අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල තියුනු මිල ඉහලයාම් සහ හිඟයන් කම්කරුවන්ට හා දුගීන්ට රුදුරු ලෙස පහර දෙයි

[මෙය Sharp price rises in essentials and shortages drastically hitting Sri Lankan workers and the poor මැයෙන් 2022 මැයි 6 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

බරපතල හිඟයන් මධ්‍යයේ ආහාර, ඉන්ධන, කෑම පිසින ගෑස්, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දරාගත නො හැකි මට්ටම්වලට යවමින්, ලංකාව තුල උද්ධමනය අඛන්ඩ ව ඉහල යයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වෙන ආන්ඩු-විරෝධී පෙලපාලි අවුලුවාලමින්, මෙම තත්ත්වය මිලියන ගනන් කම්කරුවන්, තරුනයන්, කුඩා ගොවීන් හා දුගීන්ට දැවැන්තව බලපාමින් තිබේ.

කොලඹ පාරිභෝගික මිල දර්ශක වසරින්-වසර උද්ධමනය. 2021 ජනවාරි සිට 2022 අප්‍රේල් දක්වා උද්ධමන අනුපාතය මෙම ප්‍රස්ථාරය තුල පෙන්නුම් කරයි. (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන විද්‍යා අංශය මෙය 2022 අප්‍රේල් 29දා නිකුත් කලේ ය.)

රටෙහි වාර්ෂික උද්ධමන අනුපාතය මාර්තුවේ සියයට 18.7ක් ව තිබී, අප්‍රේල් මාසයේ දී ආසන්න වසයෙන් සියයට 30 දක්වා නැගුනු අතර, මාර්තුවේ සියයට 30.2ක් වූ ආහාර උද්ධමනයට සංසන්දනාත්මක ව අප්‍රේල් හි ආහාර උද්ධමනය සියයට 46.6ක් විය. හාල් හා එලවලු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන් ම ඉන්ධන හා පිසීමට ගන්නා ගෑස් මිල ගනන් යෝධ ලෙස වැඩි වී ඇත.

උදාහරනයක් ලෙස, පසුගිය වසරේ ජනවාරියේ දී රුපියල් 95-120 අතර වූ හාල් කිලෝවක මිල, ගිය මාසයේ දී රුපියල් 200-240 දක්වා ඉහල නැග ඇත. ඔක්තෝබර් හා අප්‍රේල් අතර කාලයේ, පරිප්පු මිල රුපියල් 168 සිට 500 දක්වාත්, තිරිඟු පිටි මිල රුපියල් 65-70 සිට රුපියල් 200 දක්වාත් ඉහලගොස් තිබේ.

ජනවාරියේ දී රුපියල් 60ක් වූ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ජනවාරි හා මාර්තු අතර රුපියල් 140 දක්වාත්, කුකුල් මස් කිලෝවක මිල එම කාලය තුල ම රුපියල් 750 සිට 1,100 දක්වාත් වැඩි වුනි. කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක මිල, ජනවාරි සිට අප්‍රේල් තෙක්, රුපියල් 1,345 සිට 1,945 දක්වා ඉහල ගොස් ඇත. මාර්තුවේ දී සියයට 29කින් ඉහල ගිය ඖෂධවල පිරිවැය අප්‍රේල් මාසයේ දී යලිත් සියයට 40කින් වැඩි විය. අත්‍යවශ්‍ය ඖෂධවල දරුනු හිඟයක් පවතී.

අප්‍රේල් මාසයේ දී, සීමාසහිත ලිට්‍රො ගෑස් ලංකා පුද්ගලික සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,675 සිට 4,860 දක්වා ඉහල දමන බව හදිසියේ නිවේදනය කරද්දී, රජයට අයත් සමාගමක් එය රුපියල් 4,199 දක්වා ඉහල දැමුවේ ය.

2022 මැයි 5දා මහබාගේ දී ගෑස් අපේක්ෂාවෙන් සිටින මහජනයා. මින් සමහරක් දෙනා රාත්‍රී පහන් වන තුරු පෝලිමේ සිට තිබුනි. (ඡායාරූපය: ලෝසවෙඅ)

මෙම මිල වැඩිකිරීම්, ගෑස් අතහැර විකල්පයක් ලෙස දරවලට මාරුවීමට බොහෝ ජනයාට බලකර ඇත. අනෙකුත් අය භූමිතෙල් උදුන්වලට මාරු වී ඇතත්, භූමිතෙල් ඉන්ධන හිඟය හේතුවෙන් එය ද දුෂ්කර වේ.

පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල ගනන් ද දැවැන්තව වැඩිකර ඇත්තේ, බස් ගමන් ගාස්තු ඉහල යාමට තුඩු‌දෙමින් හා සාමාන්‍ය මහජනයාගේ ගමන් ගාස්තු මත දැඩි ලෙස බලපාමිනි.

