සසජාතශි, “කෝවිඩ් වසංගතයට එරෙහි සටන ධනවාදයට එරෙහි සටනකි” යන මැයෙන් අන්තර්ජාල දේශනයක් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) “කෝවිඩ් වසංගතයට එරෙහි සටන ධනවාදයට එරෙහි සටනකි” යන මාතෘකාව යටතේ මාර්තු මස 02 වනදා සවස 7 ට අන්තර්ජාල දේශනයක් සංවිධානය කර ඇත. මෙය ඉදිරියට පැවැත්වීමට නියමිත දේශන මාලාවක පලමු වැන්නයි. සිංහල භාෂාවෙන් පැවැත්වෙන දේශනය දෙමල භාෂාවට පරිවර්තනය කරනු ලැබේ.

20 වන සියවසේ මුල් භාගයේ ලෝක යුද්ධ දෙකෙන් පසු මානව වර්ගයා මුහුන දී සිටින විශාලතම අර්බුදය කෝවිඩ්-19 වසංගතය යි. මරන සංඛ්‍යාව නිල වශයෙන්, මිලියන 5.5 කි. නමුත් වසංගතයට සම්බන්ධ සියලු අවස්ථාවන් සැලකිල්ලට ගත්කල කෝවිඩ්-19 හේතුවෙන් මරනයට ගොදුරු වූ සංඛ්‍යාව දල වශයෙන් මිලියන 20 ක් බව පිලිගත් පර්යේෂන ආයතන පෙන්වා දෙති. එක්සත් ජනපදය තුල පුද්ගලයන් 900,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ලංකාවේ එම සංඛ්‍යාව 16,000 ඉක්මවා තිබේ.

මෙලෙස මිලියන සංඛ්‍යාත ජනයාගේ ජීවිත බිලි ගනිමින් වසංගතය ඉදිරියටම ඇදී යාම හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් නොවේ. එය, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ ධනපති ක්‍රමයෙන් නිපන් දේශපාලන පිලිවෙත් වල ප්‍රතිඵලයකි.

අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම, මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන පැවැත්වීම සහ ආසාදිතයන් වහා හඳුනා ගනිමින් ඔවුන් හුදෙකලා කිරීම ඇතුලු දැඩි මහජන සෞඛ්‍යාරක්ෂන පියවර යටතේ බලගතු මහජන එන්නත්කරන වැඩසටහනක් ගෝලීය පරිමානව ක්‍රියාත්මක කිරීමෙන් වසංගතය තුරන් කල හැකිබව තම විෂයට අවංක විද්‍යාඥයෝ යලියලිත් පෙන්වා දුන්හ. මෙම ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත අනුගමනය කරන, බිලියන 1.4 ක් වූ ලොව අධිකතම ජනගහනය වෙසෙන, චීනය තුල 2020 මාර්තු මාසයේ සිට පසුගිය ජනවාරි මාසය දක්වා සිදුව ඇත්තේ මරන තුනකි.

නමුත්, එවන් පිලිවෙතක් මහධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලියට බාධා පමුනුවන බැවින් ලොවපුරා ධනපති පාලකයෝ මුලසිටම එය ප්‍රතික්ෂේප කලහ. ඒ වෙනුවට ඔවුන් අනුගමනය කලේ 'වසංගතය සමග ජීවත්වීමේ' පිලිවෙතයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සිට ලොව පුරා ධනපති ආන්ඩු විසින් මෙම මිනීමරු පිලිවෙත සඳහා සේවයට කැඳවා ඇති නවතම තර්කනය වන්නේ වසංගතය ආවේනික (endemic) තත්වයට, එනම් සාමාන්‍ය උන තත්වයට පත්වෙමින් ඇති බවයි. ලෝකය පුරා වගකීම් සහගත හා ප්‍රතිපත්ති ගරුක වසංගත විද්‍යාඥයන් විසින් මෙම අවිද්‍යාත්මක තර්කය ප්‍රතික්ෂේප කොට ඇත. මෙම තර්ක කීතු කරමින් පසුගිය ජනවාරි මාසයේ මුල සිට ගෝලීය මරන සංඛ්‍යාව ඉහල යමින් පවතී.

වසංගතයේ ව්‍යසනකාරිත්වය මෙසේ වේගයෙන් ඉහල නගිද්දී ලොව පුරා ආන්ඩු වසංගතය පාලනය කිරීමට සම්බන්ධව පැවති සියලුම මහජන සෞඛ්‍යාරක්ෂන පියවර ඉවතා දමමින් සිටිති. ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ද අනුයන්නේ එයයි.

තෙවන වසරටත් දිග හැරෙන මෙම වසංගතයට තිත තැබිය හැක්කේ, 'වසංගතය සමග ජීවත්වීමේ' ධනපති පිලිවෙතට එරෙහිව, වසංගතය ගෝලීය වශයෙන් මුලිනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයකට සටන් වැදීමෙන් පමනි. එය, මහා ව්‍යාපාරිකයින්ගේ ලාභ සුරැකීම සඳහා මහජනතාවගේ ජීවිත බිලි දෙන ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පංතිය බලමුලු ගන්වමින්, ලෝක සමාජවාදය සඳහා කරන සටනකි.

වසංගතය මගින් ලෝක ධනේෂ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදය සෑම අතින්ම ගැඹුරු කර තිබේ. මිනිසුන් වසංගතයෙන් මියැදෙද්දී, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීහු යුක්‍රේනය මැදිකර ගනිමින් රුසියාවට එරෙහිව ප්‍රකෝපකරනයන් අවුලුවා තුන්වන ලෝක යුද්ධයක මුවවිටට ලෝක මහජනතාව තල්ලුකොට ඇත්තාහ. ලොවපුරා පාලකයන්, වසංගතය මගින් ගැඹුරු කෙරෙන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ දුගීන් මත පටවමින් සිටින අතර, එයට එරෙහිව කම්කරු පන්තියේ හා තරුන ජනයාගේ බලගතු පන්ති සටන් ජාත්‍යන්තරව අවුලුවා තිබේ.

මෙම කරුනු ගැඹුරින් සාකච්ඡා කරමින්, යුද්ධයට, වසංගතයට සහ අනෙකුත් ධනපති ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන වැඩපිලිවෙලක් මෙම දේශනයේ දී විස්තාරනය කෙරෙනු ඇත. ගැටලු හා අදහස් ඉදිරිපත් කරමින් එයට සහභාගී වන ලෙස විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, තරුනයන් සහ කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

රැස්වීමට ලියාපදිංචි වන්න:

https://us06web.zoom.us/meeting/register/tZIodeigrjosGtfuL5ykwCBp39cbMcwf2sGv

Loading