ඉන්දියාවේ මර්දනකාරී චිත්‍රපට වාරන තන්ත්‍රය තවත් තද කිරීමට මෝදි ආන්ඩුව සැරසෙයි

[මෙම ලිපිය Modi government seeking to tighten India's repressive film censorship regime  යන මැයෙන් 2021 ඔක්තෝබර් 22 පලවු ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව සිනමාලේඛ (සංශෝධන) පනත, 2021 මගින්, රට තුල දැනටමත් බාධාකාරී ව සහ පැතිරී පවතින චිත්‍රපට වාරන තන්ත්‍රය තවදුරටත් තද කිරීමට සූදානම් වෙයි. මෙම යෝජිත පනත ඉන්දීයාවේ දැනට පවතින වාරන නීතිය වන 1952 සිනමාලේඛ පනත සංශෝධනය කරන්නේ ප්‍රදර්ශනය සඳහා කලින් සහතික කෙරුනු චිත්‍රපටයක් නැවත වරක් සහතික කිරීමට නියෝග කිරීමේ බලය දෙන “සංශෝධන බලතල” මධ්‍යම ආන්ඩුවට දීම මගිනි. මෙ මගින් මෙම යෝජිත පනත ඉන්දියාවේ දැනට පවතින වාරන නීතිය වන 1952 චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මන්ඩල පනත හෙවත් වාරන මන්ඩලය (සීබීඑෆ්සී) විිසින් අධීක්ෂනය කරනු ලබන්නා වූ වර්තමාන වාරන තන්ත්‍රයට තවත් සෘජු රාජ්‍ය වාරන බලතල මාලාවක් අමතර ව ලබා දෙයි.

සීබීඑෆ්සී ය යනු චිත්‍රපට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සහ නියාමනය කිරීම සඳහා ප්‍රවෘත්ති සහ ගුවන්විදුලි අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ආයතනයකි. චිිත්‍රපටිි මහජන ප්‍රදර්ශනය සඳහා නෛතිකව ඉදිරිපත් කිරීමට පෙර ඒවා සංශෝධනය කිරීමට අන දීමේ හෝ ප්‍රදර්ශනය මුලුමනින් ම තහනම් කිරීමේ හෝ බලතල එය සතු ය.

දැන් අහෝසි කර තිබෙන චිත්‍රපටි සහතික අභියාචන විනිශ්චය සභාවට අභියාචනා කිරීමෙන් පසු ව ඉන්දියාව තුල නිදහස් කර ගනු ලැබූ අශ්වින් කුමාර්ගේ “නෝ ෆාදර්ස් ඉන් කාශ්මිර්” චිත්‍රපටයේ දර්ශනයක්

වාරන මන්ඩලය මධ්‍යම ආන්ඩුව විසින් පත් කරනු ලැබූ සභාපතිවරයෙක් සහ සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි මූලස්ථානය පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ චිත්‍රපට කර්මාන්තයේ මධ්‍යස්ථානය වන මුම්බායි හි ය. එහි කලාපීය ශාඛා මුම්බායි, කොල්කතා, චෙන්නායි, බැන්ගලෝර්, තිරුවානන්දපුරම්, හයිද්‍රාබාද්, නවදිල්ලිය, කට්ටෑක් සහ ගුවහාති යන නගරවල පිහිටුවා ඇත. චිත්‍රපට පරීක්ෂා කිරීම සඳහා මේවාට උදව් කිරීමට මෙම ශාඛා තුල මධ්‍යම ආන්ඩුව විසින් උපදේශක මන්ඩල වසර දෙකක සේවා අයිතියක් මත පත් කර ඇත. ලිංගිකත්වයල නග්න බව සහ ප්‍රචන්ඩත්වය හෝ “දේශපාලනිකව විනාශදායක දේවල් ඇතුලු ඔවුන් අහිතකර ලෙස සලකන්නා වූ ම්නෑ ම දෙයක් ඉවත් කිරීමට අධ්‍යක්ෂවරුන්ට සීබීඑෆ්සී ය නිරන්තර ව අන දෙයි. සහතික කිරීම, “මතභේදයට තුඩුදිය හැකි” ජවනිකා කපා දැමීමේ කොන්දේසියට යටත් ව, නිරන්තර ව සිදුවෙයි.

