ක්ලිෆ් ස්ලෝටර්: දේශපාලන චරිතාපදානයක් (1928-1963) තෙවන කොටස

[මෙහි පලවන්නේ Cliff Slaughter: A Political Biography (1928–1963) - Part 3යන මැයෙන් 2021 අගෝස්තු 06දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ක්ලිෆ් ස්ලෝටර් දේශපාලනික චරිතාපදනය 1928 හා 1963 අතර කාල පරිච්ඡේදය අලලා ලියැවී ඇත. 1963 සිට ඔහුගේ මරනය දක්වා කාල පරිච්ඡේදය ආවරනය කරන දෙවන පරිච්ඡේදය මේ වසරේ අවසන් භාගයේ පලකරනු ඇත.

ක්ලිෆ් ස්ලෝටර්

පන්ති අරගලය, මාක්ස්වාදී න්‍යායය හා නව වම

“විට්සන්ටයිඩ් සම්මේලනයෙන්” යන්තම් මාස කිහිපයකට පසු ව පලවූ ලේබර් රිවීව් සඟරාවේ එම කලාපයේම, ස්ලෝටර් විසින් රචිත දීර්ඝ න්‍යායික රචනාවක් පලකෙරුනි. “‘නව වම’ හා කම්කරු පන්තිය” නමැති මෙම ලිපිය, සුවිශේෂී වැදගත්කමක් දරයි. කම්කරු පන්තියේ දෛනික අරගල තුලට කරන මැදිහත්වීම් පිලිබඳ ව සෝෂලිස්ට් ලේබර් ලීගයේ (එස්එල්එල්) අවධාරනයට යටින් පවතින දාර්ශනික සංකල්පයන්, එම ලිපිය තුල විදාරනය කෙරුනි.

ස්ලෝටර්ට අනුව, ඉස්මතු වෙමින් පැවති හා වඩ වඩා ජනප්‍රිය වූ “නව වමේ” දෘෂ්ටිවාදීන්ගේ හා න්‍යායාචාරීන්ගේ කේන්ද්‍රීය ලක්ෂනය වූයේ, ඉතිහාසයේ ගාමක බලවේගය වූ කලී පන්ති අරගලය යැයි යන ස්වකීය අවධාරනයෙන් මාක්ස්වාදය ඉවතට හැරවීමට ඔවුන් දැරූ ප්‍රයත්නය යි.

“අන් සියල්ල නොතකා, සියල්ලට පලමුව, හාම්පුතුන්ට එරෙහිව කම්කරුවන්ගේ අරගලය තීව්‍ර කල යුතු, “හාම්පුතුන් හා කම්කරුවන් ලෙස බෙදුනු ධනපති සමාජයක් පිලිබඳ අතිසරල මාදිලියකින්” හට ගැනෙන්නාවූ “අමනෝඥ සටන්කාමීත්වයක්” ගැන දේශනා කරමින් මාක්ස්වාදයේ යල්පිනූ ආධානග්‍රාහී රූපාකාරයක් ආරක්ෂා කරන්නේයැ'යි ලේබර් රිවීව් හා නිව්ස්ලෙටර් විවේචනයට ලක් කරන බව ස්ලෝටර් සටහන් කලේ ය. කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සාමාජිකයෙකු හා ඊ. පී. තොම්සන්ගේ මිත්‍රයෙකු වූ ද බ්‍රිතාන්‍යය තුල ඉස්මතු වෙමින් පැවති නව වමේ නායක නියෝජිතයෙකු වූ ද රැල්ෆ් (රෆායෙල්) සැමුවෙල්, “තීරනාත්මක දෙය වන්නේ ‘කාර්මික අරගලය නො වේ, තීරනාත්මක වන්නේ දේශපාලන බලය සඳහා සටනයි’ යනුවෙන් ජෙරී හීලිට මතක් කරමින්” කල “සිත්ගන්නාසුලු ප්‍රකාශයට” ඔහු අවධානය කැඳවී ය. ස්ලෝටර් තව දුරටත් මෙසේ සදහන් කලේය:

'බලය සඳහා අරගලයේ වැදගත්කම කරා නිශ්චිත ව ම අපි ආපසු පැමිනෙන්නෙමු; මඳකට අපි පන්ති අරගලයේ කාර්මික හා දේශපාලන අංශයන් හි අන්තර්-සම්බන්ධය සලකා බලමු. න්‍යායික හා ඓතිහාසික ප්‍රශ්නයක් වන මෙය, කම්කරු පන්තිය සන්නද්ධ කිරීම සඳහා බුද්ධිමතුන් අඛන්ඩව අභ්‍යාස කලයුතු එකකි. ...කාර්මික අරගලය පසෙකින් තබන්න, එවිට ඔබට අත ඉතිරි වනු ඇත්තේ කවර “දේශපාලනික” ක්‍රියාකාරීත්වයක් ද? ඒ පාර්ලිමේන්තුව ද? ඉංග්‍රීසි ඕඩය හරහා ප්‍රන්සය දෙස බලමින් අපි වෙව්ලමු.

'යුනිවසිටීස් ඇන්ඩ් ලෙෆ්ට් රිවීව් හා නිව් රීසනර් කවවල සමහරුන් ප්‍රකාශ කොට සිටින “මාක්ස්වාදයෙන්” ඉතිරිවන්නේ කුමක්දැයි දැකගැනීම තරමක් දුෂ්කර ය. මාක්ස්ගේ න්‍යායික සොයාගැනීම් හෝ නිගමනවලින් කිසිවක් හෝ තවමත් වලංගු ලෙස ඔවුන් සලකනවා ද? එසේ නම්, ඒ මොනවා ද? නැතහොත්, මාක්ස්ගේ විධික්‍රමය (අපෝහකය) පමනක් වලංගු ව පවතින බවත්, අද දින සමාජ යතාර්ථය එම විධික්‍රමය භාවිතා කරමින් මුලුමනින් ම නව සොයාගැනීම් ඉල්ලා සිටින බවත් ඔවුන් කියන්නේ ද? සත්‍ය වසයෙන් ම, මේ විවේචකයන් අතරින් බොහෝ දෙනෙකු , අපෝහකය යනු මාක්ස් නම් ඒ පැරැන්නාට මුලුමනින් ම ගසා දමා නිදහස් වී ගත නොහැකි වූ, හේගල්ගෙන් පැමිනි අතීත පසු බලපෑමක් ලෙස සලකමින්, මහන්තත්වයෙන් යුතුව ඒ පිලිබඳව සැකසහිත වෙතැයි යමෙකුට සැක පහල වේ. එසේනම් එවිට, ඉතිරි වන්නේ කුමක් ද?

'ධනපති සමාජයේ මූලික ප්‍රතිඝතිකතාව වන, සමාජීය නිෂ්පාදනය හා පෞද්ගලික ආත්මසාත්කරනය අතර පරස්පර විරෝධය පිලිබිඹු කරන, හාම්පුතුන්ට හා ඔවුන්ගේ රාජ්‍යයට එරෙහි කම්කරුවන්ගේ අරගලය, මාක්ස්ගේ අපෝහක විධික්‍රමය විසින් හෙලිදරව් කෙරෙන බව කීමෙන්, අපේ පැත්තෙන් අපි තවදුරටත් අප ව ම “අපකීර්තියට” පත්කර ගන්නෙමු. සත්‍ය වසයෙන් ම, මෙලෙස සඳහන් කිරීම, ධනවාදය ඇතුලත වෙනස්කම් පිලිබඳ සවිස්තරාත්මක හා තීව්‍රතර විමර්ශනයකට ආදේශකයක් නො වේ. නමුත් මේවා ධනවාදය ඇතුලත සිදුවන වෙනස්කම් වන අතර, ශ්‍රමය අභිබවා ප්‍රාග්ධනය දරන බලයෙහි ස්ථීර රාමුව ඇතුලත වෙනස්කම් සිදු වී ඇත යන කරුන සෑමවිට ම සිත් හි දරාගෙන ඒවා අධ්‍යයනයට භාජනය නො කල හොත්, එවන් අධ්‍යයනයක් පල රහිත වනු ඇත. පල රහිත යන්නෙන් අප අදහස් කරන්නේ හුදෙක් කම්කරු පන්තියට “ප්‍රායෝගික ව” පල රහිත යන්න පමනක් නො ව, විද්‍යාත්මක ව ද වටිනාකමක් නැත යන්න යි. ...

'ධනපති වර්ධනයේ සුවිශේෂී ඓතිහාසික ලක්ෂනයෙන්, නවීන පන්ති අරගලය ගලා එයි. ඔව්, කම්කරු පන්තිය ඇතුලත විවිධත්වයක් වර්ධනයක් වී තිබේ; ඔව්, නව “මධ්‍යම පන්තිවල” වර්ධනයක් තිබේ; ඔව්, ධනපති හිමිකාරීත්වය වඩා සංකීර්න ආකාරයන්ගෙන් පැතිර තිබේ. එහෙත්, මෙම වර්ධනයන්, මාක්ස්ගේ විධික්‍රමයේ සහ පන්ති සමාජය පිලිබඳ ව ඔහු කල කේන්ද්‍රීය සොයාගැනීමේ සාරය ලෙස ආරම්භයේ සිට ම හඳුනා නො ගෙන, ඒවා ඒවා සඳහා ම පවතින දේවල් ලෙස දැක ගන්නේ නම් ඒවායේ විමර්ශකයන් ඒවායේ සැබෑ ඓතිහාසික අර්ථභාරය වන පන්ති අරගලය සඳහා ඒවායේ අර්ථභාරය හඳුනාගැනීමට බොහෝ කල් ගනු ඇත. (53)

නව වම හා මාක්ස්වාදය අතර පවතින තීරනාත්මක බෙදුම් ලක්ෂ්‍යය හඳුනාගැනීම දක්වා ස්ලෝටර් ඉදිරියට ගියේ ය:

