ඉදිරිදර්ශන

මංමුලා සහගත බව, මුලාව සහ සැහැසිකම: යුක්‍රේන යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් ඇවිල වීමේ අන්තරාය මතු කරයි

[මෙය Desperation, delusion, and recklessness: The war in Ukraine threatens to go nuclear මැයෙන් 2022 සැප්තැම්බර් 22 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව මාස හතක් පැවති එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ නව, භයානක අවධියක් සනිටුහන් කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බදාදා, 300,000 ක පමන අතිරේක බලකායක් සේවයට කැඳවමින් පාර්ශ්වීය රුසියානු මිලිටරි බලමුලු ගැන්වීමක් නිවේදනය කලේ ය.

“රුසියාවට එරෙහිව ජන සංහාරක ආයුධ—න්‍යෂ්ටික අවි—භාවිතා කිරීමේ හැකියාව සහ පිලිගත හැකි බව පිලිබඳ ව ප්‍රමුඛ නේටෝ රටවල සමහර ඉහල පෙලේ නියෝජිතයන් විසින් කරන ලද ප්‍රකාශයන් ගැන සඳහන් කරමින්” පුටින් මෙසේ පැවසී ය:

“රුසියාව සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ කරන අයට අපේ රටේත් විවිධ මාදිලියේ අවි තිබෙන බවත්, සමහර ඒවා නේටෝ රටවල තිබෙන ආයුධවලට වඩා නවීන බවත් මතක් කර දෙන්න [අපි] කැමැත්තෙමු. අපේ රටේ භෞමික අඛන්ඩතාවයට තර්ජනයක් වන අවස්ථාවකදී රුසියාව සහ අපගේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා, අපි නිසැක ව ම අප සතු සියලු ම ආයුධ පද්ධති භාවිතා කරන්නෙමු. මෙය කයිවාරුවක් නොවෙයි.”

“අපට ඇති සියලුම ආයුධ පද්ධති” පිලිබඳ සඳහන වැරදීමකින් කල එකක් නොවේ. පුටින් තර්ජනය කරන්නේ න්‍යෂ්ටික යුද්ධයක් ගැනයි.

රුසියානු සර්මාට් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය, සිකුරාදා, වයඹදිග රුසියාවේ ප්ලෙසෙට්ස්ක් මිසයිල දියත් කරන වේදිකාවේ අත්හදා බැලීම් දියත් කිරීමක් කරන අතරතුර පුපුරා ගියේ ය. (ඒපී හරහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය සේවය)

පුටින් සිය කතාවේ දී මෙසේ ද සඳහන් කලේ ය: “මෙම බටහිර පාර්ශ්වයේ ඉලක්කය අපේ රට දුර්වල කිරීම, බෙදීම සහ අවසානයේ විනාශ කිරීමයි. ඔවුන් දැන් විවෘත ව ම පවසන්නේ 1991 දී සෝවියට් සංගමය බෙදා වෙන් කිරීමට තමන් සමත් වූ බවත්, දැන් රුසියාව එකිනෙකා සමඟ මාරාන්තික ආරවුල් ඇති කලාප ගනනාවකට බෙදිය යුතු කාලය දැන් පැමින ඇති බවත් ය”

නේටෝව, “යුක්‍රේන ජනතාව, යුද්ධයේ දී බිල්ලට දියයුතු සෙබලුන් බවට පත් කර ඔවුන් රුසියාව සමඟ යුද්ධයකට තල්ලු කල” බව ඔහු කියා සිටියේ ය. “නැටෝ ප්‍රමිතීන්ට අනුකූල ව පුහුනු කරනු ලබන” යුක්‍රේන මිලිටරියට “බටහිර උපදේශකයින්ගෙන් නියෝග ලැබෙන” බව පැවසූ ඔහු, “අද අපේ සන්නද්ධ හමුදා” සටන් වදිමින් සිටින්නේ “බටහිර සමස්ත මිලිටරි යන්තරයේ එකතුවකට” එරෙහි ව යයි කියා සිටියේ ය.

