ජැකොබින් සඟරාව ස්පාඤ්ඤ විප්ලවයේ ස්ටැලින්වාදී අලුගෝසුවා වූ දොලොරෙස් ඉබාහුරි වර්නනා කරයි

පලමු කොටස

[මෙහි පලවන්නේ Jacobin glorifies Dolores Ibárruri, Stalinist executioner of the Spanish Revolution යන මාතෘකාව යටතේ 2020 දෙසැම්බර් 23 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

‍| 1 කොටස | 2 කොටස |

ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා - ඩීඑස්ඒ) සමග සමීප ව සම්බන්ධ ජැකොබින් සඟරාව, “ලා පැසියානාරියා, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ වීරවරිය” නමැති ලිපියක් දෙසැම්බර් 9 වැනි දා පලකලේ ය. ලිපියේ කතුවරයා වන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ පෝල් ප්‍රෙස්ටන් විසින් “ආදර්ශමත් සිවිල් යුද්ධ වීරවරියක් හා විශ්වීය මිහි-මවක් වැනි චරිතයක්” ලෙස අධික උනන්දුවකින් විස්තර කරනු ලබන දොලොරෙස් ඉබාහුරිගේ උත්පත්තියේ 125 වන සංවත්සරය සැමරීම ලිපිය පල කිරීමට නිමිත්ත විය.

මෙම ලිපිය ඓතිහාසික මුසාකරනයේ, දේශපාලනික වසං කිරීමේ හා ස්ටැලින්-යුගයට ආවේනික චරිතවලට ව්‍යාජ ප්‍රශංසා වැයීමේ සම්ප්‍රදායේ අභ්‍යාසයකි. ඉබාහුරිට සහ ස්ටැලින්ගේ මිනීමරුවන්ට සුදු හුනු ගෑමට ස්ත්‍රීවාදී නැඹුරුවක් සම්පාදනය කරන දෙවන ලිපියක් (ලීසා ඒ. කර්ශෙන්බෝම් විසින් ලියන ලද “ලා පැසියානාරියා, විරෝධය දක්වමින් පිටුවහලේ සිටි ස්පාඤ්ඤ ෆැසිස්ට්-විරෝධයේ ශ්‍රේෂ්ඨතම කථිකාවිය”) ද මෙය සමග අත්වැල් බැඳ ගත්තේ ය.

කෘති කිහිපයක් තුල ම විස්තාරනය කෙරෙන, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය (1936-1939) පිලිබඳ ප්‍රෙස්ටන්ගේ ස්ටැලින්වාද-ගැති ඉදිරිපත් කිරීම, 1937 මැයි 3 හා මැයි 8 අතර බාසිලෝනා කම්කරුවන්ගේ ‘මැයි දිනවල” කැරලි ගැසීම “අපකීර්තිමත්” යයි ජැකොබින්හි තම ලිපිය තුල ඔහු විසින් සම්පින්ඩන්ඩනය කරනු ලැබ ඇත.

ස්පාඤ්ඤ කම්කරු පන්තියේ වඩාත් ම සටන්කාමී කොටස වූ බාසිලෝනා නිර්ධන පන්තියේ මහා වැඩ වර්ජනය, ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂය (පීසීඊ) සහ ස්පාඤ්ඤය තුල ස්ටැලින්ගේ එන්කේවීඩී/ජීපීයූ ක්‍රියාකාරිකයන්ගේ පෙලඹවීම මත ධනේශ්වර සමූහාන්ඩුවාදී මහජන පෙරමුනු ආන්ඩුව විසින් දැනුවත් ව අවුලුවාලන ලදී. මිලිටරි කුමන්ත්‍රනයේ නායක ජනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ හා ඔහුගේ ජර්මානු සහචරයා වූ හිට්ලර්ගේ ට්‍රොට්ස්කිවාදී හා අරාජකවාදී ඒජන්තයින් යයි චෝදනාවට භාජනය කරන ලද තැනැත්තවුන්ට එරෙහි ව, “සමූහාන්ඩුව ආරක්ෂා කිරීමේ” නාමයෙන් මිනීමරු මර්දනය දියත් කිරීම සාධාරනීකරනය කිරීම පිනිස එලෙස සිදුකරන ලදී.

අවම වසයෙන් සටන්කාමී කම්කරුවන් 1,000ක් වත් මරා දමමින් බාසිලෝනා නැගී සිටීම මර්දනය කිරීමෙන් පසුව, ට්‍රොට්ස්කිවාදීන්, මාධ්‍යමික පූමයේ (එක්සත් මාක්ස්වාදී කම්කරු පක්ෂයේ) ස්ටැලින්වාද-විරෝධී සටන්කාමීන් සහ ජාතික කම්කරු සම්මේලනයේ (සීඑන්ටී) අරාජික-සින්ඩිකල්වාදීන් ඉලක්ක කරගත් ත්‍රස්තයේ, වධබන්ධන පැමිනවීමේ හා ඝාතනය කිරීමේ මාස ගනනක් ගත විය. ජාත්‍යන්තර වාම විපාර්ශවයේ ස්පාඤ්ඥ ශාඛාවේ හිටපු නායකයා වූත්, පූමයේ ප්‍රධානියා වූත්, අන්ද්‍රේස් නින් ස්ටැලින්වාදී මැරයන් විසින් මරා දමනු ලැබීමට පෙර අත්අඩංගුවට ගෙන දරුනු වධ බන්ධනයන්ට බඳුන් කරන ලදී. ස්ටැලින්වාදීන් විසින් විප්ලවය පාවාදෙනු ලැබීමට එරෙහි ව ට්‍රොට්ස්කිවාදී බලවේග රැලි කරගැනීම පිනිස මැයි දිනවලින් පසුව ස්පාඤ්ඤයට යවන ලද ට්‍රොට්ස්කිගේ ලේකම් වූ අර්වින් වුල්ෆ් මහා පරිමාන විරේකයේ තවත් ගොදුරක් විය.

