වතු කම්කරු වැටුප් ප්‍රශ්නයේදී වැවිලි සමාගම් ආරක්ෂා කර ගතයුතු යැයි කම්කරු ඇමති කියයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේදී 'වැවිලි කර්මාන්තයේ නිරත සමාගම් ද ආරක්ෂා කල යුතු' යැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා දෙසැම්බර් 5 වෙනිදා පාර්ලිමේන්තුදී ප්‍රකාශ කලේ ය. 'ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත ලෙස දායක වන තේ සහ රබර් නිෂ්පාදන මෙන් ම, වැවිලි කර්මාන්තයේ නිරත සමාගම් ද ආරක්ෂා කල යුතුයි. මෙම  ප්‍රශ්නයේ දී අපට හුදෙක් ම එක පැත්තක් ගැන පමනක් බැලිය නොහැකි අතර අවම දෛනික වැටුප නියම කිරීමේ නීති හඳුන්වා දිය නොහැකියි. මෙම ප්‍රශ්නය විසඳිය යුතු ක්‍රමය එය නොවේ' යැයි ඇමති සිල්වා එහිදී සඳහන් කලේ ය.

කවර හෝ විසඳුමක් ගැන සැලකීමේ දී කර්මාන්තයේ 'පෝෂනය ප්‍රමුඛ වියයුතු' බව ඔහු එහි දී වැඩිදුරටත් පැවසීය.  

සීඩබ්ලිව්සී නායක හා වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොන්ඩමන් සිල්වාගේ ප්‍රකාශයට එකඟතාවය පලකරමින් වැටුප් “වැවිලි කර්මාන්තය  මරාදැමීමේ හේතුව  නොවිය යුතු'  බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනි.  

යටත් විජිත යුගයේ ව්‍යුහය මත පදනම්  වූ වර්තමාන වැටුප් ක්‍රමය  සම්පුර්නයෙන් වෙනස් කල යුතු බව ද ඔහු පවසා තිබුනි.  'රුපියල් 1000 දේශපාලනීකරනය වූ ගනනක්' බවත්, කම්කරුවන්ට 'හිමිකම පිලිබඳ හැඟීමක් ඇතිකරන සහ නිෂ්පාදන පලදායිත්වය වැඩිකරන කොන්ත්‍රාත් ක්‍රමය මත පදනම් වූ ආදායම් බෙදීමේ ක්‍රමයක්' ආන්ඩුව යෝජනා කර ඇති බවත්  ඔහු එහි දී සඳහන් කර ඇත. 

ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු සෙසු වතු සමිති  තවමත් සිල්වාගේ ප්‍රකාශය ගැන කට ඇර නැතත් ඔවුන්ගේ ස්ථාවරය සීඩබ්ලිව්සී යට වඩා වෙනස් නොවනු ඇත. වතු කර්මාන්තය “අර්බුදයකට” මුහුන දී  ඇති තත්වයක් තුල රුපියල් 1000 වැටුප් ඉල්ලීම 'අසාධාරන” බවත්, ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ වතු කම්කරුවන්ට ඉහල ආදායමක ට අමතරව ඉඩම් හිමිකම ලැබෙන බවත් ඔවුන් කලින් සඳහන් කර තිබුනි.

වතු කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීම සහ ඊට අදාල නීති සම්පාදනය කරන බවට යෝජනාවක් අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මෙවර අයවැයේ දී  පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කලේ ය.  යෝජිත වැටුප ගෙවීමට අසමත් වන වතු සමාගම්වල “කලමනාකාරිත්ව ගිවිසුම් වෙනස්කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන' බව ද ඔහු එහි දී සඳහන් කලේ ය .

ඇමති සිල්වා යලි එය පුනරුච්චාරනය කරමින් වතු සමාගම් වලට බොරු තර්ජනයක් කලේ ය. වතු සමාගම් ආන්ඩුවේ යෝජනාව එකහෙලාම ප්‍රතික්ෂේප කරමින් නිෂ්පාදන පලදායිත්වය මත පදනම් වූ වැටුප් ක්‍රමයක් ක්‍රියාවට දැමිය යුතු බව යලි යලිත් අවධාරනය කලහ. 

