ආන්ඩුව රජයේ කාර්යාල සහ පාසල් වසා දමයි

[මෙය Sri Lankan government shuts down government offices and schools මැයෙන් 2022 ජූනි 21 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ප්‍රමානවත් ඉන්ධන සපයාගත නොහැකිකමින් කොලඹ ආන්ඩුව, කම්කරුවන්, දුගීන් හා තරුනයින් අතර ගැඹුරු කෝපය අවුලුවාලමින්, මේ සතියේ, බොහෝ මහජන හා ආර්ථික ක්‍රියාකාරකම් නැවැත්වීමේ මංමුලා සහගත පියවර නිවේදනය කලේය. ඇත්ත වශයන්ම, ඉන්ධන, ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ආන්ඩුවට විදේශ විනිමය නැත.

රාගම දී වැස්සේ තෙමි තෙමී ගෑස් සඳහා පෝලිමේ සිටින මිනිසුන්

සඳුදා (20), ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) සමග නව සාකච්ඡා වටයක් ආරම්භ කලේ, ඇප නයක් ලබා ගැනීම සඳහා ඔවුන් විසින් පැනවිය යුතු තවත් දරුනු කප්පාදු පිලිවෙත් පිලිබඳවය.

මෙම සතියේ සිට දැනටමත් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාමාර්ගවලට, සඳුදා සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා සති දෙකක “නිවසේ සිට වැඩ කිරීමේ” නීතිය ඇතුලත් වේ. නමුත් නිවසේ සිට වැඩ කිරීමට අන්තර්ජාල ප්‍රවේශය සහ පරිගනක වැනි නිසි පහසුකම් නොමැත. රජයේ ආයතන සතියකට දින දෙකක්, සේවකයින් නැවත සේවා ස්ථාන වෙත කැඳවීමට පටන් ගෙන ඇත.

මීට සති දෙකකට පෙර ආහාර හා ඉන්ධන අර්බුදය ගෙනහැර දක්වමින් ආන්ඩුව, සියලුම රජයේ සේවකයන්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස නම් කලේය. උග්‍ර ආහාර හිඟය නිසා තම ගෙවතු වගා කරන ලෙස මෙම කම්කරුවන්ට නරුම ලෙස පවසනු ලැබීය.

ඉහල යන ජීවන වියදමට සරිලන ආදායමක් උපයා ගැනීමට රාජ්‍ය සේවකයින් මීට පෙර අතිකාල වැඩ කල නමුත්, අතිකාල දීමනා නතර කර ඇත. වැඩ කරන දින ගනන අඩු කර ඇති නිසා අනියම් සේවකයන්ගේ වැටුප් ද කපා හැර තිබේ.

“නිවසේ සිට වැඩ” කරන නීතිය සති දෙකක් සඳහා සැලසුම් කර තිබුනද, සේවකයින් කිහිප දෙනෙක් ලෝසවෙඅ වෙත පැවසුවේ එය අවසන් වන්නේ කවදාද යන්න අවිනිශ්චිත බව ය. ඔවුන් සඳහන් කලේ ශ්‍රී ලංකාව ඇතුලු අනෙකුත් රටවල ඉන්ධන අර්බුදයේ අඩුවක් දක්නට නොමැති බවයි.

ඉරිදා (19), බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පෞද්ගලික සමාගම්වලින් ඉල්ලා සිටියේ, කොවිඩ්-19 වසංගතයේ මුල් කාලවලදී ඔවුන්ගෙන් ඇතැමෙක් කලාක් මෙන් “නිවසේ සිට වැඩ” හඳුන්වා දෙන ලෙසයි. ප්‍රමානවත් ඉන්ධන සැපයුමක් නොමැතිකම සහ ජාත්‍යන්තර ඇනවුම් නොමැතිකම නිසා සමහර සමාගම් දැනටමත් සතියකට වැඩ කල යුතු දින ගනන දින දෙක තුනක් දක්වා අඩු කර ඇත. සමාගම් වසා දැමිය හැකි බැවින් කම්කරුවන් තම රැකියා සම්බන්ධයෙන් බිය පල කර ඇත.

