ඇඟලුම් කම්හල්වල බලහත්කාරයෙන් වැඩෙහි නිරත කිරීමට එරෙහිව කම්කරු විරෝධය වැඩේ

කොවිඩ්-19 වසංගතය ව්‍යසනකාරීව පැතිරෙමින් තිබියදී, තම ජිවිත නොතකා බලහත්කාරෙන් සේවයේ නිරත කිරීමට එරෙහිව ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතාවන් පුපුරා එමින් පවතී. එම විරෝධතාවයන්ට කම්හල් පිහිටි ප්‍රදේශයන්හි මහජනයාගේ ද සහයෝගය ගොනුවෙමින් පවතින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. 

ඇඟලුම් කම්හල් කොරෝනා බෝකරන මධ්‍යස්ථාන බවට පත් වෙමින් තිබියදී, ආන්ඩුව මෙවන් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා වසා නොදමන්නේ වෛද්‍ය විශේෂඥයින් මුලු දිවයින අගුලු දැමිය යුතුයැයි ආන්ඩුවට යෝජනා කරමින් සිටියදීය.

“රටෙහි ආර්ථිකය” දිගටම විවෘතව තබා ගැනීමේ සමාජ ඝාතක ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙනයන බව තහවුරු කරමින් මැයි 14 දා ආන්ඩුව විසින් සංචරන සීමා පනවමින් නිකුත් කෙරෙනු නිවේදනයක කොවිඩ්-19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඇඟලුම් ඇතුලු අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරිත්වයට අවසර ලබා දී ඇති බවයි. 

මෑතදීම කම්හල් වසා දමන ලෙස ඉල්ලා විරෝධතාවන් මතුවූයේ, ජෝලංකා මැනුෆැක්චරින් ලිමිටඩ් ඇඟලුම් කම්හල පිහිටි බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශවාසීන් ගම්පහ දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි සිම්ලයින් ඇඟලුම් කම්හලේ කම්කරුවන් සහ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ කම්කරුවන් අතරින් විය. කෙසේවෙතත් ආන්ඩුවේ දැඩි කම්කරු සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් වලින් හයිය ලබාගත් කම්හල් හිමියෝ හැකි තරම් කම්හල් විවෘතව තබා ගැනීමට තැත් කරති.

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,36,800 ක්ද මරන ගනන 900 ක්ද ඉක්මවමින් මාරාන්තික නව වෛරස ප්‍රභේද ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වන තතු තුල, වසංගතය පාලනය කිරීමේ  අනිවාර්ය පියවරක් වන අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමේ දැවෙන අවශ්‍යතාවය මහජනයා වටහා ගනිමින් සිටින බව මෙම විරෝධතා උද්ඝෝෂන වලින් ප්‍රකාශයට පත්වෙයි. 

බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශවාසීන් මැයි 11 දා විරෝධතා දැක්වූයේ ජෝලංකා ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 45 දෙනෙකුට වෛරසය අසාදනය වීමෙන් පසුව ය. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් මැනුෆැක්චරින් කම්හලේ කම්කරුවන් දුසිම් ගනනක් රෝගී වීමෙන් පසුව කම්හල වසා දමන ලෙස කම්කරුවෝ පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ. මෙය නොතකා පාලකයන් දිගටම කම්හල ක්‍රියාත්මක කලේ රෝගීවූ කම්කරුවන්ගේ සේවය පමනක් තාවකාලිකව නවත්වා දමමිනි. පාලකයෝ මෙම අනතුරුදායක පිලිවෙත යුක්තිසහගත කලේ දිවයිනේ අනෙකුත් ආයතන ක්‍රියාත්මක වන්නේනම් මෙම කම්හල පමනක් වසා දමන්නේ ඇයිද යනුවෙන් විමසමිනි. පසුව සිය ගනනක් ආසාදනයට ගොදුරු වූවායින් පසුව කම්හල මේ මස 10 වන සඳුදා තාවකාලිකව වසා දැමිනි. තට්ටු තුනකින් සමන්විත කම්හලේ සේවකයින් 2,000 ක් සේවයේ නිරත වන අතර බිම්මහලේ සිය ගනනකට කොරෝනා වෛරසය අසාදනය විය.

පන්නල පිහිටි සිම්ලයින් ඇඟලුම් කම්හලේ දුසිම් ගනනක් අසාදනය වීමත් සමග කම්හල වසා දැමිය යුතුයැයි කම්කරුවන් ඉල්ලා සිටියද, පාලකයෝ එය ප්‍රතික්ෂේප කලහ. එහි ප්‍රතිඵලයක් ලෙස සිය ගනනක් අසාදනයෙන් ඇතිවූ නොසන්සුන්තාවය හමුවේ පාලකයෝ පසුගිය අප්‍රේල් 28 දා කම්හල වසා දැමූහ. බලහත්කාරයෙන් වැඩෙහි නිරත කිරීම නිසා රෝගය වැලඳුනු එක් කම්කරුවකු නිරෝධායන මධ්‍යස්ථානයේදී මිය ගියහ. මෙම කම්හලේ කම්කරුවන් 5,000 ක් පමන සේවයේ නිරත වේ.

