ජනාධිපති “එක රටක්, එක නීතියක්” නමින් වාර්ගික ආතතීන් අවුලුවන කාර්ය සාධක බලකායක් පිහිටුවයි

[මෙහි පලවන්නේ Sri Lankan president’s “One Country, One Law” taskforce will provoke racial tensions යන මැයෙන් නොවැම්බර් 8, 2021දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

මුස්ලිම්-විරෝධී හැඟීම් ඇවිස්සීම පිලිබඳ ව කුප්‍රකට අන්තවාදී බොදු බල සේනා (බොබසේ) නායක ගලගොඩඅත්තේ ඥානසාර නායකත්වය දෙන හා සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත “එක රටක්, එක නීතියක්” නමැති කාර්යසාධක බලකායක් ජනාධිපති රාජපක්ෂ විසින් පත් කර ඇත.

ජනාධිපති රාජපක්ෂ ගාල්ලේ දී බොදු බල සේනාහි බෞද්ධ නායකත්ව ඇකඩමිය විවෘත කරයි (ස්තුතිය: defence.lk)

“කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු” නිසා, “එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර,” නීති කෙටුම්පතක් සකස් කිරීමට, තමන් කාර්යසාධක බලකායක් ස්ථාපනය කරන බව, ඔක්තෝබර් 26දා නිකුත්කල අතිවිශේෂ ගැසට් පත්‍රයකින් රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

අධිකරන අමාත්‍යාංශය විසින් දැනටමත් සකස් කොට ඇති පනත් කෙටුම්පත් හා සංශෝධන අධ්‍යයනය කිරීමේ පුලුල් බලතල කාර්යසාධක බලකායට හිමි වේ. තමන්ගේ ම සංශෝධන හා යෝජනා අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ඇති බලකාය, පෙබරවාරි 28දා වන විට අවසන් වාර්තාවක් බාර දෙනු ඇත.

තම ඉලක්කය වන්නේ වෙනස්කම් කිරීම් අවසන් කොට සියලු පුරවැසියන්ට සමාන ව සැලකීම යන රාජපක්ෂගේ කියාපෑම අමු කෙප්පයකි. ඒකාධිපති ජනාධිපති පාලනයක් තහවුරු කරගැනීමට සූදානම් වන රාජපක්ෂ, පෙර නුවූ විරූ වාර්ගික හා ආගමික ආතතීන් ඇවිලවීමට කොන්දේසි නිර්මානය කරමින් සිටී.

“එක රටක්, එක නීතියක්” යන්න ඉදිරියට දමනු ලබන්නේ, සමස්ත රටට ම පොදු නීති මාලාවක් හඳුන්වා දීම ලෙස ය. රෝම-ලන්දේසි නීතිය මත ප්‍රධාන වසයෙන් පදනම් වන ලංකාවේ නීතිය තුල ව්‍යතිරේකයන් ද තිබේ: එනම්, මුස්ලිම්වරුන්ට සම්බන්ධ සමහර පුද්ගලික නීති; උතුරේ දෙමල වැසියන්ගේ දේපොල අයිතීන් සමග ප්‍රධාන වසයෙන් සම්බන්ධ තේසවලාමේ නීතිය හා මධ්‍යම කඳුකරයේ සමහර සිංහලයන් විසින් තවමත් භාවිතා කරනු ලබන උඩරට නීතිය යි. මේ සියල්ල පරාගත නීතීන් වන අතර ම, රාජපක්ෂ හා ඔහුගේ ස්වෝත්තමවාදී සගයන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ මුස්ලිම්වරුන් හා දෙමල වැසියන් අතර භාවිතා වන නීතිය යි.

ශාස්ත්‍රාලිකයන් හා නීතිඥයන් -ඔවුන්ගෙන් සමහරුන්ට ස්වෝත්තමවාදී පසුබිමක් ඇත- ඇතුලු සිංහල වාර්ගිකයන් නව දෙනෙකුගෙන් හා රාජපක්ෂට කීකරු මුස්ලිම්වරුන් හතර දෙනෙකුගෙන් කාර්යසාධක බලකාය සමන්විත වේ. මෙම කන්ඩායමේ නායකත්වයට ඥානසාර පත්කරනු ලැබීමෙන් එහි සැබෑ අභිප්‍රායය නිරුපනය කෙරෙයි.

