ඉදිරිදර්ශන

ඇෆ්ගන් රූකඩ තන්ත්‍රයේ බිඳවැටීම: එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරාජයක්

මෙය The fall of the Afghan puppet regime: A historic debacle for US imperialism යන මැයෙන් 2021 අගෝස්තු 15 පලවූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද රූකඩ තන්ත්‍රය හදිසියේ බිඳ වැටීම, ඇමරිකානු අධිරාජ්‍යවාදය ලැබූ නින්දිත පරාජයකි. එයින් සලකුනු වූයේ බොරුව මත පදනම්ව ප්‍රවර්ධනය කල සාපරාධී යුද්ධය සහ වාඩිලාගැනීම් ඔස්සේ අටවන ලද මෙන්ම ඝාතන, වධහිංසා සහ සිවිල් වැසියන්ට බෝම්බ දැමීම තුලින් පවත්වාගෙන ගිය පාලන තන්ත්‍රයක බිඳවැටීමයි.

ඇෆ්ගනිස්ථාන පාලනයට මුක්කු ගැසීම සඳහා නාවික භට කන්ඩායම් දෙකක් සහ එක්සත් ජනපද හමුදා බලඇනියක් කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිනෙන බව පෙන්ටගනය ඉරිදා උදෑසන නිවේදනය කලේය. ඇෆ්ගනිස්ථානයේ රූකඩ ජනාධිපති අෂ්රෆ් ඝානි වීඩියෝ පටයක් තුලින් 'නීතිය හා සාමය' පවත්වා ගන්නා ලෙස සිය පාලන තන්ත්‍රයේ ආරක්ෂක අංශ වෙත නියෝග කලේය.

කෙසේ වෙතත් තලේබාන් හමුදා, සිය වේගවත් ඉදිරි ගමනේදී කාබුල් නගරයට ආසන්නව කෙටි විරාමයකින් පසු, දිවා කාලයේදී ඇෆ්ගනිස්ථානයේ අගනුවර ප්‍රධාන මධ්‍යස්ථාන අල්ලා ගත්හ. රාත්‍රිය වන විට තලේබාන් බලධාරීන් වාර්තා කලේ, තමන් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන ඇති බවත්, ඉක්මනින් නව ආන්ඩුවක් පිහිටුවන බවත් නිවේදනය කරන බවයි. අපකීර්තිමත් නේටෝ බන්ධනාගාරය සහ වධ හිංසා මධ්‍යස්ථානය වූ බග්‍රෑම් ගුවන් කඳවුර තලේබාන් සංවිධානයට යටත් වූ අතර එහි රඳවා සිටි සිරකරුවන් 7000 ක් නිදහස් කෙරුනි.

එක්සත් ජනපද චිනූක් හෙලිකොප්ටරයක් 2021 අගෝස්තු 15 ඉරිදා, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට ඉහලින් පියාසර කරයි. (ඒපී ඡායාරූප / රහමත් ගුල්)

ඉරිදා දින ගෙවී යත්ම, ඝානි සහ ඔහුගේ ජාතික ආරක්‍ෂක උපදේශකවරයා රටින් පලා ගියහ. ඇමරිකානු වේලාවෙන් උදෑසන, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ, එක්සත් ජනපද නිලධාරීන් තානාපති කාර්යාලය අතහැර දමා කාබුල් ගුවන් තොටුපල කරා යන බවයි. නමුත් වොෂිංටනයට කාබුල් ගුවන් තොටුපලවත් පාලනය කරගත නොහැකි බව හා, කාබුල්හි එක්සත් ජනපද පුරවැසියන්ට සැඟවී සිටින ලෙසට උපදෙස් දුන් බව සවස් වන විට, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පිලිගැනීමට සිදු විය.

“වසර ගනනාවක එක්සත් ජනපද වැරදි ගනන් බැලීම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුල තලේබාන්වරුන් ප්‍රාදුර්භූත වේ” යන හිසින් නිව් යෝර්ක් ටයිම්ස් හි පලවූ ලිපියක: “තලේබාන්වරුන්ගේ ආක්‍රමනශීලී, මනාව සැලසුම් කල ප්‍රහාරය හමුවේ, ඇෆ්ගන් හමුදාවේ වේගවත් බිඳවැටීම නිසා තමන් තිගැස්සුන බව ජනාධිපති බයිඩන්ගේ ඉහල උපදේශකයෝ පිලිගනිති' යනුවෙන් සඳහන් විය. … 'ජුනි මස අග භාගයේ තරම් මෑතකදී බුද්ධි අංශ තක්සේරු කලේ, තලේබාන්වරුන් බලය ලබා ගත්ත ද කාබුල් නගරයට තර්ජනයක් එල්ල වීමට අවම වශයෙන් වසර එකහමාරක්වත් ගත වන බවයි.”