මැයි දිනවල බාසිලෝනාවේ කම්කරුවන්ගේ නැගී සිටීම (Libcom.org)

1937 ජුනි හා ජූලි මාසවල දී, ක්‍රෙම්ලිනය හා පීසීඊය විසින් දේශපාලනික ව පාලනය කරන ලද මැඩ්රිඩ්හි මහජන පෙරමුනු ආන්ඩුව, පූමයේ පාලනය යටතේ පැවති කම්කරු මිලීෂියාවන් සහ ඇරගන් හා උවෙස්කා පෙරමුනුවල ස්ථානගත කරනු ලැබ සිටි අරාජිකවාදීන් දියකර හැරියේ ය. විප්ලවයේ කොඳු නාරටිය බිඳ දැමීම හා ඉන් ප්‍රතිඵල වූ ලේවැකි විරේක කිරීම සිදු කරමින්, බාසිලෝනා කම්කරු පන්තිය ස්ටැලින්වාදීන් විසින් මර්දනය කරනු ලැබීම, ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදාවල ජයග්‍රහනය සුරක්ෂිත කරමින් අවසානයේ 1939 මාර්තු 31දා සමූහාන්ඩුවාදී ආන්ඩුවේ කොන්දේසි විරහිත යටත් වීම සමගින් අවසානයකට ගෙන එනු ලැබී ය.

1940 අගෝස්තුවේ මෙක්සිකෝවේ දී ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කල රේමන් මර්කාඩර් නමැති ජීපීයූ ක්‍රියාකාරිකයා, ස්පාඤ්ඤයේ මහජන මර්දනය සමයේ ස්ටැලින්වාදී ඝාතකයෙකු ලෙස පුහුනු විය.

ජැකොබින් ලිපිය තුල මේ කිසිවක් පිලිබඳ ව සඳහනක් පවා කරන්නේ නැත. ස්පාඤ්ඤ කම්කරුවන්ගේ හා දුගී ගොවීන්ගේ විප්ලවවාදී නැගී සිටීම සහ ස්ටැලින්වාදීන් හා මහජන පෙරමුනු ආන්ඩුව විසින් එම නැගිටීම ලේවැකි ලෙස මර්දනය කිරීම යන දෙක ම නො තකා හරිනු ලැබේ. ධනේශ්වර සමූහාන්ඩුවාදී ආන්ඩුවේ සියලු වාමාංශික විරුද්ධවාදීන් ෆ්‍රැන්කෝගේ හා හිට්ලර්ගේ ඒජන්තයන් ලෙස අපකීර්තියට ලක්කිරීම මත පදනම් වෙමින් ට්‍රොට්ස්කිවාදීන් හා අනෙකුත් ස්ටැලින්වාද-විරෝධී සටන්කාමීන් ව දියකර හැරීමේ දී ඉබාහුරි ඉටුකල ප්‍රමුඛ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ම ය.

ඉබාහුරි වෙනුවෙන් තබා තිබෙන විකිපීඩියා සටහන තුලින්, යමෙක් සිද්ධීන් පිලිබඳ වඩා නිරවද්‍ය හා අවංක ඉදිරිපත් කිරීමක් සොයාගනී. ස්පාඤ්ඤයේ ස්ටැලින්ගේ ප්‍රධාන ජීපීයූ ඒජන්තයා වූ ඇලෙක්සැන්ඩර් ඔර්ලොව් “(1936-38) සමයේ (සෝවියට් සංගමය ඇතුලත) මහා විරේකයේ දී යොදාගත්, ත්‍රස්තයේ, දෙබිඩි භාවයේ හා රැවටීමේ විධික්‍රම ම යොදාගත්තේ ය” යි එය සටහන් කරයි.

බාසිලෝනාවේ මැයි නැගී සිටීම මර්දනය කරනු ලැබීමෙන් පසුව, ඉබාහුරි “මිහි මව” දේශනයක දී සිදු කල පහත සඳහන් ප්‍රකාශය එය උපුටා දක්වයි:

දීර්ඝ කාලයක් තිස්සේ ට්‍රොට්ස්කිවාදීහු ෆැසිස්ට්වාදයේ, ජර්මානු ගෙස්ටාපෝවේ (නාසි රහස් පොලීසියේ) ඒජන්තයන් බවට පරිවර්තනය වී ඇත. කැටලෝනියාවේ මැයි කුමන්ත්‍රනනය සමයේ සටන් බිම මත අපි මෙය දැක්කෙමු; අනෙකුත් විවිධ තැන්වල හටගත් කඩාකප්පල්කාරී වැඩ තුල අපි මෙය පැහැදිලි ව දැක්කෙමු ... යමෙක් විෂකුරු වල්පැලෑටි උදුරා දමන ආකාරයට අපේ පක්ෂයේ නිර්ධන පන්තික සාමාජිකයන් අතුරින් ට්‍රොට්ස්කිවාදය උදුරා දමනු ලැබිය යුතු ය. වන සිවුපාවුන් මෙන් ට්‍රොට්ස්කිවාදීන් ව උපුටා දමා අහවර කල යුතු ය.

