ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ තුන්වැනි ජාතික සම්මේලනය: හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් ඩේවිඩ් නෝර්ත්ගේ සුබපැතුම්

පහත දැක්වෙන සුබපැතුම් පනිවුඩය, පසුගිය මැයි 14 වන දා සිට මැයි 16 දක්වා මුලු දුන් ශ්‍රී ලංකාවේ සසපයේ තුන්වැනි ජාතික සම්මේලනයට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එක්සත් ජනපදයේ සසපය වෙනුවෙන් ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලදී. මෙය 2022 ජූනි 17 වැනි දින ඉංග්‍රීසි බසින් ලෝසවෙඅහි පල කෙරුනි.

ප්‍රිය සහෝදරවරුනි,

ඔබේ තුන්වැනි සම්මේලනයට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ උනුසුම් සුබපැතුම් ගෙන ඒමට කරුනාකර මට අවසර දෙන්න. ඔබේ සම්මේලනය පැවැත්වෙන්නේ අතිශයින්ම අත්‍යසමාන තතු යටතේ බව මා විසින් සඳහන් කරනු ලැබීම අනවශ්‍ය තරම් ය. අප දක්නා අන්දමට, ඔබ ශ්‍රී ලංකාව තුල පෙර නොඇසූ විරූ පරිමානයේ දේශපාලන අර්බුදයක් සමඟ පොර බදනු පමනක් නොවේ. එම අර්බුදයම දිග හැරෙමින් පවතින්නේ, දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් මෙපිට ලෝක ධනපති ක්‍රමයේ දැවැන්තතම ගෝලීය අර්බුදය තුල ය.

ඩේවිඩ් නෝර්ත්

වත්මන් තතු තුල, (මෙම) සම්මේලනය යනු හුදෙක් ඉන් පරිබාහිරව සිදුවෙමින් පවතින සිදුවීම් පිලිබඳව අදහස් පල කිරීම සඳහා වූ අවස්ථාවක් නොවේ. (මෙහි) සියලු දේශපාලන සාකච්ඡාවකටම කා වැදී ගත් අතිමහත් සහ අත්‍යාසන්න දේශපාලන අන්තර්ගතයක් පවතින බව පක්ෂ නායකත්වය හා සෑම සමුලු නියෝජිතයෙක්ම පැහැදිලිව වටහා ගත යුතුය. ඔබ එසේ වටහා ගෙන ඇති බව මට සහතිකය. එබැවින් මෙම සම්මේලනය මුහුන දෙන මූලිකතම අභියෝගය වන්නේ අතිමහත් හා තීරනාත්මක ගෝලීය සිදුවීම් කෙරෙහි, හා සත්තකින්ම ශ්‍රී ලංකාව තුල වර්ධනය වෙමින් පවත්නා විප්ලවවාදී අර්බුදය කෙරෙහි, ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවේ ආකල්පය පැහැදිලිව අර්ථකථනය කිරීමයි. මෙම අර්ථයෙන්, ඔබ විසින් පවත්වනු ලබන සම්මේලනය හා, විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ ලෙනින් රුසියාවට පෙරලා පැමිනීමෙන් පසු 1917 අප්‍රේල් මස පවත්වන ලද බෝල්ෂෙවික් පක්ෂ සම්මේලනය අතර බොහෝ සෙයින් සමානකම් පවතී.

ගෝලීය යුද්ධයක් මධ්‍යයේ සිය දේශපාලන දිශාවනිතිය, ක්‍රියාමාර්ගය හා ඉදිරි දර්ශනය අර්ථ කථනය කිරීමට පක්ෂයට සිදු ව තිබින. ඉහත දී ට්‍රොට්ස්කි විසින් වර්ධනය කර තිබුනු නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්ව ලෙනින් බෝල්ෂෙවික් පක්ෂය යලි දිශානති ගැන්වීය. බෝල්ෂෙවික් පක්ෂය විප්ලවයේ හා රාජ්‍ය බලය ගැනීමේ මාවතේ පිහිටවන ලද්දේ එම යලි දිශානති ගැන්වීම විසිනි.