ඇත්ත වශයෙන්ම වොෂිංටනය සහ එහි නේටෝ සගයන් විසින් කයිවාරු ගසන ලද, ඇෆ්ගනිස්ථානයේ පිහිටුවන ලද “ප්‍රජාතන්ත්‍රවාදී” පාලනය දේශපාලන ශුන්‍යයකට සමාන විය. දස දහස් ගනන් නේටෝ භටයින් සහ එක්සත් ජනපද යුද ගුවන් යානා මගින් පමනක් එහි පවත්වා ගෙන ගිය බලය, එක්සත් ජනපද සහ නේටෝ හමුදා ඉවත් කර එක රැයකින්ම වාගේ අන්ත්‍රස්දාන විය.

ඔවුන් මෙතරම් විශාල වියදමක් දරා අටවන ලද පාලන තන්ත්‍රයේ හදිසි බිඳවැටීමකට ඇමරිකානු පාලක කවයන් සූදානම්ව නොසිටියේ නම් ඒ, ඔවුන් සැලකිය යුතු ප්‍රමානයකට තමන්ගේම ප්‍රචාරනයන් විශ්වාස කල බැවිනි. දශක දෙකක කාලය තුල කිසිදු ප්‍රධාන පුවත්පතක්, රූපවාහිනී ජාලයක් හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මෙම නව යටත් විජිත යුද්ධය අවංක භාවයේ අංශුවක් හෝ ඇතිව පරීක්‍ෂා කලේ නැත.

ඇෆ්ගනිස්ථාන යුද්ධයේ මානව හා සමාජ පිරිවැය ව්‍යසනකාරී ය. යුද්ධය අතරතුරදී ඇෆ්ගන් ජාතිකයින් 164,436 ක්, එක්සත් ජනපද සොල්දාදුවන් 2,448 ක්, එක්සත් ජනපද මිලිටරි කොන්ත්රාත්කරුවන් 3,846 ක් සහ සෙසු නේටෝ රටවල සොල්දාදුවන් 1144 ක් මිය ගිය බව නිල වශයෙන් ගනන් බලා තිබුන ද නිසැකවම මේවා දැවැන්ත ලෙස අඩුකර දක්වන ඉලක්කම්ය. ඇෆ්ගන් ජාතිකයින් ලක්ෂ ගනනක් ද නේටෝ භටයින් දස දහස් ගනනක් ද තුවාල ලැබූහ. එක්සත් ජනපදය පමනක් දරා ඇති මුලු පිරිවැය, ඩොලර් ට්‍රිලියන 2 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මුදල් වැයකර ඇත්තේ නය මඟින් නිසා ඒ සඳහා පොලී ගෙවීමට තවත් ඩොලර් ට්‍රිලියන 6.5 ක් වැය වනු ඇත.

අඩ සියවසකට පමන පෙර වියට්නාම් යුද්ධය අවසානයේ, සයිගොන් තානාපති කාර්යාලයේ වහලය මත සිට හෙලිකොප්ටර් යානාවලට ගොඩවුන එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ප්‍රසිද්ධ ඡායාරූප, ඊයේ සිදුවීම් වලදී අනිවාර්යයෙන්ම සිහිපත් වේ. කෙසේ වෙතත් ඒවායේ ඇඟවුම් සහ දේශපාලන ප්‍රතිවිපාක සලකා බලන කල, ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපදයේ පරාජය වඩා වැදගත් කමක් අත්කර ගනියි.

ඇෆ්ගන් ආන්ඩුවේ බිඳවැටීම, 1991 දී ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, ඇමරිකානු පාලක පන්තිය වැලඳ ගෙන සිටි මිත්‍යාමය සංකල්ප බිඳ දමයි. වොෂිංටනයේ ප්‍රධාන මිලිටරි ප්‍රතිවාදියාගේ අතුරුදහන් වීම, ඇමරිකානු පාලක පන්තිය විසින් සලකනු ලැබුවේ, සිය ගෝලීය පරිහානිය සහ දේශීය ප්‍රතිවිරෝධතා, බලය යොදාගෙන ජය ගැනීමට ලැබුන අවස්ථාවක් ලෙස ය. එක්සත් ජනපද මිලිටරි හා විදේශ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් විසින් 'ඒක ධ්‍රැවීය මොහොතක්' ප්‍රකාශයට පත් කරන ලද අතර, වෝල් වීදියේ අවශ්‍යතා වෙනුවෙන් එහිදී, එක්සත් ජනපදයේ අනභියෝගී බලය 'නව ලෝක පර්යායයක්' ගොඩනඟනු ඇතැයි සඳහන් කෙරුනි.

