විසිවන ව්‍යවස්ථා සංශෝධනය සහ විපක්ෂයේ බෙලහීනත්වය

රාජපක්ෂ ආන්ඩුවට  විසිවන ව්‍යවස්ථා  සංශෝධනය  තුනෙන් දෙකක බහුතර  චන්දයකින් ඔක්තෝබර් 23 දා පාර්ලිමේන්තුවේ දී සම්මතකර ගැනීමට හැකිවීම තුලින්, සමගි ජන බලවේගය (සජබ), දෙමල ජාතික සන්ධානය (දෙජාස) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විපක්ෂයේ සියලු පක්ෂ වල දේශපාලන බෙලහීනත්වය කැපීපෙනෙන ලෙස ප්‍රදර්ශනය  කෙරී ඇත. 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 න් 156 ක් සංශෝධන කෙටුම්පතට පක්ෂව චන්දය දුන්හ. පාලක ශ්‍රී ලංකා  පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ ) මන්ත්‍රී  කන්ඩායමට  අමතරව ප්‍රධාන  විපක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරියක් සහ සජබට අනුබද්ධ මුස්ලිම් පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ (ශ්‍රීලමුකො) සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ (සලමප) මන්ත්‍රීන් හය දෙනෙක් ද, මනෝ ගනේෂන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ මන්ත්‍රීවරයෙක් ද ඊට පක්ෂව චන්දය දුන්හ.

සන්ධානයේ "සාමුහික තීන්දුව" කඩ කල බවට චෝදනා කරමින් චන්දය  දුන්  අටදෙනා සජබයෙන් නෙරපූ අතර ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂ පිලේ ආසන වෙන් කරන ලෙස ඉල්ලා ඇත. සංශෝධනයට සහයෝගය දීමෙන් 19 වන සංශෝධනයෙන් තහවුරු කෙරුනු "ප්‍රජාතන්ත්‍රීය සාරධර්ම " ශ්‍රීලමුකො  විසින් නොසලකා ඇතැයි එක්සත් ජාතික පක්ෂය (එජාප) නිකුත් කල ප්‍රකාශයක  සඳහන් වේ. රවුෆ් හකීම් ගේ සහ රිෂාඩ් බදියුදීන් ගේ කන්ඩායමේ  සහයෝගයෙන්  සංශෝධනය සම්මත කර ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පවසයි.

විපක්ෂයේ  සියලු පක්ෂ තතනන්නේ රාජපක්ෂ ආන්ඩුවට  විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට හැකිවීමේ වගකීම මුස්ලිම් පක්ෂ මත පටවා අත සෝදා ගැනීමට ය. මුස්ලිම් ධනපති පක්ෂ දේශපාලන හා මුල්‍ය වරප්‍රසාද සඳහා පිල් මාරු කිරීම සහ "ඩීල්" ගැහිල්ල අහම්බයක් හෝ රහසක් නොවේ. ධනපති දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ වල කුප්‍රකට චාරය එබඳුය.

කෙසේ නමුත් රාජපක්ෂ ආන්ඩුව විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සමත් වීම පිටුපස ඇති මූලික කාරනාව එය නොවේ. ආඥාදායක පාලන තන්ත්‍රයක් රට තුල තහවුරු කිරීම සම්බන්ධයෙන්, විපක්ෂයේ කිසිදු ධනපති පක්ෂයකට, රාජපක්ෂ ආන්ඩුව සමග මත භේදයක් නැත. 

එජාපය විසින් 1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් විධායක ජනාධිපති පාලනය තහවුරු කිරීමෙන් පසුව ගත වූ දසක හතර තුල දේශපාලන සංස්ථාපිතයේ  සියලුම පක්ෂ  විධායක ජනාධිපති පාලනයට සහෝගය දී ඇත. එයට එරෙහිව මහජන විරෝධය වැඩෙන කොන්දේසි යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මැතිවරනවල දී පොරොන්දු දුන් නමුත් ඒවා පසුව පාපිස්ස යටට තල්ලු කෙරුනි. 

වැඩෙන මහජන විරෝධයට ප්‍රතිචාරයක් ලෙස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිගේ ධුර කාලය දෙවරකට සීමා කිරීම, ජනාධිපතිට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ කිරීම, අග විනිසුරු ඇතුලු විනිසුරුවන් හා පොලිස්පති ඇතුලු ඉහල රාජ්‍ය නිලධාරීන් කොමිෂන් සභා මගින් පත්කිරීම ඇතුලු සීමිත වෙනස්කම් කිහිපයක් කෙරුනු නමුත්, ව්‍යවස්ථාවේ මුලික වෙනසක් සිදු නොවීය. විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ මූලික තර්කය වුයේ 19 වන සංශෝධනයේ අඩුපාඩු තිබේ නම් ඒවා පියවා ගෙන ධනේශ්වර ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමය. 

කොරෝනා  වසංගතය විසින් අනෙක් සියලු රටවල මෙන් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලක පන්තියේ ආර්ථික, දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කර ඇත. රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් කම්කරු පන්තියේ රැකියා හා වැටුප් කප්පාදු කිරීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ  මහත් ව්‍යසනයකට මුහුන දී සිටිති. එම කොන්දේසි යටතේ කම්කරු-පීඩිත ජනයාගේ  සමාජ පිපිරීමක් ඇතිවීම කෙරෙහි ආන්ඩුව මෙන් ම, විපක්ෂයත් එකසේ භීතියට පත්ව සිටිති. 

