ඉදිරිදර්ශන

නේටෝ-රුසියානු ගැටුම න්‍යෂ්ටික යුද්ධයකට තර්ජනය කරයි

[මෙය The NATO-Russia conflict threatens nuclear war යන මැයෙන් 2022 මාර්තු 25 වැනි දින පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

බ්‍රහස්පතින්දා, නේටෝව පෙර නොවූවිරූ සමුලුවක් පැවැත්වීය. සම්පූර්නයෙන්ම රහසිගත ව, කැමරා සහ දුරකථන පමනක් නොව සහායකයින් පවා තහනම් කරමින් බටහිර බලවතුන්ගේ නායකයින් රැස් වූයේ ඇදහිය නොහැකි දේ සැලසුම් කිරීම සඳහා ය: එනම්, න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් අතර පූර්න පරිමානයේ යුද්ධයක් සඳහා ය.

ජනාධිපති ජෝ බයිඩන්, 2022 මාර්තු 23 වැනි බදාදා, වොෂින්ටන්හි ධවල මන්දිරයේ සවුත් ලෝන් හි පිටුපසින් මැරීන් වන් හෙලිකොප්ටරය වෙත ගොඩවීමට පෙර, න්‍යෂ්ටික දියත් කිරීමේ කේත අඩංගු “ෆුට්බෝල්” ලෙසද හඳුන්වන “ජනාධිපතිගේ හදිසි බෑගය” හමුදා සහායකයකු රැගෙන යන ආකාරය. (ඒපී ඡායාරූප/පැට්‍රික් සෙමන්ස්කි)

යුක්රේනය සම්බන්ධයෙන් නේටෝව සහ රුසියාව අතර ප්‍රොක්සි යුද්ධය පාලනයෙන් මිදී නැගී එන හෙයින්, මිලියන සිය ගනනක් හෝ ඊට වැඩි පිරිසක් මරා දැමිය හැකි න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳ ව ක්‍රියාකාරී ව කල්පනා කෙරෙමින් පවතී.

න්‍යෂ්ටික යුද්ධය, එක්සත් ජනපද මාධ්‍යවල දෛනික වචන මාලාවේ කොටසක් බවට පත්ව ඇත. “යුක්‍රේන යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් විය හැක්කේ කෙසේද” යනුවෙන් බදාදා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, “සීතල යුද්ධයේ සිට න්‍යෂ්ටික යුද්ධයේ අවතාරය ජනාධිපතිවරයෙකුගේ අර්බුදකාරී රාජ්‍ය තාන්ත්‍රිකභාවය මත මෙතරම් දැඩි ලෙස ලඹ දුන් අවස්ථාවක් තවත් නැත” පොලිටිකෝ ලිවීය. 'යුධ පිටියේ න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ දී පැන නගින බිම්මලක් සිහිගන්වන වලාකුලු මතුවීමේ' අවදානම ගැන අඟහරුවාදා අනතුරු ඇඟවූ නිරායුධකරන කටයුතු පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඉහල නියෝජිත ඉසුමි නකමිට්සුගෙන්, පොලිටිකෝ උපුටා දක්වයි.

පසුගිය සතියේ, හිටපු සෙනෙට් සභික සෑම් නන් විසින් ආරම්භ කරන ලද 'න්‍යෂ්ටික තර්ජන මුලපිරීම' සංවිධානය යුක්‍රේන අර්බුදය විසින් අවුලුවාලිය හැකි “ගෝලීය, ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් දක්වා යා හැකි එක් මාර්ගයක් පමනක් නිදර්ශනය කරන උපකල්පිත ආදර්ශකයක්” ගෙනහැර දැක්වීය. රුසියානු මිසයිල කාර්ය මන්ඩලයක් නොදැනුවත්වම ඇමරිකානු ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙලීමෙන් පසු, තීව්‍ර කිරීමේ පියවර මාලාවකින් ඇමරිකානු ජනාධිපතිවරයෙකු රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් කිරීමට නියෝග කිරීමට තුඩු දෙයි, ඉන්පසු රුසියාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල කරයි:

