ජාමූඅ වෙත ගමන් කරද්දී ආන්ඩුව බංකොලොත් බව ප්‍රකාශයට පත් කරයි

[මෙය As it heads to the IMF, Sri Lankan government declares bankruptcy මැයෙන් 2022 අප්‍රේල් 14 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

රටෙහි ඉතිහාසයේ පෙර නුවූ පියවරක් ගනිමින්, ආන්ඩුව අප්‍රේල් 12 වැනි දා “තාවකාලික” නය පැහැර හැරීමක් නිවේදනය කලේ ය. මෙම නිවේදනය ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි නව අවදියක් සලකුනු කරයි.

අප්‍රේල් 12දා පැවති මාධ්‍ය හමුවක දී, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙසේ කීවේ ය: “අපි විදේශ නය ආපසු ගෙවීමේ හැකියාව අහිමි කරගෙන තිබෙනවා. නය ගෙවීම් අභියෝගාත්මක හා කල නො හැකි බවට පත්කරන ලක්ෂ්‍යයකට එය පැමින තිබෙනවා.” “මෙම (නය) වගකීම්වල විස්තීර්න ප්‍රතිව්‍යුහකරනයක් අවශ්‍ය වනු ඇත” යි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කලේ ය.

ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට වහා ම ඉල්ලා අස්වන ලෙස බලකරමින්, කොලඹ හා රටපුරා සතියකටත් වැඩි කාලයක් තිස්සේ ලක්ෂ ගනන් දෙනා විරෝධතාවල යෙදෙද්දී, මෙම නිවේදනය පැමිනියේ ය. දරාගත නො හැකි මිල ඉහල යාම් සහ ඉන්ධන, ඖෂධ, පිසින ගෑස්, විදුලිය හා අත්‍යවශ්‍ය ආහාර භාන්ඩවල හිඟයන් මධ්‍යයේ, මෙම විරෝධතා පලල් සහයෝගයක් ආකර්ශනය කරගෙන ඇත.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ (ඡායාරූපය: මහ බැංකු ට්විටර් ගිනුම)

ලංකාවට ආනයන සඳහා ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය අතිශයින් හිඟ කරමින්, පලමු ව වසංගතය විසින් ද ඉන්පසු ව යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ ගැටුම විසින් ද ලංකාවේ ආර්ථිකයට දරුනු ලෙස පහර දී ඇත. මාර්තු මාසයේ දී, විදෙස් සංචිත ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 2ට අඩු මට්ටමකට වැටුනි. ඩොලර් බිලියන 35ක පමන විදෙස් නයක් සහිත රට, වසරේ ඉතිරි කාලසීමාව තුල ඩොලර් බිලියන 6ක් ද 2026 වන විට සුවිශාල ඩොලර් බිලියන 25ක් ද ආපසු ගෙවිය යුතු ය.

නය පැහැර හැරීම රටෙහි බැංකු ක්ෂේත්‍රයට හානිකර ලෙස බලපා ඇත්තේ, ෆිච් වැනි ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීමේ ආයතන, දැනට මත් ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික බැංකුවල තත්ත්වය පහත හෙලීම සඳහා සලකා බැලීම සඳහා තබද්දී ය.

විදේශ නය තාවකාලික ව පැහැර හැරීමේ නිවේදනය විදෙස් නය ප්‍රතික්ෂේප කිරීමක් නො වේ. පමා වන කාලසීමාවට පොලිය සමගින්, නය ආපසු ගෙවනු ලබන බව ආන්ඩුව සියලු නය දෙන්නන්ට සහතික වී ඇත. නය “ප්‍රතිව්‍යුහකරනය කිරීමේ යෝජනා නය දෙන්නන්ගේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කරනු ලැබිය හැකි” බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ සමග සමානුයෝග වනු ඇති බවත්, ආන්ඩුව තව දුරටත් තහවුරු කර ඇත.

රටෙහි විදේශ නයවලින් බාගයක් පමන වානිජ නය ගැනීම් වන අතර, අනෙකුත් නයවලට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, චීනය, ජපානය හා ඉන්දියාවෙන් ලබාගත් නය ඇතුලත් වේ. මුදල් දුන් රටවල් සමග “අවංක අරමුනින්” සාකච්ඡා සඳහා ද ආන්ඩුව පොරොන්දු වේ.

