නව ජනාධිපති ඔහුගේ පූර්වගාමියාගේ කැබිනට් මන්ඩලය ම පත් කරයි

[මෙය New Sri Lankan president appoints his predecessor’s cabinet යන මැයෙන් 2022 ජූලි 25 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සිකුරාදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආන්ඩුවේ න්‍යාය පත්‍රයේ කිසිදු වෙනසක් සිදු නොවන බව පැහැදිලි කරමින්, ඔහුගේ පූර්වගාමියා වූ ගෝඨාභය රාජපක්ෂගේ 18 දෙනෙකුගෙන් යුත් ඇමති මන්ඩලය ම පාහේ යලි පත් කලේ ය. රටේ පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින කප්පාදු පියවරයන් පනවනු ඇති අතර ඕනෑ ම විරුද්ධත්වයක් කුරිරු ලෙස මර්දනය කරනු ඇත.

2022 ජූලි 22, සිකුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත විරෝධතාකරුවන් සටන් පාඨ කියද්දී හමුදා සෙබලුන් බලමුලුගන්වනු ලැබ සිටින ආකාරය. (ඒපී ඡායාරූප/රෆීක් මක්බූල්)

කැබිනට් මන්ඩලය පත් කිරීමට යන්තම් ටික වේලාවකට පෙර, සිකුරාදා අලුයම, වික්‍රමසිංහ තමාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් කොලඹ ගාලු මුවදොර පිටියේ නිරායුධ, ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට එරෙහි ව ප්‍රචන්ඩකාරී මර්දනයක් දියත් කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ය. දහස් ගනන් සොල්දාදුවන් සහ පොලිසිය විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දුන් අතර කූඩාරම් සහ තාවකාලික ඉදිකිරීම් කඩා දැමී ය. රාජපක්ෂට රටින් පැන යාමට සහ ඉල්ලා අස්වීමට හේතු වුනු ආන්තික හිඟයන් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා අහස උසට නැඟුනු මිල ගනන් මගින් ඇවිල වූ මහා වැඩ වර්ජන හා විරෝධතාවල ගත වූ තෙ මස තුල ගාලු මුවදොර පිටිය ප්‍රධාන විරෝධතා මධ්‍යස්ථානය විය.

වික්‍රමසිංහ, රාජපක්ෂ පලා ගිය විට 'වැඩබලන ජනාධිපති' ලෙස පත් කරන ලද අතර පසුගිය සතියේ පාර්ලිමේන්තු ඡන්දයක දී ජනාධිපති ලෙස පත් කර ගැනුනි. එක්සත් ජනපදයට ගැති බව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතීත්වය සඳහා ප්‍රසිද්ධ දිගුකාලීන දක්ෂිනාංශික දේශපාලන කුලීකාරයෙකු වන වික්‍රමසිංහට මහජන සහයෝගයක් නොමැත. ඔහු රඳා පැවතුනේ රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) ඡන්ද මත ය. ආරක්ෂක හා මුදල් යන බලගතු අමාත්‍යාංශ තමන් වෙත ම පවරා ගෙන සිටින ඔහු විධායක ජනාධිපති ක්‍රමයේ දැවැන්ත අත්තනෝමතික බලතල ද ක්‍රියාත්මක කරයි.

අගමැති ලෙස වික්‍රමසිංහ විසින් පත් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ප්‍රමුඛ ආන්ඩුවල ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධූර හොබවා ඇති, රාජපක්ෂ සොහොයුරන්ගේ සමීප විශ්වාසවන්තයෙකු වන, පාර්ලිමේන්තු සභානායක දිනේෂ් ගුනවර්ධන ය. 1983 දී පාර්ලිමේන්තුවට පිවිසි ගුනවර්ධන, 1940 ගනන්වල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ද්‍රෝහියෙකු වූ ඔහුගේ පියා වන පිලිප් ගුනවර්ධන විසින් පිහිටුවන ලද සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුනේ (මඑපෙ) නායකයා ය.

මහ වැඩ වර්ජන මගින් මහින්ද රාජපක්ෂට ඉවත් වීමට බල කෙරුනු පසු, මැයි මාසයේදී අගමැති ලෙස පත් කරන ලද වික්‍රමසිංහගෙන්, ගුනවර්ධන වැඩ භාර ගනී. කැබිනට් පෙලගැස්මේ අනෙක් එක ම වෙනස නම්, රාජපක්ෂ විසින් ජනාධිපති ලෙස වික්‍රමසිංහ තෝරා ගැනීමට පිටුබලය දීම ප්‍රතික්ෂේප කල, කලින් සිටි විදේශ ඇමති ජී.එල්. පීරිස් බැහැර කිරීම යි. පීරිස් විවෘතව ඉල්ලා සිටියේ, පසුගිය සතියේ පාර්ලිමේන්තු ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ම මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඡන්දය දෙන ලෙස ය.