සමස්තයක් ලෙස ගත් කල, එක්සත් ජනපදයේ සහ එහි නැටෝ සගයින්ගේ අරමුනු පිලිබඳ පුටින් කරන විස්තරය නිවැරදි ය. යුක්‍රේන මිලිටරිය නැටෝවේ පූර්න අනුබද්ධිත ආයතනයක් බවට පරිවර්තනය කර ඇත. රුසියාව අස්ථාවර කිරීම සහ අවසාන වශයෙන් බෙදා වෙන් කිරීමේ අරමුන ඇති ව එක්සත් ජනපදය එය [යුක්‍රේන මිලිටරිය] සෘජු ව ම පුහුනු කරමින්, නායකත්වය දෙමින් සහ සන්නද්ධ කරමින් සිටී.

රුසියානු භූමිය තුලට පහර දිය හැකි දිගු දුර මිසයිල යුක්‍රේනයට සැපයීම සම්බන්ධයෙන් එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුල පවතින “විවාදය” පිලිබඳ නිව් යෝර්ක් ටයිම්ස්හි ලිපියට පුටින් ප්‍රතිචාර දැක්වූ බව පෙනේ. “අපේ රට දුර්වල කිරීම, බෙදීම සහ අවසානයේ විනාශ කිරීම” අරමුනු කර ගැනීම සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපද යුද හමුදාවේ හිටපු යුරෝපා යුද හමුදාපති බෙන් හොජ්ස් විසින් පසුගිය සතියේ අපූරුවට එය පිලිගත්තේ මෙසේය: “අප බලා සිටින්නේ රුසියානු සමූහාන්ඩුවේ බිඳවැටීමේ ආරම්භය දෙස වන්නට පුලුවනි.”

ඔහු මෙම ප්‍රකාශය කලේ, යුක්‍රේන හමුදා යන්තම් දින කිහිපයක කාලසීමාව තුල සැතපුම් දුසිම් ගනනක භූමි ප්‍රදේශයක් අත්පත් කරගත් උතුරු යුක්‍රේනය තුල රුසියාවට අත්කර දුන් මිලිටරි ව්‍යසනයෙන් පසු ව ය. කාර්කිව් පරාජයෙන් පසු ව ලෝසවෙඅ මෙසේ ලීවේ ය:

“මෙම මිලිටරි ව්‍යසනයෙන් පසු ක්‍රෙම්ලිනය මිලිටරි ප්‍රහාරය දැවැන්ත ව උත්සන්න කිරීමක් අවශ්‍ය යයි නිගමනය කරනු ඇති බව නොසලකා හැරිය නොහැක. එය තුඩු දෙනු ඇත්තේ, නේටෝව මිලිටරි ප්‍රහාර උත්සන්න කිරීමකට පමනි. විරෝධාභාශි ලෙස, අධිරාජ්‍යවාදයට අනුගත වීමට ක්‍රෙම්ලිනය දරන මංමුලා සහගත උත්සාහයන්ගෙන්, න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවාලිය හැකි ක්‍රියා මාලාවක් ඇති වීම වලක්වන්නේ නැත.”

දැන් සිදු වෙමින් පවතින්නේ මෙයයි. වර්තමාන ගැටුම න්‍යෂ්ටික වහ්නි ජාලාවක තර්ජනයක් වන බවට පුටින්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන්, පුටින්ගේ කතාවෙන් පැය කිහිපයකට පසු බයිඩන් ප්‍රතිචාර දැක්වූයේ ඇවිලෙන ගින්නට තෙල් දමමිනි. බයිඩන් එක්සත් ජාතීන් අමතමින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලත ම ගොඩබිම් යුද්ධය “එක් මිනිසෙකු විසින් තෝරාගත් යුද්ධයක්” බව ප්‍රකාශ කලේ, පුටින්ගේ උත්සුකයන් මනඃකල්පිත බව අවධාරනය කරමිනි. “රුසියාවට තර්ජනයක් එල්ල වූ නිසා තමාට ක්‍රියා කිරීමට සිදු වූ බව පුටින් කියා සිටී” යයි බයිඩන් පැවසීය. “නමුත් කිසිවෙකු රුසියාවට තර්ජනය නො කලාක් මෙන්ම රුසියාව හැර වෙනත් කිසිවෙකුත් ගැටුමක් අපේක්ෂා කලේ ද නැත.” බයිඩන් වැඩිදුර පැවසී ය.