සෝවියට් සංගමයේ අවසන් බිඳවැටීමට පෙර, 1991 දී ඉරාකයට එරෙහි පලමු යුද්ධයේදී එක්සත් ජනපදය සහ එහි සගයන් ජයග්‍රහනය කිරීම, වෝල් ස්ට්‍රීට් ජර්නලය එකල ප්‍රකාශයට පත් කල පරිදි, 'බලය වැඩ කරයි' යන්නට උදාහරනයක් ලෙස නිරූපනය කරන ලදී. බොහෝ දුරට අනාරක්‍ෂිත රටකට සාපරාධී ලෙස බෝම්බ හෙලීමෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය, “වියට්නාම් ව්‍යාධියට සදහටම පයින් ගසා” ඇති බව ජනාධිපති ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ප්‍රකාශ කලේය. වසරකට පසුව 1992 දී පෙන්ටගනය, මූලෝපායික ලේඛනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, එක්සත් ජනපදයේ අරමුන මිලිටරිමය වශයෙන් 'දියුනු කාර්මික රටවල්, අපගේ නායකත්වයට අභියෝග කිරීමෙන් හෝ විශාල කලාපීය හෝ ගෝලීය කාර්යභාරයක් සඳහා උනන්දුවක් නොදක්වන ලෙස අධෛර්යමත් කිරීම' බවයි.

ක්ලින්ටන් පරිපාලනය යටතේ 1999 දී සර්බියාවට නේටෝව බෝම්බ හෙලන අවස්ථාවේදී, හරියටම එල්ලය බලා යැවිය හැකි එක්සත් ජනපදයේ යුද්ධෝපකරන (බෝම්බ, රොකට්, මිසයිල වැනි - පරිවර්තක) වල ආධිපත්‍යයෙන් ලෝක දේශපාලනය පරිවර්තනය කර, වොෂිංටනය අනභියෝගී ගෝලීය කෙරුම්කාරයෙක් ලෙස ස්ථාපිත කරනු ඇතැයි යන අලාමුලාව මතු විය. මෙම සංකල්පයන්ට ප්‍රතිචාර දක්වමින් ලෝසවෙඅ මෙසේ ලිවීය:

එක්සත් ජනපදය දැනට, ආයුධ කර්මාන්තය තුල 'තරඟකාරී වාසියක්' භුක්ති විඳිමින් සිටී. නමුත් මෙම වාසියට හෝ මෙම කර්මාන්තයේ නිෂ්පාදන වලට ලෝක ආධිපත්‍යය සහතික කල නොහැක. එහි ආයුධ වල සංකීර්නත්වය තිබියදීත්, ලෝක ධනවාදයේ කටයුතු වලදී එක්සත් ජනපද ප්‍රමුඛ කාර්යභාරයේ මුල්‍ය-කාර්මික පදනම, මීට වසර 50 කට පෙර තිබූ ප්‍රමානයට වඩා බෙහෙවින් දුර්වල ය. ලෝක නිෂ්පාදනය සඳහා එරට දරන දායකත්වය නාටකාකාර ලෙස පහත වැටී ඇත. එහි ජාත්‍යන්තර වෙලඳ හිඟය, සෑම මසකම ඩොලර් බිලියන ගනනින් ඉහල නඟියි. නිසි එල්ලයට දියත්කල හැකි අවි ආයුධ වන්දනාව, එනම්, ආයුධ තාක්‍ෂන ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වයට, ජාතික ශක්තියේ වඩාත් මූලික ආර්ථික දර්ශක මඟහරවා ජය ගත හැකිය යන අදහස, භයානක මුලාවකි.

