සීනෝර් කලමනාකාරිත්වය ඉල්ලීම් ලබා දෙන බවට කම්කරුවන්ට දුන් පොරොන්දුව කඩ කරයි

අප්‍රේල් 19 වැනි දා යාපනයේ ගුරුනගරයේ මාලු දැල් නිෂ්පාදනය කරන රජයට අයත් සීනෝර් (නෝර්ත් සී සමාගම) කර්මාන්තශාලාවේ කම්කරුවෝ දින 11ක් පුරාවට තමන් යෙදී සිටි වැඩ වර්ජන ක්‍රියාමාර්ගය කලමනාකාරීත්වය ඉල්ලීම් ලබා දෙන බවට කල ප්‍රකාශයකින් පසු නතර කලහ.

කෙසේ නමුත්, කම්කරුවෝ කලමනාකාරීත්වය තම පොරොන්දු ඉටු කරන්නේ නැති නම් නැවතත් වැඩවර්ජන ක්‍රියාමාර්ගය අරඹන බවට අනතුරු ඇඟවීමේ ලිපියක් තමන් විසින් කලමනාකාරීත්වයට ලබා දුන් බවට ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට පවසා සිටියහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා වන ආකාරයට කලමනාකාරීත්වය මෙම පොරොන්දු දැනටමත් කඩ කර ඇත. මෙම මාසයේ 25 වැනි දිනට ගෙවීමට නියමිත ව තිබූ වැටුප් ලබන මාසයේ 20 වැනි දාට පසු ව ගෙවනු ඇති බවට කලමනාකාරීත්වය කම්කරුවන්ට දැනුම් දී ඇත.

දැනටමත් කම්කරුවන්ට මාසයක හිඟ වැටුප් ගෙවීමට ඇති බව කම්කරුවෝ පවසති. එතෙක් ජීවන වියදම් කෙසේ හෝ සීරුමාරු කර ගන්නා මෙන් පරිපාලනය ඔවුන්ට දැනුම් දී ඇත. මෙසේ පවසන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දෙගුනයකින් ඉහල ගොස් ඇති පසුබිමක ය. මෙ වර කම්කරුවන්ට අලුත් අවුරුදු දීමනා ද ලැබුනේ නැත. මෙය කම්කරුවන් අතර විසාල කෝපයක් නිර්මානය කර ඇත.

වර්ජනය දියත් කෙරුනේ කම්කරුවන් විසින් ස්වාධීන ව ය. වසර ගනනාවකට පෙර ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) ශාඛාවක් මෙහි පැවතියත් අනුප්‍රාප්තික ආන්ඩුවලත් ෆැක්ටරි කලමනාකාරීත්වයේත් කම්කරුවන්ට එරෙහි අතකොලුවක් ව ක්‍රියා කිරීම නිසා කම්කරුවන් එය අත හැර දමා ඇත.

අප්‍රේල් 8 වැනි දා 70ක් වන සියලු ම කම්කරුවෝ අඛන්ඩ වැඩ වර්ජනයකට එලඹුනේ හිඟ නොමැති ව තම වැටුප් නියමිත දිනට ගෙවිය යුතු බවටත්, නිෂ්පාදනය පවත්වා ගෙන යාමට ප්‍රමානවත් අමුද්‍රව්‍ය සැපයුම් පැවතිය යුතු බවටත් තම වැටුප්වලින් අඩු කර ගන්නා ඊපීඑෆ්, ඊටීඑෆ් දායක මුදල් තම ගිනුම්වලට බැර විය යුතු බවටත් යන ඉල්ලීම් ඉදිරිපත් කරමිනි.

සති දෙකක් තුල කැබිනට්ටුවට ඉදිරිපත් කර කම්කරුවන්ගේ සියලු ගැටලු විසඳන බවට ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද ලබා දුන් පොරොන්දු කඩ කිරීමෙන් පසු අප්‍රේල් 8 වැනි දා කම්කරුවෝ වර්ජන ක්‍රියා මාර්ගයට අවතීර්න වූහ. ඇමති මෙම පොරොන්දුව දුන්නේ පසුගිය 11 වැනි දා කම්කරුවෝ පාගමනින් පැමින තම ගැටලු සඳහන් කරමින් පෙත්සමක් ඔහුට භාර දුන් පසු ව ය.