රාගම නගරයේ ජනතාව දිවා රෑ, වැසි නොතකා, ගෑස් ලැබෙන තුරු බලා සිටිති. [ඡායාරූපය: ලෝසවෙඅ]

ප්‍රධාන නගරවල සියලුම රජයේ සහ පෞද්ගලික පාසල් සඳුදා සිට සතියක කාලයක් වසා දමා අන්තර්ජාලය හරහා ඉගැන්වීම් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර තිබේ. කෙසේ වෙතත්, මෙම වසා දැමීම් දිගු කාලයක් පැවතිය හැකිය. නැවත දැනුම් දෙන තුරු සිසුන් පාසල් වෙත නොකැඳවන ලෙස විදුහල්පතිවරුන් වෙත දන්වා ඇත.

ප්‍රවාහන සේවා විශාල ලෙස අඩු කිරීම හේතුවෙන් ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් යාමට නොහැකි වීම නිසා මුලු රට පුරාම විශාල ලෙස අධ්‍යාපනය කඩාකප්පල් වෙමින් පවතී.

දිවයිනේ විශාලතම විශ්වවිද්‍යාලය වන පේරාදෙනිය විශ්වවිද්‍යාලය සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිනි. බලධාරීන් පැවසුවේ 'වත්මන් දුෂ්කරතා' හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි.

ඖෂධ හිඟය, ආහාර අර්බුදය සහ ඉන්ධන හිඟය නිසා රජයේ රෝහල් පද්ධතිය ද කඩා වැටෙමින් තිබේ. ඖෂධ හිඟය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් සඳුදා සිට සැත්කම් කිහිපයක් සීමා කිරීමට තීරනය කර ඇති බව ජාතික රෝහල්වල හෘද ශල්‍ය වෛද්‍යවරුන් සහ හෘද නිර්වින්දක වෛද්‍යවරුන් බලධාරීන්ට ලිඛිතව දන්වා ඇති බව ඩේලි මිරර් වාර්තා කලේය.

දකුනු කොලඹ ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් වෛද්‍යවරුන් සේවයට වාර්තා කිරීමේ ගැටලුවලට මුහුන පා ඇති බවයි. ඇය ද මෝනිං වෙත මෙසේ පැවසුවාය: “සේවාවට වාර්තා කරන වෛද්‍යවරු තම වාහන ඉන්ධන පෝලිම්වල නවතා රෝහලට පැමිනෙන්නේ ත්‍රිරෝද රථයකින් හෝ පයින් ය. ඔවුන් තම සේවා මුරය අවසන් කර නැවත පෝලිමට යති.”

පසුගිය සති දෙක තුල දිවයින පුරා බෙදාහැරීමේ මධ්‍යස්ථාන 600 ක් පමන ආසන්නයේ කිලෝමීටර් ගනනක් දිග පෝලිම් මතුවී තිබේ. ලක්ෂ සංඛ්‍යාත රියදුරන් ඉන්ධන සඳහා දින තුනක පමන කාලයක් බලා සිට ඇත.

ඉන්ධන පිරවුම්හල් යුධ පිටි බඳුය, ඒවායේ පොලිසිය සහ සන්නද්ධ හමුදා නිලධාරීන් යොදවා ඇත. ඉන්ධන නොමැතිව බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල ගැටුම් හටගෙන තිබේ. කෝපයට පත් ජනතාව සටන් පාඨ කියමින් ආන්ඩුවට ශාප කර ඇත්තේ ජනතාව ගැන සැලකිල්ලක් නොදක්වන නිසාය. ඇතැම් ස්ථානවල නොසන්සුන්තාව “පාලනය” කිරීමට සොල්දාදුවන් අහසට වෙඩි තබා ඇති අතර තවත් තැන්වල පොලිසිය පහර දී මිනිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්ධන අර්බුදය අභ්‍යන්තර සැපයුම් දාම කඩාකප්පල් කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තවදුරටත් උග්‍ර කරමින් මිල ගනන් ඉහල නංවා ඇත. බොහෝ ලොරි රථ ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගනන් පෝලිම්වල රඳවා තිබේ. එක් ප්‍රදේශයක නිෂ්පාදන පවා නියමිත වේලාවට වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කල නොහැක. මෙම බාධාව විශේෂයෙන් එලවලු සහ මාලුවලට බලපා ඇති අතර මිල ගනන් සියයට 300 දක්වා ඉහල ගොස් තිබේ.

