"ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ පාඩම්" පිලිබඳ සසප රැස්වීම කෙරෙහි බලගතු උනන්දුවක්

[මෙය Strong interest in SEP meeting on the mass uprising in Sri Lanka මැයෙන් 2002 ජූනි 29 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය, “ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ පාඩම්” මැයෙන් ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීම සඳහා ප්‍රබල උද්ඝෝෂනයක් දියත් කරමින් සිටිති. සූම් තාක්ෂනය ඔස්සේ විකාශනය වන රැස්වීම පක්ෂයේ ෆේස්බුක් පිටුවේ ද සජීවීව විකාශය හැරේ.

උද්ඝෝෂකයෝ, 'ජාමූඅහි කප්පාදු වැඩපිලිවෙලට එ‌රෙහිව සටන් කිරීම සඳහා ලංකාවේ කම්කරුවන් පසුගිය මාස දෙකෙහි මහජන නැගිටීමේ පාඩම් උකහා ගත යුතුය' යන සසප ප්‍රකාශය, මුද්‍රිත පිටපත් ලෙසින් ද සමාජ මාධ්‍ය හරහා ද බෙදාහරිමින් සිටිති.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ රටේ අතිශය පුපුරන සුලු දේශපාලන වාතාවරනයක් තුලය. මේ සතියේ කොලඹ ආන්ඩුව රජයේ කාර්යාල සහ පාසල් වසා දැමීමට වැඩිදුර පියවර ගත් අතර ඉන්ධන අවසන් වීම නිසා පුද්ගලික අංශයෙන් ද සේවකයන් කැඳවීම සීමා කරන ලෙස ඉල්ලා ඇත. සංචරනය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත. ආන්ඩුව ඊයේ ඉන්ධන මිල වැඩි කල අතර බස් ගාස්තු සහ දුම්‍රිය ගාස්තු ඉහල දැමීය. ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ආන්ඩුවට විදේශ විනිමය නොමැති තරම් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) කොලඹ දී සිය සාකච්ඡා දිගටම කරගෙන යනු ලබන්නේ ඇප නය ලබා ගැනීම සඳහා ඔවුන් විසින් පැනවිය යුතු තව දුරටත් දැඩි කප්පාදු පියවරයන් පිලිබඳව ය. ජාමූඅ වෙත ආන්ඩුව හරවා ගැනීමට සහ එහි භූ දේශපාලනික අවශ්‍යතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ඉහල නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමින සිටිති.

ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ වූ මහජන විරෝධතා වැඩ වර්ජන කම්කරු පන්ති අරගලවල ජාත්‍යන්තර නැග්මේ කොටසකි. විරුද්ධ පක්ෂවල සහ ව්‍යාජ වාම කන්ඩායම්වල පිටුබලය ලැබූ වෘත්තීය සමිති, මෙම අරගල විප්ලවවාදී දිශාවන් දෙසට වර්ධනය වීම වැලැක්වීය.

සසප/සසජාතශි රැස්වීම කැඳවා ඇත්තේ එලඹෙන අරගලවලට දේශපාලනිකව සූදානම් වීම සඳහා පසුගිය මාසවල වැදගත් පාඩම් සාකච්ඡා කිරීමට ය.

ඉරිදා රැස්වීමට ලියාපදිංචි වූ අය දැක්වූ අදහස් අතරින් කිහිපයක් පහතින් දැක්වේ.

ඩී.එම්.ඩී.පී ජයවර්ධන

මහනුවර රෝහලේ සෞඛ්‍ය සහායක ඩී.එම්.ඩී.පී ජයවර්ධන පැහැදිලි කලේ රෝහලේ කාර්ය මන්ඩල හිඟය හේතුවෙන් දිවා රෑ නොබලා වැඩ කිරීමට සිදුව ඇති බවයි. 'පසුගිය සිකුරාදා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන බලපත්‍රය රැගෙන ඉන්ධන පිරවුම්හලකට ගියත් පැය 6 ක් පෝලිමේ සිට ඉන්ධන නොමැතිව ගෙදර එන්න සිදු වූනා.'

ඔහු පෙන්වා දුන්නේ, මෙම තත්වය භයානක වුවද, “වෘත්තීය සමිති මාරාන්තික නිශ්ශබ්දතාවයකයි ඉන්නෙ. හරියට, කම්කරුවන්ට ප්‍රශ්නයක් නැහැ වගේ. කම්කරුවන් කැප කිරීම් කල යුතු යැයි ආන්ඩුව පවසන දේ ඔවුන් පිලිගන්නවා. ඔවුන්ගේ නිශ්ශබ්දතාවයට හේතුව එයයි. ආන්ඩුව අතිකාල දීමනා සීමා කර ඇති නිසා අපි ගොඩක් අසරන වෙලා, මේ පඩියෙන් මට ජීවත් වෙන්න බැරි නිසා විවේක කාලයේදී කුඹුරක් වගා කරනවා.”

