නාසා ආයතනය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ පලමු ඡායාරූප හා දත්ත නිකුත් කරයි

[මෙය NASA releases first images and data from the James Webb Space Telescope මැයෙන් 2022 ජූලි 12 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

නාසා, කැනේඩියානු අභ්‍යාවකාශ ඒජන්සිය (සීඑස්ඒ) සහ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය (ඊඑස්ඒ) යන ආයතන ඒකාබද්ධ ව මෙහෙයන ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය සාර්ථක ව ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ජූලි 12දා නිකුත් කරන ලද එහි ඡායාරූප සහ ඒ හා බැඳුනු දත්ත, නව තාරකා විද්‍යාත්මක නිරීක්ෂකාගාරයේ සමස්ත හැකියාවන් පිලිබඳ පලමු දැකීම් මාත්‍රයක් සනිටුහන් කරන අතර, විශ්වය සහ එය තුල අපගේ ස්ථානය අවබෝධ කරගැනීමට මානවයා සතු හැකියාව අතින් ප්‍රධාන ඉදිරි පියවරක් සලකුනු කරයි.

සෑම අංශයකින් ම සලකන විට, අනාවරනය කරනු ලබන මෙම ප්‍රතිබිම්බනය විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහනයකි. දෙසැම්බර් 25දා, තාරකා විද්‍යාත්මක නිරීක්ෂකාගාරය දියත් කරන ලද තැන් පටන්, භෞමික පාලකයේ සිට විධානයන් සිය ගනනක් නිරවද්‍ය ව කරනු ලැබී ය. එක්සත් ජනපදයේ, කැනඩාවේ, යුරෝපයේ හා ලෝකයේ තවත් තැන්වල පර්යේෂකයන්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් දහස් ගනනක්, කක්ෂගත ව පවතින අතරතුර, අභ්‍යාවකාශ යානයේ කාර්යයන් අවබෝධ කරගැනීමට හා විලක්ෂනය කිරීමට වෙහෙස නො තකා වැඩ කල හ. එහි ප්‍රතිඵලයක් ලෙස, මීට පෙර බොහොමයක් අභ්‍යාවකාශ දුරේක්ෂයන් ලඟා කරගෙන තිබූ හැකියාවන් බොහොමයක්, මෙමගින් ගන්නා ලද දත්ත විසින් පරයා යනු ලැබී ය.

මෙම සිද්ධියට සාමූහික සමාජීය ස්වභාවයක් ද තිබේ. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයහි පලමු වාර්තාවන්, තාරකා විද්‍යාඥයින් හා මහජනයා විසින් දශකයකට අධික කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි දෙයකි. යුගකාරක විද්‍යාත්මක ප්‍රතිඵල නිෂ්පන්න කර තිබෙන සහ ඒ හා සමගාමී ව භූගෝලය පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සිත් සතන් වසඟ කරගෙන හා ඔවුන් ව ආවේශ ගන්වා තිබෙන චන්ද්‍රා, ස්පිට්සර් හා සියල්ලට ඉහලින් හබ්ල් වැනි අනෙකුත් අභ්‍යාවශකාශ නිරීක්ෂකාගාරවල උරුමය මත මෙම දුරේක්ෂය ගොඩනැගෙයි.

වෙබ් දුරේක්ෂයෙහි පලමු ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපය, එස්එම්ඒසීඑස් 0723 මත නාභිගත වන ප්‍රතිබිම්බයක් වන අතර, දුරේක්ෂයෙහි නිර්කෑම් උපකරනය මගින් එය ඡායාරූපගත කරන ලදී. ගුරුත්වාකර්ෂන කාචායනය, විශාලනය නො කලහොත් දැකගත නො හැකි වසර බිලියන 13.1ක් තරම් පැරනි මන්දාකිනියන් ද මෙම ප්‍රතිබිම්බය මගින් පෙන්නුම් කරයි. ස්තුතිය: නාසා, ඊඑස්ඒ, සීඑස්ඒ හා එස්ටීඑස්සීඅයි

