ඉදිරිදර්ශන

සැජිටේරියස් ඒ* ප්‍රතිබිම්බනය කිරීම: යෝධ විද්‍යාත්මක ජයග්‍රහනයක්

[මෙය The imaging of Sagittarius A*: A monumental scientific achievement මැයෙන් 2022 මැයි 14 පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප් (සිද්ධි පරිමන්ඩල දුරේක්ෂය) (ඊඑච්ටී) සහයෝගීතාව, අපගේ ක්ෂීර පථ මන්දාකිනියේ කේන්ද්‍රයේ පිහිටි සැජිටේරියස් ඒ* (එස්ජීආර්*) නමැති අතිවිශාල කලු කුහරයේ ඡායාරූපයක් බ්‍රහස්පතින්දා නිකුත් කලේ ය. තාරකා විද්‍යාත්මක වස්තුවලින් වඩාත් ම දුරවබෝධ එකක් ඍජු ලෙස හසු කරගැනීමක් වන මෙය, සියවසකට අධික කාලයක් තිස්සේ ගෙන ගිය, න්‍යායික හා පරීක්ෂනාත්මක තාරකා විද්‍යාත්මක අධ්‍යයනයන් කූටප්‍රාප්ත වීමකි. මෙම ප්‍රතිඵල, මානව ශ්‍රමය ජාත්‍යන්තර හා විද්‍යාත්මක පදනමක් මත සම්බන්ධීකරනය කල විට, එ මගින් ජනිත කරන හැකියාවන් බලගතු ලෙස ප්‍රකට කරයි.

සියලු මහාද්වීපවල රටවල් හා කලාප 20ක ආයතන 60කට අයත්, 300ට අධික තාරකා විද්‍යාඥයෝ සහ ඉංජිනේරුවෝ හා සහායක කාර්ය මන්ඩලයේ සිය ගනනක්, නිරීක්ෂන කර, දත්ත ක්‍රමගත කරමින් එවන් යෝධ කාර්යයක් සඳහා අවශ්‍ය තාක්ෂනික යටිතල පහසුකම් නඩත්තු කල හ. 2017 දී සැජිටේරියස් ඒ*හි නිරීක්ෂනයන් කල පසු, ලෝකයේ වඩාත් ම බලගතු සුපිරි පරිගනක කිහිපයක් මත ක්‍රමගත කිරීමට හා විශ්ලේෂනය කිරීමට, ටෙරාබයිට් දහස් ගනනක දත්ත එම්අයිටී (මැසචුසෙට්ස් තාක්ෂන ආයතනයේ-පරි.) ස්ටැක් නිරීක්ෂනාගාරය හා මැක්ස් ප්ලාන්ක් අධ්‍යයන ආයතනය වෙත ගෙන එනු ලැබී ය. ප්‍රතිඵල විලක්ෂනය කිරීමට හා අවබෝධ කරගැනීමට වසර පහක ශ්‍රමය අවශ්‍ය කෙරුනි.

ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප් (සිද්ධි පරිමන්ඩල දුරේක්ෂය) විසින් නිෂ්පන්න කරන ලද මන්දාකිනිය මධ්‍යයේ පිහිටි අතිවිශාල කලු කුහරයෙහි නිරූපනය පූරනය කොට විස්තාරනය කිරීම සඳහා, ක්ෂීර පථ මන්දාකිනි මධ්‍යයේ නාසා ආයතනයට අයත් චන්ද්‍රා හා හබ්ල් අභ්‍යාවකාශ දුරේක්ෂවලින් පිලිවෙලින් ලබාගත් මෙම එක්ස්-කිරන හා පාරජම්බුල ඡායාරූප යොදාගන්නා ලදී. ස්තුතිය: නාසා/සීඑක්ස්සී/එස්ඒඕ, නාසා/එච්එස්ටී/එස්ටීඑස්සීඅයි, සිද්ධි පරිමන්ඩල දුරේක්ෂ ඒකාබද්ධතාව

