපාරය” ට  සමාන කම් ඇති ස්ටැලින්වාදීන්ගේ “මහජන පෙරමුනු” වැඩපිලිවෙල යටතේය.

ස්ටැලින්වාදීන් ඉදිරිපත් කරනු ලැබූ මහජන පෙරමුනු හා පෙසප යෝජනා කරනු ලබන “මහජන ව්‍යාපාරය” අතර එකට එකේ සම්බන්ධයක් නොමැති වූවත්, මෙම ව්‍යාපාරයන් හි පොදු අරමුන වන්නේ, නැගී එන කම්කරු පන්තික අරගල ධනපති ක්‍රමයට අභියෝග කරන විප්ලවවාදී ව්‍යාපාරයක් බවට පරිවර්තනයවීම වලකා ධනපති පන්ති පාලනය ආරක්ෂා කර දීමයි.

ප්‍රන්සයේ සහ ස්පාඤ්ඤයේ ස්ටැලින්වාදීහු “මහජන පෙරමුනු” වැඩපිලිවල යටතේ අධිරාජ්‍යවාදී ධනපති කොටස් සමග එක්ව  ආන්ඩු පිහිටුවීමට පෙරට ගියහ. 1936 දී ලියොන් බ්ලුම් යටතේ ප්‍රන්සයේ පිහිටුවන ලද මහජන  පෙරමුනු ආන්ඩුව විසින් කම්කරු පන්තික විප්ලවය ගබ්සා කෙරුනි.

ධනපති පන්තිය මෙන්ම, එහි ආවතේවකාර පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන,  ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා කම්කරු පන්තියේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල සමාජවාදී වැඩපිලිවලක් මත සංවිධානය වෙතැයි යන උත්සුකයෙන් දැඩිව භීතියට පත්ව සිටිති. 

කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෝජනා කරන්නේ, සියලු ධනපති පක්ෂ, වෘත්තීය සමිති හා ව්‍යාජ- වාම පක්ෂවලින් ස්වාධීනව, ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් මත කම්කරු පන්තිය  සටන් වැදිය යුතු බවයි. මෙම සටන ඉදිරියට ගෙනයාම සඳහා කම්කරුවන් තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, ඒ වටා දුගී ගොවීන් සහ රැකියා විරහිත තරුනයන් ඇතුලු අවශේෂ පීඩිතයන් රැලිකර ගතයුතු බවද සසප අවධාරනය කරයි. 

2012 දී ජනතා විමුක්ති පෙරමුනෙන් වෙන්වූ පෙසප, සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට එරෙහිව, කම්කරු පන්තිය සහ අවශේෂ පීඩිතයන් ධනපති අවශ්‍යතාවයන්ට නතුකරදීමේ ප්‍රතිගාමී ව්‍යායාමයක යෙදී සිටී.  

2015 ජනාධිපතිවරනයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයට පිටුපසින් සිට එහි කලාපීය සගයා වන ඉන්දියානු පාලක පන්තිය ද, ලංකාවේ එහි වඩා විශ්වාස කටයුතු නියෝජිතයන් වන චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ ද යොදා ගනිමින්, කරන ලද තන්ත්‍ර මාරු මෙහෙයුමේ දී  පෙසප එයට සහයෝගය දුන්නේය.

කොවිඩ්-19 වසංගතයට මුවා වෙමින් ජනාධිපති රාජපක්ෂ තම මිලිටරීකරන වැඩපිලිවෙල වේගවත් කරද්දී, පෙසප ඔහුට ලිපියක් යවමින් තම සහයෝගය ප්‍රකාශ කලේ ය. සියලු ධනපති පක්ෂ ආන්ඩුවේ වටමේස සාකච්ඡාවන්ට සහභාගිවී ආන්ඩුවට කරන ලද ප්‍රශංසාවන් සහ දෙනලද සහයෝගය සමග පෙසප ද ඉහත ආකාරයෙන් පෙලගැසුනු අතර, එහි ද වාසිය ඩැහැගත් රාජපක්ෂගේ ශ්‍රීලපොජපෙ තුනෙන් දෙකකට ආසන්න බලයක් පාර්ලිමේන්තුව තුල තහවුරු කර ගත්තේය. රාජපක්ෂ එම පාර්ලිමේන්තු බලය යොදාගෙන, ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කෙරෙන සංශෝධන සහිත නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනිමේ වැඩකටයුතු වේගවත් කොට ඇත. 

