ඉදිරිදර්ශන

මැක්‍රොන් හා ල' පෙන් එපා! 2022 ප්‍රන්ස මැතිවරනය ක්‍රියාකාරී ලෙස වර්ජනය කිරීම සඳහා!

[මෙය No to Macron and Le Pen! For an active boycott of the 2022 French elections! මැයෙන් 2022 අප්‍රේල් 12 වැනි දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ඉරිදා පැවති ප්‍රන්ස ජනාධිපතිවරනයේ පලමු වටයෙන් පසුව, දැනට ධූරය දරන එම්මානුවෙල් මැක්‍රොන් හා නව-නාසිවාදී අපේක්ෂිකා මැරීන් ල' පෙන් අතර දෙවන වටය පැවැත්වෙනු ඇත.

වර්තමාන ප්‍රන්ස ජනාධිපති හා මැතිවරනයට යලි තරඟ කරන අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් අප්‍රේල් 10 ඉරිදා පැරීසියේදී සහ “යුද්ධයේ මුව විට ප්‍රන්සය” නමැති වැඩසටහන තුල කතා කරන අන්ත-දක්ෂිනාංශික ජනාධිපති අපේක්ෂිකා මැරීන් ල' පෙන් 2022 මාර්තු 14 සඳුදා පැරීසියේදී(ස්තුතිය: ඒපී ඡායාරූප/ තිබෝල්ට් කැමූ, ලුදොවික් මාරින්, ඒපී සංරක්ෂිත ඡායාරූප එකතුව)

2002 හා 2017 මැතිවරනවල දී මෙන් ම, ප්‍රන්සයේ බංකොලොත් දේශපාලන සංස්ථාපිතය ප්‍රතිගාමී “පොහොසතුන්ගේ ජනාධිපතිවරයෙක්” හා ප්‍රන්සයේ ප්‍රධාන නව-ෆැසිස්ට්වාදී පක්ෂයේ නායිකාව අතර “තෝරා ගැනීමකට” ඡන්ද දායකයන්ව ඇද දමා ඇත. මැතිවරනයෙහි ප්‍රතිඵලය කවරක් වුවත්, එමගින් නිෂ්පන්න කරනු ඇත්තේ කම්කරු පන්තිය මත ප්‍රහාර තීව්‍ර කිරීමට කැපවූ අන්ත-දක්ෂිනාංශික ආන්ඩුවකි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), මැතිවරනයේ දෙවන වටය ක්‍රියාකාරී ව වර්ජනය කරන ලෙස කැඳවුම් කරයි. මැතිවරනයේ දී ඡන්දය භාවිතා නො කරන ලෙසත්, මැක්‍රොන් හා ල' පෙන් අතර විසකැවූ තෝරාගැනීම දේශපාලන සවිඥානිකත්වයෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් පෙනී සිටින ලෙසත්, එය කම්කරුවන්ට හා තරුනයන්ට යෝජනා කරයි. එවන් වර්ජනය කිරීමකට කම්කරුවන් හා තරුනයන් අතර උද්ඝෝෂනය කිරීම, කවර අපෙක්ෂකයා ජයග්‍රහනය කලත්, අනිවාර්යයෙන් ඉස්මතු වනු ඇති මුනගැටුම සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීම පිනිස, සාමූහික ක්‍රියා යොදාගනී.

2022 මැතිවරනයේ දී, අර්ධ-ශත වර්ෂයක් පමන නිල දේශපාලනය මත ආධිපත්‍යය දැරූ පක්ෂ මාලාවක් ම ඇද වැටුනි. ගෝල්වාදී රිපබ්ලිකන් (එල්ආර්) පක්ෂය, මහ ව්‍යාපාරික සමාජවාදී පක්ෂය (පීඑස්) හා ස්ටැලින්වාදී ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය (පීසීඑෆ්) යන සියලු පක්ෂ ලබා ගත්තේ ඡන්දයෙන් සියයට 5ට අඩු ප්‍රමානයකි. සියල්ලට ඉහලින් පීඑස් හා පීසීඑෆ් සමග පවතින ගැඹුරු සමාජ කෝපය හා ඉච්ඡාභංගය ගසා කමින් ල' පෙන් ඇයගේ ඡන්ද ලබාගත්තා ය. කලක පීඑස් හෝ පීසීඑෆ් බලකොටු ලෙස පැවතියත්, මෙම පක්ෂවල කප්පාදු පියවරයන් හේතුවෙන් විනාශභාග කරන ලද කුඩා නගර හා ගම්බද ප්‍රදේශ තුල ද වැඩිහිටි ඡන්ද දායකයන් අතර ද ඇයගේ ඡන්ද කේන්ද්‍රගත වෙයි.