පෘථිවියේ සිට ආකාශයේ නිරීක්ෂනය කල හැකි විශාලත ම කලු කුහර දෙක වන, සැජිටේරියස් ඒ* හා මෙසියර් 87 මන්දාකිනිය කේන්ද්‍රයේ පවතින කලු කුහරය නිරීක්ෂනය කිරීමේ ප්‍රාථමික ඉලක්කය සහිත ව,දශක දෙකක සැලසුම්කරනයක නිෂ්පාදිතය ලෙස 2009 දී මෙම සහයෝගීතාව දියත් කරනු ලැබුනි. එසේ කිරීම සඳහා, ලොව පුරා විවිධ තැන්වල ස්ථානගත කරන ලද රේඩියෝ දුරේක්ෂ සංයෝජනය කිරීමට සහයෝගීතාව ක්‍රියා කල අතර, මින් පෙර කිසිදාක ඍජු ව දැකගෙන නැති තාරකා විද්‍යාත්මක වස්තූන් දැකගැනීම පිනිස ඒවායේ නිරීක්ෂන හැකියාවන් ඒ අනුව ඒකාබද්ධ කරනු ලැබුනි.

අවසන් ඡායාරූපය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන දත්ත හසු කරගැනීමට යොදාගත් දුරේක්ෂවලට, ඇටකාමා විශාල මිලිමීටර පටිපාටිය හා චිලී රටේ ඇටකාමා පාත්ෆයින්ඩර් පර්යේෂකය, ඇරිසෝනාහි හයින්‍රික් හර්ට්ස් උපමිලිමීටර දුරේක්ෂය, ස්පාඤ්ඤයේ අයිආර්ඒඑම් මීටර 30 දුරේක්ෂය, හවායිහි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් දුරේක්ෂය හා උපමිලිමීටර රේඩියෝ තරංග ග්‍රාහක පද්ධතිය, මෙක්සිකෝවේ විශාල මිලිමීටර දුරේක්ෂය සහ ඇන්ටාක්ටිකාවේ දක්ෂින ධ්‍රැව දුරේක්ෂය ඇතුලත් විය.

මෙහි දී නිපදවන ලද ඡායාරූපය, ආගමික බුද්ධිරෝධවාදයේ ගූඪවාදය වේවා, පශ්චාත් නූතනවාදය හා සියලු “ආඛ්‍යාන” සමාන ලෙස වලංගු ය යන එහි අවධාරනය වේවා, සකලාකාරයේ අතාර්කික චින්තන රූපාකාරයන්ට එල්ල කල බලගතු ප්‍රහාරයකි. සත්‍ය වසයෙන් ම, භෞතික හා දැනගත හැකි නීති මගින් පාලනය කරනු ලබන වෛෂයික, ද්‍රව්‍යමය යතාර්ථයක් තිබේ.

ඉදිරියේ එලඹෙන මාස හා අවුරුදුවල දී, වැඩි දුර හා වඩා පරිපූර්න ප්‍රතිඵල පැමිනෙනු ඇතැයි අපේක්ෂිත ය. මාර්තු මාසයේ දී ඊඑච්ටී එහි නවතම නිරීක්ෂන මෙහෙයුම සම්පූර්න කල අතර, වඩා හොඳ ප්‍රතිබිම්බයකට පවා ඉඩ ලබා දෙනු ඇති නව දුරේක්ෂ තුනක් එම මෙහෙයුමට ඇතුලත් විය. දැන් එම දත්ත රැස් කරනු ලැබ, ඒකාබද්ධතාවේ ප්‍රධාන නිරීක්ෂිත දෙක වෙතට නිකුත් කරනු ලැබ ඇති අතර, ගෑස් හා දූවිලි විශාල ප්‍රමානයෙන් කලු කුහර තුලට ඇතුල් වෙද්දී, විශේෂයෙන් ම, අතිවිශාල කලු කුහර විසින් නිෂ්පන්න කරනු ලබන මන්දාකිනිමය පරිමානයේ ප්‍රබල ශක්තිමය විදාරනයන් වැනි විශ්වයේ වඩා ගුප්ත ඉසවු පවා එමගින් ගවේෂනය කරනු ඇත.

