පාතාල නායකයාගේ ඝාතනය ආන්ඩුවේ ආඥාදායක ගමනේ මිනීමරු ස්වභාවය හෙලිදරව් කරයි

පොලිස් අත්අඩංගුවේ පසුවුනු පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ් පෙරේදා (20) අලුයම මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්නය අසල සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව පොලිසිය නිවේදනය කලේය. එම නිවාස සංකීර්නයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් පෙන්වීමට පොලිස් කන්ඩායමක් විසින් ඔහුව එහි රැගෙන ගිය අවස්ථාවේ නිවාස සංකීර්නයේ සිට ඔහුව බේරාගෙන යාමට පැමිනි තවත් පාතාල කල්ලි සාමජිකයන් දෙදෙනෙකු සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවකට මැදිවීමෙන් ඔහු මියගිය බව පසුව වාර්තා කෙරුනි.

පොලිසියේ මෙම ප්‍රකාශ මහජනයා අවඥාවෙන් ප්‍රතික්ෂේප කරනු ඇත. පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස චෝදනා ලැබුවන් පොලිස් අත්අඩංගුවේදී හෝ වැටලීම් වලදි සැලසුම් සහගතව ඝාතනය කර එය සිදුවූ ආකාරය පිලිබඳ මෙවැනි ප්‍රබන්ධයන් ගෙතීම අනුප්‍රාප්තික ආන්ඩු යටතේ ලංකාවේ පොලිසිය එක දිගටම අනුගමනය කර ඇති බව පුලුල් මහජනතාව හොඳින් දනී. වත්මන් රාජපක්ෂ ආන්ඩුව යටතේ මෙම ඝාතනයන් තීව්‍ර කෙරී ඇත.  

සඟවා තිබූ ආයුධ පෙන්වීමට යන අතරතුර පැනයාමට උත්සහ කලේ යැයි පවසමින් අගෝස්තු 29 වනදා “ඉන්ද්‍රා” නැමැති පාතාල සාමාජිකයෙකු පොලිසිය විසින් ඝාතනය කෙරුනු අතර එම මස 11 වනදා මුල්ලේරියාව ප්‍රදේශයේ කල වැටලීමකදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කලේ යැයි පවසමින් “සොල්ටා” නමැත්තෙකුට වෙඩි තබන ලදී. 

කෙසේ නමුත්, වඩාත් විවෘත හා ම්ලේච්ඡ අන්දමෙන් සිදු කෙරුනු මධූෂ් ඝාතනයෙන් පසුව සමාජ මාධ්‍ය තුල, කම්කරුවන් සහ තරුනයන් අතර ඉතා පුලුල් ලෙස, මෙය පොලිසියේ සැලසුම් සහගත ඝාතනයක්ය යන්න අවිවාදිතව සාකච්ඡාවට ගැනුනි. එවැනි සාකච්ඡාවකට තුඩු දෙන පරිදි මෙම සිදුවීමේදී පොලිසිය තම ප්‍රබන්ධය තුල සාමාන්‍ය තර්ක බුද්ධියට පවා ගෝචර වන පරස්පර විරෝධතා ඇති තරම් ඉතිරි කර තිබුනි. 

පොලිසිය පවසන පරිදි එදින මත්ද්‍රව්‍ය වැටලීම එහි අපරාධ පරීක්ෂන ඒකකයේ විශේෂ පුහුනුවක් සහිත දස දෙනෙකුගේ පමන යොදවා සිදුකරන ලද සූක්ෂම මෙහෙයුමක් වූයේ නම් අනෙකුත් පාතාල කල්ලි සාමාජිකයන් ඒ පිලිබඳව දැනුවත්ව සිටියේ කෙසේද? ස්වයංක්‍රීය ගිනිඅවි වලින් සන්නද්ධ පොලිස් නිලධාරීන් කන්ඩායමකට වෙඩි තබා අපරාධකරුවන් දෙදෙනෙකු එතරම් පහසුවෙන් පලායන්නේ කෙසේද? යනාදී පැහැදිලි පරස්පර ඒ අතර කැපී පෙනෙයි. පොලිසිය මෙය තමන් විසින් කරන ලද මිනීමැරුමක් බව සැඟවීම කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී මෙවැනි කඩතුරාවක් හෝ රහිතවම ඝාතනයන් හි යෙදීමට පොලිසිය සූදානමින් සිටින බවයි.  