'මාක්ස්වාදය පිලිබඳ පූච්චානම් තිබියේ වුවත්, මාක්ස්වාදයෙන් ඉවතට තල්ලුවීම සංකේන්ද්‍රිත ව ඇත්තේ, පන්තිය පිලිබඳ සංකල්පය වටා ය. පන්ති ගැටුම ස්වකීය අරටුවෙහිම නොමැතිව පන්තිය වෙත ගන්නා කිසිඳු ප්‍රවේශයක් තුල මාක්ස්වාදයේ අංශුවකුදු නොපවතියි. මූලික වසයෙන් කම්කරු පන්තිය යන්න නිර්නය කරනු ලබන්නේ, තත්වයේ, ආදායමේ හෝ කිසිදු ආකාරයක රූපික සමාජීය ලක්ෂනවල පදනමෙන් නොව, ධනපති නිෂ්පාදනය තුල නිර්ධන පන්තියේ සුවිශේෂී ස්ථානය වෙතින් හට ගන්නා වූ හා නිරන්තරයෙන් වර්ධනය කරගනු ලබන්නා වූ ධනපති පන්තිය කෙරෙහි ඊට පවතින අනිවාර්ය ප්‍රතිඝතිතතාවේ පදනමෙනි. රූපික ලක්ෂනයන් ඕනෑ ම සංඛ්‍යාවකින් ඔබට කම්කරු පන්තිය අර්ථ දැක්විය හැකි ය; එය එය විසින් ම ඓතිහාසික ව නිර්නය කර ගන්නේ, ධනේශ්වරයට එරෙහි එහි සංවිධානයේ හා අරගලයේ වර්ධනය මගිනි. කම්කරු පන්තියට එහි ස්ථානය හා එම ස්ථානය විසින් ඉල්ලා සිටිනු ලබන ක්‍රියාවන් පිලිබඳ පැහැදිලි සවිඥානිකත්වයක් සම්පාදනය කරගැනීමට උදව් වීමේ කර්තව්‍යය සමාජ විද්‍යාවේ දී මාක්ස්වාදීන්ට පැවරේ. එහි ඉහල ම ලක්ෂ්‍යයේ දී මෙහි අර්ථය වන්නේ, මෙම ඓතිහාසික යුගයේ ශ්‍රේෂ්ඨතම කර්තව්‍යය තුල කාර්යභාරයක් ඉටු කිරීම යි: එනම්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම යි. න්‍යායයේ ද, න්‍යායය මත පදනම් වන දේශපාලනික හා සංවිධානාත්මක මෙවලම්වලද වැදගත් ක්‍රියාකාරීත්වය ද එවන් වේ; වාමාංශික බුද්ධිමතුන්ගේ සියලු න්‍යායික ප්‍රතිපදානයන්වල පරීක්ෂාව විය යුත්තේ එයයි. [අවධාරනය ඈඳිනි] (54)

සුලුධනේශ්වර “විවේචනාත්මක විචාරකයන්ට” විරුද්ධ ව, මාක්ස් හා එංගල්ස් ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය වර්ධනය කල ඔවුන්ගේ මුල් කාලීන ලේඛන ස්ලෝටර් ප්‍රවේසමින් අධ්‍යයනය කර තිබුනු බව මෙම ඡේදයෙන් පැහැදිලි වේ. ස්ලෝටර්ට සුවිශේෂී වසයෙන් වැදගත් වූයේ, මාක්ස් 1844 දී ලියූ ද හෝලි ෆැමිලි (ශුද්ධ වූ පවුල) කෘතියේ එන ඡේදයකි:

'මෙය වනාහි ඒ හෝ මේ නිර්ධනයා, හෝ සමස්තයක් ලෙස නිර්ධන පන්තිය ම පවා, දෙන ලද මොහොතේ එහි අරමුන ලෙස දැකගන්නේ කුමක් ද යන්න පිලිබඳ ප්‍රශ්නයක් නො වේ. ඒ වෙනුවට එය, නිර්ධන පන්තිය යනු කවරක් ද එම පැවැත්ම අනුව එයට ඓතිහාසික ව සිදු කිරීමට බල කෙරෙන්නේ කවරක් ද යන්න පිලිබඳ ප්‍රශ්නයකි. එහි අරමුන හා ඓතිහාසික ක්‍රියාව, එහි ම ජීවන තත්ත්වය තුල මෙන් ම අද දින ධනේශ්වර සමාජයෙහි සමස්ත සංවිධානය තුල ද දෘෂ්‍යමානව හා නොවෙනස් කල හැකි පරිද්දෙන් පුර්වානුමිත කරනුලැබ තිබේ. (මුල් කෘතියේ අවධාරනය) (55)

1839 දී අඳින ලද මාක්ස්ගේ සමකාලීන චිත්‍රයක්


න්‍යායික බෙදීම්වල සිට ක්‍රියාමාර්ගයේදී හා භාවිතාවේදී ඒවා ප්‍රකාශයට පත්වීම දක්වා ගමන්කිරීමේදී, පන්ති අරගලය මත පදනම් වන අව්‍යාජ විප්ලවවාදී භාවිතාවකට සාධාරන විකල්පයක් ලෙස නව වමේ බුද්ධිමතුන් විසින් තොරොම්බල් කිරීමට උත්සාහ කල පටු ප්‍රතිසංස්කරනවාදයට ස්ලෝටර් පහර දුන්නේ ය. “අනාගත අභිවර්ධනය සඳහා ශක්තිමත් මුල්ගලක් ලෙස, අද දින සමාජය ඇතුලතින් යම් සංයුක්ත, ස්ථාපිත දෙයක් සොයාගැනීමේ ආශාව, මූලික ව සුලු-ධනේශ්වර ස්ථාවරයකි.” එය, “(ඇමරිකානු සමාජ විද්‍යාඥ නෝමන්) බර්න්බෝම් විසින් ‘පරිපාලක තාක්ෂනඥයා’ යනුවෙන් හඳුන්වනු ලබන දේවල්-පවතින-ආකාරයෙන් ගෙන උපාමාරු දමමින් ජීවත් වන්නා වූ හා සිය ජීවිතයේ දී නිර්ධන පන්තියට වඩා ධනේශ්වරයට ආසන්න ව සිටින්නා වූ තැනැත්තාගේ ක්ෂිතිජයට සීමා වෙමින්, පුද්ගලික දේපල මත පදනම්වූ ලෝකය සමග රැඩිකල් බිඳීමක් සඳහා වන අවශ්‍යතාවට මුහුන දීම ප්‍රතික්ෂේප කිරීමකි. ‘එතැන හා දැන් පවතින සමාජවාදය’ සමග යුනිවසිටීස් ඇන්ඩ් ලෙෆ්ට් රිවීව් දක්වන යුහුසුලු උත්සුකතාවය, මෙම අදහස්වල නරක ම ප්‍රකාශනය යි” යි ස්ලෝටර් ලිවී ය. (56)

සෝෂලිස්ට් ලේබර් ලීගය පිහිටුවීම පිලිබඳව පැබ්ලෝවාදීන් දැක්වූ ප්‍රතිචාරය

අපේක්ෂා කල හැකි වූ පරිද්දෙන් ම, සෝෂලිස්ට් ලේබර් ලීගය පිහිටුවීමට ගත් තීරනය, පැබ්ලෝවාදීන් විසින් හෙලාදකින ලදි. “ජාත්‍යන්තර කමිටුවේ සංවිධාන වෙත විවෘත ලිපියක්” ලියූ පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය මෙසේ අවධාරනය කලේ ය:

'ඒ තුල සිට අත්‍යවශ්‍ය වැඩ කටයුතු සිදු කල යුතුව තිබුනු බවට පිලිගැනුනු පක්ෂය කෙරෙහි පැවැතිය යුතු අති මූලික විනය නො තකමින්, ලේබර් පක්ෂයේ සහ වෘත්තීය සමිතිවල නායකයන්ට එරෙහි ව දැඩි ප්‍රහාර හා පහල සාමාජික මට්ටමේ දී කරගෙන යන “තුන්වන කාලපරිච්ඡේදීය” ක්‍රියාකාරීත්වය හරහා, [සෝෂලිස්ට් ලේබර් ලීගය], දැන් සිදු කරන්නේ, --බලවේගවල සහසම්බන්ධතාව හා සුදුසු කාලය යන දෙඅංශයෙන් ම අයහපත් තෝරාගැනීමක් වූ -- ප්‍රතිසංස්කරනවාදී නිලධරය සමග සිදු කරන අරගලයක් තුල, ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති තුල දිනාගත් සියලු දේ විනාශ කරගැනීම යි. (57)

මෙම ප්‍රහාරයට යටින් පැවතියේ, පැබ්ලෝවාදයේ මූලික මූලධර්ම තුන යි: 1) ස්ටැලින්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා “වාමාංශික” ධනේශ්වර පක්ෂ විසින් පාලනය කරනු ලබන පවත්නා සංවිධාන මතට පීඩනය යොදන කන්ඩායමක් ලෙස පමනක් හතරවැනි ජාත්‍යන්තරයට පැවතිය හැක; 2) මාක්ස්වාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ස්වාධීන විප්ලවවාදී පක්ෂයකට සරල ව ම කම්කරු පන්තියේ නායකත්වය දිනාගත නො හැක; 3) එවන් පක්ෂයක් ගොඩනැගීමට කිසිදු උත්සාහයක් නො දැරිය යුතු ය.