යෝජිත පනතින් නරේන්ද්‍ර මෝදිගේ බීජේපී ආන්ඩුව උත්සාහ කරන්නේ චිත්‍රපටයක් වාරන මන්ඩලය මගින් සහතික කිරීමෙන් පසු එය බෙදා හැරීම ගැන ඇඟිලි ගැසීමට හෝ ඒවා වෙනස් කිරීමට මධ්‍යම ආන්ඩුවට බලපෑම් කල නො හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරනය ඒ කේ එම් ෂන්කරප්පා 2001 නඩුවෙන් ඉන්දීය ආන්ඩුවට එරෙහිව දුන් තීන්දුව බලරහිත කිරීමට ය.

නව වාරන බලතල ලබා ගැනීමට මෝදි ආන්ඩුව උත්සාහ ගන්නේ සීබීඑෆ්සීයේ තීන්දු ගැන නො සතුටු වන චිත්‍රපටකරුවන් සඳහා විනිශ්චය මන්ඩලයක් ලෙස 1983 දී පිහිටුවනු ලැබූ චිත්‍රපට සහතික අභියාචනා විනිශ්චය සභාව අහෝසි කිරීමෙන් ක්ෂනික ඉක්බිත්තෙහිය. ‘විනිශ්චය සභා ප්‍රතිසංස්කරන (යථාර්ථකරනය සහ සේවා කොන්දේසි ආඥාපනත 2021) නමැති විධායක ආඥාව මගින් සහ පසු ව අගෝස්තුවේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විනිශ්චය සභා සංශෝධන පනත මගින් ආන්ඩුව අන්තනෝමතික ලෙස එෆ්සීඒටී විනිශ්චය සභාව අහෝසි කලේ ය.

මෝදි ආන්ඩුවේ සිනමා වාරනය දැඩි කිරීම ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එය එල්ල කරන පලල් වූ ප්‍රහාරයේ කොටසකි. පෙබරවාරි මස දී එය ප්‍රවෘත්ති තාක්ෂනය (අතරමැදියන්ට මාර්ග නිර්දේශ සහ මාධ්‍ය සදාචාර සංග්‍රහය) විධිවිධාන 2021, පැන වූයේ ඕටීටී වේදිකා (අන්තර්ජාලය හරහා චිත්‍රපට සහ රූපවාහීනී කතාංග විකාශය කරන සේවාවක්) සහ සමාජ මාධ්‍යයන් පාලනය කිරීමේ සහ වාරනය කිරීමේ අරමුනෙනි.

අනුරාග් කාෂ්‍යප්, හන්සාල් මේතා, වෙට්රි මාරන්, නන්දිතා දාලස් මීරා නායර්, ෂබානා ආස්මි, ෆර්හාන් අක්තාර්, සෝයා අක්තාර් සහ දීපංකර් බැනර්ජි ඇතුලු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්. නිෂ්පාදකයින්, තිර රචකයින් සහ නලුවන් බොහෝ දෙනෙක් නව වාරන පියවරයන්ට තදින් විරෝධය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ චිත්‍රපටි නිෂ්පාදනයේ නියුතු 3000කට වැඩි දෙනෙක් විරෝධතා ලිපියක් ප්‍රවෘත්ති සහ ගුවන්විදුලි අමාත්‍යාංශයට යවා ඇත. එය මෙසේ පවසයි: “සිනමාලේඛ පනත සංශෝධනය කිරීමට ආන්ඩුව ගන්නා උත්සාහය චිත්‍රපට කලා සහෝදරත්වයට එල්ල කෙරෙන තවත් පහරකි. එය “ප්‍රකාශනයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය අනතුරට ලක් කිරිමේ තර්ජනය ඇති කරයි”. එය තවදුරටත් අනතුරු හඟවන්නේ යෝජිත සංශෝධන” “චිත්‍රපටකරුවන් රාජ්‍යයේ හස්තය ඉදිරියේ බලරහිත කරන” බවත් බලහත්කාරී වාරනය යොදවන මැරකල්ලිවල තර්ජන, කලාවස්තූන් කෙලෙසීම සහ තර්ජනකාරී බියවැද්දීම්වලට ගොදුරු වීමට වඩවඩාත් මුහුන දෙන බවත් පවසමිනි. මෙහි මැරකල්ලි ලෙස හැඳින්වෙන්නේ චිත්‍රපට නිෂ්පාදනය හෝ ප්‍රදර්ශනය කිරීම් නවත්වා දැමීමේ අරමුනින් බොහෝ විට බීජේපී දේශපාලනඥයින් විසින් මෙහෙය වනු හා උසිගැන්වනු ලැබ නිරන්තර ව කෙරෙන්නා වූ අන්ත දක්ෂිනාංශික හින්දු ස්වෝතමවාදී සහ මූලධර්මවාදී මෙහෙයවීම් ය.