මිය ගිය මධුෂ්ගේ නීතිඥවරයා වන චමින්ද අතුකෝරල නීතීඥ සංගමයේ සභාපති සහ පොලිස්පති වෙත යැවූ ලිපියක සෘජුවම සඳහන් කර ඇත්තේ ඔහුගේ මියයාම පිලිබඳ පොලිසිය පවසන දෙය “සම්පූර්න ප්‍රබන්ධයක්” බවයි. “කිසිඳු ශිෂ්ඨ සමාජයක මෙවන් ක්‍රියාවන්ට සමාවක් දිය යුතු යැයි පිලිගැනෙන්නේ නැහැ” යි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනේය. 

එමෙන්ම ඔක්තෝබර් 16 වනදා තම සේවාදායකයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ සිට කොලඹ අපරාධ අංශයට මාරුකිරීම නීති විරෝධී බවත්, එය මධුෂ් ඝාතනය කිරීම සඳහාම සැලසුම් කෙරුනු පියවරක් බවත් ඔහු සඳහන් කලේය. රාජපක්ෂ ආන්ඩුවේ පූර්න අනුග්‍රහය නොමැතිව මෙවන් සංවිධානාත්මක ඝාතනයක් සිදුවිය නොහැකි බව ඉතා පැහැදිලිය. මේවන විට ඝාතනයට එරෙහිව සංවිධාන කිහිපයක්ම ජිනීවා මනව හිමිකම් කවුන්සිලයට පැමිනිලි කර ඇත.    

යම් වරදකට චුදිතයෙකු බවට පත්වී සිටින ඕනෑම අයෙකුට නිසි අධිකරන ක්‍රියාවලියකට මුහුන දීමේ මූලික මානව අයිතිවාසිකමක් පවතියි. එහෙත් අධිකරන ක්‍රියාවලියට පයින් ගසා චුදියතයන් ඝාතනය කිරීම සඳහා සෘජුවම පොලිසිය හෝ මිලිටරිය යොදාගැනීම දැන් රාජපක්ෂ ආන්ඩුවේ මිනීමරු පිලිවෙත බවට පත්වී තිබේ. දැනට ආන්ඩුව එම පිලිවෙත ක්‍රියාත්මක කරමින් සිටින්නේ පාතාල සාමජිකයන් ඇතුලු අපරාධකරුවන්ට එරෙහිව වුවත්, එහි මූලික එල්ලය වනුයේ ආන්ඩුවේ ආඥාදායක වැඩපිලිවෙලට සහ කප්පාදුවට එරෙහිවන දේශපාලන ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන් සහ ප්‍රධාන කොටම කම්කරු පන්තිය යි.

කිසිඳු මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියක් නොතකමින් ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනගා ගැනීම කරා හැරී සිටින ගෝඨාභය රාජපක්ෂට, අධිකරනය සහ යම් හෝ ස්වාධීනත්වයක් සහිත සියලු සංස්ථාපිතයන් පරිපූර්නවම තම යටතට ගැනීමේ එල්ලයක් පවතියි. මෑත දිනයක “තමන්ගේ වාචික නියෝග චක්‍රලේඛ ලෙස සලකා ක්‍රියාකල යුතු” යැයි රාජපක්ෂ කල ගෝරනාඩුව පසුපස පැවති උවමනාව එය වූ අතර දැන් ඔහු අධිකරන ක්‍රියාවලියට උඩින් පැන චුදිතයන්ට “මරන දඩුවම” දීමේ වරපත්‍රයන් ලබාදෙන්නට පටන්ගෙන ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලිය.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම ක්‍රියාකලාපයන් පිලිපීනයේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේගේ මිනීමරු වැඩපිලිවෙල සමඟ සමාන්තරයන් අඳියි. දකුනු පිලිපීනයේ ඝාතන කල්ලියක දිගුකාලීන නායකයා ලෙස සිටි ඔහු 2016 වසරේදී තම දක්ෂිනාංශික මැතිවරන උද්ඝෝෂනයට සහය පලකල ධනපති සහ මධ්‍යම පන්තියේ බහුතරයකගේ උදව්වෙන් පිලිපීනයේ ජනාධිපති බවට පත්විය. ඔහුගේ මැතිවරන උද්ඝෝෂනයේ කේන්ද්‍රයේ පැවතියේ, අපරාධකරුවන් ලෙස සලකන්නවුන් පොලීසිය සහ මිලිටරිය යොදා ඝාතනය කරන බවට දුන් පොරොන්දුවයි. අපනයන කලාපවල වෘත්තීය සමිති හැදීමට උත්සාහ කලොත් කම්කරුවන් මරන බව ට ද ඔහු තර්ජනය කලේ ය.