මැක්‍රොන් හා ල' පෙන් යන දෙදෙනාට ම වාමාංශික විකල්පයක් අපේක්ෂා කරමින්, මිලියන ගනන් ජනයා නොදැමුනු ප්‍රන්සය (එල්එෆ්අයි) පක්ෂයේ ෂෝන්-ලුක් මෙලෙන්චොන්ට ඡන්දය දුන් හ. කෝවිඩ්-19 වසංගතයේ වසර දෙකකින් පසුව හා රුසියාවට එරෙහි නැටෝ යුද ධාවනය මධ්‍යයේ, තරුනයන් හා නාගරික කම්කරුවන් අතර සිදු වෙමින් පවතින රැඩිකලීකරනයක්, ඔහුගේ ඡන්දය තුල පිලිබිඹු කලේ ය. වයස 35ට අඩු ජනයා අතර ඡන්දය මෙලෙන්චොන් ජයග්‍රහනය කලේ ය. ප්‍රමුඛ වසයෙන් කම්කරු පන්තික නිවහන් ප්‍රදේශ ජයග්‍රහනය කරමින්, ඔහු පැරිස් මහනගර ප්‍රදේශය, මාසෙයියේ, ටවුලවුස්, ලිය්‍යේ, මොන්ට්පෙයියර් හා ප්‍රන්සයේ විශාලතම නගර 16න් 10ක් ම අත්පත් කරගත්තේ ය.

මෙලෙන්චොන් ඡන්දයෙන් සියයට 22ක් දිනාගත් අතර, එය ල පෙන්ට වඩා අඩු වූයේ සියයට 1කින් පමනි. එහෙත්, මෙය සටන් කිරීම සඳහා ලැබුනු ජනවරමක් ලෙස නො ගත් මෙලෙන්චොන්, ඔහුගේ ඡන්ද දායකයන්ගෙන් මැක්‍රොන්ට සහයෝගය දෙන ලෙස ඉල්ලා, තමන් ඊ ලඟ මැතිවරනයට පෙර දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කලේ ය. ප්‍රන්සය “දේශපාලනික හදිසි තත්ත්වයකට” මුහුන දෙන බව ඉරිදා රාත්‍රීයේ පිලිගන්නා අතර ම, ඔහු මැක්‍රොන්ට ඡන්දය දෙන්නැයි දුබල ලෙස ආයාචනා කලේ, “ඔබ ල' පෙන් මහත්මියට කිසිදු ඡන්දයක් නො දිය යුතුයි” යි යලි යලිත් වමාරමිනි.

මැක්‍රොන්ට දෙන ඡන්දයක් ෆැසිස්ට්වාදයේ අන්තරායට එරෙහි ආයුධයක් වීම හෝ ල' පෙන්ට විරුද්ධ වීම පිනිස මෙලෙන්චොන්ගේ ඡන්ද දායකයන් මැක්‍රොන්ට ඡන්දය දිය යුතුය යන්න, අමු පචයක් ලෙස අවඥාවෙන් යුතුව සසප විසින් ප්‍රතික්ෂේප කරයි.

2017 දී, මැක්‍රොන් හා ල' පෙන් අතර මෙවැනි ම දෙවන වටයකට මුහුන දුන් විට, කවරෙකුට ඡන්දය දිය යුතුදැයි මෙලෙන්චොන් නො කීවේ, ල පෙන්ට වඩා අඩු නපුරක් ලෙස කම්කරුවන් මැක්‍රොන්ට ඡන්දය දිය යුතු යයි මාධ්‍ය ගෙනගිය ප්‍රචාරය සමග පෙලගැසෙමින්, ඔහුගේ ඡන්ද දායකයන් කල යුත්තේ කුමක්දැයි දන්නා බව දෙබිඩි ලෙස කියමිනි. ඊට විපරීත ව, සසප ක්‍රියාකාරී ඡන්ද වර්ජනයක් සඳහා කැඳවුම් කලේ, මැක්‍රොන්, ල පෙන්ට වඩා අඩු නපුරක් නො වන බවට අනතුරු අඟවමිනි. සසප ආස්ථානය සනාථ විය.