සීඑම්යූව වර්ජනය ගැන ගොලුවත රකින්නේ එයට තම සාමාජිකයන්ගේ සහය ගොනු කරමින් සීනෝර් කම්කරුවන් රැකීම ප්‍රතික්ෂේප කරමිනි. පසුගිය දශක කීපයේ දී ද සීඑම්යූව ආන්ඩුවේ සහ ෆැක්ටරි කලමනාකාරීත්වයේ දෑත් සවිමත් කරමින් සිදු කලේ එම කටයුත්තයි. ඒ හරහා සේවයේ නිරත කම්කරුවන් ගනන අඩු කර කම්කරුවන්ගේ අයිතීන්ට රුදුරු ප්‍රහාරයක් එල්ල කෙරී ඇත.

කලමනාකාරීත්වය ලබා දුන් පොරොන්දුව වර්ජනය බිඳීමේ අරමුනින් ලබා දුන් එකකි. කම්කරුවන්ගේ පොරොන්දු ඉටු කරන බවට පොරොන්දු දෙන අතරේ ම කලමනාකාරීත්වය පවසන්නේ කර්මාන්තශාලාව පාඩු පිට දුවන නිසා වැඩි වැටුප් ලබා දිය නොහැකි බවයි.

කම්කරුවන්ගේ වර්ජනය ගැන හෝ ඔවුන්ගේ දුෂ්කර ජීවන් කොන්දේසි ගැන දෙමල ජාතික සන්ධානය සහ සෙසු දෙමල ජාතිකවාදී පක්ෂ කටක් අරින්නේ නැත. දෙජාසය ද ඇතුලු මේ දෙමල පක්ෂ කම්කරු පන්තියේ සතුරෝ ය.

ලුනුවිල සහ වීරවිල ද සීනෝර් සතු ව තවත් දැල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා දෙකක් ඇත. පෙබරවාරි 3, ලංකා නිවුස් වෙබ් වාර්තා කරන ආකාරයට ලුනුවිල කර්මාන්තශාලාව වසා දැමීමට නියමිත අතර කම්කරුවන් සිය දෙනෙකුගේ රැකියා විනාශ වී යනු ඇත.

ගුරුනගර් කර්මාන්තශාලාව ද 1991 දී වසා දැමීමටත් 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව ජාමූඅ නියෝග ක්‍රියාවට දැමීමක් වශයෙන් පෞද්ගලීකරනයටත් නියමිත විය. කර්මාන්තශාලාව ආරක්ෂා කර ගත්තේ සමාජවාදී සමානතා පක්ෂයේත් එහි පුරෝගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේත් දේශපාලන නායකත්වයෙන් ආන්ඩුවටත් ආන්ඩුවේ තීරනවලට කම්කරුවන් යට කර දැමීමට කටයුතු කල ද්‍රෝහී සීඑම්යූ වෘත්තීය සමිතියටත් එරෙහි ව කම්කරුවන් ගෙන ගිය අධිෂ්ඨානවත් අරගලයකිනි.

පසුකාලීන ව, ෆැක්ටරියේ සීඑම්යූ ශාඛාවට විකොස/සසප නායකත්වය අහිමි වී යාමත් සමග ෆැක්ටරියේ එම ශාඛාව පරිපාලනයේ මෙවලමක් බවට පත් විය.

අප්‍රේල් 18 වැනි දා වර්ජනයට බලගතු මැදිහත් වීමක් කරමින් සසප පෙන්වා දුන්නේ වර්ජනය පෙරට ගෙන යාමටත් ඔවුන්ගේ අරගලයට කම්කරු පන්තියේ සෙසු කොටස්වල සහය ගොනු කර ගැනීමටත් ඒ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවත් ය.