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මේ දක්වා නිරීක්ෂනය කර ඇත්තේ කවරක් ද යන්න පිලිබඳ ව, ඡායාරූප නිරාවරනය කරද්දී මිලියන ගනන් දෙනා සජීවී ව නැරඹූ අතර, තවත් මිලියන ගනනක් සමාජ මාධ්‍යයෙහි පල කරනු ලැබ ඇති වාර්තා කියවා, වීඩියෝ පට නරඹා ඇත්තේ, කම්කරුවන් හා මිතුරන් අතර කතා කර තිබෙද්දී ය. සංස්කෘතික ව පසුගාමී ඇමරිකානු රාජ්‍යය විසින් ආසන්න වසයෙන් අවලංගු කිරීමක් දක්වා ම ගොස් වසර ගනනාවක් ප්‍රමාදයන්වලින් පසුව (සියල්ලට පසුව, ඩොලර් බිලියන 10ක් වන දුරේක්ෂයේ පිරිවැය තවත් ගුවන් යානා ගෙන යන යුද නෞකාවකට වියදම් කල හැකි ව තිබුනි), ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මානව වර්ගයාගේ අභ්‍යාවකාශය මත පදනම් වන නිරීක්ෂනාගාර පිරිවර සමග සාර්ථක ව සම්බන්ධ වී ඒවා අභිවර්ධනය කොට ඇත.

වෙබ් දුරේක්ෂයේ පලමු ගැඹුරු ක්ෂේත්‍රය යනුවෙන් හැඳින්වෙන, දුරේක්ෂය විසින් ලබාගත් පලමු මෙහෙයුම් ඡායාරූපය, එස්එස්ඒසීඑස් 0723 නමැති මන්දාකිනී පොකුර නිරූපනය කරයි. එම මන්දාකිනී පොකුරෙන් එන ආලෝකය, පෘථිවියට ලඟා වීමට වර්ෂ බිලියන 4.6ක් ගත කලේ, අභ්‍යාවකාශ ඉතිහාසයේ එම කාලසීමාව ඇතුලත, මන්දාකිනිවල ක්ෂනික ඡායාරූපයක් සම්පාදනය කරමිනි. මන්දාකිනි පොකුර කොතරම් විශාල ද යත් එය කාචයක් ලෙස ද ක්‍රියා කරන අතර, එහි ගුරුත්වය කොතරම් බලගතු ද යත් වඩා දුරින් පිහිටි මන්දාකිනිවලින් එන ආලෝකය නාභිගත හා විශාලනය කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, මහා පිපිරුමෙන් යන්තම් වසර මිලියන 700කට පසු ව සම්භව වූ, වසර බිලියන 13.1ක් ගමන් කර ඇති එක් මන්දාකිනියකින් එන ආලෝකය රැස් කරගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් විය.

එහෙත්, මෙම ඡායාරූපයෙහි වඩාත් ම සිත්ගන්නාසුලු අංශය වන්නේ, කලින් හබල් දුරේක්ෂය විසින් ගන්නා ලද ඡායාරූපවලට වඩා, මෙම ගැඹුරු ක්ෂේත්‍රයේ විභේදනයෙහි වර්ධනයයි. මීටර් 6.5ක විෂ්කම්භයකින් යුත් ප්‍රාථමික දර්පනයක් තිබීම, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයහි ප්‍රධාන සැලසුම් සලකා බැලීම්වලින් එකක් වූ අතර, එම දර්පනය සතුව හබල් දුරේක්ෂයෙහි ප්‍රාථමික දර්පනය මෙන් හය ගුනයක ආලෝකය රැස් කරගැනීමේ හැකියාවක් ති‌බේ. එහි ප්‍රතිඵලයක් ලෙස, හබල් දුරේක්ෂයට සරල ව ම කල නො හැකි දෙයක් වූ, තාරකා මන්ඩල හා අනෙකුත් විසිරුනු ලක්ෂන වැනි, මන්දාකිනිවල අභ්‍යන්තර ව්‍යුහාත්මක විස්තර හසු කරගැනීමේ හැකියාවක් එය සතු ව පවතී.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දුරේක්ෂයට, එහි එස්එම්ඒසීඑස් 0723 ඡායාරූපය නිපදවීම සඳහා, යන්තම් පැය 12.5ක් තුල අවශ්‍ය දත්ත රැස් කර ගැනීම පිනිස එහි ආසන්න-අධෝරක්ත කැමරා (නිර්කෑම්) උපකරනය යොදාගත හැකි වීම ද සැලකිල්ලට ගත මනා ය. මීට සාපේක්ෂ ව, සන්සන්දනාත්මක හා එහෙත් විභේදන බලයෙන් අඩු දත්ත රැස් කර ගැනීම සඳහා, හබල් දුරේක්ෂයට සති ගනනක් ගත විය.

