රුසියානු කලාවට හා කලාකරුවන්ට එල්ල වන ප්‍රහාරය ස්වෝත්තමවාදයේ හා අධිරාජ්‍යවාදයේ පිටුබලය සහිත ප්‍රතිගාමී උද්ඝෝෂනයකි - ලොහාන් ගුනවීර

ශ්‍රී ලාංකීය දෘශ්‍ය හා අභිවහන කලාකරුවා රුසියානු කලාවට හා කලාකරුවන්ට එල්ල වන ප්‍රහාර හෙලාදකියි

[මෙය Sri Lankan visual and performance artist condemns attacks on Russian art and artists මැයෙන් 2022 මාර්තු 19 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා අභිවහන කලාකරුවකු සහ පරිවර්තකයකු වන ලොහාන් ගුනවීර පහත දැක්වෙන ප්‍රකාශය ලෝක සමාජවාදී වෙබ් අඩෙවියට එවා තිබේ. එහි දී ඔහු රුසියානු කලාවට හා කලාකරුවන්ට එල්ල වෙමින් පවතින ප්‍රහාර, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද සූදානමේ කොටසක් ලෙස හෙලාදකියි.

ලොහාන් ගුනවීරගේ 'ස්ටාලින්ග්‍රෑඩ් 1942' (2017) නමැති අභිවහනය. මෙය, එලඹෙන යුද්ධයක අනතුර හා එයින් පැනනඟින අවිනිශ්චිතතාව තේමා කරගත් කෘති මාලාවක කොටසකි. මේ කෘති 20 වැනි සියවසේ ලෝක යුද්ධ දෙක හා ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධය පිළිබඳ කියැවීම් පදනම් කරගනී.


රුසියාවේ යුක්රේන ආක්‍රමනයට එරෙහි ව පියවර ගැනීමේ නාමයෙන් රුසියානු කලාකරුවන්ට, ප්‍රදර්ශනවලට හා කලා ව්‍යාපෘතිවලට එල්ල කෙරෙමින් පවතින ප්‍රහාරය හා වාරනය මම තරයේ හෙලා දකිමි. සම්භාව්‍ය සංගීතයේ සිට 20 වැනි සියවසේ රුසියානු පෙරටුගාමී කලාව දක්වාත්, තොල්ස්තෝයි දක්වාත් පැතිරෙන ශ්‍රේෂ්ඨ සංස්කෘතික ජයග්‍රහන මෙසේ වාරනය කිරීමෙන් අත් වන මොන ම හොඳක් වත් නැත. මෙයින් සාමකාමී ප්‍රතිඵලයකට මඟ පෑදෙති යි සිතීම වනාහි හුස්ම හිර කිරීමෙන් ආයුෂ දිගු කල හැකි යැයි කීම තරම් ම මංමුලා සහගත අදහසකි. පුද්ගලිකව, රුසියානු සාහිත්‍යයෙන් හා කලාවෙන් තොර ව මා හැදුනු වැඩුනු සමය හා ජීවිතය කෙබඳු වේ දැයි සිතාගන්නට පවා බැරි මට, මෙය දැකීම ම වේදනාකර ය. ලෝක දේශපාලනයේ සන්දර්භය තුළ මෙයින් පල වන්නේ හටගැනීමට ආසන්න විනාශකාරී ආඝාතයක් පිලිබඳ අනතුරු අඟවන රෝග ලක්ෂනයකි.

