වික්‍රමසිංහ ආන්ඩුව, අත්අඩංගුවට ගැනීම් සහ පොලිස්-රාජ්‍ය පියවර පුලුල් කරයි

[මෙය Sri Lankan government widens its arrests and police-state measures යන මැයෙන් 2022 අගෝස්තු 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කම්කරුවන් සහ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර වැඩෙන විරෝධය මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව සිය මර්දනකාරී ක්‍රියා තීව්‍ර කරමින් සිටී.

2022 මැයි 6 වන දින කොලඹ පාර්ලිමේන්තු පාරේ පොලිසිය බලමුලු ගන්වා තිබූ අයුරු

* විදුලිය සම්පාදනය, ඛනිජ තෙල් නිපැයුම් සැපයීම හා බෙදා හැරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන මර්දනකාරී අත්‍යවශ්‍ය මහජන සේවා පනත (අමසේප) දීර්ඝ කරමින් ජනාධිපතිවරයා බදාදා (03) මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.

මෙම රුදුරු පනතට අනුව, රැකියාවට නොපැමිනෙන එකී අංශවල ඕනෑම සේවකයෙකු “මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කෙටි නඩු විභාගයකින් පසු වරදකරු බවට” පත්වීමට මුහුනදෙන අතර වසර දෙකේ සිට පහ දක්වා “දැඩි සිරදඬුවම්” සහ/හෝ රුපියල් 2,000 සහ 5,000 අතර දඩයකට යටත්විය හැක.

වරදකරුවන් වූ අයගේ 'චංචල සහ නිශ්චල දේපල' රජය විසින් අත්පත් කර ගත හැකි අතර ඔහුගේ හෝ ඇයගේ නම 'වෘත්තීය හෝ රැකියා සඳහා පවත්වාගෙන යනු ලබන ඕනෑම ලේඛනයකින් ඉවත් කල හැකිය.' ඕනෑම පුද්ගලයෙකු 'ශාරීරික ක්‍රියාවකින් හෝ කිසියම් කථාවකින් හෝ ලේඛනයකින්' රැකියාවට නොපැමිනීම සඳහා 'වෙනත් ඕනෑම පුද්ගලයෙකු පෙලඹවීම, උල්පන්දම් දීම හෝ දිරිමත් කිරීම' වරදකි.

සෞඛ්‍ය, විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවලින් සමන්විත වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය, විරෝධතාකරුවන්ට එරෙහි ආන්ඩුවේ මර්දනයට එරෙහිව අගෝස්තු 9 දා එක්දින විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබියදී මෙම මර්දනකාරී පියවර ක්‍රියාත්මක වේ. දැරිය නොහැකි මිල ඉහල යාම සහ අත්‍යවශ්‍ය භාන්ඩයන්ගේ උග්‍ර හිඟය සහ වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කිරීමට වෘත්තීය සමිති මෙම තීරනය ගෙන ඇත.

*පොලිසිය බදාදා සවස, ලංකා ගුරු සංගමයේ (ලංගුසං) ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී අත්අඩංගුවට ගත්තේය. මැයි 28 වැනිදා පොලිස් මූලස්ථානය අසල විරෝධතා පාගමනක් පැවැත්වීම තහනම් කරමින් අධිකරනය පැනවූ නියෝගයක් කඩ කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බව පොලිසිය කියා සිටී. කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ, වෘත්තීය සමිති නායකයා අගෝස්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ නියෝග කලේය.

ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන සහ එහි හිටපු ශාඛා සභාපති පාලිත ඇටම්පල ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජූලි 13 වැනිදා ජනාධිපති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුලු වූ බවට ඔවුන්ට චෝදනා එල්ල විය. වෘත්තීය සමිති නායකයන් දෙදෙනාම ඊයේ ඇප මත මුදා හැරිනි.

* තවමත් ගාලුමුවදොර පිටියේ එක් කොනක වාඩි ලාගෙන සිටින ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට අද (05) සවස 5 ට පෙර එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලිසිය ඊයේ අවසාන නිවේදනයක් නිකුත් කලේය. විරෝධතාකරුවන් ඉදිරියේ ඊයේ කියවන ලද පොලිස් දැනුම්දීමෙන් ප්‍රකාශයට පත් කෙරුනේ ඔවුන් එම ප්‍රදේශය නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිටින බව සහ ඉවත් නොවුනහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුනදීමට සිදුවන බවය.

ප්‍රදේශයෙන් ඉවත් නොවන බව මාධ්‍ය සාකච්ඡාවකදී විරෝධතාකරුවන් ප්‍රකාශ කල අතර පොලිසිය බලහත්කාරයෙන් තමන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම වැලැක්වීම සඳහා ලිඛිත ආඥාවක් ඉල්ලා අධිකරන අභියාචනයක් ද ගොනු කර තිබුනි.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය අල්ලාගෙන සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා දැඩි ලෙස සන්නද්ධ සිය ගනනක පොලිස් සහ මිලිටරි කන්ඩායමක් ජුලි 22දා අලුයම ප්‍රහාරයක් දියත් කලහ. බොහෝ දෙනෙකු තුවාල ලැබූ අතර නව දෙනෙකු අත්අඩංගුවට ගැනින.