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ ඇඟලුම් කම්හල් පහක කම්කරුවන් 1,500 කට සිදු කෙරුනු පීසීආර් පරීක්ෂනවලින් 217 කට කොරෝනා රෝගය වැලඳී ඇති බව දෙරන රුපවාහිනී නාලිකාව 14 දා වාර්තා කලේය. මෙම කලාපය අවට ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින තදබදය හමුවේ කම්කරුවන්ට තම නේවාසික ස්ථානවලම නිරෝධායනයට වීමට බල කෙරී ඇත.  

කම්කරුවන් 3,000 ක් පමන වැඩ කරන කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරියේ පිහිටි බෙන්ජි ඇඟලුම් කම්හල තුල කොරෝනා රෝගීන් 142 ක් අප්‍රේල් මස අග වනවිට වාර්තා වූවිට ප්‍රදේශවාසීන් සහ කම්කරුවන් එකතු වී අප්‍රේල් 26 දා කම්හල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ අඩුම තරමින් සති දෙකක කාලයක් කම්හල වසා තැබියයුතු යැයි ඉල්ලා සිටිමිනි.  

කොරෝනා වෛරසයට ගොදුරු වූ නෙක්ස්ට් කම්හලේ කම්කරුවකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ තමන් පසුගිය සති අග පීසීආර් පරීක්ෂනයට යොමු කෙරෙනු බවත් පසුව රෝගය ආසාදනය වූ බව වාර්තා කිරීමෙන් පසු තම නිවසෙහි නිරෝධායනය විය යුතු බවට උපදෙස් ලැබුනු බවත්ය. ඇයට රු. 1,000 ක පමන බඩු මල්ලක් පාලකයින් විසින් සපයනු ලැබ ඇත. ඒ හැර ඇය ගැන කිසිදු සොයා බැලීමක් සිදුකෙරී නැත. පාලකයෝ නෙක්ස්ට් කම්හලේ කම්කරුවන්ට පවසා ඇත්තේ යන්තම් සති දෙක අවසන් වූ වහාම දෙවන පීසීආර් පරීක්ෂනය සිදු නොකලද වැඩට එන ලෙසයි. අවදානම නිසා බොහෝ කම්කරුවෝ මෙය ප්‍රතික්ෂේප කර ඇත.

කටුනායක කලාපයේ කම්හලක වැඩ කරන කාන්තා කම්කරුවකු කම්හලේ නම සඳහන් නොකර වැඩබිම වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කොට තිබුනි: "අපේ ආයතනයේ මේ වෙනකොට 50ක් 60ක් කට වඩා පොසිටිව්  වෙලා ඉවරයි. දැන් මාස දෙකක ඉඳන් මේ විදියට ආයතනය ඇතුලේ තැනින් තැන ආසාදනයට ලක් වුනු අය හමු වෙන්න පටන් ගත්තා. මම වැඩ කරපු ලයින් එකේ මගේ ඉස්සරහම ලමයා පොසිටිව්  උන නිසා මම මාර්තු 17 ඉඳලා අප්‍රේල් 10 වෙනකල් නිරෝධායනයට දැම්මා.....අප්‍රේල් 19 ඉඳන් වැඩට යන්න පටන් ගත්තා විතරයි , ආපහු ලයින් එකේ තවත් ලමයි පොසිටිව්  වන නිසා මමත් නිරෝධානයට දැම්මා. ආපහු මට වැඩට යන්න තියෙන්නේ මේ මාසේ 17,” යනුවෙනි. 

මෙලෙස, යම් කම්කරුවෙකුට කොරෝනා රෝගයට ගොදුරුවූ විට ඔහු හෝ ඇය අවට වැඩ කරන අනෙකුත් කම්කරුවන් දෙදෙනෙකු හෝ හතර දෙනෙකු පීසීආර් පරීක්ෂනයට ලක් කොට නිරෝධානයට යැවේ. පසුව, දෙවන පී සී ආර් පරික්ෂාවකට යොමු කිරීමකින් තොරව යලි වැඩට කැඳවේ. 

මේවනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඟලුම් කම්කරුවන් සිය ගනනකට කොරෝන රෝගය ආසාදනය වී ඇති අතර මෙම කම්කරුවන්ට රෝහල් පහසුකම් නොමැතිව තම නිවෙස් හෝ නේවාසිකාගාරවල සෞඛ්‍ය බලධාරීන්ගේ නිරීක්ෂනයක් නොමැතිව කල් ගත කිරීමට සිදුවී ඇත. 

මෙම සතිය තුල පමනක්, මාධ්‍ය වාර්තාවලට අනුව දඹුල්ලේ ඇඟලුම් කම්හලක 23 ක්ද, මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක 90 ක්ද, සේවකයින් 850 ක් නිරත කොත්මලේ පුන්ඩලුඔය පිහිටි කොත්මලේ ගාමන්ට් කම්හලේ 69 ක්ද, නුවරඑලිය දිස්ත්‍රික්කයේ නොර්වුඩ් හි ඇගලුම් කම්හලකින් 09 ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඇඟලුම් කම්හලක 13 ක්ද, බියගම නිදහස් වෙලඳ කලාපයේ 43 ක්ද, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ 31 ක්ද, කොලොන්න ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක 140 අතරින් 33ක්ද, කොරෝනා ආසාදනය වූ බව වාර්තා වී ඇත.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ මේවන විට කම්හල් 55 ක 1,464 දෙනෙකු අසාදනය වී ඇති බව මැයි 10 දා අද පුවත්පත වාර්තා කලේය. 

ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල විසින් 13 දා නිකුත් කෙරුනු නිවේදනයෙන් "සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුකුලව සේවක ආරක්ෂාව" තහවුරු කරන බවට දෙන ලද පොරොන්දු අමූලික බේගල් බව මේවනවිට අවම වශයෙන් ඇඟලුම් කම්කරුවන් දෙදෙනෙකු මිය යාම මගින්ද, කිහිප දහසකට කොරෝන රෝගය අසාදනය වීම මගින්ද, රෝග බිය නිසා කම්කරුවන් කම්හල් අතහැර යාම මගින්ද සනාථ වී ඇත.

මෙම නිවේදනය තවදුරටත් සඳහන් කරන්නේ වෛරසය "පෙර පැවතී තත්වයට වඩා මෙවර අවදානම ඉහල බැවින් කම්හල් තුල ජෛව ආරක්ෂක බුබුලක් ක්‍රියාත්මක කරමින්" කම්කරුවන් ආරක්ෂා කරන බවයි. 

සංචාරක  ව්‍යාපාරය නංවාලීම සඳහා යැයි පවසමින් හඳුන්වාදෙන ලද සංචාරක බුබුලු ක්‍රමවේදය අනතුරුදායක බව පසුව හෙලි විය. 

සත්‍ය කාරනාව වන්නේ කම්කරුවන්ගේ මලකඳන් උඩින් වූවද අර්බුදග්‍රස්ත ආන්ඩුව අපනයන ආදායම ඉහල දමා ගැනීමේ මරුවිකල්ලයයි.  මෙම වසර තුල දිවයිනේ සමස්ත අපනයන ආදායම්  ලෙස ඩොලර් බිලියන 12 ක් ලෙස ඉලක්ක ගත කොට ඇත. මේ වෙනුවෙන්, “අපනයන කර්මාන්තවලට කිසිදු බාධාවකින් තොරව නිෂ්පාදන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය  පහසුකම් සම්පාදනය සහතික කිරීම සඳහා ආන්ඩුව, කොවිඩ්-19 කාර්ය සාධක බලකාය සහ අදාල සියලුම ආයතන” සමග අපනයන සංවර්ධන මන්ඩලය “සමීපව කටයුතු කරමින් සිටින” බව එහි සභාපති සුරේෂ් ද මෙල් අප්‍රේල් අග මාධ්‍යට පැවසීය..

ලෝකයේ අනෙකුත් සියලු රටවල ධනපති පාලක පන්තීන් අනු යමින් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමනු ලැබ ඇත්තේ මාරක “නව සාමාන්‍යය” හෙවත් කොරෝනා සමග ජීවත් වීමේ පිලිවෙතයි. 

සමස්ත දිවයින අගුලු දැමීමකට යටත් කලහොත් තම ඉලක්කයන් ජය ගැනීම අර්බුදයට යන බව රාජපක්ෂ ආන්ඩුව දනී. පසුගිය වසරේ මාර්තු මාසයේ සති කිහිපයක්ද පමනක් සීමිත අගුලු දැමීමක් ක්‍රියාත්මක කලේ වැඩෙමින් පැවති මහජන විරෝධය අවමන්ගත කිරීමටයි. 

ආන්ඩුවට සහ හාම්පුතුන්ට සාපේක්ෂ ශක්තියක් ලැබී ඇත්තේ ආන්ඩුවේ නියෝජිතයන්, හාම්පුතුන් හා වෘත්තීය සමිති එකතුවක් වූ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායට සම්බන්ධ වෙමින් ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සමිති සම්මේලනය හා ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු වාත්තීය සමිති ලබාදුන් සහයෝගයෙනි. ඔවුහු හාම්පුතුන් සහ ආන්ඩුව යෝජනා කල දැවැන්ත වැටුප් සහ දීමනා කප්පාදුවට මෙන්ම, වසංගතය මධ්‍යයේම කම්හල් විවෘතකොට පවත්වාගෙන යාමට එකඟවූහ.

හාම්පුතුන් ආරක්ෂා කරමින් මෙම මස මුලදී කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කලේ කම්කරු දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව, හාම්පුතුන්ට වැටුප් කප්පාදු කිරීමට සහ “වන්දි ගෙවා” රැකියා අහෝසි කිරීමට හැකියාව ඇති බව යි.

ලෝසවෙඅ සහ සමාජවාදී සමානතා පක්ෂය ඇඟලුම් ඇතුලු සෙසු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිති වලින් ස්වාධීන, තීරනාත්මක අරගලයක් සූදානම් කිරීම පිනිස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය යන්නයි.

Loading