අහනාෆ් ජසීම් කවියා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට පුලුල් සහායක් ගොනුවෙයි

'අන්තවාදී අදහස් අඩංගු කාව්‍ය ග්‍රන්ථයක් ලියා පල කිරීම', 'දරුවන්ට අන්තවාදී මත ඉගැන්වීම' යන සාවද්‍ය චෝදනා මත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුනු තරුන කවිවර අහ්නාෆ් ජසීම් පොලීසිය විසින් රඳවා තබා ගෙන මැයි 16 දිනට වසරක් සපිරුනි. මේ දක්වා ජසීම් නීති ප්‍රකාරව අධිකරනයකට ඉදිරිපත් කර නැතුවා පමනක්  නොව ඔහුට එරෙහිව කිසිදු අධිචෝදනාවක් ඉදිරිපත් කිරීමට ද පොලිසියට නොහැකිව ඇත.

අහ්නාෆ් ජසීම්

අහ්නාෆ්ට තම දෙමව්පියන් හමු වීම වලකා ඇති අතරම නිසි නීතීඥ සහායක් ලබා ගැනීම අහුරා ඇත. පසුගිය මස මැද සිට දකුනේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයකට යවා ඇති ඔහුට කිසිදු පුවත්පතක් හෝ පොතක් ලබා ගැනීමට හෝ කියවීමට අවකාශය නැත. ආරක්ෂක ඇමති වශයෙන් බලයේ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රැඳවුම් නියෝග යටතේ ඔහු රඳවා ගෙන සිටින ත්‍රස්ත විරෝධී සහ විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී), පොලීසියේ චෝදනා පිලිගන්නා තෙක් රඳවා තබා ගන්නා බවට තර්ජනය කර තිබේ.

පසුගිය මස මැද, කවියා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කලෝ ය. කවියාගේ අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම සම්බන්ධ බරපතල කරුනු ගනනාවක් එය හෙලි කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව හෝ අන්තවාදී මත ප්‍රචාරය කිරීම හෝ ඉගැන්වීම සම්බන්ධව කවියාට කිසිම ආකාරයේ සම්බන්ධයක් නොමැති බවත් පොලීසියේ සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන බවත්  පෙත්සම දක්වා සිටී. අත්අඩංගුවට ගෙන වසරක් ගතවුවද පොලීසිය අහ්නාෆ්ට එරෙහිව කිසිදු පිලිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නැත. පොලිසිය ඔහු තවදුරටත් රඳවාගෙන සිටින්නේ තම ව්‍යාජ චෝදනා සනාථ කිරීමට බලහත්කාරය යොදා කවියාගෙන්  වරද පිලිගැනීමේ ප්‍රකාශයක් ලබා ගැනීමේ අරමුනෙනි.

රැඳවුම්භාරයේ සිටියදී පුද්ගලයන් වද බන්ධනයට ලක්කර ලබාගන්නා ප්‍රකාශ ඔවුනට එරෙහිව සාක්ෂි ලෙස ආවේශ කිරීමට ඉඩ සලසන පීටීඒ යටතේ පාස්කු ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් 700ක් පමන මුස්ලිම් පුද්ගලයන් ද, ඔවුන් අතරින් තවදුරටත් රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම උතුරේ දෙමල ජනයාට එරෙහිව ගෙන ගිය තිස් අවුරුදු වර්ගවාදී සිවිල් යුද්ධය තුලදී අත්අඩංගුවට ගත් දෙමල තරුනයන් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා පොලීසියේ ක්‍රියා කලාපය අතිශය කුප්‍රකට ය. යුද සමයේ අත්අඩංගුවට ගැනුනු ඇතැම් දමිල තරුනයන් වසර 15ක් පමන ගතවීත් මේ දක්වා රඳවාගෙන ඇත. 

කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය වෙත කවියාට එරෙහිව කරුනු වාර්තා කරමින් ටීඅයිඩීය, අහ්නාෆ් විසින් 'මුස්ලිම් අන්තවාදී ක්‍රියා සඳහා පුද්ගලයන් යොමු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම සහ එම තොරතුරු ආරක්ෂක අංශ වෙතින් වසන් කිරීම යන ක්‍රියාවන් තුලින් ශ්‍රී ලංකාව තුල සංහිඳියාවට බාධාවක් ඇති කිරීමෙන් හා මහජන සාමයට උපද්‍රවයක් වන ක්‍රියාකාරකම් වල නිරත වී' ඇති බව දක්වමින් පීටීඒ හි 3(අ), 3(ආ), 5(අ), 5(ආ) වගන්ති යටතේ ද, තවත් කුප්‍රකට මර්දන පනතක් වන  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනතේ (අයිසීසීපීආර්) 3(1) (2) වගන්ති යටතේ ද වැරදි කර ඇති බවට චෝදනා නගා ඇත. මහා අධිකරනයක නඩු විභාගයකින් මෙම චෝදනා ඔප්පු කරනු ලැබුවහොත් අහ්නාෆ්  අඩුතරමින් වසර විස්සක සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන රම්සි රසීක්, පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් මහජනතාවට එරෙහිව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ගෙන ගිය මුස්ලිම් විරෝධී වර්ගවාදී උසිගැන්වීම් හෙලා දකිමින් ෆේස්බුක් සමාජ මාධ්‍යය තුල කරනු ලැබු විවේචන හේතුවෙන් අත්අඩංගුවට ගෙන මාස පහකට වැඩි කාලයක් රඳවා තබා ගැනුනේ එකී අයිසීසීපීආර් පනත යටතේ ය. ඇප පිට නිදහස්ව සිටින නමුදු, ආන්ඩුව ඔහුට එරෙහි නඩු තවමත් හකුලාගෙන නැත.

කවියාගේ රඳවා තබා ගැනීම සම්බන්ධව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පසුගිය දෙසැම්බර් 20 දින පල කල ලිපියක් මගින් මෙම අත්අඩංගුවට ගැනීමට පසුබිම් වූ දේශපාලන කරුනු විග්‍රහ කරනු ලැබීය. ලිපිය , 'අහ්නාෆ් නොකඩවා රඳවා තබාගැනීම වනාහි රාජපක්ෂ ආන්ඩුවේ අඛන්ඩ මුස්ලිම් විරෝධී දඩයමෙහි සහ ප්‍රකාශන නිදහසට එරෙහි ප්‍රහාරවල කොටසකි', යනුවෙන් පැහැදිලි කලේ ය. 

අහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම දක්වන්නේ 'පාස්කු ඉරිදා ප්‍රහාර වලින් ප්‍රයෝජන ගැනීමටත්, මොහොමදාන් ඇදහිල්ලේ පුරවැසියන්ට එරෙහිව දුෂ්ඨ ජාතිවාදී උද්ඝෝෂනයක් පෝෂනය කිරීමටත්, එමඟින් රටේ ජනතාව බෙදීමට හා පාලනය කිරීමටත්'  අහ්නාෆ්  අත්අඩංගුවට ගැනීමට බලපෑ දේශපාලන හේතු බව ය.

කවියා වහා නිදහස් කිරීමේ නියෝගයක්ද, ඔහුව රඳවාගැනීමෙන් පසු සිදුකරනු ලැබූ ශාරීරික හා මානසික පීඩාවන් සඳහා මිලියන 100ක වන්දියක් ද ආරක්ෂක ඇමති, පොලිස්පති හා නීතිපති ඇතුලු වගඋත්තරකරුවන්ගෙන් අයකරදීමේ නියෝගයක් ද  පෙත්සමෙන් ඉල්ලා තිබේ.

