කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන් කෘතහස්ත ට්‍රොට්ස්කිවාදී විජේ ඩයස්ගේ ජීවිතකාලීන අරගලයට ආචාර කරති

[මෙය Workers, youth and intellectuals hail the lifelong struggle of veteran Trotskyist Wije Dias යන මැයෙන් 2022 අගෝස්තු 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති විජේ ඩයස් පිලිබඳ කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන් දැක්වූ අදහස් පහතින් පලකර ඇත. ඩයස්, ඔහුගේ 81 වැනි උපන්දිනයට මාසයකට පෙර එනම් ජූලි 27 වැනිදා උදෑසන දරුනු හෘදයාබාධයකින් මිය ගියේය.

බ්‍රහස්පතින්දා සිට අවමංගල්‍ය උත්සවය පැවැති සෙනසුරාදා දිනය දක්වා ඔහුගේ දේහය කොලඹ 'ජයරත්න රෙස්පෙක්ට් හෝම්' අවමංගල ශාලාවේ තැන්පත් කර තිබූ අතර, එහිදී මෙම කෘතහස්ත ට්‍රොට්ස්කිවාදියාට දහස් ගනන් ගෞරව දැක්වූහ. මෙම ප්‍රකාශවලින් සමහරක් සසප ෆේස්බුක් පිටුවේ වීඩියෝ ලෙස පල කර ඇත. අනෙක් ඒවා ශෝක පනිවුඩ පොතෙන් සහ අවමංගල්‍යයේ සජීවී ෆේස්බුක් විකාශනය අතරතුර ලැබුනු කමෙන්ටු වලින් ලබාගෙන ඇත.

කාන්දීපන්, සරත් කුමාර, රත්නසිරි අරංගල

සසප සාමාජිකයෙක් සහ වතුකරයේ කම්කරුවෙක් වන කේ. කාන්දීපන්:

විජේ ඩයස් සහෝදරයාගේ වියෝව කම්කරු පන්තියට විශාල පාඩුවකි. විශේෂයෙන් වතුකරයේ කම්කරුවෙකු ලෙස, වතුකරයේ ක්‍රියාකාරී කමිටු සඳහා සහ වෘත්තීය සමිතිවල ග්‍රහනයට එරෙහිව පක්ෂයේ සටනට නායකත්වය දුන් විජේ සහෝදරයාගේ බලවත් මැදිහත්වීම මම අත්දැක්කෙමි. දෙමල හා සිංහල කම්කරු පන්තිය එක්සත් කිරීමේ වැදගත්කමත් එසේම කලාපීයව හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය සමග එක්සත් විය යුතු බවත් ඔහු සෑම විටම අවධාරනය කලේය.

ඔහු කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකට යොමු කිරීමේ අරගලයට දායක විය. උදාහරනයක් ලෙස, සසප මෑතකදී ඕල්ටන්, කටුකැලේ සහ වැලිඔය වතු කම්කරුවන්ගේ අරගලවලට මැදිහත් වූ අතර ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඔවුන්ට මග පෙන්වීය.

සසප හිතවතෙකු සහ මැද පෙරදිග කම්කරුවෙකු වන සරත් කුමාර:

විජේ ඩයස් සහෝදරයාගේ වියෝව ගැන දැනගත්තේ මම සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ය, ඔහුට උපහාර දැක්වීමට ශ්‍රී ලංකාවට පැමිනියෙමි. ඔහුගේ වියෝව පිලිබඳ පුවත මා තුල කෙතරම් කම්පනයක් ඇති කලේද යත්, මගේ ශරීරයේ කොටසක් අහිමි වී ඇති බවක් මට දැනුනි. ඔහුගේ දේශන, අදහස් සහ පැහැදිලි කිරීම් සහ ප්‍රශ්නවලට ඔහුගේ ප්‍රවේශයත් ඔහුගේ මාක්ස්වාදී විධික්‍රමයත් අපව පක්ෂයට ආකර්ෂනය කල දේවල් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නසිරි අරංගල:

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදය ආරක්ෂා කිරීම සඳහා සටන් කල ජ්‍යෙෂ්ඨතම නායකයකු අපට අහිමි වී ඇත. ඔහු, ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් නමුත් පසුව ශ්‍රී ලංකාවේ ධනේශ්වර ආන්ඩුව සමග සභාගයක් පිහිටුවා ගත් ලසසපයේ පාවාදීමට එරෙහිව දේශපාලන අරගලයක් ඉදිරියට ගෙන ගිය ධෛර්ය සම්පන්න අතලොස්සෙන් කෙනෙකි.

