සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත වසංගතයට බිලිදීම නතර කරනු! පාසල් වසා දමනු!

කෝවිඩ්-19 වසංගතය ලංකාව තුල දරුනු ලෙස පැතිර යද්දී, රාජපක්ෂ ආන්ඩුව විසින් පාසල් විවෘතව තබා ගැනීමේ ප්‍රතිඵලය ලෙස ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ සහ ගුරුවරු වේගයෙන් වෛරසයට ගොදුරුවෙමින් සිටිති. හලාවත නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ හය ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ සිසුවියක් කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබමින් සිටියදී ජනවාරි 31දා මියයාමේ සිද්ධියෙන් පාසල් දරුවන් අතර වෛරසය ව්‍යාප්තවීමේ භයානකත්වය ඛේදජනක ලෙස සනාථ කෙරුනි.

රාජපක්ෂ ආන්ඩුව සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත මෙලෙස වසංගතයට බිලි දීමට එරෙහිව බලමුලු ගැන්වෙන ලෙස ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ගුරුවරුන් ඇතුලු සියලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්, දෙමාපියන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටියි. කිසිදු ශිෂ්‍යයෙකුගේ හෝ ගුරුවරයෙකුගේ ජීවිතයක් සාපරාධී ලෙස වසංගතයට ගොදුරු විය යුතු නැත.

වෛරසය මුලිනුපුටා දැමීම සඳහා තීරනාත්මක වන පූර්න අගුලු දැමීම් සහ මහජන සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් ක්‍රියාවට දැමීමේ වැඩසටහනක කොටසක් ලෙස පාසල් තාවකාලිකව වසා දැමිය යුතු අතර එතෙක් සිසුන්ගේ අධ්‍යාපනය මාර්ගගතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට පුලුල් ප්‍රතිපාදන වෙන්කල යුතුය.

මේ වනවිට ලොව පුරාම ප්‍රමුඛව පැතිරෙන ඔමික්‍රෝන් ප්‍රභේදය “භයානක නොවන” බවට සෑම රටකම පාලක පන්තීන් ගෙන ගිය ප්‍රචාරයේ පල්ල යවමින් වෛරසය ඉමහත් ව්‍යසනයක් වර්ධනය කරමින් ලොව පුරා පැතිර යයි. එක්සත් ජනපදයේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ක සහ දෛනික මරනවල 3500 ඉක්මවූ සාමාන්‍යයන් වාර්තා වේ. එක්සත් රාජධානියේ දෛනික ආසාදන ලක්ෂයට ආසන්න වෙමින් පවතිද්දී යුරෝපාකරයේ අනෙකුත් රටවල ද, ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේද වාර්තාගත මට්ටමකින් ආසාදිතයින් හමුවේ. සෑම රටකම රෝහල් ධාරිතාවන් ඉක්මවා යමින් පවතින්නේ සෞඛ්‍ය සේවකයන් දහස් ගනනින් වෛරසයට ගොදුරු කරමිනි.

නව ප්‍රභේදය පිලිබඳ අනතුරු ඇඟවීම් නොතැකූ ජනාධිපති රාජපක්ෂ ඊට මුහුන දීම සඳහා අවශ්‍ය පියවර කරා යොමුවීම වෙනුවට සීමිතව පැවති මහජන සෞඛ්‍ය ආරක්ෂන පියවර පවා අත්හැර දමා, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන, පාසල් ඇතුලු සියලු ආයතන විවෘත කොට “වසංගතය සමග ජීවත්වීම” හෙවත් “නව සාමාන්‍ය පිලිවෙත” ප්‍රකාශයට පත්කලේය.

එහි විපාක ලෙස වසංගතය ලැව්ගින්නක් ලෙස ලංකාව තුල පැතිරයමින් තිබේ. දෛනික පරීක්ෂන අතිශයින් අප්‍රමානවත් මට්ටමක් පවතින තතු යටතේ පවා ශ්‍රී ලංකාව තුල දෛනික ආසාදිතයන් ගනන 1000 ඉක්මවා යෑමට පටන්ගෙන ඇත්තේ දෛනික මරන සංඛ්‍යාවේද ඉහල යෑමක් සමඟිනි. ආන්ඩුවේ ප්‍රකාශකයෙකු වන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් විසින්ම දින දෙකකට ඉහතදී පැවසුවේ “කොරෝනා වෛරසය සමාජ පැතීරීමේ මට්ටමක පවතින බව පිලිගත යුතු” බවයි.