කවියා සිරගත කර ගත වු පසුගිය වසරක කාලය තුල රාජපක්ෂ ආන්ඩුව මුස්ලිම් මහජනයාට එරෙහි මෙම වර්ගවාදී ප්‍රහාරය උත්සන්න කරමින් ප්‍රධාන මුස්ලිම් නායකයන් කිහිප දෙනෙක්ම පීටීඒ යටතේම අත්අඩංගුවට ගත් අතර මුස්ලිම් සංවිධාන ගනනාවක් තහනම් කලේය. මුස්ලිම් කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් වන බුර්කාව සහ නිකාබ් ද තහනම්  කිරීමේ නීති දැන් සූදානම් කෙරෙමින් පවතී. 

අත්අඩංගුවට ගන්නා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගෙන ජනාධිපති රාජපක්ෂ මාර්තු මාසයේ පීටීඒ පනතට රැඩිකලීකරනය වැලැක්වීම නමින්  නව නීති ඇතුලත් ගැසට් පත්‍රයක් නිකුත් කලේය. ඒ අනුව වසර දෙකක් දක්වා තම දේශපාලන ප්‍රතිවාදින් ඇතුලු අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනිමේ උපක්‍රමයක් නීතිගත කෙරී ඇත.

කොරෝනා වසංගතය මධ්‍යයේ උත්සන්න වන ආර්ථික අර්බුදය තුල ලුහුටන ආන්ඩුව, මහජනතාවට එරෙහි මිලිටරීකරනය, පොලිස් ඝාතන හා සෝදිසි කන්ඩායම් පුලුල් කිරීමේ වැඩසටහන් ඉහලට ගනිමින්  ද, 'ව්‍යාජ' ප්‍රවෘත්ති මැඩලීමේ නමින් ෆේස්බුක් ගිනුම් ලක්ෂ ගනනින් තහනම් කිරීමට සැලසුම් කරමින්  ද, ප්‍රාදේශීය මට්ටමේ මාධ්‍යවේදීන් හා උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගනිමින් ද, දෙමල ජනයාට එරෙහි විෂඝෝර වර්ගවාදී ප්‍රකෝපකරනයන් දියත් කරමින් ද තම මර්දන යාන්ත්‍රනය ශක්තිමත් කරමින් සිටී. 

මහජනතාවගේ ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ රැකීමට කැපවී සිටින ආන්ඩුව  අත්‍යවශ්‍ය  නොවන  ආර්ථික අංශ අගුලු දැමීම, අත්‍යවශ්‍ය  සේවයේ යෙදෙන කම්කරුවන්ට පරිපූර්න සෞඛ්‍යාරක්ෂාව සැලසීම ඇතුලු  වැඩපිලිවෙලකට මුලුමනින්ම  විරුද්ධව සිටි. ආන්ඩුවේ මෙම සාපරාධී ප්‍රතිපත්තියට, ජීවන කොන්දේසි කප්පාදුවට, වරාය ඇතුලු ආයතන පුද්ගලීකරනයට සහ පරිසර විනාශය ආදියට එරෙහිව පිලිබඳ බරපතල විරුද්ධත්වයක් මතුවෙමින් පවතින බව වතුකරය, සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, තැපැල් විදුලි ආදී අංශවල පැන නැගුනු අරගලවලින් පෙන්නුම් කෙරී ඇත. ජනාධිපති ආඥාදායකත්වයක් සකසමින් සිටින රාජපක්ෂ ආන්ඩුවේ වර්ගවාදී හා මිලිටරිවාදී සූදානම ඉලක්ක කෙරී ඇත්තේ මෙම අරගල තලා දැමීමට ය. 

රාජපක්ෂ ආන්ඩුවේ ඉහත ප්‍රහාරයන් කිසිවක් හුදෙක් එයට පමනක් අනන්‍යවූවක් නොව එය ජාත්‍යන්තර ප්‍රපංචයකි. වසංගතයෙන් ගැඹුරු වී ඇති ගෝලීය ධනපති ආර්ථික අර්බුදය මධ්‍ය යේ ඇමරිකාව, චිලිය, බ්‍රිතාන්‍ය ය, ප්‍රන්සය, ජර්මනිය සිට ඉන්දියාව දක්වා ආන්ඩු කම්කරුවන්ගේ අරගලවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඒකාධිපති පාලන තන්ත්‍ර තහවුරු කිරීම ලෙසිනි. 

