ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීම

ඔන්ලයින් රැස්වීම: ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අහ්නාෆ් ජසීම් තරුන ශ්‍රී ලාංකික කවියා නිදහස් කරනු!

අහ්නාෆ් ජසීම් නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයෙහි කොටසක් ලෙස කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) ජූලි 18 වැනි ඉරිදා පස්වරු 7ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. 26 හැවිරිදි කවියා ශ්‍රී ලංකාවේ රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස වසරකට වැඩි කාලයක් මුලුල්ලේ රඳවනු ලැබ සිටී.

අහ්නාෆ්ට එරෙහි ව විධිමත් චෝදනා ගොනු කිරීමට පවා පොලිසිය අසමත් ව ඇත. ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) ඔහුට 'සිසුන්ට වර්ගවාදය හා අන්තවාදය ඉගැන්වීම සහ ඒ පිලිබඳ පොත් පල කිරීම' සම්බන්ධයෙන් ව්‍යාජ චෝදනා නඟා තිබේ.

ටීඅයිඩී පරීක්ෂනයට පදනම් ව ඇති අහ්නාෆ්ගේ කාව්‍ය සංග්‍රහය නවරසම් (රස නවය) 2017 දී ප්‍රකාශයට පත් කෙරුනකි. එය කිසිදු අධිකරනයක් මඟින් තහනම් කරනු ලැබ නැත. සත්තකින් ම එම කෘතිය අයිඑස්අයිඑස් සංවිධානය හෙලා දකින අතර, සාමය, සමාජ එක්සත්කම හා වර්ගවාද විරෝධය ප්‍රවර්ධනය කරන්නකි

අහ්නාෆ් අත්අඩංගුවට ගැනීම හා රඳවාගැනීම කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සඳහා ඇති ප්‍රජාතන්ත්‍ර අයිතියට එල්ල කෙරුනු ප්‍රහාරයකි. එය විසකුරු මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයෙහි මෙන් ම රටේ දෙමල සුලුතරයට එරෙහි ප්‍රජාගනවාදී උසිගැන්වීම්වල කොටසක් ද වෙයි. මෙය ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් දිරිගන්වනු ලබන අතර එහි අරමුන වැඩිවැඩියෙන් අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය බෙදීම යි.

මෙම මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය තීව්‍ර කරමින් ආන්ඩුව මුස්ලිම් දේශපාලකයින් ගනනාවක් සමඟ මානව හිමිකම් ක්‍රියාධර හා නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට පියවර ගති. මේ අත්අඩංගුවට ගැනීම්, අයිඑස්අයිඑස් සංවිධානයේ සහාය ඇතිව ඉස්ලාම් මූලධර්මවාදී කන්ඩායමක් විසින් සිදු කරන ලද 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරවලට අත්තනෝමතික අන්දමින් සම්බන්ධ කරනු ලැබ තිබේ.

ආන්ඩුවේ මේ ක්‍රියාවන් කම්කරු පන්තියේත් ජනගහනයේ වෙනත් ස්තරවලත් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන පුලුල් පරිමාන ප්‍රහාරයක කොටසකි. මෑත මාසවල, පොලිසිය මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවලට එරෙහි බියවැද්දීම් හා පහර දීම්වල නිරත ව තිබේ.

රැස්වීමක කවියක් ඉදිරිපත් කරන අහ්නාෆ් ජසීම් [මූලාශ්‍රය: යූටියුබ්]

මේ ප්‍රහාර සිදු වන්නේ, කෝවිඩ් 19 වසංගතය විසින් උත්සන්න කෙරුනු දේශපාලන හා සමාජ අර්බුදයක් මැද, රාජපක්ෂ ආන්ඩුව මිලිටරියේ සහ සිංහල වර්ගවාදී කන්ඩායම්වල පිටුබලය සහිත ජනාධිපති ආඥාදායකත්වයක් තර කිරීම කරා වේගයෙන් පියවර තබමින් සිටින අතර ය.

ආන්ඩුවට ආයාචනා කිරීමෙන් අහ්නාෆ්ගේ නිදහස අත්පත් කරගත නොහැකි ය. ඊට ප්‍රතිපක්ෂව කප්‍රනිආක රැස්වීම, ශ්‍රී ලංකාව තුල හා ලොව වටා කම්කරුවන්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් අගයන සියලු දෙනා ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත ගොනු කරගනිමින් පෙරට ගෙන යන පුලුල් දේශපාලන අරගලයක් සඳහා වැඩපිලිවෙලක් සාකච්ඡා කරනු ඇත.

රැස්වීමට සක්‍රිය ව සහභාගී වන මෙන් ද, කප්‍රනිආක වෙත බැඳී රට පුරා එහි ශාඛා පිහිටුවමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා අරගයට එක් වන මෙන් ද අපි කම්කරුවන්ට, තරුනයන්ට, ශිෂ්‍යයින්ට හා කලාකරුවන්ට ආරාධනය කරන්නෙමු. රැස්වීමට මෙතැනින් ලියාපදිංචි වෙන්න.

Loading