තමන් දැන් මුහුන දෙන දරිද්‍රතාව ගැන ලෝසවෙඅ වාර්තාකරුවන්ට අදහස් දැක්වූ කර්මාන්ත ගනනාවක කම්කරුවෝ, ජනාධිපති රාජපක්ෂ‌ට හා ඔහුගේ මහ ව්‍යාපාරික ආන්ඩුවට එරෙහිව සිය කෝපය පලකල හ.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් කම්හලේ ඇඟලුම් කම්කරුවෙක්, දිවයින පුරා මිලියන ගනන් ජනයා මුහුන දෙමින් සිටින අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව දැඩි ලෙස හෙලාදුටුවේ ය. “මහජනයා මංමුලාවට හා අනාරක්ෂිත තත්ත්වයට පත් ව අවශ්‍යතා ඉටු කරගත නො හැකි ව සිටිනවා” යි ඔහු කීවේ ය.

“කලින් මට මාසෙකට රුපියල් 50,000ක් විතර වැය වුනා, ඒත් දැන් මට අඩු තරමින් රුපියල් 70,000-80,000ක් විතර අවශ්‍ය යි. පෙට්‍රල් ලීටරයක මිල කොච්චර ද කියලා බලන්න. පොහොසත්තු සන්තෝෂයෙන් ඉඳිද්දි මේ මහජනයා දුක් විඳිනවා. ආන්ඩුව ගෙදර යා යුතුයි” යි ඔහු කීවේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ට ම ඉල්ලා අස්වීමට බලකල යුතු යයි කියමිනි.

“ජනවාරියේ දී අපිට රුපියල් 2,750ක සොච්චම් වැඩිකිරීමක් ලැබුනා, ඒත් තවමත් මාසික අතිකාල ප්‍රමානය පැය 60 රැඳී තිබෙනවා. ගිය මාසෙ මගේ පඩිය රුපියල් 40,000යි. ලමයෙක් හම්බ වෙලා මගේ බිරිඳත් ඉන්නෙ ගෙදර, එයාට මාස තුනක ප්‍රසූත නිවාඩු හම්බ වෙලා. ඇයට ලැබෙන්නේ රුපියල් 25,000ක විතර මූලික වැටුප විතරයි” යි ඔහු සඳහන් කලේ ය.

ඔහුගේ කම්හල ආවරනය කරන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සහ අනෙකුත් සියලු වෘත්තීය සමිති, කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් “මුලුමනින් ම නිශ්ශබ්ද” බව ඔහු කීවේ ය.

යාපනයේ කරෙයිනගර්හි කුඩා පරිමාන ධීවරයෙක් වන නිශාන්තන් කීවේ, ධීවර ආම්පන්නවල මිල ගනන් දැරිය නො හැකි නිසා, තමන්ගේ රැකියාව අතහැර මේසන් බාස් කෙනෙකු ලෙස වැඩකිරීමට බලකෙරී ඇති බවයි.

“මගේ පවුලේ සාමාජිකයො හයක් ඉන්නවා, ඒ නිසා හැමදේක ම මිල අහස උසට නගිද්දි ජීවත් වීම හරි ම අමාරුයි. පවුලෙ වියදම්වලට විතරක් මම දවසකට රුපියල් 3,500ක් හම්බ කරන්න ඕන. ඒත් සිමෙන්ති මිල ඉහල යාම නිසා ඒකත් හරි අමාරුයි” යි ඔහු විස්තර කලේ ය.

“අද හාල් කිලෝවක් රුපියල් 290ක් වෙනවා, ඒත් හෙට ඒක කොච්චර මිල වෙයි ද කියල මට කියන්න බැහැ. ආහාර හිඟය මගේ පවුලට සෑහෙන්න බලපානවා. ඒක වේලක පාන්වලට විතරක් අපි රුපියල් 400ක් වියදම් කරන්න ඕන. මට පීඩියා-ප්‍රෝ කිරිපිටි අවශ්‍ය කරන නිවුන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒවා එක පැකට් එකක් සතියකට වත් ඒ දෙන්නට ප්‍රමානවත් නැහැ.

“මගේ බිරිඳ සෞඛ්‍ය සහායිකාවක් ලෙස යාපනයේ ඉස්පිරිතාලෙ වැඩ කරනවා, දිනපතා ඇය මෝටර් සයිකලයෙන් කිලෝමීටර 60ක දුරක් යා යුතුයි. ඒකට ඉන්ධනවලට දවසකට රුපියල් 700ට වැඩියෙන් යනවා. ඇගේ මූලික වැටුප රුපියල් 24,000ක් විතරයි, ඒක ප්‍රමානවත් නැති හින්ද ඇය වැඩි පුර අතිකාල වැඩ කරන්න ඕන” යි ඔහු කීවේ ය.

කෝවිඩ්-19 වසංගතය හා යුක්‍රේනයේ යුද්ධය අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දමා ඇති බව, කොලඹ වරායේ අලුත්වැඩියා අංශයේ කම්කරුවෙක් වන සාලිත වික්‍රමබාහු කීවේ ය.

“ආන්ඩුව මේ බර මහජනතාව මත පටවා තිබෙන අතර, ධනපතියො ඔවුන්ගේ ලාභ වැඩි කරගන්න මේක යොදාගෙන තිබෙනවා” යි ඔහු සඳහන් කලේ ය.

