ශ්‍රී ලංකාව: ජනාධිපති ආඥාදායකත්වයක් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංශෝධනයන් සම්මත කරයි

විධායක ජනාධිපතිවරයාට පුලුල් ඒකාධිපති බලතල ලබා දෙන 20 වන ව‍්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය විසින් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගත්තේ ය. රට පාලනය කිරීම සඳහා සීමා රහිත බලතල යොදා ගැනීමට තමන්ට ඉඩ දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරනය කලේ ය. 

තුනෙන් දෙකක බහුතරයකට අධික ඡන්ද ප්‍රමානයකින් නව සංශෝධනය සම්මත කර ගැනීමේ ලා, ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) පාලක සන්ධානය, මන්ත්‍රීන් 225ක් සිටින පාර්ලිමේන්තුවේ ඡන්ද 156ක් ගොනු කර ගැනීමට සමත් විය. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට (සජබ) අනුබද්ධ මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ආන්ඩුවට සහයෝගය දුන් හ. රටට “ශක්තිමත් ජනාධිපතිවරයෙක්” අවශ්‍ය යැයි කියමින් සජබ සාමාජිකාවක් ද පනතට පක්ෂ ව ඡන්දය දුන්නා ය.

ගෝඨාභය රාජපක්ෂ [අනුග්‍රහය: ඒපී ෆෝටෝ / එරංග ජයවර්ධන]

තමන්ගේ බලතල ශක්තිමත් කරගැනීමට ඉතා උනන්දු ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සංශෝධනය අනුමත කිරීමේ අවශ්‍යතාව අවධාරනය කිරීමට, ඡන්දය විමසීමට පෙර පාර්ලිමේන්තුවට පැමිනියේ ය.

ජනාධිපතිගේ සමහර බලතල සීමා කරමින් 2015 දී හඳුන්වා දුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය, නව සංශෝධනය මගින් අවලංගු ‌කෙරෙයි. පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතරහමාරක් වන තෙක් එය විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා  වැලැක්වීම, ඉහල රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවරුන් පත් කිරීම සඳහා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත්කිරීම හා ඉවත් කිරීම අගමැතිගේ උපදෙස් මත පමනක්  සිදු කිරීම, 19 වන සංශෝධනයට ඇතුලත් විය.

සජබ, දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) ඇතුලු විරුද්ධ පක්ෂ සහ තවත් කන්ඩායම් කිහිපයක්, නව සංශෝධනයෙන් ජනතාවගේ ස්වෛරීත්වය අහෝසි කෙරෙන බවට නියෝග කරන ලෙස ඉල්ලමින්, ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සම් ගොනු කල හ. සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරනයක් අවශ්‍ය යැයි ප්‍රකාශ කරන ලෙස ඔවුහු අධිකරනයෙන් ඉල්ලා සිටියහ.

එහෙත්, පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරනය, සංශෝධනයේ සමහර වගන්තිවලට යම් යම් වෙනස් කම් කරන ලෙස යෝජනා කරමින්, එය සම්මත කර ගැනීමට කොල එලිය දැල්වී ය. සංශෝධනයේ මූලික ආඥාදායක ප්‍රතිපාදනයන් වෙනස් නො කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය යෝජනා කලේ ය. එය යෝජනා කල වෙනස්කම් සමගින්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහිත ව පනත සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිගමනය කෙරුනි. ඒ අනුව, ඡන්දය විමසීමට පෙර, ආන්ඩුව සංශෝධනයට මතුපිට වෙනස් කම් කිහිපයක් සිදු කලේ ය.

නව ව්‍යවස්ථා සංශෝධන වලින්, අගමැති හා කැබිනට් ඇමතිවරු පත් කිරීමට හෝ ඉවත් කිරීමට; මැතිවරනයෙන් අවුරුදු දෙකහමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට; මැතිවරන, පොලිස්, මානව හිමිකම්, අල්ලස් හා දූෂන සහ මූල්‍ය කොමිසන් සභාවල සභාපතිවරුන් පත් කිරීමට ජනාධිපතිට බලතල ලබා දෙයි. ඉහල විනිසුරුවරුන් හා නීතිපති පත්කරන බලධාරියා වන්නේ ද ජනාධිපති ය.

මෙම ඉහල නිලධාරීන් පත් කිරීමේ දී උපදෙස් දීම පිනිස අගමැති, කථානායක හා විපක්ෂ නායකගෙන් යුත් පාර්ලිමේන්තු කවුන්සිලයක් පිහිටුවනු ලැබේ. එහෙත් එහි මතයට ජනාධිපති බැඳී සිටින්නේ නැත.

ශ්‍රීලපොපෙ සභාපති හා ඇමති ජී. එල්. පීරිස් ප්‍රකාශ කලේ, 20 වන සංශෝධනයේ සඳහන් වූ, නඩු පවරනු ලැබීමෙන් ජනාධිපතිවරයා මුක්ත කිරීමට, ජනමත විචාරනයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරනය නිගමනය කල හෙන්, එය ඉවත් කරන ලද බව යි.

