සසප සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල්, චමින්ද ලක්ෂාන්ගේ අවමගුල අමතයි

[මෙය Sri Lankan SEP member W.A. Sunil addresses Chaminda Lakshan funeral යන මැයෙන් 2022 අප්‍රේල් 25 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල්ට චමින්ද ලක්ෂාන්ගේ අවමංගල්‍ය සභාවේදී කෙටි කතාවක් කිරීමට හැකි විය. පෙට්‍රල් බෙදාහැරීම ප්‍රමාද කිරීමට සහ ඊට කලින් දින ප්‍රකාශයට පත් කරන ලද, පෙට්‍රල් සහ ඩීසල්වල තියුනු ලෙස මිල ඉහල දැමීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ රඹුක්කන ප්‍රදේශයේ නිරායුධ පුද්ගලයන්ට පොලිසිය විසින් වෙඩි තබන ලද අතර එහිදී 40 හැවිරිදි දෙදරු පියෙකු වන ලක්ෂාන් මියගියේය.

ඩබ්ලිව්. ඒ. සුනිල් අවමංගල්‍ය සභාව අමතමින් [ලෝසවෙඅ මාධ්‍ය]

පොලිස් ඝාතනය හෙලා දකිමින් සුනිල් කියා සිටියේ එය හදිසි අනතුරක් නොව, සැලසුම් සහගත ක්‍රියාවක් බවත් ඊට වගකිව යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බවත් ය.

“මෙම ඝාතනය සිදු වූයේ ආහාර, ඉන්ධන සහ ගෑස් මිල ඉහල නැංවීමට සහ භාන්ඩ හිඟයට එරෙහිව කම්කරු පන්තිය සහ දස දහස් සංඛ්‍යාත ජනතාව වීදි බැස උද්ඝෝෂන කරන අතරතුරයි. අර්බුදය ජයගැනීමේ නාමයෙන් රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින අතරතුරයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

“ජාමූඅ ආන්ඩුවට කියනවා, අපි ඔබට නය දෙනවා, අපි ඔබට උදව් කරනවා, නමුත් ඔබ අපේ කොන්දේසිවලට එකඟ විය යුතුයි කියලා: රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කල යුතුයි, පොලී අනුපාත වැඩි කල යුතුයි, සුබසාධන වැඩසටහන් කප්පාදු කල යුතුයි. තවද රට තුල දේශපාලන ස්ථාවරත්වය තහවුරු කල යුතුයි.

“දේශපාලන ස්ථාවරත්වය යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ ආන්ඩුවට එරෙහි විරෝධතා නැවැත්විය යුතු බවයි. ලක්ෂාන් සොහොයුරාට වෙඩි තැබීමෙන් ආන්ඩුව පෙන්නුම් කර ඇත්තේ, ජාමූඅ සහ අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයේ කොන්දේසි කුරිරු ක්‍රම මගින් ක්‍රියාවට නැංවීමට තමන් සූදානම් බවයි.

“වීදිවල සිටින ජනතාව සමස්ත දේශපාලන සංස්ථාපිතයට විරුද්ධයි. ඔවුන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඉවත් කල යුතු බවයි. ඔවුන්, සංස්ථාපිතය තුල තිබෙන සියලුම දේශපාලන පක්ෂවලට විරුද්ධ ය. ඔවුන් විකල්පයක් සොයමින් ඉන්නේ. ඔවුන්ට සමාජවාදී විකල්පය ලබාදිය යුතුයි.”

Loading