පාදුක්කේ පෙට්‍රල් සඳහා රැඳී සිටින දිගු, ත්‍රිරෝද රථ පෝලිමේ කොටසක් [ඡායාරූපය: ලෝසවෙඅ]

මෙම ආන්තික ආර්ථික කැලඹීම නිර්මානය කර ඇත්තේ කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධය විසිනි, එයම, භාන්ඩ හා ඉන්ධන මිල ඉහල දැමීමට හේතු විය. අපනයන පහත වැටීම, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම කඩා වැටීම සහ විදේශයන්හි සේවය කරන අයගේ ප්‍රේෂන පහත වැටීම සමඟ රටේ විදේශ විනිමය සංචිත සිඳී ගියේය. විදේශ නය විශාල වශයෙන් ආපසු ගෙවීමට සිදු වීම නිසා තත්වය තවත් උග්‍ර වී ඇත.

බ්ලූම්බර්ග් හි සඳහන් නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් බිලියන 1.9 ක විදේශ සංචිතයක් පමනි. මෙයින් ඩොලර් බිලියන 1.5 ක් චීනයෙන් ලබාගත් අතමාරුවකි.

ජාමූඅ කන්ඩායමක් අගමැති වික්‍රමසිංහ සහ මහ බැංකුවේ සහ භාන්ඩාගාරයේ නිලධාරීන් සමග දින දහයක සාකච්ඡා ආරම්භ කර ඇත. එහි ප්‍රකාශය මෙසේ පැවසීය: 'ජාමූඅ හි ප්‍රතිපත්තිවලට අනුකූලව, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා අපගේ කැපවීම අපි නැවත තහවුරු කරමු.'

එහි අර්ථය නම්, ආන්ඩුවට තම නයහිමියන් සමග “නය ප්‍රතිව්‍යුහගත කිරීම” සිදුකිරීමටත් ජාමූඅ තෘප්තිමත් කිරීම සඳහා ආන්ඩුවේ වියදම් කපා හැරීමටත් සිදුවේ. සෑම විටම මස් රාත්තල් ඉල්ලා සිටින ජාත්‍යන්තර නයහිමියන්, අවම “නය සහන” ලබා දෙනු ඇත.

විශේෂයෙන්ම රාජ්‍ය අංශය කප්පාදු කිරීම, රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි සමාජ වැඩසටහන් කප්පාදු කිරීම මගින් ආන්ඩුව සිය කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කරනු ඇත. දැනටමත් ආන්ඩුව රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ 8ක් පමන කප්පාදු කිරීමටත් වැට් බද්ද (අගය එකතු කල බද්ද) ඇතුලු බදු වැඩි කිරීමටත් පටන් ගෙන ඇත.

ලෝක බැංකුව පසුගිය සතියේ ඇස්තමේන්තු කලේ, ශ්‍රී ලංකාව මේ වසරේ සියයට 7.8 ක සහ 2023 දී සියයට 3.7 ක ආර්ථික සංකෝචනයකට මුහුන දෙනු ඇති බවයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් සහ ගෝලීය ආර්ථික අර්බුදයේ ඒකාබද්ධ බලපෑමේ ප්‍රතිඵලයකි.

එහි ආර්ථික අපේක්ෂා වාර්තාවේ, ලෝක බැංකුව ජාමූඅ පියවරයන් ක්‍රියාවට නැංවීම ප්‍රමාද නොකරන ලෙස ආන්ඩුවට අනතුරු ඇඟවීය: “සාර්ව ආර්ථික ස්ථායීතාවය යථා තත්වයට පත් කිරීමේ සහ නය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලධාරීන්ගේ ක්‍රියාමාර්ගවල දිග්ගැස්සුනු ප්‍රමාදයන් වලදී සංකෝචනය තවත් විශාල විය හැක.”

මෙම වර්ධනය වෙමින් පවතින බිහිසුනු තත්වය සහ ආන්ඩුවේ කප්පාදු පියවර කම්කරු පන්තිය නොඉවසනු ඇත.

අප්‍රේල් මස මුල සිට කම්කරුවන්, දුගීන් සහ තරුනයින් ආන්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා, පෙලපාලි සහ වැඩ වර්ජන දියත් කර ඇත. මිලියන සංඛ්‍යාත කම්කරුවන් අප්‍රේල් 8 සහ මැයි 6 යන දිනවල එක්දින මහා වැඩවර්ජනවලට සම්බන්ධ වූහ.

ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් කප්පාදු පිලිවෙත්, ඉහල යන මිල ගනන් සහ පැය ගනන් දිග විදුලි කප්පාදුව අවසන් කරන ලෙසත් ය. මෙම අරගල සමස්ත දේශපාලන සංස්ථාපිතය අරටුවටම සොලවා දමා ඇත.