චීනය, රුසියාව සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා වූ ගෝලීය ආක්‍රමන ව්‍යාපෘතියේ සන්දර්භය තුල, මධ්‍යම ආසියාව සහ යුරේසියාවේ 'ලෝක දූපත' පාලනය කිරීමේ එක්සත් ජනපද මූලෝපායයේ කේන්ද්‍රස්ථානය ලෙස ඇෆ්ගනිස්ථානයේ යුද්ධය සැලකුනි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව සිදුකල ආක්‍රමනය, දශක දෙකකට පෙර සෝවියට් සංගමය අස්ථාවර කිරීම සඳහා එක්සත් ජනපදයේම නිමැවුම් වූ, අල් කයිඩා සහ තලේබාන් සංවිධානයන්ට එරෙහි 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ' කොටසක් බවට ඉදිරිපත් කල තර්කය ලෝසවෙඅ ප්‍රතික්ෂේප කලේය:

ඇමරිකානු පාලක ප්‍රභූවේ දුරදිග යන ජාත්‍යන්තර අවශ්‍යතා ලුහුබැඳීම සඳහා එක්සත් ජනපද ආන්ඩුව, යුද්ධය සඳහා මූලිකත්වය ගත්තේය. යුද්ධයේ මූලික අරමුන කුමක්ද? දශකයකට පෙර සෝවියට් සංගමය බිඳවැටීම හේතුවෙන් මධ්‍යම ආසියාවේ දේශපාලන රික්තයක් ඇති විය. ලොව ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සංචිතවල දෙවන විශාලතම නිධි පිහිටා ඇත්තේ එහි බව සොයාගෙන ඇත. … ඇෆ්ගනිස්ථානයට පහර දී තමන්ට කීකරු පාලනයක් පිහිටුවීමෙන් සහ කලාපය තුලට දැවැන්ත හමුදා බල ඇනි ගෙන ඒම තුලින් එක්සත් ජනපදය, තම ආධිපත්‍යයට නතු නව දේශපාලන රාමුවක් ස්ථාපිත කිරීම අරමුනු කරයි.

2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කිරීමේදී පදනම් කරගත්තේ, මුළුමහත් එක්සත් ජනපද මාධ්‍ය විසින් ගොතන ලද මුසාවක් වන ඉරාක ආන්ඩුව සතුව ජන ඝාතක අවි ඇති අතර එවා අල් කයිඩා සංවිධානයට ලබා දෙනු ඇත යන බේගලයි. අනාරක්‍ෂිත ඉරාකයට සිදු කල අනපේක්ෂිත ප්‍රහාරය, යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ 1939 දී, නාසීන් සිදුකල පෝලන්තය ආක්‍රමනය හා සසඳමින්, ලෝසවෙඅ මෙසේ ලිවීය:

ආරම්භ වී ඇති ගැටුමේ ආරම්භක අවධියේ ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ව්‍යසනයක් සංකේතවත් කරනු ලබයි. එයට ලෝකය ජය ගත නොහැක. එයට මැද පෙරදිග ජනතාවට නැවත විජිත විලංගු දැමිය නොහැක. එහි අභ්‍යන්තර ව්‍යාධි සඳහා ශක්‍ය විසඳුමක් යුද්ධය මාර්ගයෙන් සොයා නොගනු ඇත. ඒ වෙනුවට, යුද්ධය විසින් ඇති කල අනපේක්ෂිත දුෂ්කරතා සහ වැඩි වන ප්‍රතිරෝධය, ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර කරනු ඇත.

මෙම වචන අද බලවත් ලෙස ප්‍රතිරාව නංවයි. එකට ගතහොත් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධ, ලිබියාව ආක්‍රමනය කිරීම සහ සිරියාවේ සීඅයිඒ විසින් ඇති කරන ලද සිවිල් යුද්ධය, මිලියන ගනනකට මරු කැඳවූ අතර සමස්ත සමාජයන්ම දෙදරවා හරිනු ලැබින. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනභියෝගී ගෝලීය ආධිපත්‍යය පිහිටුවීම වෙනුවට බොහෝ දුරට ඒවා තුඩු දී ඇත්තේ, යලි යලිත් සිදුවූ පරාජයන්ට ය. පලමු ගල්ෆ් යුද්ධයෙන් දශක තුනකට පසු ඉරාකයේ තත්වය, ඇෆ්ගනිස්ථානයටත් වඩා නරක ය.

ඇෆ්ගනිස්ථානය යනු ඇමරිකානු ධනවාදයේ සමස්ත මන්දිරයම ගරාවැටීම පිලිබඳ සංකේතයකි. එක්සත් ජනපද අයවැය හිඟය පියවා ඇති ඉලෙක්ට්‍රොනිකව මුද්‍රනය කල ඩොලර් ට්‍රිලියන ගනනක 'ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ' ව්‍යාජ ප්‍රාග්ධනය, බැංකු ඇපදීම් හරහා සුපිරි පොහොසතුන්ට පිරිනමා ඇත. එක්සත් ජනපද ධනවාදයේ ආර්ථික බුබුල පදනම් වූ ව්‍යාජ ප්‍රාග්ධනය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල “සුහුරු බෝම්බ” (“smart bombs”) සහ ඩ්‍රෝන් යානා මිනීමැරුම් වලින් පෙන්ටගනයට ලබා දුන් ව්‍යාජ බලයට අනුරූප වේ.

