ශ්‍රී ලංකා ආන්ඩුව දෙමල සහ මුස්ලිම් කන්ඩායම් සහ පුද්ගලයින් තහනම් කිරීම දිගටම කරගෙන යයි

[මෙය Sri Lankan government continues proscription of Tamil and Muslim groups and individuals යන මැයෙන් 2022 අගෝස්තු 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, නිල තහනම් ලැයිස්තුවෙන් සංවිධාන 6 ක් සහ පුද්ගලයන් 316 ක් ඉවත් කර, කන්ඩායම් 3 ක් සහ පුද්ගලයන් 55 ක් අලුතෙන් ඇතුලත් කර තිබේ. දැන් එම තහනම් ලැයිස්තුවේ 255 ක් ඉතිරිව ඇත.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

කිසිදු සාක්ෂියක් හෝ නිශ්චිත තොරතුරක් සම්පාදනය නොකරමින්, 'ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්' හෝ 'ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම' පදනම් කරගෙන, අගෝස්තු 1 දා විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම පියවර ප්‍රකාශයට පත් කරන ලදී.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, දෙමල පුනරුත්ථාපන සංවිධානය (ටීආර්ඕ), දෙමල ඊලම් අන්තර් ජාතික ආන්ඩුව (ටීජීටීඊ) සහ ජාතික තව්හීද් ජමාත් (එන්ටීජේ) ලැයිස්තුවේ තවදුරටත් පවතින අතර, දාරුල් අදාර් හෙවත් ජමියුල් අදාර් මුස්ලිම් පල්ලිය අලුතින් එකතු කරන ලද සංවිධාන අතරට ඇතුලත් වෙයි.

1979 දී පනවන ලද කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ මෙම සංවිධාන තහනම් කර ඇත. මෙම නීති සම්පාදනය මගින් පොලිසියට සහ ආරක්ෂක අංශවලට, අත්තනෝමතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ චෝදනාවකින් තොරව රඳවා තබා ගැනීමටත් වධහිංසා පැමිනවීම් යටතේ ලබාගත් පාපොච්චාරන අධිකරනයේ සාක්ෂි ලෙස භාවිතා කිරීමටත් පුලුල් බලතල සම්පාදනය කරයි.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට නීත්‍යානුකූල භාවය ලබාදෙනුවස් එක්සත් ජාතීන්ගේ 2012 රෙගුලාසි වලට අනුව සකස් කරන ලද දේශීය රෙගුලාසියක් යටතේ 2012 සිට අනුප්‍රාප්තික ආන්ඩු විසින් තහනම් ලැයිස්තු පවත්වාගෙන යනු ලැබේ.

දෙමල සහ මුස්ලිම් කන්ඩායම් නොකඩවා තහනම් කිරීම, රටේ පීඩිත සුලු ජාතීන්ට එරෙහිව සිංහල ස්වෝත්තමවාදය අවුලුවාලීම සහ වෙනස් කොට සැලකීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙන යන උත්සාහයේ කොටසකි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහජන විරෝධයට මුහුන දෙන, අර්බුදයෙන් වෙලුනු වික‍්‍රමසිංහ තන්ත‍්‍රය, වාර්ගික ආතතීන් පවත්වාගෙන යාමට සහ මර්දනකාරී පියවර ගැඹුරු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

තහනම් කල අය අතරට තරුන මුස්ලිම් කවියෙකු වන අහනාෆ් ජසීම් ඇතුලත් කිරීම උදාහරනයකි. ඔහු 2020 මුලදී අත්අඩංගුවට ගෙන ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බොරු චෝදනා මත සිරගත කරන ලදී.

ව්‍යාජ චෝදනා මත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි මානව හිමිකම් නීතීඥ හෙජාස් හිස්බුල්ලාට එරෙහිව අපරාධාරෝපිත ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයේදී ජසීම් වධ හිංසාවට ලක් කර තිබේ. ජසීම් 2021 දෙසැම්බරයේ ඇප මත මුදා හරින ලද මුත් ඉදිරියේදී පැවැත්වෙන උසාවියේ නඩු විභාගයක් තෙක් හමුදා බුද්ධි අංශවල නිරීක්ෂනය යටතේ සිටී.