ශ්‍රී ලංකාව තුල පක්ෂ පිලිවෙත නිර්නය කිරීමෙහි ලා, මෙම අර්බුදය එහි ජාත්‍යන්තර සන්දර්භය තුල පිහිටුවීම අත්‍යවශ්‍ය බැව් අපි වටහා ගෙන සිටින්නෙමු. ශ්‍රී ලංකාව තුල අතිමහත් අර්බුදයක කොන්දේසි යටතේ පවා, අපගේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ කිසි විටෙකත් ජාතික රාමුව නොව ජාත්‍යන්තර රාමුවයි. ඊට හේතුව වන්නේ, කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය විප්ලවවාදී දිශාවනිතිය කරා අවතීර්න වීම හා එය පවත්වා ගෙන යාම සිදු කල හැක්කේ ජාත්‍යන්තර සන්දර්භයේ රාමුව තුල පමනක් වීමයි.

එක්සත් ජනපද/නැටෝ යුද්ධය අන් කවර දාටත් වඩා නිරුවත් ලෙස අධිරාජ්‍යවාදී ස්වභාවයක් අත්පත් කර ගනිමින් පවතී. එය එක්සත් ජනපද නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදී මැරයන්ගේ යුද්ධයක් වන අතර, එහි අරමුන වන්නේ ඉඳුරාම රුසියාව විනාශ කිරීම හා එය අර්ධ විජිතයක් ලෙස එක්සත් ජනපද නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදයේ ගෝලීය ව්‍යුහය තුලට ඇතුලත් කර ගැනීමයි. මේ වූ කලී, ජාත්‍යන්තර කමිටුව විසින් පූර්වාපේක්ෂා කල, කල්තබා කියා තිබූ හා පෙරදක්නා ලද යුද්ධයකි.

'යුද්ධය කරා ධාවනය' පිලිබඳව ඉහත පක්ෂ සම්මේලන වල දී අපි නිරතුරුවම කථා කර ඇත්තෙමු. දැන් යුද්ධය ආරම්භ වී ඇත. අධිරාජ්‍යවාදීහු තව දුරටත් 'ලෝක යුද්ධයක් කරා ධාවනයක යෙදී නොසිටිති”. ඔවුහු එම යුද්ධයේ ප්‍රථම වෙඩි මුර පත්තු කර ඇත්තාහ. මෙය වහා පහව යන සුලු සිදුවීමක් නොවේ. එය ගෝලීය දේශපාලනයේ මූලික නව පෙලගැස්මක ආරම්භකත්වයකි. අතීතයේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් ලෝකය යලි බෙදා ගැනීම ලෙස හඳුන්වන ලද දෙය දැන් සිදු වෙමින් පවතී.

කෙසේවෙතත්, මෙම යුද්ධයේ ප්‍රතිඵලය එක්සත් ජනපදයත්, ප්‍රධාන යුරෝපා බලවතුන් හා නැටෝව තුල සංවිධානය වී සිටින ඔවුන්ගේ අනුගාමික රාජ්‍යත් එක් පසෙකින් ද, 1991 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ බිඳ වැටීමෙන් මතු වූ රුසියානු ප්‍රතිගාමී ධනපති තන්ත්‍රය අනෙක් පසින් ද වශයෙන් වන, යුද වැදී සිටින රාජ්‍යවල හුදු හමුදාමය ක්‍රියාවන්ගේ තලය මත පමනක් තීරනය නො වනු ඇත. එක්සත් ජනපදයේ හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ එල්ලය වන්නේ, දැන් පවතින ආකෘතියෙන් යුත් රුසියාව කැබැලිවලට කඩා බිඳ දැමීම වේගවත් කර, එම බිඳීමෙන් බිහි වන කුඩා කුඩා කොටස් අත්පත් කර ගැනීම සඳහා පහසුකම් සැපයීමට මෙම යුද්ධය භාවිතා කිරීමයි.

එහෙත් මෙම ගැටුමට ඔබ්බෙන් අධිරාජ්‍යවාදීන් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර ඇති වඩාත් මූලික ඝට්ටනය පවතී. දැන්, මෙම විශ්ලේෂනයේ මෙම පදනම මත පිහිටා අපට ශ්‍රී ලංකාව තුල ම ඇති අර්බුදයේ වැදගත්කම අවබෝධ කල හැකිය.

අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන සෑම යුද්ධයක දී මෙන් ම, යුක්‍රේනය සම්බන්ධ ගැටුමට ද මුල පුරන ලද්දේ අසත්‍ය ප්‍රචාරනයට පදනම සැපයූ බේගල් වර්ෂාවක් සමඟිනි. සියලු අධිරාජ්‍යවාදී ජනමාධ්‍යවලින් පතුරුවා හරිමින් තිබෙන කථා ප්‍රවෘත්තිය අප විශ්වාස කරන්නේ නම්, යුද්ධය හුදෙක් සාමකාමී, අහිංසක යුක්‍රේනයට පහර දීමට රුසියාවේ පුටින් ආන්ඩුව පෙබරවාරියේ ගන්නා ලද තීරනයේ ප්‍රතිඵලයකි. මෙම ආඛ්‍යානය දල්වනු ලැබ ඇත්තේ මුසාවන්ගෙන් වන අතර, එයට කවර හෝ වෛෂයික විශ්ලේෂනයකට ඔරොත්තු දීමේ හැකියාවක් නැත.

ජාත්‍යන්තර කමිටුව මෑතක දී පැවැත්වූ මැයි දින රැලියේ දී අපි, දැන් ඇති වෙමින් පවත්නා සිද්ධීන් පැහැදිලිව පූර්වාපේක්ෂා කරමින් ඉහත පැවැති රැලිවලදී ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සිදු කෙරුනු ප්‍රකාශන සවිස්තරාත්මකව විමර්ශනය කලෙමු. 2014 අප්‍රේල් 24 වන දින අපේ බිල් වෑන් ඕකන් සහෝදරයා විසින් ලියන ලද තවත් ලිපියක් පිලිබඳ සඳහන් කිරීමට මම කැමැත්තෙමි. මෙම ලිපියේ මාතෘකාව වූයේ, 'වොෂින්ටනයට රුසියාව සමඟ යුද්ධයක් අවශ්‍ය ද?' යන්නයි. එය ලියන ලද්දේ 2014 පෙබරවාරියේ එක්සත් ජනපදය හා ජර්මනිය සංවිධානය කල බල කොල්ලය විසින් තීව්‍ර කරන ලද ආතතීන්ට ප්‍රතිචාරයක් ලෙස ය:

වොෂින්ටනයට රුසියාව සමඟ යුද්ධයක් අවශ්‍ය ද? යුක්‍රේනයේ අර්බුදය වටා ගන්නා ලද මෑතකාලීන එක්සත් ජනපද ක්‍රියා මාර්ග පිලිබඳ විමර්ශනයකින්, වරක් සිතන්නටවත් නොහැකි ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නට තිබූ දෙය පැහැදිලි ලෙස ඉදිරිපත් කෙරෙයි. ඔබාමා පාලනය රුසියන් රූලට් ක්‍රීඩාවේ ඉතා බිහිසුනු ක්‍රීඩා වාරයක යෙදී සිටී.

පසුගිය පැය 48 ඇතුලත, එක්සත් ජනපද හමුදා භටයන් රුසියාවේ දේශසීමාවටම ගෙන යමින්, පෝලන්තය හා ඉහත දී සෝවියට් සංගමයට අයත්ව තිබූ බෝල්කන් රාජ්‍ය තුන වන එස්තෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව කරා එජ පැරෂුට් භට කන්ඩායම් යෙදවීම පෙන්ටගනය විසින් නිවේදනය කරනු ලැබ ඇත. තවත් ඇමරිකානු යුද නැවක් කලු මුහුද කරා පිටත් කර යවා ඇති අතර, ශීඝ්‍ර ත්‍රිශූල මෙහෙයුම (Operation Rapid Trident) ලෙස හැඳින්වෙන මිලිටරි අභ්‍යාසයක් යටතේ තවත් එක්සත් ජනපද හමුදා යුක්‍රේනය කරා ම යැවීමට සැලසුම් සකස් කර ඇත.

