තත්වය හොඳ වීමට පෙර කප්පාදුව තවත් නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ මුදල් ඇමති පවසයි

[මෙහි පලවන්නේ Sri Lankan finance minister declares austerity will get worse before it gets better මැයෙන් 2022 අප්‍රේල් 26දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සිකුරාදා වොෂින්ටනයේ සිට කොලඹ මාධ්‍ය අමතමින් මුදල් ඇමති අලි සබ්රි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) සමග පැවැත්වෙන සාකච්ඡාවල දී දරුනු කප්පාදු පිලිවෙත් නියම කෙරෙන බව ප්‍රකාශ කලේය. රට මුහුන දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, උදව් කිරීම සඳහා හදිසි නය සහ නය ප්‍රතිව්‍යූහගත කිරීම සමඟ කටයුතු කරන සාකච්ඡා කන්ඩායමට සබ්රි නායකත්වය දෙයි.

(ඡායාරූපය: ෆේස්බුක්)මුදල් ඇමති අලි සබ්රි

සබ්රි මෙසේ පැවසීය: 'එය වේදනාකාරී වසර කිහිපයක් වුවද අයිඑම්එෆ් අවස්ථාව, සියලු වෙනස්කම් නොතකා අපට අත්පත් කර ගත හැකි මොහොතක් බව මම සිතමි.' ආන්ඩුව සහ සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය ජාමූඅ කොන්දේසි පිලිගනු ඇති අතර 'වේදනාව' නොවැලැක්විය හැකි ලෙසම වැඩ කරන ජනතාව සහ ගම්බද කම්කරුවන් මත එනම්, ජනගහනයෙන් අතිමහත් බහුතරය මත පටවනු ඇත.

'මෙම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ආ හැකි බව මට විශ්වාසයි' යනුවෙන් ප්‍රකාශ කරමින් මුදල් ඇමති, මෙම තත්වය හමුවේ සිය හොඳම මුහුන පෙන්වීමට උත්සාහ කලේය. පසුව ඔහු මෙසේ පැවසීය: 'ඇත්ත වශයෙන්ම, හොඳ වීමට පෙර එය වඩාත් නරක අතට හැරෙනු ඇත.' ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, තමන් මුහුන දෙන සමාජ ව්‍යසනය වසර දෙකකින් යහපත් වනු ඇතැයි කම්කරුවන්ට විශ්වාසයක් තිබිය නොහැක.

සබ්රි පැවසුවේ: 'හදිසි මූල්‍යකරනය සඳහා ආන්ඩුව, ලෝක බැංකුවට සහ ආසියානු සංවර්ධන බැංකුවට (ආසබැ) අමතරව ඉන්දියාව, චීනය සහ ජපානය වැනි විවිධ රටවලින් විකල්ප සලකා බලමින් සිටියි.' ලෝක බැංකුව වහාම ඩොලර් මිලියන 300-600 “හිඟ පියවා ගැනීමේ අරමුදල් (bridging finance)” සම්පාදනය කිරීමට නියමිත අතර, ආසබැ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් මිලියන 21ක් ලබා දෙන බව පවසා ඇත.

මූඩීස්, ෆිච් සහ එස් ඇන්ඩ් පී ඇතුලු ශ්‍රේනි ගත කිරීමේ ආයතන රටේ නය ශ්‍රේනිගත කිරීම තියුනු ලෙසින් පහත හෙලීම නිසා ශ්‍රී ලංකාවට වානිජ නය ගැනීමට හැකියාවක් නැත. ශ්‍රී ලංකා රුපියල මාස දෙකකටත් අඩු කාලයකදී එක්සත් ජනපද ඩොලරයට රුපියල් 340 දක්වා සියයට 70 කින් පමන අවප්‍රමානය වී ඇත. රට දැනටමත් තාවකාලික විදේශ නය පැහැර හැරීමක් ප්‍රකාශ කර ඇත.