එක්සත් ජනපද සිවිල් සහ හමුදා නිලධාරීන්ගේ අසංඛ්‍යාත ප්‍රකාශවලින් ප්‍රතික්ෂේප කෙරුනු මෙම ප්‍රකාශ පැහැදිලිව ම බයිඩන් ද විශ්වාස නොකරයි.

ඔහුගේ කතාවේ දී බයිඩන්, යුද්ධයේ මූලාරම්භය පිලිබඳ ව කල ව්‍යාජ හැඳින්වීම ඉදිරිපත් කෙරුනේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නිත්‍ය ලක්ෂනයක් වන නිර්ලජ්ජිත කුහකත්වය සමග මුසුකරමිනි. “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්ම නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කිරීම—එනම්, රටවල් තම අසල්වැසියාගේ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහි පැහැදිලි තහනමට වඩා වැදගත් දෙයක්” සලකා ඇති බව සඳහන් කරමින් ඔහු රුසියාව හෙලා දුටුවේ ය.

දේශපාලන අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා යුද්ධය භාවිතා කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය එක දිගට ම බරපතල ලෙස උල්ලංඝනය කර ඇත්තේ එක්සත් ජනපදය බව ලෝකයට ම අමතක කරවීමට බයිඩන්ට අවශ්‍ය ය. බොහෝ උදාහරන අතුරින් වඩාත් බිහිසුනු ම උදාහරනය නම් 2003 ඉරාක ආක්‍රමනය යි. එය එවක එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් හැඳින්වූයේ “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල නොවන... නීති විරෝධී” ආක්‍රමනයක් ලෙසයි. මෙය යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව ඇතුලු ඇමරිකානු හමුදාව විසින් විනාශ කරන ලද බොහෝ රටවල් වලින් එකක් පමනි. පලස්තීනයට එරෙහි ව ඊශ්‍රායලයේ සහ යේමනයට එරෙහි ව සෞදි අරාබියේ එක්සත් ජනපද පිටුබලය ලබන යුද්ධ ද මීට එක් කල යුතු ය.

ප්‍රධාන ජාත්‍යන්තර අර්බුදයක් න්‍යෂ්ටික යුද්ධයක් කරා යන බවට කෙරුනු පැහැදිලි ප්‍රකාශයකට අභිමුඛ ව ම වසන් කිරීමට කුහක ලෙස සදාචාරාත්මක කඩතුරාවක් යොදන නමුත් බයිඩන්ට මෙම ව්‍යසනය වලක්වා ගන්නේ කෙසේද යන්න පිලිබඳ කිසිදු යෝජනාවක් නොතිබුනි.

1960 ගනන්වල සීතල යුද්ධයේ උච්චත ම අවස්ථාවේ දී, එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි කිසි විටෙකත් බිය නිසා සාකච්ඡා නොකරමු. නමුත් අපි කිසිවිටක සාකච්ඡා කිරීමට ද බිය නොවන්නෙමු.” කියුබානු මිසයිල අර්බුදය පුපුරා ගිය විට, කෙනඩි සහ සෝවියට් අගමැති නිකිතා කෘෂෙව් යන දෙදෙනා ම ප්‍රපාතය අද්දර සිට ආපසු යාමට දැඩි උත්සාහයක් ගනිමින් න්‍යෂ්ටික යුද්ධයක් වලක්වා ගැනීමට යන්තම් සමත් වූහ.