වොෂින්ටනයේ හා එහි රූකඩයන්ගේ කූටෝපායයන්ට ස්තුති වන්නට යුක්‍රේනය තුල උග්‍ර අර්බුදයක් පැවතීමේ සන්දර්භය තුල දිග හැරෙමින් පවතින වොෂින්ටනයේ මෙම හමුදාමය පියවර අංග සම්පූර්න සිවිල් යුද්ධයක් ලෙස පිපිරී යාමේ තර්ජනය ගැබ් කර ගත්තකි.

යුක්‍රේනයේ සියලු ප්‍රචන්ඩත්වයන් අවසන් කිරීමට හා නීතිවිරෝධී කන්ඩායම් නිරායුධ කිරීමට ප්‍රතිඥා දෙමින් එක්සත් ජනපද හා යුරෝපා සංගමය ජිනීවාහි දී රුසියාව සමඟ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමෙන් සතියක් ඉක්ම යාමට ද පෙරාතුව කීව්හි එක්සත් ජනපද රූකඩ ආන්ඩුව, එම රටේ ගිනිකොනදිග කාර්මික ප්‍රදේශවල වාසය කරන තමන්ට අකීකරු රුසියානු භාෂාව කථා කරන ජනයාට එරෙහිව 'ත්‍රස්තවාද-විරෝධී' කඩා වැදීමක් සිදු කිරීමට එහි හමුදාවට අන දුන්නේය. මේ සඳහා එය හුදෙක් හමුදා කන්ඩායම්, යුද ටැංකි හා යුද ගුවන් යානා පමනක් නොව, නව ෆැසිස්ට්වාදී දක්ෂිනාංශයෙන් සන්නද්ධ මැරයන් ද පිටත් කර යැවීය.

අපේක්ෂාභංගත්වයෙන් යුතුව වොෂින්ටනයේ පිලිසරන සොයා යමින් සිටි මොස්කව්හි පුටින් ආන්ඩුව හදිසියේ නින්දෙන් ඇහැරී මෙම තත්ත්වයේ මාරක බැරෑරුම්කම දුටු සෙයක් පෙනී යයි. රජයේ ආර්ටී රූපවාහිනී නාලිකාව සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලව්රොව් අනතුරු හැඟවූයේ, යුක්‍රේනයේ රුසියානු පුරවැසියන්ට එල්ල කෙරෙන ප්‍රහාරයක් සිය ආන්ඩුව විසින් රුසියාවටම එරෙහි ප්‍රහාරයක් ලෙස සලකනු ලැබෙන බවයි. ...

වසර අටකට පෙර ලියූ මේ ප්‍රකාශයේ එන සෑම වචනයක්ම සනාථ වී ඇත. කෙසේවෙතත් දැන් එක්සත් ජනපද හා යුරෝපා බලවත්හු වඩාත් අන්තරායකාරී මට්ටමින් රුසියානු රූලට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටිති. ගෝලීය ආධිපත්‍යයේ හා ලෝකය අධිරාජ්‍යවාදී ලෙස නැවත බෙදා ගැනීමේ ස්වකීය වැඩ පිලිවෙල හඹා යාමේදී, රුසියාව සමඟ තාප න්‍යෂ්ටික ගැටුමකට යාමට පවා ඔවුහු සූදානම්ව සිටිති.

ජාත්‍යන්තර කමිටුව විසින් ප්‍රකාශිත තවත් බොහෝ ප්‍රකාශනවලින් මට උපුටා දැක්විය හැක. කෙසේවෙතත්, අද දවසේ අප පක්ෂයේ කටයුතුවල දිශාවනිතියට වඩාත් අදාල ලේඛනය වන්නේ, මෙය ලෝක සමාජවාදී විප්ලවයේ දශකය වනු ඇතැයි සඳහන් කරමින් 2020 වසර ආරම්භයේම පල කරන ලද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශය යැයි මම සිතමි.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙහි පස්වන අවධිය ආරම්භ වී තිබූ බවත්, එය, කම්කරු පන්තියේ නායකත්වය දිනා ගැනීම සඳහා අපේ ව්‍යාපාරය කරන ඍජු අරගලයෙන් සංලක්ෂනය වනු ඇති බවත්, මෙම ප්‍රකාශයට යන්තම් මාස කිහිපයකට පූර්වයෙන් පැවැති එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ 2019 ගිම්හාන පාසලේ දී, අපි සඳහන් කලෙමු. මේ වූ කලී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල, ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇති අරගලයේ හා කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවත්නා ව්‍යාපාරයේ ඍජු හා එක් සැනින් සිදුවන අන්තර්ඡේදනය මඟින් සංලක්ෂනය වන කාල පරිච්ඡේදයක් බවත් අපි පැවසීමු.