“මහනුවර සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ සාකච්ඡාවලදී මට තේරුනා මේ ප්‍රශ්න පාර්ලිමේන්තුව වෙනස් කිරීමෙන් හෝ මැතිවරනවලින් විසඳාගත නොහැකි බව. මම හිතන්නේ පුලුල් සේවක පිරිසක් ඒ අවබෝධයට පැමින ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සක්‍රීයව දායක විය යුතුයි. ඉරිදා රැස්වීමට සහභාගි වන ලෙස අනෙකුත් අංශවල කම්කරුවන්ට ද මම ආරාධනා කරනවා.”

කොලඹ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක් වන නෙරංජලා මෙසේ පැවසුවාය: “ඉන්ධන අර්බුදය නිසා රජය හිතුවක්කාර ලෙස පාසල් වසා දැමුවා. සිසුන්ගේ අධ්‍යාපනයට සිදුවන විනාශය අපට තවදුරටත් දරාගන්න බෑ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අනාගතය ගැන බලාපොරොත්තුවක් නෑ. ඔවුන් කිසිවෙක් මේ අර්බුදයට වගකිව යුතු නෑ. නමුත් ඒ සඳහා ඔවුන් වන්දි ගෙවිය යුත්තේ ඇයි? මේ තත්වය තවදුරටත් ඉවසිය නොහැකියි.

“මෙම අර්බුද මධ්‍යයේ ශ්‍රී ලංකාවේ විශාල සමාගම් ලාභ ඉපැයූ ආකාරය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපිය මම කියෙව්වා. ඒ ගනන්හිලවු දැක්කම මට ඇත්තටම තරහක් ආවා. ඒ, දුක් විඳින මිනිසුන්ගේ ප්‍රශ්න විසඳිය හැකි ධනය යි. වැදගත්ම කරුන නම් මේ තත්ත්වයට වගකිව යුත්තේ ලංකාවේ ධනපති පංතිය පමනක් නොවේ. ගෝලීය මට්ටමින් අසමානතාවය ඇති කරමින් ධනය ඒකරාශි කරගත් ලොව පුරා ධනපතියන් එයට වගකිව යුතුයි.'

'පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නැයි කියන අරගලයේදී බොහෝ දෙනෙකුට මේ අවබෝධය තිබුනේ නැහැ. එම අවබෝධයෙන් තොරව ඉදිරි අරගලවලදී තමන් සටන් වදින වැඩපිලිවෙල කුමක් විය යුතුද යන්න තීරනය කිරීමට කම්කරුවන්ට නොහැකි වනු ඇති. මේ කාලය තුල, ධනේශ්වර ලාභ ඉපැයීමට සහ මානව අවශ්‍යතා වලට එක්ව පැවතීමේ හැකියාවක් නෑ. මානව අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ධනේශ්වර ක්‍රමය අවසන් කල යුතුය.

'මම මීට පෙර සසප රැස්වීම්වලට සහභාගි වී තියෙනවා. මෙම තීරනාත්මක කරුනු මෙම රැස්වීමේදී වඩාත් පුලුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇතැයි මම විශ්වාස කරනවා.'

2022 අප්‍රේල් 28 වැනි දින කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් විරෝධතාවයේ [ඡායාරූප: WSWS මාධ්‍ය]

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ තරුන කම්කරුවෙකු වන සරත්, අප්‍රේල් 28 සහ මැයි 6 මහා වැඩවර්ජන වලට සහභාගී වී ඇත.

“කටුනායක කලාපයේ වෘත්තීය සමිති විරෝධතා කැඳවූයේ නැහැ. රැකියා අහිමි වේ යැයි බිය නිසා, අපිට එකපාරටම පාරට බහින්න බැහැ, මොකද කම්කරු පවුල්වලට එය තදින් බලපානවා. නමුත් මෙවර කම්කරුවන් එක්සත්ව එලියට ආවා.”

'නෙක්ස්ට්' ඇඟලුම් කම්කරුවන් නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා වෘත්තීය සමිතිය විසින් කරන ලද පාවාදීමක් අත්දැක ඇත. එය ජනවාරි මාසයේ දින 10 ක වැටුප් වැඩ වර්ජනයක් පාවා දුන්නේය. සේවකයෝ සංගමයෙන් ඉවත් වූහ.

'මෙම දුක්ඛිත තත්වයන්ගෙන් ගොඩ ඒම සඳහා සියලු ධනේශ්වර දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කිරීමේ අරගලය ගෙන යාමට සංවිධානය විය යුතු බව මම විශ්වාස කරනවා,' ඔහු තවදුරටත් පැවසීය.

සෑම කම්හලකම සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයකම නව සංවිධානාත්මක ආකාර ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය පිලිබඳව උද්ඝෝෂකයෝ නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවා සමඟ සාකච්ඡා කලහ. කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා වන අරගලයේ වැදගත්කම පිලිබඳව සාකච්ඡා කෙරුනි. නිදහස් වෙලඳ කලාප කම්කරුවන් බහු ජාතික සමාගම් විසින් සෘජුවම සූරාකනු ලැබේ. සසප/සසජාතශි උද්ඝෝෂකයෝ, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩනැගීමේ අරගලයේ වැදගත්කම ද පෙන්වා දුන්හ.