පසුගිය මාසය අවසානයේ දී රට පිලිබඳ තක්සේරුව නිකුත් කිරීමට ජාමූඅ කටයුතු කලේ, විෂඝෝර කප්පාදු වැඩසටහනක් සමගිනි. ආදායම් හා එකතු කල අගය මත බදු ඉහල දැමීම; ඉන්ධන මිල ගනන් හා විදුලි ගාස්තු අනුපාත වැඩි කිරීම; වෙලඳපොල මගින් නීර්නිත නම්‍යශීලී හුවමාරු අනුපාත ආයතනගත කිරීම; රජයට අයත් ව්‍යවසායයන් වානිජකරනය හා පුද්ගලීකරනය; රාජ්‍ය වියදම් ගැඹුරු ලෙස කපා දැමීම; සහ මිල පාලනය කිරීම් හා සහනාධාර කපා දැමීම එම කප්පාදු වැඩසටහනට ඇතුලත් විය.

අප්‍රේල් 18දා පිටත් වීමට නියමිත මුදල් ඇමති අලි සබ්රි නායකත්වය ශ්‍රී ලංකා නියෝජිත කන්ඩායම සමග ඇප දීමේ පැකේජයක් සඳහා පවත්වන සාකච්ඡාවල දී, තවත් කඨෝර කොන්දේසි පැනවීමට ජාමූඅ ක්‍රියා කරනු ඇත. වැඩකරන ජනයා මත නව බර පැටවීම මගින්, නය දෙන්නන්ට සහතික වීම හා ලංකාවේ සංගත හා මූල්‍ය ප්‍රභූන් මුදාගැනීම පැකේජයේ අරමුන වේ.

කොලඹ ගාලු මුවදොර පිටියේ රාත්‍රී විරෝධතාවලට සම්බන්ධ වන පවුල් (ලෝසවෙඅ මාධ්‍ය)

ලංකාවේ ආර්ථිකය බංකොලොත් භාවයේ පවතින අතර, එම නිවේදනය නිකුත් කල කාලය වනාහි, ජාමූඅ නියෝග පිලිගන්නා ලෙස මහජනයාට පීඩනය යෙදීම ඉලක්ක කරගත් දේශපාලන තීන්දුවකි. තමන්ට වෙනත් විකල්පයක් නො තිබුනු බවත්, මහජනයා තිත්ත කසාය බී ගත යුතු බවත්, ආන්ඩුව කියාපානු ඇත. ආන්ඩුවේ මෙන් ම විරුද්ධ පක්ෂයේ සියලු පක්ෂ සමගින් වෘත්තීය සමිති, ආර්ථිකයට ප්‍රකෘතිමත් වීමට ඉඩ දී “ඉවසිලිවන්ත වන” ලෙස වැඩකරන ජනයාට කැඳවුම් කරන ඇත.

ලංකාව තුල සූදානම් කරනු ලැබෙමින් පවතින්නේ පෙර නුවූ විරූ පරිමානයක සමාජ ව්‍යසනයකි. 2015 දී ග්‍රීසිය බංකොලොත් භාවය ප්‍රකාශ කල විට, ව්‍යාජ-වාම සිරිසා පාලන තන්ත්‍රය විසින් පටවන ලද හා කම්කරු පන්තිය විනාශභාග කරන ලද රුදුරු පියවරයන් යුරෝපා කොමිසම, යුරෝපීය මහ බැංකුව හා ජාමූඅ යන “ට්‍රොයිකාව” විසින් නියෝග කලේ ය.

රාජ්‍ය අංශයේ රැකියා යෝධ ලෙස විනාශ කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් ගැඹුරින් කපා දැමීම්, කම්කරුවන්ගේ ක්‍රය ශක්තිය පහත හෙලන එකතු කල අගය මත බද්ද විශාල ලෙස ඉහල දැමීම සහ බලශක්ති, වරාය හා ප්‍රවාහන යටිතල පහසුකම් පුද්ගලීකරනය, එම නියෝග අතරට අයත් විය. මාස ගනනක් ඇතුලත ජනගහනයෙන් විශාල කොටස් දරිද්‍රතාවට සිඳුවනු ලැබූහ.

ග්‍රීසියේ කම්කරු පන්තිය මෙන් ම, ලංකාවේ කම්කරුවන් මෙම අර්බුදයට වගකිව යුතු නැත. ජාමූඅ, ආන්ඩුව හා සමස්තයක් ලෙස පාලක පන්තිය පැටවීමට උත්සාහ කරන බර ඔවුන් පිලිගත යුතු නැත. බැංකුවලට ගෙවීමට හා ධනවත් සුලුතරයගේ ලාභ ආරක්ෂා කිරීම පිනිස, දිවයින ගොදුරු කරගැනීමට කුසගින්නට හා හාමතට ඉඩ දිය යුත්තේ ඇයි!