කෝවිඩ්-19 වසංගතය දෙවසරකට වැඩි කාලයක් තිස්සේ පැවතී ගෙන යමින් තිබීමෙන් සහ දැන් යුක්රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ කුලීකාර යුද්ධය සමඟින් මොස්කෝවට එරෙහි දැඩි ආර්ථික සම්බාධක පැනවීමෙන් උග්‍ර කර ඇති ගෝලීය ආර්ථික පසුබෑමේ තීව්‍ර ප්‍රකාශනයක් ලංකාවේ නරක අතට හැරෙන ආර්ථික අර්බුදයෙන් ප්‍රකාශයට පත්වේ.

සබ්රි මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික හා සමාජ අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි බල කරන මහජන විරෝධතාවලින් දිවයින වසාගෙන ඇති අවස්ථාවකය. ප්‍රධාන විරෝධතා භූමිය වන කොලඹ ගාලුමුවදොර පිටියේ අප්‍රේල් 9 වැනිදා සිට දහස් ගනනක් දෙනා දිවා රාත්‍රී විරෝධතාවයේ නිරතව සිටිති.

නිතරම ලබා ගත නොහැකි හෝ දැරිය හැකි මිලකට ගත නොහැකි මූලික දේවල් මිලදී ගැනීම සඳහා වැඩ කරන ජනතාව දිගු පෝලිම්වල පැය ගනන් රැඳී සිටිය යුතුය. මිල පිම්මේ ඉහල යයි. පිසින ගෑස් සිලින්ඩර් සහ අනෙකුත් එදිනෙදා ද්‍රව්‍යවල මිල බොහෝ දෙනෙකුට අත පෙවිය නොහැකි අයුරින් පසුගිය සතිය තුල දෙගුනයකින් වැඩි විය. අත්‍යවශ්‍ය භාන්ඩ මිලට ගැනීම සඳහා පෝලිම්වල ලැග සිටියවුන්ගෙන් අවම වශයෙන් හය දෙනෙක් මිය ගොස් ඇත.

අප්‍රේල් 18දා රඹුක්කන නගරයේදී ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව විරෝධතා දැක්වූවන්ට පොලිසිය වෙඩි තැබීම පිලිබඳ පුලුල්ව පැතිරුනු කෝපයේ ප්‍රතිඵලයක් ලෙස විරෝධතා තව දුරටත් උත්සන්න වී ඇත. කම්කරුවෙකු වන චමින්ද ලක්ෂාන් මිය ගිය අතර තවත් දුසිම් දෙකක් තුවාල ලැබීය.

ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවක් ඉන් ඉවත් වීමත් සමග ක්ෂනිකව පාර්ලිමේන්තු බහුතරය අහිමි කරගත් රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන අර්බුදය උග්‍රවන විරෝධතා ව්‍යාපාරය හමුවේ ගැඹුරු වී ඇත. පොලිසිය විසින් චමින්ද ලක්ෂාන් ඝාතනය කිරීම, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි විරෝධය තලා දැමීම සඳහා පොලිස් රාජ්‍ය පියවරයන් වෙත යොමු වීමට ආන්ඩුව සූදානම් වන බවට නොවරදින ලකුනකි.

ජාමූඅ ශ්‍රී ලංකා දූත මන්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි රොයිටර් පුවත් සේවයට මෙසේ පැවසීය: “හදිසි වේගවත් මූල්‍ය සම්පාදනය (RFI) ඇතුලුව ඕනෑම ජාමූඅ නය දීමකට පෙර නය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීමට රට පියවර ගත යුතුය.

ඕනෑම අරමුදල් නිකුත් කිරීමක පූර්ව කොන්දේසිය ලෙස ජාමූඅ “නය තිරසාරභාවය” යන්නෙන් අවධාරනය කෙරෙන්නේ, අර්බුදයේ සම්පූර්න බර වැඩකරන ජනතාව මත පටවන අතරවාරයේ රටේ ජාත්‍යන්තර නයහිමියන්ට (ඔවුන්ගෙන් අඩක්ම වානිජ ආයෝජන ආයතනයන්වේ) ගෙවීම සහතික කිරීමයි.