ඕනෑ ම විද්‍යාත්මක සොයාගැනීමක දී මෙන් ම, ඊඑච්ටී පටිපාටිය මත්, න්‍යායික තාරකා භෞතික විද්‍යාවේ හා උසස් ඉංජිනේරු විද්‍යාවේ ශතවර්ෂයකට අධික පුරෝගාමී වැඩකටයුතුවල නිෂ්පාදිතයකි. කලු කුහර පිලිබඳ නවීන අවබෝධය පදනම් වන, අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදී න්‍යායය වර්ධනය කරන ලද්දේ 1915 දී ය. මන්දාකිනි කේන්ද්‍රයේ පවතින රේඩියෝ තරංගවල ආරම්භක හසු කරගැනීම 1930 ගනන්වල දී සිදු වෙද්දී, කලු කුහරයක් තුලට සර්පිලාකාර ව ඇදී යන පදාර්ථය හසු කරගැනීමට අවශ්‍ය තාරකා විද්‍යාත්මක තාක්ෂනයන් 1960 ගනන්වල දී වර්ධනය කරනු ලැබී ය. සැජිටේරියස් ඒ* කලු කුහරයක් විය යුතු යයි පලමු වරට උපන්‍යාස කරන ලද්දේ 1980 ගනන් තරම් මෑත දී වන අතර, 1990 ගනන් හා 2000 ගනන්වල නිරීක්ෂන අනෙකුත් විය හැකි භව්‍යතාවන්ගේ අතිමහත් බහුතරයක් බැහැර කරනු ලැබුනි.

ඒ අතර ම, එවන් ප්‍රතිබිම්බයක් නිෂ්පන්න කිරීම, ‌ඓන්ද්‍රීය වසයෙන් ම ජාත්‍යන්තර ක්‍රියා දාමයකි. (යතාර්ථයේ දී දෘෂ්ටිමය නො වන වස්තුව වටා පිහිටි උනුසුම් වායුව ඇතුලු) කලු කුහරය දැකගැනීමට අවශ්‍ය විභේදනය කරා ලඟා වීමට, රේඩියෝ දුරේක්ෂ භූගෝලයේ ප්‍රතිවිරුද්ධ අන්තවල තනා නඩත්තු කල යුත්තේ, අත්‍යසාමාන්‍ය ලෙස දුර්වර්න සංඥා හසු කරගත හැකි යෝධ රේඩියෝ ඇන්ටනාවක් බවට පෘථිවිය පරිවර්තනය කරමිනි.

එවන් විශාල විද්‍යාත්මක වැඩකටයුතු වඩ වඩා හුරු පුරුදු ක්‍රියා දාමයක් බවට පත් වෙමින් තිබේ. (සර්න්හි) විශාල හැඩ්‍රන් අංශු ත්වරකය, ගුරුත්වාකර්ෂන තරංග හසු කරගැනීම, න්‍යුට්‍රිනෝවන් හසු කරගත් අයිස් කුට්ටි පරීක්ෂනය මෙන් ම, සෑම අභ්‍යාවකාශ මෙහෙයුමක් ම පාහේ සාර්ථක වීමට ජාත්‍යන්තර ප්‍රයත්නයක් අවශ්‍ය කරයි. මේ වසරේ දී දියත් කිරීමට සැලසුම් කරන ලද නමුත්, එක්සත් ජනපදය හා නැටෝව විසින් යුක්‍රේනය සමග යුද්ධයක් දියත් කිරීමට කුපිත කරනු ලැබීමෙන් පසු, රුසියාවට පැන වූ සම්බාධකවල ප්‍රතිඵලයක් වසයෙන්, එම මෙහෙයුමෙන් එරට ඉවත් වීමෙන් පසු, අවම වසයෙන් 2028 තෙක් කල්දැමූ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ එක්සෝමාර්ස් මෙහෙයුම, මේ සඳහා ඍනාත්මක නිදර්ශනයක් ලෙස දැක්විය හැක.

