ශ්‍රී ලංකාව තුල 1953 මහජන නැගිටීමේ (හර්තාලයේ) පාඩම්

මෙම ලිපිය සැප්තැම්බර් 2වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

මින්  67 වසරකට පෙර 1953 අගෝස්තු 12 වැනි දා, “හර්තාලය ” වැඩ වර්ජන සමඟ සුලු ව්‍යාපාර ඇතුලු සියලු වැඩ නැවත්වීමක්) ලෙස ප්‍රචලිත,  අර්ධ කැරලිකාරි මහජන නැගිටීමක් ශ්‍රී ලංකාව තුල පුපුරා ගියේය. දිවයිනේ පාලක පන්තිය අරටුවටම සොලවා ලූ එය, දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේය.

අව්‍යාජ විප්ලවීය නායකත්වයකින්, එනම් මාක්ස්වාදී -ට්‍රොට්ස්කිවාදී පක්ෂයකින් තොර වූ නැගිටීම දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් පරාජයට පත් කරන ලදී. මෙම කටුක අත්දැකීම තම ඉදිරි විප්ලවවාදී අරගල සඳහා සූදානම් වීමේදී, කම්කරු පන්තියට බලගතු පාඩම් ගෙනඑයි.

ජාත්‍යන්තරව 1953 වසර මහත් සේ කැලඹිලි සහගත විය. ජුනි මසදී සෝවියට් නිලධරය විසින්  ස්ථාපනය කරනු ලැබූ නැගෙනහිර ජර්මනියේ සහ චෙකොස්ලොවැකියාවේ ස්ටැලින්වාදී ආන්ඩු වලට විරුද්ධව  කම්කරු නැගිටීම් පුපුරා ගියේය. ඉක්බිතිව අගෝස්තුවේදී කප්පාදු පියවරයන්ට එරෙහිව මිලියන 4ක ප්‍රන්ස කම්කරුවෝ සති දෙකකට ආසන්න කාලයක් පුරා මහා වැඩවර්ජනයක යෙදී ගත්හ.

ශ්‍රී ලංකාව පාලනය කල එජාප කැබිනට් මන්ඩලය1952 දී

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකින් බැට කැවේය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් 1950 දී ආරම්භ කරන ලද තුන් අවුරුදු ලේවැකි කොරියානු යුද්ධය විසින් ඇති කරන ලද උත්පාතය නිමාවීම හේතුවෙන් රබර් සහ තේ අපනයනය තියුනු ලෙස පහත වැටුනි.

යන්තම් මීට වසරකට පෙර සැලකිය යුතු බහුතරයක් සහිතව බලයට පැමිනි එජාප ආන්ඩුව 1953 ජූලියේ දී දරුනු පියවර ගත්තේය.  එය රටේ ප්‍රධාන ආහාරය වූ සහල් සඳහා වූ සහනාධාරය ඉවත් කරමින්, මිල තුන්ගුනයකින් ඉහල දැමීය. මීට අමතරව එය සීනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල මිල ඉහල දැමීමටද,  පාසැල් දරුවන්ගේ දිවා ආහාරය කපා දැමීමට ද සෟඛ්‍ය සහ වෙනත් සමාජ සුබසාධන වැඩසටහන් කපා  දැමීමටද දුම්රිය ප්‍රවාහන, තැපැල්, දුරකථන සහ විදුලි පනිවුඩ සේවා සඳහා ගාස්තු ඉහල දැමීමටද පියවර ගත්තේය.

“රටේ සංවර්ධන වැඩසටහනට මුදල් සම්පාදනය කිරීමට නොහැකි නිසා” රජයට ආහාර සහනාධාරය ඉවත් කිරීමට  සිදු වූ බව මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන පැවසීය. දුප්පත් ජනයා හට ඔහු නරුම ලෙස කියා සිටියේ “ඔබේ ආහාර ඔබම වවා ගන්න” යනුවෙනි. ඒ හා සමගම ධනවතුන් සඳහා  බදු සහන සහ වෙනත් දීමනා   ඔහු ප්‍රකාශයට පත් කලේය.