දොලෝරේස් ඉබාහුරි ( Historica Wiki - Fandom)

මහජන පෙරමුනු සමූහාන්ඩුව ෆ්‍රැන්කෝට යටත් වීමට කෙටි කලකට පෙර ස්පාඤ්ඥයේ සිට ගුවන් යානයකින් පලා ගිය ඉබාහුරි, වසර බොහෝ ගනනක් සෝවියට් සංගමය තුල පිටුවහලේ සිටිමින් පීසීඊයට නායකත්වය දුන්නා ය. ක්‍රෙම්ලිනයේ ප්‍රතිවිප්ලවවාදී ආස්ථානය දිගට ම ප්‍රචාරය කල ඇය, සමූහ ඝාතකයාගේ මරනය තෙක් ම ස්ටැලින්ගේ අභිවාදනයට අනුබල දුන්නා ය. 1939 ස්ටැලින්-හිට්ලර් ගිවිසුමටත්, 1940 ගනන්වල හා 1950 ගනන් මුල දී ජීපියූව සිදු කල පිටුවහලේ සිටි පීසීඊ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමටත් ඇය සහයෝගය දුන්නා ය. ෆ්‍රැන්කෝගේ මරනයෙන් පසු 1977 දී පෙරලා ස්පාඤ්ඤයට පැමිනි ඇය, ෆැසිස්ට් අපරාධකරුවන්ට සමාව ප්‍රදානය කලා වූත්, ඔවුන්ගේ ධනය හා බලය දිගට ම තබා ගැනීමට අවසර දුන්නා වූත්, නව ධනේශ්වර රාමුවක් ස්ථාපිත කිරීමට සහභාගි වූවා ය.

ජැකොබින් සඟරාව ඉබාහුරිට කැප කල එහි වර්නනාව ලිවීම සඳහා මහාචාර්ය ප්‍රෙස්ටන් තෝරා ගැනීම දේශපාලනික ව දැනුවත් තීන්දුවක් විය. 2009 අප්‍රේල් මාසයේ දී ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනයෙහි 70වන සංවත්වසරය සැමරීම සඳහා බ්‍රිතාන්‍ය ඇකඩමිය පැවැත්වූ සාකච්ඡා මන්ඩපයක් මෙහෙයවූයේ ප්‍රෙස්ටන් විසිනි. කැටලෝනියාවේ පූම් බල ඇනියක සාමාජිකයෙකු ලෙස ජෝර්ජ් ඕවල්ගේ පුද්ගලික අත්දැකීම් මත පාදක ව ස්පාඤ්ඤය තුල ස්ටැලින්වාදී අපරාධ පිලිබඳ ව ලියන ලද ඍජු ‍හෙලිදරව්වක් වන හෝමේජ් ටු කැටලෝනියා කෘතියට එරෙහි ව පහර එල්ල කරමින් මහාචාර්යවරුන් වන ඒන්ජල් වීන්යස් හා හෙලන් ග්‍රෑම් විසින් කල ඉදිරිපත් කිරීමකට තානය සැපයූවේ ප්‍රෙස්ටන් ය. ඉන්පසු ප්‍රෙස්ටන් ශ්‍රාවකය අතර සිටි බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකාවක ප්‍රශ්නයක් ඇසීමෙන් වැලැක්වීමට උත්සාහ දැරී ය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය කම්කරුවන්ගේ හා දුගී ගොවීන්ගේ සමාජ විප්ලවයක් සමග සමපාත වූ බව සාකච්ඡා මන්ඩපයේ සාමාජිකයන් විසින් නො තකා හල බවට ඇය කල අවධාරනයට ප්‍රතිචාර දැක්වූ ප්‍රෙස්ටන්, ස්පාඤ්ඤ විප්ලවය යනු “වඩාත් ම ආන්තික ටැබ්ලොයිඩ් අතිශයෝක්තියක්” යයි සඳහන් කලේ ය.

ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සිද්ධීන් සවිස්තර ව සලකා බැලීම මෙහි දී කල නො හැක. එහෙත්, සමූහාන්ඩුවට විරුද්ධ ව 1936 ජූලි 18දා ෆ්‍රැන්කෝ දියත් කල මිලිටරි කුමන්ත්‍රනය, ආරම්භක අවධීයේ දී රටේ බොහෝ ප්‍රදේශවල දී පසු බැස්ස වූයේ, ධනේශ්වර ආන්ඩුව නො ව කම්කරු පන්තිය යන්න ඓතිහාසික ව වාර්තාගත සත්‍යයකි.

මිලිටරියේ අතිමහත් බහුතරය සහ ධනේශ්වරයේ වඩාත් තීරනාත්මක කොටස් ෆ්‍රැන්කෝ පිටුපස පෙල ගැසුනෝ ය. ෆැසිස්ට්වාදීන් සමග මංමුලා සහගත ලෙස එකඟතාවක් සොයමින් සිටි සමූහාන්ඩුවාදී ආන්ඩුව, පලමුව බාසිලෝනාවේ ද ඉන්පසු රටපුරා නගර හා ගම්මාන තුල කම්කරුවන් නැගී සිට දේවල් තමන්ගේ ම අතට ගත් විට මුල දී කම්කරුවන්ට ආයුධ සැපයීම ප්‍රතික්ෂේප කලේ ය.