වෘත්තීය සමිති “සෑම අරගලයක් ම පාවා දී තිබුනත්, ජීවන වියදම උහුල ගන්න බැරි හින්ද කම්කරුවන්ට සටන් කරන්න බලකෙරිලා තියෙනවා. සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු විරුද්ධ පක්ෂ, ධනවාදයේ අර්බුදය වහංගු කරල කම්කරුවන් අවමංගත කරන්න උත්සාහ කරමින් සිටිනවා” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.

මහනුවර විදුලිබල මන්ඩලයේ කම්කරුවෙක් වන හෂාන් මෙසේ කීවේ ය: “මට මාසෙට රුපියල් 60,000ක් විතර හම්බ වුනත්, දැන් වෙනකොට ඒකෙන් මාසික වියදම් පිරිමහ ගන්න බැහැ. මම මගේ තාත්තට, අම්මට, මල්ලිට උදවු කරන්න ඕන. මම මාසෙකට රුපියල් 25,000ක් යැවුවත් ඒක ප්‍රමානවත් නැහැ.

“මගේ තාත්ත පෑස්සුම් ශිල්පියෙක් වුනත් යකඩ මිල ගනන් ඉහල ගිහිල්ල තියෙන හින්ද ඒ රස්සාව කරන්න බැහැ. මේ රාජපක්ෂ ආන්ඩුව යටතෙ මහජනතාව ඉතා ම නරක තත්ත්වයකට මුහුන දුන්නත්, ඒක සමස්ත ධනපති පන්තිය ම පලවා හැරීම මිසක් හුදෙක් ගෝඨාභය සම්බන්ධ කාරනයක් නෙවෙයි” යි ඔහු කීවේ ය.

අප්කොට්හි ග්ලෙනුයිජ් වත්තේ 39 හැවිරිදි කම්කරු කාන්තාවක් වන වයි. මේරි ඇයට ලමුන් හතර දෙනෙකුත්, සමස්ත පවුලේ සාමාජිකයන් හත් දෙනෙකුත් සිටින බව කීවා ය.

“දැන් තිරිඟු පිටි මිල රුපියල් 250යි, ඒත් අපේ පවුලට දවසකට පිටි කිලෝ එකයි හාල් කිලෝ එකයි ඕන. ඒ කියන්නෙ ඒ දෙක ම ගන්න අපිට රුපියල් 500ක් ඕන. අපිට දවසකට රුපියල් 1,000ක් දෙනව කියල කලමනාකරනය කිවුවත්, අපේ දවසෙ ටාගට් එක දෙන්න බැරි වුනොත් දලු කිලෝ එකකට අපිට ගෙවන්නෙ රුපියල් 40ක් විතරයි.

“අපි දවසකට දලු කිලෝ 16ත් 18ත් අතර කඩනවා. ඒ කියන්නේ අපේ දවසෙ පඩිය රුපියල් 640ත් 760ත් අතර ගනනක්. දවස ගානෙ ආහාර මිල ඉහල යාම නිසා මේ මුදල ප්‍රමානවත් නැහැ. මේ පඩියෙන් අපේ දරුවන් රැක බලා ගැනීම හරි ම අසීරුයි. ලමයි දෙන්නෙක් පාසල් යන නිසා ඒ දෙන්නට දවසට බස් ගාස්තු රුපියල් 80ක් ඕන. අපි කොහොමද මේ තත්ත්වයෙන් ජීවත් වෙන්නෙ? අපේ දරුවන්ට කන්න දෙන්න මගේ මහත්තයයි මමයි කෑම වේල් ගාන අඩු කරල තියෙනවා.

“අපිට වෘත්තීය සමිති දෙකක සාමාජිකත්වය තිබුන, ඒත් ඒවත් ආන්ඩුව වගේ ම ප්‍රයෝජනයක් නැහැ. ඔබ කියනව වගේ වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී ඉන්න පුද්ගලයන් අපට අවශ්‍ය යි” යි ඇය කීවා ය.

එම වත්තේ ම පී. සුන්දරරාජි මෙසේ අදහස් දැක්වී ය: “සීඩබ්ලිව්සී එක (ලංකා කම්කරු කොංග්‍රසය) හා ආන්ඩුව කිවුව, කිලෝවකට රුපියල් 80 ගානෙ අපිට තිරිඟු පිටි කිලෝ 15ක් දෙනව කියල. ඒ සහනාධාරය අපිට ලැබුනෙ නැහැ, කිලෝවක් රුපියල් 250 ගානෙ මිලට ගන්නව. අපිට ඒක ඔරොත්තු දෙන්නෙ නැහැ.

“විරුද්ධ පක්ෂ බලේට ආව හරි, ‘අන්තර්වාර ආන්ඩුවක්’ හැදුව හරි, ඔවුන් කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් වර්ධනය කරන්නෙ නැහැ. ඒක කවදාවත් වෙන්නේ නැහැ” යි ඔහු සඳහන් කලේ ය.

Loading