ඊලඟ පැයක කාලය තුල ඇමරිකානුවන් මිලියන 82 ක් මරා දමනු ලබන අතර මිත්‍ර රටවල් ද ඒ හා සමාන තත්ත්වයක් අත් දකිනු ඇත. බොහෝ දෙනෙක් ක්ෂනික ව මිය යන අතර, ඉදිරි දින සහ සති කිහිපය තුල විකිරන විෂ වීමෙන් තවත් බොහෝ දෙනෙක් මිය යනු ඇත. දිවි ගලවා ගන්නා අයට ඔවුන්ගේ කෙටි ජීවිත කාලය පුරාම නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඇති වන අතර ඔවුන්ගේ දරුවන් ජානමය දෝෂ සහිත ව උපත ලබනු ඇත.

ඩේවිඩ් සැන්ගර් නිව් යෝර්ක් ටයිම්ස් හි ඊයේ ලියූ ලිපියක සිරස් තලය වූයේ “රුසියාව සිය බලවත්ම ආයුධ භාවිතා කරන අවස්ථාවකට මුහුන දී සඳහා එක්සත් ජනපදය හදිසි සැලසුම් සකස් කරයි' යනුවෙනි. රුසියාව සමග පූර්න පරිමානයේ යුද්ධයක් සැලසුම් කිරීමට කැප වූ ධවල මන්දිරය තුල ඊනියා විශේෂඥ කන්ඩායමක් පැවතීම එම ලිපියෙන් හෙලි විය. සැන්ගර්ට අනුව:

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවසුවේ රුසියාව විසින් “කුඩා” උපායශීලී න්‍යෂ්ටික බෝම්බයක් භාවිතා කිරීම යනු—නේටෝ සාමාජිකයෙකු වෙත නොව, යුක්‍රේනය තුල පවා—එක්සත් ජනපදය හා නේටෝව යුද්ධයෙන් ඉවත්ව සිටීම පිලිබඳ “සියලු තුරුම්පු අවසාන” කරනු ඇති බවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ ඝෝෂාකාරී කතුවැකියක, නම් නොකල දේශපාලන චරිත යුද්ධයට වඩා සාමයට කැමති බවට චෝදනා කලේ ය. එක්සත් ජනපදය සියලු සම්පත් යෙදවිය යුතු ය. තව දුරටත් එය මෙසේ පැවසී ය, 'න්‍යෂ්ටික තර්ජනය දැන් නේටෝ සහාය නැවැත්වීමට ක්‍රියා කරන්නේ නම්, රුසියානුවන් අනාගතයේදී එය නේටෝවට එරෙහිව මනා ලෙස භාවිතා කරනු ඇත. වැලැක්වීමේ සාරය විශ්වසනීයත්වයයි, එයින් අදහස් කරන්නේ යුක්‍රේනය තුල න්‍යෂ්ටික අවි වෙත ඔහුගේ පිවිසුමට අවශ්‍ය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට පුටින් මහතාට ඒත්තු ගැන්වීමයි.'

න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව ගැන මාධ්‍ය කතා කරන විට, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, උත්සන්න වීම වලක්වා ලීම හෝ සාම සාකච්ඡා ගැන එක වචනයක්වත් කතා කරන්නේ නැත. ඒ වෙනුවට, ආදර්ශ පාඨය වන්නේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ භාෂාවෙන්, 'වේදනාව වැඩි කිරීම' ය.

රුසියාවේ දේශසීමා දිගේ නේටෝවේ භට පිරිස් දෙගුන කිරීමේ සැලසුමක් සහිතව බ්‍රසල්ස්හි නේටෝ සමුලුව ඊයේ අවසන් වූ විට, බයිඩන් ප්‍රථම වතාවට, යුක්‍රේනයට නේටෝ හමුදා යෙදවීමේ සහ රුසියාවට එරෙහි ප්‍රහාරාත්මක මෙහෙයුම්වල විය හැකියාව මතු කලේ ය.

සමුලුවෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී කතා කරමින් සිටි බයිඩන්ගෙන්, රුසියාව රසායනික අවි භාවිතා කලහොත්, මෙය 'නේටෝවෙන් මිලිටරි ප්‍රතිචාරයක් අවුලුවාලිය හැකිද' යනුවෙන් අසන ලදී.

බයිඩන් පිලිතුරු දුන්නේ, 'අපි එම අවස්ථාවේ දී එම තීරනය ගනිමු.' වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් පැවසුවේ යුක්‍රේනයට එක්සත් ජනපද හමුදා යැවීම සහ රුසියානු හමුදාවන්ට වෙඩි තැබීම, සිරියාවේ සිදු වූවාක් මෙන් යුක්‍රේනයේ එක්සත් ජනපද ඒජන්තයින් විසින් ගෙතිය හැකි, රසායනික අවි භාවිතයක් පිලිබඳ චෝදනාවකට ප්‍රතිචාරයක් ලෙස සලකනු ඇති බවයි.

නේටෝව වඩාත් සෘජුව ගැටුමට සම්බන්ධ කර ගැනීම ඉලක්ක කරගත් පියවර මාලාවක් සාකච්ඡා කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සමුලුව කැප විය. සමුලුව අවසානයේ කතා කරමින්, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, 'තත්ත්වය දරුනු නොකරනු ඇති' පියවරයන් ලෙස ඔහු විකාර සහගත ලෙස ප්‍රකාශ කල දේ ගෙනහැර දැක්වීය:

අපි නේටෝවේ ආරක්ෂක සැලසුම් සක්‍රීය කර, නේටෝ ප්‍රතිචාර බලකාය සීරුවෙන් තබා, මිත්‍ර පාක්ෂිකයින්ගේ ජාතික යෙදවීම් මගින් සහාය දක්වන සෘජු නේටෝ අන යටතේ සැලකිය යුතු ගුවන් හා නාවික සම්පත් සමඟින් 40,000 භට පිරිස් අපගේ නැගෙනහිර පැත්තේ ස්ථානගත කර ඇත. අපි බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාව යන රටවල අතිරේක බහුජාතික සටන් කන්ඩායම් හතරක් ද පිහිටුවන්නෙමු. අපි සියලු බලප්‍රදේශ හරහා සහ අංශක 360 ප්‍රවේශයකින් සියලු මිත්‍ර පාක්ෂිකයින්ගේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සහතික කිරීමට සියලු පියවර සහ තීරන ගනිමින් සිටිමු.

ස්ටෝල්ටන්බර්ග් අවසන් කලේ මෙසේ ය:

අපි දැන් වඩාත් භයානක උපායමාර්ගික යථාර්ථයක් සඳහා නේටෝවේ පරිවර්තනය වේගවත් කරන්නෙමු... දශක කිහිපයකින් යුරෝපා-අත්ලාන්තික් ආරක්ෂාවට එල්ල වී ඇති බරපතලම තර්ජනයේ ආලෝකයෙන්, අපි අපගේ දිගු කාලීන වැලැක්වීමේ සහ ආරක්ෂනයේ ඉරියව්ව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර විශ්වසනීය වැලැක්වීම සහ ආරක්ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය බලවේගයන්ගේ සහ හැකියාවන්ගේ පූර්න පරාස සූදානම තවදුරටත් වර්ධනය කරන්නෙමු.

මේවා 'තත්ත්වය දරුනු නොකරන' පියවරයන් නම්, උග්‍ර වන පියවර කෙබඳු වනු ඇත්ද?

යථාර්ථය නම්, නේටෝව රුසියානු දේශසීමාවේ සම්පූර්නයෙන්ම ආයුධ සන්නද්ධ සටන් බලකායක් බවට පරිවර්තනය වෙමින් පවතී යන්නයි.