මෙම ආඥාදායක සැලසුම් ක්‍රියාවට දැමීම සදහා රාජපක්ෂ ආන්ඩුවට පිටුබලය ලබාදුන් පෙසප, නව ව්‍යවස්ථා සංශෝධනයන් කෙරෙහි ප්‍රෝඩාකාරි විවේචන ඉදිරිපත් කරමින් කම්කරු -පීඩිත මහජනතාවගේ ඇස් වලට වැලි ගැසීමට තැත් කරයි. ජයගොඩ, අගෝස්තු 21 දා දිවයින පුවත්පතට පවසා ඇත්තේ  “නව ව්‍යවස්ථාවක් ගෙන එනවාට කොන්දේසි සහිතව එකඟ නමුත්, ඡන්ද ක්‍රමයේ පවත්නා සමානුපාතික නියෝජනය  හකුලනවාට විරුද්ධ” බව යි. 

වර්ගවාදී සහ ආගම්වාදී ධනපති ව්‍යවස්ථාව අහෝසි කොට, සියලු ජනවර්ගයන්ගේ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් සුරක්ෂිත කෙරෙන නව ව්‍යවස්ථාවක් තහවුරුකර ගැනීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් වලකාලමින්, ආන්ඩුව සමග භජනයකට යාම ජයගොඩගේ මෙම ප්‍රලාපයන්ගේ අරමුනයි.

ඔවුන් මැතිවරනයට ඉදිරිපත්වූයේ “සටන්කාමී නායකත්වයක්- සමාජවාදී නියෝජනයක්” යන තේමාව යටතේ බවද ජයගොඩ කියා සිටියේය. එම තේමාව විස්තර කිරීමේදී, ඔහු පැවසුවේ, “අනාගතය සඳහා සමාජවාදී නියෝජනයක්” ද, වත්මන් අරගලය සදහා “සටන්කාමී නායකත්වයක්” ද අවශ්‍ය  බවයි.   

ජයගොඩට අනුව, ජනතාව මුහුන දෙන ප්‍රශ්න ලෙස ඔහුම හඳුන්වන, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් යනාදිය, සමාජවාදය සඳහා සටන් නොකොට, ධනපති ක්‍රමය තුල “සටන්කාමී නායකත්වයක්” මගින් පරාජය කල හැක. ජයගොඩ මෙම ප්‍රලාපය වපුරන්නේ,“ජනතාව මුහුන දෙන ප්‍රශ්න” සියල්ලම ධනවාදයේ මරලතෝනියෙන් නිපන් බැවින්, ඒ කිසිවක් ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනකින් තොරව ජයගත නොහැකි බව වඩවඩාත් තහවුරු වෙමින් පවතින තත්වයකයි.

කොරෝනා වසංගතය සමස්ත මානව වර්ගයාට කියා දී ඇති පාඩම වන්නේ, මිනිසාගේ සියලු විද්‍යාත්මක සහ තාක්ෂනික ජයග්‍රහන ඒකාග්‍රකර ගත් සහ දැවැන්ත ධන සම්භාරයන් යොදවාගත්, ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයකින් තොරව, මෙවන් වසංගතයක් පවා ජයගත නොහැකි බවයි.  

නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත පදනම්ව ලාභය සඳහා කෙරෙන ධනපති නිශ්පාදනය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය එවන් ගෝලීය ප්‍රයත්නයකට පරම ලෙසම සතුරුය. මෙම ඓතිහාසික බාධකයන් දෙක ඉවත්කොට, ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතාවයන් සන්තර්පනය කෙරෙන පරිදි ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමකින් තොරව, එනම් ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීමෙන් මිසක, කම්කරු-පීඩිත මහජනතාව මුහුනදෙන කවර හෝ ප්‍රශ්නයකට විසඳුම් නොමැත.

සමාජවාදය දුර ඈතක පවතින අවශ්‍යතාවයක් නොව අද දවසේ පවත්නා වෛෂයික සහ ඓතිහාසික අවශ්‍යතාවයකි.  ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වී අද දවසේ සටන් නොකලහොත්, උරුමවනු ඇත්තේ, විරැකියාව, දරිද්‍රතාව, අඥාදායක පාලනයන් හා ව්‍යසනකාරී ලෝකයුද්ධය යි. 

කම්කරු පන්තිය සියලු ධනපති පක්ෂ වලින්ද, වෘත්තීය සමිතීන්ගෙන්ද, පෙසප වැනි ව්‍යාජ-වාම වාම පක්ෂ වලින්ද බිඳී වෙන්වී, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපායෙන් සන්නද්ධව සියලු පීඩිතයන් තමන් වටා ඒකරාශී කර ගනිමින් කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය. මෙම වැඩපිලිවෙල මත සටන්වදින්නාවූ සසපට බැඳී එය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස තහවුරු කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වෙයි.

Loading