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිල නිදහස ලැබීමේ සිට කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට පාලක පන්තිය විසින් දෙමල විරෝධී වාර්ගික වෙනස්කම් කිරීම් ප්‍රවර්ධනය කර ඇත. කොලඹ සංස්ථාපිතය 1983 දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ඇවිලවූ ලේවැකි වාර්ගික යුද්ධය වසර 26 ක් පුරා පැවතුනි.

යුද්ධයේ අවසන් සතිවල සිදුකල කුරිරු සංහාරයකින් පසු 2009 මැයි මාසයේදී එල්ටීටීඊය පරාජයට පත් විය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය වූ අතර තවත් සිය ගනනක් අතුරුදහන් විය.

අයිඑස්අයිඑස් විසින් පිටුබලය ලබන දේශීය ඉස්ලාමීය කන්ඩායමක් විසින් එල්ල කරන ලද 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, කම්කරුවන් සහ දුගීන් අතර වැඩෙන විරෝධය මධ්‍යයේ, මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීම සඳහා එවකට පැවති ආන්ඩුව විසින් දේශපාලනිකව ගසාකන ලදී. “පලමුව ජාතික ආරක්ෂාව” යන සටන් පාඨය යටතේ ගෝඨාභය රාජපක්ෂ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සිය ජනාධිපතිවරන ව්‍යාපාරය සඳහා යොදා ගත්තේය.

කොවිඩ්-19 වසංගතය විසින් ආර්ථික අර්බුදයක් සහ වැඩෙන සමාජ විරෝධයක් අවුලුවාලද්දී, රාජපක්ෂ මුස්ලිම් විරෝධී ව්‍යාපාරය තීව්‍ර කරමින් තවත් සංවිධාන සහ පුද්ගලයින් තහනම් කිරීමට පටන් ගත්තේය. 2021 මාර්තු මාසයේදී ඔහු මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ (ප්‍රචන්ඩ අන්තවාදී ආගමික මතවාදය දැරීමෙන් සිදුවන රැඩිකලීකරනය නැවැත්වීමට) රෙගුලාසි ප්‍රකාශයට පත් කලේය.

වික්‍රමසිංහගේ ආන්ඩුව දෙමල සංවිධාන හයක් සහ පුද්ගලයන් 316 ක් ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. එම සංවිධානවලට ගෝලීය දෙමල සංසදය (ජීටීඑෆ්), බ්‍රිතාන්‍ය දෙමල සංසදය සහ කැනේඩියානු දෙමල කොංග්‍රසය යන ප්‍රධාන දෙමල ඩයස්පෝරා කන්ඩායම් ඇතුලත් වේ.

මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සැලකීම සමග කිසිදු සම්බන්ධයක් නැත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිලිබඳව සාකච්ඡා කෙරෙන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) ඉදිරි රැස්වීම පිලිබඳව ආන්ඩුව අවධානයෙන් සිටී.

සර්ව පාක්ෂික ආන්ඩුවක් සඳහා වන තම යෝජනාවට දෙමල පාර්ලිමේන්තු පක්ෂ පෙලගස්වා ගැනීමට ද වික්‍රමසිංහ උනන්දු වෙයි. ඔහු උත්සාහ කරන්නේ, වැඩකරන ජනතාවට එරෙහි පූර්න පරිමාන පන්ති යුද්ධයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු නියෝග ක්‍රියාවට නැංවීම සඳහා සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතයම ඒකාග්‍ර කර ගැනීමට ය.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ දෙමල ජනතා ජාතික සන්ධානය (ටීපීඑන්ඒ) වැනි දෙමල පක්ෂවල නායකයින් මෙම සංවිධාන සහ පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සාදරයෙන් පිලිගත්හ. ඔවුන් දැනටමත් සර්ව පාක්ෂික ආන්ඩුවකට සහය දීමට ප්‍රතිපත්තිමය වශයෙන් කැමැත්ත පල කර ඇත.