වෛෂයික තත්ත්වය පිලිබඳ මෙම විශ්ලේෂනය සහ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය හා භාවිතය කෙරේ එහි ඇති සම්බන්ධය ද ප්‍රගාඪ හා ප්‍රතික්ෂේප කල නොහෙන ආකාරයෙන් සනාථ වී ඇතැයි යන්න නිසැකය.

2020 ආරම්භයේ අපේ ප්‍රකාශය පලවීමෙන් සති කිහිපයක් ඇතුලත ලෝකය සාර්ස්-CoV-2 වසංගතයේ හදිසි පැතිර යාමට මුහුන පෑ බැව් සිහිපත් කිරීම වටී. නිරවද්‍යවම, ජාත්‍යන්තර කමිටුව ගෝලීය ධනපති ක්‍රමයේ අර්බුදය නිවරැදි ලෙස තක්සේරු කර තිබුනේය යන හේතුව නිසා ම, මෙය හුදෙක් මහජන සෞඛ්‍යය පිලිබඳ අර්බුදයක් නොවන බව, බොහෝ දුරට ඒ ක්ෂනයෙන්ම මෙන් හඳුනා ගැනීමට අපි සමත් වීමු. මෙය වඩාත්ම දුර දිග යන සමාජ, දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක දන්වනු ඇති අර්බුදයක් විය. ඒ අනුව, වසංගතය ගෝලීය ධනේශ්වර ක්‍රමයේ සියලු ප්‍රතිවිරෝධයන් තීව්‍ර හා උත්සන්න කරනු ඇති ප්‍රේරක සිදුවීමක් ලෙස අපි අර්ථකථනය කලෙමු.

වසංගතය, අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් යුත් ජාතික රාජ්‍ය පද්ධතියත්, ලෝක ආර්ථිකයේ මූලික යථාර්ථය හා ගෝලීය අන්තර් සම්බන්ධිත ස්වභාවයත් අතර ප්‍රතිවිරෝධය හෙලිදරව් කලේය. එමෙන්ම එය නිෂ්පාදන මාර්ගවල හා මූල්‍යයේ පෞද්ගලික හිමිකාරිත්වයත්, නිෂ්පාදනයේ සමාජයීය ස්වභාවයත් අතර පවත්නා සමථයකට ගෙන ඒමට කිසිසේත් නොහැකි ප්‍රතිවිරුද්ධතාවය හෙලිදරව් කලේය. ධනේශ්වර ක්‍රමය හා එහි මුල් අසුනේ සිටින ආන්ඩු මේ සා විශාලත්වයකින් යුත් ගෝලීය අර්බුදයකට ප්‍රතිචාර දැක්වීමෙහි ලා පරිපූර්නව ම අසමත්යහ. වසංගතයට සම්බන්ධ සියලු තීරන නිර්නය කෙරුනේ ද, නිර්නය කෙරෙන්නේ ද මහජනයාගේ අවශ්‍යතාවල පදනම මත හා මිනිස් ජීවිත රැක ගැනීමේ පදනම මත නොව, හුදෙක්ම, පාලක ප්‍රභූවේ ධනය වර්ධනය කෙරෙන්නේ කුමකින් ද යන පදනම මත ය. ඔවුන් විසින් අනුයන ලද පිලිවෙත්වල ප්‍රතිවිපාක අප සියලු දෙනාට දැක ගත හැකිය.

වසංගතය, වෙඩි බෙහෙත් යොදනු ලැබ ඇති ගිනි අවියේ කොකා ගැස්සීමට සමත් ප්‍රේරක සිදුවීමකැයි ජාත්‍යන්තර කමිටුව අර්ථකථනය කලේය. යුක්‍රේනයේ දී පැහැදිලිවම කොකා ගස්සා ඇති බැව් මේ මොහොතේ අපට පැවසිය හැක. ලෝක අධිරාජ්‍යවාදය - වඩාත්ම පුපුරන සුලු අයුරින් එහි කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදය - මේ මොහොතේ මුහුන දී සිටින්නේ සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයේ පෙර නොඇසූ විරූ සංයෝජනයකටය.