මූලික උපයෝගීතාවන් හා සන්නිවේදන පහසුකම් මෙහෙයවීම පිනිස කමිටු තනා ගත් කම්කරුවෝ ෆැසිස්ට්වාදීන්ට එරෙහි ව සටන් වැදීමට තමන්ගේ ම භටකායන් තනාගත් හ. 1936 ජූලි 19දා ඇරඹුනු විප්ලවවාදී ව්‍යාපාරය, ද්වන්ද්ව බලයේ තත්ත්වයක් නිර්මානය කල අතර, එහි සැබෑ බලය තිබුනේ කම්කරුවන්ගේ හස්තයෙහි ය. එහෙත්, ඔවුන්ගේ පක්ෂ වූ සමාජවාදී පක්ෂය (පීඑස්ඕඊ), පීසීඊ, පූමය හා සීඑන්ටී යන සියල්ල, ලිබරල් ධනේශ්වරය නායකත්වය දුන් මහජන පෙරමුනු ආන්ඩුවට සහයෝගය දෙමින්, බලය කම්කරුවන්ගේ ම අතට ගැනීමෙන් වලකාලූ හ.

ස්ටැලින්වාදීන් විසින් පොලඹවන ලද ආන්ඩුව, ආර්ථිකයේ මූලිකාංග කම්කරුවන්ගේ ග්‍රහනයෙන් මුදා ගැනීමටත්, මහා ඉඩම් හිමියන්ගෙන් ඉඩම් අල්ලාගෙන තිබූ කැරලිකාරී ගොවීන්ව තලා දැමීමටත්, විප්ලවවාදී රැල්ල නාස්ති කිරීමටත් ආයාසය යෙදූ මාස ගනනක් ගත විය. බාසිලෝනා දුරකථන හුවමාරුවේ පාලනය යලි අත්පත් කරගැනීමට කැටලාන් ආන්ඩුව ගත් තීරනය හරහා මැයි දවස්වල සිද්ධීන් තුල මෙය කූටප්‍රාප්තියට ලඟා විය.

අන්ද්‍රේස් නින් (Alchetron.com)

ස්පාඤ්ඤයේ මහජන පෙරමුනු ආන්ඩුව මෙන් ම එය බිහිකල වසරේ ම බලයට පැමිනි ප්‍රන්ස මහජන පෙරමුනු ආන්ඩුව ද නියෝජනය කලේ, කොමින්ටර්නය 1935 දී පැවැත්වූ එහි හත්වන සමුලුවේ දී (ඉබාහුරි මෙයට සහභාගි වූවා ය) අනුමත කරන ලද පිලිවෙත ක්‍රියාවට දැමීම යි. 1933 දී හිට්ලර්ගේ බලයට පත්වීමට ස්ටැලින් ප්‍රතික්‍රියා කලේ, ජර්මානු කම්කරු පන්තියේ පරාජයට තුඩු දුන් අති-වාමාංශික පිලිවෙත් අතහරිමින්, “ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි පන්ති සහයෝගිතාවාදී මහජන පෙරමුනු” සඳහා කැඳවීම අනුමත කරමිනි.

බ්‍රිතාන්‍යය, ප්‍රන්සය හා එක්සත් ජනපදය යන බටහිර අධිරාජ්‍යවාදී බලයන්, ජර්මනිය හා ඉතාලිය යන ෆැසිස්ට් බලයන්ට එරෙහි ව සෝවියට් සංගමය සමග සන්ධානයකට පොලඹවා ගැනීමේ ප්‍රයත්නයක නියැලුනු ස්ටැලින්, ධනේශ්වරයේ ලිබරල් කොටස් විසින් නායකත්වය දෙන ධනපති ආන්ඩුවලට සහයෝගය දෙන ලෙසත් හැකි තැන්වල දී එම ආන්ඩුවලට සම්බන්ධ වන ලෙසත්, කොමියුනිස්ට් පක්ෂවලට නියෝග කලේ ය. 1924 දී ස්ටැලින් විසින් ප්‍රකාශයට පත් කල ප්‍රති-මාක්ස්වාදී ජාතිකවාදී “තනි රටේ සමාජවාදය” යන පිලිවෙතින් ගලා ආ, මහජන පෙරමුනු පිලිවෙතෙහි අර්ථය වූයේ, සමාජවාදී විප්ලවය ප්‍රායෝගික භාවිතාවේ දී අත හැර දැමීමයි. “ප්‍රජාතන්ත්‍රවාදය” සුරැකීමේ නාමයෙන්, ධනේශ්වර දේපොල ද මහජනයාගේ විප්ලවවාදී ව්‍යාපාරයට එරෙහි ව ධනපති රාජ්‍යය ද කොමියුනිස්ට් පක්ෂ විසින් ආරක්ෂා කරන ලදී.

“ප්‍රගතිශීලී” යි උපකල්පිත ධනේශ්වරයට කම්කරු පන්තිය යටත් කරන ලද අතර, සෝවියට් සංගමයේ පාලක නිලධරය විසින් අවබෝධ කරගත් රාජ්‍ය-තාන්ත්‍රික අවශ්‍යතාවන්ට කම්කරු පන්තියේ විප්ලවවාදී අභිලාෂයන් කැපකරන ලදී. ‍කම්කරු පන්තියේ අවශ්‍යා විසින් වෙනුවට, ෆැසිස්ට්වාදය විසින් ඍජු ව තර්ජනයට ලක් කල, 1917 විප්ලවය විසින් ස්ථාපිත කරන ලද දේපොල සබඳතා මත පදනම් වූ නිලධරයේ ම වරප්‍රසාද සුරක්ෂිත කරගැනීම මෙහි අරමුන විය.