පලල් කරනු ලැබූ වාරන බලතලවල අර්ථභාරය සම්පින්ඩනය කරමින් ලිපිය මෙසේ සඳහන් කලේ ය: “මෙම බලතලවල ප්‍රතිපලය වන්නේ ‘රට තුල චිත්‍රපට ප්‍රදර්ශනය මත උපරිම බලය මධ්‍යම ආන්ඩුවට ලබා දීමයි”.

ජේෂ්ඨ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අදූර් ගෝපාලක්‍රිෂ්නන් ‘ද හින්දු’ පුවත්පත ට මෙසේ පැවසීය: “අද පවා වාරනය ආන්ඩුවේ කැමැත්ත ක්‍රියාත්මක කරන හෙයින් සහතික කිරීමේ ක්‍රියාදාමය තුල චිත්‍රපටකරුවන්ට වැඩිමනත් බලපෑමක් කිරීමට නො හැකිය. “අපි ඒකාධිපතිත්වයක් නො වෙමු. සෑම පුරවැසියෙකුට ම බලයේ සිටින ආන්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කිරිමේ අයිතිය හිමි ය”. කැපී පෙනෙන වාර්තා චිත්‍රපටකරුවෙක් වන ආනන්ද් පත්වර්ධන් මෙසේ පැවසීය: “වාරන මන්ඩලය විසින් සහතික කරනු ලැබූ චිත්‍රපටයක් යලි වාරනයට කැඳවීමට හැකි වන පරිදි මධ්‍යම ආන්ඩුව විසින් සිනමාලේඛ පනතට යෝජනා කෙරෙන සංශෝධන භයානක වන අතර අර්ථ විරහිත වන්නේ ද වෙයි”.

ස්ටැලින්වාදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඑම්) දේශපාලන මන්ඩලය ජුලි 01වැනිදා නිකුත් කල ප්‍රකාශනයක මෙසේ සඳහන් විනි: “දේශපාලන මන්ඩලය, සිනමා ප්‍රතිභාවේ සහ නිර්මාන නිදහසේ ගෙල මිරිකා දැමීම අරමුනු කර ගත් මෙම භයානක සංශෝධනවලට බලවත් සේ විරුද්ධ වෙමින් පිලිගැනීමට ලක් වූ චිත්‍රපටකරුවන් බල කරන පරිදි අභියාචන මන්ඩලය පුනස්ථාපනය කල යුතු යැයි කියා සිටිමු”. වෙන වචනවලින් කිව හොත්, ස්ටැලින්වාදීහු මෝදි ආන්ඩුවේ නව වෙනස්කම්වලට නාමිකව විරුද්ධ වන නමුත් ජාතික ධනේශ්වරය විසින් අධිරාජ්‍ය විරෝධී අරගලය ගබ්සා කිරීමෙන් පසු ව බිහි වූ ඉන්දීය ධනේශ්වර රාජ්‍යය විසින් ම නිර්මානය කරනු ලැබූ පවත්නා චිත්‍රපට වාරන තන්ත්‍රයට පූර්න සහාය දෙයි.