ප්‍රකාශිත අරමුනුවලට ප්‍රතිපක්ෂ ව, මේ ප්‍රහාරය රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය හා නේටෝව ගෙන යන යුද ධාවනය සමඟ අතිනත ගනී. සිය මිලිටරි වියදම් ඉහළ නංවමින් ද යුක්රේනයට ආයුධ සපයමින් ද මේ ගැටුම තුලට පැනගැනීම සඳහා පිම්මේ දුවන රටවල් ලැයිස්තුව දකින පමනින්, දෙවැනි ලෝක යුද්ධයේ අපරිමිත ඛේදවාචක ගැන දැනුවත් ඕනෑ ම කෙනෙකු තැති ගනු ඇත. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය යන මේ රටවල් සියල්ල එම යුද්ධයේ අත්‍යන්ත සංහාරය හා විනාශය සිදු කළ අධිරාජ්‍යවාදී බලයන් ම ය. එක්සත් ජනපදය පසුගිය වසර 30 මුලුල්ලේ ලොව පුරා කෙලවරක් නැති යුද්ධවල ප්‍රධාන කාරකයා ලෙස ක්‍රියාත්මක වී තිබේ. ජීවවිද්‍යාත්මක අවි පිලිබඳ පර්යේෂනාගාර පවත්වාගෙන යාම ඇතුලු, යුක්රේනය තුල එක්සත් ජනපදයේ මිලිටරි වැඩකටයුතුවල සම්පූර්න පරිමාව එලිමහනට ඒම තව ම පටන්ගත්තා පමනි. හැම විට ම අධිරාජ්‍යවාදී ධාවනය යොමු ව තිබුනේ පෘථුල පරිමාන සම්පත් හා වෙලඳපොලවල් වෙත ඍජු ප්‍රවේශය අත්පත් කරගැනීම සඳහා යුරේසියානු කලාපය (සහ ලෝකයේ සෙසු ප්‍රදේශ), යලි බෙදා වෙන් කරගැනීම වෙත ය.

රුසියාව යුක්රේනය ආක්‍රමනය කිරීම සත්තකින් ම ඉවබව නැති ප්‍රතිගාමී ක්‍රියාවකි. එමඟින් එරට දැවැන්ත මානුෂීය ව්‍යසනයක් කරා තල්ලු කෙරෙමින් තිබේ. එසේ වුව ද එයින් මෙම යුද්ධයේ සැලසුම්කරු ලෙස ඉටු කල කේන්ද්‍රීය භූමිකාවේ වගකීමෙන් නේටෝව නිදහස් නො වේ. 90 ගනන්වල පටන් නැගෙනහිර දෙසට අඛන්ඩ ව සිදු කෙරුනු එහි ව්‍යාප්තිය, 2014 යුක්රේනයේ තන්ත්‍ර මාරු කුමන්ත්‍රනය සමඟින් නව අදියරකට සේන්දු විය. එම ක්‍රියාවලිය තුල දී අන්ත දක්ෂිනාංශික හා නව නාසි බලවේග සමඟ එකට ලැගීම ගැන එයට කිසිදු දෙගිඩියාවක් තිබුනේ නැත.

එහි කුප්‍රකටභාවයට සරිලන පරිදි ම නේටෝව දැන් දිගහැරෙමින් පවතින අර්බුදය උත්සන්න කිරීම සඳහා සියලු දේ කරමින් සිටී. ලොව වටා යුද්ධවල අනිවාර්ය සාධකයක් බවට පත් ව සිටින විශාලතම මිලිටරි සංවිධානය එනයින් ගින්දර සමඟ සෙල්ලම් කරමින් න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය උත්සන්න කරයි. එක්සත් ජනපදය හා නේටෝව වෙත සහාය පිදීම මඟින් මොන ම හෝ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිඵලයක් සාක්ෂාත් කරගත නොහැකි ය.