බටහිර අධිරාජ්‍යවාදය සමග කල ගනුදෙනුවල දී, ස්ටැලින් විවෘත ව ම ලෝක විප්ලවය ප්‍රතික්ෂේප කලේ ය. ස්ක්‍රිප්ස්-හොවාඩ් පුවත්පත් සමාගමේ රෝයි හොවාඩ් සමග 1936 මාර්තුවේ කල සම්මුඛ සාකච්ඡාවක දී පහත දැක්වෙන සංවාදය ඇති විය:

හොවාඩ්: ඔබගේ මෙම ප්‍රකාශයෙහි අර්ථය වන්නේ, ලෝක විප්ලවය සිදුකිරීම පිලිබඳ සැලසුම් හා අභිලාෂයන් සෝවියට් සංගමය විසින් අත්හැර දමා ඇති බව ද?

ස්ටැලින්: අපට කිසිදිනක එවැනි සැලසුම් හා අභිලාෂයන් තිබුනේ නැහැ.

හොවාඩ්: ස්ටැලින් මහතානනි, ලෝකයේ බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් හැඟීමක් පවත්වාගෙන ගොස් ඇති බව ඔබ තේරුම් ගන්නවා ඇති.

ස්ටැලින්: මෙය වැරදි වටහා ගැනීමක නිෂ්පාදිතයක්.

හොවාඩ්: ඒ කියන්නේ ඛේදජනක වැරදි වටහා ගැනීමක් ද?

ස්ටැලින්: නැහැ, විහිලු සහගත එකක්. එහෙම නැත්නම්, සමහර විට, හාස්‍ය සහ ශෝකය යන දෙක ම මුසු වූවක්.

මහජන පෙරමුන සහ ස්පාඤ්ඤයේ ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවය

යුරෝපය පුරා හා ජාත්‍යන්තර ව කම්කරු පන්තිය විප්ලවය වෙතට තල්ලු කල ලෝක අවපාතයේ කොන්දේසි යටතේ, ප්‍රතිවිප්ලවයන් ක්‍රියාවට දැමීමේ දී කොමියුනිස්ට් පක්ෂ ධනේශ්වරය සමග එකමුතු වීම මහජන පෙරමුන ක්‍රියාවට දැමීම සඳහා අවශ්‍ය විය. ඔක්තෝබර් විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීමට සමා විරහිත ව හා දැනුවත් ව විරුද්ධ වූ ද එම විප්ලවය පදනම් වී තිබුනු ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගය සඳහා සටන් වැදුනා වූ ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, මෙම (මහජන පෙරමුනු) මූලෝපායෙහි ප්‍රධාන ඉලක්කය විය.

ජාත්‍යන්තර වේදිකාව මත ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී භූමිකාව, ස්පාඤ්ඥයේ දී එහි වඩාත් ම නග්න ප්‍රකාශය සොයාගත්තේ ය. (“ස්පාඤ්ඤයේ පාඩම්: අවසාන අනතුරු ඇඟවීම”) යනුවෙන් 1937 දෙසැම්බරයේ දී ලියූ ට්‍රොට්ස්කි මෙසේ විස්තර කලේ ය:

ස්පාඤ්ඤ මහජන පෙරමුනේ නැගීමට හා එහි අභ්‍යන්තර යාන්ත්‍රනයන් සඳහා හේතු සම්පූර්නයෙන් ම පැහැදිලි ය. වාම ධනේශ්වරයේ විශ්‍රාම ලත් නායකයන්ගේ කර්තව්‍යය සමන්විත වූයේ මහජනයාගේ විප්ලවය පිලිබඳ ගනන් බැලීම ද ඒ අනුව සූරාකන්නන්ගේ අහිමි වී ගිය විශ්වාසය යලි අත්කරගැනීම ද තුල ය. “සමූහාන්ඩුවාදීන් වන අපට ඒ දෙය ම කල හැකි නම්, ඔබට ෆ්‍රැන්කෝ අවශ්‍ය මන් ද?” මෙම කේන්ද්‍රීය කරුනේ දී (ස්පාඤ්ඤ ජනාධිපති) අසඥාගේ හා (කැටලෝනියා ජනාධිපති) කොම්පනිස්ගේ අවශ්‍යතා, “අරාජකත්වයට” එරෙහි ව “පර්යාය” ආරක්ෂා කිරීමේ දී තම හැකියාව ප්‍රන්ස හා බ්‍රිතාන්‍ය ධනේශ්වරයට ක්‍රියාවෙන් සනාථ කිරීම මගින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම අවශ්‍ය කල ස්ටැලින්ගේ අවශ්‍යතා සමග මුලුමනින් ම ගැලපුනි. කම්කරුවන් ඉදිරියේ ආවරනයක් ලෙස ස්ටැලින්ට අසඥා හා කොම්පනිස් අවශ්‍ය විය: සත්‍ය වසයෙන් ම ස්ටැලින් සමාජවාදය සඳහා පෙනී සිටී. එ මෙන් ම, සමූහාන්ඩුවාදී ධනේශ්වරය ඈත් කර නො ගැනීමට යමෙක් වගබලා ගත යුතු ය. විප්ලවවාදියෙකු ලෙස පිලිගැනීමක් තිබුනා වූත් අත්දැකීම් සහිත අලුගෝසුවෙකු ලෙසත්, ස්ටැලින්ව අසඥාට හා කොම්පනිස්ට අවශ්‍ය විය. ඔහු නොමැති ව එවන් අල්ප භට පිරිසක් විසින් කම්කරුවන්ට පහර දීම කල හැකි හෝ විය හැකි නො වනු ඇත. ...