මාක්ස්වාදීහූ රාජ්‍ය කලා වාරනයට විරුද්ධ වෙති. එය ප්‍රකාශනයේ, චින්තනයේ සහ විවේචනයේ නිදහස මර්දනය කිරීම ද යටත්භාවය, ජාත්‍යාධිපත්‍යය සහ ප්‍රතිගාමිත්වය පැලපදියම් කිරීම ද සඳහා ධනේශ්වර රාජ්‍යය යොදා ගන්නා උපකරනයකි. සැබෑ කලාව මල්පල ගන්නේ, ධනේශ්වර රාජ්‍යය සහ තමන් විසින් ම පත්කර ගත්තා වූ සදාචාර ආරක්ෂකයින් කලාකරුවන් මර්දනය කිරීමට ගන්නා සියලු උත්සාහයන්ගෙන් නිදහස් ව තම අදහස් ගවේෂනය කිරීම සඳහා ඔවුනට බාධාවන්ගෙන් තොර වූ නිදහසක් දීමෙන් පමනකි.

ඉන්දියාවේ පාලන තන්ත්‍රයේ සහ චිත්‍රපට වාරන නීතිවල මූලයන් පවතින්නේ යටත් විජිත විරෝධී අරගලයට සහාය දුන් අදහස් සහ කලා කෘති මර්දනය කිරීමට මෙම නීති යොදා ගත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී රාජ්‍යය තුල ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග 1947 දී ඇති කර ගත් ස්වාධීනතා සහ රට දෙකඩ කිරීමේ ගනුදෙනුවේ කොටසක් ලෙස එම නීති ඉන්දීය ධනේශ්වරය විසින් අත්පත් කර ගන්නා ලදී. මහත්මා ගාන්ධි සහ ජවහර්ලාල් නේරුගේ දේශපාලන නායකත්වය යටතේ, දකුනු ආසියාවෙන් ඉවත් ව යන යටත්විජිත හාම්පුතුන් විසින් නිර්මානය කරන ලද්දා වූ රාජ්‍ය මර්දනයේ මුලුමහත් යාන්ත්‍රනයේ පාලනය ඉන්දීය පාලක පංතිය තමන් අතට ගෙන ඉන්දීය උපමහාද්වීපය හින්දු ආධිපත්‍යධාරී ඉන්දියාවකට ද පැහැදිලි ව මුස්ලිම් වූ පකිස්ථානයකට ද ලේවැකි ආකාරයෙන් බෙදීම බලහත්කාරී ව පටවන ලදී.

වාරනය සහ මර්දනයට මෝදි ආන්ඩුව හැරෙන්නේ ගෝලීය නොවිඩ්- 19 වසංගතය මගින් උත්සන්න කරනු ලැබූ දැවැන්ත ආර්ථිකල දේශපාලන සහ සමාජ අර්බුදයක කොන්දේසි යටතේය. නිල ප්‍රකාශවලට අනුව වසංගතය විසින් මරා දමනු ලැබ ඇත්තේ ඉන්දියානුවන් 450,000කට මඳක් වැඩි සංඛ්‍යාවක් වන නමුත් විද්‍යාත්මක සමීක්ෂන මාලාවක් මගින් පෙන්වා දී ඇත්තේ ජීවිත බේරා ගැනීම වෙනුවට සංගත ලාභ නිපදවීමට ප්‍රමුඛස්ථානය දීමේ මෝදි ආන්ඩුවේ පිලිවෙත මගින් මිලියන 5කට වඩා මියගොස් ඇති බවය.