පසුගිය සතියේ ඔවුහු නිෂ්පාදන පලදායිත්වය මත පදනම් වූ විකල්ප වැටුප් යෝජනා දෙකක් ආන්ඩුවට සහ වතු සමිති වලට ඉදිරිපත් කලහ. ඉන් පලමු වැන්න සතියේ දින තුනක් දෛනික වැටුපට සහ ඉතිරි දින තුන නෙලන දලු කිලෝවකට රුපියල් 50 බැගින් ගෙවීමේ -අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් ඇතුලුව- දෙමුහුන් ක්‍රමයකි. එමගින් රුපියල් 37,000-60,000 මාසික අදායමක් වතු කම්කරු පවුලකට උපයාගත හැකිවෙතැයි සමාගම් විසින් සඳහන් කර ඇත. 

ඒ සඳහා මහල්ලන්, දරුවන් ඇතුලු මුලු පවුලම වෙහෙසිය යුතුය. කෙසේ නමුත් මුලු පවුලම කැඹුරුවත්, කාලගුනය, ඉඩමේ සාරවත්භාවය, කම්කරුවන්ගේ වයස සහ වැඩ  කිරීමේ කායික හැකියාව එවන් ආදායමක් උපයා ගැනීමේ නිෂ්පාදන පලදායිත්වයකට ඍජුව බලපායි.

දෙවැන්න, දෛනික මුලික වැටුප රුපියල් 700 ක් සහ පැමිනීම, නිෂ්පාදන පලදායිත්වය හා ජාතික තේ මිල මත පදනම් වූ දීමනා සහිතව රුපියල් 1025 ක් ලෙස ගනනය කෙරුන උපකල්පිත දෛනික වැටුපකි. 

වැටුප් ප්‍රශ්නයට විසඳුම් සම්පාදනය කිරීමේ දී නිෂ්පාදනය සහ නිෂ්පාදන ධාරිතාවය පිලිබඳ විවිධ උත්සුකතාවයන් තිබෙන හෙයින් වෘත්තීය සමිති නායකයින් සාමුහික ගිවිසුමක් ඉල්ලා ඇති බව ඉහත පාර්ලිමේන්තු කතාවේ දී  ඇමති සිල්වා සඳහන් කලේ ය. ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 7 වෙනිදා, කම්කරු ඇමති, අමාත්‍යංශ නිලධාරීන්, වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා වතු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවති  නමුත්, හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ආන්ඩුවේ රුපියල්  1000 වැටුප් යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා සාකච්ඡාව අසාර්ථක වූ බව ඇමති සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.  

එම නිසා රුපියල් 1000 වැටුප සම්බන්ධ 'විකල්ප'යෝජනාවක් තමන් සඳුදා පැවැත්වෙන අමාත්‍ය මන්ඩල රැස්වීමට ඉදිරිපත්  කරන බව ද සිල්වා සඳහන් කර තිබේ. එය සාධාරන  වැටුපක් නොලැබීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් අතර පවතින කෝපය සහ කැකෑරීම නිසා ඔවුන්ගේ ඇස්වලට වැලි ගැසීමේ ප්‍රෝඩාවක් මිස යතා වශයෙන් රුපියල් 1000 ක මූලික දෛනික වැටුපක් කම්කරුවන්ට නොලැබෙනු ඇත.

අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ ඇමති සිල්වා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබු පරිදි  වැවිලි කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පැටවීමේ නිෂ්පාදන පලදායිත්වය මත පදනම් වූ වතු සමාගම් වල  යෝජනා ආන්ඩුවේ සහ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව ක්‍රියාවට දැමීමකි.  රුපියල් 1000 වැටුප සම්බන්ධ රාජපක්ෂ ආන්ඩුවේ අයවැය යෝජනාව පිටුපසින් මෙම සැලසුම් ක්‍රියාවට  දැමෙන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරුවන්ට අනතුරු ඇඟවීය. 

