හිටපු මහ බැංකු අධිපතිවරයා දැඩි කප්පාදු පියවර ඉල්ලා සිටී

[මෙය Sri Lanka’s former Central Bank governor calls for tough austerity measures මැයෙන් 2022 ජූලි 26 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සති අන්තයේ වයර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව එක්කෝ අසීරු මාවතක් අනුගමනය කල යුතු යි, නැතහොත් පාතාලයට ලුහුටා යායුතු යි'. ඔහුගේ සැඳහුම් මගින් පැහැදිලි කෙරෙන්නේ, ආන්ඩුවේ කප්පාදු පියවර, වැඩකරන ජනයා දැනට මත් මුහුන දෙමින් සිටින දරුනු සමාජ අර්බුදය නාටකීයව ගැඹුරු කරනු ඇති බවයි.

2015 දී සම්මන්ත්‍රනයක් අමතන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (ඡායාරූපය: නවලෝක උසස් අධ්‍යාපන විද්‍යාලයේ ෆේස්බුක් පිටුව)

අගමැති රනිල් වික්‍රමසිංහගේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ “ජාතික සමගි” ආන්ඩුව සමයේ, 2016 සිට 2019 දක්වා මහ බැංකු අධිපති ලෙස කුමාරස්වාමි සේවය කලේ ය. එම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් නිර්දය ලෙස ක්‍රියාත්මක කල අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පලල් ව පැතිරුනු මහජන විරෝධය ගසා කමින් ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරනය ජය ගත්තේ ය.

අද දින ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය ඊට වඩා තියුනු ය. මාස තුනක මහජන විරෝධතා හා වැඩ වර්ජන, රටින් පලාගොස් ඉල්ලා අස්වීමට රාජපක්ෂට බල කලේ ය. ප්‍රවීන දක්ෂිනාංශික දේශපාලනඥයෙකු වන වික්‍රමසිංහ දැන් ජනාධිපති ලෙස ස්ථාපනය කර ඇති අතර, මුදල් ඇමතිවරයා ද ලෙස ජාමූඅ හදිසි නයක් සඳහා එය සමග සාකච්ඡා කිරීමත්, ආහාර, ඉන්ධන හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල තියුනු හිඟයන් හා ඉහල මිල ගනන් හේතුවෙන් දැනට මත් පීඩා විඳින මහජනයා මත එහි විධානයන් පැටවීමත්, ඔහුට පැවරී තිබේ.

ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමට ද වික්‍රමසිංහ අධිෂ්ටානවත් ය. හදිසි අවස්ථාවක් පැනවීමට හා “රාජ්‍ය පාලනය” ස්ථාපිත කිරීම සඳහා මිලිටරි දිගේලි කිරීමට, ඔහු දැනට මත් විධායක ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල යොදාගෙන ඇත. හදිසි නීතිය යටතේ, විරෝධතා තහනම් කිරීම, මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සහ සෝදිසි කිරීම් ආරක්ෂක හමුදාවන්ට කල හැකි ය.

2019ට සාපේක්ෂ ව, ලබන වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 8 සිට 10 දක්වා හැකිලෙනු ඇති බවත්, දල දේශීය නිෂ්පාදිතය (දදේනි) 2019 මට්ටම කරා ලඟා වීමට වසර පහක් ගතවනු ඇති බවත්, කුමාරස්වාමි අනතුරු ඇඟවී ය. මේ වසරේ ආර්ථික හැකිලීම සියයට 7ට වැඩි බවට ජාමූඅ දැනට මත් තක්සේරු කර ඇති බව ඔහු සඳහන් කලේ ය.

“වසර අවසානය වන විට, ජනගහනයෙන් අර්ධයක් උද්ධමනය හේතුවෙන් ඉහල‌ගොස් ඇති දරිද්‍රතා රේඛාවෙන් පහලට ඇදවැටිය හැකි බව දත්ත පෙන්නුම් කරන බව පෙනේ” යි වැඩකරන ජනයා මුහුන දෙනු ඇති විනාශකාරී විපාක ගැන සඳහන් කරමින් ඔහු කීවේ ය.