20 වන සංශෝධනය ඉදිරිපත් කරමින් අධිකරන ඇමති අලි සබ්රි ප‍්‍රකාශකලේ, එය තුල අලුත් කිසිවක් නැති බවත්, එමගින් කරන්නේ 1978 ව්‍යවස්ථාව යලි ස්ථාපිත කිරීම පමනක් බවත් ය. එම ව්‍යවස්ථාව යටතේ රට පසුගිය දශක හතර තුල පාලනය කර ඇති අතර බිය වීමට දෙයක් නැත. “අප උත්සාහ දරන්නේ, ජනාධිපතිවරයාට යලි වතාවක් මජහනතාවගේ බලය අභ්‍යාස කිරීමට හැකියාව ලබා දීම” යි ඔහු තව දුරටත් කීවේ ය.

“ජනාධිපතිවරයා මහජනතාවගේ බලය අභ්‍යාස කිරීම” පිලිබඳ සබ්රිගේ ප්‍රකාශය විහිලු සහගත ය. නිදහසෙන් පසුව ගෙන ආ සියලු ව්‍යවස්ථා, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කල පාලක පන්තික පක්ෂ විසින් කරන ලද කුමන්ත්‍රනයන් විය. පුලුල් ඒකාධිපති බලතල සහිත 1978 ව්‍යවස්ථාව අද දින රාජපක්ෂට අවශ්‍ය වන්නේ මන්දැයි ඇමති සබ්රි කීවේ නැත. 

එවකට පැවති එජාප ආන්ඩුව විසින් 1978 විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව හඳුන්වා දී එහි නායක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ලෙස පත් කලේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ගැඹුරු දේශපාලන අර්බුදයක ගිලී සිටිද්දී ය.

විවෘත-වෙලඳපොල ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දමද්දී, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් කප්පාදුවට එරෙහි ව මතු වුනු විරෝධය තලා දැමීමට, ජනාධිපතිගේ ඒකාධිපති බලතල යොදා ගන්නා ලදී. කම්කරු පන්තිය හා පීඩිතයින් බෙදා, දුර්වල කොට මර්දනය කිරීම සඳහා, 1983 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව තිස් අවුරුද්දක් ඇදී ගිය වාර්ගික සිවිල් යුද්ධය ඇවිලවුනි.

ගෝලීය අර්බුදය විසින් ගැඹුරු කරනු ලබන යෝධ ආර්ථික, දේශපාලනික හා සමාජ කලබගෑනියක නව කාල පරිච්ඡේදයක් මධ්‍යයේ, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව සූදානම් වන්නේ අනිවාර්යයෙන් මතු වන පන්ති අරගල මැඩීමට ය. ගෝලීය වසංගතය පැවතෙමින් ගෙවී ගිය පසුගිය මාස දහය තුල, අනෙක් රටවල මෙන් ශ්‍රී ලංකාවේ අර්බුදය ද කිහිප ගුනයකින් වැඩි දියුනු වී ඇත.

ශ්‍රී ලංකාව තුල ආඥාදායක පාලනයක් දෙසට ගන්නා පියවර, ෆැසිස්ට්වාදී හා ඒකාධිපති පාලනයන් දෙසට ගෝලීය පරිමාන ව පාලක පන්තීන් ගෙන යන ධාවනයේ කොටසකි. ෆැසිස්ට්වාදී බලවේග රැලි කර ගනිමින් සිටින ට්‍රම්ප් පරිපාලනය, නොවැම්බර් මැතිවරනයේ දී කුමන්ත්‍රනයක් සඳහා උත්සාහ දරයි. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ඒකාධිපති ආන්ඩුවේ බලතල ශක්තිමත් කරමින් සිටී. 

මෙම බලතලවලින් ඔබ්බට ගොස් නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට රාජපක්ෂ පොරොන්දු වී තිබේ. එම ව්‍යවස්ථාව “රටේ අනන්‍යතාව ශක්තිමත් කරනු ඇතැ” යි සබ්රි පාර්ලිමේන්තුවට කීව ද ඔහු එය විස්තාරනය කලේ නැත. තමන් අතට පුලුල් බලතල ගනිමින් සිටින අතරතුර, පසුගිය වසරේ නොවැම්බරයේ බලයට පැමිනි තැන් පටන් ආන්ඩුවේ බොහෝ මූලික තනතුරුවලට විශ්‍රාමික හා සේවයේ සිටින ජනරාල්වරු පත් කිරීමට රාජපක්ෂ ක්‍රියා කලේ ය. 

තමන්ට ඒකාධිපති බලතල අවශ්‍ය බව රාජපක්ෂ යලි යලිත් පෙන්නුම් කර ඇත. 20 වන සංශෝධනය අරබයා වූ යම් “නො එකඟතා” සාකච්ඡා කිරීමට, ඔක්තෝබර් 9දා ඔහු පාලක සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවී ය. ජනාධිපතිට ශක්තිමත් බලතල අවශ්‍ය බවට සියලු දෙනා එකඟ වූ හ. එහෙත්, ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයන්ට ආන්ඩුවේ තානාන්තර දැරීමට ඉඩ දීම, සමහර සිංහල අන්තවාදී කන්ඩායම්වල මන්ත්‍රීවරුන්ගේ විවේචනයට බඳුන් විය.  