ආන්ඩුව පසුගිය ඔක්තෝබර් මාසයේ පාසල් යලි විවෘත කලේය. උසස්පෙල විභාගය හේතුවෙන් පෙබරවාරි 3 වනදා සිට මාර්තු 7 දක්වා පාසල් වලට නිවාඩු ලබාදී ඇතත් සිසුන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමානයක් සහ දහස් ගනනක් කාර්ය මන්ඩල ඉදිරි මාසය තුල දිවයින පුරා විභාග මධ්‍යස්ථාන වෙත කැඳවීම අතිශයින් විනාශකාරී ප්‍රතිඵල ජනනය කරනු ඇත.

පසුගිය වාරයේ පාසල් විවෘත කිරීමෙන් පසු, පමනට වඩා සිසුන්ගෙන් පුරවන ලද පන්ති කාමරවල දුරස්ථභාවය පවත්වාගැනීමේ නොහැකියාව, පාසල් තුල සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අවම වීම සහ සිසුන් වැඩි ප්‍රතිශතයක් අධික තදබදය සහිත පොදු ප්‍රවාහනය භාවිත කිරීම හේතුවෙන් ඔවුන් අතර වේගයෙන් වසංගතය පැතිර ගියේය.

සිසුන් සහ ගුරුවරුන් ආසාදනය වීමට පටන් ගනිද්දී අඩු තරමින් අදාල පන්ති හෝ වසාදැමීමට ආන්ඩුව පාසල් පරිපාලනයට ඉඩ නොදුන් තතු යටතේ, අදාල ආසාදිතයා පමනක් නොකැඳවා අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සිදුකෙරුනි. තමන්ගේ දරුවන් ආසාදනය වීමේ අනතුර පවතිද්දී ඔවුන් පාසල් වෙත යැවීමට දෙම්ව්පියන්ට සිදුවිය. සිසුන් සහ ගුරුවරුන් දුසිම් ගනනින් ආසාදනය වීමට පටන් ගනිද්දී ආන්ඩුවේ උපදෙස් නොමැතිවම සමහර පාසල් වල ඇතැම් අංශයන් වසා දැමීමට පාසල් පරිපාලනයන්ට සිදුවිය.

අතලොස්සක් මාධ්‍ය වාර්තා වල අනුව පාසල් ඇතුලු උසස් අධ්‍යාපන ආයතනවල ආසාදිතයන් වාර්තාවීමේ සිද්ධි කිහිපයක් මෙසේය.

● ජනවාරි 25 වනදා කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයේ තූර්ය වාදක කන්ඩායමේ සහ ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයන් අතුරින් 13ක් ආසාදිතයන් ලෙස හදුනාගැනුනි. එය පාසල්වල ක්‍රීඩා සහ සෞන්දර්ය අංශයන් හි සිදුකෙරෙන ක්‍රියාකාරකම්, වෛරසයේ දරුනු ව්‍යප්තියකට ඉඩ සලසන බව පැහැදිලි කෙරුනු සිද්ධීයකි.

● එදිනම කෙන්ගල්ල ජාතික පාසලෙන් සිසුන් 5ක් සොයාගැනීමෙන් පසු 8 සහ 10 ශ්‍රේනි සති දෙකකට වසා දැමුනි.

● ජනවාරි 18වනදා ගිනිගත්හේන ජාතික පාසලෙන් සිසුන් 8ක් සහ ගුරුවරුන් 3ක් ආසාදිත බව සොයාගැනීමෙන් පසු 10, 11 පන්ති පැවැත්වීම තාවකලිකව අත්හිටවුනි.

● ජනවාරි මාසය තුලදී නැගෙනහිර විශ්ව විද්‍යාලයෙන් 31ක්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් 64ක්, අග්නිදිග විශ්වවිද්‍යාලයෙන් 25ක් සහ රජරට විශ්වවිද්‍යාලයේ 38ක් වශයෙන් ආසාදිතයන් හමුවිය.