මැක්‍රොන් ප්‍රචන්ඩ ලෙස ප්‍රතිගාමී පිලිවෙතක් ලුහුබැඳ ගොස් ඇත. 2018-19 සමයේ සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන ලද “කහ කබා” විරෝධතා අවුලුවමින්, මහා පරිමාන දොට්ට දැමීම් වේගවත් කිරීමට හා දුම්‍රිය කම්කරුවන්ගේ වැටුප් කපා දැමීමට ඔහු ආඥා පැනවී ය. ඔහු කහ කබා ව්‍යාපාරයට ප්‍රතිචාර දැක්වූයේ, ප්‍රන්සයේ නාසි ඒකාබද්ධතාවාදී ආඥාදායක ෆිලිප් පෙටේන් “ශ්‍රේෂ්ට සොල්දාදුවෙක්” ලෙස උත්කර්ෂයට නංවමින් හා “කහ කබාකරුවන්” මතට කැරලි මර්දනය පොලීසිය මුදා හරිමිනි. 10,000ට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර, 4,400කට තුවාල සිදු විය.

මැක්‍රොන්ගේ ජනමත විමසුම් ශ්‍රේනිගත කිරීම් ඇද වැටෙද්දී, ඔහු වඩ වඩා ඍජු ලෙස අන්ත-දක්ෂිනාංශික බලවේග මත රැඳී සිටියේ ය. විශ්‍රාමික ජනරාල් පියරේ ඩි විලියර්ස් වටා වූ ෆැසිස්ට්වාදී නිලධාරීන් “කහ කබාකරුවන්” වඩා රුදුරු ලෙස මර්දනය කරන ලෙස ඉල්ලා සිටි විට හා “අධිකාරිය” ප්‍රතිස්ථාපනය කිරීම පිනිස කුමන්ත්‍රනයක් සඳහා තර්ජනය කල විට, ඔහු කිසිවක් කලේ නැත. ඔහුගේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වන, අන්ත-දක්ෂිනාංශික ඇක්ෂන් ෆ්‍රැන්සේස්හි අනුග්‍රහකරුවෙක් වන ජෙරල්ඩ් දාර්මානින්, මුස්ලිම් සංවිධානවලට එරෙහි ව අසාධාරන වගකීම් පනවන නීතියකට අනුග්‍රහය දුන්නේ ය. ල' පෙන් ඉස්ලාම් ධර්මය පිලිබඳ ව “මෘදු” යයි පවා කියමින් දාර්මානින් ඇයට ප්‍රසිද්ධියේ පහර දුන්නේ ය.

ගෝලීය කෝවිඩ්-19 වසංගතය සලකන කල, මැක්‍රොන් යුරෝපා සංගමයේ “වසංගතය සමග ජීවත් වෙනු” පිලිවෙත ආරක්ෂා කලේ ය. විද්‍යාඥයින් විසින් නිර්දේශ කරන ලදුව, දැඩි අගුලු දැමීමක් පැනවීමට වැඩ වර්ජන මාලාවක් විසින් ආරම්භයේ දී බල කෙරුන ද අගුලු දැමීම අවසන් වූ විට වෛරසය යලි මතුවීමක් නැවැත්වීමට අවශ්‍ය හඳුනාගැනීමේ හා හසුකරගැනීමේ වැඩසටහන් පිහිටුවීම ඔහු ප්‍රතික්ෂේප කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, යුරෝපය තුල ජීවිත මිලියන 1.8ක් හා ප්‍රන්සය තුල ජීවිත 142,000ක් බිලිගනිමින් වෛරසය ආපසු පැමිනි අතර, අගුලු දැමීමෙන් හා ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පෙරලා පැමිනීමෙන් පසුව, වෛරසය බොහෝ සෙයින් පරීක්ෂාව යටතේ තබන ලද චීනයට වඩා වෙනස් විය.

