ප්‍රමුඛ ව්‍යාපාරික ධම්මික පෙරේරා ආන්ඩුවට කැඳවා ගත්තේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ පොදුජන පෙරමුනේ (පොපෙ) ජාතික ලැයිස්තුවෙන්, ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ඊයේ පාර්ලිමේන්තුවට කැඳවා ගත්තේය. පෙරේරා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ, ඔහුගේ පත්වීම අභියෝගයට ලක් කෙරුනු පෙත්සම් පහක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, ඒවා විභාග කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ය. ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට පත් කෙරුනු පෙරේරා ට, තාක්ෂන සහ ප්‍රාග්ධන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය ලබා දීමට නියමිත බව වාර්තාවේ.

ධම්මික පෙරේරා (ෆේස්බුක්)

කවර හෝ මහජන අනුමැතියක් නොලද, අවම වශයෙන් ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස හෝ පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත් නොවූ පුද්ගලයෙකු, විශේෂයෙන්ම ලංකාවේ වැඩිම සමාගම් සංඛ්‍යාව හිමි ධන කුවේරයා, ධනපති ව්‍යවස්ථාවේ පවතින හිදැස් වලින් රිංගවාගෙන, මෙලෙස ආන්ඩුවට කැඳවා ගත්තේ ඇයි ?

මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය ඇමතූ පෙරේරා කල ප්‍රකාශයෙන්මත්, ඔහුගේ සම්ප්‍රාප්තියේ අරමුන ප්‍රකාශයට පත්වෙයි. 'කුනාටුවකට හසු වී වේගයෙන් පැද්දෙන නැවට (ආන්ඩුවට)' ගොඩවුනේ එම පැද්දීම නතර කිරීමට බව ඔහු පැවසීය. 'කුනාටුව' ලෙසින් ඔහු හඳුන්වන ප්‍රගාඪ ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ, ලංකාවේ ධනපති පංති පාලනයේ දේශපාලන අස්ථාවරභාවය හෙවත් 'වේගවත් පැද්දීම' නතර කර ගැනීම ඔහු ඇතුලු සමස්ත ධනපති ප්‍රභූවේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව ඇත. දේශපාලන අස්ථාවරභාවය ලෙස ඔවුන් අතිමූලික වශයෙන් දකිනුයේ, ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙන පන්ති අරගල මාලාවයි. ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන මහජන නැගිටීම මෙහිලා ප්‍රමුඛ ය.

වැඩෙන පන්ති අරගල සම්බන්ධයෙන් පෙරේරාගේ අනාගත භූමිකාව කුමක් වේද යන්න ඔහුගේ අතීත වාර්තාවෙන් පැහැදිලි වෙයි.

ඔහු සතු හේලීස් සමූහ ව්‍යාපාරයට අයත්, එවකට රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කම්හලේ අපද්‍රව්‍ය මගින් භූගත ජලය දූෂනය වන බවට චෝදනා කරමින්, කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ මහජනතාව ගෙනගිය දිගු කාලීන උද්ඝෝෂනය, පෙරේරා මුලුමනින්ම නොතකා හලේය. අවසානයේදී 2013 අගෝස්තුවේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මිලිටරිය යොදා විරෝධතාකරුවන්ට එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් තිදෙනෙකු මියගිය අතර හතලිස් දෙනෙකු තුවාල ලැබීය. එවකට ආරක්ෂක ලේකම් ලෙස මිලිටරිය අධීක්ෂනය කලේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

තම ලාභ අවශ්‍යතා වෙනුවෙන්, ප්‍රදේශයේ කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුලු මහජනතාව දූෂිත ජලයෙන් රෝගාතුර කිරීම සම්බන්ධයෙන් පෙරේරා වගකිව යුතුය. පසුව වෙනිග්‍රොස් කම්හල බියගමට ගෙනගිය හේලීස් සමාගම එහි සේවයේ යෙදී සිටි ස්ථිර සහ කොන්ත්‍රාත් පදනමේ කම්කරුවන් ඉවත් කොට, අඩු වැටුප් සහ රුදුරු සේවා කොන්දේසි යටතේ නව කම්කරුවන් බඳවා ගනිමින් ශ්‍රම සූරාකෑම උග්‍ර කලේය. ඔහුගේ 'මහජන හිතකාමිත්වයේ' සහ 'මනුෂ්‍යත්වයේ' සැබෑ වාර්තාව එසේය.

කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ, තම ලාභ අවශ්‍යතා වෙනුවෙන්, කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් වැඩට දැක්කීමට උද්ඝෝෂනය කල මහධනපතියන් අතරින් පෙරේරා ප්‍රමුඛයෙකු විය. 2020 නොවැම්බර් 16 දා දෙරන රූපවාහිනී නාලිකාවේ 'අංශක 360' දේශපාලන සාකච්ඡාවට සහභාගි වූ ඔහු, කවර හේතුවක් මත හෝ පූර්න අගුලු දැමීමකට තමා සපුරා විරුද්ධ වන බව පැවසීය. “අපි රට සම්පූර්නයෙන්ම වසා දැමුවොත් ආදායමක් නැහැ. එතකොට අපිට නය දෙන බැංකු අපිට නය දෙන්නේ නැහැ. අපි නයෙන් දුවන රටක්. බැංකු අපට නය ප්‍රතික්ෂේප කලොත් අපි කොහොමද රට පාලනය කරන්නේ?” යැයි ඔහු ඇසීය.

පෙරේරා ඇතුලු පාලක පන්තිය අනුගමනය කල මෙම රුදුරු පිලිවෙතේ ඛේදනීය ප්‍රතිඵලය මිනිස් ජීවිත 16,520 ක් අහිමිවීම සහ දසදහස් සංඛ්‍යාත දරුවන් සහ වැඩිහිටියන් දීර්ඝ කෝවිඩ් සංකූලතාවන්ගෙන් පීඩා විඳීමයි.

මෙම මරන මතින්, පෙරේරා ඇතුලු මහධනපතියන් තම ලාභපොදි තරකරගනු ලැබුවේ පෙරනොවූ පරිදිය. හේලීස් සමූහ ව්‍යාපාරයේ වෙබ් අඩවිය මෙසේ වාර්තා කලේය: 'කෝවිඩ්-19 වසංගතයේ වසංගතයේ අභියෝගාත්මක පසුබිමට එරෙහිව, හේලීස් සමූහය 2020/21 මූල්‍ය වර්ෂයේ පලමු මාස හය තුල වාර්තාගත ලාභයක් වාර්තා කල අතර, බදු ගෙවීමට පෙර එම ලාභය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් බිලියන 5.52 ක් විය.'

'සංවර්ධිත ජාතියක්' යන මැයෙන් 2019 සැප්තැම්බර් මාසයේදී තමා ඉදිරිපත් කල 'ආර්ථික වර්ධන මූලෝපාය සහ වැඩ සැලැස්ම' ක්‍රියාත්මක කිරීම තව සති දෙකකින් ආරම්භ කරන බව ඉහත මාධ්‍ය ප්‍රකාශයේදී පෙරේරා අවධාරනය කලේය. එම සැලැස්ම කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි දැවැන්තම ප්‍රහාරයකි.

ප්‍රථම කොටම, රාජ්‍ය මර්දන යන්ත්‍රය වඩාත් ශක්තිමත් කිරීමට ඔහු එමගින් යෝජනා කරයි. පාලක පන්තියේ මන්ත්‍රය වන 'ජාතික ආරක්ෂාව' ජප කරමින් ඔහු කියා සිටින්නේ 'ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව 'ශුන්‍ය ඉවසීමේ' ප්‍රතිපත්තිය බලාත්මක කලයුතු බවයි. 'ඕනෑම ස්ථානයක අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීමට නිරීක්ෂන කැමරා තාක්ෂනය' පුලුල් කලයුතු යැයි ද පෙරේරා කියා සිටී. මේ සියල්ල යොමුවනු ඇත්තේ, කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ ගොවීන් ඇතුලු අනෙකුත් පීඩිතයන්ගේ පන්ති අරගල තලා දැමීමටයි.

ආයෝජන මන්ඩලයේ සභාපති ලෙස 'යුද්ධ කාලයේ පවා' ආයෝජන ගෙන්වා ගැනීමට තමා සමත් වූ බව ඉහත මාධ්‍ය ප්‍රකාශයේදී සඳහන් කල පෙරේරා, තමාගේ මූලික අරමුන 'ඩොලර් හැදීම' බවත්, එහිදී විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ප්‍රමුඛ බවත් පැවසීය. ලංකාව මුහුන දී සිටින මූලික අර්බුදය ඩොලර් සංචිතය හිඳීයාම බව ඔහු කීවේය.

ඉහත දැක්වූ 'ආර්ථික වර්ධන මූලෝපාය සහ වැඩ සැලැස්ම' සෘජු ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. එහිදී ප්‍රමුඛත්වය දී ඇත්තේ 'කලාපීය තරඟකාරිත්වය' වැඩි දියුනු කිරීම සම්බන්ධයෙනි. මෙහි ලා, 'දීර්ඝ බදු විරාමයන්' ඇතුලු ආයෝජක දිරි ගැන්වීම් ලබාදියයුතු බව ඔහු යෝජනා කරයි. දැනට පවත්නා ව්‍යවසායන්ගෙන් අය කරන සංගත බද්ධ සියයට 12 දක්වා අඩුකලයුතු බවද ඔහු කියා සිටී.

අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිබල සහ සංචාරක ඇතුලු සෑම ක්ෂේත්‍රයකම ආයෝජනයන් සඳහා පුලුල් ඉඩකඩ විවර කරමින් පුද්ගලීකරනය වේගවත් කලයුතු බව පෙරේරා පවසයි. 'දැනට පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල සතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂන, ඉංජිනේරු සහ ක්‍රමලේඛන උපාධි, පෞද්ගලික අධ්‍යාපන ආයතන හරහා බාහිර උපාධි ලෙස පිරිනැමීමට ඉඩ සැලසියයුතු' බව ද, 'මෙගාවොට් 2000ක නව සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දිය යුතු' බව ද ඔහු පවසයි

මෙම ආයෝජනයන් හි සේවයේ යෙදවීමට නියමිත කම්කරුවන්ගේ වැටුප් මට්ටම් ගැන පෙරේරා කිසිවක් නොකියන නමුත්, 'කලාපීය තරඟකාරිත්වය' වැඩි දියුනු කිරීමට ඔහු කරන යෝජනාවට අනුව, බංග්ලාදේශය සහ නේපාලය වැනි රටවල වැටුප් මට්ටම් වලට වඩා පහලට ලංකාවේ වැටුප් මට්ටම් ගෙන ආ යුතුව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහල වැටීමට ඉඩ හැරීමට ආන්ඩුව ගත් තීන්දුවේ එක් අරමුනක් වන්නේ වැටුප් මට්ටම් පහත හෙලා එමගින් ආයෝජන දිරි ගැන්වීමයි. දැනටමත් ලංකාවේ වැටුප් බංග්ලාදේශයේ මට්ටම් වලට වඩා පහලට වැටී ඇත.

කෝවිඩ්-19 වසංගතයෙන් ද, යුක්‍රේනය මැදි කරගෙන එක්සත් ජනපදය සහ නැටෝව ගෙනයන යුද්ධයෙන් ද වඩාත් ගැඹුරු වී ඇති ගෝලීය ආර්ථික අර්බුදයේ බරපතලම ප්‍රකාශනයක් අත්කරගෙන ඇති ලංකාව විදේශ නය ගෙවීම පැහැර හරින බව රාජපක්ෂ ආන්ඩුව පසුගිය මාසයේ නිවේදනය කලේය. ආනයනය සඳහා විදේශ සංචිත නොමැති කමෙන් දිනෙන් දින ගැඹුරු වන, ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුලු අත්‍යවශය භාන්ඩයන්ගේ හිඟය සහ ඒවායේ අධික මිල ගනන් හේතුවෙන් එරෙහිව පැන නැගී ඇති දැවැන්ත මහජන විරෝධය හමුවේ, ආන්ඩුව ඩොලර් බිලියන 3 ක ඇප නයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) අපේක්ෂා කරයි.

එම ඇපනය වෙනුවෙන් ජාමූඅ පනවා ඇති කොන්දේසි අතර, රාජ්‍ය වියදම් වල බරපතල කප්පාදුව, පුද්ගලීකරනය වේගවත් කිරීම, ජාත්‍යන්තර ආයෝජන දිරි ගැන්වීමේ වැඩකටයුතු ප්‍රවර්ධනය කිරීම අති මූලික වෙයි. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගු කාලීන අන්තේවාසිකයෙකු වන රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටියදී පවා අගමැති තනතුරට පත්කර ගනු ලැබුවේ එම ප්‍රහාරය දියත් කිරීම සඳහා සුදුසුම පුද්ගලයා ඔහු වන බැවිනි.

පෙරේරාගේ සමස්ත 'මූලෝපායේ' අරමුන වන්නේ ද, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ මෙම අවශ්‍යතාවයන් සන්තර්පනය කෙරෙන පරිදි ශ්‍රී ලංකාව, ලාභ ශ්‍රම වහල් කඳවුරක් බවට පත් කිරීමයි. ජනාධිපති රාජපක්ෂ ඔහු පාර්ලිමේන්තුවට කැඳවාගනු ලැබුවේ සහ අදාල ඇමති තනතුර ප්‍රදානය කරනුයේ, එම කර්තව්‍යය සඳහා ය.

මහජනතාව විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයේදී ප්‍රතික්ෂේප කල තැනැත්තෙකු අගමැති තතුරට පත්කර ගැනීමෙන් ද, කවර හෝ මැතිවරනයකට තරගකොට මහජන අනුමැතියක් නොලද මහා ව්‍යාපාරිකයෙකුට ප්‍රධානතම ඇමති තනතුරක් ප්‍රදානය කිරීමේ සැලසුමෙන් ද පෙන්නම් කරනුයේ, ධනපති පාලක පන්තිය කවර හෝ මහජන මතයක් නොතකමින් තම ප්‍රහාරය ඉදිරියට ගෙන යාමට තීන්දුකොට ඇති බවයි.

Loading