යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් දශක දෙකකට පසු

මෙය 2001 මැයි 31 වැනි දින Two decades after the burning down of the Jaffna library in Sri Lanka යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපියේ පරිවර්තනයයි. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව මෙහෙයවන ලද සිංහල වර්ගවාදී මැර නඩයක් විසින් 1981 මැයි 01 දා යාපනය පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීමෙන් වසර 41 ක් සලකුනු කරන අද දිනයේ, මෙම පරිවර්තනය පල කරන්නෙමු. කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු විසින් කම්කරු පංතිය බෙදීම සඳහා දැනුවත් ව අවුලුවාලූ වාර්ගික ප්‍රකෝපකරනයන් අතරින් තුච්ඡම ගනයේ ක්‍රියාවක් සම්බන්ධයෙන් එහි කෙරෙන විවරනය කම්කරු පංතියට ඉතා වැදගත් ඓතිහාසික ඥානයක් සම්පාදනය කරයි.

***

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බැවින් දෙමල ජනයාට සහ සෙසු සුලු වාර්ගිකයන්ට දෙ වැනි තැනක් හිමි විය යුතු ය යන ස්වෝත්තමවාදී දෘෂ්ටිය කොලඹ දේශපාලන සංස්ථාපිතය දශක ගනනාවක් තිස්සේ ප්‍රවර්ධනය කොට ඇත. අනුප්‍රාප්තික ආන්ඩු විසින් දැනුවත් ව අවුලුවාලූ වාර්ගික මනෝගතීන් දෙමල ජනයාට එරෙහි වෙනස් කොට සැලකීමේ පියවර වලට ද, දෙමල විරෝධී සංහාරයන්ට ද දෙමල විමුක්ති කොටින්ට එරෙහිව තවමත් දිග්ගැස්සෙමින් යන බෙදුම්වාදී යුද්ධයට ද 1983 දී මග පෑදී ය.

තලේබාන්වරු බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කල විට, සිදු වෙමින් පැවති දෙයට තම පිලිකුල පල කිරීමට දේශපාලනඥායෝ එකිනෙකා සමග තරග කලහ. බෞද්ධ භික්ෂූහු පාරට විත් විරෝධතා දක්වමින් ශ්‍රී ලංකාව තුල බාමියන් ප්‍රතිමාවල අනුරූප ගොඩනංවන බවට ශපථ කලහ. සිංහල ස්වෝතත්මවාදී අදහස් දැරීම සම්බන්ධයෙන් කුප්‍රකට සහ භික්ෂු සංස්ථාපිතයට සබඳකම් ඇති අගමැති රත්නසිරි වික්‍රමනායක පාකිස්ථානයට හදිසි සංචාරයක් කලේ ප්‍රතිමාවන් ආරක්ෂා කිරීමට කුමක් කල හැකිදැයි සොයා බැලීමටයි.

කෙසේ නමුත්, තලේබාන්වරුන්ගේ සංස්කෘතික නාශකවාදයට සමාන්තරයන් ඇති ශ්‍රී ලංකාවේ සිදු වීම්, විශේෂයෙන් ම 1981 දී යාපනය පුස්තකාලය ගිනි තැබීම කෙරෙහි කොලඹ මාධ්‍ය දැක්වූයේ පූර්න නිෂ්ශබ්දතාවකි. කොලඹ සිට කිලෝ මීටර 400ක් උතුරින් පිහිටා ඇති යාපනය නගර මධ්‍යයේ ගිනිබත් කල ගොඩනැගිල්ලට නව ගොඩනැගිල්ලක් අවසානයේ දී ඉදි කෙරෙන්නේ ගිනි තැබීමෙන් දශක දෙකකට අනතුරු ව, දැන් ය. ඉංජිනේරුවන් සඳහන් කරන ආකාරයට, දැන් ඉදිකිරීම් ඇරඹී ඇති ගොඩනැගිල්ලේ වැඩකටයුතු දෙසැම්බර් වන විට අවසන් විය යුතු ය.