කුමාරස්වාමි මෙසේ කියා සිටියේ ය: “කැපකිරීම අත්‍යවශ්‍ය හා නො වැලැක්විය හැකි බව සියලුම ශ්‍රී ලාංකිකයින් පාහේ දැන් හඳුනාගන්නවා.” එහෙත්, දැරිය නො හැකි ජීවන කොන්දේසිවලට එරෙහි ව, දැනට මත් මිලියන ගනනක් වැඩ වර්ජන හා විරෝධතාවලට සහභාගි වී ඇති බව ඔහු හොඳින් ම දනී. පාලක ප්‍රභූන්ට අනතුරු අඟවමින් ඔහු තව දුරටත් මෙසේ කියා සිටියේ ය: “මෙම වේදනාව දරාගැනීමට ජනතාවට ඇති ධාරිතාවට අනුව, කැපකිරීම හා වේදනාව බෙදාහැරීමේ මාවතක් අපි සොයාගත යුතු යි.”

යතාර්ථයේ දී, ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය බංකොලොත්භාවයට මුහුන දෙමින් සිටින අතර, වැඩකරන ජනයා මත රුදුරු නව බර පැටවීම හැර එයට වෙනත් විකල්පයක් නැත. රජයට අයත් ව්‍යවසායයන් තව දුර ප්‍රතිව්‍යුහගත කිරීම හා පුද්ගලීකරනය කිරීම, මිල සහනාධාර අවසන් කිරීම, රාජ්‍ය අංශයේ රැකියා මහා පරිමානයෙන් කපා දැමීම සහ ඍජු හා වක්‍ර බදු පලල් කිරීම කල යුතු යයි ජාමූඅ ආන්ඩුවට අවධාරනය කරමින් සිටී.

මිල ගනන් අඛන්ඩ ව ඉහල නගිමින් පවතී. මේ වසරේ දී ඉන්ධන හා පිසින ගෑස්වල මිල තුන් ගුනයක් වී ඇත. ලංකා විදුලිබල මන්ඩලය මෑත දී සිය ගාස්තු වැඩි කිරීම් ඉල්ලා සිටි අතර, දුගී ම පාරිභෝගිකයන් සඳහා එහි අර්ථය වනු ඇත්තේ සියයට 800ක ගාස්තු ඉහල යාමකි. මෙම සුවිශාල මිල ඉහල දැමීම් වනාහි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මන්ඩලය සඳහා භාන්ඩාගාර අරමුදල් සම්පාදනය ආන්ඩුව විසින් නතර කිරීමෙහි ඍජු ප්‍රතිඵලයකි. වසරකට පමන පෙර පොහොර සඳහා ලබා දුන් මිල සහනාධාර නතර කරන ලද්දේ, දස ගුනයක් හෝ ඊටත් වැඩියෙන් මිල ඉහල යාම් ජනිත කරමිනි.

ලෝක ආහාර සංවිධානයට අනුව, පසුගිය මාසය වන විට, පුද්ගලයන් මිලියන 13ක් නොහොත් රටෙහි ජනගහනයෙන් තුනෙන් දෙකක් ම පාහේ, එක්කෝ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙලෙමින් හෝ ප්‍රමානවත් පෝෂ්‍යදායක ආහාර නුබුදිමින් සිටිය හ.

නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ඇටපොත්තට ම කපා දමනු ලැබෙමින් පවතින්නේ, ජනගහනයේ දුප්පත් ම කොටස්වලට වඩාත් ම අසම්පූර්න සේවාවන් ජනිත කරමිනි. සමස්තයක් ලෙස අඩකින් පමන රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය කපා දමන ලෙස ජාමූඅ ආන්ඩුවට විධානය කරමින් සිටී. රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් හා දීමනා ද කපා දැමීමට හෝ සම්පූර්නයෙන් ම නතර කර දැමීමට නියමිත ය.

ඉන්ධන හා පොදු ප්‍රවාහන සේවයේ තියුනු හිඟය නිසා, රාජ්‍ය අංශයේ සේවකයන් බහුතරයක් නිවසේ සිට වැඩකරති. වැඩට කැඳවනු ලබන්නේ “අත්‍යවශ්‍ය” කාර්යය මන්ඩල පමනි. මේ සතියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ආන්ඩුවේ ඉන්ධන සලාක ක්‍රමය සාධාරනීකරනය කරමින්, විදේශ විනිමය නැති කම හේතුවෙන් ඊලඟ මාස 12 සඳහා ඉන්ධන ආනයනයන් සීමා කරනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කන්චන විජේසේකර ට්විටර් පනිවුඩයක සඳහන් කලේ ය.

