ආන්ඩුව ගොවි සහනාධාර කපා දමයි

'රජයක් ලෙස සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමනක්' සිදුකරන බව, නොවැම්බර් 22 දා, ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. මේ අනුව, රසායනික පොහොර මත යැපෙන අතිමහත් බහුතර ගොවි ජනයාට සියලු රාජ්‍ය සහනාධාර අහිමි කෙරෙනු ඇත.

2021 මැයි 06 දා තමා විසින්ම පැනවූ රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයන තහනම, නොවැම්බර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි ආපසු හැරවූ රාජපක්ෂ ආන්ඩුව, රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනයේ නෛතික පහසුකම් පෞද්ගලික අංශයට ප්‍රදානය කලේය. කැබිනට් තීරන දැනුම් දීම සඳහා නොවැම්බර් 24 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කලේ, පෞද්ගලික අංශයට රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය කර විවෘත වෙලඳ පොලේ අලෙවි කලහැකි බවයි.

රාජපක්ෂ ආන්ඩුව මෙම රසායනික පොහොර තහනම පැනවූයේ, රට 'හරිත කෘෂිකර්මාන්තය'ට හැරවීමේ කඩතුරාව යටතේය. ඊට විපරීතව එය, තමා මුහුන දී සිටින විදේශ සංචිත හිඳීයාමේ දැවැන්ත අර්බුදයට ආන්ඩුව දැක්වූ මංමුලාසහගත ප්‍රතිචාරයක් වන, ආනයනයන් උපරිම ලෙස සීමා කිරීමේ වැඩපිලිවෙලේ කොටසකි. යතාර්ථයේදී මෙම පොහොර තහනමට, ආන්ඩුව විසින් තොරොම්බල් කරන 'මහජනතාව වකුගඩු රෝග පීඩාදියෙන් මුදවා ගැනීම' හෝ 'හරිත කෘෂිකර්මාන්තය' සමග කවර හෝ සම්බන්ධයක් නොමැත.

කෙසේ නමුත්, මෙම පොහොර තහනමෙන් දැඩිලෙස පීඩාවටපත් දිවයින පුරා දසදහස් සංඛ්‍යාත පීඩිත ගොවීහු, කොවිඩ් වසංගතය මධ්‍යයේ පවා, නගර, වීදි සහ තම වගාබිමී අරක් ගනිමින්, පොහොර ඉල්ලා අඛන්ඩ විරෝධතාවන්හි යෙදී ගත්හ. මහ කන්නයේ වගාවන් ආරම්භ කිරීමට පෙර පොහොර නොලැබුනොත් වගා නොකරන බවට සපථ කල ගොවීහු, ආන්ඩුව පොහොර ලබාදීමට වහාම පියවර නොගතහොත් දහස් ගනනින් කොලඹට පැමින විරෝධතා දක්වන බව ට අනතුරු ඇඟවූහ.

නැගෙනහිර කින්නියා පීන්ගාන් උඩයින්ධාරු ගොවියෝ-2021 ජූනි 19

රසායනික පොහොර තහනම හේතුවෙන්, එලවලු ගොවියන් වගාවෙන් ඉවත්වීම නිසා රටෙහි එලවලු මිල දැවැන්ත පරිමානයෙන් ඉහල ගොස් ඇති අතර, ගොවීන් එලවලු සැපයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නුවරඑලිය වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්නට සිදුවිය. වී අස්වැන්න ද සුවිසල් වශයෙන් අඩුවීම හේතුවෙන් ඉතා නුදුරේදීම දැවැන්ත ආහාර හිඟයකට මුහුන දීමේ කොන්දේසි රටතුල වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයේ බර, රාජපක්ෂ ආන්ඩුව විසින්, විවිධ කප්පාදු හරහා තම කරමත පැටවීමට එරෙහිව, ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, වතු කම්කරුවන් ඇතුලු කම්කරු පංතියේ විවිධ කොටස් අතර වැඩෙමින් පවතින අරගල සමග මෙම ගොවි අරගල ද සමපාත විය. ලංකාවේ කම්කරු-පීඩිත මහජනතාවගේ මෙම අරගල, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහ ඉන්දියාවේ දසලක්ෂ සංඛ්‍යාත ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන්ගේ අරගල සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

කෙසේ නමුත්, පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ, තම වගාවන් ද පාලු වී, කවර හෝ ආදායමක් නොමැති තත්වයට ඇද වැටී ඇති ගම්බද පීඩිතයන් අතර වැඩෙන සමාජ කෝපය පුපුරායාම වලක්වා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස ආන්ඩුව පොහොර තහනම ඉවත් කලේය. එනමුදු, ගොවීන්, කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන්, ධනපති ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් තම ජීවන කොන්දේසි ඉහල දමාගත හැකිවෙතැයි යන මිථ්‍යාවට අසු නොවිය යුතුය. ආන්ඩුව පොහොර තහනම ඉවත්කර ඇත්තේ ගොවීන් සංගත දඬු අඬුවට වඩවඩාත් සිර කරමිනි.