තම ජීවන කොන්දේසි මත එල්ල වූ දැරිය නොහැකි  ප්‍රහාර මගින් කම්කරුවන් හා ගම්බද දුගීන් අතර  වසර ගනනාවක් තිස්සේ කැකෑරෙමින් තිබූ අතෘප්තියට ගිනි තැබිනි.   දිගු කලක් තිස්සේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට  ගැතිකම් කල රටේ පාලක ප්‍රභූව, වඩාත් හොඳ ජීවන සහ සමාජ  කොන්දේසි සඳහා වැඩකරන ජනතාවගේ අරගල සමනය කිරීම පිනිස 1948 වසරේ දී නාමික නිදහසක් සඳහා තම සහයෝගය පුද කලහ.

මෙම “නිදහසට” ආසන්න ඉක්බිත්තෙහි ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන් ලක්ෂ ගනනකගේ පුරවැසි අයිතිය එජාප ආන්ඩුව විසින් අහෝසිකර කර දැමිනි. එය, කම්කරු පන්තිය  වර්ගවාදී  රේඛා ඔස්සේ  බෙදා වෙන්කර  එමගින් ධනපති පාලනයට මුක්කු ගැසීම පිනිස ගනන්  බලා ගත් නරුම පියවරක් විය.

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට විරුද්ධව මහජන කෝපය කැකෑරෙද්දී කම්කරුවන් සහ ග්‍රාමීය ප්‍රදේශවල සැලකියයුතු සහයෝගයක් ලබා තිබූ ලංකා සම සමාජ පක්ෂය, 1953 ජූලි මස 23 වැනි දා එලඹෙන අගෝස්තු මස 12 දින එක්දින විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලේය.

ලසසප නායක එන්. එම්. පෙරේරා එජාප යේ අයවැයට එරෙහිව කොලඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වූ මහජන විරෝධතා රැලියක් අමතයි.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය දක්ෂිනාංශික ජාතිකවාදී කන්ඩායමක් වූ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂයද ව්‍යාපාරයට  එක් වූහ.

නොසන්සුන්තාවය ගසාකෑමට උත්සාහ ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආන්ඩුවේ මර්දනය හෙලා දුටුවද විරෝධතාවයට සහයෝගය නොදුනි. වැඩෙන අතෘප්තිය තුරන් කිරීම සඳහා, එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බන්ඩාරනායකගේ නායකත්වය යටතේ එජාපයෙන් කැඩුනු කන්ඩායමක් 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කලේය. ද්‍රවිඩ ධනපති ප්‍රභූ වේ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂයද විරෝධතාවයට සහයෝගය ප්‍රකාශ කල නමුත් සහභාගී වූයේ නැත.

අගෝස්තු මස 12 වනදා කම්කරුවන්, ගොවීන් සහ තරුනයන් කටයුතු තමාගේම අතට ගත්හ. පොලිසිය අවහිර කිරීම සඳහා ඔවුහු අගනුවර කොලඹට ඇතුලුවන සෑම පිවිසුමක්ම හරස්කර බැරිකේඩ තැනූ හ. කිරුලපන පාලම  ආසන්නව පාර හරහා තැනුනු එක බැරිකේඩයක ජනයා පොලිස් කොස්තාපලුන් අසූවක් සමඟ සටන් කලහ.

කොලඹ සහ අනෙකුත් ප්‍රදේශ අතර ටෙලිග්‍රාෆ්, ටෙලිෆෝන් සහ  අනෙකුත් සන්නිවේදන මාර්ග විසන්ධි කරමින් රැහැන් කපා දැමුනි. සමහර ස්ථානවල ලී පාලම් ගලවා දැමුනු අතර සමහරක් කුඩා පාලම් ඩයිනමයිට් යොදා පුපුරුවා හරින ලදී. ප්‍රවාහන හා තැපැල් සේවා නතර කෙරිනි. සමහර තැනක රේල් පීලි සැතපුමකට  ආසන්න දුරකට ගලවා දැමුනු අතර සමහර දුම්රිය නතර කර අල්ලා ගන්නා ලදී.