මේ වසරේ දී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනයෙන් පසුව, රුසියාව සමග ගැටුමක් සඳහා එක්සත් ජනපදයේ හා නැටෝවේ ඉව බව නැති ධාවනය සමග ප්‍රන්සය පෙලගැස්සීමට මැක්‍රොන් කටයුතු කලේ ය. “නව ලෝකය පර්යායයකට නායකත්වය දෙනු ඇත්තේ” කවුරුන්දැයි තීරනය කිරීම සඳහා වන යුද්ධවල දී, මිලියන 45 සිට 60 දක්වා මරන සංඛ්‍යාවක් සිදු වනු ඇතැයි පෙන්ටගනය සලකා බලමින් සිටින බව, එක්සත් ජනපද ජනාධිපති බයිඩන් ප්‍රකාශ කර ඇත. එහෙත්, වොෂින්ටනයේ ගිනිඅවිවාදියා සමග මැක්‍රොන් පෙලගැසී ඇත්තේ, යුක්‍රේනයේ අන්ත-දක්ෂිනාංශික මිලීෂියාවන් සන්නද්ධ කරමින් හා රුසියාව සමග තීරනාත්මක භාන්ඩ වෙලඳාම මත සම්බාධක පනවමින් ය.

මෙලෙන්චොන්ගේ එල්එෆ්අයි හා මධ්‍යම පන්තියේ විවිධාකාර පක්ෂ, මැක්‍රොන්ට එන වාමාංශික විරුද්ධත්වයක් වැලැක්වීමට අඛන්ඩ ව ක්‍රියා කල හ. “කහ කබාකරුවන්ගේ” ආරක්ෂාව සඳහා, ඔවුන්ගේ ඡන්ද දායකයන්ගේ විරෝධතා කැඳවුම් නො කල එම පක්ෂ, අන්ත දක්ෂිනාංශයේ අප්‍රිය එන්නත්-විරෝධී විරෝධතාවන්ට සහයෝගය දෙමින්, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද ධාවනය සමග පෙලගැසුනෝ ය. මැක්‍රොන්ට එරෙහි වාමාංශික විරෝධයේ ගෙල සිරකිරීම මගින්, මැක්‍රොන්ගේ ප්‍රධාන විරුද්ධවාදියා ලෙස ව්‍යාජ ව පෙනී සිටීමට ඔවුහු අන්ත-දක්ෂිනාංශයට ඉඩ ලබා දුන් හ.

සමාජ සුභසාධන පිලිවෙත්වල ආරක්ෂිකාවක් ලෙස ප්‍රෝඩාකාරී ලෙස කියාපෑමට මෙමගින් ල පෙන්ට මාවත පාදා දුනි. රුසියානු නිලධාරීන් සමග ඇයට පෙර පැවති සබඳතා, රුසියාවට එරෙහි මිලිටරි මදාවියේ දී ඇය මැක්‍රොන්ට වඩා ඉව බව නැතිකමින් අඩු කරයි. මැක්‍රොන් ආන්ඩුව අනවරතයෙන් පොලිස් ප්‍රචන්ඩත්වයට යොමු වීම හා මුස්ලිම්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එය එල්ල කරන ප්‍රහාර ද පොලීසිය උත්කර්ෂයට නංවමින්, තමන්ගේ සංක්‍රමන-විරෝධී පිලිවෙත් ප්‍රධාන ධාරාවේ ඒවා ලෙස පෙන්නුම් කිරීමට ඇයට හැකියාව ලබා දුන්නේ ය.

එහෙත් ල' පෙන් යනු, තේරී පත් වුවහොත්, ම්ලේච්ඡත්වයෙන් මැක්‍රොන්ට වඩා කිසිසේත් නො අඩු යයි සනාථ වනු ඇති පිලිවෙතක් සහිත, අනුකම්පා විරහිත නව-ෆැසිස්ට්වාදිනියකි. ඇයගේ තේරී පත්වීම හේතුවනු ඇත්තේ ප්‍රන්සයේ යලි ඉපදීමට නො ව, එය මඩ වල කරා ඇදගෙන යාමට යි.