“ජිනීවාවලට පෙන්වීම සඳහා, යාපනයේ මන්ත්‍රීවරුන් බා ගනිමින් තම ආන්ඩුවේ කොටසක් කර ගැනීමට වික්‍රමසිංහ ඉක්මන් වන බවක් පෙනෙන්නට තිබේ” යැයි ටීපීඑන්ඒ නායක සී.වී.විග්නේෂ්වරන් පැවසීය. “ඩයස්පෝරාවෙන් රට තුලට මුදල් ගෙන යා හැකි ආකාරය පිලිබඳ යෝජනාවක් ගෙනහැර දක්වන ලියවිල්ලක් තමා සමග හුවමාරු කර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූ බව” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

තමන් සහ අනෙකුත් දෙමල ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සාදරයෙන් පිලිගන්නා ප්‍රකාශයක් නිකුත් කරමින් ජීටීඑෆ් කියා සිටියේ, 'එය වැඩි දියුනු වන වාර්ගික සබඳතා සහ ආර්ථික ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා වැදගත් පියවරක් වන' බව යි.

විපක්ෂ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, 'ජාත්‍යන්තර ප්‍රජාව එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව දෙස හිතකර ලෙස බලනු ඇත' යනුවෙන් පවසමින්, ලැයිස්තුවෙන් ඉවත් කිරීම් සම්බන්ධයෙන් වික්‍රමසිංහට ප්‍රශංසා කලේය. ආයෝජන ලබා ගැනීම සඳහා ආන්ඩුව වෙනුවෙන් ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට පහසුකම් සැලසීමට ඔහු ඉදිරිපත් විය.

ලැයිස්තුවෙන් ඉවත් කිරීම් ගැන සිංහල ස්වෝත්තමවාදීන් කනස්සල්ල පල කර ඇත. මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුනේ ප්‍රකාශකයෙකු, මෙම ඉවත් කිරීම් තීරනය කර ඇත්තේ කුමන පදනමක් මතද යන්න සහ මෙම සංවිධානවලින් ත්‍රස්තවාදී තර්ජනයක් පවතින්නේද යන්න ගැන විමසා සිටියේ ය.

දක්‍ෂිනාංශික අයිලන්ඩ් පුවත්පතේ ඊයේ කතුවැකිය මෙසේ පැවසීය: 'තම ආශිර්වාදය සහිතව ජනාධිපති වික්‍රමසිංහ තෝරා පත් කරගත් ශ්‍රීලංපොපෙ, ප්‍රශ්නයට බඳුන්ව ඇති ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිලිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කල යුතුය.' පුවත්පත උත්සාහ කරන්නේ වර්ගවාදී ප්‍රචාරනය ඉහල නැංවීම සඳහා ප්‍රශ්නය යොදා ගැනීමට ය.

කම්කරු පන්තිය සියලු ආකාරයේ වර්ගවාදයන් සහ කම්කරු පන්තිය බෙදීම ඉලක්ක කරගත් බිය ගැන්වීම් ප්‍රතික්ෂේප කල යුතුය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) දෙමල හා මුස්ලිම් සංවිධාන සහ පුද්ගලයන් තහනම් කිරීමට විරුද්ධ වේ.

සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) කම්කරු පන්තිය වාර්ගික රේඛා හරහා එක්සත් කිරීමට සටන් කිරීමේ දීර්ඝ වාර්තාවක් ඇත. සසප/විකොස, දිවයිනේ උතුරු හා නැගෙනහිරින් ශ්‍රී ලංකා මිලිටරිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් වාර්ගික යුද්ධයට අඛන්ඩව විරුද්ධ විය.

දැවැන්ත දේශපාලන අර්බුදයක් සහ මහජන විරෝධයක් යටතේ වෙවුලුම් කා සිටින පාලක පන්තිය නැවත වරක් වර්ගවාදය අවුලුවාලීමට උත්සාහ කරයි. සසප, අර්බුදග්‍රස්ථ පාලක පන්තියේ නිර්දය ප්‍රහාරයට එරෙහිව පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් වහා ගොඩනැගීම සඳහා, ගම්බද ජනතාව රැලිකර ගනිමින්, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට සටන් කරයි.

අගෝස්තු 7 දා සසප ප්‍රකාශය මෙසේ කියා සිටී: “වැඩකරන ජනතාව බෙදීමට සහ ධනවාදය විසින් නිර්මානය කරන ලද අර්බුදවලට සමාජවාදී විසඳුමක් සඳහා වන සටන දුර්වල කිරීමට පාලක පන්තිය විසින් යලි යලිත් භාවිතා කර ඇති සිංහල ස්වෝත්තමවාදය හෝ දෙමල වර්ගවාදය ඇවිලවීමේ ඕනෑම උත්සාහයකට දැඩි ලෙස විරුද්ධ වන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කර සිටී.'

Loading