පලමුවන හා දෙවන ලෝක යුද්ධ පිලිබඳ අධ්‍යයනයන් බොහෝ ගනනක දී, වඩාත්ම සංවේදී ඉතිහාසයඥයන්ගෙන් බොහෝ දෙනා සඳහන් කොට ඇත්තේ, එම යුද්ධ දෙකම අත්‍යන්ත හා වඩවඩාත් උත්සන්න වන අභ්‍යන්තර ස්වදේශීය අර්බුදවල තතු යටතේ ආරම්භ වූ බව ය.

පලමුවන ලෝක යුද්ධය බොහෝ දුරටම තමන්ගේම රටවල තීව්‍ර වෙමින් පැවැති සමාජ සංඝට්ඨන සම්බන්ධයෙන් පාලක ප්‍රභූන්ගේ පැවැති කාංසාව මඟින් ක්‍රියාරම්භ වූවක්ය යන්න පිලිබඳව විවාදයක් නැත. නාසි තන්ත්‍රය විසින් අනුයන ලද, පෙනී යන පරිදි උන්මත්තක, පිලිවෙත් සහ 1939 දී යුද්ධය දියත් කිරීම වූ කලී, යුද්ධය හා සමූහ ඝාතනය හැර හිට්ලර් සතු අන් කිසි විසඳුමක් නොතිබූ, දමනය කල නොහැකි අභ්‍යන්තර අර්බුදයකට දැක්වූ ප්‍රතිචාර විය.

වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් කල, එම අර්බුදය න්‍යෂ්ටික යුද්ධයක් කරා උත්සන්න විය හැකි බව හොඳින් දැන දැනම, රුසියාව සමඟ යුද්ධයක් අවුස්සා ගැනීමේ ඇදහිය නොහැකි අවදානම ගැනීමට ඇමරිකානු හා යුරෝපා පාලක පන්තීන් දක්වන කැමැත්ත යමෙකුට අන් අයුරකින් කෙසේ නම් පැහැදිලි කල හැකි ද?

මේ මට්ටමේ ඉවක්බවක් නැතිකමක් බැඳී ඇත්තේ සියලු ධනේශ්වර රටවල් මූහුන දී සිටින අභ්‍යන්තර අර්බුදයේ අත්‍යන්තතාව සමගය. එහි ආන්තිකතම ප්‍රකාශනය වූයේ අසාමාන්‍ය සංඛ්‍යාවක මිනිස් ජීවිත බිලි ගත් වසංගතයක් සමඟ ගනුදෙනු කිරීමේ දී ප්‍රදර්ශනය කල පරිපූර්න අසමර්ථතාව හා අකැමැත්තයි. යුක්‍රේනය තුල ප්‍රචන්ඩත්වය තිබියදී වුව, ඉන් සිදුවන දෛනික මරන සංඛ්‍යාව, සාර්ස්-කොව්-2 (කොවිඩ්) වසංගතයේ ප්‍රතිවිපාක ලෙස ලෝකය පුරා සෑම දිනයකම මිය යමින් සිටින ජනයාගේ සංඛ්‍යාවට ආසන්න වීමට පටන් ගෙන හෝ නැත.