“ආර්ථික පෙරමුනෙහි සිදු කරන සටන්කාමී වැඩ වර්ජනවලට නායකත්වය දීම හරහා විකල්ප නායකත්වයක් සාරභූත ලෙස ගොඩනැගිය නො හැකි” යි සිය අවස්ථාවාදී යටත් වීම සාධාරනීකරනය කරමින් ජාත්‍යන්තර ලේකම් මන්ඩලය ප්‍රකාශ කලේ ය. (58) ඒ වන විට ප්‍රකාශ කර ඇති දේට අතිරේකව එය තව දුරටත් කියා සිටියේ, “ප්‍රධාන වසයෙන් තනි තනිව බඳවාගැනීමක් (එනම්, ප්‍රචාරනය හෝ සටන්කාමී ක්‍රියාවල ආදර්ශය හරහා මහජන පක්ෂයේ තනි පුද්ගලයන් හෝ වරකට 4, 5, 10, 12ක සාමාජික කන්ඩායම් බඳවා ගැනීම) හරහා මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගෙන්නේ නැති” බවයි. (59)

එස්එල්එල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටුවාහල් ව සිටීම ගැන ජාත්‍යන්තර ලේකම් මන්ඩලයට එයට තරවටු කලේ ය:

'සෝෂලිස්ට් ලේබර් ලීගය දියත් කෙරුනු ආකාරය, ලේබර් පක්ෂය තුල එහි පැවැත්ම ප්‍රායෝගික ව කල නො හැක්කක් බවට පත්කරනු ලැබූ බව, දක්ෂිනාංශික නිලධරයේ ස්වභාවය පිලිබඳ ව මිථ්‍යාවන් නොමැති ඕනෑ ම අයෙකුට පැහැදිලි ය. එහෙත්, [ලේබර් පක්ෂ මූලස්ථානය වූ] ට්‍රාන්ස්පෝර්ට් හවුස් තහනම සම්බන්ධයෙන් එස්එල්එල් හි ආධුනික ආරම්භකයන් පුදුමයට පත් වූයේ යයි අපි පිලිගනිමු. කෙසේ වෙතත්, මෙම තහනම තථ්‍ය කාරනාවකි. දැන්, එස්එල්එල් යට ලේබර් පක්ෂය ඇතුලත තවමත් සිටීමේ අවශ්‍යතාවක් තිබුනේ නම්, මෙම තහනමෙන් පසුව එය, විරෝධය දක්වමින් ම, තමා විසුරුවා හල යුතුව තිබුනි. එවන් කිසිවක් සිදු නො වී ය. එය විවෘත ව නිලධරයට අභියෝග කිරීමටතීරනය කලේ ය. වර්තමාන තත්ත්වයන් යටතේ, එවන් අභියෝග කිරීමක් අනිවාර්යයෙන් ම නෙරපා හැරීමකට හේතු වේ. (මුල් කෘතියේ අවධාරනය) (60)

පැබ්ලෝවාදීන්ට නම්, “නිලධාරී තන්ත්‍රයට අභියෝග කිරීම”, සියලු දේශපාලන අඥානකම්වලින් විශාලතම එක ය, ඔවුන්ගේ තර්කයෙන් උකහා ගනු ලැබිය හැකි එක ම නිගමනය වන්නේ, ලෝක ඉතිහාසයේ වඩාත් ම බලගතු නිලධාරී තන්ත්‍රයට අභියෝග කරමින්, හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා ට්‍රොට්ස්කි කල කැඳවුම, විනාශකාරී දේශපාලනික අත්වැරැද්දක් වූ බව යි. ඒ අනුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ සියලු උත්සාහයන් දිශාගත කරන ලද්දේ, ආධිපත්‍යධාරී නිලධාරී තන්ත්‍රයන්ගේ පවතින සංවිධාන මත පීඩනය යොදන කන්ඩායමකට වැඩි යමක් නො වන තැනට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලඝු කිරීම මගින්, එම අත්වැරැද්ද නිවැරදි කිරීම වෙත යි.

“ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා” යන හිසින් ස්ලෝටර් විසින් ලියන ලද ලේබර් රිවීව්හි කර්තෘ වාක්‍ය ප්‍රකාශයක් තුල, එස්එල්එල් පදනම් කරන ලද විප්ලවවාදී ඉදිරි දර්ශනය ආරක්ෂා කලේ ය:

සෝෂලිස්ට් ලේබර් ලීගය බිහි කර ඇත්තේ අහම්බයකින් නො ව, බ්‍රිතාන්‍ය කම්කරු පන්තියට එවන් සංවිධානයක් අවශ්‍ය බව පෙන්නුම් කල පසුගිය වසරේ අරගලවලිනි. කම්කරු පන්තියේ අත්දැකීම් තුලට මැදිහත් වී, හාම්පුතුන්ගේ ප්‍රහාරයෙන්, සාමාන්‍ය කම්කරු ප්‍රතිරෝධයෙන් හා දක්ෂිනාංශික පාවාදීම්වලින් මූලික පාඩම් උකහා ගන්නා එහි පෙරටු බල ඇනිය සංවිධානය කිරීමට, අධ්‍යාපනගත කිරීමට හා සූදානම් කිරීමට එය බිහිකර තිබේ. එය බිහිකර ඇත්තේ, කර්මාන්තය තුල වැඩෙන සටන්කාමීත්වය තවමත් කම්කරු පක්ෂය තුල මුදුන් පත් වී නැති කාලයක දී ය. එය බිහි කර ඇත්තේ, අද දවසේ පවතින තතු තුල, කම්කරු පන්තියේ මහජන සංවිධාන ඇතුලත ට්‍රොට්ස්කිවාදී කටයුතුවල හොඳම සම්ප්‍රදායයන් අඛන්ඩව පවත්වා ගනිමින් හා ඉදිරියට ගෙන යමින්, ලේබර් පක්ෂය හා වෘත්තීය සමිති තුල පන්ති අරගල පිලිවෙත් සඳහා සටන් වැදීම පිනිසය.

'බ්‍රිතාන්‍යය තුල වර්තමාන තත්ත්වය, වෛෂයික පන්ති සබඳතා, කාර්මික අරගලය, දේශපාලන අරගලය, ගැටලු සහ ඒවායෙන් ගලා එන මාක්ස්වාදීන්ගේ කර්තව්‍යයන් විශ්ලේෂනය කිරීමට හා තක්සේරු කිරීමට, පැබ්ලෝ හා ඔහුගේ ජාත්‍යන්තර ලේකම් කල්ලිය අවම ප්‍රයත්නයක් වත් දරා නැත. මෙය ඔවුන්ගේ විධික්‍රමය නො වේ. එක් අතකින්, එවන් විශ්ලේෂනයක් හා තක්සේරුවක් ඵලදායී විය හැක්කේ, එය, බ්‍රිතාන්‍යය තුල මාක්ස්වාදී ව්‍යාපාරයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේ අත්දැකීම් වලින් උකහා ගනු ලැබුනේ නම් පමනි. එහෙත්, ජාත්‍යන්තර ලේකම්වරුන්ට කිසිවෙකුගේ ජීවමාන අත්දැකීම්වලින් උකහා ගැනීමේ අවශ්‍යතාවක් නැත. ඔවුන්ට ඔවුන්ගේ සාදා නිම කරන ලද ක්‍රියා පටිපාටියක් තිබේ. එයින් අදහස් වන්නේ මහජන පීඩනය විසින් නිලධරයට හෝ එහි කොටස්වලට විප්ලවයක නායකත්වය ගැනීමට බල කෙරෙන තුරු පන්ති අරගලය තුල තමාගේම මැදිහත් වීම යටපත් කිරීමයි.

“මහජන පීඩනයට” නිලධරයේ සාරභූත ස්වභාවය වෙනස් කල හැකි යන ප්‍රති-මාක්ස්වාදී අදහස; “මහජන පීඩනයට” ලෝක විප්ලවය අනුයෑමට නිලධරයට බල කල හැකිය යන ප්‍රති-මාක්ස්වාදී අදහස; යලි වතාවක් “මහජන පීඩනය” යටතේ බලය අල්ලා ගැනීම සඳහා කොමියුනිස්ට් පක්ෂයට කම්කරු පන්තියට නායකත්වය දිය හැකිය යන උපකල්පනය: හතරවැනි ජාත්‍යන්තරයේ මූලධර්ම ආරක්ෂා කරන මාක්ස්වාදීන් සටන් වැදුනේ, (වසර දෙකකට ආසන්න කාලයකට පෙර දී ලේබර් රිවීව් තුල හෙලා දක්නා ලද “නිලධරය පිලිබඳ මාක්ස්වාදී සංකල්පනයේ රලු සංශෝධනයන්” වන) මෙම පැබ්ලෝවාදී න්‍යායයන්ට එරෙහි ව ය. පරදුවට තැබී තිබුනේ විප්ලවවාදී බලවේගයක් ලෙස ජාත්‍යන්තරය ම වූ නිසා, සම්මුතියක් තිබිය හැකි ව නො තිබුනි. ඔවුන්ගේ සංශෝධනවාදී අදහස් ද පසෙක තබාගෙන, පැබ්ලෝට හා ඔහුගේ ආධාරකරුවන්ට හතරවැනි ජාත්‍යන්තරයේ අවශ්‍යතාව පිලිබඳ රූපික වාක්යාංශ පුනරුච්ඡාරනය කල හැකි අතර ම, ඔවුන්ගේ සංශෝධනවාදී අදහස් භාවිතාවේ දී එහි පදනම්වලට ම අනවරත ව වලකැපුවේ ය. ජාත්‍යන්තරයට රූපික ආසක්තතාවක් දක්වන අතරම, එහි අන්තර්ගතය හා ක්‍රියා මාර්ගය විනාශ කිරීම: එයින් පැබ්ලෝවාදය සම්පින්ඩනය කොට දැක්වේ. හතරවැනි ජාත්‍යන්තරයේ සාඩම්බර නාමය යටතේ පැබ්ලෝවාදී අදහස් ඉදිරියට දමන්නෝ වංචනිකයෝ වෙති.

මාක්ස්වාදීන් ලෙස ව්‍යාජ ව පෙනී සිටින මෙම මිනිසුන්ට එරෙහි ව, හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය හා මූලධර්ම ආරක්ෂා කිරීමට, මාක්ස්වාදයේ මෙම සංශෝධනයට විරුද්ධ වුනු විවිධ රටවල ට්‍රොට්ස්කිවාදීහු, ජාත්‍යන්තර කමිටුවක් බිහි කල හ.