අන් සියල්ලට මත් වඩා කම්කරු පංතියෙන් සහ ගම්බද ව මහන්සි වී වැඩ කරන්නන්ගෙන් කඳු ගැසී මතු වන විරෝධයට බිය වැදෙන බීජේපී ආන්ඩුව රාජ්‍යයේ අන්තනෝමතික බලතල තවදුරටත් ශක්තිමත් කිරීමට උත්සාහ කරයි. එහි වාරන පනත විසම්මුතික අදහස් මර්දනය කිරීමට මහ ආන්ඩුවේ නව ලිබරල් ආර්ථික සැලැස්මට සහ යුදවාදී හින්දු ස්වෝත්තම සැරසිලි සහිත ඉන්දියානු ජාතිකවාදයට එරෙහි වන සැවොම ත්‍රස්ත කිරීමේ උත්සාහයන්හි කොටසකි. වාරන බලය වැඩි කිරීම සහ ප්‍රතිගාමී සමාජ වාතාවරනයක් වගා කිරීම මගින් මෝදි ආන්ඩුව ඔවුන්ගේ පිලිකුල් සහගත ජාතිභේදවාදී දෘෂ්ටියට සහ ආක්‍රමනකාරී මහා ව්‍යාපාරික වැඩ සටහනට අභියෝග කරන්නා වූ කිසිම බැරෑරුම් කෘතියක් නිර්මානය කිරීම කලාකරුවන්ට චිත්‍රපටකරුවන්ට ලේඛකයින්ට සහ අනෙකුත් බුද්ධිමතුන්ට කිසිසේත් ම කල නො හැක්කක් වන බවට පත් කිරීම අපේක්ෂා කරයි.

බීජේපී ය සහ එහි හින්දු ආගම්භේදවාදී සහ මූලධර්මවාදී සහකරුවන් විසින් කලාත්මක නිදහස සහ මූලික අයිතීන්ට එල්ල කරන්නා වූ ප්‍රහාරයට දීර්ඝ ඉතිහාසයක් පවතී. දශක දෙකකට පෙර බීජේපී ය හින්දු මූලධර්මවාදී සංවිධානවල තර්ජන නිසා හින්දු-කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන දීපා මේතාට “වෝටර්” නමැති ඇගේ චිත්‍රපටය ඉන්දියාවේ රූගත කිරීම අතහැර දැමීමට බල කෙරුනි. නැවත වරක් 2000දී බීජේපී ය විසින් නායකත්වය දෙනු ලැබූ ජාතික ආන්ඩුව සුරේන්ද්‍රන් නායර් නම් චිත්‍රශිල්පියාගේ චිත්‍රයක් නව දිල්ලියේ නවීන ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට නියෝග කලේය.

2004 දී 2000කට ආසන්න සංඛ්‍යාවක් මරනයට පත්කරමින් ද දස දහස් ගනනකට උන්හිටි තැන් නැති කරමින් ද බටහිර ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ සිදු වූ මුස්ලිම් විරෝධී ජන ඝාතනය පිලිබඳ වාර්තා චිත්‍රපටයක් වූ ෆයිනල් සොලූෂන් සීබීඑෆ්සී ය විසින් මුලින් තහනම් කරන ලදී. එම ජන ඝාතන උසි ගැන්වූයේ අන් කවුරුත් නොව එවකට ගුජරාටයේ මහඇමති වූ නරේන්ද්‍ර මෝදි ය. මෙම චිත්‍රපටය ප්‍රචන්ඩත්වයෙන් හිංසාවට පත් වූ මුස්ලිම් මෙන් ම හින්දු ජනයා ද සමග කෙරුනු සම්මුඛ සාකච්ඡාවලින් සමන්විත වන අතර මුස්ලිම්වරුන්ට එල්ල කෙරනු බියකරු මහා ප්‍රචන්ඩත්වයක් මුදා හැරීම සඳහා ගෝධ්රා දුම්රිය පලේ මගී දුම්රියක් තුල හින්දු වන්දනාකරුවන් සමූහයක් මරනයට පත් කරමින් සිදු වූ ගින්නක් හින්දු අන්තවාදීන් විසින් අයුතු ලෙස උපයෝගී කරගත් ආකාරය පෙන්වයි. මෙම චිත්‍රපටය මර්දනය කිරීමට එරෙහිව කෙරුනු උද්ඝෝෂනයක් නිසා චිත්‍රපටයේ තහනම 2004 ඔක්තෝබරයේ දී ඉවත් කරන ලදී.