කෙසේ නමුත්, 1981 දී ගිනිබත් කෙරුනු මිල කල නොහැකි දහස් ගනනක් දෙමල පොත්, අත්පිටපත් සහ පුස්කොල පොත් ප්‍රතිස්ථාපනය කල නොහැකි ය. සියවස් ගනනාවක් තිස්සේ යාපනය වැදගත් දෙමල සංස්කෘතික කේන්ද්‍රයක් වශයෙන් ක්‍රියාත්මක වී ඇත. යාල්පානම් වයිපවමාලෙයි (යාපනය ගැන ඉතිහාස වාර්තාවක්) වැනි ඇතැම් කෘතීන් ප්‍රතිස්ථාපනය කල නොහැක්කේ ගිනිබත් වූ පුස්තකාලය සතු ව ඒවායේ එක ම පිටපතක් පමනක් පැවති නිසාවෙනි.

1841 දී ආරම්භ කරන ලද දකුනු ආසියාවේ හොඳ ම පොත් එකතුවක් පැවති ලොව පුරා පතල පුස්තකාලය 1950 දී වඩාත් ගාම්භීර ගොඩනැගිල්ලකට ගෙන යන ලදි. සිංහල දෙමල භේදයකින් තොර ව ශාස්ත්‍රඥයන්, ගුරුවරුන් සහ සිසුන් අතර ප්‍රකට වූ මෙම පුස්තකාලය සාමාන්‍ය කම්කරු ජනතාව විසින් ද බහුල ව පරිශීලනය කෙරුනි. රටේ සිවිල් යුද්ධය පුපුරා යාමට වසර දෙකකට මත්තෙන් මෙය විනාශ කර දැමීම රටේ දෙමල සුලුතරයේ සංස්කෘතික උරුමයට එරෙහි ව එල්ල වූ වෛරී සහගත ප්‍රහාරයක් විය. එය දැනුවත් ව වාර්ගික මනෝගතීන් අවුලුවා ලීම ද අරමුනු කර ගත්තේ ය.

එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් උසි ගන්වනු ලැබූ වර්ගවාදී මැර නඩයක් ගිනි තැබීම සිදු කලේ ය. දිවයිනේ දකුනෙන් ගෙන්වා ගත් මැර නඩය සමග නිල ඇඳුමින් සැරසී ගත් පොලිස්භටයන් ද සිටි වග ඇසින් දුටු සාක්ෂි ඒ කාලයේ දී වාර්තා කලහ. 1981 මැයි 31 වැනි දින මැදියම් රැයේ ට්‍රක් රථයකින් පැමිනි මැරයෝ පුස්තකාල ගොඩනැගිලිවලට ගිනි තැබූහ.

ගින්න යාපනය තුල පුලුල් ව පැතිර ගිය කෝපයක් අවුලුවා ලූයේ දින තුනක් පුරාවට පැවති කලබැගෑනි තත්ත්වයක් ජනිත කරවමිනි. සිංහල මැරයෝ දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ (ටීයූඑල්එෆ්) යාපනයේ ප්‍රධාන කාර්යාලයට ද ගිනි තබා දෙමල නිවෙස් සහ කඩසාප්පු සියයක් පමන ද කොල්ල කා ගිනිබත් කලහ.