බියෙන් ත්‍රස්ත වූ යූඑන්පී කැබිනට්ටුව කොලඹ වරායේ නැංගුරම්ලා තිබූ එච්එම්එස් නිව්පවුන්ඩ්ලන්ඩ්  යුද නෞකාව තුල රැස්වූහ. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් දුටු තැන වෙඩි තැබීම සඳහා මිලිටරියට අන නිකුත් කෙරිනි. කම්කරු පන්තික පක්ෂ  කාර්යාල සහ මුද්‍රනාල සීල් තැබිනි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කල අතර දේපල  අලාභ හානි කිරීම සඳහා මරන දන්ඩනය හඳුන්වා දුනි.

කොලඹ ද දකුනු හා බස්නාහිර ගම්බද ප්‍රදේශවල ද කම්කරුවන් හා තරුනයින් නව දෙනෙක්   වෙඩි තබා මරා දැමූ පොලිසිය  තවත් විරෝධතාකරුවන් 175 දෙනෙකුට බරපතල තුවාල සිදු කලහ.

කැඳවනු ලැබුවේ එක් විරෝධතා දිනයක් වූවද, එය නතර කිරීම  සඳහා ලසසපය කල කැඳවුමද නොතකා සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම කොලඹ තදාසන්න ප්‍රදේශ සහ දකුනු ප්‍රදේශ වල උද්ඝෝෂන නතර නොවී  ඉදිරියට ගියේය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ලසසපය කිසිදු ක්‍රියාවක් සංවිධානය නොකල අතර ආරක්ෂක කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කලේද නැත. එසේ වුවත් පෙර දශකයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ක්‍රියාශීලී වූ ප්‍රදේශවල විරෝධතාවයන් පැන නැග්ගේය. එවක දී ලසසප ය ලෝක ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ හතරවන ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව වුවද, පාර්ලිමේන්තුවාදය හා සීමිත ආර්ථික ඉල්ලීම්  කෙරෙහි යොමු වුනු වෘත්තීය සමිතිවාදය කරා වැඩි වැඩියෙන් නැඹුරුවෙමින්  සිටිීය.

ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස 1942 දී පිහිටුවන ලදුව ලංකාව ඇතුලුව ඉන්දියානු උප මහද්වීපයේ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙලක් සඳහා සටන්වැද තිබිනි. එසේ වතුදු එක්දාස් නවසිය හතලිස් ගනන් වල මැද භාගයේ ඇන්. ඇම්. පෙරේරා  සහ පිලිප් ගුනවර්ධන නායකත්වය දුන් අවස්ථාවාදී කන්ඩායමක්  බීඒල්පීඅයියෙන් බිඳී ලසසප ධජය   යටතේ ජාතිකවාදී වැඩසටහන කරා නැවත පල්ලම් බැස ගියහ.

භේදයේ  අතිශය වැදගත් වූ දේශපාලන  ප්‍රශ්න  පසකට අතුගා දමමින් 1950 දී බීඑල්පීඅයිය ලසසප ය සමඟ නැවත එකතු විය. එහි ඉන්දියානු ශාඛාව  ජාතිකවාදී ඉන්දියානු සමාජවාදී පක්ෂය සමඟ කලින්ම එකතුවී තිබිනි. මෙම ඒකාබද්ධ වීම්  බීඑල්පීඅයිය දියකර හැරීමට සමාන විය. මෙය කම්කරු පන්තික නැගිටීම්  ලොප් කර දැමීම සදහා බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට නාමික නිදහස පිරිනැමීම ඇතුලු, දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදී බලයයන් හා සෝවියට් රෙජීමය අතර ඇති කරගත් සමථයන් ට, ඒ්කාබද්ධ වීමක් විය.