නයහිමියන් සමඟ කතා කිරීම සඳහා ඉදිරි දින 15 තුල මුදල් ඇමති විසින් මූල්‍ය හා නීති විශේෂඥයන් පත් කිරීමට නියමිතය. දකුනු ඇමරිකානු රටවල එවැනි දුෂ්කර කොන්දේසි පැනවීමේ විශේෂඥයෙකු වන ලී බුකේයිට් දැනටමත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස දැනුවත් කර ඇත. උදාහරනයක් ලෙස, 2020 දී බංකොලොත් බව ප්‍රකාශ කල රටක් වන බෙලීස්හි රාජ්‍ය අංශයේ වැටුප් කප්පාදු කරන ලද අතර පුලුල් පරාසයක පදනම් වූ සාමාන්‍ය විකුනුම් බද්දක් පනවන ලදී.

සබ්රි දැනටමත් මුල්‍ය, ආයතනික සහ බදු ප්‍රතිසංස්කරන ගැන ඇඟවුම් කර ඇත. මෙම පියවරවලට ආදායම් බදු නැංවීම සහ එකතු කල අගය මත අයකරන බදු (වැට්) ඇතුලත් ය; ඉන්ධන මිල සහ විදුලි මිල වැඩි කිරීම; වෙලඳපල තීරනය කරන ලද නම්‍යශීලී විනිමය අනුපාතයක් ස්ථාපිත කිරීම; රාජ්‍ය මූල්‍ය හිඟය කපා හැරීම, එනම් සමාජ වියදම් කප්පාදු කිරීම; සහ පුද්ගලීකරනය, සංස්ථාගතකරනය සහ කොන්ත්‍රාත් ක්‍රම හඳුන්වාදීම හරහා රාජ්‍ය අංශය “ප්‍රතිව්‍යූහගතහගත කිරීම” මගින් රැකියා සහ සේවා කොන්දේසි දැඩි ලෙස විනාශ කිරීම කරනු ඇත.

බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ජාලය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සබ්රි පැවසුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 8.6 සිට සියයට 13-14 දක්වා වැඩි කල යුතු බවයි. මෙය කල හැක්කේ ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා වක්‍ර බදු වැඩි කිරීමට අමතරව වැඩ කරන ජනතාව මත පනවා ඇති සෘජු බදු පුලුල් කිරීම සහ වැඩි කිරීමෙන් පමනි.

කම්කරු පන්තිය, තරුනයින් සහ ගම්බද දුගීන් ජාමූඅ විසින් නියම කරන ලද නව දරුනු කප්පාදු පියවරයන් නිෂ්ක්‍රීයව පිලි නොගනු ඇත. මුහුන දී සිටින නොඉවසිය හැකි තත්වයන්ට එරෙහිව දැනටමත් සිය දහස් ගනනක්, නැතිනම් මිලියන ගනනක් ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධය පලකර ඇත.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවිය යුතු බවට එකඟ වන කොලඹ දේශපාලන සංස්ථාපිතය වෙත, එනම් ආන්ඩු පක්ෂ හෝ විරුද්ධ පක්ෂ වෙත කරුනු කාරනා බාරදිය නොහැක.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය දෙවසර පුරා වැඩ වර්ජන රැල්ල කඩාකප්පල් කල වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සෑම වැඩපලකම, වතුකරයකම සහ නිවස්න ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි.

විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ඇතුලු දේශපාලන අරගලයක් ගෙනයාම සඳහා ඉල්ලීම් මාලාවක් කම්කරු පන්තිය වෙනුවෙන් සසප විස්තාරනය කර ඇත. කොලඹ ව්‍යාපාර හා මූල්‍ය ප්‍රභූව විසින් ගන්නා ලද නය ගෙවීමට කම්කරුවන් සහ දුගීන් කුසගින්නේ නොසිටිය යුතුය.

කම්කරු පන්තියේ බලගතු ව්‍යාපාරයක්, ග්‍රාමීය දුප්පතුන් විශාල බහුතරයකගේ සහයෝගය දිනා ගන්නා අතර සුපිරි ධනවත් කිහිප දෙනෙකුගේ ලාභය සඳහා නොව, බහුතරයකගේ දැවෙන අවශ්‍යතා සපුරාලීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමේ පදනම ස්ථාපිත කරනු ඇත.

Loading