ජාත්‍යන්තර කමිටුව විසින් දකිනු ලබන පරිදි, අද දින මාක්ස්වාදීන්ගේ උත්තරීතර කර්තව්‍යය වන්නේ, බලගතු විප්ලවවාදී පක්ෂ හෙවත්, හතරවැනි ජාත්‍යන්තරයට ශක්තිමත් පදනම් සම්පාදනය කරනු ඇති පක්ෂ, සෑම රටක් තුල ම ගොඩනැගීම හරහා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීම යි. ඉදින් මෙම කර්තව්‍යය සාක්ෂාත් කර ගත යුතු නම්, පැබ්ලෝගේ න්‍යායයන් සමග සම්මුතියක් තිබිය නො හැක. පැබ්ලෝවාදය සහ සෝෂලිස්ට් ලේබර් ලීගයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට මග පෙන්වන මාක්ස්වාදී අදහස් අතර පෑහිය නො හැකි අගාධයක් පවතී. පැබ්ලෝවාදයට එරෙහි ව ස්ථාවර අරගලයකින් තොර ව අනාගත මාක්ස්වාදී කේඩරයක් ඉස්මතු විය නො හැක. (61)

මයිකල් පැබ්ලෝ (දකුනේ) අර්නස්ට් මැන්ඩල් සමග

ජාත්‍යන්තර කමිටුව ඇතුලත බෙදීම්

සෝෂලිස්ට් ලේබර් ලීගය ආරම්භ කිරීම විසින් තීව්‍ර කෙරුනේ බ්‍රිතාන්‍යය තුල වෘත්තීය සමිති හා කම්කරු පක්ෂ නිලධරය සමග ගැටුම පමනක් නො වේ. එය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඇතුලත ද ක්‍රියා මාර්ගයේ, ඉදිරි දර්ශනයේ හා පන්ති දිශානතියේ මූලික ප්‍රශ්න පිලිබඳ දේශපාලනික බෙදීම් එලිමහනට ගෙන ආවේ ය. සත්‍ය වසයෙන් ම, 1953 භේදයේ දී හා ඉන්පසුව කාල පරිච්ඡේදයේ දී ලෝක තත්ත්වය තක්සේරු කිරීම ද ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු සඳහා එහි ගම්‍යයන් ද පිලිබඳව බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් උකහා ගනු ලැබ තිබූ පාඩම්වල තීරනාත්මක බලපෑමෙන් තොරව, එම වැඩ කටයුතු සම්පූර්නයෙන් අවබෝධ කරගැනීම හා අගය කිරීම කල නො හැක. අප විස්තර කර ඇති ලෙස, කෘෂෙව්ගේ රහස් කතාවට, හංගේරියානු විප්ලවයට හා බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ අර්බුදයට ක්ලබ් සංවිධනය දැක්වූ ප්‍රතිචාරයේ දී, මෙම බලපෑම බලගතු ප්‍රකාශනයක් අත්කර ගෙන තිබුනි. 1956 සිද්ධීන් විසින් ඉදිරිපත් කෙරුනේ, හුදෙක් බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයෙන් අතෘප්තියට පත් ව පිට වී යන අයවලුන් බ්‍රිතාන්‍යයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බඳවා ගැනීමේ අවස්ථාව පමනක් නො වන බව හීලි හඳුනාගත්තේ ය. දේශපාලන මූලෝපාය සූත්‍රගත කිරීමේ දී වඩාත් වැදගත් වූයේ, “තනිරටේ සමාජවාදය” පිලිබඳ ක්‍රියා මාර්ගයට ට්‍රොට්ස්කි දැක්වූ විරුද්ධත්වය; ස්ටැලින්වාදයේ සම්භවයන් හා සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානිය, සෝවියට් නිලධරයේ හා ඊට අනුබද්ධිත දේශපාලන පක්ෂවල ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය; සහ ඒ නිසා හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැගීමට ගත් තීන්දුව ඓතිහාසිකව සනාථ වීමයි.

අවසන් විග්‍රහයේ දී, 1956 අර්බුදයෙහි සාරභූත අර්ථභාරය වූයේ, හතරවැනි ජාත්‍යන්තරය සහ පිරිහී ගිය ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය අතර ලෝක බලවේගවල සබඳතාවේ ප්‍රගාඪ වෙනසක්, එම අර්බුදය මගින් පෙර ඇඟවීම ය. හතරවැනි ජාත්‍යන්තරයේ තවමත් කුඩා බලවේග මුහුන දෙන දේශපාලනික බාධකයන් හා ප්‍රායෝගික දුෂ්කරතාවන් කොතරම් විශාල වුව ද -ඇත්තට ම ඒවා ඉතා විශාල විය- ස්ටැලින්වාදයේ අර්බුදය සනිටුහන් කලේ, කම්කරු පන්තිය මත පැරනි නිලධරයන් පවත්වාගෙන ගිය ග්‍රහනය දුර්වලවීම යි. 1957 ජනවාරියේ දී ලේබර් රිවීව් ප්‍රකාශ කර තිබුනු පරිදි, “මහා අයිස් යුගය” අවසානයකට ඇවිත් තිබුනි. කම්කරු පන්ති නායකත්වයෙහි ඓතිහාසික අර්බුදය විසඳීමට වාසි සහගත වූ වෛෂයික කොන්දේසි දැන් ඉස්මතු වෙමින් පැවතුනි. බ්‍රිතාන්‍යය ඇතුලත හා ජාත්‍යන්තර ව ට්‍රොට්ස්කිවාදීන් ඉදිරියේ පැවති අභියෝගය වූයේ, න්‍යායික වැඩ කටයුතු හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය යන දෙකේ දී ම, නව තත්ත්වය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම යි.

මෙම ඓතිහාසික හා දේශපාලනික සන්දර්භය තුල, පැබ්ලෝවාදයට එරෙහි අරගලය නව හදිසි භාවයක් අත්කර ගත්තේ ය. 1956න් ඉක්බිති ව පැබ්ලෝවාදීන්ගේ ප්‍රයත්නයන් දිශාගත කරන ලද්දේ, මිලිටරි සාම්‍යයක් යොදාගන්නේ නම්, පුනර්ජීවනය වූ ට්‍රොට්ස්කිවාදී හමුදාවන්ගේ ප්‍රහාරයක තර්ජනයට එරෙහි ව, වටලනු ලැබ සිටින දුර්වල නිලධර බලකායන්ගේ ශක්තිය වර්ධනය කිරීම වෙත යි. 1956 අර්බුදයට පැබ්ලෝවාදීන් ප්‍රතිචාර දැක්වූයේ, යලි එකමුතු වීමේ (එනම් 1953 බෙදීම අවසන් කිරීමේ) වහන්තරාවට මුවා වී ජාත්‍යන්තර කමිටුව භේද කිරීමට උත්සාහ දරමිනි. මෙම අරමුනු කරා එලඹීමේ භව්‍යතාවන්--එනම්, ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ට යටත් කිරීමේ පදනම මත හතරවැනි ජාත්‍යන්තරය “යලි එකමුතු කිරීම,” බහුවිධ ධනේශ්වර-ජාතිකවාදී හා සුලුධනේශ්වර රැඩිකල් බලවේගයන්ට අනුගත වීම, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන අත්හැර දැමීම සහ නො නවතින විප්ලව න්‍යාය ප්‍රතික්ෂේප කිරීම-- 1953 භේදයෙන් ඉක්බිති ව එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) දක්ෂිනාංශික ගසාගෙන යාම මගින් ශක්තිමත් කරන ලදී.

කෘෂෙව්ගේ රහස් කතාවට හා හංගේරියානු විප්ලවයට එස්ඩබ්ලිව්පී ප්‍රතිචාරය, ක්ලබ්හි ප්‍රතිචාරයෙන් අතිශය වෙනස් එකක් විය. ස්ටැලින්වාදය යන විෂයය පිලිබඳ ව කැනන් විශිෂ්ඨ කතාවක් කල අතර, තවත් නායක සාමාජිකයෙක් වූ මරී වයිස් මනාව රචනා කල ලිපියක් සම්පාදනය කලේය. එහෙත්, ක්ලබ්හි සංගතික දේශපාලනික හා න්‍යායික වැඩ කටයුතු සමග දුරස්ථ ව හෝ සන්සන්දනය කල හැකි කිසිවක් එක්සත් ජනපදය තුල සිදු කෙරුනේ නැත. ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයෙහි කන්ඩායම් අරගලය සහ සංවිධානාත්මක විඛන්ඩනය බ්‍රිතාන්‍යය තුල සිදු වූ දෙයට වඩා බොහෝ සේ කර්කශ එකක් වූ මුත්, එස්ඩබ්ලිව්පීය සැබැවින්ම ස්ටැලින්වාදී ව්‍යාපාරයේ කිසිවෙකු හෝ බඳවා ගත්තේ නැත. මෙය හුදෙක් අප්‍රමානවත් සංවිධානාත්මක මුලපිරීමක ප්‍රතිඵලය නො වී ය. ඒ වෙනුවට, 1956 සිද්ධීන්වලට එස්ඩබ්ලිව්පීයේ ප්‍රතිචාර දැක්වූයේ ස්ටැලින්වාදයට එරෙහි ප්‍රහාරයක් වර්ධනය කරමින් නොව, ස්ටැලින්වාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් දියත් කරන ලද අරගලයට යටින් පැවති ඓතිහාසික ප්‍රශ්න කිසිදු ආකාරයකින් පැහැදිලි කිරීම හිතා මතා ම අත්හැර, එක්සත් ජනපදය තුල “වාමාංශික” ප්‍රවනතාවන්ගේ “යලි කාන්ඩ ගැසීමක්” දිරිමත් කරමිනි.

1956 දෙසැම්බරයේ දී නිවේදනය කරන ලද එස්ඩබ්ලිව්පීයේ යලි කාන්ඩගැසීමේ මුල පිරීමමත්, එය එහි සාම්ප්‍රදායික “නිර්ධන පන්තික දිශානතියෙන්” බිඳී වෙන්වීම හා ඇමරිකානු මධ්‍යම පන්තියේ විරෝධතා දේශපාලනයට අනුගත වීම දෙසට වූ පක්ෂයේ මාරුවෙහි ප්‍රකාශනයක් විය. ප්‍රතිගාමී ඒඑෆ්එල්-සීඅයිඕ නිලධරයේ අනුබලය ලත් මර්දනකාරී ප්‍රති-කොමියුනිස්ට්වාදී දේශපාලන වාතාවරනය සහ සාමාන්‍ය කම්කරුවන්ගේ සටන්කාමීත්වයෙහි තියුනු ඛාදනය, වියපත් වෙමින් සිටි එස්ඩබ්ලිව්පී නායකත්වය තුල දිරිසුන්වීමේ හා යටත්වීමේ මනෝගතියකට නිසැකවම සම්මාදම් විය. එස්ඩබ්ලිව්පීය අනාගත අපේක්ෂාවන්ගෙන් තොර “නිකායක්” බවට පත්වෙමින් තිබේය යන අදහසෙහි නිමග්න වූ කැනන්, දේශපාලනික දිශානතියේ දී, කම්කරු පන්තියෙන් ඉවත් ව සුලුධනේශ්වරය දෙසට වූ වෙනසකට නැඹුරු වන තැනට පත්විය.