වික්‍රමසිංහ ශේෂ වී ගිය එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එක ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුව ද පාලක පන්තිය විසින් ඉල්ලා සිටින කම්කරු පන්ති විරෝධී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට වඩාත්ම සමත් දේශපාලන චරිතය ලෙස රාජපක්ෂවරු ඔහුට දැඩි ලෙස සහාය දුන්හ. ඔහුට නිසැකවම රටේ සංගත ප්‍රභූව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ජාමූඅ සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නය දෙන්නන්ගෙන් තදබල පිටුබලයක් ද තිබුනි.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නීතීඥ සහ විශ්වාසවන්ත හිතවතෙකු වූ අලි සබ්‍රි විදේශ ඇමති ලෙස පත් කරන ලදී. ඔහු රාජපක්ෂ ආන්ඩුවේ අධිකරන අමාත්‍යවරයා වූ අතර පසුව අප්‍රේල් මාසයේදී කෙටි කලකට මුදල් ඇමති විය.

මාධ්‍ය වාර්තාවලට අනුව, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ ජනතාවට බියෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මානය කිරීම සඳහා ආරක්ෂක අංශවලට බලය පවරා ඇති බව වික්‍රමසිංහ මහතා පලමු කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කලේය. ධනවතුන්, ඔවුන්ගේ දේපල සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුව අවශ්‍ය ඕනෑම දෙයක් කරන බවට වූ මෙය වැඩකරන ජනතාවට නොව පාලක පන්තියට දුන් ප්‍රතිඥාවකි. සිකුරාදා ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය, මෙම පොරොන්දුව අවධාරනය කරයි.

වික්‍රමසිංහ ඒ වන විටත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර එමඟින් විරෝධතා තහනම් කිරීමට, අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට සහ සෝදිසි කිරීමට මිලිටරියට පුලුල් බලතල ලබා දේ. 'මහජන සාමය' පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා හමුදාව යොදවමින් ඔහු සිකුරාදා තවත් නියෝගයක් නිකුත් කලේය.

සිකුරාදා සවස වික්‍රමසිංහ, පොලිස්පති හා විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සමග “නිල නොවන” ලෙස කොලඹ පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කලේය. මෙය සිදු වූයේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ඇතුලු සමහර රාජ්‍ය තාන්ත්‍රිකයින් විරෝධතාකරුවන්ට එරෙහි අලුයම වැටලීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකිරීමෙන් පසුවය. මෙම 'කනස්සල්ල' විරෝධතාකරුවන් සඳහා නොව, මර්දනය තවදුරටත් පුලුල්ව පැතිරුනු මහජන නොසන්සුන්තාව අවුලුවාලිය හැකිය යන්න සම්බන්ධයෙනි.

වැඩ කරන ජනතාව මුහුන දෙන සමාජ අර්බුදය දරුනු ය. වාර්ෂික උද්ධමනය සියයට 60 කට ආසන්න ප්‍රමානයකට පැමින ඇති අතර අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධවල නිරන්තර හිඟයක් පවතී. මෑතකාලීන එෆ්ඒඕ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ “මිලියන 6.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිත බවටත්, තවත් මිලියන 6.7 ක ජනතාවක් ජුනි මාසයට සාපේක්ෂව පිලිගත හැකි පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය නොකරන” බවටත් සොයාගෙන ඇත.

වික්‍රමසිංහ, මිලිටරියේ පියවරයන් දැඩි ලෙස ආරක්ෂා කරමින්, 'විරෝධතාකරුවන්ට තම රටවල ජනාධිපති කාර්යාලය නීතිවිරෝධී ලෙස අල්ලා ගත හැකිද යන්න' රැස්ව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් විමසූ බව වාර්තා විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේ “සමාජ මාධ්‍ය වාර්තා මත පදනම් වූ ප්‍රකාශයන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානියක් පමනක් කරන බැවින් ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාල නිලධාරීන්ගෙන් තහවුරු කර ගන්නා ලෙසයි.”

