ඇන්ටන් මාකස්ගේ වෘත්තීය සමිතිය කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් සංවිධානය කිරීම වැලැක්වීමට මැදිහත් වෙයි

කොග්ගල නිදහස් වෙලඳ කලාපය තුල පිහිටුවා තිබූ අවුරා ගාමන්ට් හා ෆැෂන් ගාර්මන්ට් යන කර්මාන්තශාලා ද්විත්වය වසා දමා සිය ගනනකගේ සේවය නතර කර ඇති තතු තුල ඒවායේ සේවකයෝ තම රැකියා රැක ගැනීමේ බරපතල අරගලයක නිරත වී සිටිති.

පසු ගිය අගෝස්තු 30 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කල පරිදි කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. එම කමිටුව පිහිටුවීමේ දී පිලිවෙලින් මාර්තු හා ජූලි මාසවල වසා දැමුනු එස්කුවෙල් හා අවුරා යන කම්මල් හි කම්කරුවන් ගනනාවක් මූලිකත්වය ගෙන ඇති අතර ෆැෂන් ගාර්මන්ට් සේවකයන් ද තම එකඟතාවය පල කොට ඇත.

නිදහස් වෙලඳ කලාපය- කොග්ගල

එම කමිටුව තැනීමට එක් වූ කම්කරුවන් විශේෂයෙන් වෘත්තීය සමිති සිදු කල පාවා දීම් නිසා තම අයිතීන් අහෝසි වීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කලහ. ඔවුන්ගේ ආසන්න අත්දැකීමක් වූයේ කොග්ගල එස්කුවෙල් සමාගම් දෙකේ කම්කරුවන් සිය කැමැත්තෙන් රැකියාවලින් ඉවත් වන බවට සමාගම ඉල්ලූ ලිපියකට අත්සන් කිරීමට නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් විසින් පොලඹවනු ලැබීමයි. මාකස් එසේ කලේ සමාගම අලුතින් පටන් ගන්නා ආයතනයකට අස් වූ සමාගමේ සේවකයන්ට ඇතුලු විය හැකි බව පවසමිනි. එහෙත් සේවකයන්ට ලැබුනේ සොච්චම් වන්දියක් පමනි.

මෙම ක්‍රියාකාරී කමිටුව, නිදහස් වෙලඳ කලාප ද ඇතුලු සෑම තැනක ම කම්කරුවන්ගේ සහයෝගය තම අරගලයට ගොනු කර ගැනීම සඳහා උද්ඝෝෂනයක් අරඹා ඇත. ඔවුන්ගේ මෙම දිරිමත් මූලිකත්වයට සහාය දෙන ලෙස අප සියලු කම්කරුවන්ගෙන් ඉල්ලමු.

කම්කරු ක්‍රියාකාරී කමිටුවේ උද්ඝෝෂනය වර්ධනය කෙරෙමින් පවතින තතු තුල පසු ගිය මාස කිහිපයේ එස්කුවෙල් කම්කරුවන්ට කිසිදු අයුරකින් කතා කිරීමටවත් සොයා ගත නොහැකි වූ මාකස් හදිසියේ මතු වී ඇත. ඔහු පසුගිය සැප්තැම්බර් 25 වන ඉරිදා පස්වරු 2 ට පැවැත්වෙන රැස්වීමකට පැමිනෙන ලෙස අවුරා සහ ෆැෂන් ගාර්මන්ට්ස් කම්කරුවන්ට කැඳවුම් කලේ ය .

ඔහුගේ මෙම මැදිහත්වීම, කොග්ගල නිවෙක සමාගම්වල පාලකයන් ගේ ඉල්ලීමක් නිසා සිදු වූවක් වීමට හොඳටම ඉඩ තිබේ. තවත් කම්හල් ගනනාවක් වැසී යාමේ තර්ජනය නිසා කොග්ගල නිවෙක කලාපයේ වැඩෙන නොසන්සුන්තාව තුල කම්කරුවන් තම අයිතීන් රැක ගැනීමට ස්වාධීන ව සංවිධානය වීම වැලැක්වීම සඳහා මාකස් ගේ සමිතියේ සේවය සමාගම් වලට අවශ්‍ය වී තිබේ. ඔහු සමාගම්වල හොඳ මිතුරෙකි.

සැප්තැම්බර් 25 සාකච්ඡාවට කැඳවා ගත් අවුරා සහ ෆැෂන් ගාමන්ට් කම්කරුවන් ඇමතීමට නියෝජිතයෙකු ලෙස එවා තිබුනේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ ලලිත් නමැති තවත් නායකයෙකි. ඔහු කම්කරුවන්ට ප්‍රකාශ කර සිටියේ ඉහත කම්හල් දෙකේ ම තම වෘත්තිය සමිතියක් නොපැවති නිසා කරුනු සඳහන් කර ලිපියක් කලමනාකාරීත්වයට යොමු කිරීම පමනක් තම සංගමයට කල හැකි බව යි.