දැන් රට තුල දිග හැරෙමින් පවතින සමාජ ව්‍යසනයට එරෙහි ව සටන් වැදීමට අන්තර්සම්බන්ධිත ක්‍රියාකාරී කමිටුවල ජාලයක් ගොඩනැගීමට කම්කරු පන්තියට කැඳවුම් කරමින් සසප අප්‍රේල් 7 වැනි දා නිකුත් කල ප්‍රකාශය, වැඩ වර්ජිත කම්කරුවන් අතරේ සසප සාමාජිකයෝ බෙදා දුන්හ. සියලු ම කම්කරුවෝ පාහේ රැස් වී සසප සාමාජිකයන්ට ඇහුම්කන් දුන්හ.

සීනෝර් කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාව පැමිනියේ අප්‍රේල් මුල දී උසුලා ගත නොහැකි ජීවන වියදම්වලටත් ඉන්ධන, පිසින ගෑස්, කිරිපිටි සහ ඖෂධ හිඟයන්ට විරෝධය පාමින් පැන නැගි මහජන ව්‍යාපාරයට සමගාමී ව ය.

කොවිඩ්-19 වසංගතයෙන් සහ එජ සහ නැටෝව යුක්රේනය පෙරට දමා ගෙන රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධයෙන් තවත් ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර රුදුරු ජීවන සහ සමාජ කොන්දේසි ආකාරයෙන් කම්කරු පීඩිත මහජනතාව මත්තට දැමීමට රාජපක්ෂ ආන්ඩුවත් හාම්පුතුනුත් කටයුතු කරති.

රාජපක්ෂ ආන්ඩුව ජාමූ අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල නිර්දය ලෙස ක්‍රියාවට දැමීමට සූදානම් ය. ඒ අනුව පෞද්ගලීකරනයත් ප්‍රතිව්‍යූහකරනයත් එහි කොටසක් වශයෙන් රැකියා කප්පාදුවත්, බදු ඉහල දැමීමත්, රාජ්‍ය අංශයේ සේවක ප්‍රමානය කප්පාදුවත් සමාජ සහන කප්පාදුවත් වේගවත් කරනු ඇත.

තම ප්‍රශ්නවලට ස්තිරසාර විසඳුමක් උදෙසා සටන් වැදීමට තමන් අධිෂ්ඨානවත් යැයි කම්කරුවෝ සසප උද්ඝෝෂකයන්ට පවසා සිටියහ. “ලුනුවිල ෆැක්ටරියේ අපේ සහෝදර කම්කරුවන් සමග ඒකාබද්ධ අරගලයක් කරන්නත් සිංහල කතා කරන කම්කරුවන් සමග ඒකාබද්ධ ව වැඩ කොන්දේසි, රැකියා සමාජ අයිතීන් රැක ගන්න සටන් කරන්නත් අපි සූදානම්. අපිට අඩු තරමේ අනික් සීනෝර් කර්මාන්තශාලාවල කම්කරුවන් ගැන තොරතුරු දැන ගන්න විදියක් නෑ. ඒකාබද්ධ අරගලයක් තමයි එක ම විසඳුම” යැයි කම්කරුවෙක් පැවසී ය.

නෝර්ත් සී සමාගමේ (සීනෝර්) කම්කරුවන් සසප ප්‍රකාශය කියවමින්. [ලෝසවෙඅ මාධ්‍ය]

එසේ ම කම්කරුවෝ තම දුෂ්කර කොන්දේසි සහ ඉහල යන ජීවන වියදම පාලනය කර ගැනීමට අප්‍රමානවත් වැටුප් ගැන ද කතා කලහ. කම්කරුවෙකුට දීමනා ද සමග මසකට ලැබෙන්නේ රුපියල් 28 000ක් 35 000ක් අතර මුදලකි.

“නිෂ්පාදන කම්කරුවෙක් හැටියට මම වසර 10ක් වැඩ කරනවා. නමුත් තව ම කිසි ම උසස්වීමක් නෑ. මෙතැන තියෙන්නේ කම්කරුවන්ට එරෙහි දරදඬු පාලනයක්. වෙලාවට පඩි නෑ. ඊපීඑෆ් ඊටීඑෆ් කැපුවට අපිට දෙන්නෙ නෑ” යැයි කම්කරුවෙක් පැවසී ය.