අවසාන වශයෙන්, රුසියානු ආන්ඩුවේ ම ක්‍රියා කලාපයට සම්බන්ධ එක් තීරනාත්මක කරුනක් පිලිබඳව මම අදහසක් පල කරන්නෙමි. අපි පුටින් ආන්ඩුවේ පිලිවෙත් ප්‍රතික්ෂේප කරමින් ඒවාට විරුද්ධ වන්නෙමු. අපි මෙකී පිලිවෙත්, ස්ටැලින්වාදීන් ඔක්තෝබර් විප්ලවය පාවා දීමේ කුලු ගැන්වීම වන 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ඓතිහාසික ප්‍රතිවිපාකවල සන්දර්භයේ තබා විශ්ලේෂනය කරමු. එම අවස්ථාවේ, එකී ප්‍රතිගාමී තීරනය සාධාරනීකරනය කිරීමට ස්ටැලින්වාදීන් ලබා දුන් හේතුව වූයේ, රුසියාව ධනවාදය කරා පෙරලා යාම මඟින් රුසියාවට මහත් ධනයක් පිරිනැමෙනු ඇති බව සහ, එමඟින් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය සුපුෂ්පිත වීමට මාවත විවර වෙනු ඇති බවයි. තව ද, යල් පැන ඇතැයි කියනු ලැබූ මාක්ස්වාදයේ පන්ති අරගලය පිලිබඳ සිද්ධාන්තය ප්‍රතික්ෂේප කිරීම මඟින් රුසියාව ජාතීන්ගේ ධනේශ්වර ප්‍රජාව තුලට සාමකාමී ව සමෝධානය කිරීම ශක්‍යතාවයක් වනු ඇත.

මේ සියලු මුලාවන් පුලුල් ලෙස හා මුලුමනින් ම හෙලිදරව් වී ඇත. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය විසුරුවා හැරීම තුඩු දී ඇත්තේ මහා විනාශයක් කරා ය. යුද්ධයමත් රුසියානු මහජනයාට ව්‍යසනයක් නිර්මානය කර ඇති අතර, එය පූර්න පරිමාන ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් පිපිරීමේ තර්ජනය පවා ගෙන එයි. පුටින්ගේ ක්‍රියා කලාපයට කවර ආකාර හෝ කිසිදු ප්‍රගතිශීලී ස්වභාවයක ලක්ෂන පිදීමට අපි කටයුතු නො කරන්නෙමු.

ඇත්ත වශයෙන්ම, වර්තමාන අර්බුදය සෝවියට් සංගමය විසුරුවා හැරීම පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය තහවුරු කරනු පමනක් නොව, මනුෂ්‍ය වර්ගයා මුහුන දී සිටින කවර හෝ මහා ගෝලීය ප්‍රශ්නයක් ජාතික ප්‍රතිෂ්ඨාවන් මත ධාවනය කෙරෙන පිලිවෙත්වල පදනම මත විසඳීම නොකල හැක්කක් බව යලිත් වරක් විදහා දක්වයි.

එය චීනය සම්බන්ධයෙන් වුව සත්‍ය වේ. වසංගතයේ පැතිරීමට කවරාකාරයකින් හෝ උචිත ලෙස ප්‍රතිචාර දැක්වූ එකම ආන්ඩුව චීන ආන්ඩුව බව පිලිගනිමින් අපි තර්ක කොට ඇත්තෙමු. ශුන්‍ය කොවිඩ් පිලිවෙතක් අනුගමනය කිරීම හා එමඟින් දැවැන්ත ජීවිත විනාශයක් වලක්වා ගැනීම ඇත්තෙන්ම කල හැකි දෙයක් බව චීනය පෙන්නුම් කලේය.

ඇත්තෙන්ම අනෙකුත් සියලු රටවල් සමඟ සැසඳීමේ දී, චීනය තුල මරන සංඛ්‍යාවේ පරිමානය කැපී පෙනෙන ලෙස සීමා කරනු ලැබීය. කෙසේවෙතත්, එම ජයග්‍රහනය විසින් ම, චීන පාලන තන්ත්‍රයේ මූලෝපායයේ හා පිලිවෙතෙහි ද, එහි ධනේශ්වර පුනස්ථාපන වැඩ පිලිවෙලෙහි ද ඇති මූලික දෝෂය හෙලිදරව් කෙරී ඇත. දීර්ඝ කාලීන ව එක් රටක් තුල වෛරසය මැඩ පැවැත්වීම කල නොහැකි බව පමනක් නොව, චීන තන්ත්‍රය විසින් අනුයන ලද නිවැරැදි මහජන සෞඛ්‍ය පිලිවෙත් නිසා ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් සමඟ එහි ගැටුම තීව්‍ර කෙරෙන බව ද වඩවඩාත් පැහැදිලි වෙමින් පවතී.