නොනවතින විප්ලව න්‍යායේ පදනම මත ගොඩනැගුනු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) කම්කරු පන්තියේ පන්ති විඥානය වර්ධනය කිරීමේ දැවැන්ත කාර්යයක් ඉටු කර ඇති බව මගේ විශ්වාසයයි. තියුනු දේශපාලන විශ්ලේෂනයක් තුලින් ජවිපෙහි පන්ති ස්වභාවය හෙලිදරව් කිරීමට විකොස සමත් විය. ජවිපෙ ගැන එවැනි නිවැරදි මාක්ස්වාදී විග්‍රහයක් මෙතෙක් ලියැවී නැත.

විජේ සහෝදරයාගේ මග පෙන්වීම අහිමි වීම අපට විශාල පාඩුවක් වුවද, ශ්‍රී ලංකාව තුල මෙතරම් දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මානය වී ඇති අවස්ථාවක, ඔහු නායකත්වය දුන් සසප ඔහුගේ සටන ඉදිරියට ගෙන යනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

අවන්ත ආටිගල, උපාලි කරුනාරත්න, සුරේඛා සමරසේන

ප්‍රමුඛ පෙලේ කාටූන් ශිල්පයෙකු වන අවන්ත ආටිගල:

ශ්‍රී ලංකාව තුල පැන නැගී ඇති වත්මන් පන්ති අරගලය තුල තීරනාත්මක දේශපාලන මැදිහත්වීමක නිරතව සිටි සසපයේ ඇත්දැකීම් බහුලම නායකයා අහිමි වීම අපට බලවත් පාඩුවකි. ඔහුට මගේ විප්ලවීය උපහාරය පුදකරන අතරම අනෙකුත් සියලුම ව්‍යාපාර මෙම අර්බුදය ජාතික වශයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරද්දී සසප පමනක් මෙම අර්බුදය ජාත්‍යන්තර සන්දර්භයක් තුල විශ්ලේෂනය කර ඇති බව විශේෂයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. විජේ ඩයස් ගේ වියෝව සිදුවූයේ මෙම විග්‍රහය පුලුල් කිරීමට සහ මෙම අරගල නිවැරදි මාවතක ඉදිරියට ගෙන යාමට අවශ්‍ය න්‍යායික සහ දේශපාලන මගපෙන්වීම ලබාදීමට ඔහු අප සමඟ සිටිය යුතුම අවස්ථාවකදීය.

සසප ආධාරකරුවෙකු වන උපාලි කරුනාරත්න:

විජේ සහෝදරයා: සූරාකන්නන් අතලොස්සක් විසින් දරිද්‍රතාවයට හා දුකට ඇද දැමූ ලෝකවාසී ජනතාව වෙනුවෙන් යහපත් ජීවිතයක් දිනා දීමට ඔබේ ජීවිතය සම්පූර්නයෙන්ම කැප කිරීම විශිෂ්ඨ කරුනකි. ඔබ මනුෂ්‍ය වර්ගයාට කල සේවය අපමනයි. එවැනි විප්ලවවාදියෙකුගේ වියෝව අපට දරාගන්න අමාරුයි. ඔබ බලාපොරොත්තු වූ සහ වෙහෙස මහන්සි වී වැඩ කල ලෝකය ගොඩනඟන බවට අපි දිවුරන්නෙමු. ඔබට මගේ ගෞරවනීය, විප්ලවීය ආචාරය.

සුරේඛා සමරසේන කතුවරිය:

විජේ ඩයස් වැනි ට්‍රොට්ස්කිවාදීන් පැවසූ දේවල් වෙන කවරදාටත් වඩා සත්‍ය වන විටම ඔහු අපෙන් සමුගත්තේය. ඔහු අපේ පරම්පරාවට ආදර්ශයකි. අපේ වැඩිහිටි පරම්පරාවත් විජේගෙන් ඉගෙනගෙන තියෙනවා. පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමෙන් සමාජවාදී මූලධර්මවල හරය පාවා නොදුන් පුද්ගලයෙකු ලෙසයි මේ දීර්ඝ කාලය පුරාවටම අපි ඔහුව හඳුනා ගත්තේ.