ප්‍රථමකොටත්, ප්‍රමුඛ වසයෙනුත්, මීලඟ ප්‍රන්ස ජනාධිපතිගේ පිලිවෙත් නීර්නය කරනු ලබන්නේ, ලෝක ධනේශ්වර පද්ධතියේ බිඳ විසිරයාම විසිනි. ගෝලීය වසංගතයෙහි මහා පරිමාන මරන හා ආර්ථික ව්‍යසනයෙන් පසුව, අධිරාජ්‍යවාදී යුද ධාවනය කම්කරු පන්තිය මතට ජාත්‍යන්තර ප්‍රහාරයක් සඳහා පසුබිම සකසමින් තිබේ.

ප්‍රන්ස ජනයාගෙන් සියයට 76ක් න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ ව මනස්තාප වන බව මත විමසුම් පෙන්නුම් කරයි. ගෑස් පොම්පාගාරවල සහ පිසින තෙල්, වැසිකිලි කඩදාසි හා බිත්තර වැනි මූලික නිෂ්පාදන සඳහා සුපිරි වෙලඳපොලවල ඉහල යන මිල ගනන් හා හිඟයන් පිලිබඳ ව උත්සුකතා මතුවෙමින් පවතී.

කම්කරුවන් හා තරුනයන්, ඊ ලඟ ජනාධිපති හා කම්කරු පන්තිය අතර මෝදු වෙමින් පවතින ගැටුමට දේශපාලනික ව සූදානම් කිරීම ශ්‍රේෂ්ඨ කර්තව්‍යය යි. ක්‍රියාකාරී ඡන්ද වර්ජනයක් උද්ඝෝෂනය කරන සසප, අරගල සංවිධානය කිරීමේ දී හා සම්බන්ධීකරනය කිරීමේ දීත්, ප්‍රන්සය තුල වෙනත් තැන්වල හා ජාත්‍යන්තර ව කම්කරුවන් විසින් නිර්මානය කරන අනෙකුත් අරගල සංවිධාන සමග කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ දීත් පලමු පියවරක් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරයි.

එවන් අරගලයක දී, විප්ලවවාදී නායකත්වය අත්‍යවශ්‍ය ය. ට්‍රොට්ස්කිවාදය සඳහාත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, ස්ටැලින්වාදයට සහ සියලු ආකාරවල සුලු-ධනේශ්වර අවස්ථාවාදයට එරෙහි වත්, හජාජාක අරගලයෙහි නො බිඳිනු අඛන්ඩතාව මත සසප පදනම් වේ.

මැතිවරනයේ විකෘත රූපයක් ලෙස මෙලෙන්චොන්ට දුන් ඡන්දය ප්‍රදර්ශනය කරන්නේ, පලල් කම්කරු පන්තික මහජනතාව වමට චලනය වෙමින් සිටින බව යි. ලොව පුරා කම්කරුවන් සමගින්, ප්‍රන්ස කම්කරුවන් සොයමින් සිටින්නේ, අසමානතාවට, යුද්ධයට, අන්ත-දක්ෂිනාංශයේ නැගීමට හා වසංගතයට පාලක පන්තිය දක්වන සාපරාධී ප්‍රතිචාරයට එරෙහි ව සටන් කිරීමේ මාවතකි. එහෙත්, තව දුර දකුනට පැදීමට මෙලෙන්චොන්ගේ තීරනය ප්‍රදර්ශනය කරන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සවිඥානික අරගලය තුලින් පමනක්, මෙම මනෝගතිය දේශපාලනික ව යථාවත් කරගනු ලැබිය හැකි බව යි.

මෙම ක්‍රියා මාර්ගය සමග එකඟ වන කම්කරුවන්ට හා තරුනයන්ට, අප හා සම්බන්ධ වී, මැක්‍රොන් හා ල' පෙන්ට එරෙහි ක්‍රියාකාරී ඡන්ද වර්ජනයකට සටන් කරමින්, ප්‍රන්ස කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස සසප ගොඩනගන ලෙස, සසප ඉල්ලා සිටී.

Loading