“නිකායවාදී” පැවැත්මකින් බිඳීමෙහි අර්ථය වූයේ, භාවිතය තුල, නිර්ධන පන්තික දිශානතිය හා ට්‍රොට්ස්කිවාදී ක්‍රියා මාර්ගය ප්‍රතික්ෂේප කිරීම යි.

බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන්ගෙන් කල්තබා නො විමසා, 1957 මාර්තුවේ දී, ශ්‍රී ලංකාවේ ලංකා සම සමාජ පක්ෂයෙහි නායකයන්ගෙන් වඩාත් ම අවස්ථාවාදී වූවන් අතර සිටි ලෙස්ලි ගුනවර්ධනට කැනන් ලිපියක් ලීවේ ය. කන්ඩායම් දෙක යලි එකමුතු කිරීම කරා ලඟා වීමේ අභිප්‍රායය සහිත ව, ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමඟ සාකච්ඡා විවෘත කිරීම කෙරේ සහයෝගය දීමක් පිලිබඳව ඔහු සංඥා කලේ ය.

ජේම්ස් පී. කැනන්

මෙම ලිපිය ජාත්‍යන්තර කමිටුව තුල සිදු වූ දිග්ගැස්සුනු අභ්‍යන්තර අරගලයක ආරම්භය සනිටුහන් කලේ ය. 1953 දී භේදයකට තුඩු දුන් වෙනස්කම් බොහෝ සෙයින් සංවිධානාත්මක ප්‍රශ්න පිලිබඳ ව වී තිබුනේ යයි ද කාලය ගතවීමත් සමග දේශපාලන ප්‍රශ්න යම් අයුරකින් විසඳාගෙන තිබුනු බව ද 1953 පිලිබඳ ව දිගට කථා කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින්, පැබ්ලෝවාදීන් සමග සබඳතා ප්‍රතිස්ථාපනයක් සාධාරනීකරනය කල එස්ඩබ්ලිව්පීයේ කියාපෑම් බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

1953 භේදයට යටින් දිවුනු වෙනස්කම් පැහැදිලි කරගැනීම මත බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් දැක්වූ අවධාරනය එස්ඩබ්ලිව්පීයේ උපාමාරු දැමීම සංකීර්න කල අතර ම, 1959 ජනවාරියේ කියුබාවේ ෆිදෙල් කස්ත්‍රෝගේ ජයග්‍රනය යලි එකමුතු වීමේ ක්‍රියා දාමය ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු සංවිධානය විසින් ඩැහැ ගනු ලැබීය. කියුබානු විප්ලවය විසින් නව කම්කරු රාජ්‍යයක් නිර්මානය කරනු ලැබ තිබුනේයැයි පැබ්ලෝවාදීන් සමඟ එක පෙලට හිඳිමින් එස්ඩබ්ලිව්පීය ද තරයේ කියා සිටි අතර, කියුබානු විප්ලවයට එසේ දුන් සහයෝගය මත, යලි එකමුතුවක් සිදුකිරීම සඳහා පදනම සම්පාදනය වී ඇතැයි කියාපාන ලදී.

හතරවැනි ජාත්‍යන්තරය සෝෂලිස්ට් ලේබර් ලීගය විසින් ඓතිහාසික ව ආරක්ෂා කරනු ලැබීම (1961-1963)

1961 ජනවාරි 2දා, සෝෂලිස්ට් ලේබර් ලීගයේ ජාතික කමිටුව ලිපියක් යොමු කරමින්, සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුව ඇමතී ය. හතරවැනි ජාත්‍යන්තරය යලි එකමුතු කිරීමට දරන ස්වකීය උත්සාහයන් තුල, සමාජවාදී කම්කරු පක්ෂය 1953 විවෘත ලිපිය තුල සංයුක්ත ව සඳහන් කල, හතරවැනි ජාත්‍යන්තරයේ මූලික මූලධර්මයන්ගෙන් පසු බසිමින් සිටීම සම්බන්ධයෙන් සිය සැලකිල්ල යොමුව ඇති බව එම ලිපියේ ප්‍රකාශිත විය. තව ද, 1953 භේදයට තුඩු දුන් වෙනස්කම්, වඩා මෑතකාලීන සිද්ධීන් පිලිබඳ එකඟතාව විසින් අවලංගු කරනු ලැබ ඇතැයි යන කියාපෑම, පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ස්වභාවය හා පරිනාමය පිලිබඳ වැරදි තක්සේරු කිරීම් මත පදනම් වී තිබින. 1953 පටන් එකිනෙකාට සමීප වනු වෙනුවට, පැබ්ලෝවාදය හා ට්‍රොට්ස්කිවාදය අතර අගාධය හුදෙක් පලල් වී තිබුනා පමනක් නො වේ; එය න්‍යායික ව හා දේශපාලනික ව පෑහිය නො හැකි විය. එස්එල්එල් ජාතික කමිටුව මෙසේ සඳහන් කලේ ය:

'අධිරාජ්‍යවාදයේ හෝ කම්කරු ව්‍යාපාරය තුල නිලධාරී යාන්ත්‍රනයන්ගේ හෝ ඒ දෙකේ ම ශක්තියට යට වීමකින් ගලා එන දියකරහැරීම්වාදය, විප්ලවවාදී ව්‍යාපාරය මුහුන දෙන විශාලතම අන්තරාය යි. 1953 දීටත් වඩා දැන් පැහැදිලි වන පරිදි පැබ්ලෝවාදය නියෝජනය කරන්නේ, ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය තුල මෙම දියකරහැරීම්වාදී ප්‍රවනතාව යි.

'පැබ්ලෝවාදයට අනුව, අධිරාජ්‍යවාදී යුගයේ සියලු මාක්ස්වාදී න්‍යායේ හා මූලෝපායේ කේන්ද්‍රය වන, වැඩි දියුනු කම්කරු පන්තිය ඉතිහාසයේ පෙරටු බල ඇනිය ය යන්න තව දුරටත් වලංගු නොවේ, එය, වියුක්ත ආකාරයකින් සමීක්ෂනය කරනු හා තක්සේරු කරනු ලබන “ලෝක ඓතිහාසික සාධකයන්ගේ” කෙලි බඩුවකි.' (62)

ට්‍රොට්ස්කිවාදයේ ද මාක්ස්වාදයේ ම ද සාරභූත සංකල්ප පිලිබඳ පැබ්ලෝවාදයේ සංශෝධනයන් තීරනාත්මක ව ප්‍රතික්ෂේප කල යුතු විය. එස්එල්එල් මෙසේ අනතුරු ඇඟවී ය:

'කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයේ හා විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ මූලෝපායෙන් කරන ඕනෑ ම පසුබැසීමක්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පැත්තෙන් ගත කල ලෝක-ඓතිහාසික වැරැද්දක අර්ථභාරය අත්කර ගන්නවා ඇත.' (63)

1953 භේදය ආපසු හැරවීම, ට්‍රොට්ස්කිවාදීන්ගේ යලි එකමුතුවක් අර්ථවත් කරනු ඇතැයි යන උපකල්පනය එස්එල්එල් පිලිගත්තේ නැත. මෙය අන්තරායකාරී වැරදි සංකල්පයක් වූ බව එය අවධාරනය කලේ ය:

'සකලාකාර සංශෝධනවාදයේ සීමා මායිම් ලකුනු කරගැනීම අපට හදිසියේ අවශ්‍ය වන්නේ, ට්‍රොට්ස්කිවාදය ඉදිරියේ විවෘත වන අවස්ථාවන්ගේ ඉමහත් භාවය ද ඒ නිසා ම දේශපාලනික හා න්‍යායික පැහැදිලිකම සඳහා අවශ්‍යතාව ද නිසා ය. පැබ්ලෝවාදී සංශෝධනවාදය ට්‍රොට්ස්කිවාදය තුල ධාරාවක් ලෙස සැලකූ කාලපරිච්ඡේදය අවසානයකට ගෙන ඒමට කාලය පැමින ඇත. එය නො කල හොත්, අපට දැන් ඇරඹෙන විප්ලවවාදී අරගලයන්ට සූදානම් විය නො හැක. මෙම ජීවගුනයෙන් යුතුව එස්ඩබ්ලිව්පීය අප සමග ඉදිරියට යාම අපට අවශ්‍ය ය. (මුල් කෘතියේ අවධාරනය) (64)

මෙම ලිපිය, 1953 දී හා පසුව 1982 හා 1986 අතර දී මෙන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නොනැසී පැවැත්ම රඳා තිබූ දේශපාලන අරගලයක ආරම්භය සලකුනු කලේ ය. 1961 සිට 1963 දක්වා වසර දෙකක් තිස්සේ පැවති මෙම තීව්රතර අරගලයේ දී, එස්එල්එල් විසින් සම්පාදනය කරන ලද වඩාත් ම වැදගත් ප්‍රකාශන හා වාර්තාවන්ගේ කතුවරයා ලෙස, ක්ලිෆ් ස්ලෝටර් තීරනාත්මක භූමිකාවක් ඉටු කලේ ය. එහෙත්, ස්ලෝටර්ගේ ප්‍රතිපදානය කොතරම් වැදගත් වුවත්, එය හුදෙකලාවේ සිට ලබාගත් ජයග්‍රහනයක් නො වූ බව අවධාරනය කල යුතු ය. ස්ලෝටර්ගේ ප්‍රතිපදානයන් සිදු කරන ලද්දේ, මයික් බන්ඩා, ටොම් කෙම්ප්, සිරිල් ස්මිත්, ජැක් ගේල් හා තවමත් ඉතා තරුන වූ ජෙෆ් පිලිං ඇතුලු එස්එල්එල්හි අනෙකුත් විශිෂ්ට සාමාජිකයන් සමග ඉතාමත් ම සමීප ඒකාබද්ධතාවෙන් යුතුවය යන්න ඓතිහාසික සත්‍යයක් ලෙස සඳහන් කිරීම, එම වැඩ කටයුතුවල ඉහල තක්සේරුව කිසිදු අයුරකින් හීන කිරීමක් නො වේ. හීලී තීරනාත්මක ලෙස හා තීක්ෂන ලෙස නායකත්වය සම්පාදනය කලේ ය. බලගතු බුද්ධියක, යෝධ දේශපාලන අත්දැකීමක හා වැඩිදියුනු කම්කරුවන් ට්‍රොට්ස්කිවාදයට දිනාගැනීමේ සහ එලඹෙන සමාජවාදී විප්ලවයේ නායකත්වය සඳහා ඔවුන් සූදානම් කිරීමේ වෙහෙස නො තකන අධිෂ්ටානයක බලය, එස්ඩබ්ලිව්පීයට එරෙහි අරගලයේ දී ඔහු යෙදවී ය. හීලිගේ මග පෙන්වීම යටතේ, සෝෂලිස්ට් ලේබර් ලීගය විසින් පවත්වාගෙන ගිය න්‍යායික වැඩකටයුතු සුවිශේෂී වසයෙන් විලක්ෂනය වූයේ, විප්ලවවාදී මූලෝපායයේ වර්ධනයෙන් හා කම්කරු පන්තිය බලමුලුගැන්වීම සමග එයට තිබූ ඍජු සබඳතාවයෙනි. 1961 හජාජාක ලේඛනවලට ඒවායේ දේශපාලනික නිරවද්‍යතාව හා සටන්කාමී ජීවගුනය ප්‍රදානය කරන ලද්දේ, විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය වෙත වූ මෙම සාරභූත දිශානතිය විසිනි.