වික්‍රමසිංහ ඉවත් වන තුරු ගාලුමුවදොර පිටියෙන් ඉවත් වීම විරෝධතාකරුවන් විසින් පසුගිය සතියේ ප්‍රතික්ෂේප කෙරුනි. ගාලු මුවදොර පිටියේ ආන්ඩුව විසින් 'විරෝධතා අඩවිය' ලෙස නම් කරන ලද කොටසට ඔවුන් දැන් සීමා වී ඇත.

පසුගිය සිකුරාදා, පොලිස් කන්ඩායම් දෙකක් විසින් ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) කොලඹ කාර්යාලය දෙවරක් වැටලීමෙන් ඉක්බිතිව මෙම මර්දනකාරී පියවර ගෙන ඇත. පොලිසිය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සොයන බව පවසමින් පෙසප සාමාජිකයන්ගේ විරෝධය නොතකා හලේය.

මාධ්‍යවලට අනුව, විරෝධතා ක්‍රියාකාරීන් 100 කට වැඩි පිරිසක් දැනටමත් පොලිස් සහ හමුදා කන්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බ්‍රිතාන්‍ය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන කේලිග් ෆ්‍රේසර් ගේ නිවසට අගෝස්තු 3 වැනිදා කඩා වැදී ඇගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කර ඇත. ඇයගේ ෆේස්බුක් පිටුවෙන් ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලට සහාය දක්වන බවට පොලිසිය ඇයට චෝදනා කලේය. කෙසේ වෙතත්, මාධ්‍ය විසින් ප්‍රශ්න කල විට, නිලධාරීන් ප්‍රකාශ කලේ “ඇය ඇගේ වීසා කොන්දේසි කඩ කර තිබේද යන්න දෙපාර්තමේන්තුව තවමත් තීරනය කර නොමැති” බවයි.

සමාජවාදී සමානතා පක්ෂයට (සසප) වෘත්තීය සමිති නායකයින්, පෙසප සහ විරෝධතා සංවිධායකයින් සමග අති මූලික දේශපාලන මතභේද ඇති මුත්, අපි මෙම අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් ක්‍රියා සියල්ල එකහෙලා හෙලා දකිමු.

දැවැන්ත දුෂ්කරතා සහ පීඩාවන් නිර්මානය කරන වික්‍රමසිංහ තන්ත්‍රයේ දැඩි කප්පාදු පියවරයන් සම්බන්ධයෙන් පැන නගින සියලු විරුද්ධත්වයන්ට එරෙහිව එය වඩා පුලුල් මර්දනයක් සූදානම් කරමින් සිටින බවට සසප වැඩකරන ජනතාවට අනතුරු අඟවයි. සියලුම චෝදනා වහාම ඉවත් කර අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලෙස අපි කම්කරුවන්ට සහ ගම්බද දුගීන්ට කැඳවුම් කර සිටිමු.

පොලිස් මර්දනය සහ වත්මන් හදිසි නීතිය අවසන් කරන ලෙසත්, රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලමින් අගෝස්තු 3 දා ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුනි. වෘත්තීය සමිති හා බහුජන සංවිධානය (වෘසබසං) විසින් ඊයේ සංවිධානය කරන ලද තවත් විරෝධතාවක්, ජෝසෆ් ස්ටාලින්, අනෙකුත් වෘත්තීය සමිති නායකයින් සහ ආන්ඩු-විරෝධී විරෝධතාකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, ඉසිලිය නොහැකි ජීවන තත්වයන්ට එරෙහිව කම්කරුවන් අතර වර්ධනය වූ වැඩ වර්ජන ව්‍යාපාරය හිතාමතාම සීමා කිරීම මගින් මෙම පොලිස්-රාජ්‍ය පියවරයන්ට දොර විවර කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති දේශපාලන වගකීම දරයි. එසේ කිරීමෙන් ඔවුන් පාලක පන්තියට සිය ප්‍රති-ප්‍රහාරය සූදානම් කිරීමට අත්‍යවශ්‍ය කාලය ලබා දෙයි.

මහජන විරෝධතා මධ්‍යයේ ජුලි 13 දා රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අප්‍රේල් 28, මැයි 6 සහ ඉන්පසු මැයි 10 සහ 11 වැඩ වර්ජනවලට මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සහභාගී වූහ. වෘසබසං සහ වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය වර්ජනවල වපසරිය සහ කාලසීමාව සීමා කිරීමට ඔවුන්ට කල හැකි සියල්ල කලා පමනක් නොව, ව්‍යාපාරය පාර්ලිමේන්තු උපාමාරුවල ආවෘත අන්තයට හරවා යැවීමට ද උත්සාහ කලහ.