ඥානසාර බොබසේ පිහිටු වූයේ 2012 දී ය. ඊට පෙර ඔහු, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි කොලඹ ආන්ඩුවේ ප්‍රජාගනවාදී යුද්ධයට උග්‍ර පිටුබලය දුන් වර්ගවාදී ජාතික හෙල උරුමයේ නායක සාමාජිකයෙක් විය.

හිටපු ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ ද එවකට ආරක්ෂක ලේකම් හා දැන් ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ ද ආරම්භයේ පටන්ම බෝබසේට අනුග්‍රහය ලබාදෙමින් එහි සිංහල ස්වෝත්තමවාදී ප්‍රචාරයට හා ප්‍රකෝපකරනයන්ට ආවෘත ව පිටුබලය දුන්හ.

බෝබසේ, මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානිවරුන් ඉලක්ක කරගත් වර්ගවාදී ප්‍රකෝපකාරී ප්‍රහාර එක දිගටම එල්ල කලේය. “සාදාචාර-විරෝධී ආගම් වෙනස්කිරීම්,” “පුරාවිද්‍යාත්මක ස්මාරක විනාශ කිරීම්” හා “සංස්කෘතික ආක්‍රමනය” ගැන බෝබසේ ඔවුන්ට චෝදනා කලේ ය. විවෘත ව නීතිය උල්ලංඝනය කරමින් බොබසේ නිදැල්ලේ ක්‍රියා කලේ මිලිටරිය හා පොලීසිය දුන් නිහඬ සහයෝගය ඇතිවය.

ජනමාධ්‍යවේදියෙකු පැහැරගෙන යාමට මිලිටරි ඔත්තු සේවා නිලධාරීන්ගේ සම්බන්ධය පිලිබඳ ව 2016 පැවති නඩු විභාගයකට බාධා කිරීම නිසා “උසාවියට අපහාස කිරීමේ” වරදට 2018 දී ඥානසාරට වසර හයක සිර දඬුවමක් නියම විය. මිලිටරි නිලධාරීන්ට ඇප නො දීම අරබයා, ඔහු විනිසුරුවරයාට හා නීතිඥවරුන්ට කෑගසා, ජනමාධ්‍යවේදියාගේ බිරිඳට තර්ජනය කලේ ය.

සිංහල-බෞද්ධ වර්ගවාදයට කොලඹ දේශපාලන සංස්ථාපිතයෙහි සෑම කොටසක් ම දක්වන පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරමින්, 2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඥානසාරට ජනාධිපති සමාව දුන්නේ ය.

කාර්යසාධක බලකායේ ප්‍රධානත්වයට ඥානසාර පත්කිරීම ප්‍රධාන ධාරාවේ සමහර මාධ්‍ය ද ඇතුලු පලල් කොටසකගේ හෙලාදැකීමට ලක්ව පවතී. රාජපක්ෂගේ කීකරු සගයෙක් වන අධිකරන ඇමති අලි සබ්රි ඔහුගේ ඉල්ලා අස්වීම පවා බාර දුන්න ද එය ප්‍රතික්ෂේප කෙරුනි.

සෙනසුරාදා පැවති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින්, ඥානසාර පත්කිරීම සාධාරනීකරනය කිරීමට රාජපක්ෂ උත්සාහ කලේ ය: “ගෙවීගිය අවුරුදු පහ තුල ‘එක රටක්, එක නීතියක්’ සංකල්පය ගැන එක දිගටම කතා කලේ මේ ස්වාමීන් වහන්සේයි.”

රාජපක්ෂ මෙම කාර්යසාධක බලකාය පිහිටුවීම අහම්බයක් නො වේ. ආන්ඩුවත්, සමස්තයක් ලෙස පාලක ප්‍රභූවත්, කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කර ඇති පෙර නුවූ විරූ ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මුහුන දෙති. නය ආපසු ගෙවීම පැහැර හැරීම අද්දරක ආන්ඩුව සිටින අතර, ආර්ථිකය මහා වියවුලක ගිලී ඇත.

