කුවේට්හි දී මිය ගිය ගෘහ සේවිකාවගේ දේහය ලංකාවට ගෙන්වීම ආන්ඩුව ප්‍රතික්ෂේප කරයි

කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස සේවය කල, 67 හැවිරිදි, හෙට්ටිආරච්චිගේ විනීතා මිය ගොස් ඇති බව, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අගෝස්තු 03 වන දින පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඇගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී තිබේ. පොලොන්නරුව ඉසිපතන මාවතේ පදිංචිකාරියක වූ විනීතා, විදේශගත ව ඇත්තේ මීට වසර 19 කට පෙරාතු ව ය. එතැන් සිට වසරක් ගත වන තුරු ඇය පවුලේ අය සමග සබඳතා පවත්වා ඇති නමුත්, අනතුරු ව මරනය පිලිබඳ ආරංචිය ලැබෙන තෙක් ඇය ගැන නිශ්චිත තොරතුරක් නොලැබුනු බව පවුලේ ඥාතීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටිය දී මිය ගිය හෙට්ටිආරච්චිගේ විනීතා

මරනය ගැන වැඩි විස්තර දැන ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුනෑගල ශාඛාවවට ගිය ගිය පවුලේ ඥාතීන්ට එහි නිලධාරීන් පවසා ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බවයි. දේහය ලංකාවට ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා ලක්ෂ හතරක් පමන වැය වන බව ද ඔවුන් දැනුම් දී ඇත.

අවසන් වරට කුවේට් හි රැකියාවට යාමට පෙර දෙවරක් ම විදේශගත ව ඇති විනීතා මැදපෙරදිග ගෘහ සේවය පිලිබඳ අත්දැකීම් සහිත කාන්තාවකි. පලමු වරට ඇය අවුරුදු දෙකක කාලයක් සඳහා සෞදි අරාබියට ද දෙවන වරට කුවේටයට ම ද ගොස් ඇත. ඇයට, ප්‍රසන්න, මේනකා සහ මංගල නම් වූ දරුවන් තිදෙනෙක් සිටිති. වැඩිමහල් පුතු වන ප්‍රසන්න රජයේ රැකියාවක නිරත වන නමුත්, අනෙක් දෙදෙනාට ම ස්ථිර රැකියා නොමැත.

ඇය විදේශගත වන විට දරුවන් තිදෙනා ම පාසල් අධ්‍යාපනය අවසන් කොට සිටියෝ ය. සිය ස්වාමියා ගෙන් පවුලේ පැවැත්මට වැඩි සහයෝගයක් නොලැබුනු නිසා ඇය තම පවුල නඩත්තු කලේ ඉඳිආප්ප සෑදීමෙන් බව ප්‍රසන්න පැවසී ය. තම මව විදේශගත වුනේ තම පවුලට නිවසක් තනා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බව ඔහු වැඩි දුරටත් කීවේ ය.

විනීතාට තම නිවස යම් තරමකට හෝ සාදා ගැනීමට හැකියාවක් ලැබී ඇත්තේ ඇය දෙවරක් විදේශ ගත වීමෙන් පසු ව ය. ඉන්පසු ඇය තෙ වන වර විදේශගත වූයේ තම දරුවන්ගේ පවුල්වල ජීවන තත්වයන් ගොඩනැගීමට බව ප්‍රසන්න පැවසි ය.