මරනීය වෛරසය සමඟ සටන් වැදීමට නිවැරැදි මහජන සෞඛ්‍ය පිලිවෙතක් අනුගමනය කිරීම හුදෙක්ම ජාතික මට්ටමෙන් පමනක් කල හැකි නොවේ. චීනය තුල ශුන්‍ය කොවිඩ් පිලිවෙතක් දිගටම පවත්වා ගෙන යාම තමන් නො ඉවසන බව ඇමරිකානු හා යුරෝපා අධිරාජ්‍යවාදය පැහැදිලිව පෙන්නුම් කර ඇත. මෙම පිලිවෙත ධනේශ්වර උත්සුකයන්ට විනාශකාරී වන පිලිවෙතක් ලෙස ලෝකය පුරා දකිනු ලැබේ. සිය පිලිවෙත වෙනස් කරන ලෙස චීනය මත ඉමහත් පීඩනයක් යෙදවෙමින් පවතී. චීනය එහි ශුන්‍ය කොවිඩ් පිලිවෙත අත්හැරියහොත්, එය ආසාදනයන්ගේ හා මරන සංඛ්‍යාවේ දැවැන්ත වර්ධනයකට මඟ පාදනු ඇති බැව් ඉතා හොඳින් අවබෝධ වී ඇති සත්‍යයකි. ශුන්‍ය කොවිඩ් පිලිවෙත අතහැර මාස කිහිපයක් තුල චීනයට සිය පුරවැසියන් මිලියන එක හමාරක් පමන වෛරසය නිසා අහිමි වෙතැයි තක්සේරු කර ඇත.

ශ්‍රී ලංකාව තුල වත්මන් අර්බුදයට සිය ප්‍රතිචාරය වර්ධනය කිරීමේ දී, අර්බුදයට විසඳුම රඳා පවතින්නේ ජාත්‍යන්තරව මෙහෙයවනු ලබන පන්ති අරගලයේ හා ලෝක සමාජවාදී විප්ලවයේ ගෝලීය මූලෝපාය මත බැව් මෙම සම්මේලනය තහවුරු කල යුතුය.

තව ද, ශ්‍රී ලංකාව හා ඊලාමය තුල ධනේශ්වර ජාතිකවාදයේ හා ධනේශ්වර බෙදුම්වාදයේ සෑම රූපාකාරයකටම අප පක්ෂය විරුද්ධ වී ඇති හෙයින්, එය ගෝලීය ඉදිරි දර්ශනයක් මත පදනම් වූ ඒකාබද්ධ අරගලයක් සඳහා සිංහල හා දෙමල කම්කරු පන්තිය සූදානම් කර ඇත.

ලෝකයේ සෑම කොටසක ම; විශේෂයෙන් එක්සත් ජනපදය තුල ම; පන්ති අරගලය තීව්‍ර වෙමින් පවතී. ඇමරිකානු ධනපති ක්‍රමය යනු අනභිභවනීය එකක් නොවේ. ඇමරිකානු ධනපති ක්‍රමය අභ්‍යන්තර අර්බුදවලින් ඉරී ගොස් ඇති අතර, ඇමරිකානු කම්කරු පන්තිය ප්‍රගාඪ රැඩිකලීකරන ක්‍රියාවලියකට භාජනය වෙමින් සිටින බවට අප්‍රමාන ඇඟවුම් පවතී.

ඇමරිකානු කම්කරු පන්තිය ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගයට දිනා ගත හැකි බව අපට නිසැකය. මෙය අවධාරනය කිරීමට මට අවශ්‍ය වූයේ, එය ලෝකය පුරාම කම්කරු පන්තිය දිරිමත් කිරීමේ ප්‍රභවයක් විය යුතු නිසා ය.

මේවා වෙන් වෙන් අරගල නොවේ. මේවා ඒකාබද්ධ අරගලයන් ය. ඇත්තෙන්ම අප අද දින ශ්‍රී ලංකාවේ දී ඔබේ සම්මේලනය තුල හමුවන විට අප දකිමින් සිටින්නේ, අපේ ව්‍යාපාරයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශ්‍රේෂ්ඨ මූලෝපායික ඉදිරි දර්ශනය ලෙස පවතින, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පරිපූර්නතම පැහැදිලිකමයි.

සහෝදරවරුනි, ඔබ දැක්වූ අවධානයට ඉතාම ස්තුතියි.

Loading