බරපතල අනතුරු ඇඟවීමක් කල යුතු ය: ඇමරිකානු පාලක ප්‍රභූවේ බලවත් කොටස් මෙම පරාජයට ප්‍රතිචාර වශයෙන් එකක් පරයා යන තව එකක් වන ඔලමොට්ටල හදිසි සැලසුම් සකස් කරමින් සිටින බවට සැකයක් නැත. ලොව දුප්පත්ම සහ යුද්ධයෙන් වඩාත් පීඩාවට පත් වූ රටක, සාමාන්‍ය ආයුධ වලින් සන්නද්ධ ඉස්ලාමීය ව්‍යාපාරයකට පැරදී විනාශ වූ කීර්ති නාමය හා විශ්වසනීයත්වය නැති කර ගැනීමට ඔවුන්ට කිසිදු අදහසක් නැත.

හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ සහ විශ්‍රාමික හමුදා ජෙනරාල් ඩේවිඩ් පෙට්‍රේස් සිකුරාදා ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී කල ප්‍රකාශය, තිරය පිටුපස පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය පෙන්නුම් කරයි. ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද තත්වය “ව්‍යසනකාරී” ලෙස හැඳින්වූ පෙට්‍රෙයස් ප්‍රකාශ කලේ: “මෙය විශාල ජාතික ආරක්‍ෂක පසුබෑමක් වන අතර, අපි සැබවින්ම සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරනය නොකලහොත් එය වඩාත් නරක අතට හැරෙනු ඇත.”

එක්සත් ජනපද හමුදාව සිය කීර්තිය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය තුල බොහෝ දේ පරදුවට තබා ඇති අතර එය, අධිරාජ්‍යවාදී යටත් කිරීම පිලිබඳ පුළුල් ව්‍යාපෘතියෙහි කොටසකි. මිලිටරි බලය තුලින් ලෝකය පාලනය කිරීමේ උත්සාහයෙන් ඇමරිකානු පාලක පන්තිය පසු නොබසිනු ඇති අතර එහි වත්කම රඳා පවතින්නේ ඒ මත ය.

වියට්නාමයේදී මෙන් නොව ඇමරිකානු පාලක පන්තියට, ඇෆ්ගනිස්ථානයේ සිදු වූ කුජීත වීම සම්බන්ධයෙන් තමන් යුද විරෝධී ව්‍යාපාරයක්ය යන පදනම මත පිහිටා මත දොස් පැවරිය නොහැක. 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' සහ 'මානව හිමිකම් අධිරාජ්‍යවාදය' කරේ තබාගත් ඉහල මධ්‍යම පන්ති සංවිධාන වල සහයෝගය ඇතිව, එක්සත් ජනපදය තුල පුලුල් පදනමක් සහිතව මතුවූ යුද්ධයට එරෙහි විරෝධය මර්දනය කර, ඩිමොක්‍රටික් පක්ෂය පිටුපසට යොමු කර ඇත. එය ද රිපබ්ලිකන්වරුන්ට නොඅඩු ලෙස වෝල් වීදියේ සහ මිලිටරියේ පක්ෂයකි.

කෙසේ වෙතත් වසංගතය කෙරෙහි පාලක පන්තියේ මිනීමරු ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ, මධ්‍යම ආසියාවේ සහ මැද පෙරදිග ජනතාව කෙරෙහි දක්වන නොතැකීම මෙන්ම, ප්‍රධාන ධනපති රටවල කම්කරුවන්ගේ ජීවිත ගැන ද පාලක පන්තියට තැකීමක් නැති බවයි. වසංගතය අඛන්ඩව පැතිරෙමින් තිබියදී කම්කරු පන්තියේ විරෝධය පෑම් වැඩිවෙමින් පවතී.

මෙම විරෝධය සමාජවාදය සඳහා සවිඥානක දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සමඟ වෙන්කල නොහැකි ලෙස බැඳී පවතී. ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද යුද්ධයේ සමස්ත සාපරාධී පරාජයේ මූලික පාඩම මෙයයි.

Loading