ඔහු නායකත්වය දුන් වැඩපිලිවෙලක් තිබේ. හතරවැනි ජාත්‍යන්තරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා ඔහු සිය වැඩිහිටි ජීවිතයම කැප කල බව අපි දනිමු. එබැවින්, මම ඔහුට මෙහි ආචාර කිරීමට කැමැත්තෙමි, ඔහුගේ පොත්, ඔහුගේ අදහස් සහ ඔහුගේ දර්ශනය අධ්‍යයනය කිරීමට තරුන පරම්පරාවට ආරාධනා කිරීමටද කැමැත්තෙමි.

චමින්ද හෙට්ටිආරච්චි, ප්‍රදීප් කන්ඩම්බි, ලක්මාල් පෙරේරා

සසප ආධාරකරුවෙකු වන චමින්ද හෙට්ටිආරච්චි:

විජේ සහෝදරයාට මගේ විප්ලවීය ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. මම 1991 සිට 1995 දක්වා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකුව සිටියදී, විකොස බලපෑම යටතේ විප්ලවවාදී දේශපාලනයේ යෙදී සිටියෙමි. විජේ සහෝදරයාගේ දේශපාලන දීප්තිය මම මුලින්ම දුටුවේ එකලදී.

මෑතකදී මට ඔහුව හමුවීමට නොහැකි වුවද, ඔහුගේ පෞරුෂය සහ දේශපාලනය මට දැඩි ලෙස බලපෑවේය. නිදසුනක් වශයෙන්, ඔවුන් ජනප්‍රිය වුවද, ජාතිකවාදයේ පීඩනයන් මධ්‍යයේ ජාත්‍යන්තරවාදියෙකු ලෙස රැඳී සිටීම; සුලු ජාතීන්ට වෙනස් කොට සැලකීමට විරුද්ධ වීම; සහ විද්‍යාත්මක වෛෂයික ආකාරයෙන් දේවල් තක්සේරු කිරීම. ඔහුගේ චරිතයෙන් ආභාෂය ලබා, මම ගොඩනඟා ගැනීමට උත්සාහ කරන ලක්ෂන මේවාය. ඒ ගැන මම විජේ සහෝදරයාට ස්තුතිවන්ත විය යුතුයි.

සසප හිතවතෙකු වන ප්‍රදීප් කන්ඩම්බි:

1952-53 දක්වා ලංකා සමසමාජ පක්ෂය (ලසසප) පියවරෙන් පියවර සමාජවාදය පාවා දුන්නේය. විජේ ඩයස් සහෝදරයා ඒ පාවාදීමට එරෙහි සටනේ පුරෝගාමියෙක්. ඊනියා වාමාංශිකයින් සහ ගාලුමුවදොර අරගලයේ නායකයින් පවා විජේ වැනි සහෝදරවරුන්ගේ නායකත්වයෙන් විකොස සහ සසප විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිදර්ශනය ආසන්නයටවත් පැමින නැත.

ධනවාදය දැවැන්ත අර්බුදකාරී කාල පරිච්ඡේදයකට අවතීර්න වී ඇති බවත් එහි සැබෑ මූලයන් කම්කරු පන්තියට වැටහෙන්නේ නම් ශ්‍රී ලංකාවේ කම්කරු ආන්ඩුවක් පිහිටුවීමට ඔවුන්ට ඉදිරියට යා හැකි බවත් විජේ සහෝදරයා පැහැදිලි කරමින් සිටියේය. ඒ සඳහා කම්කරුවන්ට කම්කරු පන්තිය ධනේශ්වර ආන්ඩුවලට යටත් කිරීමට උත්සාහ කරන ව්‍යාජ වම්මුන්ගෙන් සහ වෘත්තීය සමිතිවලින් ඔවුන්ගේ සාම්ප්‍රදායික නායකත්වයෙන් බිඳී යාමට සිදු වේ. විජේ සහෝදරයා තම සම්පූර්න ශක්තිය යොදවා කම්කරු පන්තිය මේ ගැන දැනුවත් කලේය.