කාලය දිගේ වඩා වැඩියෙන් ආපස්සට බැලීමට ද ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වනු ඇත. හබල් දුරේක්ෂය නිරීක්ෂනය කර ඇති දුරින් ම පිහිටි වස්තුව ජීඑන්-සෙඩ්11 මන්දාකිනිය වන අතර, වසර බිලියන 13.4ක් ගමන් කර ඇති ආලෝකය හසු කරගැනීමට නියමිත ව ති‌බෙද්දී, නව දුරේක්ෂය එ‌ලඹෙන මාස කිහිපය තුල මෙම සැතපුම් කනුව පසු කර යනු ඇතැයි අපේක්ෂිත ය. හබල් දුරේක්ෂය නිරීක්ෂනය කල දෘෂ්‍ය ආලෝකයට සාපේක්ෂ ව, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මූලික වසයෙන් අධෝරක්ත කලාපයේ තරංග ආයාමයන් නිරීක්ෂනය කරන අතර, එම නිසා, වඩා වැඩි කාලයක් ගමන් කර ඇති ආලෝකය නිරීක්ෂනය සඳහා සැලසුම් කරනු ලැබ තිබේ.

නිර්කෑම් භාවිතා කරමින් ඡායාරූපගත කරන ලද තවත් වස්තුවක් වූයේ කැරීනා නෙබියුලාව යි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7,600ක් පමන දුරින් පිහිටා ඇති එය, තාරකා හා ග්‍රහලෝක සකස් වන ආකාරය අධ්‍යයනය කරන්නන්ගේ අගනා ඉලක්කයකි. කඳු හා මිටියාවත් යායක් මෙන් පෙනෙන නමුත්, සකස් වීමෙන් පසු මුල් අවුරුදු තුල, තීව්‍ර පාරජම්බුල ආලෝකය විමෝචනය කරන තාරකාවන් විසින් වට සලකුනු කරනු ලබන, දැවැන්ත සිදුරක වාටිය වන නෙබියුලාවේ “අභ්‍යාවකාශ බෑවුම්” යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රදේශ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සුවිශේෂී ලෙස ඡායාරූපගත කලේ ය.

මෙම කලාපයේ අතීත නිරීක්ෂන තාරකා සකස් වීම දැකගෙන ඇතත්, ඒ කිසිවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලඟා වන විශාලත්වය හා වර්තමාන විභේදන බලය කරා, ගෑස් හා දූවිලි හරහා විනිවිද යාමට සමත් වී නැත. පූර්වයෙන් අනුමාන කරන ලද නමුත් තාරකාවල උපතේ මේ දක්වා දැකගෙන නොමැති ප්‍රදේශ අනාවරනය කරමින්, මධ්‍ය-අධෝරක්ත උපකරනය (එම්අයිආර්අයි) විසින් ද නිරීක්ෂනයන්ට සහයෝගය ලබා දුනි.