එස්එල්එල්හි ජනවාරි 2 දිනැති ලිපිය, එස්ඩබ්ලිව්පීයට කල අනතුරු ඇඟවීමකට සමාන වූ බව කැනන් අවබෝධ කරගත්තේ ය. ඔහුගෙන් පසු එස්ඩබ්ලිව්පී ජාතික ලේකම් ධුරයට පත් ෆැරල් ඩොබ්ස්ට ඔහු 1961 මැයි 12දා මෙසේ ලිවී ය: “අප හා ජෙරී අතර භේදය පැහැදිලි ව ම පලල් වෙමින් පවතී.” (65) “එස්එල්එල් සිටින්නේ ඊලර්වාදී (එනම් කට්ටිවාදී) විනෝද ක්‍රීඩාවක” (66) බව ඔහු කියා සිටිය ද සැබෑ ගැටලුව වූයේ එස්ඩබ්ලිව්පීය අවස්ථාවාදයේ අධිමාත්‍රා භාවිතා කරමින් සිටීමයි. 1961 දී සිය “ලෝක තත්ත්වය පිලිබඳ යෝජනාව” තුල, කස්ත්‍රෝ වැන්නන් විසින් නායකත්වය දුන් පන්නයේ සුලු-ධනේශ්වර රැඩිකල් ව්‍යාපාර වෙත එහි අනුගත වීම සාධාරනීකරනය කිරීම පිනිස අසුභවාදී හා ස්වයං-පරාජකවාදී විතන්ඩවාදයන් වෙතට එස්ඩබ්ලිව්පීය යොමු විය. විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට තරම් ප්‍රමානවත් කාලයක් නැතැයි කියන ලදී. එම නිසා, පිලිගත හැකි ආදේශකයක් ලෙස කස්ත්‍රෝ පිලිගත යුතු ය:

'විශේෂයෙන් විජිත ප්‍රදේශවල ජනයා ඇතුලු මහජනයාට, ඔවුන්ගේ තත්ත්වයෙහි මංමුලා සහගත බව අතිශයින්ම තියුනුම ආකාරයෙන් හැඟේ. තමන් ක්‍රියාකාරකම්වලට එලඹීමට පෙර, විප්ලවවාදී-සමාජවාදී පක්ෂයක් ගොඩ නගන තෙක් ඔවුන්ට කිසිසේත් ම බලාසිටිය නො හැකි ය [sentence in italics]. කුඩා න්‍යෂ්ටිකයක් ලෙස මිස එවන් පක්ෂ නො පවතින නිසා, දේශපාලනයේ සුප්‍රකට නීතියකට අනුව, මහජනයා, පාලක පක්ෂයට වමෙන් සිටගෙන සිටින ජාතික පරිමානයේ ඕනෑ ම නායකත්වයක් බලයට තල්ලු කරති. සමාජවාදී නායකත්වයක් නැති නිසා- සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂ විසින් දශක ගනනක් තිස්සේ පාවා දීම නිසා එවන් නායකත්වයක් නැත- සියලු වර්නවල ජාතිකවාදී ධනේශ්වර හා සුලු-ධනේශ්වර රූපාකාරයන් වාමාංශික ස්ථාන භජනය කරන අතර, විප්ලවයට- හිතකාමී නිර්ධන පන්තික පක්ෂ ඒවාට දෙපසින් පහර දෙන තතු යටතේ පැවැතිය හැකිව තිබුනාට වඩා එම පක්ෂ ශක්තිමත්ය. ...

විප්ලවයට හිතකාමී සුලු ධනපති සංවිධානයක්, හුදෙක්ම එය සුලු ධනේශ්වර දෘෂ්ටියෙන් පටන් ගන්නා නිසා කල් තබාම කපා හැරීම කෙතරම් මාරක වරදක්දැයි කියුබාව පෙන්නුම් කොට ඇත. [67] (අවධාරනය ඈඳිනි).

1966 දී කස්ත්‍රෝ ත්‍රෛ -මහාද්වීපික සම්මේලනය අමතමින්; මෙම දේශනය තුල ඔහු ට්‍රොට්ස්කිවාදය හෙලා දුටුවේය.

එස්ඩබ්ලිව්පීයේ ලේඛනවලට ලාක්ෂනික වූ තකතීරු ඝෝෂන වලට උදාහරන මෙම ඡේදය විසින් සැපයින. මෙහි දී සුවිශේෂී ලෙස සටහන් කල යුතු වන්නේ, විප්ලවවාදී පක්ෂයේ වර්ධනය හා “මහජනයා” එකිනෙකාට අසම්බන්ධිත ක්‍රියා දාම ලෙස සලකනු ලබන ආකාරයයි. විප්ලවවාදී පක්ෂය ගොඩනගන තෙක්, මහජනයාට “කිසිසේත් ම බලා සිටිය නො හැකි” යි කියාපානු ලැබේ. එහෙත්, විප්ලවවාදී පක්ෂයෙහි සැබෑ වර්ධනය තුල, මෙම නො ඉවසිල්ල ප්‍රකාශ නො වන්නේ ඇයි? “මහජනයාගේ” නො ඉවසිල්ල, මාක්ස්වාදී පක්ෂයක් ගොඩනැගිය හැකි වෛෂයික කොන්දේසි පවතින්නේය යන්න පෙන්නුම් කල යුතු ය. සැබෑ ගැටලුව වූයේ, මහජනයා අතර නායකත්වය සඳහා සටන් කිරීමේ ගැටලුව මගහැර අවස්ථාවාදී ලෙස නිර්ධන පන්තික නො වන දේශපාලන බලවේගයන්ට අනුගත වූ, පැබ්ලෝවාදී සංවිධානවල නො ඉවසිල්ල මිස, “මහජනයාගේ” “නො ඉවසිල්ල” නො වේ.

1961 ජූලි 28-29 දිනවල පැවති ජාත්‍යන්තර කමිටුවේ රැස්වීමකට ඉදිරිපත් කල දේශපාලන වාර්තාවේ දී, ක්ලිෆ් ස්ලෝටර් එස්ඩබ්ලිව්පී යෝජනාවට දීර්ඝ ව පිලිතුරු දුන්නේ ය. එස්ඩබ්ලිව්පී සංශෝධනවාදයේ ගම්‍යයන් උකහා ගත් ස්ලෝටර්ගේ වාර්තාව, එස්ඩබ්ලිව්පී ආස්ථානයන් පිලිබඳ ව ස්ලෝටර් විසින් වර්ධනය කරන ලද විචාරයේ දේශපාලනික හා විධික්‍රමාත්මක යන දෙඅංශයේ ම සාරභූත මූලිකාංගයන්, සංක්ෂිප්ත ව ඉදිරිපත් කිරීමක් වෙයි:

'එස්ඩබ්ලිව්පී යෝජනාවේ මූලික දුර්වලකම වන්නේ, මාක්ස්වාදී විධික්‍රමය වෙනුවට, “වෛෂයිකවාදය,” එනම්, ව්‍යාජ වෛෂයිකත්වයක්, ආදේශ කිරීම යි. මෙම ප්‍රවිෂ්ටය, පැබ්ලෝවාදීන්ගේ නිගමනයන්ට සමාන නිගමනයන් කරා දිවෙයි. අධිරාජ්‍යවාදය වනාහි ධනවාදයේ අවසන් අදියර ය යන ඔහුගේ විශ්ලේෂනයෙන්, කම්කරු පන්තියේ හා එහි පක්ෂයේ සවිඥානික විප්ලවවාදී භූමිකාව සියල්ලටත් වඩා වැදගත් බව, ලෙනින් නිගමනය කලේ ය. එහෙත්, “වෛෂයිකවාදය” වෙනුවෙන් පෙනී සිටින්නන් නිගමනය කරන්නේ, “වෛෂයික සාධකයන්ගේ” ශක්තිය කොතෙක් ද යත්, නිර්ධන පන්තිය එහි අරගලය තුල මාක්ස්වාදී නායකත්වයක් ගොඩ නඟා ගැනීම නො තකා, කම්කරු පන්තික විප්ලවය සිදු වී, ධනවාදයේ බලය පෙරලා දැමෙනු ඇති බව යි. මාක්ස්වාදී නායකත්වයක් ගොඩනගන තෙක් විප්ලවය ප්‍රමාද කල නො හැකි තරම් “නො ඉවසිලිවන්ත” මහජනයා පිලිබඳ එස්ඩබ්ලිව්පී යෝජනාවේ සූත්‍රගත කිරීම්වලට වෙනත් අර්ථයක් දීම අසීරු ය. ... ඉදින් කියුබාවේ සුලු ධනපති නායකත්වයට නිර්ධන පන්තිය බලය කරා ගෙන ඒම (-කියුබාව 'කම්කරු රාජ්‍යයකැ'යි එස්ඩබ්ලිව්පීය කියා සිටී. එසේනම්, එහි එකම අර්ථය වන්නේ, නිර්ධන පන්ති ආඥාදායකත්වයක් එහි පවතින බවයි-) සඳහා වෛෂයික තර්කනය විසින් බල කරන ලද නම්, එවිට, පන්තිය, පක්ෂය හා බලය අතර සම්බන්ධතාවය පිලිබඳ ලෙනින්වාදී න්‍යාය බැහැර කර දැමිය යුතු වන එම මාදිලියේ සිදුවීමක් සිදු විය හැකි වූයේ කෙසේද යන්න පෙන්වා දෙන වත්මන් ලෝක තත්ත්වය පිලිබඳ විශ්ලේෂනයක් අප ඉල්ලා සිටිය යුතුය.