ඔහු සහ ඔහුගේ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන විද්‍යාත්මක සමාජවාදය තේරුම් ගන්නා ලෙස මම තරුනයින්ට ආයාචනා කිරීමට කැමැත්තෙමි.

හඩ්ස් රොඩ්සි ෆේස්බුක් හි මෙසේ අදහස් දැක්වා තිබුනි:

විජේ සහෝදරයා අපූරු මිනිසෙක් වූ අතර ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් දැඩි සටන්කාමියෙක් විය. ඔහුගේ උරුමය මැනිය නොහැකිය, කම්කරු පරම්පරාවන් ඔහුගේ නම දැන ගනු ඇත. ඉමහත් ගෞරවයෙන් හා බහුමානයෙන්, ඔහුගේ සහෝදරයින්ට සහ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරමි, ලෝක සමාජවාදී විප්ලවය කරා පෙරට යමු.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්මාල් පෙරේරා:

ශ්‍රී ලංකාවේ මෑත කාලීන අරගල අතරතුර මා සසප හඳුනාගත් පසු විජේ සහෝදරයාගේ දේශපාලන මැදිහත්වීම අධ්‍යයනය කිරීමට මට අවස්ථාව ලැබුනි. ගාලුමුවදොර පිටියේ පැවති විරෝධතාවයේදී මම සසප උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කල අතර එහි දේශපාලනයට ආකර්ෂනය වීමි.

විජේ ඩයස් සහෝදරයා වසර 60 ක් තිස්සේ ධනේශ්වර පාලනයේ කුනු වූ ස්වභාවය පැහැදිලි කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. ඔහු කම්කරු පන්තියේ පක්ෂයක් ගොඩනැගීමේ අරමුනින් පොත් ලිවීය, පරිවර්තනය කලේය, දේශන පැවැත්වීය.

සසප විසින් වර්ධනය කරන ලද ඉදිරිදර්ශනය අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙමි. එය ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් සැබෑ ක්‍රම වෙනසක් සඳහා වූ වැඩපිලිවලකි. ධනවාදයේ ස්වභාවය පිලිබඳව විජේ සහෝදරයාගේ පැහැදිලි සහ නිවැරදි පැහැදිලි කිරීම් එම වැඩපිලිවෙලට විශාල ශක්තියක් වූ අතර මේ තීරනාත්මක මොහොතේ ඔහුගේ නික්මයාම අප සමාජයට විශාල පාඩුවකි.

සසප සාමාජිකාවක වන අයිරාංගනී:

1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු සසපට බැඳුනු කන්ඩායමට මම ද අයත් වෙමි. ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ සටනෙන් උකහාගත් පාඩම් මත පදනම්ව විජේ සහෝදරයාගේ මග පෙන්වීමෙන් විකොස ශක්තිමත් වූ ආකාරය මම දුටුවෙමි. 'ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්' ගොඩනැගීමට මුලපිරීමේ දී පක්ෂයට ඒ හා සමාන න්‍යායික හා දේශපාලන ශක්තියක් සැපයීමට ඔහු ක්‍රියා කරන මොහොතේම ඔහු අපෙන් සමුගත්තේය.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත අගනුවර වන චෙන්නායි සිට තිලකා:

විජේ ඩයස් සහෝදරයා ජුලි 27 උදේ හෘදයාබාධයකින් මියගිය බව ඇසූ විට මට මහත් ශෝකයක් ඇති විය. සියලුම සසප සහෝදරවරුන්ට සහ විජේ ඩයස් සහෝදරයාගේ පවුලේ සාමාජිකයින්ට කරුනාකර මගේ හදපිරි ශෝකය ප්‍රකාශ කරන්න. මීට වසර 25 කට පමන පෙර විජේ ඩයස් සහෝදරයා චෙන්නායි නුවර රැස්වීමක් අමතද්දී මම දුටුවෙමි. ඔහුගේ ප්‍රබල කථාව මා දිරිමත් කලේය. ට්‍රොට්ස්කිවාදයට මා වඩාත් ආකර්ෂනය විය. විජේ ඩයස් සහෝදරයාගේ මතකය මම අගය කරමි.

Loading