ඊට හාත්පසින් ම වෙනස් ව, සීතල යුද සමයේ කවර හෝ අවස්ථාවකටත් වඩා න්‍යෂ්ටික අවි භාවිතය පිලිබඳ පැහැදිලි වඩාත් ඍජු තර්ජනයකට මුහුන දී සිටින එක්සත් ජනපදය හා එහි සගයෝ යුක්‍රේනයේ මිලිටරි අරමුනු සාක්ෂාත් කර ගැනීමෙන් මෙපිට යුද්ධයේ කිසිදු ප්‍රතිඵලයක් භාර ගැනීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරති. මෙය පැහැදිලි කල හැක්කේ පාලක පන්තිය මුහුන දෙන අර්බුදය හා මංමුලා සහගත බව සලකා බැලීමෙන් පමනි.

රුසියානු පාලක පන්තියේ නියෝජිතයෙකු ලෙස පුටින්, රුසියානු ජාතිකවාදයේ ඓතිහාසික බංකොලොත් පිලිවෙත් ඉදිරියට ගෙන යමින් සිටී. රුසියාව “ජාතීන්ගේ ප්‍රජාව” අතරට සාදරයෙන් පිලිගනු ඇතැයි යන මිත්‍යාව හඹා යන රුසියානු කතිපයාධිකාරය සෝවියට් සංගමය විසුරුවා හැරීමේ විනාශකාරී ප්‍රතිවිපාකවලට අභිමුඛ ව සිටිමින් දැන් මුහුන දෙන්නේ අධිරාජ්‍යවාදයේ යථාර්ථයට යි.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පැත්තෙන් ගත් කල, ඔවුන් නොඅඩුව මංමුලා සහගත ය. එක්සත් ජනපදයේ හා යුරෝපීය බලවතුන්ගේ පාලක පන්තිය සමාජ වෙඩි බෙහෙත් පීප්පයක් මත හිඳ ගෙන, පාලනය ගෙන යන්නේ දශක ගනනාවක් තිස්සේ ජීවන තත්වයන් කඩා වැටීමට මුහුන දී සිටින්නා වූ ද, සූරාකෑම සහ කාලකන්නි බව පමනක් ලබා දිය හැකි ධනේශ්වර පර්යාය ගැන අතෘප්තියට පත් ව සිටින්නා වූ ද කම්කරු පන්තියකට එරෙහි ව ය.

රුසියාවේ මිලිටරි පරාජයෙන් පසු ලේ රස ඉව කරමින් සිටින ධවල මන්දිරය සහ නැටෝව, දැවැන්ත අවදානම් ගනිමින් ම වඩ වඩාත් බාධා විරහිත ව ක්‍රියාකරමින් සිටියි. එක්සත් ජනපදය විසින් දිගු දුර ඒටීඒසීඑම්එස් මිසයිලය වැනි තවත් ආයුධ යුක්‍රේනයට ලබා දෙන්නේ නම් එරට “ජයග්‍රහනය” සුරක්ෂිත කල හැකි බව ද ඉකොනොමිස්ට් සඳහන් කලේ මාධ්‍යයේ විජයග්‍රාහී තානය ප්‍රකාශයට පත් කරමිනි.

එක්කෝ න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය මනඃකල්පිත බව ඔවුන් ඒත්තු ගෙන ඇත. නැතහොත්, ඔවුහු න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ හැකියාව එතරම් ගනන් ගත යුතු දෙයක් ලෙස නොසලකති. ප්‍රපාතයේ ඉම දක්වා ගමන් කර සිටින ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ: “ජයග්‍රහනය කරා පෙරට ම!” යන්නයි.