'විප්ලවයේ ගමන් මාවතේ දී ම විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම පිලිබඳ ව එස්ඩබ්ලිව්පී යෝජනාව තුල එන සූත්‍රගත කිරීම ගැන කිව යුත්තේ ද එය ම ය. නැවතත්, සූත්‍රයේ ගම්‍යයන් පිලිබඳ ව අවසානය තෙක් සිතා බැලිය යුතු ය. අපට නම්, එවන් සූත්‍රවලට අර්ථයක් ඇත්තේ, පන්ති සබඳතා පිලිබඳ පොදු ඓතිහාසික ඉදිරි දර්ශනයේ අංශයෙන් පමනි. සමහර සිද්ධිවල දී විප්ලවවාදී නායකත්වයක් සූදානම් කිරීම හා ගොඩනැගීම, ලෝක තත්ත්වයේ “වෛෂයික සාධක” විසින් අනවශ්‍ය කරන්නේ, කවර ආකාරයකින්දැයි එස්ඩබ්ලිව්පීය විසින් පෙන්නුම් කල යුතු ය. අඳුරුතම ප්‍රතිගාමීත්වයේ කාලවල දී මෙන් ම, සූදානම්වීමේ හා පූර්ව-විප්ලවවාදී කාලපරිච්ඡේදයන්හි දී ද, එවන් පක්ෂ ගොඩනැගීම, ලෙනින් හා ඔහුගේ අනුගාමිකයන්ගේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික කර්තව්‍යය වේ. ...

'මේ ආකාරයෙන් නායකත්වය හා සවිඥානිකත්වය පිලිබඳ මාක්ස්වාදී න්‍යායය සංශෝධනය කරනු ලැබූ විට, මාක්ස්වාදී නො වන දේශපාලනික ප්‍රවනතා තක්සේරු කිරීමේ සම්පූර්නයෙන් ම වැරදි විධික්‍රමයකට දොර විවර වේ. අධිරාජ්‍යවාදය හා ලෝක නිර්ධන පන්ති විප්ලවය අතරමැද ඔවුන්ගේ නිශ්චිත පන්ති ක්‍රියා කලාපය වෙනුවට, (ඇත්ත වශයෙන්ම, ආපසු හැරවිය නොහැකි හා අතිමහත් 'වෛෂයික' බලවේගවල පීඩනය යටතේ) 'ප්‍රගතිශීලීභාවයේ' හෝ 'වමට චලනය වීමේ' කිසියම් පොදු පරිමානයකට අනුකූලව නායකයෝ විස්තර කෙරෙනු ලබති. ...

'මේ කාලයේ දී, වෛෂයිකවාදය දෙසට පවතින මෙම ප්‍රවනතාව, සුවිශේෂී වසයෙන් අනතුරුදායක බව එස්එල්එල් ජාතික කමිටුව සලකයි. ...ධනේශ්වර ජාතිකවාදීන්ගේ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ, පැරනි යුරෝපීය බලවත් රටවල් තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ හා එක්සත් ජාතීන් මත කේන්ද්‍රගත ව සිටින නව නිලධරයේ භූමිකාව, විශාල දේශපාලනික සහනයන් දීම මතින් වුව, අධිරාජ්‍යවාදී ආර්ථික යාන්ත්‍රනයට දිගට ම පැවතීමේ හැකියාව ලබා දී ඇත. අධිරාජ්‍යවාදයේ ස්ථාවරත්වය සඳහා වැඩ කරන මේ සියලු බලවේගයන් සහ කම්කරු හා ජාතික-විමුක්ති ව්‍යාපාරවල සිටින අවස්ථාවාදීන් තුලින් මේ බලවේගයන් පිලිබිඹු වීම කෙරෙහි සියලු මාක්ස්වාදීන්ට පැහැදිලි පන්ති විරුද්ධත්වයක් තිබීම මූලික අවශ්‍යතාවකි. විප්ලවවාදී පක්ෂයට පවතින ප්‍රධාන අනතුර වන්නේ, අධිරාජ්‍යවාදී වර්ධනයෙහි මෙම අවධියේ දී අවස්ථාවාදයට යටත් වීමයි.

අවස්ථාවාදීන්ට එරෙහි ව, සහ ඔවුන්ගේ ප්‍රතිගාමී පන්ති භූමිකාවෙන් දේශපාලන නිගමන උකහා ගැනීමට අසමත් වන සියල්ලන්ට එරෙහි ව සිදු කෙරෙන ස්ථිරසාර අරගලයකට පමනක් ම, විප්ලවවාදී පක්ෂය පිරිහීමෙන් ආරක්ෂා කරගත හැකි ය. න්‍යායික ව වර්ධනය වීමට හා අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට මේ සියලු ධාරාවන්ගේ ප්‍රතිපදානය අවබෝධ කරගැනීමට අසමත් වීම, හරියට ම එවන් සහන පිදීම්වල හා එවන් අන්තරායන්ගේ ආරම්භය විය හැකි ය. එස්එල්එල් ජාතික කමිටුවේ අදහස වන්නේ, එස්ඩබ්ලිව්පීය එවන් ගමන් මාවතක් අනුගමනය කිරීමේ අන්තරායට වැටී සිටින බව යි. …

'මෙවන් න්‍යායික වෙනස්කම් වල, බරපතල දේශපාලනික ප්‍රතිවිපාක පවතී. ඉදින් එස්ඩබ්ලිව්පී යෝජනාවේ 'නව යතාර්ථය' විසින්, අධිරාජ්‍යවාදයට එරෙහි නිර්ධන පන්තියේ අරගලය තුල සුලු-ධනේශ්වර නායකත්වයන් විප්ලවවාදීන් ලෙස හඳුනා ගනු ලැබෙත් නම්, මාක්ස්වාදී විප්ලවවාදීන් සඳහා එහි ප්‍රායෝගික නිගමන හඳුනාගන්න. සුලු-ධනේශ්වරය ශ්‍රේෂ්ඨ ඓතිහාසික ඉරනමක් සහිත ජීවශක්තියකින් යුත් පන්තියක් බව එමගින් නිසැකයෙන් ම ගම්‍ය කෙරෙන අතර, මේ අවධියේ දී සවිඥානික නිර්ධන පන්තික පෙරටු බල ඇනියේ කාර්යභාරය, අප සිතා තිබුනාට වඩා බොහෝ සෙයින් වෙනස් බැව් පෙනී යයි. සෝවියට් නිලධරය වනාහි, ලෝක විප්ලවයෙහි ක්‍රියා දාමයේ දී හටගත් “අහඹු” පිලිලයක් වෙනුවට, සමාජයීය සංවර්ධනයේ දී අවශ්‍ය ඓතිහාසික අංගෝපාංගයක් වූ පන්තියක් ලෙස විලක්ෂනය කිරීමට හදිසි වූවන්ගෙන් ට්‍රොට්ස්කි ඉල්ලා සිටි පරිදි, සංශෝධනයන් පිලිබඳ ව මුල සිට අග දක්වා සිතා බැලිය යුතු බවත්, ඉතිහාසයේ එම අද්විතීය යුගය සඳහා ඔවුන්ගේ ක්‍රියා මාර්ගය විස්තාරනය කල යුතු බවත්, අපි යලිත් කියා සිටින්නෙමු.' [68]

1962 දී ජාත්‍යන්තර කමිටුව ඇතුලත ගැටුම එහි දෙවන වසරට ඇතුලු වෙද්දී, පැබ්ලෝවාදයේ හා සමාජවාදී කම්කරු පක්ෂයේ න්‍යායික විධික්‍රමය තීරනාත්මක -සමහර විට “සාතිශය ප්‍රබල” යන්න වඩාත් යෝග්‍ය පදය විය හැකිය - විශ්ලේෂනයකට භාජනය කිරීම මඟින්, එස්එල්එල්ය සාකච්ඡාව නව මට්ටමකට ගෙන ආවේ ය. ස්ලෝටර් හා බන්ඩා විසින් “මාක්ස්වාදයේ විකටරූපයක්” යන හිසින් ලේබර් රිවීව් වෙත ලියන ලද කතුවැකියක, කස්ත්‍රෝ හා (ඇල්ජීරියාවේ ධනේශ්වර ජාතිකවාදී එෆ්එල්එන් නායක) බෙන් බෙලා වෙත පැබ්ලෝ ලියූ ලිපිවල ගැබ් වෙන සංශෝධනවාදී න්‍යායඥයාගේ ආන්තික ධාරනාවාදය හා, ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂනයේ වඩාත්ම මූලික අංශ අත්හැර තිබීම හෙලිදරව් කරනු ලැබුනි:

'කස්ත්‍රෝ හා එෆ්එල්එන් වෙත ලියූ පැබ්ලෝගේ ලිපි අයත් වන්නේ, විප්ලවවාදී පක්ෂය, විප්ලවවාදී න්‍යාය හා ඒ මගින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය, ජාතික ව්‍යාපාරය තුල සිටින සුලු-ධනේශ්වර නායකත්වයන්ට යටත් කරන ප්‍රවර්ගයට යි.