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන පොරොන්දු අතර ප්‍රධානතම එකක් වූයේ, “මත්ද්‍රව්‍ය සහ පාතාලය” මර්දනය කිරීමයි. ඔහු එවැනි මෙහෙයුමක් දියත් කලේ එය තම දේශපාලන විරුද්ධවාදීන්, අරගලවලට ප්‍රවිෂ්ටවන කම්කරුවන් සහ පීඩිතයන් මර්දනය කිරීම දක්වා පුලුල් කිරීමේ අරමුන ඇතිවයි. 

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මුදුනත දේශපාලකයින් සහ මහ ව්‍යාපාරිකයන් රොත්තක් ක්‍රියාත්මක වෙතැයි යන්න කුප්‍රකට කරුනක් වන අතර ඔවුන් නීතිය හමුවට පැමිනවීමක් කිසිදිනක වාර්තා වී නොමැත. එයින් යලි වරක් සනාථ වන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය පිලිබඳ රාජපක්ෂගේ උද්ඝෝෂනයේ සැබෑ අරමුන කම්කරුවන්ට සහ පීඩිතයන්ට එරෙහි පොලිස්-මිලිටරි මර්දන යන්ත්‍රයක් ගොඩනැගීම බවයි.   

එම වැඩපිලිවෙල යටතේ, රාජපක්ෂ පසුගිය ජුනි මාසයේදී “විනයගත සමාජයක් ඇති කිරීමේ” අරමුන ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නගේ ප්‍රධානත්වයෙන්, මිලිටරිය, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධ කල කාර්ය සාධක බලකායක් පිහිටුවීය. එම කාර්ය සාධක බලකාය විසින් ගනු ලබන පියවර අතර මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සමග ලැයිස්තු ගත කෙරී තිබුනු තවත් එකක් වූයේ නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාවන් හි නිරත වන්නන් හඹා යාමයි.  රාජපක්ෂ එවැනි ක්‍රියා මොනවාද යන්න පිලිබඳ පැහැදිලි කිරීමක් නොකලත් ආන්ඩුවට එරෙහිව කවර හෝ අරගලයකට ප්‍රවිෂ්ට වන ඕනෑම කෙනෙකුට එරෙහිව පොලිස්-මිලිටරි දඩයම දියත් කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙන බව එහි අර්ථය විය.      

මෙම කාර්ය සාධක බලකායේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්කෙරුනු නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ජූලි මාසයේදී මාධ්‍ය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසීය: “පාතාල නායකයින් කියල කියාගන්න අයට ඉදිරි දවස් වලදී වෙන්නෙ මොනවද කියල බලාගෙන ඉන්න. දැන් අපිට වැඩ කරන්න අවශ්‍ය සුදුසුම වෙලාව, සුදුසුම පරිසරය නිර්මානය වෙලයි තියෙන්නේ”. 

මෙහි සෘජු අර්ථය වූයේ මහජනතාවගේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොතකා හරිමින් පොලීසියට තමන්ගේ මර්දනකාරී මෙහෙයුම් දියත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව යටතේ අවකාශ ලැබී ඇති බවයි. එම මෙහෙයුම් ආරම්භ කරමින්, සාමාන්‍ය මහජනතාව පොලිස් ඔත්තු ජාලයක කොටුකිරීමේ වැඩපිලිවෙලක කොටසක් ලෙස, පොලිසිය, කුලී පදනම මත කොලඹ පදිංචිවී සිටින්නන්ගේ තොරතුරු එක්රැස් කිරීමට පටන්ගත්තේය.     ,

මෙම ඝාතනය අරබයා පාර්ලිමේන්තුව තුල “වාද විවාද” දිගහැරුනු නමුත් විපක්ෂයේ සියලු කන්ඩායම්, මෙම ඝාතනයෙන් හෙලිදරව් වන, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත්තෙහි ලඹදෙන අනතුර පිලිබඳ කතා කිරීමෙන් වැලකී සිටියහ. ඒ වෙනුවට පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ආන්ඩුවේ මැති ඇමතියන් පිලිබඳ සාක්ෂි මකා දැමීම සඳහා මධුෂ්ව ඝාතනය කලේය යන තර්කයේ සියලු දෙනාම එල්ලී ගත්හ. 

ඊට මූලික හේතුව වනුයේ, සමස්ත ධනපති ක්‍රමයට එරෙහි අභියෝගයක් දෙසට වැඩෙමින් පවත්නා පන්ති අරගල රුදුරු ලෙස තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙතට මාරුවීම සම්බන්ධයෙන් ආන්ඩුව සහ විපක්ෂය අතර පවත්නා පූර්න එකඟතාවය යි.     

Loading