එතෙකුදු වුවත්, හිටපු මහ බැංකු අධිපතිවරයා විස්තර කල ආකාරයට, වඩා රුදුරු කප්පාදු පැටවීම හැර ආන්ඩුවට විකල්පයක් නැත. පාලක මෙන් ම විපක්ෂ සංස්ථාපිතයේ සියලු පක්ෂ, බංකොලොත් ධනපති ක්‍රමයට මුක්කුව දීම, සංගත ලාභ ආරක්ෂා කිරීම සහ රටෙහි යෝධ නය මුදල් ගෙවීම සඳහා පවතින එකම ක්‍රමය වැඩකරන ජනයා ලවා ගෙවීම බව අවධාරනය කරති.

“මෙම ඉතා පටු මාවත” ඔස්සේ ධාවනය කරනු නො ලැබීමට නම්, කම්කරු පන්තිය ඊට මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ දේශපාලන මාවතක් සකසාගත යුතු ය. වර්තමාන සමාජ අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය සම්පත් පවතින නමුත්, ඒවා පවතින්නේ ධනපති පන්තිය අතේ ය.

කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයන් සටන් වැදිය යුතු, පිලිවෙත් මාලාවක් සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ඉදිරිපත් කර ඇත. එයට පහත දැක්වෙන පිලිවෙත් ද ඇතුලත් වේ:

  • සියලු අත්‍යවශ්‍ය භාන්ඩ ද මහජනයාගේ ජීවිතවලට තීරනාත්මක අනෙකුත් සම්පත් ද, නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාත්න්‍රතවාදී පාලනය යටතට ගනු!
  • බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරමින්, බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!
  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු!
  • දුගීන් ගේ, දිලිඳු ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ නය අහෝසි කරනු!
  • ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සමගින් සියල්ලන්ට රැකියා සහතික කොට, ජීවන වියදමට අනුව වැටුප් ඉහල දමනු!

දේශපාලන සංස්ථාපිතය හා එහි පාර්ලිමේන්තුව හරහා මෙම පිලිවෙත්වලින් කිසිවක් ජයග්‍රහනය කල නො හැක.

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන උද්ඝෝෂනය ආරම්භ කරමින් ජූලි 22දා නිකුත් කල ප්‍රකාශය තුල සසප විස්තර කල පරිදි:

“ජාමූඅ කප්පාදු ක්‍රියාවට දැමීම සම්බන්ධයෙන් ද, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු ලෙස ද කුප්‍රකට වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස තෝරාගැනීම මගින්, ප්‍රතික්ෂේප කල නො හැකි ලෙස, සනාථ කෙරෙනුයේ, දේශපාලන පද්ධතිය වනාහි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ජාමූඅ හා ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තුල සිටින ඔවුන්ගේ ඒජන්තයන් විසින් මුලුමනින් ම පාලනය කරන දූෂිත හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යූහයක් බවයි.”

එම නිසා “කම්කරු පන්තිය දේශපාලන සංස්ථාපිතයේ හා ධනපති රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රනවලින් මුලුමනින් ම ස්වාධීන ව තමන්ගේ ම දේශපාලන බලයේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරගත යුතු ය.”

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සඳහා පදනම් දැමිය යුත්තේ, “සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශ හා ගම්බද ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයින් විසින් ම ය.”

එවන් දේශපාලන අරගලයක දී, තමන් මෙන් ම ජීවන තත්ත්වයන් මතට එල්ල කරනු ලබන රුදුරු ප්‍රහාරයකට මුහුන දෙමින් සිටින, ඉන්දියාවේ, සමස්ත දකුනු ආසියාවේ හා ලෝකයේ පන්ති සහෝදර සහෝදරියන් වෙතට ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය හැරීම අවශ්‍ය ය. ශ්‍රී ලංකාව තුල අර්බුදය වනාහි, කෝවිඩ්-19 වසංගතය හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය විසින් ගැඹුරු කරමින් තිබෙන ධනවාදයෙහි ගෝලීය අර්බුදයේ තියුනු ම ප්‍රකාශනය යි.

මෙම සටන සියතට ගන්නා ලෙසත්, සසපට බැඳී ඉදිරියේ එලඹෙන අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස එය ගොඩනගන ලෙසත්, අපි කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලමු.

Loading