1877 දී පලමුවරට නිරීක්ෂනය කරන ලද මන්දාකිනී පහක දෘෂ්‍ය සමූහනයක් වන ස්ටීවන්’ස් ක්වින්ටට් (ස්ටීවන්ගේ පහේ කන්ඩායම) නිරීක්ෂනය කිරීමට ද තාරකා විද්‍යාඥයෝ නිර්කෑම් හා එම්අයිආර්අයි යොදාගත්හ. වම් අන්තයට වන්නට පිහිටි මන්දාකිනිය මෙම කන්ඩායමේ සැබෑ සාමාජිකයෙක් නො වෙද්දී (එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 40ක් දුරින් පිහිටද්දී, අනෙක් හතර ආලෝක වර්ෂ මිලියන 290ක් දුරින් පිහිටයි), අනෙක් මන්දාකිනී හතර එකිනෙකා සමග ගුරුත්වාකර්ෂනීය ලෙස බැඳී සිටින අතර, එකිනෙකා සමග අන්තර්-ක්‍රියා කිරීමේ දී මන්දාකිනියන් විදාරනය කරනු ලැබිය හැක්කේ කෙසේදැයි පෙන්නුම් කරන, ඉතා හොඳින් අධ්‍යයනයට බඳුන් කර ඇති මන්දාකිනී පොකුරකි.

තරුන තාරකා පොකුරු මෙන් ම අන්‍යොන්‍ය අන්තර්-ක්‍රියා මගින් ප්‍රේරනය කරනු ලබන තාරකා සැකසෙන කලාප ඇතුලු මෙම මන්දාකිනීවල නව දත්ත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් හසු කර ගෙන ඇත. පොකුර හරහා එන්ජීසී 731බී මන්දාකිනිය ගමන් කරද්දී නිර්මිත කම්පන තරංගයක් මෙන් ම එන්ජීසී 7319 මන්දාකිනියෙහි කේන්ද්‍රයේ පිහිටි අතිවිශාල කලු කුහරය විසින් නිර්මිත විගලනය ද මෙම දුරේක්ෂය විසින් ඡායාරූපගත කරනු ලැබී ය. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දුරේක්ෂයෙහි විශාලත්වය විසින් සම්පාදනය කරනු ලබන ඉහල විභේදන බලය, සාරභූත ලෙස තවත් ගැඹුරු ක්ෂේත්‍රයක් වන පසුබිමේ පිහිටි මන්දාකිනී සිය ගනනක් පිලිබඳ විස්තරාත්මක දත්ත ද සම්පාදනය කලේ ය.

මෑත දී සිදු වූ ආවර්තීය ගෑස් හා දූවිලි විමෝචනයන් හරහා, එහි ජීවිතයේ අවසානයේ සිය ස්කන්ධයෙන් බොහෝ ප්‍රමානයක් අහිමි කරගෙන තිබෙන තාරකාවක් ද ඇතුලත් වන, ආලෝක වර්ෂ 2,500ක් පමන දුරින් පිහිටි ද්විමය තාරකා පද්ධතියකින් සමන්විත සදර්න් රිං නෙබියුලාවේ (දක්ෂින මන්ඩල නෙබියුලාවේ) ඡායාරූපයක්, නිර්කෑම් හා එම්අයිආර්අයි උපකරනවල හැකියාවන් පෙන්වීමට අවසානයේ නිකුත් කරන ලද ඡායාරූපය විය. තාරකාවන් භ්‍රමනය වෙද්දී, ඒවා විමෝචනය කරනු ලබන පදාර්ථය සංකීර්න කෝෂ ජාලයක් තුලට මන්ථනය කලේ ය. ඊට අමතර ව, ද්විමය ජෝඩුවේ සිට සෑම කෝෂයකට ම ඇති දුර හා එහි අනුක සංයුතිය, පෘථිවිය මත ඇති පාෂාන ස්ථරයන් යොදා ගනිමින් භූවිද්‍යාත්මක යුගයන් අධ්‍යයනය කිරීමට සාදෘශ්‍ය ආකාරයට, වසර දහයක් ගනනක් පුරා වන පද්ධතියෙහි ඉතිහාසයක් සම්පාදනය කරන්නේ, එවන් තාරකා මන්ඩල පරිනාමය වන්නේ කෙසේදැයි වඩා හොඳින් අවබෝධ කරගැනීමට පර්යේෂකයන්ට ඉඩ ලබා දෙමිනි.

