ලංවිම සභාපතිගේ ප්‍රකාශය‍ෙන් කොලඹ සහ නවදිල්ලිය අතර සිදුවූ කැත රාජ්‍ය-තාන්ත්‍රික ගනුදෙනුවක් අනාවරනය වෙයි

ශ්‍රී ලංකාවේ සුලංබල ව්‍යාපෘතියක් ඉන්දියානු අදානි සමාගමට ලබාදෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි තමාට බලපෑම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ යැයි, ශ්‍රී ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, ජූනි 10 දා, මහජන ව්‍යවසායන් පිලිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) හමුවේ කියා සිටියේ ය. මෙය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල ද, ජාත්‍යන්තරව ද ඉමහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, ජූනි 11 දා ජනාධිපති රාජපක්ෂ ට්විටර් පනිවිඩයක් නිකුත් කිරීමත් සමග, කෝප් කමිටුවේ සභාපතිවරයාට ලිපියක් ලියූ ෆර්ඩිනැන්ඩු තම ප්‍රකාශය “කොන්දේසි විරහිතව” ඉල්ලා අස්කර ගත්තේය. අනතුරුව ජූනි 13 දා ඔහු තම තනතුරෙන් ද ඉල්ලා අස්විය.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි [Photo by Narendra Modi Facebook page] [Photo: Narendra Modi Facebook page]

ෆර්ඩිනැන්ඩු ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියානු ආන්ඩුව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත්කොට නොමැති නමුත්, තම සමීපතම සගයෙකු ලෙස ප්‍රකට ඉන්දියාවේ ප්‍රමුඛම ධන කුවේරයා වන ගෞතම් අද්වානිට අයත් මෙම සමාගමට ව්‍යාපෘතිය ලබාදෙනුවස් තම අගමැති තනතුර දුෂ්පරිහරනය කොට ඇති බවට ඉන්දියානු මාධ්‍ය සහ විපක්ෂ මෝදි ට චෝදනා කරයි.

කෝප් කමිටුවට ෆර්ඩිනැන්ඩු කැඳවූයේ, තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව 'පුනර්ජනනීය බලශක්ති අංශයේ' ආයෝජනය කිරීමට හැකිවන පරිදි “2009 ලංවිම පනත”ට සංශෝධන යෝජනා කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින දෙකකට පෙරාතුව ය. රටේ සුලං සහ සූර්ය බලශක්ති සම්පත්, අදානි සමූහයට පැවරීම සංශෝධනයේ මූලික අරමුන වන බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝප් කමිටුවට පැමිනිලි කර තිබුනි.

ඉහත ප්‍රකාශය සිදු කලේ තමා “දැඩි මානසික ආතතියකින්” සිටි අවස්ථාවක බැවින්, එමගින් 'සාවද්‍ය' අදහසක් ඉදිරිපත් වී ඇතැයි ෆර්ඩිනැන්ඩු තම ලිපියෙන් පවසන නමුදු, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහු මීට පෙර නිකුත් කල නිල ලිපි ලේඛන වලින්, පලමු ප්‍රකාශයේ සත්‍යභාවය සාධනය වෙයි. 2021 නොවැම්බර් 25 දා ඔහු විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට යවන ලද ලිපියකින් අගමැතිවරයාගේ (ශ්‍රී ලංකාවේ) උපදෙස්' පරිදි, “ඉන්දියානු ආන්ඩුව ලංකාවේ ආන්ඩුවට කරන ලද යෝජනාවක්” ලෙස සලකා, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්-ජනනීය විදුලිබල ව්‍යාපෘතිය ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට “හැකි ඉක්මනින්” කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

“එම උපදෙස් වලට අනුව, මෙය, රාජ්‍ය ප්‍රධානීන් අතර සිදුවූ ද්විපාර්ශ්වික සාකච්ඡාව මත පාදකව, ඉන්දීය ආන්ඩුවේ අනුග්‍රහය ලබන ආයෝජකයෙකුගේ යෝජනාවක් බව මම උපකල්පනය කලෙමි” යැයි ෆර්ඩිනැන්ඩු එම ලිපියේ තවදුරටත් සඳහන් කරයි.

මෙම කරුනු අනුව, ජනාධිපති රාජපක්ෂගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ, ෆර්ඩිනැන්ඩු තම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් බවට සෑම සැකයක්ම පවතී. තම වැඩිමහලු සහෝදර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ආරක්ෂක ලේකම් තනතුර දැරූ ගෝඨාභය රාජපක්ෂ, එම පාලනය විවේචනය කල මාධ්‍යවේදීන්ට සහ විරුද්ධ දේශපාලනඥයන්ට තර්ජන එල්ලකොට ඔවුන් බියවැද්දීමට ක්‍රියාකල බව කුප්‍රකට ය. ඉන් සමහරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලබා සිටී.

