සසප/සසජාතශි න්‍යෂ්ටික යුද්ධයට එරෙහි ව ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් කැඳවයි

ඔක්තෝබර් 16 ඉරිදා සවස 4ට “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනගනු” යන හිසින් පවත්වන රැස්වීමට සහභාගි වීම සඳහා, ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය කම්කරුවන්ට, තරුනයන්ට හා ගම්බද ජනයාට මෙතැනින් ලියාපදිංචි වන ලෙස කැඳවුම් කරයි.

න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනගනු! සසප හා සසජාතශි (ශ්‍රී ලංකාව) සංවිධානය කරන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම, ඔක්තෝබර් 16 ඉරිදා සවස 4ට

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය හා නැටෝව ගෙන යන යුද්ධය, ලොව පුරා වැඩකරන ජනයාට න්‍යෂ්ටික ව්‍යසනයක ආසන්න අන්තරාය දැන් ඉස්මතු කරයි. යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ දී, රුසියාවට ප්‍රධාන මිලිටරි පරාජයක් අත් කරදීමෙන් පසු ව, එක්සත් ජනපදය හා නැටෝව රුසියාවට එරෙහි යුද්ධය වැඩි දුර තීව්‍ර කරමින් සිටිති.

එක්සත් ජනපදයේ හා එහි යුරෝපීය සගයන්ගේ යෝධ ආක්‍රමනයට මුහුන දෙමින් සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට නැටෝ ප්‍රහාරයක් එල්ල කලහොත් තමන් න්‍යෂ්ටික අවි යොදා ගැනීමට සූදානම් බව පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ, පැතිරී යමින් පවතින යුද ගින්න වැඩි දුර අවුලවමිනි.

රුසියාවට එරෙහි යුද්ධයටත්, චීනයට එරෙහි යුද සූදානමටත්, ඉන්දියාව හා ලංකාව ඇතුලු දකුනු ආසියානු රටවල් ඒකාග්‍ර කරගැනීමට, එක්සත් ජනපදය වැඩ කරමින් සිටී. චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික හවුල්කරුවෙකු වන ඉන්දියාව, රුසියාවට ද එරෙහි ව පෙල ගස්වා ගැනීම එක්සත් ජනපදයට අවශ්‍ය කරයි. යූඑස්-ඒඩ් ප්‍රධානී සමන්තා පවර් මෑත දී ශ්‍රී ලංකාවට කල සංචාරය, එක්සත් ජනපද යුද සැලසුම් තුලට කොලඹ සමීප ව හවුල් කර ගැනීමට තල්ලුව දීමට වොෂින්ටනය යොදාගත්තේ ය.

අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද උත්සන්නිය මෙන් ම, රුසියානු කතිපයාධිකාරය නියෝජනය කරන පුටින් තන්ත්‍රයෙහි ප්‍රතිගාමී ප්‍රතිචාරය ද ප්‍රතික්ෂේප කිරීමට කම්කරුවෝ කටයුතු කල යුතු ය. න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය වැලැක්වීමට හැකි මේ මිහිමත සිටින එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

ව්‍යාජ-වාම සංවිධානවල පිටුබලය ලබන අධිරාජ්‍යවාදී බලයන් හා ඒවායේ මාධ්‍ය, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය පිලිබඳ ව කම්කරු පන්තිය අඳුරේ තබා ඇත. දකුනු ආසියාවේ මාධ්‍ය ද මීට වෙනස් නැත.

අධිරාජ්‍යවාදී බලවත්තු න්‍යෂ්ටික යුද්ධයකට යොමු නො වනු ඇතැයි කිසිවෙක් විශ්වාස නො කල යුතු ය. සංගත ලාභ ආරක්ෂා කිරීමේ අරමුනින් ක්‍රියාත්මක වන ලොව පුරා ආන්ඩු, කෝවිඩ්-19 වසංගතයට ජීවිත මිලියන ගනනක් කැප කර ඇත්තේ, වෛරසය මුලිනුපුටා දැමීමට අවශ්‍ය පියවර නො ගනිමිනි.

යුද්ධයේ මූලික හේතුව වන ධනවාදය සමාජවාදී ඉදිරි දර්ශනයක පදනම මත අහෝසි කිරීම පිනිස, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා එහි ශාඛාවෝ සටන් කරමින් සිටිති.

ඔක්තෝබර් 16දා සවස 4ට පැවැත්වෙන සසප/සසජාතශි රැස්වීම මෙම අරගලයේ කොටසකි. රැස්වීමට මෙතැනින් ලියාපදිංචි වන්න.

Loading