විනීතා අවසන් වර ගෘහ සේවයට ගොස් වසරකට පමන පසු එම නිවසේ තාඩන පීඩන ඉවසීමට නොහැකි ව ඉන් පිටමං ව ගොස් වෙනත් නිවසක රැකියාව කරන බව පවුලේ අයට දැනුම් දී තිබේ. ඉන් මාස හයක් ඉකුත් වූ තැන, එම නිවසට යාබද නිවසක සේවය කල ලංකාවේ කාන්තාවක් විනීතාගේ ඥාතීන්ට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, දෙවන නිවස තුල ද විනීතා ට කරදර සිදු වන බැවින් හැකි ඉක්මනින් ඇය ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

එම දුරකථන ඇමතුමෙන් පසු ඇය පිලිබද විස්තර කිසිවක් දැන ගැනීමට පවුලේ ඥාතීන්ට නොහැකි වී තිබේ. එකී කාන්තාව ඇමතුම ලබා දී ඇත්තේ ඇමතුම් අංකය සඳහන් නොවන ගෘහස්ථ දුරකථනයට බැවින් ඇය යලි සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ප්‍රසන්න කීවේ ය.

ඇමතුමෙන් පසු වහා ක්‍රියාත්මක වූ ඥාතීන්, විනීතා විදේශ රැකියාව සඳහා යොමුකල කුරුනෑගල රැකියා ඒජන්සියෙන් ඇය නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඔවුන්ගේ ක්ෂනික ප්‍රතිචාරය වී ඇත්තේ, විනීතා රැකියාව සඳහා යොමු කල ස්ථානයෙන් ඇය පිටමං ව ඇති බැවින් කිසිවක් කල නොහැකි බවයි.

අනතුරු ව ඔවුන් කොලඹ පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට පැමිනිල්ලක් යොමු කොට ඇත. එය විභාග කෙරී ඇත්තේ කුරුනෑගල විදේශ රැකියා ඒජන්සියේ නියෝජිතයෙකු ද සම්බන්ධ කර කර ගනිමිනි. මෙම විභාගයේ දී, කාර්යාංශයේ නිලධාරීන් ඒජන්සියේ නියෝජිතයන් සමඟ පලමු ව සාකච්ඡා කොට, ඉන් අනතුරු ව තම අදහස් ලබා ගැනීම සැක කටයුතු බව විනීතාගේ පවුලේ අය පවසති.

විනීතාගේ ඥාතීන් අවස්ථා කිහිපයක දී ම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ගොස් ඇය පිලිබඳ ව සොයා බැලීම් සිදු කොට ඇත. අවසානයේ දී, විභාගයට සහභාගි වූ ඥාතියෙකුට කාර්යාංශය දන්වා ඇත්තේ, තම ආයතනයේ ලිපි වලට ඥාතීන් ප්‍රතිචාර නොදැක් වූ බැවින් එම විභාගය ඒකපාර්ශ්වික ව අවසන් කරන ලද බවයි. කාර්යාංශය සහ ඒජන්සිය අතර සම්මුතියකින්, මියගිය කම්කරු කාන්තාවගේ පවුලේ ඉල්ලීම් පැත්තකට දමා ඇති බවට සෑම සැකයක් ම මතු වෙයි.

මරනය සම්බන්ධ වැඩිදුර විස්තර දැන ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයට කතාකල ලෝසවෙඅ වාර්තාකරුට විස්තර සැපයීම එහි නිලධාරිනියක් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

වියදම් කිරීම්ට ප්‍රමානවත් මුදලක් නොවූ බැවින්, මේ සම්බන්ධයෙන් ඉදිරියට යෑමට පවුලේ අයට නොහැකි වී ඇත. මේ තතු තුල, විනීතා ගේ පවුලේ අයට සොච්චම් වන්දියක් ලබා දී අත සෝදා ගැනීමට රටවල් දෙකේ ම ධනපති ආන්ඩු, රැකියා ඒජන්සිය සහ හාම්පුත්තු උත්සාහ දරති.

විදේශ කම්කරුවන් සඳහා කුවේටයේ පවතින්නේ ඉතා ම රුදුරු නීති රීති පද්ධතියකි. ගෘහ සේවික-සේවිකාවන් සඳහා එය ක්‍රියාත්මක වන්නේ කුරිරු ම ආකාරයෙනි. කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර යම් සේවකයෙකු අදාල සේවා යෝජකයාගෙන් ඉවත් වුව හොත්, එම රටෙහි ජීවත් වීමේ නීත්‍යානුකූල අයිතිය ඔහුට හෝ ඇයට අහෝසි වේ.