සමහර විවේචකයන් “නිහඬ කරන ලද” බවත්, “ඔහු (රාජපක්ෂ) සාකච්ඡාවට කල මැදිහත්වීම්වල දී ‘මට වැඩ කරන්න අවශ්‍යයි’ යනුවෙන් පුනරුච්ඡාකරනය කල” බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ ය.

වසංගතයේ ඉහල යන බලපෑම හා ආර්ථිකයේ බිඳ වැටීම මධ්‍යයේ, ඔහුගේ ආන්ඩුව කම්කරුවන් හා දුගීන් මතට නිර්දය ප්‍රහාරයක් එල්ල කරනු ඇත. ඊයේ, කොවිඩ්-19 ආසාදන ගනන 7000 ඉක්මවා ගියේ ය. රටේ බොහෝ ප්‍රදේශ මේ වන විට ඇඳිරි නීතිය යටතේ පවතී. එහෙත් අනෙකුත් රටවල පාලන තන්ත්‍රයන් මෙන්, කර්මාන්තශාලා විවෘත ව තැබීමට තීරනය කර ඇති  ශ්‍රී ලංකාවේ ආන්ඩුව, මාරාන්තික තත්ත්වයක් යටතේ දිගට ම වැඩ කරන ලෙස කම්කරුවන්ට කියයි.

19 වන සංශෝධනය හඳුන්වා දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දය දීම මගහැරිය ද , නව සංශෝධනයට පක්ෂ ව ඡන්දය දෙන ලෙස, දැනට පාලක පක්ෂය සමග සන්ධානගත ව සිටින ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ලජ්ජා විරහිතව යොමු කලේය.

ව්‍යාජ විරෝධතා හා විවේචන සමගින් ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තුව හරහා නව නීති සම්මත කර ගැනීමට ආන්ඩුවට ඉඩ දුන් හ. ඔවුන්ගෙන් බොහෝ දෙනා 19 වන සංශෝධනයේ “ධනාත්මක පැති” පිලිබඳ ව පූච්චානම් දොඩවමින්, ඒවා එලෙස ම තබා ගන්නා ලෙස ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා ඉදිරිපත් කල හ. 

දැනට විපක්ෂයේ සිටින මෙම පක්ෂ, 2015 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී සිරිසේන පිටුපස පෙලගැසෙමින්, මහජන අතෘප්තිය ගසාකෑම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට උද්ඝෝෂනය කල හ. ඊට පෙර පැවති පාලන තන්ත්‍රයන් මෙන් ම බලයට පැමිනි පසු මෙම පොරොන්දුව අත්හැර දැමූ සිරිසේනගේ “සමගි ආන්ඩුව” කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව හැරී ගත්තේ ය.

මෑතක දී එජාපයෙන් බිඳී ගොස් පිහිටුවා ගත් සජබහි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු ක්‍රමයක් සඳහා “(විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර) බලය තුලනය කරන” පාලනයක් තිබිය යුතු යි කීවේ ය. ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීහු, “20 එපා” යනුවෙන් සඳහන් පටි පැලඳගෙන මෝටර් රථ පෙලපාලියකින් පැමිනිය හ. එහෙත්, එජාපය 1978 ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ මන් ද යන්න හා දශක ගනනක් පුරා එය පවත්වාගෙන යන්නේ මන් ද යන්න ඔහු විස්තර කලේ නැත. 

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය: “අසීමිත බලතල පැවතුනේ ගෝත්‍ර නායකයන්ගේ හා රාජාන්ඩුවල රජවරුන්ගේ අතේ ය. මෙම ව්‍යවස්ථාව එම කාල පරිච්ඡේදය කරා ආපසු යාමකි.”

මෙම පූච්චානම් කෙසේ වුව ද 2004 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවට සම්බන්ධ වෙමින්, ජවිපෙ ඒකාධිපතිවාදී විධායක ජනාධිපති ධුරයට සහයෝගය දුන්නේ ය. දුෂ්ට වර්ගවාදී දී උද්ඝෝෂනයක නිරත වූ ජවිපෙ, එල්ටීටීඊයට එරෙහි යුද්ධය ගෙන යාමට ජනාධිපති බලතල ආධාර වී යයි පවසමින් එය උත්කර්ෂයට නැංවී ය.

ඔවුන්ගේ ව්‍යාජ විවේචනවල අරමුන වන්නේ, ජනාධිපති රාජපක්ෂ ගොඩ නගමින් සිටින ආඥාදායකත්වයේ සැබෑ ඉලක්කය කම්කරු පන්තිය බව ආවරනය කිරීම යි.

මෙම ධනේශ්වර පක්ෂ හා ඒවායේ ව්‍යාජ-වාම ආවතේවකරුවන් අතර, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන කොටසක් නැත. ගම්බද දුගීන් හා තරුනයන් රැලි කර ගනිමින් තමන්ගේ ම දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලුගන්වා ගැනිම මගින් කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැක.

ධනේශ්වර ආඥාදායකත්වයට එකම පිලිතුර වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගය මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ මේ නිසා ය.

Loading