අධිරාජ්‍යවාදීන්ගේ මංමුලා සහගත බව ස්වයං-මුලාවක් සමඟ මිශ්‍ර වී ඇත. එකක් අවසන් වන්නේ කොතැනින් ද, අනෙක ආරම්භ වන්නේ කොතැනින් ද කියා කිව නොහැකි තරම් ය. එක් අතකින්, ඔවුන් කියා සිටින්නේ පුටින් “රකුසෙක්” සහ සැනෙකින් මහා විනාශකාරී ආයුධ භාවිතා කල හැකි උන්මත්තකයෙකු බවයි. අනෙක් අතට, ඔවුහු පුටින්ගේ “න්‍යෂ්ටික අවි පිලිබඳ වාචාල කතා අප කලබලයට පත් කරන්නේ නෑ” යනුවෙන් ඕලන්ද අගමැති මාර්ක් රූට්ගේ ප්‍රතිචාරයෙන් කැටිකර දැක්වුනු අයුරු න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය බැහැර කරති.

බියකරු තත්වය වැලැකී ගියත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා තත්වය කඩා නොවැටුනත්, මිලිටරි ප්‍රහාරවල උත්සන්නිය යුක්‍රේනයේ කම්කරුවන් ද ඇතුලු ව ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට මරනයේ ද මිලියන ගනනක් දරිද්‍රතාවයට හෙලීමේ සහ අවතැන් කිරීමේ ද අන්තරාය ගෙන එයි. අධිරාජ්‍යවාදී බලවතුන් මෙම ජනතාවට සලකනු ලබන්නේ රුසියාව සමඟ ගැටුමේ දී සම්පූර්නයෙන් ම වියදම් කල හැකි දේවල් ලෙස ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ මූලෝපායික අවශ්‍යතා හඹා යාමේ දී බයිඩන් කොපමන ජීවිත බිලි දීමට සූදානම් දැයි ඇසීමට මාධ්‍යයේ කිසිවෙක් උත්සුක වී නැත. කෙසේ වෙතත්, ඇමරිකානු සංගතවල ලාභ ඉපැයීමේ මෙහෙයුම්වලට බාධාවක් නොවන බව සහතික කිරීමේ දී මිලියනයකට අධික මිනිසුන්ගේ මරන පිලිගත හැකි පිරිවැය ලෙස සලකමින් කොවිඩ්-19 වසංගතයට පාලක පන්තිය දැක්වූ ප්‍රතිචාරයෙන් මීට පිලිතුර සම්පාදනය වේ.

මෙම ව්‍යසනකාරී උත්සන්නතාවයෙන් මිදීමට ඇති එක ම මාර්ගය වන්නේ අර්බුදය තුලට මහජන මැදිහත්වීමක් පමනි. අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ විය හැකි බලගතු සමාජ බලවේගයක් පවතී: එනම් ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. යුද්ධය සමග කැටුව එමින් තිබෙන්නේ, ලෝකය පුරා කම්කරුවන්ගේ මූර්ත වැටුප් අගය පහත හෙලමින් ජීවන තත්වයන් මත දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමකි.

ජීවන තත්වයන් බිඳ වැටීම විසින් නිර්මානය කරන ලද අර්බුදය, එක්සත් ජනපදයේ දුම්රිය කම්කරුවන් අතර මෙන්ම යුරෝපය, ලතින් ඇමරිකාව, මැද පෙරදිග සහ අප්‍රිකාව පුරා වැඩ වර්ජන පුපුරා යාම තුලින් බලගතු ලෙස පෙන්නුම් කෙරෙන පන්ති අරගලයේ ගෝලීය උද්ගමනයට තුඩු දී ඇත.

කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද ඝෝෂාව මෙන්ම පුටින් තන්ත්‍රයේ සහ රුසියානු කතිපයාධිකාරයේ ප්‍රතිගාමී ප්‍රතිචාරය යන දෙකම ප්‍රතික්ෂේප කල යුතු ය. අරගලයට අවතීර්න වෙද්දී ලොව පුරා කම්කරුවන් මතු කල යුත්තේ යුද්ධය අවසන් කිරීමේ ඉල්ලීම යි. ලෝක යුද්ධය පිලිබඳ පාලක පන්තියේ පිලිවෙතට එරෙහි ව, කම්කරුවන් පන්ති යුද්ධයේ මූලෝපාය සහ සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා අරගලය පිහිටුවිය යුතුය.

Loading