වාම සමාජවාදියෝ සහ අරාජකවාදියෝ ද මහජන පෙරමුනට කොටු වුනු අය ද ප්‍රජාතන්ත්‍රවාදයෙන් රැකගත හැකි දෙය රැකගැනීමට උත්සාහ දැරූ බව සත්‍ය ය. එහෙත් මහජන පෙරමුනේ භටයන්ට එරෙහි ව මහජනයා බලමුලුගැන්වීමට ඔවුන් නිර්භීත නො වුනු තාක් කල්, ඔවුන්ගේ ප්‍රයත්න අවසානයේ විලාප නැගීම්වලට හා ලතෝනි දීම්වලට ලඝු විය. මේ අනුව ස්ටැලින්වාදියෝ අන්ත දක්ෂිනාංශය හෙවත් සමාජවාදී පක්ෂයේ ධනේශ්වර අංශය යයි ප්‍රසිද්ධ අයවලුන් සමග සන්ධානගත වී සිටිය හ. පූමය, අරාජකවාදීන් හා “වාම” සමාජවාදීන් ආදී වාමාංශයට, එනම්, වඩාත් ම දුරස්ථ ආකාරයකින් හෝ වේවා විප්ලවවාදී මහජනයාගේ පීඩනය පිලිබිඹු කල මාධ්‍යමික කන්ඩායම්වලට එරෙහි ව ඔවුහු ඔවුන්ගේ මර්දනය එල්ල කල හ. ...

වඩාත් ම අර්ථභාරී වන මෙම දේශපාලනික කරුන, පසුගිය වසර කිහිපය තුල කොමින්ටර්නයෙහි පිරිහීම පිලිබඳ මිනුමක් සම්පාදනය කරයි . ... මෙය නිශ්චිත ව ම ජාත්‍යන්තර තලයේ දී ස්ටැලින්වාදයේ ප්‍රති-විප්ලවවාදී ස්වභාවය තහවුරු කිරීමට ක්‍රියා කර ඇත. (ලියොන් ට්‍රොට්ස්කි, ස්පාඤ්ඤ විප්ලවය (1931-39), නිව් යෝක්, 1973, 310-11 පිටු)

මහජන පෙරමුනෙහි සාරය වන්නේ ධනේශ්වර ලිබරල්වාදය ජීපීයූව සමග පවත්වාගෙන යන සන්ධානය බව ට්‍රොට්ස්කි වෙනස් තැනක සම්පින්ඩනය කොට දැක්වී ය.

1930 ගනන් අග ලියොන් ට්‍රොට්ස්කි

ස්ටැලින්වාදයේ මහජන පෙරමුනු ක්‍රියා මාර්ගය තුල වූ භූ-දේශපාලනික සලකා බැලීම්, අභ්‍යන්තර ගැටලුවලට අඩුවෙන් වැදගත් වූවා නො වේ. ස්ටැලින්වාදී තන්ත්‍රය තියුනු ලෙස අර්බුද ග්‍රස්ත පාලන තන්ත්‍රයක් විය. ස්ටැලින් නායකත්වය දුන් නිලධරය, විප්ලවීය මාක්ස්වාදී පක්ෂයක් වූ බොල්ශෙවික්වරුන්ගේ නායකත්වය ලද කම්කරු පන්තිය දේශපාලන ජීවිතය තුලට සවිඥානික ව මැදිහත් වීම විසින් නිර්මානය කරන ලද කම්කරු රාජ්‍යයක ශරීරයේ හටගත් පරපෝෂිත පිලිලයක් විය.

දූෂිත හා විශ්වාස කල නොහැකි ප්‍රභූවක් විසින් කම්කරු පන්තියෙන් දේශපාලන බලය පැහැර ගැනීම අරබයා, ගැඹුරු හා සමහන් කල නො හෙන කෝපයකින් පසු වූ සෝවියට් කම්කරු පන්තියේ නැගී සිටීමක් කෙරෙහි නියත බියකින් යුතු ව පාලක නිලධරය ජීවත් විය. සියල්ලට ඉහලින් යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ දියුනු ධනපති රටවල් ඇතුලු ව ලෝකයේ ඕනෑම තැනක සාර්ථක නිර්ධන පන්තික විප්ලවයක්, සෝවියට් මහජනතාවගේ විප්ලවවාදී විශ්වාසය හා විඥානය ප්‍රානවත් කරනු ඇතැයි ස්ටැලින්වාදී පාලක කල්ලිය තියුනු ලෙස දැනුවත් විය. දේශපාලන විප්ලවයකින් නිලධාරී තාන්ත්‍රික පාලනය පෙරලා දමා, කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කොට ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය කරා ආපසු ඒම සඳහා ට්‍රොට්ස්කි ඉදිරිපත් කල ක්‍රියා මාර්ගය මහජන සහයෝගය දිනා ගනු ඇත යන බිය ඔවුනට විය.

1936 අගෝස්තු හා 1938 මාර්තු අතර කාලයේ, “මොස්කව් අවනඩු” යනුවෙන් ප්‍රකට බොරු නඩු තුනකින් යුත් නඩු මාලාවක්, ස්ටැලින් විසින් ක්‍රියාවට දමනු ලැබී ය. ඔක්තෝබර් විප්ලවයේ හා ලෙනින්ගේ බොල්ශෙවික් පක්ෂයේ නායකයන්ගෙන්, සෝවියට් සංගමය පෙරලා දමා ස්ටැලින් ඝාතනය කිරීමට නාසි ජර්මනිය සහ අනෙකුත් විදේශීය හා දේශීය හතුරන් සමග කුමන්ත්‍රනය කල බවට වධ බන්ධනයන්ට භාජනය කොට පාපෝච්ඡාරනයන් ලබා ගනු ලැබුනි. මෙම භයානක බොරු නඩු, ජාත්‍යන්තර කරලියේ දී මහජන පෙරමුනෙහි බැනරය යටතේ ක්‍රියාවට දමන ලද ප්‍රති-විප්ලවවාදී පිලිවෙත්වල දේශීය ස්වරූපය විය.