විශේෂයෙන්ම රාජ්‍ය අංශය රසායනික පොහොර ආනයනයෙන් සහ පොහොර සහනාධාර ලබාදීමේ වගකීමෙන් ඉවත්ව, පෞද්ගලික අංශයට පමනක් රසායනික පොහොර ආනයනයට නෛතික පහසුකම් ලබාදීම, ජාතික සහ ජාත්‍යන්තර සංගත වලට පීඩිත ගොවීන් වඩාත් දෟඪතර ආකාරයෙන් සූරාකෑමට ලක්කිරීම සඳහා ලබාදුන් විවෘත වරපත්‍රයකි.

'පවතින රසායනික පොහොර මාෆියාව පිලිබඳව හඳුනා ගනිමින්' ඒ සමග සටන් වැද 'නිවැරදි දේ ජයග්‍රහනය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව' නොවැම්බර් 22 දා රැස්වීමේදී ජනාධිපති රාජපක්ෂ අවධාරනය කලබව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි. ඔහුගේ මෙම ප්‍රකාශයන් කෙතරම් වංචනිකද යත්, දැන් ඔහු, රසායනික පොහොර ආනයනය, අලෙවිය සහ අවසානයේදී ඒවායේ මිල නියම කිරීම පවා පවරා දී ඇත්තේ මේ සමාගම් 'මාෆියාව'ටයි.

ආන්ඩුවල රුදුරු පිලිවෙත් හේතුවෙන් ගොවියන් මෙලෙස සමාජ පත්ලටම ඇද වැටෙද්දී, ජාත්‍යන්තර සංගත සමග බැඳීගත්, සීඅයිසී, ලන්කෙම් සහ ඒ.බවර් වැනි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන යෝධ සමාගම්, පොහොර තහනම සහ වසංගතය මධ්‍යයේ පවා දැවැන්ත පරිමානයෙන් ලාභ පොදි ගසාගෙන ඇත. මේ අතරින් බොහොමයක් සමාගම්, බීජ සහ පොහොර පීඩිත ගොවීන්ට නයට ලබා දෙමින් අස්වැන්න සතුකර ගැනීමේ ක්‍රමෝපායන් කලක සිට ක්‍රියාත්මක කරති.

ලංකෙම් සිලෝන් සමාගම පසුගිය මුල්‍ය වසරට සාපේක්ෂව 2020/21 මුල්‍ය වසරේදී සියයට 14 කින් ආදායම වැඩි කරගෙන ඇති අතර, අවසාන කාර්තුවේ ආදායම් වැඩිවීම වාර්තාගත සියයට 78 කි. සිඅයිසී සමාගම තම සමස්ත ඉතිහාසය තුල අත්කරගත් ඉහලම වාර්ෂික ලාභය වන රුපියල් බිලියන 3.84 පසුගිය වසරේ වාර්තා කලේය.

පොහොර ආනයනය පුද්ගලික සංගත වලට පමනක් පැවරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින්, මහියංගනයේ, හෙබරව වෙසෙන ගොවියකු වන පී.පී.අබේරත්න ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ කීවේය: “අපි රෝගාබාධවලට ලක්වෙන එකට ජනාධිපතිට හරි දුකයි ලු. මේ මොන පිස්සු කතා ද? එහෙනම් ඇයි මුදලාලිලාට ගේන්න දුන්නේ. එතකොට ඒවාගෙන් ලෙඩේ හැදෙන් නැද්ද ? මේවා බොරු කතා කොහොම හරි අපට අවශ්‍ය වෙලාවට පොහොර ටික ලැබුනේ නෑ. බලන්න රු.350 පොහොර මිටිය අද 5500ක් වෙලා. මේ ගොවියා ගැන හිතන හැටි ද? දැන් මුදලාලිලාගෙන් ගන්න ගියා ම මිල දෙතුන් ගුනයක් වෙ යි. '

නොවැම්බර් 25 වෙනි දා මාධ්‍ය වාර්තාවන්ට අනුව, ආනයනික රාසායනික පොහොර මෙට්‍රික් ටොන් එකක් අද වන විට ඇමරිකන් ඩොලර් 1000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව අදාල යූරියා කිලෝ 50 මිටියක අවම මිල රු.10200 ක් වෙයි. පොහොර ලේකම් කාර්යාලයේ 2020 සංඛ්‍යා‍ලේඛනවලට අනුව එම වසරේ දී ආනයනය කල රසායනික පොහොර ප්‍රමානය මෙට්‍රි ක් ටොන් 574705.9කි. ඒ සඳහා රජය දැරූ වියදම රුපියල් බිලියන 36ට ද වැඩි වේ. ආන්ඩුව එම මුදල මෙවර වැය ශීර්ෂයෙන් කපාදමා එහි බර පීඩිත ගොවි ජනතාව මත පටවා ඇත.