රුසියානු කලාව හා කලාකරුවන් අවහිර කිරීම සඳහා දියත් ව ඇති උද්ඝෝෂනය, රුසියානු විරෝධී හැඟීම් නමැති විෂ ප්‍රසිද්ධ අවකාශයට මුසු කරයි. එහි දී සිදු වන්නේ ජීවතුන් අතර සිටින හෝ මිය ගිය රුසියානු කලාකරුවන් හා ඔවුන්ගේ කෘති, ව්ලැදිමිර් පූටින්ට හා ඔහුගේ මිලිටර් ආක්‍රමනයට සම කිරීමකි. මෙහි සැබෑ කාර්යය වන්නේ කලා කෘති හා කලාකරුවන් කෙරෙහි පුලුල් ව පැතිර පවතින ඉහල ගෞරවය හා සැකිල්ල අපයෝජනය කොට මහජන මතය යුද්ධයට පක්ෂපාතී පරිදි විකෘත කිරීම යි; සමාජ ජීවිතයේ සියලු අංශ තුල රුසියානු විරෝධී මානසිකත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කොට සියලු රුසියානු දේට ගරහන තැනකට මහජනතාව ගෙන ඒම යි. සත්තකින් ම අපට දැන් ඕනෑ කර ඇත්තේ මෙහි ප්‍රතිපක්ෂය යි. ජාතික සීමාවන්ගෙන් එපිට දුර ඈත මිලියන ගනනින් ජනතාව අමතමින් එක්සත්කාරක ආධ්‍යාත්මික බලයක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා කලාවට පූර්න නිදහස තිබිය යුතු ය.

ජූලියන් අසාන්ජ් සඳහන් කල පරිදි 'පසුගිය වසර පනහ තුල ඇරඹුනු සෑම යුද්ධයක් ම වාගේ මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරුනු බොරුවල ප්‍රතිඵලය විය... ජනතාව සිය කැමැත්තෙන්, ඇරුනු ඇස් ඇති ව යුද්ධයට යන්නේ නැත.' මේ බොරු පරාජය කල යුතු ව තිබේ. අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් කල හැකි සැබෑ, ස්ථාවර සමාජ බලවේගයක් මත පදනම් වෙමින් පුලුල් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය ය. එම බලවේගය වන්නේ ගෝලීය කම්කරු පන්තිය යි; රටක් නැති පන්තිය යි.

ලොහාන් ගුනවීරගේ 'කවදද බොරැල්ල, කවදද ලාහෝර්, කවදද බර්ලින්, කවදද මොස්කව්?' (2016) නමැති යුද විරෝධී අභිවහන ස්ථාපනයේ මොහොතක්. [ඡායාරූප අනුග්‍රහය : Theertha Performance Platform, කොලඹ, ශ්‍රී ලංකාව]


එම බලවේගය පසුපස පෙලගැසෙමින් රුසියානු කලාව හා සංස්කෘතිය මෙම ප්‍රහාරයෙන් ආරක්ෂා කරන මෙන් ලොව වටා කලාකරුවන්ගෙන් හා ප්‍රගතිශීලී කලා සංවිධානවලින් මම ඉල්ලා සිටිමි; ඔබේ යුද විරෝධී ආස්ථානය දුබල නොකරන්න; නේටෝවේ ප්‍රතිගාමී භූමිකාව පිලිබඳ ඔබේ නිවැරදි අවබෝධය අත නොහරින්න. රුසියානු ආක්‍රමනය මේ කිසිවක් කනපිට හරවන්නේ නැත. ප්‍රමාද වැඩි වීමට පෙර මේ යුද ධාවනය නතර කල යුතු ය.

මාර්තු 20 වැනි දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි සංවිධානය කරන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමට සහභාගී වීමට මම ඉතා ඕනෑකමින් පසු වෙමි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිවේදනය කල පරිදි එම රැස්වීම යුද්ධයෙහි ආර්ථික, දේශපාලනික හා ඓතිහාසික පසුබිම විමර්ශනය කොට, ගෝලීය න්‍යෂ්ටික ව්‍යසනයක් වලක්වාගැනීම සඳහා කම්කරු පන්තිය සටන් වැදිය යුතු සමාජවාදී ඉදිරිදර්ශනය සංග්‍රහ කරනු ඇත. එයට සහභාගී වන මෙන් මම සියලු දෙනාට ආරාධනය කරමි.

Loading