වැටුප් ඉල්ලීම් මත කම්කරුවන්ගේ අරගලයක් පුපුරායාමට මත්තෙන් සාමූහික ගිවිසුමකට ඔවුන් ව කොටු කර වතු සමාගම්වල සැලසුම් ඔවුන් මත පැටවීම  සමිතිවල සහ ආන්ඩුවේ අපේක්ෂාවයි. වතු කම්කරුවන්ගේ අරගලයක් රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයට ලක් වී සිටින  අවශේෂ කම්කරුවන් ද අලලා ගත් කම්කරු පන්තියේ පුලුල් අරගලයක් බවට පරිවර්තනය වනු ඇතැයි  යන භීතිය ද ආන්ඩුවට සහ වෘත්තීය සමිති වලට ඇත. වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබූ 2018 වැටුප් අරගලයට 200,000 ක් පමන වතු කම්කරුවන් සම්බන්ධ වූ අතර එය සෙසු කම්කරුවන් සහ තරුනයන්ගේ බලගතු ආකර්ෂනයක් දිනා ගැනීමට සමත් විය.

වතු කම්කරුවන් මත එල්ල කෙරෙන මෙම ප්‍රහාරයෙන් කොරෝනා වසංගතයෙන් වඩ වඩා තීව්‍ර කෙරන ධනවාදයේ අර්බුදය තුල සෑම රටකම ධනපති පාලක පන්තීන් සහ සංගත විසින් කම්කරුවන්ට එරෙහිව ක්‍රියාවට දමන ප්‍රහාරයේ කොටසකි. වතු සමිති මෙන්ම ශ්‍රී ලංකාවේ සහ සෙසු රටවල් තුල ද වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ධනපති පාලක පන්තීන්ගේ සහ හාම්පුතුන්ගේ උත්සුකතාවයන් ආරකාෂා කරන කාර්මික පොලීසියක් ලෙසය.

මෙ මගින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය යලියලිත් අවධාරනය කල පහත කරුනු සනාථ වෙයි:

01. ආන්ඩුවට සහ වතු සමාගම් වලට බලපෑම් දැමීම තුලින් වැටුප් ඇතුලු කිසිදු අයිතියක් දිනාගත නොහැකි බව 

02. මෙම ප්‍රහාරයන් කම්කරුවන් මත පටවන ධනපති හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ ඍජු ඒජන්තයන් ලෙස වෘත්තීය සමිති ක්‍රියාත්මක වන බව

03. ලාබය සඳහා නිෂ්පාදනය කරන ධනවාදය පෙරලා දැමීමේ සටනකින්, එනම් සමාජවාදී විප්ලවය සඳහා සටනකින් තොරව වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ කවර කොටසකටවත් තම අයිතීන් දිනා ගත නොහැකි බව.

ආන්ඩුව, වතු සමාගම් සහ වෘත්තීය සමිති විසින් අත්සන් කරනු ලබන වතු සමාගම්වල ලාබ පිපාසිත උත්සුකතාවයන් ආරක්ෂා කරන  කුමන්ත්‍රනකාරී ගිවිසුම වතු කම්කරුවන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතු ය. 

ඉහල යන ජීවන වියදම සමග රුපියල් 1000 වැටුප් ඉල්ලීම කිසිසේත් ප්‍රමානවත් නොවේ. ඔවුන් සටන් කල යුත්තේ ඉහල යන ජීවන වියදමට සරිලන  වැටුපකටය. පවුල් කුටුම්භයක මාසික ජීවන වියදම මේ වන විට රුපියල් 50,000 ඉක්මවා ඇත.  සොච්චම් දෛනික වැටුපක් වෙනුවට විශ්‍රාම වැටුප් හිමිකම් සහිත අවම වශයෙන් රුපියල් 50,000 මාසික ස්ථීර වැටුපක් හා ප්‍රමානවත් පහසුකම් සහිත  නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්  සහ තරුන ජනයා සඳහා යහපත් රැකියා සඳහා ඔවුන් සටන් කල යුතුය.

මෙම ඉල්ලීම් මත වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වත්තකම පිහිටුවා ගනිමින් අරගලය සම්බන්ධීකරනය සහ මෙහෙය වීම කම්කරුවන් තම අතට ගත යුතු ය. 

එමෙන් ම, ශ්‍රී ලංකාවේ සහ සෙසු රටවල වැවිලි කර්මාන්තයේ නිරත කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීම, ධනවාදී ලාබ පද්ධතියට සහ ධනේශ්වර පාලනයට එරෙහි අරගලයේ අත්‍යවශ්‍ය සහ ප්‍රමුඛ  සාධකයකි. 

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසිකිරීමේ සහ සමාජවාදී ආරථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක්  සඳහා සටන සමග මෙම අරගලය අත්‍යන්තයෙන් බැඳී පවතී.  

Loading