එවන් අවස්ථාවන්හි දී, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තැරව්කරුවන්, කම්කරුවන් ඒජන්සියට භාර දීම හෝ අවම වැටුප් වලට වැඩෙහි යෙදවීම සිදු කරන බව, හසලක හෙට්ටිපොල පාරේ පදිංචි, පල්ලෙගෙදර බිසෝ මැනිකා(45) ලෝසවෙඅ ට පැවසුවා ය. අවුරුදු දෙකක කොන්ත්‍රාත්තුවකට විදේශ ගත වූ බිසෝ මැනිකාට, ගෙහිමියන්ගේ අඩන්තේට්ටම් මැද වැටුප් ද නොමැති ව තවත් අවුරුදු දෙකක් සේවය කිරීමට සිදු වී ඇත.

කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි මාතලේ, ලග්ගල, පල්ලේගම පදිංචි කාරියක් වූ 55 හැවිරිදි එම්.ජී.පොඩිමැනිකා වීසා කාලය ඉක්මවා යාම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් හරහා පොලිස් අත් අඩංගුවට පත් වීමෙන් අනතුරු ව අගෝස්තු 18 වැනි දා එරට රැඳවුම් කඳවුරක් තුල මිය යාමේ ඛේදජන පුවත ලෝසවෙඅ ඉහත දී වාර්තා කලේ ය.

ආන්ඩුව, තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට දරන මංමුලා සහගත උත්සාහයේ දී, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂන මත විශාල වශයෙන් රැඳී සිටී. මේ වසරේ ජූලි මාසයේ දී විදේශ රැකියා සඳහා පිටත් ව ගිය මුලු සංඛ්‍යාව 22,821ක් වූ අතර එය පසුගිය වසරට වඩා ශ්‍රමිකයන් විදේශ ගත කිරීමකි.

මෙම තතු තුල, ජුලි මාසයේ දී, විදේශ කම්කරුවන්ගේ ප්‍රේෂන සුලු වශයෙන් ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කොට තිබේ. ආන්ඩුව මෙලෙස ප්‍රේෂන ආදායම වැඩි කර ගනු ලබන්නේ, විදේශ ගත වන ශ්‍රමිකයන්ගේ ජිවිත මතින් බව වාර්තා වන මරන මගින් අනාවරනය කෙරෙයි. ආන්ඩුව උත්සුකය වනුයේ, ශ්‍රමිකයන් වඩ වඩාත් විදේශයන්ට පටවා යවමින් විදේශ විනිමය උපයා ගැනීම මිස ඔවුනගේ දුෂ්කර සේවා කොන්දේසි සහ ජීවිත ගැන නොවේ.

කොවිඩ් -19 වසංගතය ඇරඹුනු විට එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විදේශ ගත ශ්‍රමිකයන් ආරක්ෂා සහිත ව ලංකාවට ගෙන්වාගැනීම ප්‍රතික්ෂේප කරමින් වසංගතයේ ගොදුරු බවට පත් වීමට හැර දැමි ය. ලෝසවෙඅ පෙන්වාදුන් පරිදි ලොව පුරා අධිරාජ්‍යවාදී රටවල සහ ලංකාව වැනි පසුගාමී රටවල ප්‍රතිපත්තිය වුයේ මිනිස් ජිවිත වලට ඉහලින් ලාභය තැබීමයි. වසංගතය තවදුරටත් පැතිරෙමින් පැවතිය දී, එය පාලනය කිරීමට පැවති සියලු සීමාවන් ඉවත් කොට, සෑම රටක ම ආර්ථිකය පුර්න පරිමානයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පෙන්නුම් කෙරෙනුයේ, ධනපති නරුමත්වයේ අසීමිත පරිමාවයි.

Loading