ආසන්න-අධෝරක්ත නිරූපක සිදුරු රහිත වර්නාවලී දර්ශකය (නිරිස්) ලබාගත්, වාස්ප්-96 නමැති බාහිර ග්‍රහලෝක පද්ධතියෙහි දත්ත ද නාසා ආයතනය විසින් නිකුත් කර ඇත. පැය 6.4ක නිරීක්ෂන මෙහෙයුමක දී, මෙම උපකරනය එම ග්‍රහලෝක පද්ධතිය තුල වායුමය යෝධයෙකු දැකගත් අතර, බ්‍රහස්පතිගේ ස්කන්ධය මෙන් අඩකින් ද විෂ්කම්භය මෙන් 1.2 ගුනයකින් යුත් එය, එහි මව් තාරකාව ඉදිරියෙන් ගමන් කලා ය. ආලෝක වර්ෂ 1,150ක් දුරින් පිහිටි ග්‍රහලෝකයක වායුගෝලය තුල ජලය තිබෙන බවට කලින් සොයාගත් සාක්ෂිය එමගින් තහවුරු කලේ, කලින් හසු කරගෙන නො තිබුනු මීදුම් හා වලාකුලු තිබෙන බවට සාක්ෂි සම්පාදනය කරමිනි.

අපේ ම සෞරග්‍රහ මන්ඩලයේ වස්තුවල ඡායාරූප ලබාගැනීමට ද ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දුරේක්ෂයට හැකියාව තිබේ. එය ක්‍රියාත්මක කිරීමේ එක් අංශයක් වූයේ, දුරේක්ෂයෙහි දෘෂ්ටි ක්ෂේත්‍රය හරහා වේගයෙන් චලනය වන වස්තු ඡායාරූපගත කිරීමට උත්සාහයක යෙදෙමින්, බ්‍රහස්පති ඡායාරූපගත කිරීම යි. එවන් වස්තු සාර්ථක ව හසු කරගෙන, ඡායාරූපගත කිරීමටත් මුලුමනින් ම සමත් බව බව සූක්ෂම මාර්ග දර්ශක සංවේදමානය (එෆ්ජීඑස්) සනාථ කල අතර, අතිරේක වාසියක් ලෙස, දිදුලන ග්‍රහලෝකය සහ එහි වඩා දුර්වල වලලු හා චන්ද්‍රයන් එකවර ඡායාරූපගත කිරීමේ හැකියාව නිර්කෑම් සතු වූ බව පෙන්නුම් කෙරුනි.

සමස්තයක් ලෙස, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දුරේක්ෂයෙන් අපේක්ෂා කල විද්‍යාත්මක ඉලක්ක කරා එයට ලඟා විය හැකි බව මෙම ආරම්භක ඡායාරූප පෙන්නුම් කරයි: එනම්, අභ්‍යාවකාශ ඉතිහාසය තුලට වැඩි දුර ආපසු එබී බැලීම සහ අන් කවරදාටත් වැඩි පැහැදිලි කමකින් යුතු ව සංකීර්න තාරකා විද්‍යාත්මක ප්‍රපංච දෘෂ්ටියට හසු කරගැනීම යි. තව ද මෙහෙයුමේ සෑම අංශයකින් ම පාහේ එය දියත් කිරීමට පෙර පැවති පිරිවිතරයන්ට වඩා බොහෝ දුර මෙම දුරේක්ෂය යන බව, මෙම මෙහෙයුමෙන් ලැබුනු අවසාන ප්‍රතිඵල පෙන්වා දෙයි. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආරම්භක මෙහෙයුමේ විද්‍යා කාර්යසාධනය නමැති ලේඛනයෙන් උපුටා දක්වන්නේ නම්, “මුලුමනින් ම පාහේ, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයහි විද්‍යා කාර්යසාධනය අපේක්ෂා කලාට වඩා හොඳ ය.”