පසුව එලඹි වසරවලදී හතරවන ජාත්‍යන්තරය තුල මතුවූ මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් ගේ සංශෝධනවාදී ප්‍රවනතාවයට බැඳෙමින් ලසසපය තවදුරටත් ට්‍රොට්ස්කිවාදයෙන් පල්ලම් බැස්සේය. මෙම ප්‍රවනතාවය ස්ටාලින්වාදී සෝවියට් නිලධරය ට ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කරමින් ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ ට්‍රොට්ස්කිවාදී වැඩසටහන අත්හැර දැමීය. අර්ධ යටත් විජිත රටවල් වලදී හතරවෙනි ජාත්‍යන්තර ශාඛා ජාතිකවාදී ධනපති දේශපාලන ව්‍යාපාර සමඟ ඒකාබද්ධ කිරීම ඔවුන් යෝජනා කලහ.

1953 නොවැම්බර් මාස ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස්. පී. කැනන් මෙම දියකරහැරීම්වාදය ප්‍රතික්ෂේප කිරීම සඳහා කැඳවුම්  කරමින්  නිකුත් කල විවෘත ලිපියට විරුද්ධ  වන අතරම, පැබ්ලෝ වාදයට එරෙහිව සටන් කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට සම්බන්ධ වීමද ලසසපය ප්‍රතික්ෂේප කලේය. පැබ්ලෝව විවේචනය කල ද පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය තුල ඔවුහු රැඳී සිටියහ.

ලසසපයේ ජාතිකවාදී පල්ලම් බැසීම 1953 හර්තාලය තුල ඔවුන්ගේ භූමිකාවෙන් ප්‍රකාශිත විය. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් කෘතියේ පැහැදිලි කරන පරිදි: 

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා

1953 හර්තාලය, පක්ෂයේ විප්ලවකාරී ස්වභාවය හුවාදැක්වීමේ පසුකාලීන ලසසප මිත්‍යා ප‍්‍රබන්ධනය සඳහා යොදාගනු ලැබීය. යථාර්තය නම්, ලසසපය මහජන ව්‍යාපාරයට කිසිදු නායකත්වයක් සම්පාදනය නොකල බවය. ...සවිස්තරාත්මක ලිපියක් තුලින්, කොල්වින් ආර්. ද සිල්වා, හර්තාලය “කම්කරු ගොවි සන්ධානය පිලිබඳ ලාංඡනය” තැබූ පන්ති අරගලයේ නව අදියරක් වන බව ප‍්‍රකාශ කලේය. එහෙත් දැන් ඇත්තේ “එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වී අලුතින් මහ මැතිවරනයක් පවත්වන ලෙස බලකිරීම” සඳහා සටන යයි, අවසානයේ ඔහු නිගමනය කලේය. හර්තාලය පුරාවට ම ලසසප එය දැකගනු ලැබුවේ, තම පාර්ලිමේන්තු උපාමාරුවල ආධාරකයට නොවැඩි දෙයක් ලෙසය. (පිට 71)

ලසසපය පාර්ලිමේන්තු කටයුතු යෝජනා කරද්දී අරගලයේ තීව්‍රතාවය පාලක ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් කම්පනයට පත් කලේය. යූඇන්පියට  විකල්ප ධනපති පක්ෂයක් ලෙස බන්ඩාරනායකගේ ශ්‍රීලනිපයට ඔවුන් තම සහයෝගය දුන්හ. හර්තාලය තුලදී ප්‍රකාශයට පත්වුන පන්ති එකමුතුව බිඳීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය අවුස්සමින්, බන්ඩාරනායකගේ “සිංහල පමනක්” ප්‍රතිපත්තිය මගින්, සිංහල රාජ්‍ය භාෂාව ලෙස යෝජනා කෙරුනි.

මහජන අරගලය ලසසප විසින් පාවා දීම ශ්‍රීලනිපයේ 1956 පාර්ලිමේන්තු මැතිවරන ජග්‍රහනයට පාර කැපීය. හර්තාලයෙන් විප්ලවීය පාඩමක් ඉගෙන ගැනීම හෝ සිද්ධිදාමය කෙරේ ස්වයං විවේචනාත්මකව විශ්ලේෂනය කිරීම හෝ පසෙක තැබූ ලසසපය  ශීඝ්‍රයෙන් දේශපාලනිකව පසුබැස්සේය.

