ඉතිහාසයේ මෙම සතිය: ජූනි 07-13

[‍මෙය 2021 ජූනි 07 වැනි දින This week in history: June 7-13 යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වසර 100කට පෙර: ඩී.එච්. ලෝරන්ස්ගේ නවකතාවක් වන Women in Love (ආදරයෙන් බැඳුනු ගැහැනුන්) ප්‍රකාශයට පත් වේ

1921 ජුනි 10 වන දින එංගලන්තයේ මාටින් සෙකර් (Martin Secker) විසින් ඩී.එච්. ලෝරන්ස්ගේ නූතනවාදී සම්භාව්‍ය නවකතාවක් වන Women in Love (ආදරයෙන් බැඳුනු ගැහැනුන්) ප්‍රකාශයට පත් කොට වෙලඳපොලට නිකුත් කලේය. ලෝරන්ස් එම නවකතාව ලියා අවසන් කලේ 1916 දී වුව ද එහි එන ලිංගිකත්වය පිලිබඳ ඍජු සාකච්ඡාව නිසා බොහෝ ප්‍රකාශකයන් එය පලකිරීම ප්‍රතික්ෂේප කලහ.

නවකතාව එහි චරිත වන බ්‍රැන්ග්වන් සහෝදරියන් එනම් ගුරුවරියක වන උර්සුලා සහ චිත්‍ර ශිල්පිනියක වන ගුඩ්‍රින් සහ ඔවුන්ගේ සහකරුවන් වන පාසල් පරීක්ෂක රූපට් බර්කින් සහ ගල් අඟුරු ආකරයක හිමිකරුවකු වන ජෙරල්ඩ් ක්‍රිච්ගේ චිත්තවේගීය හා ලිංගික සම්බන්ධතා ගැන අවධානය යොමු කරයි. එම චරිත ඔස්සේ දේශපාලනය හා සදාචාරය සහ එකිනෙකා සමඟ එකිනෙකට වෙනස් හා සමහර විට ප්‍රචන්ඩකාරී වන සම්බන්ධතා ගැන සාකච්ඡා කෙරී ඇත.

නවකතාව දශක ගනනාවක් තිස්සේ විවාදයට බඳුන් වී ඇත්තේ එහි එන කාන්තාවන් දෙදෙනාගේ සහ පොදුවේ කාන්තාවන්ගේ මානසික තත්ත්වයන් ප්‍රබල ලෙස හා අවංකව විදහා දක්වයි ද යන්න සම්බන්ධයෙනි. එනමුත්, එම නවකතාව, අභ්‍යන්තර ජීවිතය තුල ගනුදෙනුව ගැන පෙර නොවූ විරූ පෙරලිකාරී ආකාරයකින් විග්‍රහ කරන බව දැක ගත හැක. එක් විචාරකයෙක් සඳහන් කලේ ලෝරන්ස්ගේ “විචිත්‍රවත්, කඩිමුඩියේ වහ වහා ලිවීමේ ශෛලිය හැඟීම්වල නැවුම්බව ග්‍රහනය කොට ඒවා මනසෙහි පැලපදියම් කරයි.' යනුවෙනි.

පොත 1920 දී එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත් කරන ලද්දේ සීමිත ඇමරිකානු සංස්කරනයක් ලෙස, පෙර ඇනවුම් කරන අය වෙනුවෙන් පමනි. නමුත් එංගලන්තයේ පුලුල් පාඨකත්වයකට පොත පල කර ගැනීමට ලෝරන්ස්ට දුෂ්කර විය. 1920 දී ම, සෙකර් විසින්, වාරනය කරන ලද සංස්කරනයක් නිකුත් කිරීමට යෝජනා කල අතර, ප්‍රකාශකයා ලෝරන්ස්ගෙන් ඉල්ලා සිටියේ “පිටපත තුල කොටස් දෙකක් හෝ තුනක් කපා හරින ලෙස හෝ ඒවා නැවත ලියන ලෙස” යි. ලෝරන්ස් එය ප්‍රතික්ෂේප කලේය. ඉන් පසු සෙකර් එහි පිටපත් 1,500 ක් පමනක් ප්‍රකාශයට පත් කල අතර පිටපත් කීපයක් විචාරකයන්ට යැවී ය.

එම පොත තවමත් ප්‍රශංසාව හා කෝපය ජනනය කරමින් සංසරනය වේ. එක් දක්ෂිනාංශික සඟරාවක් මෙසේ ලිවීය, “එය අසභ්‍ය පිලිකුල් දෙයකි. පොලිසිය මේ ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතු ය.” අසභ්‍ය නීතිය ඉදිරියේ පොත අභියෝගයට ලක් නොවුනත්, ලෝරන්ස් දැන හඳුනන අයෙක්, කතාවේ එක් චරිතයක් තමන් මත පදනම් වූ බවට චෝදනා කරමින් අපහාස නඩුවක් ගොනු කලේ ය. ලෝරන්ස් සමහර ඡේද නැවත ලියූ අතර මුදල් ගෙවීමකට එකඟ වී නඩුව සාමදාන කර ගත්තේ ය.

ලෝරන්ස්ගේ පසුකාලීන නවකතාවක් වන Lady Chatterley’s Lover (චැටර්ලි ආර්යාවගේ පෙම්වතා, 1928) හි සම්පූර්න කෘතිය ප්‍රකාශයට පත් වූ විට එය ප්‍රසිද්ධ අසභ්‍ය නඩු විභාගයකයට හේතුකාරක වෙමින්, එය පල කල පෙන්ගුයින් පොත් ප්‍රකාශකයන්ට එරෙහිව 1959 දී බ්‍රිතාන්‍යයේ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ නඩුවක් පැවරිනි.

Loading