වෘත්තීය සමිති අකමැත්තෙන් වුවද වැඩවර්ජන කැඳවූයේ, කම්කරුවන් අතර පවතින දැවැන්ත විරෝධය අන්තර්වාර පාලන තන්ත‍්‍රයක් සහ මහ මැතිවරනයක් සඳහා වන ඉල්ලීම වෙත අපසරනය කර යැවීම සඳහා ය. මහජන කෝපය පාර්ලිමේන්තු මාවත් ඔස්සේ හරවා යැවීමට විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉදිරිපත් කල ඉල්ලීම් මේවාය.

වෘත්තීය සමිති මෙම අරගල පාවා දීමෙන් පසුව, “ආර්ථික අර්බුදය විසඳීම සඳහා” ජාමූඅ ප්‍රතිපත්ති තීව්‍ර කිරීමට පොරොන්දු වූ අලුතින් පත් වූ අගමැති වික්‍රමසිංහට සහාය දැක්වීමට සජබ සහ ජවිපෙ පෙල ගැසුනි.

කෙසේ වෙතත්, කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන කෝපය දැනෙන විරුද්ධ පක්ෂ, නව තාලයක් වාදනය කිරීමට පටන් ගෙන තිබේ. ජනතා ප්‍රශ්න විසඳීමට නව ආන්ඩුව අපොහොසත් වී ඇති බවට ඊයේ සජබ සහ ජවිපෙ නායකයින් චෝදනා කලහ. ඔවුන් ඊයේ සිට සතියක පාර්ලිමේන්තු වර්ජනයක් ප්‍රකාශ කලහ.

සජබ සර්ව පාක්ෂික ආන්ඩුවක් ඉල්ලා සිටින්නේ ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු යයි කියමිනි. ආර්ථික අර්බුදය විසඳීමේ පලමු පියවර ලෙස “දේශපාලන ස්ථාවරත්වය” සඳහා මාස අටක සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් ජවිපෙ ඉල්ලා ඇත.

මේවා, නැවත වරක්, වර්ධනය වෙමින් පවතින මහජන විරෝධය පීලි පැනීමේ දුෂ්ට පියවරයන්‍ ය. සජබ සහ ජවිපෙහි කුඩා උපායික වෙනස්කම් තිබිය හැකි නමුත් ඔවුන් ජාමූඅ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් ඉදිරිපත් නොකරයි. මේ මස මුලදී වික්‍රමසිංහගේ බදු වැඩි කිරීමේ පනතට පක්ෂ දෙකම ඡන්දය දුන්නේය.

මෙම විරුද්ධ පක්‍ෂ සමග සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති ද ඔවුන්ගේ තූර්ය වාදන කන්ඩායමට එකතු වනු ඇත. ජාමූඅ ප්‍රතිපත්ති සඳහා ඔවුන්ගේ සහයෝගය ප්‍රදර්ශනය කරමින්, ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කප්පාදු පියවරයන්ට එක වෘත්තීය සමිතියක්වත් විරුද්ධ වූයේ නැත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය මාස දෙකේ පාඩම් උකහා ගන්නා ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. පාලක පන්තියේ කාර්මික පොලිසිය ලෙස ක්‍රියා කරන සහ එහි අවශ්‍යතා සඳහා සේවය කරන වෘත්තීය සමිති අතේ ඔවුන්ගේ අරගලය පැවතීමට ඉඩ දිය නොහැක. කම්කරුවන් තමන්ගේම සටන් සංවිධාන ලෙස සෑම වැඩබිමකම, වතුයායකම සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයකම වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු අතර පීඩිතයන් හා තරුනයන් සියලු දෙනාම පෙලගැස්විය යුතුය.

ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නැත. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු පන්තියට සිය අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීම තුලින් පමනි.

අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජූලි 3 දා සවස 4 ට සසප විසින් සංවිධානය කරන අන්තර්ජාල රැස්වීමට සහභාගී වන ලෙසය. එහිදී මෙම ප්‍රතිපත්ති සාකච්ඡා කරනු ඇත.

කරුනාකර, රැස්වීම සඳහා මෙහි ලියාපදිංචි වන්න: https://chords-org-lk.zoom.us/meeting/register/tJcqcO-sqDopGNIOeLXWE4d1hK76OP8KYGHf

Loading