මෙම මෙහෙයුමෙහි සොයාගැනීම් නිවේදනය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක දී, යුරෝපියානු දක්ෂින නිරීක්ෂනාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් ෂේවියර් බාකොන්ස් ජාත්‍යන්තර ඒකාබද්ධතාවක අවශ්‍යතාව සටහන් කලේ මෙලෙසිනි: “එක් තනි ආයතනයක් හෝ තනි රටක ජාතික තාරකා විද්‍යාත්මක ප්‍රජාවට පවා, මෙම අත්‍යසාමාන්‍ය ප්‍රතිඵලය කරා ලඟා වීම කල නො හැක්කකි. ලොව පුරා රේඩියෝ නිරීක්ෂනාගාරයන් අටක් එයට අවශ්‍ය වූ අතර, අද වන විට එම ජාලය 11ක් කරා ප්‍රසාරනය වී තිබෙන්නේ, ලොව පුරා බොහෝ රටවල ජාත්‍යන්තර සංවිධාන ඒවා ගොඩනගා, ඒවාට අරමුදල් සපයා සහයෝගය දීම නිසාවෙනි.”

මෙම සොයාගැනීම “අප සහයෝගී වූ විට, අප එක් ව වැඩකරන විට අපට ජයග්‍රහනය කල හැක්කේ කවරදක්දැයි පෙන්නුම් කරයි. අප ජීවත් වන යුගයේ අවාසනාවන්ත ලෙස එම දිශාවට ලෝකය ගමන් නො කරමින් තිබෙන තතු තුල, මෙය මතකයේ තබා ගැනීම ඉතා වැදගත් යයි” යි සටහන් කිරීමට තමන්ට බලකෙරෙන බව බාකොන්ස්ට හැඟුනි.

බාකොන්ස් ඇත්තෙන් ම නිවැරදි ය. මානව වර්ගයාට න්‍යෂ්ටික සමූලෝත්පාඨනයක තර්ජනය ගෙන එන, නැටෝව හා රුසියාව අතර වර්ධනය වන ගැටුම ගැන බාකොන්ස් සඳහන් කලා යැයි යමෙකුට සිතිය හැකි ය. එසේ නැත්නම්, සමහර විට, ලොව පුරා මිලියන 20ක් යයි තක්සේරු කෙරෙන පුද්ගලයන් ගනනක් මරා දමා තිබෙන්නා වූ ද පොහොසත් රටවල් එන්නත් හා අනෙකුත් ප්‍රතිකාරක රැස්කරගෙන තිබෙන්නා වූ ද කෝවිඩ්-19 වසංගතය විය හැකි ය.

නතර කිරීම සඳහා ලෝකයේ ආන්ඩු කිසිවක් කර නැති හා මෙම ශතවර්ෂය අවසාන වන විට ලෝකයේ වෙරලවල් ගිලීමට තර්ජනය කරමින් වේගවත් වන දේශගුන ව්‍යසනය ගැන බාකොන්ස් අදහස් කලා වන්නට පුලුවන. එලඹෙන විනාශය පිලිබඳ අර්ධ-ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ කරන ලද අනතුරු ඇඟවීම් තිබුන ද ඔවුනගේ ජාතික ධනවාදී අවශ්‍යතාවන්ගේ නාමයෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම ජාතික රාජ්‍ය විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තත්ත්වය, නිශ්චිත සමාජ හා දේශපාලනික සබඳතාවල ද වෛෂයික ආර්ථික ක්‍රියා දාමයන්ගේ ද නිෂ්පාදිතයකි. ලෝක ධනේශ්වර වෙලඳපොල තුල තරඟ වැදී සිටින ජාතික රාජ්‍ය පද්ධතියකට ලෝකය බෙදී පැවතීම මෙම අන්තරායන්ගේ කාරකය වශයෙන් පවතී. දිනපතා බිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුන දෙන පීඩාකාරී සමාජ අසමාතාවත් දරිද්‍රතාවක් ගැන අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය ද නොවේ‍.