නෝර්වේ රාජ්‍යයේ හා පසුව මෙක්සිකෝවේ පිටුවහලේ ජීවත් වුනු, අනභිමුඛයෙහි වරදකරු කරනු ලැබ මරන දඬුවම නියම කරන ලද ලියොන් ට්‍රොට්ස්කි මෙහි ප්‍රධාන විත්තිකරුවා විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව “දේශපාලනික සංහාරයක්” ලෙස නම් කර ඇති, අව්‍යාජ සමාජවාදී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් බුද්ධිමතුන්, විද්‍යාඥයන් හා කලාකරුවන් මහා පරිමාන අත්අඩංගුවට ගනු ලැබීම්, මරා දමනු ලැබීම් හා වධක කඳවුරු වෙත පිටුවහල් කරනු ලැබීම් වසර ගනනක් පුරා ගෙන යනු ලැබීම තුලින් ඔවුන්ව මුලිනුපුටා දමන ලද “මහා ත්‍රස්තයේ” ප්‍රසිද්ධ මුහුනත වූයේ මෙම බොරු නඩු ය.

මහජන පෙරමුනට එරෙහි ව එක්සත් පෙරමුන

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන (1921) හා හතරවන (1922) සම්මේලනවල දී ලෙනින් හා ට්‍රොට්ස්කි හඳුන්වා දුන් “එක්සත් පෙරමුනු” උපායේ විස්තීර්නයක් ලෙස, ස්ටැලින්වාදීහු ඔවුන්ගේ මහජන පෙරමුනු පිලිවෙත ව්‍යාජ ව ඉදිරියට දැමූ හ. මහජන පෙරමුන වනාහි, සමස්තයක් ලෙස ධනේශ්වරයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියේ සියලු කොටස් එකමුතු කිරීම පිනිස විප්ලවීය මාක්ස්වාදී පක්ෂය ගන්නා ආරම්භකත්වයක් වූ එක්සත් පෙරමුනට යතාර්ථයේ දී අත්‍යන්තයෙන් විරුද්ධ, පන්ති සහයෝගිතාවාදී පිලිවෙතක් විය.

එක්සත් පෙරමුනු උපායේ පදනම වූයේ, ධනපති පන්තියේ සියලු කන්ඩායම්වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සාධා ගැනීමයි. ලෙනින් හා ට්‍රොට්ස්කි යටතේ කොමින්ටර්නය විසින් විස්තාරනය කරන ලද හා ජර්මනිය තුල ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේ දී ට්‍රොට්ස්කි විසින් සටන් වැදුනු එක්සත් පෙරමුන සහ ස්ටැලින්ගේ මහජන පෙරමුන අතර වෙනස වූයේ, විප්ලවය හා ප්‍රති-විප්ලවය අතර වෙනස යි.

1930 ගනන්වල සිට අද දින දක්වා සෑම කල්හි ම, අවස්ථාවාදී හා සංශෝධනවාදී ප්‍රවනතා විසින් ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයන්ට ද ධනපති-ගැති වෘත්තීය සමිති නිලධරයන්ට හා ධනේශ්වර ලිබරල්ලුන්ට කරනු ලබන දේශපාලන අනුගත වීම්, “එක්සත් පෙරමුනු” උපාය ක්‍රියාවට දැමීමක් ලෙස ආවරනය කිරීමට උත්සාහ දැරී ඇත. මෙම වචන හරඹ විජ්ජාව, කම්කරුවන්ගේ අරගල ව්‍යාකූල කිරීමටත් ඒවායේ හුස්ම හිර කිරීමටත් ආධාර පිනිස යොදවා ගනු ලැබේ.

ප්‍රමුඛ වසයෙන් විප්ලවවාදී නායකත්වයන්ගේ අපරිනත භාවය හා අත්වැරදි හේතුවෙන්, 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරු ව යුරෝපීය නිර්ධන පන්ති විප්ලවයන්ගේ ආරම්භක රැල්ල පරාජයට පත්වීමෙන් අනතුරු ව එලඹුනු කාලය තුල, ලෙනින් හා ට්‍රොට්ස්කි කොමියුනිස්ට් පක්ෂ එක්සත් පෙරමුනු උපායට අනුගත කරගැනීමට සටන් වැදුනෝ ය. යුරෝපීය ධනවාදයේ අතිශය බිඳෙනසුලු හා තාවකාලික ප්‍රතිස්ථාපනයේ කොන්දේසි යටතේ, රාජ්‍ය බලය සඳහා අරගලය දියත් කිරීමට පෙර මහජනයාගේ අනුගාමිකත්වය දිනා ගැනීම පිනිස තුන්වන ජාත්‍යන්තරයේ පක්ෂ කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරනය කල හ.

මේ සඳහා, ෆැසිස්ට්වාදීන්ගේ හා ධනපති රාජ්‍යයේ ප්‍රහාරවලට එරෙහි ව කම්කරුවන්ගේ සංවිධාන රැකගැනීමේ සුවිශේෂී ඒකාබද්ධ ක්‍රියා දියත් කිරීම සහ මූලික සමාජ ඉල්ලීම් දිනා ගැනීමට අරගල කරනු පිනිස, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, ප්‍රතිසංස්කරනවාදී හා අරාජික-සින්ඩිකල්වාදී වෘත්තීය සමිති කොමියුනිස්ට් පක්ෂ හා එක්සත් පෙරමුනකට කැඳවන ලෙස විශේෂයෙන් ම ප්‍රන්සයේ හා ජර්මනියේ පක්ෂවලට ඔවුහු උපදෙස් දුන් හ. එවන් එක්සත් පෙරමුනුවලට එලඹීමේ පූර්ව කොන්දේසි වූයේ කොමියුනිස්ට් පක්ෂවලට පූර්න සංවිධානාත්මක නිදහසත්, එක්සත් පෙරමුනේ අනෙකුත් කම්කරු සංවිධාන විවේචනය කිරීමේ නිදහසත් ය.