සමුලුවෙන් පසුව, නේටෝව සිය 'නැගෙනහිර පැත්තේ' යොදවා ඇති හමුදා ගෙනහැර දක්වන යුද සිතියමක් ට්වීට් කලේය, නේටෝ අන යටතේ 40,000 ක් සහ එක්සත් ජනපද අන යටතේ 100,000 ක් ඇතුලුව සිය දහස් ගනනක භට පිරිස් සමග, ගුවන් යානා 130 ක් සහ මුහුදේ නැව් 140 ක් සීරුවෙන් තබා ඇත.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

න්‍යෂ්ටික අවිවලින් දියත් කෙරෙන ලෝක යුද්ධයක් සඳහා වන සූදානම, සංගත මාධ්‍යවල අනුකම්පා විරහිත ප්‍රචාරක රැල්ලක් සමඟින් ගමන් කරයි.

යුද්ධයට සහයෝගය දැක්වීමට උත්සාහ කරමින් නිව් යෝර්ක් ටයිම්ස් ඊයේ ලිපියක් ප්‍රකාශයට පත් කලේ මතු දැක්වෙන සිරසිනි: එක්සත් ජනපදයේ මහජන මතයේ තත්වය විස්තර කිරීමට අදහස් කරනවා යැයි කියන 'නව මත විමසුමකින් හෙලි වන පරිදි, බොහෝ ඇමරිකානුවන් පවසන්නේ රුසියාව සම්බන්ධයෙන් බයිඩන් 'තරමක් දරදඬු මදි' බවයි'.

නේටෝවට බැඳීමට යුක්‍රේනයට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා මිලියන ගනනක් ඇමරිකානු සිවිල් වැසියන් න්‍යෂ්ටික යුද්ධයකින් පුලුස්සා දැමිය යුතුදැයි ඇමරිකානු ජනගහනයෙන් අවංකව ඇසුවහොත්, ඔවුන් එකඟ වනු ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් සැබවින්ම සිතන්නේද? එක්සත් ජනපද ප්‍රතිපත්තිය පිටුපස ඇති ගාමකයන් සහ පසුවිපාක යන දෙකම ක්‍රමානුකූලව වසන් කෙරෙමින් පවතී.

ධනවත් ඉහල මධ්‍යම පන්තිය තුල දක්ෂිනාංශික, යුද ගැති උමතුවක් ඇවිලවීම අරමුනු කරගත් මෙම මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය ම මිලිටරි උත්සන්න කිරීමේ එක් සාධකයකි.

විසඳිය නොහැකි අභ්‍යන්තර අර්බුද මගින් මෙහෙයවනු ලබන එක්සත් ජනපද හා නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්, මුලු ලෝකයම තුන්වන ලෝක යුද්ධයේ අද්දරට ගෙන එමින් ද මුලුමනින්ම නොසැලකිලිමත් ලෙස ඉදිරියට යමින් ද සිටිති.

ව්ලැඩිමීර් පුටින්ගේ රුසියානු ආන්ඩුව, නේටෝවේ නිර්දය ව්‍යාප්තියේ තර්ජනයට ලක්ව, අධිරාජ්‍යවාදය සමග යම් ආකාරයක එකඟතාවක් කරා ලඟා වීමේ අරමුන ඇතිව යුක්‍රේනය තුල ප්‍රහාරය දියත් කලේය. එය පැහැදිලිවම එක්සත් ජනපදය හා නේටෝව යුද්ධය සඳහා සූදානම්ව සිටි තරම අවතක්සේරු කර ඇති අතර, එය සිය ආරම්භක පසුබෑම න්‍යෂ්ටික අවි හරඹයක් මගින් සමනය කිරීමට උත්සාහ කරයි.

න්‍යෂ්ටික යුද්ධය දෙසට යන උමතු ධාවනය නැවැත්විය යුතුය! මෙම අතිශය භයානක තත්වය තුල, කම්කරු පන්තිය, විරෝධතා, පෙලපාලි සහ කාර්මික ක්‍රියාමාර්ග හරහා, යුද්ධයට එරෙහි සටන අසමානතාවයට, සූරාකෑමට, සාපරාධී වසංගත ප්‍රතිපත්තියට සහ සියල්ලට යටින් ධනේශ්වර ලාභ ක්‍රමයට එරෙහි සටන සමග ඒකාබද්ධ කරමින් ස්වාධීනව මැදිහත් වීම හදිසි අවශ්‍යතාවය යි.

Loading