ෆර්ඩිනැන්ඩු ගේ ප්‍රකාශයෙන්, තමා තොරොම්බල් කරන ඊනියා ස්වෛරීත්වයේ ව්‍යාජභාවය ද, ලංවිම පුද්ගලීකරනය කොට එය කැබලිවලට කැඩීම සඳහා මහජනයාට හොර රහසේ කෙරෙන කැත රාජ්‍ය තන්ත්‍රික ගනුදෙනුව ද අනාවරනය වීමෙන් දැනටමත් තම පාලනයට එරෙහිව වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය වඩාත් පුපුරන සුලු මට්ටම් වලට නගිනු ඇතැයි රාජපක්ෂ තැතිගෙන සිටී.

අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මෙන්ම, පිසින ගෑස්, ඩීසල් සහ පෙට්‍රල් ඇතුලු ඉන්ධනවල පවත්නා දැවැන්ත හිඟය සහ ඒවායේ ඉසිලිය නොහැකි මිල ද, දෛනිකව පවත්නා දීර්ඝ විදුලි කප්පාදු ද හේතුවෙන් රාජපක්ෂට එරෙහිව නැගී සිටින මහජනතාව, ඔහුට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් පසුගිය අප්‍රේල් මුල සිට විරෝධතා උද්ඝෝෂනවල යෙදී සිටිති. අප්‍රේල් 28 සහ මැයි 06 දින රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන් මිලියන ගනනකගේ සහභාගිත්වයෙන් පැවති මහවැඩවර්ජන රටේ ආර්ථිකය මුලුමනින්ම අඩපන කලේය.

මේ හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවූ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව අගමැති සහ මුදල් ඇමති ලෙස පත් කෙරින. මුහුන දී සිටින දැවැන්ත විදේශ සංචිත හිඟය හමුවේ ආන්ඩුව විදේශ නය ගෙවීම පැහැර හරින බව මැයි මාසයේදී නිවේදනය කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ඇපනයක් ඉල්ලා සිටින ආන්ඩුව, ඒ වෙනුවෙන් පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කරමින් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් මුදාහැර අත. ලංවිම පුද්ගලීකරනය කඩිනම් කිරීම ද මෙහි කොටසකි.

ආර්ථික අර්බුදයේ ගැඹුරටම එරී සිටින රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුලු රටවලින් යලියලිත් ආධාර සහ නය යදිති.

ඉන්දියාව මැයි අගදී, හාල්, කිරි පිටි සහ ඖෂධ ඇතුලත්, ඉන්දියානු ඩොලර් මිලියන 16 ක් වටින“මානුෂීය ආධාර” ලංකාවට ලබා දුන්නේය. මීට අමතරව ඩොලර් බිලියනයක නයක් ලබා දී ඇති ඉන්දියාවෙන්, තවත් ඩොලර් මිලියන 500 ක් ලංකාව බලාපොරොත්තු වෙයි.

මෙම “ආධාර” පිටුපස කවර හෝ “මානුෂීයභාවයක්” නොමැත. ඊට විපරීතව, ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමෙන් උත්තේජනය ලබන ඉන්දියානු කම්කරුවන් සහ පීඩිතයන් තම තන්ත්‍රයට එරෙහිව නැගී සිටිතැයි බියපත්වන මෝදි, කොලඹ පාලනයේ දේශපාලන ස්ථාවරභාවය උදෙසා මෙම “ආධාර” ලබා දෙයි.

අනෙක් අතට, කොලඹ පාලනය මුහුන දී සිටින ප්‍රගාඪ ආර්ථික අර්බුදය ගසා කමින්, කලාපය තුල තම භූ-දේශපාලනික ආධිපත්‍යය පිහිටුවා ගැනීම සහ ඉන්දියානු සංගතයන්හි ආයෝජන වලට වඩවඩාත් ඉඩ විවරකර ගැනීම මෙම “මානුෂීය ආධාර” පිටුපස පවතී.

තම ප්‍රධාන ප්‍රතිමල්ලවයා වන චීනයට එරෙහිව එක්සත් ජනපදය ගෙනයන භූ මූලෝපායික වැඩකටයුතුවල දී ඉන්දියාව පෙරමුනු රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන ඇත. ඉතා වැදගත් මූලෝපායික ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව, චීනය වටලෑමේ තම මූලෝපාය තුලට මුලුමනින්ම ඒකාග්‍ර කර ගැනීම සඳහා වොෂින්ටනය දරන ප්‍රයත්නය තුල ඉන්දියාව වැදගත් භූමිකාවක් ඉටු කරයි.

කොලඹ වරායේ බටහිර පර්යන්තයේ කොටස් 51 ක හිමිකාරිත්වය ඇතිව, වසර 35 ක මෙහෙයුමක් සඳහා, අදානි සමූහය 2021 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට එලැඹුනි. ඩොලර් මිලියන 700 ක් වන මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රය තුල විශාලතම විදේශ ආයෝජනය යි.

කෙසේ නමුත්, ලංකාවට ලබාදෙන නිල සංවර්ධන සහාය (Official Development Assistance) සහ සෘජු විදේශ ආයෝජන අතින් ප්‍රමුඛයා වන්නේ චීනය බව ගේට්වේහවුස් වාර්තාවකින් පෙන්වා දෙයි. එයට අනුව, චීනය ඩොලර් බිලියන 14 ක සෘජු විදේශ ආයෝජනයන් ලංකාව තුල සිදුකොට ඇති අතර, බල ශක්ති සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයන් හි නිල සංවර්ධන සහාය වෙනුවෙන් ඩොලර් බිලියන 12 ක් නය සහ ආධාර වශයෙන් ලබා දී ඇත.