ගිරාඳුරුකෝට්ටේ, ගින්නෝරුවේ ටී.එම්.කරුනාරත්න තමා ඇතුලු ගොවීන් මුහුනදෙන තත්ත්වය ගැන ලෝසවෙඅට මෙසේ අදහස් දැක්වී ය: “ බිත්තර වී කීරිසම්බා වර්ගය කිලෝ 20 බෑග් එකක් රු.3300ක් වෙනවා. මිල වැඩිවෙලා තියෙන්නේ. අස්වනු නෙලන කාලෙදි වී ගනන් බහිනවා. කිලෝ එකක් රු.60-70 ට වගේ. අනෙක් පැත්තෙන් නය උගුලක හිරවෙලා කාගෙන්වත් හවුහරනක් නෑ.'

ගිරිතලේ ගොවියෙකු වන ඩිංගිරි බන්ඩා කීවේ, ගොවිතැනට නයගෙන දුකට පත් නො වූ අයෙකු ගිරිතලේ ගොවි ජනපදයෙන් හොයාගත නොහැකි බවයි. පොහොර, බීජ සහ වල්නාශක කාලයක් තිස්සේ වැඩි මිලකට ගන්න සිදු වී ඇති බව ඔහු කීවේය. 'වගාවට යන වියදම බලන්න, ට්‍රැක්ටරේට, කුලියට ගන්න අයට ගෙවපුවා ම අත පිස දමාගන්න වෙන්නේ. එක් අයකුට කුලිය රු.1500-2000 අතර වෙනවා. බැංකු නයක් දෙන්නෙ අක්කරයට රු. 15000ක් විතර. ඒකත් ප්‍රමානවත් නෑ. දැන් ජීවන වියදම අහස උසට ගිහින්. ජීවත්වන හැටි හිතාගන්න බෑ.'

මෙම තතු තුල ආන්ඩුව කාබනික වගා කඩතුරාවට මුවා වී ගොවි සහනාධාර ඉවත් කිරීම සම්බන්ධයෙන්, විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මුලුමනින්ම නිහඬය. ආන්ඩුවට එරෙහිව ගොවි ජනයා අතර වැඩුනු විරෝධය ගසාකෑම සඳහා එම අරගල මුදුනට පැනගත් සජබ සහ ජවිපෙ, යලියලිත් කියා සිටින්නේ, 'ආර්ථික අර්බුදයක ගිලී සිටින රට ගොඩගැනීම' සඳහා රාජපක්ෂ ආන්ඩුව සමග එක්ව වැඩ කිරීමට සූදානම් බවයි. ගොවි සහනාධාර කපා දැමීම සම්බන්ධයෙන් ඔවුන් පවත්වාගෙන යන නිහඬතාව පිටුපසින් පවතින්නේ ධනපති පාලක පංතිය ලෙස ඔවුන් අතර පවත්නා මෙම එකඟතාවයි.

'පොහොර ඉල්ලා රටපුරා ගොවි උද්ඝෝෂන' යන හිසින් ලෝසවෙඅ හි පලවූ ලිපියෙන් පෙන්වා දුන් පරිදි, 'ගම්බද ගොවි ජනතාව ඇද වැටී ඇති දුඛිත තත්වයට ඉහත සියලුම ධනපති පක්ෂ වග කිවයුතුය. 1977බලයට පත් වූ එජාප ආන්ඩුව යටතේ ක්‍රියාවට දැමුනු ආර්ථික ප්‍රතිසංස්කරන වල කොටසක් ලෙස කෘෂි කර්මාන්තය පුද්ගලීකරනය කිරීම සහ පොහොර සහනාධාරය ඇතුලු ගොවි ජන සහන කප්පාදුව ක්‍රමානුකූලව ක්‍රියාවට දැමීම ආරම්භ කෙරුනි. එතැන් පටන් බලයට පත් වූ සියලුම ධනපති ආන්ඩු යටතේ එම පිලිවෙත වඩ වඩා තීව්‍ර කෙරුනි. සජබ නායකයෝ 2002 එජාප ආන්ඩුව සහ 2015 සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීමට ඍජුව දායක වුහ.'

වැඩිදුර කියවන්න

Loading