හැකි හොඳම ආකාරයෙන් කියතොත්, මෙම ලිපි, සමාජවාදය සහ අධිරාජ්‍යවාදයේ ග්‍රහනය වෙත ආපසු වැටීම අතරින් “තෝරාගැනීමක් කිරීමට” කස්ත්‍රෝ හා එෆ්එල්එන් වෙත කෙරුනු ආයාචනයන්ය. ඓතිහාසික භෞතිකවාදය අමතක කොට තිබේ; තමන්ගේ ම දේශපාලනික න්‍යායය හා සංවිධානය වාත්තු කරගැනීම සඳහා නිශ්චිත පන්තීන් පැවතීමේ අවශ්‍යතාව පිලිබඳ අංශු මාත්‍රයක් හෝ මෙහි නැත. බලයේ සිටින්නන්ගේ හිත් වෙනස් වීමකට ඉතිහාසයේ ගමන් මාවත වෙනස් කල හැකිය. [69]

හුදෙක් ඇල්ජීරියාවේ පමනක් නො ව, අප්‍රිකාවේ සියලු නව ස්වාධීන රාජ්‍යයන්ගේ අනාගතය රැඳී තිබෙන්නේ “මෙම දේශපාලනිකව සීමාසහිත වූ ප්‍රභූන් විසින් රාජ්‍ය බලය යොදා ගැනෙන්නේ කවරාකාර ප්‍රයෝජන සඳහා ද' යන්න මතයැයි [70] සඳහන් පැබ්ලෝගේ කියා පෑම අඩංගු වූ ඡේදයක් වෙත ස්ලෝටර් හා බන්ඩා අවධානය කැඳවූ හ. මේ අනුව, ශ්‍රේෂ්ඨ පැබ්ලෝගේ උපදේශය අනුගමනය කරන බෙන් බෙලා හා අනෙකුත් අය, ස්වාධීන විප්ලවවාදී අරගලයකින් හා කම්කරු පන්තික බලයේ උපකරන නිර්මානය කිරීමකින් තොර ව මහජනයාට සමාජවාදය ත්‍යාගයක් ලෙස ප්‍රදානය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කස්ත්‍රෝ ඉදිරියේ පැබ්ලෝ බඩගෑම පිලිබඳ තවත් උදාහරන දී තිබින:

'මාක්ස්වාදී පක්ෂයක නායකත්වය යටතේ කම්කරු පන්තිය බලය දිනාගැනීමේ අවශ්‍යතාව පිලිබඳ විශ්ලේෂනයක් වෙනුවට, කස්ත්‍රෝ ට කරන චාටුකාර ප්‍රශංසාවක් ආදේශ කරන පැබ්ලෝ, කස්ත්‍රෝ වෙත මෙසේ ලියයි: “අප දැන් සිටින්නේ ඉහල බුද්ධිමය හා ප්‍රායෝගික ගුනයකින් යුත් විප්ලවීය සමාජවාදී නායකත්වයක් ඉදිරිපිට බව මම ඒත්තු ගන්නෙමි ...සත්‍ය වශයෙන් ම ඔබ අයත් වන්නේ, මාක්ස්වාදය නිර්මානාත්මක හා ප්‍රගාඪ විප්ලවීය ආකාරයකින් සොයාගැනීම, ස්වීකරනය කිරීම, අර්ථ කථනය කිරීම හා වර්ධනය කිරීම කරන්නේ කෙසේදැයි දැන සිටි රෝසා ලක්සම්බර්ග්, ලෙනින්,, ලියොන් ට්‍රොට්ස්කි හා සමහර ක්ෂේත්‍රවල දී විප්ලවීය යුගෝස්ලාව් ජාතිකයන් හා චීන ජාතිකයන්ගෙන් සමන්විත වන ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන්ගේ පරම්පරාවකට ය.” මාක්ස්වාදී විශ්ලේෂනය තිබියේවා! පරිමානය පිලිබඳ සියලු සංඥා පවා පසෙකට වීසි කර දමා ඇත.

පැබ්ලෝගේ ලිපියේ හාස්‍යජනක ඡේදයන් මත පැලපදියම් වී සිටීමට අපට නො හැක. ඒවායින් සමහරක් විශ්වාස නොකල හැකි තරම්ය. උදාහරනයක් ලෙස “වඩ වඩා ස්වේච්ඡාවෙන් පිලිගනු ලබන බුද්ධිමය සුජනක විද්‍යාවක් හරහා මානව ද්‍රව්‍යයේ ගුනය පවා වර්ධනය කිරීම” (අභිමතානුසාරී වර්ගයට පෙරාතුව?!) [71] ඇතුලු මහා සමාජ ප්‍රතිසංස්කරන ඔහු පුරෝකථනය කරයි.

පැබ්ලෝගේ බංකොලොත් විධික්‍රමය පිලිබඳ ගර්හාන්විත චෝදනාවක් සමගින් කතුවැකිය මෙසේ සමාප්ත කෙරින:

'සංයුක්ත විශ්ලේෂනය වෙනුවට, වියුක්ත සන්සන්දනය. මූලෝපාය වෙනුවට, ආන්තික සුභවාදය. (“මේ දක්වා කියුබානු විප්ලවයේ ජයග්‍රහන, එහි නායකත්වයේ ගුනාත්මකතාවය හා විචාරාත්මක ජීවගුනය, නිලධාරී තන්ත්‍රයට හා නිලධාරීකරනයට එරෙහි අරගලයෙහි තලයේ දී, යුක්තියුක්තව සිතිය හැකිවාට ද වඩා වැඩි සුභවාදයකට ඉඩ ලබා දෙයි.”)

කම්කරු පන්තිය අතර විප්ලවවාදීන්ගේ වැඩකටයුතු පිලිබඳ ඉදිරි දර්ශනයක් වෙනුවට, කස්ත්‍රෝ වැනි ජාතික අරගලයේ පලමු අවධියේ දී මහජනයාගේ ස්වයං-සිද්ධ සහයෝගය ලබන නායකයන් වෙත වගකීම පවරා අත්හැර දැමීම: “ඉතිහාසය ඉදිරිපිට ඔබගේ ශ්‍රේෂ්ඨ වගකීම රැඳී තිබෙන්නේ ද මෙහි ය.” “කියුබානු හා ලෝක මහජනයාගේ ප්‍රතිලාභය පිනිස මෙම අවස්ථා ඉතාමත් ම ඥානාන්විත ව යොදාගැනීමේ යෝධ ඓතිහාසික කර්තව්‍යය මෙම විප්ලවයේ නායකත්වය මත රැඳී තිබේ.”

නිලධාරී තන්ත්‍රයට එරෙහි අරගලය පිලිබඳ සියලු කතා තිබිය දී ම, අපට මෙහි දැකිය හැක්කේ ඉහටත් උඩින් ගිය නිලධාරී තාන්ත්‍රික මානසිකත්වය යි. ඉතිහාසයේ ගමන් මාවත සවිඥානික ව නීර්නය කිරීම සඳහා මහජනයාට හැකියාව ලබා දෙන, තමන්ගේ ම නායකත්වය ගොඩනගා ගැනීමේ කම්කරු පන්තියේ දෛනික අරගලය වෙනුවට අපට මෙහි පෙනෙන්නේ, මහජනයාගේ “ප්‍රතිලාභ පිනිස” අවස්ථාවන් “ඉතා ම ඥානාන්විත ව යොදා ගන්නා ලෙස” කස්ත්‍රෝට හා අන්‍යයන්ට කැඳවුම් කිරීමයි.

මොන ආකාරයකින් වටහා ගනු ලැබූව ද, පැබ්ලෝගේ ලිපි ට්‍රොට්ස්කිවාදියෙකුගේ ලිපි නො වේ. ඒවා, ජාතික ව්‍යාපාර තුල පවත්නා නායකත්වයට න්‍යායික ව හා ප්‍රායෝගික ය යටත් වීම ආවරනය කිරීමට දරන හාස්‍යජනක ලෙස අසාර්ථක උත්සාහයක් මිස වෙනකක් නො වේ. ලෝකයේ සෙසු කොටස්වල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටැලින්වාදී නිලධරයන් කෙරේ පැබ්ලෝවාදීන්ගේ ආකල්පය තුල මෙම යටත්වීමෙහි ප්‍රතිමූර්තිය හමුවේ. [72]

ඒවා ලියනු ලැබීමෙන් ආසන්න වසයෙන් 60 වසරකට පසුව, අනාගතයේ රැඳී ඇත්තේ කවරක් ද යන්න දැන සිටීමේ ප්‍රතිලාභය සමගින් මෙම ඡේදයන් විමර්ශනය කිරීමේ දී, පැබ්ලෝගේ පල්හෑලි වලංගු ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනයක් ලෙස එස්ඩබ්ලිව්පීය විසින් ආරක්ෂා කරනු ලැබිය හැකි ව තිබීම හෝ 1953 භේදයට තුඩු දුන් දේශපාලන වෙනස්කම් විසඳී තිබුනේ යයි එස්ඩබ්ලිව්පීයට අවධාරනය කල හැකි වී තිබීම, වත්මන් පාඨකයා ව විස්මය දනවන තැනකට පත්කරනු ඇත. එහෙත්, පැබ්ලෝවාදය කරා එස්ඩබ්ලිව්පීයේ හැරීම නීර්නය කරන ලද්දේ, සංශෝධනවාදී නායකයන්ගේ තර්ක කිරීම්වල ගුනාත්මකභාවය විසින් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් එස්ඩබ්ලිව්පීය මත යොදන ලද වෛෂයික පීඩනය සහ රැඩිකල් මධ්‍යම පන්තියේ දේශපාලනික දිශානතියට එහි අනුගත වීම විසිනි.

සටහන්:

(53) “නව වම හා කම්කරු පන්තිය”, ලේබර් රිවීව්, 1959 ජූලි-අගෝස්තු, 4 වෙලුම, අංක 2, 50 පිටුව

(54) එම.

(55) මාක්ස්-එංගල්ස් එකතු කල කෘති (නිව් යෝක්: ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස්, 1975), 4 වෙලුම, 37 පිටුව.

(56) එම., 51-52 පිටු

(57) ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ ජාත්‍යන්තර බුලටීනයෙන් උපුටා ගැනුනි, 1959 අප්‍රේල්, ලේබර් රිවීව්, 1959 ජූලි-අගෝස්තු, 4 වෙලුම, අංක 2, 33 පිටුව.

(58) ලේඛනය මෙතැනින් ලබාගත හැක .

(59) එම.

(60) එම.

(61) ලේබර් රිවීව්, 1959 ජූලි-අගෝස්තු, 4 වෙලුම, අංක 2, 38 පිටුව.

(62) සංශෝධනවාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදය: ලේඛනගත ඉතිහාසයක්, තුන්වන වෙලුම (ලන්ඩන්: නිව් පාක් පබ්ලිකේෂන්ස්, 1974), 48 පිටුව.

(63) එම., 49 පිටුව.

(64) එම.

(65) එම., 71 පිටුව.

(66) එම., 73 පිටුව.

(67) එම., 97-98 පිටු.

(68) එම., 161-69 පිටු.

(69) ලේබර් රිවීව්, 7 වෙලුම, අංක 1, 1962 වසන්තය, 5 පිටුව.

(70) එම.

(71) එම., 6-7 පිටු.

(72) එම.

Loading