ලසසපය 1956 මැතිවරනයේ දී  ශ්‍රීලනිපය සමග නිතරඟ ගිවිසුමකට එලඹුනු අතර, 1956 සහ 1957 රාජාසන  කතා සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දය පාවිච්චි  කලේ “අනුකූලාත්මක  සහයෝගීතාව” නම් ස්ථාවරය වැලඳගනිමිනි.  විලසසප හි පිලිප් ගුනවර්ධන ශ්‍රීලනිප ආන්ඩුවට කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඇතුලුවිය.

ජාත්‍යන්තරව පැබ්ලෝවාදියෝ  ලසසපයේ පසුබැසීම ආවරනය කලේ 1964 මහා පාවා දීම සඳහා කොන්දේසි සකසමිනි. එම අවස්ථාවේදී යලිත් පැන නැඟුනු කම්කරු පන්තික නැගී සිටීමක් හමුවේ  ලසසපය සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිපය නායකත්වය දුන් සභාග ආන්ඩුවට ඇතුලුවිය. එම ක්‍රියාව මගින් ලසසපය අවසානයේදී ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මුලුමනින්ම හැර දමා කම්කරු පන්තියේ අරගල මැඩීමට උපකාරී වීම සඳහා ධනපති ආන්ඩුවක ඇමති තනතුරු ලබා ගත්තේය. 

 

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක

එතෙක් පටන් දශක ගනනාවක්  පුරා විහිදි දෙමල විරෝධී වර්ගවාදය සහ  සිවිල් යුද්ධය  ඇතුලු කම්කරුවන් සහ ගම්බද දුගීන් අත් විඳි භයානක භයංකර කොන්දේසි, මෙම ඓතිහාසික පාවාදීමේ ප්‍රථිපල වේ.

අද දින දිගහැරෙන ලෝක ධනවාදී අර්බුදයේ හා එය ශ්‍රී ලංකාව තුල ගෙනඇති එහි තියුනු ප්‍රකාශනයේ සන්දර්භය තුල, කම්කරු පන්තිය 1953 හර්තාලයේ පාඩම් උකහා ගත යුතු වේ. කෝවිඩ් 19 වසංගතය  ලෝ පුරා පන්ති අරගලයට නව ජවයක් සපයා ඇති අතර එම අරගලය සඳහා අතීතයේ පාඩම් උකහා ගැනීම තීරනාත්මක වනු ඇත.

එනම්, පලමුවෙන් සහ ප්‍රධාන වශයෙන්ම කම්කරුවන්ගේ ධෛර්යය, නිර්භීතභාවය හා සටන්කාමීත්වය  කොතෙක් වුවද, කම්කරු පන්තියට බලය ගැනීම සඳහා එය පමනක් ප්‍රමානවත් නොවන බව හර්තාලය ප්‍රදර්ශනය කල බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පදනම් වූ, ශ්‍රී ලංකාව තුල ලසසපයේ පරිහානිය සහ පාවාදීමේ අත්දැකීම ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ සියලු ඓතිහාසික අත්දැකීම් පරිපූර්නව උකහා ගත් විප්ලවවාදී පක්ෂයක් අවශ්‍යය. 

එලඹෙන විප්ලවවාදී අරගල සඳහා අත්‍යවශ්‍ය පදනම ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායෙන්  සම්පාදනය වේ. කල් පසු වූ ධනවාදී සංවර්ධනයක් ඇති රටවල  ප්‍රජාතන්ත්‍රීය  කර්තව්‍යයන් සහ සමාජ ප්‍රශ්න විසඳිය හැක්කේ, සමාජවාදී විප්ලවය සාක්ෂාත් කර ගැනීම සඳහා ගම්බද දුගී ජනයා හා පීඩිතයන් ගේ නායකත්වය ගන්නා කම්කරු පන්තියට පමනක් බව එයින් තහවුරු කෙරි ඇත. එහි අර්ථය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැංවීමයි.

Loading