එවන් සමාජ  පිපිරීමක් මැඩලීම  සඳහා ධනේශ්වර පාලක පන්තිය තුල තිබෙන ඒකමතිකභාවය ප්‍රදර්ශනය කරමින් සජබ හා විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස, 20 වන සංශෝධන කෙටුම්පත පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී ඔක්තෝබර් 22 වෙනි දා මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ නීති කෙටුම්පත් කිරීම "කාලීන හදිසි අවශ්‍යතාවයක්" බව අවධාරනය කලේ ය.  

"ත්‍රස්තවාදී  කටයුතුවල යෙදෙන්නන්  හා මත්ද්‍රව්‍ය  ගෙන එන්නන් සම්බන්ධයෙන් මරන දඬුවම ගෙන ආ යුතුයි. එය සමගි ජන බලවේගයේ ආස්ථානය" යැයි  ඔහු එහි දී පැවසීය. ප්‍රේමදාසගේ මෙම ප්‍රතිගාමී ඉල්ලීම, "ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ පාතාලය මර්දනය කිරීමේ" කඩතුරාව යටතේ රාජපක්ෂ ආන්ඩුව කම්කරු-පීඩිත ජනයාට එරෙහිව දියත් කර ඇති රාජ්‍ය මර්දනයට රුකුල් දීමකි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මහජන උද්ඝෝෂන කැඳවන බවට කයිවාරු ගැසූ සජබ, එජාප සහ ජවිපෙ පසුව හෙමින් සීරුවේ ඒවා අතහැර දැමුවේ, එවන් කවර හෝ උද්ඝෝෂනයක් කම්කරු-පීඩිත ජනයාගේ  සමාජ පිපිරීමකට දිරිදීමක් විය හැකි බව සහ එමගින් ධනේශ්වර පන්තිපාලනය අස්ථාවර කරනු ඇති බව ගනන් බලමිනි. 

ඒ වෙනුවට ඔවුන් කලේ, නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ ස්වෛරීත්වය අහෝසි වන බව සහ සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරනයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරනයට  පෙත්සම් ගොනු කිරීමය. එහෙත්, සංශෝධනයේ මුලික ආඥාදායක වගන්ති එසේම තිබිය දී සුලු වෙනස්කම් කිහිපයක් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් එය සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරනයේ නිගමනය විය.  

ලංකාවේ ධනේශ්වර පාලක පන්තිය ආඥාදායක පාලනයකට මාරුවීමට දරන ප්‍රයත්නය, ලෝක පරිමානව අධිරාජ්‍යවාදී සහ ධනපති පාලක පන්තීන්, ෆැසිස්ට්වාදී සහ ඒකාධිපති පාලන තන්ත්‍රයන් කරා මාරුවීමේ කොටසකි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආඥාදායක පාලනයක් සඳහා රුකුල් දෙන ෆැසිස්ට් බලවේග බලමුලු ගන්වමින් සිටී. නොවැම්බර් 3 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේ ප්‍රතිපල කවරක් වුවත් තමන් දිගටම බලයේ රැඳී සිටින බව ට ඔහු තර්ජනය කරයි. 

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක බයිඩන් හිර ගත කරන බවට තර්ජනය කරන ඔහු තම ප්‍රතිවාදීන්ට එරෙහිව එලිපිටම ඝාතන කුමන්ත්‍රන මෙහයවයි. මිචිගන් ප්‍රාන්තයේ  ආන්ඩුකාර ග්‍රෙට්චෙන් විට්මර් ෆැසිස්ට්වාදීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත්  කිරීම ඔහුගේ කුමන්ත්‍රනයේ කොටසකි. පොලිස් ඝාතන අනුමත කරන ඔහු ඝාතන වලට එරෙහි උද්ඝෝෂකයන් "වාම රැඩිකලුන්" ලෙස හෙලා දකියි

එහෙත් ට්‍රම්ප්ගේ ප්‍රකෝපකරනයන් සහ ආඥාදායක සැලසුම් සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය දැනුවත්වම අනුගමනය කරන්නේ අතිශයින් උදාසීන පිලිවෙතකි. ට්‍රම්ප් ගේ දක්ෂිනාංශික පිලිවෙත් සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට මත භේදයක් නැත. ට්‍රම්ප්ගේ දේශපාලන කුමන්ත්‍රනයට වඩා ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවාදී නැගිටීමකට ඩිමොක්‍රටික්  පක්ෂය බිය වන්නේ ය.

ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ඒකාධිපති පාලනයක් සඳහා සැලසුම් සකසමින් සිටින නමුත්, ඉන්දියානු  කොංග්‍රසය හා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ ඊට එරෙහිව මහජනයා  බලමුලු ගැන්වීම මග හරිති.

විපක්ෂයේ කිසිදු පක්ෂයක් රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක සැලසුම් වලට එරෙහිව අව්‍යාජ විරුද්ධත්වයක් දක්වනු ඇතැයි සිතීම බරපතල මුලාවක් වනු ඇත. ඒ සඳහා ශක්‍යතාවය සහිත එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය යි. කම්කරු පන්තියට එය කල හැක්කේ, තම නායකත්වය යටතේ ගම්බද දුගීන් ඇතුලු අවශේෂ පීඩිත ජනයා බලමුලු ගන්වා ගත් විප්ලවවාදී ව්‍යාපාරයක් තුලින් ගෙනයන,  ජාත්‍යන්තර  සමාජවාදය  සඳහා අරගලයේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීමෙන් පමනි.

කතුවරයා පහත ලිපිය නිර්දේශ කරයි

 ශ්‍රී ලංකාව: ජනාධිපති ආඥාදායකත්වයක් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංශෝධනයන් සම්මත කරයි

Loading