ඔහු පිලිතුරු දුන්නේ “මෙවැනි කමිටු පිහිටුවීම හොඳයි, අපි මේ ආන්ඩු ඉවත් කිරීමට ක්‍රම සෙවිය යුතුයි. එවැනි ක්‍රියාකාරී කමිටුවක් සඳහා මට මගේ කර්මාන්ත ශාලාවේ මිතුරන් පවා සංවිධානය කල හැකියි.”

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැන් රටේ වර්ධනය වන තත්වයන්ට අනුව කර්මාන්ත ශාලා පවා වැසී යා හැකි බවයි.

“ඉන්ධන, ආහාර ද්‍රව්‍ය සැපයීම වැනි සියල්ල කඩා වැටී ඇති බව අපට පෙනෙනවා. රටේ කම්කරුවන් සහ අනෙකුත් රටවල කම්කරුවන් සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා.”

අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මහා වැඩවර්ජනවලට සම්බන්ධ වූ කනිවෙකහි ඒටීජී ලංකා සමාගමේ තරුන කම්කරුවෙකු වන නුවන්ත පැවසුවේ, ශ්‍රී ලංකාවේ මහජනතාව දැනටමත් සාගින්නෙන් පෙලෙන බවය, “මට මුලු වැටුපම අපේ කෑමට වියදම් කිරීමට සිදුව තිබෙනවා, අවසානයේ කිසිවක් ඉතිරි වෙන්නෙ නෑ. මට එලවලුවක් ගන්නවත් බැහැ. අපට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය නම්, අපට අපගේ ආහාර වේ්ල මඟ හැරිය යුතුයි.'

මැයි 6 මහා වැඩවර්ජනයෙන් පසු නිදහස් වෙලඳ කලාපය වටා හමුදාව යෙදවීම ඔහු හෙලා දුටුවේය. “කම්කරුවන් අරගලවලට එයි කියලා බයයි. කම්කරුවන් නැවැත්වීමට ආන්ඩුව කොතරම් උත්සාහ කලත්, ඔවුන් මුහුන දෙන කොන්දේසි විසින් ඔවුන්ට සටන් කිරීමට බල කරනවා.”

'වෘත්තීය සමිතිවල කිසිදු කැඳවීමක් නොමැතිව අපි ස්වේච්ඡාවෙන් එම වැඩ වර්ජනවලට සහභාගී වුනා. යම් වෙනසක් සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කල නමුත් අපගේ අරගලයෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබුනෙ නෑ' ඒ ඇයි දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. සාකච්ඡාව වෘත්තීය සමිතිවල භූමිකාව, ගෝලීය ධනේශ්වර අර්බුදය සහ සමාජවාදී ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය දෙසට ඇදී ගියේය. ඇත්ත වශයෙන්ම එලඹෙන සසප හා සසජාතශි රැස්වීම මෙම කර්තව්‍යයන් ගැන සාකච්ඡා කරනු ඇති.

සඳුනි සෝමරත්න

සඳුනි සෝමරත්න, කැලනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිලිබඳ අවසන් වසරේ ශිෂ්‍යාවකි. “මෙම ආර්ථික අර්බුදය අනාගතයට බරපතල ලෙස බලපානවා. මම රජයේ විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් කරනවා. විභාග ගාස්තු ගොඩක් වැඩිවෙලා. පන්ති ගාස්තු දෙගුනයක් වෙලා. ගාස්තු ගෙවීමට මාලය පවා උකස් කිරීමට සිදු වුනා. මගේ බොහෝ මිතුරන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ මේ ආකාරට. නමුත් රැකියා අවස්ථා හිඟවීමත් සමඟ අපි හැමෝටම අනාගතය ගැන අවිනිශ්චිත බවක් දැනෙනවා.

“කම්කරුවන් අරගලයට පිවිසීම දිරිගන්වන සුලුවුනා. මේ තත්වය වෙනස් කරන්න කම්කරු පන්තියට පුලුවන් කියලා මම තරයේ විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම යන්නෙන් අදහස් කරන්නේ මිනිසුන් වඩාත් නරක තත්වයට ඇද දැමීමයි.

ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් හිතාමතාම ව්‍යාකූල කිරීම සම්බන්ධයෙන් ඇය විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විවේචනය කලාය. ඔවුන් කියා සිටින්නේ වැඩි පීඩනයක් යෙදීමෙන් ආන්ඩුව වෙනස් කල හැකි බවයි.

“විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමේ තීරනාත්මක පියවරක්. නිෂ්පාදනය හා බෙදා හැරීම මහා ව්‍යාපාරිකයන් අතින් ඉවත් කල යුතු බවට මම එකඟයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වෙන්නෙ නැතිව එවැනි පියවර ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? ආන්ඩු විරෝධී අරගලයේ සිටින සෑම කෙනෙක්ම තමන්ගේ අරගලයේ සීමාසහිතකම් හඳුනාගත යුතුයි.”

Loading