ආන්ඩුව හා මහ ව්‍යාපාරිකය වැටුප්, රැකියා හා සමාජ කොන්දේසි මත එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව රට පුරා සිංහල, මුස්ලිම් හා දෙමල කම්කරුවන් එක්සත් කරමින් කම්කරු පන්තික අරගල පුපුරා යමින් තිබේ. ඒ අතර ම, වී ගොවීන් හා අනෙකුත් අය පොහොර, කෘමිනාශක හා බෝග වගාවන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් ඉල්ලමින් ගම්බද ප්‍රදේශ තුල විරෝධතා සමග වැඩෙන පෙරලිකරිත්වයක් මතුවී තිබේ.

රාජපක්ෂ හා ඔහුගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොපෙ) ආන්ඩුව, වර්ධනය වන මෙම අරගල මැඩීමට හා බිඳ දැමීමට අධිෂ්ඨානවත් ය. රජයට අයත් මූලික අංශවල වැඩ වර්ජන තහනම් කිරීමේ හා රුදුරු දඬුවම් දීමේ විසකුරු නීති පැනවීම ද ප්‍රජාගනවාදය ඇවිලවීම සහ අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී කන්ඩායම් ඉදිරියට දැමීම ද ආන්ඩුවේ ප්‍රහාරයට ඇතුලත් වේ.

1948 නිදහසේ පටන් බලයට පත්වුනු සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක් ම, අර්බුදයන්ට මුහුන දුන් විට දෙමල සුලුතරයට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීම් යොදාගෙන ඇත. 1956 දී සිංහල රටෙහි එක ම නිල භාෂාව බවට පත් කල කොලඹ පාලනය, 1972 දී ව්‍යවස්ථාව තුල රාජ්‍ය ආගම වසයෙන් බුද්ධාගමට කොත පලඳවා සිංහල ප්‍රධාන නිල භාෂාව බවට පත් කරන ලදී.

1980 ගනන් මුල දී නව අර්බුදයකට මුහුන දෙමින් හා නැගෙන මහජන විරුද්ධත්වයට ප්‍රතිචාර වසයෙන්, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ප්‍රකෝපකරනයන් මාලාවකට පසුව එල්ටීටීඊයට එරෙහි ලේවැකි 30-අවුරුදු යුද්ධය මුදා හැරියේ ය. 2009 මැයි මාසයේ දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දමමින් අවසන් කරන ලද යුද්ධයේ අවසන් වසර කිහිපය 2006 පටන් අධීක්ෂනය කලේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ විසිනි.

වර්තමාන ජනාධිපති රාජපක්ෂගේ ඊනියා එක රටක්, එක නීතියක් උද්ඝෝෂනය, ඔහුගේ මැතිවරන ව්‍යාපාරයෙහි මධ්‍යම අක්ෂයක් විය. 2019 වසරේ පාස්කු ඉරිදා පුද්ගලයන් 270ක් පමන ඝාතනය කරමින් කතෝලික පල්ලි හා මහා හෝටල් කිහිපයකට එල්ල වූ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාර, ප්‍රජාගනවාදය ඇවිලවීමට ඔහු හා ඔහුගේ ශ්‍රීලපොපෙ ඩැහැගත් හ. බෝම්බ ප්‍රහාරවලින් ඉක්බිති ව, ශ්‍රීලපොප ඇතුලු ලංකාවේ ධනපති පක්ෂ විසින් උසිගන්වන ලද වර්ගවාදී කන්ඩායම්, මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාර දියත් කල හ.

යන්තම් සති කිහිපයකට පසුව, රාජපක්ෂ සිය ජනාධිපති ධුරාපේක්ෂකත්වය නිවේදනය කලේ, තම ප්‍රමුඛතාව “ජාතික ආරක්ෂාව” රැකීම බව ප්‍රකාශ කරමිනි. බොබසේ හා සිහල රාවය, සිහල ලේ හා අනෙකුත් ස්වෝත්තමවාදී නඩ සහයෝගය පිනිස ඔහුගේ එම උද්ඝෝෂනය වටා රැලි වූ හ.

මැතිවරනයෙන් පසු රාජපක්ෂ සිය මුස්ලිම්-විරෝධී ව්‍යාපාරය ඉදිරියට ගෙන යමින් තහවුරු නො කරන ලද චෝදනා මත, දේශපාලන පක්ෂ නායකයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුලු මුස්ලිම්වරුන් සිය ගනනක් අත් අඩංගුවට ගැනීම හා සිරගත කිරීම සිදු කර ඇත. “එල්ටීටීඊ ත්‍රස්තවාදයට” සම්බන්ධ යයි “සැක පිට” දෙමල ජනමාධ්‍යවේදීන් හා මුහුනුපොත් ගිනුම් භාවිතා කරන්නන් දුසිම් ගනනක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

රාජපක්ෂ අඛන්ඩ ව එක රටක්, එක නීතියක් ගැන සඳහන් කලත්, එය ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගත් මුල්ම අවස්ථාව වූයේ ඔක්තෝබර් 26 දිනැති නිවේදනය යි.