හුදෙක් බෙදුම්වාදි දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමට පමනක් නො ව, වනචර ප්‍රජාගනවාදී වෙනස්කම් කිරීම්වලට දෙමල වැසියන්ගෙන් එන ඕනෑ ම විරෝධයක් මැඩීමට ද අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය ප්‍රතිගාමී වාර්ගික යුද්ධය දක්වා නයෙහි විශාල මට්ටම් ඇදී යයි. ආයුධ මිලට ගැනීමටත්, ආසියාවේ විශාලතම ඒක ජන මිලිටරිවලින් එකක් බවට මිලිටරිය විස්තාරනය කිරීමටත් යලි යලිත් මුදල් ලබා ගන්නා ලදී.

2009 දී යුද්ධය ම්ලේච්ඡ ලෙස අවසන් කිරීමෙන් පසුව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විශාල මිලිටරියක් හා එය විසින් දිවයිනේ උතුර හා නැගෙනහිර වාඩිලා ගැනීම නඩත්තු කලේ ය. පාලන තන්ත්‍රය කඩිමුඩියේ මුදල් නයට ගත්තේ, දකුනු ආසියාවේ මූල්‍ය හා වානිජ මධ්‍යස්ථානයක් බවට කොලඹ පරිවර්තනය කිරීම පිනිස යෝධ යටිතල පහසුකම් වැඩි දියුනු කිරීමට දැරූ උත්සාහයේ දී ය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට සැලකිය යුතු බදු මුක්තීන් ප්‍රදානය කරන ලද අතර, වංචාව හා දූෂනය හරහා ද ඇතුලු ව ව්‍යාපාරිකයන්ට හා දේශපාලනඥයන්ට මුදල් ලබා දුන්නේ, 60,000ට අධික පැල්පත් වාසීන් පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් පලවා හරිමිනි.

සඳුදා ජාතිය අමතා රූපවාහිනියෙන් කල කතාවක දී, වර්තමානයේ අගමැති ධූරය දරන මහින්ද රාජපක්ෂ, ආර්ථික අර්බුදය පිලිබඳ වගකීම විරෝධතා ව්‍යාපාරයට පැටවීමට නරුම ලෙස උත්සාහ කලේ, වීදිවල විරෝධතා පැවැත්වෙන සෑම තත්පරයක් පාසා ම “අපේ රටට ඩොලර් ලැබිය හැකි අවස්ථා අහිමි වෙනවා” යි ප්‍රකාශ කරමිනි. විරෝධතා “ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්” ලෙස හෙලාදුටු ඔහු, අතීතයේ දී පැවති ආන්ඩු විරුද්ධත්වය මැඩීමට මිලිටරිය හා ඝාතක කල්ලි යොදාගෙන ඇත්තේ කෙසේදැයි මතකයට නංවමින් තුනී ලෙස සඟවන ලද තර්ජනයක් කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියට එහි පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාකාරී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත. කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම සඳහා, වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස එය කම්කරු පන්තියට කැඳවුම් කරයි.

ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, සියලු මර්දන නීති අවලංගු කිරීමටත්, වැඩකරන ජනයාගේ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමටත් කරන සටනේ දී ගම්බද දුගීන් හා පීඩිතයන් රැලි කරගැනීමේ විධික්‍රම මෙමගින් සම්පාදනය කරනු ඇත.

විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ඇතුලු පිලිවෙත් මාලාවක් සසප විසින් ඉදිරිපත් කර තිබේ. මෙම නය නිර්මානය නො කල කම්කරු පන්තියට, එහි රැකියා හා ජීවන තත්ත්වයන් විනාශ කිරීම හරහා ගෙවීමට බල නො කරනු ලැබිය යුතු ය.

ආන්ඩුව බංකොලොත් භාවය ප්‍රකාශ කර තිබුනත්, ධනවත් ප්‍රභූවට, මහ ව්‍යාපාරිකයට හා මූල්‍ය සමපේක්ෂකයන්ට සම්පත් තිබේ. බහුතරයේ සමාජ අවශ්‍යතා ඉෂ්ට කිරීම තහවුරු කිරීමට, බිලියනපතියන්ගේ ධනය අල්ලා ගෙන, බැංකු හා ප්‍රධාන සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන ලෙස සසප කැඳවුම් කරයි.

එවැනි ඉල්ලීම් සඳහා වන සටන, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස, කම්කරු පන්තිය බලය අල්ලාගෙන, සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන අරගලයට දෘඪතර ලෙස යොමු කරයි. ධනවත් සුලුතරයේ අවශ්‍යතා වෙනුවට, වැඩකරන ජනයාගේ අවශ්‍යතා ඉටුවන පරිදි, වර්තමාන ආර්ථික හා සමාජ අර්බුදය විසඳනු ලැබිය හැක්කේ මේ ආකාරයෙන් පමනි.

Loading