“අන්තර්වාර ආන්ඩුවක්” සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම, සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන විරුද්ධ පක්ෂවල ඉල්ලීමට මුලුමනින්ම අනුකූල විය. කෙසේ වෙතත්, ධනවාදයේ ගැඹුරු ආර්ථික අර්බුදය වෙනුවෙන් ගෙවීමට වැඩකරන ජනතාවට බලකිරීමේ රාජපක්ෂගේ සහ දැන් වික‍්‍රමසිංහ ආන්ඩුවේ කම්කරු පන්ති විරෝධී න්‍යාය පත‍්‍රය සමග පාර්ලිමේන්තු පක්ෂ කිසිවකට මූලික නොඑකඟතාවයක් නොමැත.

බදාදා පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද රුදුරු කප්පාදු පියවර පැනවීමේ සිය අධිෂ්ඨානය යලි අවධාරනය කලේ ය. හදිසි නීතිය පනවා පොලිස් දැලක් එලන අතරතුර, ඔහු නරුම ලෙස ප්‍රකාශ කලේ ආන්ඩුව විසින් නම් කරන ලද ස්ථානවල 'සාමකාමී විරෝධතා' වලට ඉඩ දෙන බවත් විරෝධතාකරුවන්ට තම දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට 'හදිසි දුරකතන අංකයක්' විවෘත කරන බවත්‍ය.

මෙය, ඉතා පැහැදිලිව, පොලිස්-රාජ්‍ය මර්දනය සඳහා මූනත්තහඩුවක් මිස අන් කිසිවක් නොවේ. වික‍්‍රමසිංහ තන්ත‍්‍රය සියලු විරුද්ධත්වයට එරෙහිව පූර්න-පරිමාන මර්දනයක් දියත් කර නොමැති නම්, ඒ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ විරෝධයේ පුපුරා යාමක් ගැන පාලක පන්තිය අතිශයින් බියපත්ව සිටින නිසා පමනි. වික්‍රමසිංහ, සටන්කාමී විරෝධතාකරුවන් 'ෆැසිස්ට්වාදීන්' ලෙස හෙලා දකිමින්, වඩාත් ම්ලේච්ඡ පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග සඳහා සූදානම් වෙමින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා තත්වය පරීක්ෂා කරමින් සිටී.

ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාවට නැංවිය නොහැකි ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට 'විරුද්ධ පක්ෂ' ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයම පිටුබලය දෙයි. කම්කරුවන් අත්‍යවශ්‍ය නිගමනයකට එලඹිය යුතුය: ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා වන අරගලය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ධනවාදය අහෝසි කිරීමේ අරගලය සමග මුලුමනින්ම බැඳී ඇත.

සසප ඉල්ලා සිටින්නේ:

ආන්ඩුවට එරෙහි අරගලයේදී අත්අඩංගුවට ගත් සියලු දෙනා නිදහස් කරනු!

අත්‍යවශ්‍ය මහජන සේවා පනත අහෝසි කරනු!

හදිසි නීති රෙගුලාසි ඉවත් කරනු!

මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට, සියලු ධනේශ්වර පක්ෂවලින්, ඔවුන්ගේ වෘත්තීය සමිතිවලින් සහ ව්‍යාජ-වාම ඒජන්තයන්ගෙන් සම්පූර්නයෙන්ම ස්වාධීනව, සෑම වැඩබිමකම, වතුකරයේ, තදාසන්න ප්‍රදේශයක, නගරයක සහ ගමකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු. සසප මෙම ක්‍රියාකාරී කමිටු පදනම මත, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට “කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා උද්ඝෝෂනය කරයි.

පාලක පන්තිය තම දේපල හා ලාභය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩකරන ජනතාව විසින් කැපකිරීම් ඉල්ලා සිටියි. සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදාහැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී මහජන පාලනය යටතේ බැංකු, ප්‍රධාන සංගත සහ වතු ජනසතු කිරීම, බිලියනපතියන්ගේ දැවැන්ත ධනය අත්පත් කර ගැනීම සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම ඇතුලු මහජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලීමේ පියවර සසප ඉල්ලා සිටී.

ක්‍රියාකාරී කමිටුවලට සම්බන්ධ වී මෙම අත්‍යවශ්‍ය පියවර සඳහා සටන ආරම්භ කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ සමඟම වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ වෙමු. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, කම්කරු පන්තියට ග්‍රාමීය ජනතාව තම පසට පෙලගස්වා ගත හැකි අතර ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන සටනේ අනිවාර්ය අංගයක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දැමිය හැකිය.

Loading