ස්වභාව ධර්මය හා එය තුල අපගේ ස්ථානය අවබෝධ කරගැනීම පිනිස එක් ව වැඩ කරනවා වෙනුවට, විද්‍යාඥයින් වඩ වඩා රුදුරු මහජන නාශක අවි නිෂ්පාදනය කිරීම දැකගැනීමට මනාප ආන්ඩු වමනය කරන ස්වෝත්තමවාදී ජාතිකවාදී මන්ත්‍රයන් ප්‍රතික්ෂේප කිරීමේ සවිඥානික ප්‍රයත්නයක් ඉහල විද්‍යාත්මක සහයෝගීතාවක් සඳහා අවශ්‍ය කෙරෙයි.

වෝල් වීදියට හා අනෙක් මූල්‍ය වෙලඳපොලවලට මිලියන ගනන් ඩොලර් ප්‍රදානය කරමින්, වසංගතය සමයේ ධනයේ දැවැන්ත යලි බෙදාහැරීමක් අධීක්ෂනය කිරීමට එම ආන්ඩු ම කටයුතු කර ඇත්තේ, ඇප තැබීම් සඳහා කම්කරුවන් ලවා ගෙවීමට වසංගතය මධ්‍යයේ වැඩකිරීමට ඔවුන්ට බලකරමිනි. යුක්‍රේනයේ යුද්ධය මූලික අවශ්‍යතා, ආහාර හා ලදරු ආහාර හිඟයක් නිර්මානය කර ඇත්තේ, ලෝකයේ ජනගහනය වඩ වඩා දුගී බවට ඇද හෙලමින් උද්ධමනය අහස උසට නගිද්දී ය.

එහෙත් සැජිටේරියස් ඒ* ප්‍රතිබිම්බනය කිරීම වැනි යෝධ විද්‍යාත්මක ජයග්‍රහන, සමාජ සංවිධානයේ වෙනත් පදනමක් පිලිබඳ දැකීම් මාත්‍රයක් ලබා දෙයි. මෙම ජයග්‍රහනය ජනනය කල විද්‍යාත්මක සැලැස්මේ හා ජාත්‍යන්තර ඒකාබද්ධතාවේ මූලධර්ම වර්තමාන සමාජයට ව්‍යවහාර කරන ලද්දේ නම්, යුද්ධය, දරිද්‍රතාව, වලකාගත හැකි රෝග සහ සමාජ කාලකන්නි භාවයේ අනෙකුත් සියලු රූපාකාරයන් අවසන් කල හැකි ව තිබෙනු ඇත.

පෘථිවියේ පාරිසරික විද්‍යාවට ගෙන එන විපාක හෝ මානව ජීවිතවල පිරිවැය කවරක් වුවත්, ධනපති සමාජය ඔප්පු කර ඇත්තේ, එය නියුක්ත ව සිටින්නේ, පුද්ගලික ලාභය අඛන්ඩ ව සමුච්ඡය කරගැනීමේ බව යි. ඒ අනුව, සමාජයේ වෛෂයික විප්ලවවාදී හා ජාත්‍යන්තර සමාජ බලවේගය වන කම්කරු පන්තියට, සමස්තයක් ලෙස ධනවාදය පෙරලා දමා, නව හා වඩා ඉහල සමාජ පර්යායයක්, එනම්, සමාජවාදය කරා මාවත එලි පෙහෙලි කිරීම භාර වී ඇත.

Loading