● එම කාලය තුලම රුහුනු ජාතික අධ්‍යාපන පීඨයෙන් සහ හාපිටිගම විද්‍යාපීඨයෙන්ද ආසාදිත සිසුන් 50කට ආසන්නව වාර්තා විය.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පාසල් තුල ආසාදන ඉහලයාම ගැන ආන්ඩුවේ නොතැකීම ප්‍රදර්ශනය කරමින් පැවසුවේ, “පාසල් නැවත විවෘත කරන විට ලමුන් අතර කොවිඩ්-19 ව්‍යාප්තිය වැඩි වන බව දන්නා කරුනකි… [නමුත්] වැඩි කාලයක් පාසල් වසා දැමීම ලමයින්ට කරන අසාධාරනයකි.” යනුවෙනි. ඔහුගේ කුතර්කයට අනුව, ලමුන් ආසාදනය වී දිගුකාලීන අතුරු ආබාධයන්ට ලක්වීම හෝ මියයාම එතරම් 'අසාධාරනයක්' නොවේ.

අවම තොරතුරු අනුව පවා පසුගිය සඳුදා මියගිය සිසුවියත් ඇතුලුව වසංගතයෙන් ලංකාව තුල මියගොස් ඇති අවුරුදු 18ට අඩු දරුවන් ගනන 90කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ලමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පසුගිය වසරේ දෙසැම්බර් 13 දා මාධ්‍යයට ප්‍රකාශ කලේ වසංගතය හේතුවෙන් ඒ දක්වා ලංකාවේ ගර්භනි මව්වරු 60 ක් හා වයස 18 ට අඩු දරුවන් 89 ක් මරනයට පත්ව ඇති බවයි.

ලංකාවේ පවුල් සෞඛ්‍යය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න ඔක්තෝම්බර් මස 08 දා මාධ්‍යයට හෙලිදරව් කලේ ලංකාවේ වාර්තාවන කෝව්ඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව ඒ වන විට 59,000 ක් තරම් ඉහල අගයක් ගෙන ඇති බව සහ ඒ අතරින් ලමුන් 67 ක් මිය ගොස් ඇති බවයි. වෛද්‍යවරු දෙපලගේ මෙම සංඛ්‍යා දත්තවලට අනුව පාසල් විවෘතව පැවති මාස හතරකට ආසන්න කාල සීමාව තුල පමනක් ලමුන් 20කට වැඩියෙන් මරනයට පත්ව තිබේ.

රිජ්වේ ආර්යා ලමා රොහලේ ශ්වසන රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා, “උන, සෙම්ප්‍රතිශ්‍යාව වමනය හෝ පාචන තත්වයක් පවතිනවා නම් දරුවන් පාසල් වෙත යවන්න එපා!” යැයි දෙමව්පියන්ට අනතුරු ඇඟවීය. ඔහු සතියකට ඉහතදී පැවසුවේ, “දැනට සති කිහිපයකට පෙර දරුවන් 20 කට වඩා අඩු ප්‍රමානයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තත් දැන් එම ප්‍රමානය 50 පසු කර ඇති” බවයි.

ආන්ඩුව මුලදී සඳහන් කලේ උසස්පෙල විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක නොවන ප්‍රාථමික පාසල් සඳහා නිවාඩුව නොලැබෙන බවයි. දෙමව්පියන් අතර විරෝධතා වර්ධනය වෙමින් ඔවුන් තම දරුවන් පාසල් වෙත යැවීම සීමා කල තත්වයක් තුල අධ්‍යාපන අමාත්‍යංශය එම නිවේදනය වෙනස් කරමින් ප්‍රාථමික පාසල් සඳහාද නිවාඩුව ලබදුන්නේය. එහෙත් එම නිවේදනයට අනුව ප්‍රාථමික අංශ සඳහා නිවාඩුව ලැබුනේ “උසස්පෙල විභාගයට ප්‍රමුඛතාවය දීම සඳහා” මිස වසංගතයේ අනතුර නිසා නොවේ. එහි අර්ථය විභාගයෙන් පසු යලිත් සියලු පාසල් විවෘත කිරීම ආන්ඩුවේ අරමුන බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ආන්ඩුවේ මෙම තීරනයට උඩගෙඩි දී තිබේ. ආන්ඩුව තම නිවේදනය වෙනස් කිරීමට දින දෙකකට පෙර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටැලින් මාධ්‍ය වෙත පැවසුවේ, “උසස්පෙල කාල සීමාව තුල ප්‍රාථමික අංශ වසා දමමින් යම් මට්ටමකින් හෝ මෙම තත්වය පාලනය කල යුතු බවට ආන්ඩුවට යෝජනා කරන” බවයි. පාසල් වසා දැමුව ද, ඔවුන් සමග ජීවත් වෙමින් රැකියාවට යන දෙමාපියන්ට ඇතිවන ආසාදන ගැන ස්ටැලින්ට වගක් නැත.