මෙම ආයෝජන වනාහි, බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 සිට චීන ආර්ථිකය මත වඩවඩාත් යැපෙන්නටවීමේ ප්‍රතිඵලයකි. බෙයිජිනය සහ කොලඹ අතර වැඩෙමින් පැවති මෙම සබඳතා වොෂින්ටනය සහ නවදිල්ලිය නොඉවසූහ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව කොලඹ පාලනයන් ගෙනගිය 30 අවුරුදු ලේවැකි යුද්ධය - මෙහිදී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මිලිටරිය විසින් මරා දැමුනි - අනුමත කල එක්සත් ජනපදය සහ ඉන්දියාව, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තම උත්සුකයන් මතු කිරීමට පටන් ගත්තේ 2009 දී නිමා කෙරුනු එහි අවසන් භාගයේදී ය.

මෙම යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ තන්ත්‍රයට චෝදනා කෙරෙන යෝජනා කීපයක්ම වොෂින්ටනයේ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුනු අතර, ඒ හරහා කොලඹ පාලනය තමා දෙසට යොමුකර ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කලේය. අවසානයේදී, වොෂින්ටනය සහ නවදිල්ලිය අතයොදා කල කුමන්ත්‍රනයක ප්‍රතිඵලය ලෙස, එක්සත් ජනපද ගැති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව බලයට පැමිනියේ ය.

එතැන් පටන් වොෂින්ටනය සහ නව දිල්ලිය, කොලඹ සමග දේශපාලන, මිලිටරි සහ ආර්ථික සබඳතා වඩවඩාත් ශක්තිමත් කර ගනිමින්, කොලඹ සහ බෙයිජින් අතර සම්බන්ධය බිඳ දැමීමේ වැඩකටයුතුවල නිරත වූහ.

කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කල රුදුරු ප්‍රහාර හේතුවෙන් සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය කෙරෙහි වැඩුනු දැවැන්ත මහජන විරෝධය ගසා කමින් 2019 දී බලයට පැමිනි ගෝඨාභය රාජපක්ෂ, දැඩි මුල්‍ය හිඟයෙන් පෙලුනු තම ආන්ඩුවට මුල්‍ය ආධාර ලබා ගැනීම සඳහා යලි බෙයිජිනය වෙතට හැරී ගැනීමත් සමග, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ප්‍රධාන බලයන් “මානව හිමිකම්” උද්ඝෝෂනය නැවත ආරම්භ කලේය.

වොෂින්ටනය රාජපක්ෂට යොදන පීඩනයේ කොටසක් ලෙස, 2020 ඔක්තෝබරයේදී ලංකාවට සංචාරය කල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, චීනයට එරෙහි වොෂින්ටනයේ යුධ මූලෝපායික වැඩකටයුතු සමග සෘජුව පෙල ගැසෙන ලෙස රාජපක්ෂට තර්ජනය කලේය. ඉන් වසරකට පසු 2021 ඔක්තෝබරයේදී කොලඹට පැමිනි ඉන්දියානු විදේශ ලේකම් හාෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා, චීනය සමග පවත්නා සමීප සබඳතා බිඳ දමන ලෙස පීඩනය යෙදීය.

තම සොහොයුරාට අත් වූ ඉරනම සම්බන්ධයෙන් සාවධාන වන රාජපක්ෂ ක්‍රමයෙන් වොෂින්ටනය සහ නවදිල්ලිය වෙත නැඹුරු වෙමින් සිටී. විශේෂයෙන්ම, කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකරගෙන එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් ගැඹුරු කෙරී ඇති ගෝලීය ධනපති අර්බුදය මධ්‍යයේ එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද මූලෝපායික වැඩකටයුතු පෙරනොවූවිරූ පරිදි උත්සන්න කෙරී ඇති තතු තුල, කොලඹ පාලන තන්ත්‍රය වඩවඩාත් එය තුලට ඒකාග්‍ර කෙරෙමින් පවතී. මෝදි සහ රාජපක්ෂ අතර මෙම කැත රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව සිදුව ඇත්තේ මෙම සන්දර්භය තුලයි.

විපක්ෂ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සිංහල ස්වෝත්තමවාදී සංවිධාන සහ වෘත්තීය සමිති, ඉන්දියානු විරෝධී දක්ෂිනාංශික උද්ඝෝෂනයක් සඳහා මෙම සිද්ධිය ඩැහැ ගැනීමේ අන්තරාය පවතී. එවන් උද්ඝෝෂනයක්, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත සිදු කෙරෙන පුද්ගලීකරනය ඇතුලු ප්‍රහාරයන් ද රුදුරු යුද්ධය ද නතර කලහැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පංතියේ එකමුතුවට, විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ඒකාබද්ධතාවයට වල කපනු ඇත.

Loading