කවියාගේ නිදහස, ප්‍රකාශනයේ හා කලාවේ නිදහස හෝ අන් කවර ප්‍රජාතන්ත්‍රී ය අයිතියක් හෝ ධනපති අධිකරන මගින් තහවුරු කෙරෙන්නේ නැත. ඒවා සාක්ෂාත් වනු ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයෙන් මෙහෙයවනු ලබන කම්කරු පන්තික නායකත්වය කේන්ද්‍රකරගත් පුලුල් දේශපාලන උද්ඝෝෂනයක කොටසක් ලෙස පමනි.

මෙම උද්ඝෝෂනයන් සංවිධානය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලිකත්වය සහ මගපෙන්වීම යටතේ පිහිටවූ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) කවිවිර අහ්නාෆ් ආරක්ෂා කරමින් පසුගිය සෙනසුරාදා දියත් කල මහජන පෙත්සමට පුලුල් සහයෝගයක් ලැබෙමින් පවතී. 2019 වසරේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගෙන සිව් මසක් සිරගත කර සිටි ලේඛක ශක්තික ශත්කුමාර නිදහස් කරගැනීම සඳහා සසප හා කප්‍රනිආක බලගතු උද්ඝෝෂනයක්  ගෙන ගියේය. 

පෙත්සම දියත් කර ගතවූ දින කිහිපය තුල ඊට 700ක් ඉක්මවා අත්සන් තැබීමෙන් පුලුල් ගොනුවීම පෙන්නුම් කෙරී ඇත. අහ්නාෆ් වහා නිදහස් කරන ලෙස ආරක්ෂක ලේකම්, පොලිස්පති හා නීතිපති වෙත යොමුකර ඇති පෙත්සමට  අත්සන් තබන ලෙස ද කවියා ආරක්ෂා කිරීමේ ලිපි එවන ලෙසද ක්‍රියාකාරී කමිටුව කැඳවුම් කර ඇත. 

මෙම උද්ඝෝෂනයට සමගාමීව, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය,  පෙන් සංවිධානය, හියුමන් රයිට් වොච් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන 13ක් පොදු ප්‍රකාශයක් නිකුත් කරමින් අහ්නාෆ් වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා 'බලධාරීන්ට'  බල කර තිබේ. 

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩබිම්, කම්කරු නිවහන් පෙදෙස් හා ස්වකීය ක්ෂේත්‍රයන් තුල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ගෙන යන අරගලයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස, අහ්නාෆ් හා අනෙකුත් කලාකරුවන්, මාධ්‍යවේදීන් හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයන් ආරක්ෂා කිරීමේ, ප්‍රකාශනයේ හා කලාවේ නිදහස ආරක්ෂා කිරීමේ සටන ගන්නා ලෙස අපි ඉල්ලමු. 

සමාජවාදී පිලිවෙත් මත පදනම්ව  මෙම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එක්සත් අරගලයක් දියත් කිරීමට පෙරට එන ලෙස රට තුලත් ජාත්‍යන්තරවත් කම්කරුවන්ට, තරුනයන්ට  ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන සියලු දෙනාට සසප ඇරයුම් කරයි.  මෙම අරගලයේ කොටසක් ලෙස කවියා ආරක්ෂා කිරීම සඳහා දියත් කර ඇති මහජන පෙත්සමට අත්සන් තබමින් කප්‍රනිආක ගොඩනැගීමට සම්බන්ධ වන ලෙස සසප ඉල්ලා සිටියි.

ඔන්ලයින් පෙත්සමට මෙම සබැඳිය හරහා පිවිසෙන්න:
Petition · Secretary, Ministry of Defence of Sri Lanka: අහ්නාෆ් ජසීම් කවියා ආරක්ෂා කරනු! · Change.org

Loading