මෙම වෘත්තීය සමිති ආන්ඩුව සමග එක්ව පසුගිය වසරේ අධිෂ්ඨානවත් ගුරු වැටුප් අරගලය මුල් ඉල්ලීමෙන් තුනෙන් එකක් දක්වා කප්පාදු කර පාවාදෙන අතරේ පාසල් විවෘත කිරීම සඳහා ආන්ඩුවට කොන්දේසි සකස්කර දුන්නේය. පාසල් තුල ආසාදන ඉහල යද්දී ඒ සම්බන්ධයෙන් මෙම සමිති නායකයෝ කිසිඳු විවේචනයකින් තොරව ආන්ඩුවේ පිලිවෙත් අනුමත කලහ.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඒකාබද්ධ ගුරු සේවා සංගමය පාසල් තුල ආසාදන ඉහලයාමට එරෙහිව කිසිඳු ප්‍රකාශයක් සඳහා තම මාධ්‍යයන් වෙන් නොකල අතර එම පක්ෂය විසින්ම මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය වසංගතයෙන් සිසු ජීවිත අරක්ෂා කිරීම පසෙක ලා විශ්ව විද්‍යාල වහාම විවෘත කල යුතු බවට උද්ඝෝෂනයක් ඉස්මත්තට ගෙන ඇත. වෘත්තීය සමිතිත් සහ ව්‍යාජ-වම්මුන්ගේ මේ ප්‍රතිගාමිත්වය ගලා එන්නේ ආන්ඩුවේ මිනීමරු නව සාමාන්‍යකරනයට ඔවුන්ගේ පරිපූර්න පක්ෂපාතිත්වයෙනි.

එලඹ ඇති ව්‍යසනකාරී තත්වය විසින් වහාම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමක් ඉල්ලා සිටිනු ලැබුවත් ජීවිත වලට ඉහලින් ධනපති ලාභය ආරක්ෂා කරදීම සඳහා කැපවී සිටින රාජපක්ෂ ආන්ඩුව එවැනි පියවරක් කරා යෑම මුලුමනින් ප්‍රතික්ෂේප කර ඇත. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් මාධ්‍ය වෙත පැවසුවේ, “රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවෙයි. රට විවෘතකර තිබියදීම කෝවිඩ් පාලනය කිරීම රජයේ අරමුන” බවයි.

ලොව පුරා ධනපති පාලක පන්තියට දරුවන් පාසල් වෙත යැවීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස පවතින්නේ ඔවුන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරදීමේ උවමනාවකින් නොව, ඊට විපරීතව මහා ධනපති සංගතයන්හි ලාභ උත්පාදනය අබාධිතව ගෙනයාම සඳහා ඔවුන්ගේ දෙමව්පියන් රැකියා ස්ථාන වෙත යැවීම පහසු කෙරෙන කොන්දේසි ඉන් සැකසෙන බැවිනි.

ලෝකයේ බොහෝ රටවල් තුල සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් ආන්ඩුවල මෙම සාපරාධී ධනපති පිලිවෙත් වලට බලගතු ලෙස තම විරුද්ධත්වය ප්‍රදර්ශනය කර තිබේ. යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා විශාල ගුරු, සිසු දෙමාපිය සහභාගීත්වයකින් අරගල පැන නැගී ඇති අතර පසුගිය දිනෙක දකුනු ඕස්ට්‍රේලියාවේ ගුරුවරුන් තුනෙන් දෙකක්, අන්තරායකර ලෙස පාසල් විවෘතකිරීමට එරෙහිව උද්ඝෝෂන ක්‍රියාමාර්ගයකට සහභාගි වූහ.

මෙම ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස අනාරක්ෂිත පාසල් වෙත ආපසු යාමට විරුද්ධ වන ලෙස ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ශ්‍රී ලංකාව පුරා සිටින දෙමාපියන්, ගුරුවරුන් ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කම්කරුවන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම තීරනාත්මක අරගලය සඳහා ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව හා සම්බන්ධ වෙමින් තමන්ගේ පාසල් තුල එවන් කමිටු ගොඩනගා ගැනීම සඳහා පෙරට එන්න.

ධනපති පාලක පන්තියේ වසංගත ප්‍රතිපත්තිය හෙලිදරව් කිරීම සඳහා කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහයෝගය දෙන්න.

Loading