ටීයූඑල්එෆ් පාර්ලිමේන්තු සභික වී යෝගේෂ්වරන්ගේ නිවස විනාශ කරන ලදි. ඊලනාඩු දෙමල පුවත්පතේ කාර්යාලය සහ මුද්‍රනාලය ගිනිබත් කෙරුනි. තව ද, මැරයෝ නගරයේ මංසන්ධිවල සංස්කෘතික සහ ආගමික වශයෙන් කැපී පෙනුනු දෙමල චරිත වෙනුවෙන් ඉදි කර තිබුනු ප්‍රතිමා ගනනාවක් විකෘත කර හෝ විනාශ කර හෝ දැමූහ. මෙම මැර ක්‍රියාවන් අවසානයකට පැමිනියේ ජූනි 4 වැනි දා, දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරනවලට පසු ව ය,

පුස්තකාලය ගිනි තැබීමට ආසන්නත ම කඩතුරාව වූයේ මැයි 31 වැනි දා යාපනයේ ටීයූඑල්එෆ් මැතිවරන රැස්වීමක දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මරා දමනු ලැබීමයි. මැතිවරන ව්‍යාපාරය සඳහා එජාප හිතැති මැරයන් උතුරට එවා තිබූ ප්‍රකෝපකාරී සහ ත්‍රස්ත ගැන්වීමේ වාතාවරනයක සිදු වූ මෙම මරන සම්බන්ධයෙන් කිසිවෙකු හෝ වගකීම භාර ගත්තේ නැත. පොලිසිය සහ මැරයෝ රැස්වීමේ දී ටීයූඑල්එෆ් ආධාරකරුවන්ට පහර දී පසු ව රාත්‍රියේ දී පුස්තකාලය ගිනි තැබූහ.

මැරබලයේ මෙහෙයුමක්

පුස්තකාලය ගිනි තැබීමෙන් පසු දියත් කෙරුනු හිරිහැර කිරීම් සහ මැරකම්වල අරමුන වූයේ ඡන්දදායකයන් බිය වද්දා අඩු ම තරමේ එජාප අපේක්ෂකයන් කීප දෙනෙකුගේ හෝ තේරී පත් වීම් සහතික කර ගනු වස් ක්‍රමානුකූල හොර ඡන්ද ව්‍යාපාරයක් සඳහා ආවරනය සම්පාදනය කර ගැනීමයි. 1980 දී එජාපය දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ස්ථාපිත කලේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා දෙමල ජනතාවගේ ඉල්ලීම් සමනය කර ගැනීමට දැරුනු ප්‍රයත්නයක් වශයෙනි. ටීයූඑල්එෆ් නායකත්වය දිස්ත්‍රික් සභා ක්‍රමයට සහය දුන්න ද මෙම රැවටිල්ල තරුන දෙමල ජනතාව ඉවසුවේ නැත. ප්‍රතිරෝධය වැඩෙත් ම, එජාප ආන්ඩුව ඡන්දයේ ප්‍රථිපල සහතික කරගනු වස් වඩ වඩා මැරකම්වලට යොමු විය.

මැතිවරන උද්ඝෝෂන සමය පුරා ආන්ඩුව තම මැරයන් යාපනයේ ගෙන ගිය අපරාධ සම්බන්ධයෙන් මාධ්‍ය වාරනයක් පවත්වා ගත්තේ ය. ජූනි 03 වැනි දා, ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් යාපනය පුරා හදිසි නීතිය පැවතියත් මැතිවරනය පැවැත්වෙනු ඇති බවට නිවේදනය කලේ ය. අගමැති ආර් ප්‍රේමදාස, තමන්ගේ ම මැරකම් දෙමල සුලුතරය පිටින් යැවීමට, පොලිස් භටයන්ගේ සහ එජාප අපේක්ෂකයෙකුගේ මරන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසමක් පත් කරන බවට පාර්ලිමේන්තුවේ දී නිවේදනය කලේ ය. පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් කවර හෝ නිල විමර්ශනයක් සිදු කෙරුනේ නැත.