වික්‍රමසිංහ තම පාලනය සර්ව පාක්ෂික ආන්ඩුවක් ලෙස සැරසීමට උත්සාහ කරයි. විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අගමැති ගුනවර්ධනට පවරා ඇති අතර, එක් අයෙකු හෝ කිහිප දෙනෙකු ආන්ඩුවට එක්වීමට සූදානම් වන්නේ නම්, පාර්ලිමේන්තු අනුමැතිය ඇති ව දැනට සිටින මන්ත්‍රීවරුන් 18 සිට 25 දක්වා හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා කැබිනට් මන්ඩලය පුලුල් කල හැකි බව වාර්තා වේ. ආන්ඩුව ගෙන යන ම්ලේච්ඡ ක්‍රියාමාර්ග වලට එක්සත් දේශපාලන මූනත්තහඩුවක් පැලැන්දීම කෙරෙහි වික්‍රමසිංහ මංමුලා සහගත උත්සහයක යෙදෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (සජබ) සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), යෝජනා කර ඇති දේ අනුව සර්ව පාක්ෂික ආන්ඩුවකට එක්වීමට කැමැත්ත පල කර තිබුනි. කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය, ඔවුන්ව දැනට දුරස්ථව තැබීමට පොලඹවා ඇත.

ප්‍රේමදාස පසුගිය සති අන්තයේ ප්‍රකාශ කලේ: 'අපි (පාර්ලිමේන්තු) කමිටු හරහා ආන්ඩුවේ භූමිකාවක් ඉටු කිරීමට සූදානම් නමුත් ඇමතිකම් භාර ගැනීමට අදහස් නොකරමු.' යනුවෙනි. වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු හමුවීමෙන් පසු ඔහු නිවේදනය කලේ අඟහරුවාදා තම කාර්යාලයේ සිට ක්‍රියාත්මක වන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලත් ජාතික සභාවක් පිහිටුවන බවයි.

ආන්ඩුව සහ විරුද්ධ පක්ෂ සියල්ලම ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින නමුත්, තමන් මුහුන දෙන නොඉවසිය හැකි කොන්දේසි වලට කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ ප්‍රතිචාරය පිලිබඳ ව බියෙන් සිටිති.

පසුගිය මාස තුන පුරා විරුද්ධ පක්ෂ සහ වෘත්තීය සමිති මහජන මහජන නැගිටීමට වල කැපීමට සහ කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම කඩාකප්පල් කිරීමට මූලික වී ඇත. ඔවුන් සියල්ලෝ ම, වැඩකරන ජනතාව දේශපාලන සංස්ථාපිතය තුලට විලංගු දමා සමාජ අර්බුදයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් වැලැක්වීමේ මාධ්‍යයක් ලෙස සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවීමට පිටුබලය දී ඇත. 'ජාතික සභාවක්' යනු එම දේශපාලන උගුලේම ප්‍රභේදයක් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වික‍්‍රමසිංහගේ ලේවැකි මර්දන සූදානමට එරෙහිව කම්කරු පන්තියට අනතුරු අඟවයි. කම්කරුවන් හා ගොවීන් තම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂවලින් ස්වාධීන ව ක‍්‍රියාකාරී කමිටු පිහිටුවීමේ වැදගත්කම සසප අවධාරනය කර ඇත.

එහි ජූලි 20 ප්‍රකාශයේ දී, සසප, පාලක පන්තියේ න්‍යාය පත්‍රයට දේශපාලනික ව විරුද්ධ වීමට මාධ්‍යයන් සැපයීම සඳහා කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා උද්ඝෝෂනයක් දියත් කලේ ය.

එවන් සම්මේලනයක් මගින් කම්කරු පංතියට දේශපාලන මූලෝපායක් සම්පාදනය කරන අයුරු සසප ප්‍රකාශයෙන් මෙසේ පැහැදිලි කරයි:

“එහි බලවේග ශක්තිමත් කරගැනීමටත්, ගම්බද ජනයාගේ ක්‍රියාශීලී සහයෝගය දිනාගැනීමටත්, සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හරහා තමන්ගේ ම පාලනයට පදනම දැමීමටත්, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කරන කැඳවුම මගින්, කම්කරු පන්තියට දේශපාලන මූලෝපාය සම්පාදනය කරයි. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් හා ගම්බද ජනයා ගෙනයන දේශපාලන සටන වේගවත් වන තරමට, පාලක පන්තිය විසින් සූදානම් කරමින් තිබෙන විනාශයට විරුද්ධ ව කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයන්ගේ සම්මේලනයක් කැඳවනු ලැබීම ඉක්මන් වනු ඇත. මෙම සටන අතට ගැනීම අවශ්‍ය කරන සියල්ලන්ට අපි සියලු දේශපාලනික සහයෝගය සම්පාදනය කරමු.”

Loading