වඩාත් ම වැදගත් අභිවර්ධනයන් අතර පවතින දෙයක් වන්නේ දුරේක්ෂයේ ආයු අපේක්ෂාව යි. ලග්රාන්ජේ ලක්ෂ්‍ය 2ක (පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක) දුරින් පිහිටි එහි කක්ෂය පවත්වා ගෙන යාම සඳහා, එහි සේවා ස්ථානය නඩත්තු කිරීමේ දී එය නිශ්චිත ප්‍රචාලක සැපයුමක් යොදා ගත යුතු ය. ආරම්භක තක්සේරු කිරීම්, වසර 10.5ක් පැවතීම සඳහා ප්‍රමානවත් ඉන්ධන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සතු ව තිබිය යුතු බව පුරෝකථනය කලේ ය. අවසාන ගනනය කිරීම් පෙන්වා දෙන්නේ, එහි කක්ෂය තුලට මුදා හැරීම හා ඇතුල් කිරීම කොතරම් මෘදු ද යත්, අභ්‍යාවකාශ යානයට අවම වසයෙන් 20 වසරක් පුරා නිරීක්ෂනයන් කල හැකි බව යි.

සත්‍ය වසයෙන් ම, ඡායාරූප නිකුත් කිරීමට හා දුරේක්ෂයෙහි විද්‍යා මෙහෙයුම් ආරම්භයට දිනකට පෙර, එස්එම්ඒසීඑස් 0723හි ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපයක් නිකුත් කල බයිඩන් පරිපාලනයේ මැදිහත් වීම විසින්, ඒවාට බාධා කරනු ලැබිනි. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය “මානව වර්ගයාගේ ප්‍රතිලාභය සඳහා” බව, වරෙක ප්‍රාන්ත චෝදකවරියක් වූ උප ජනාධිපතිනි කමලා හැරිස් ප්‍රකාශ කලා ය. සමස්ත ග්‍රහලෝකය න්‍යෂ්ටික සමූලඝාතනයක ගිල්වීමට තර්ජනය කරන, රුසියාවට එරෙහි යුද ධාවනයක ප්‍රධානත්වය දරන බයිඩන් මත්, මෙම දුරේක්ෂය “ඇමරිකාවට හා සියලු මානවයන්ට” බව සඳහන් කරමින් ජාතිකවාදී තානයක් සම්පාදනය කලේ ය.

එහෙත්, බයිඩන්ගේ හා හැරිස්ගේ නරුමත්වය, ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂයෙහි යෝධ විද්‍යාත්මක හා සංස්කෘතික ජයග්‍රහනය හීන නො කරයි. අවසානයේ දී එය, මානව වර්ගයාගේ සාමූහික ශක්තිය සමාජ අවශ්‍යතාව සඳහා, මෙහි දී නම් ස්වභාව ධර්මය හා මානවයන් එය සමග අන්තර්-ක්‍රියා කරන්නේ කෙසේදැයි ගැඹුරින් අවබෝධ කරගැනීමට,යෙදවූ විට කල හැක්කේ කවරක්දැයි පෙන්නුම් කරන සමාජීය ප්‍රගතියකි. සමාජීය ප්‍රශ්න සඳහා ලෝකයේ මහජනයා එම අවබෝධය ම වඩ වඩා ව්‍යවහාර කරමින් සිටින අතර, එය, බයිඩන් ද ඔහු හා ඔහුගේ ජාත්‍යන්තර පන්තිය ආරක්ෂා කරන ධනපති සමාජ-ආර්ථික ක්‍රමය අතුගා දැමීමේ ද නව හා වඩා ඉහල සමාජ පර්යායක් ගොඩනැගීමේ ද අවශ්‍යතාව කරා අනිවාර්යයෙන් ඔවුන් ව යොමු කරමින් සිටී.

Loading