2014 දී ‘වෙඩි නො තබන ප්‍රදේශය: නෝ ෆයර් සෝන්: ඉන් ද කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා නමැති කැල්ලුම් මැක්රීගේ සංවිභාගමය වාර්තා චිත්‍රපටය සහතික කිරීම සීබීඑෆ්සී ය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ එය නවදිල්ලිය සහ කොලඹ අතර සබඳතාවලට හානි කරනු ඇත යන ව්‍යාජ හේතුව මතය. 2017 දී අලංකෘත ශ්‍රීවාස්තවගේ අධ්‍යක්ෂනය මත ප්‍රකාෂ් ජා විසින් නිෂ්පාදනය කලා වූ ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා නම් චිත්‍රපටය සීබීඑෆ්සී වාරන මන්ඩලයේ හිරිහැරවලට ගොදුරු විය. එම චිත්‍රපටයේ “වසංගතයක් මෙන් බෝවෙන ලිංගික දර්ශන අපහාසාත්මක වචන සහ ශ්‍රව්‍ය කාමෝද්දීපන ප්‍රකාශ” අඩංගු වන්නේය යන හේතු මත එය මුලින් තහනම් කරන ලදී. මේ චිත්‍රපටය ඉන්දියාව තුල බොහෝ කැපීම්වලට පසු ව ඉන්දියාව තුල නිල වශයෙන් ප්‍රදර්ශන අවසරය දීමට පෙර ලෝපුරා චිත්‍රපට උත්සව 35ක පෙන්වන ලදු ව ජාත්‍යන්තර සම්මාන 11ක් දිනා ගත්තකි.

අශ්වින් කුමාර් අධ්‍යක්ෂනය කල ‘චිත්‍රපට-නාට්‍යය’ 2018 දී සීබීඑෆ්සී වාරන මන්ඩලයේ අවහිරකම්වලට ලක්විය. එය ඊලඟ වසරේ දී ඉන්දියාව තුල ප්‍රදර්ශනය කෙරුනේ දැන් අහෝසි කර ඇති චිත්‍රපට සහතික අභියාචනා උසාවියට කුමාර් විසින් කෙරුනු අභියාචනය පිලිගැනීමෙන් පසුව පමනකි. මීට පෙර කුමාර් විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූ ඉන්ෂා අල්ලා ෆුට්බෝල් සහ ඉන්ෂා අල්ලා කාෂ්මිර් වාර්තා චිත්‍රපට දෙක ම වාරන මන්ඩලය විසින් මුලින් තහනම් කරන ලදී.

ජාතික ධනය සහ රාජ්‍යයේ පොලිස් බලතල පාලනය කරන්නා වූත් තම මතිමතාන්තර බලෙන් පටවමින් චින්තනය සහ සංස්කෘතිය තම විධානයට ලක් කිරීමේ අයිතිය තමන්ට පවරා ගන්නා වූත් දේශපාලන තන්ත්‍රයක් සමග ප්‍රජාතන්ත්‍රවාදයට සහජීවනයක් පැවතිය නො හැකිය. වැඩවසම්වාදයෙන් ඉතිරි වී ඇති අවශේෂයන් සහ කුලවාදය මතට අනුකම්පා විරහිත ධනපති මර්දනය පටවා ඇති සමාජ පද්ධතියක් වන ඉන්දියානු ධනේශ්වරයේ පක්ෂ සහ සංස්ථාවලට ආයාචනා කිරීම මගින් කලාත්මක නිදහස ආරක්ෂා කිරීමේ සහ ජාතිභේදවාදයට එරෙහිවීමේ අරගලය ජය ගැනීමට නො හැක.

ඉන්දියානු ස්ටැලින්වාදීන් අනුගමනය කරන පිලිවෙතට ප්‍රතිවිරුද්ධ ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැක්කේ ඉන්දියානු සහ ජාත්‍යන්තර කම්කරු පංතිය මත පදනම් වූ සැබෑ සමානතාවාදී සහ ධනපති විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් පමනක් බවය. කථනයේ සහ කලාත්මක ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම සහ ධනේශ්වරයට එරෙහිව ද සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා ද කෙරෙන්නා වූ දේශපාලන අරගලයේ කොටසක් ලෙස බලමුලු ගැන්විය යුත්තේ මෙම බලවේගයි.

Loading