මහජන කම්කරු පන්තික සංවිධාන අතර ඒකාබද්ධ ක්‍රියා සඳහා වන එකඟතාවක් ලෙස එක්සත් පෙරමුන අර්ථ දක්වන ලදී. බැනර කලවම් කරගැනීමක් හෝ මාක්ස්වාදයේ විප්ලවීය ක්‍රියා මාර්ගය දියාරු කිරීමක් ඉන් අදහස් කෙරුනේ නැත. සටන් පාඨය වූයේ “වෙන් ව ගමන් කරනු එක් ව පහර දෙනු” යන්න යි.

1922 මාර්තුවේ “එක්සත් පෙරමුන පිලිබඳ ව” නමැති ප්‍රවාදයන්හි දී, ට්‍රොට්ස්කි ප්‍රන්සය තුල එක්සත් පෙරමුනු උපාය ගැන මෙසේ ලිවී ය:

කම්කරු පන්තිය තුල පවතින ‘වාම සභාගයේ’ -එනම්, ධනේශ්වරයේ එක් කොටසකට විරුද්ධ ව කම්කරුවන් හා ධනේශ්වරයේ සමහර කොටස් අතර සන්ධානයක- මනෝගතීන්ට හා අදහස්වලට ප්‍රතික්‍රියා දැක්වීමේ වඩාත් ම විශ්වාසදායක ක්‍රමවලින් එකක් වන්නේ, සමස්ත ධනේශ්වරයට එරෙහි ව කම්කරු පන්තියේ සියලු කොටස් අතර සන්ධානයක් පිලිබඳ අදහස අප්‍රතිහත ව සහ නිර්භීත ව ඉදිරියට දැමීම යි. (මුල් කෘතියේ අවධාරනය) (ලියොන් ට්‍රොට්ස්කි, Marxists Internet Archive )

කිසිදු ආකාරයක දේශපාලන සමාව භජනය කිරීමක් වෙනුවට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ තීරනාත්මක කොටස් කොමියුනිස්ට් පක්ෂයට දිනා ගැනීමේ ක්‍රියාවලියේ දී, මෙම උපාය යොදා ගන්නා විප්ලවවාදී පක්ෂය ක්‍රියාවේ දී ද සමස්ත කම්කරු පන්තියේ ඇස් ඉදිරිපිට ද නායකත්වය සම්පාදනය කිරීමට සහ පන්තිය ආරක්ෂා කරගැනීම පිනිස තීරනාත්මක තීන්දු ගැනීමටත් ප්‍රතිසංස්කරනවාදී නායකත්වයන්ගේ වැනීම් හා යටත් වීම් අනාවරනය කිරීමටත් ඇති සූදානම් සහිත බව ප්‍රදර්ශනය කරනු ඇත.

ජර්මානු කොමියුනිස්ට් පක්ෂ නායක අර්න්ස්ට් තැල්මාන් (විකිපීඩියා)

1930 සැප්තැම්බර් තරම් පූර්ව කාලයේ දී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ව “සමාජ ෆැසිස්ට්වාදීන්” ලෙස හංවඩු ගසා ඔවුන් සමග කිසිදු ඒකාබද්ධ වීමක් ප්‍රතික්ෂේප කල අති-වාම “තුන්වන කාල පරිච්ඡේද” පිලිවෙත අත්හැර, නාසිවාදයේ වැඩෙන උමතුවට එරෙහි අරගලය තුල කම්කරු පන්තිය එකමුතු කරන එක්සත් පෙරමුනු උපාය අනුගමනය කරන ලෙස, ස්ටැලින්වාදී අත් ඔසවන්නන් විසින් ආනුභාවය දැරූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය අතරේ ට්‍රොට්ස්කි උද්ඝෝෂනය කලේ ය. ගැඹුරු වන අවපාතයේ හා නැගෙන විරැකියා භාවයේ කොන්දේසි යටතේ පැවැත්වූ ජාතික මැතිවරනයෙන් පසු ව, නාසීන්ගේ ඡන්ද ප්‍රමානය සියයට 16කට ආසන්න ප්‍රමානයකින් වැඩි වූ තතු තුල, ට්‍රොට්ස්කි සහ ඔහුගේ ජර්මානු ආධාරකරුවෝ මේ පිලිවෙත ඉදිරියට දැමූ හ.

ෆැසිස්ට් ජයග්‍රහනයක අනිවාර්යතාව ඉරනම්වාදී ලෙස පිලිගැනීමක් ප්‍රකාශයට පත්කල අති-වාම පූච්චානමක් ද, ඒ හා බද්ධ ව කට්ටිවාදී ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයට අනුගත වීමක් ද පිටුපස සැඟවෙමින් ස්ටැලින් හා ජර්මානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වය මෙම පිලිවෙත ප්‍රතික්ෂේප කල හ. මෙහි ප්‍රතිඵලය වූයේ ට්‍රොට්ස්කි යලි යලිත් අඟවා තිබුනු පරිදි, ජර්මානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට ව්‍යසනකාරී පරාජයකි.

මතු සම්බන්ධයි.

Loading