එදින ම, එජාප ජ්‍යෙෂ්ඨ ඇමතියන් දෙ දෙනෙකු වූ ගාමිනි දිසානායක (ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ සමීපතමයෙකි.) සහ සිරිල් මැතිව් මැර ක්‍රියා මෙහෙය වීමට තවත් මැරයන් සමග යාපනයට පැමිනිය හ. මොවුහු හොර ඡන්ද දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූහ. මොවුන් කොමපන හොර ඡන්ද දැම්මාද කිව හොත් ඇතැම් තැනක ඡන්දදායකයන්ගේ ගනන ද ඉක්මවා ඡන්ද ප්‍රකාශ වී තිබුනි. මොවුන්ගේ පැමිනීමත් සමග ම ටීයූඑල්එෆ් නායක ඒ අමිර්තලිංගම් අත් අඩංගුවට ගනු ලැබී ය. මැතිවරන දිනයේ දී, පොලිසිය තවත් නායකයන් ති දෙනෙකු, එනම් නවරත්නම්, ධර්මරත්නම් සහ සිවසිදම්බරම් යන අය ද රඳවා ගත්තේ ය. මේ මැරකම් සියල්ල ම තිබිය දී එජාපයට රැස් කර ගත හැකි වූයේ ඡන්ද 23 302ක් පමනි. ඡන්ද 263 269ක් ලබා ගනිමින් ටීයූඑල්එෆ් සියලු ම දිස්ත්‍රික් සංවර්ධන සභා ආසන ජය ගත්තේ ය.

පූර්වයෙන් බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් සභාග ආන්ඩුව මෙන් ම, එජාප ආන්ඩුව ද නරක අතට හැරෙන ආර්ථිකය සහ තමන්ගේ ම විවෘත ආර්ථික ප්‍රතිසංස්කරන නිසා වැඩෙමින් පැවති අතෘප්තිය මැද තම පදනම්වලට මුක්කු ගසා ගැනීමේදී සිංහල ස්වෝත්තමවාදය ඇවිස්සීම මත රඳා සිටියේ ය. මෙසේ කිරීමට එයට හැකිවූයේ, අන් සියල්ලටම වඩා, 1964 දී, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය අතැර දමා සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිප ආන්ඩුවට එකතු වීමෙන් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) කල පාවාදීම හේතුවෙනි. 1972 දී, ශ්‍රීලනිප සභාග ආන්ඩුවේ පාර්ශ්වකරුවන් වශයෙන් ලසසප ඇමති කොල්වින් ආර් ද සිල්වා, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ද, සිංහල පමනක් වූ භාෂා ප්‍රතිපත්තියක් ද ව්‍යවස්ථාවට එබ්බවීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙයි. සභාග ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි ව පැවති පුලුල් විරුද්ධත්වය හේතුවෙන් 1977 දී දැවැන්ත මැතිවරන ජයග්‍රහනයක් ලබමින් බලයට පත් වූ එජාපය වාර්ගික ආතතීන් වැඩිදුර අවුලුවාලූයේ ය.

පුස්තකාලයට ගිනි තැබීමෙන් පසු ව, වහා ම යාපනයට යැවුනු ඇමතියන් දෙ දෙනාගෙන් කෙනෙකු වන සිරිල් මැතිව් දෙමල විරෝධී වර්ගවාදය සම්බන්ධයෙන් කුප්‍රකට ය. ඔහු “සිංහලයිනි! බුද්ධාගම රැක ගැනීමට නැගිටියව්” යන කෘතියේත්, තමන් 1979 දී පැවැත් වූ ප්‍රකෝපකාරී කතා එකතුකොට අතිනත බෙදා හැරීමට “කවුද කොටියා” යන මැයෙන් සකස් කල පොත් පිංචකත් කතුවරයා විය.