“සමාගම සැලසුම් කරන වැඩ මුර අනුවයි අපි වැඩ කරන්නේ. මෙහේ වැඩමුරය කරලා අමතර රැකියාවන් කරන්න වෙලා තියෙනවා පවුල් පෝෂනය කරන්න. පේදුරු තුඩුව, කන්කසන්තුරේ, කරෙයිනගර් වගේ බොහෝ දුර ප්‍රදේශවලින් කම්කරුවන් වැඩට පැමිනෙනවා. පෙට්‍රල් මිල ඉහල යාමත් එක්ක ඔවුන් විසාල දුෂ්කරතාවයකට මුහුන දී සිටිනවා. අපිට ප්‍රවාහන දීමනාවක්වත් නෑ.” යැයි ඔහු වැඩිදුර පැවසී ය.

“මේ ඉල්ලීම් ඉදිරිපත් කලා ම ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඉල්ලා සිටිය ම කම්කරුවන්ගෙන් දේශපාලනික ව පලිගන්න එකයි සිදු කරන්නේ. මේ විදියට කම්කරුවන් බිය ගන්වා ගෙන සිටින තත්වයක් මෙතැන තියෙන්නේ”

වර්ජනයට සහභාගී වූ සිවුදරු මවක වන කම්කරුවෙක් මෙසේ ප්‍රකාශ කලා ය: “හැම දෙයක ම මිල ඉහල යද්දී අපි ජීවත් වෙන්නේ අපේ වැටුපෙන්. මේ තත්ත්වයක දී දැන් මාස දෙකක වැටුප් හිඟ වෙලා තියෙනවා. මේ ඉහල යන ජීවන වියදම් එක්ක රුපියල් 36 000ක මාසික වැටුපක් අරන් ජීවත් වෙන්න බැරි නිසා අයිතීන් දිනා ගැනීමට සටන් කිරීම හැර වෙන විකල්පයක් නෑ.”

“පරිපාලනයට අපේ අමාරු ගැන වගක් නෑ. අපිට හරියට අමුද්‍රව්‍ය ලැබෙන්නේ නෑ. යන්ත්‍ර 6ක් තිබුනත් වැඩ කරන්නේ එකක් පමනයි. ෆැක්ටරිය වලපල්ලට යනවා. අපි වර්ජනය කරන්නේ මේක නවත්ව ගන්න. අපි බොහෝ දෙනෙකුට බැංකු නය තියෙනවා. දැන් ඒවා ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. පොලී අනුපාතත් වැඩි කරලා.” තවත් කම්කරුවෙක් පැවසී ය.

තම රැකියා විනාස වී යාම ගැන බියෙන් කම්කරුවෝ නිෂ්පාදනය පවත්වා ගෙන යාමට අමුද්‍රව්‍ය සැපයුම් අඛන්ඩ ව පවත්වා ගත යුතු බවට ඉල්ලා සිටිති. නමුත් මෙය ධනේශ්වර ක්‍රමයේ යටතේ යථාර්ථයක් නොවේ. පරිපාලනය උත්සහ දරන්නේ නිෂ්පාදනය අත හැර දැමීම මගින් ගුරුනගර් කර්මාන්තශාලාව ද ඇතුලු ව සෙසු කොටස් ද පෞද්ගලීකරනයට ක්‍රමානුකූල ව පියවර ගැනීමයි.

ජාමූ අරමුදලේ ඊනියා ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව රාජ්‍ය අංශයේ ව්‍යවසායන් සියල්ල පෞද්ගලීකරනයට, වානිජකරනයට හෝ ඈවර කර දෑමීමට සූදානම් වෙයි. සීනෝර් මෙහි මුලට ම සිටිනු ඇත. දැනටමත් පෙන්නුම් කර ඇති ආකාරයට සියලු ම වෘත්තීය සමිති මෙම ප්‍රහාරයන්ට එරෙහි කම්කරුවන්ගේ අරගල අහුරා ගෙන සිටී.

මේ නිසයි, සසප ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් නිෂ්පාදනය කම්කරුවන්ගේ ම අතට අර ගැනීමට සටන් කල යුතු යැයි කියා සිටින්නේ. මේ අරගලය සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන පුලුල් අරලයක කොටසක් වනු ඇත.

වැඩිදුර කියවන්න

Loading