තමන් කිරීමට අදහස් කරන්නේ කවරක්දැයි විස්තර කරමින්, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඥානසාර නොවැම්බර් 1දා තෝරාගත් ජනමාධ්යවේදීන් කන්ඩායමක් ඇමතී ය.

“අද අපේ සියලු අසීරු ක්‍රියාවල ප්‍රතිඵලයක් අපි ලබාගෙන තිබෙනවා. ජනාධිපති තුමාගේ අවධානය යොමු වී ඇත්තේ මෙම ප්‍රශ්න ගැන අවධාරනාත්මක ව කතා කිරීමට යි. අපට යෝජනා ගනනාවක් ම තිබෙන අතර, මේ සියල්ල එක්රැස් කරගෙන අපිට එක් ව නැගී සිටිය හැකි නම්, අපි ජාතියක් ලෙස නැගී සිටින දිනය වනු ඇත්තේ එදිනයි” යි ඔහු ජයග්‍රාහී ලෙස ප්‍රකාශ කලේ ය.

ඥානසාරගේ ඊනියා දුෂ්කර වැඩ යනු, පසුගිය දශකය පුරා ඔහුගේ සංවිධානය හා එහි දේශපාලන සගයන් විසින් ක්‍රියාවට දමන ප්‍රජාගනවාදී ප්රකෝපකරනයන් ය. මෙම ප්‍රහාර මාලාව මෙහි ලැයිස්තුගත කිරීමට නො හැකි තරම් දීර්ඝ වේ. සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනවරත ව මෙම ෆැසිස්ට්වාදී කන්ඩායමේ මෙහෙයුම් හෙලිදරව් කර ඇත.

2014 දී සිංහල වර්ගවාදී හැඩියන් විසින් ගිනි තබන ලද මුස්ලිම් කඩසාප්පුවලින් ඉතිරි වූ දේ

2014 දී හිටපු මහින්ද රාජපක්ෂගේ පාලනය ගැඹුරු අර්බුදයකට මුහුන දුන් විට, බොබසේ නායක ඥානසාර අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ප්‍රධාන මුස්ලිම්-විරෝධී ප්‍රහාරයක් ඇවිලවී ය. ඒ අවධියේ පල කල සසප ප්‍රකාශයක් සඳහන් කල පරිදි:

'රාජපක්ෂ ආන්ඩුව සමග එකට වැඩ කරන සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ මතුවීම කම්කරු පන්තියට ඉමහත් අන්තරායන් මතු කරයි. මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරවලට විරුද්ධ වන ලෙස ද සියලු වැඩකරන ජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස ද කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී. මෙම වර්ගවාදී සංවිධානවලට එරෙහි ව සටන් කිරීමේ එක ම මාර්ගය වන්නේ පොදු පන්ති අවශ්‍යතා මත කම්කරුවන් හා තරුනයන් ස්වාධීන ව බලමුලු ගැන්වීමත් රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව ඒකාබද්ධ දේශපාලන අරගලයක් දියත් කිරීමත් ය.'

ඉන් වසර හතකට පසුව, සිය ජාත්‍යන්තර පාලකයන් මෙන්ම රාජපක්ෂ පාලන තන්ත්‍රය ද වඩා ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයකට සහ කම්කරු-පන්තික අරගලවල පුනර්ජීවනයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, ආඥාදායක පාලන රූප සඳහා කොන්දේසි සූදානම් කරගැනීම පිනිස, අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී කන්ඩායම් යොදා ගනිමිනි.

කතුවරයා පහත ලිපි ද අවධාරනය කරයි:

සංවිධානාත්මක ප‍්‍රචන්ඩත්වය හටගත්තේ කෙසේදැයි මුස්ලිම්වරු විස්තර කරති

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව ආන්ඩුව විෂඝෝර ජාතික හදිසි තත්ත්වයක් පනවයි

Loading