කොලඹ දේශපාලකයන් සහ මාධ්‍ය විසින් නිර්මානය කෙරෙමින් පැවති දේශපාලන පරිසරයේ ස්වභාවය සෙසු ලියවිලි පෙන්නුම් කරයි. 1980 දී පල කෙරුනු විස කැවූ පොත් පිංචක් වන 'පාපී කුමන්ත්‍රනය' (The Diabolical Conspiracy), සිංහල සිසුන්ට අවස්ථා අහිමි කරමින් දෙමල සිසුන් විශ්ව විද්‍යාලයට යැවීම සඳහා දෙමල ගුරුවරුන් දෙමල ශිෂ්‍යයන්ට ලකුනු වැඩිපුර ලබා දෙන බවට චෝදනා කලේ ය. “සිංහල සිසුන්ගේත්, දෙමාපියන්ගේත්, ගුරුවරුන්ගේත් හිත් තුල පුපුරන … මෙය දැවෙන ප්‍රශ්නයක්” යයි එහි සඳහන් වෙයි. තවත් ලේඛනයක් “සිංහල සංස්කෘතිය, බුද්ධාගම සහ උඩරට ගම්මාන සියල්ල වැනසී යනු අපට පෙනෙයි” යනුවෙන් දෙමල වතු කම්කරුවන් හෙලා දකියි. “සිල්ලර සහ තොග වෙලඳාම දැන් සම්පූර්නයෙන් ම ඇත්තේ ඉන්දියානුකාරයන් අතේ” යැයි පවසමින් එය දෙමල වෙලඳුන්ට පහර දුන්නේ ය.

බෞද්ධ භික්ෂු සංස්ථාපිතයේ ද සහය ඇති ව, එජාප උතුරු නැගෙනහිර පමනක් නොව, මධ්‍යම කඳුකරයේ වතුකර දිස්ත්‍රික්කවල ද දෙමල ජනතාව, ඔවුන්ගේ නිවාස සහ කඩසාප්පු එල්ල කර ගත් ප්‍රහාරයකට සිංහල මැර කල්ලි මුදා හැරියේ මෙ බඳු වාතාවරනයක් තුලයි. යාපනය පුස්තකාලය ගිනි තැබීම මෙම සන්තතියේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කලේ යුද්ධයට මග පාදමිනි.

1998 දී, යුද්ධය සාකච්ඡාමය අවසානයකට ගෙන ඒමට ලෝක බලවතුන්ගෙන් සහ ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකයන්ගේ කොටසකින් එල්ල වුනු පීඩනය හමුවේ වත්මන් පොදු පෙරමුනු ආන්ඩුව යාපනය පුස්තකාලය නැවත ගොඩ නැගීමේ කල් පමා වූ තීරනය නිවේදනය කලේ ය. එවකට පොදු පෙරමුනු ජනමාධ්‍ය ඇමති වූ මංගල සමරවීර තාවකාලික පුස්තකාලයක් ඉදිකිරීමට පැවැත් වූ රැස්වීමක දී “ස්වොත්තමවාදී බලවේග සහ නොමග ගිය දේශපාලනය මෙහි පැවති පුස්තකාලය විනාශ කර දැමීම දුෂ්ඨ ක්‍රියාවක් යැයි වත්මන් ආන්ඩුව සලකනවා” යැයි සඳහන් කලේ ය.

කෙසේ නමුත්, එදත් අදත් පොදු පෙරමුනු ආන්ඩුව මෙම “ස්වොත්තමවාදී බලවේග” හඳුනා ගැනීමට හෝ “නොමග ගිය දේශපාලනය” හඳුනා ගැනීමට කටයුතු කලේ නැත. එසේ කිරීම, යාපනය පුස්තකාලයට ගිනි තැබීම සහ යුද්ධයට මග පෑදූ දෙමල සුලුතරයට එරෙහි වෙනත් ප්‍රචන්ඩ ක්‍රියා පිටුපස ඇති ස්වෝත්තමවාදී දේශපාලනය ප්‍රවර්ධනය කිරිමේ ලා ශ්‍රීලනිපයේත් පොදු පෙරමුන තුල එහි පාර්ශ්වකරුවන්ගේත් භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගනනාවක් ඉස්මතු කිරීමට තුඩු දෙන්නක් විය හැකි ය.

Loading