ඒ අතරට දෙවන වරට කැඳවීමට නියමිත කම්කරු කාර්යාල පරීක්ෂනයට තම නියෝජිතයන්ට පැමිනිය නොහැකි බව කී ඔහු ඊට හේතුව ලෙස දැක්වූයේ, අදාල කම්කරුවන් වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ලබා ගෙන නොතිබීමයි. සමිති නායකයා කම්කරුවන්ට පවසා ඇත්තේ විවිධ උද්ඝෝෂන ක්‍රියාවල නොයෙදෙන ලෙසත් එසේ කලහොත් ලබාගැනීමට හැකි දේ පවා නොලැබී යනු ඇති බවයි.

මාකස්ගේ සමිති නියෝජිතයා පැවසූ මේ සියලු දෙයින් එකක් පැහැදිලි ය. එය නම්, තම රැකියා නැති වී ජීවන තත්වයන්ට පහර වැදී සිටින කම්කරුවන් තම අයිතීන් සඳහා අරගලය කිරීම අත්හැර දැමිය යුතු බවයි.

තම වෘත්තීය සමිතියක් තිබුනා නම් කුමක් හෝ කල හැකි ව තිබුනු බව ඔහු කීවේ ය. සමිතියක් තිබුනේ නම් එය කරන දේ ගැන හොඳ ම උදාහරනය නම් එය එස්කුවෙල් සමාගමේ කොග්ගල, යක්කල, ඒකල හා කෑගල්ල සහ තව නොයෙකුත් කම්හල් වල සොච්චම් වන්දියක් ලබා දීමට යට කර රැකියා දහස් ගනනක් වැනසෙන තැනට ක්‍රියා කිරීමයි.

කම්කරුවන්ට අවශ්‍යවන්නේ රැකියා රැක ගැනීමේ අරගලයකි. වෘත්තීය සමිති සිදු කරන්නාක් මෙන් රුදුරු සූරා කෑම මතින් ලාභ ගොඩ ගසා ගත් සමාගම් හිමියන් ආරක්ෂා කිරීම නොව, කම්හල් වසා දැමෙන තතු තුල රැකියා, නැත හොත් නියමිත මුලු සේවා කාලයට ම අදාල වන්දි ලබා ගැනීමේ අරගලයකි.

පසුගිය මාස ගනනාවේ කොග්ගල එස්කුවෙල්, අවුරා සහ ෆැෂන් ගාමන්ට්ස් කම්කරුවන් මුහුන දුන් ප්‍රශ්න පිලිබඳ පහත දක්වා ඇති කරුනු පෙන්වන්නේ එවන් අරගලයක අවශ්‍යතාවයයි.

අවුරා ගාමන්ට් කම්හල පසුගිය ජූලි මස 9 වන දින වසා දැමීමෙන් පසු කම්කරුවන්ට ජුනි මස වැටුප් පව‌ා තව ම ගෙවා නැත. කම්කරුවන් කම්කරු කාර්යාලයට පැමිනිලි කර ඇති අතර පලමු කැඳවීමට කලමනාකාරීත්වය පාර්ශවයෙන් කිසිවෙකු පැමිනියේ නැත. පරීක්ෂනය සඳහා ඉදිරි දිනයක් ලබා දෙන බව කම්කරු නිලධාරීන් පැවසූව ද, සති දෙකක් ඉක්ම ගොස් ඇතත් තවමත් කිසිදු දැනුම් දීමක් සිදු කර නැත.

ඒ අතර ෆැෂන් ගාමන්ට්ස් හි හිමිකාරිත්වය දරන ට්‍රෙන්ඩ් සෙටෙර්ස් සමාගමේ අධ්‍යක්ෂ ජෝසන් වොකාටේගේ අත්සනින් යුතුව පසු ගිය සැප්තැම්බර් 01 වන දින සියලු කම්කරුවන් වෙත ලිඛිත ව දන්වා ඇත්තේ ආයතන පිරිවැය ඉතිරි කිරීමට පියවර ගැනීමට සිදු වීම හේතුවෙන් ආයතනය දින නියමයක් නොමැති ව වසා දමන බවයි.

හේතු ලෙස දක්වා ඇත්තේ, දුර්වල ක්‍රියාකාරීත්වය නිසා නැව්ගත වීම ප්‍රමා දවීම, ඇනවුම් නොමැතිකම, කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාමට තරම් ඉන්ධන නොමැතිකම හා මෙහෙයුම් පිරිවැය අධික වීමයි. සමාගමේ අර්බුදය කම්කරුවන් මත පටවමින් කලමනාකරු සේවකයන්ට දන්වා ඇත්තේ සියලු දීමනා කපා හරින බව පමනි. ඒ අනුව මූලික වැටුප රුපියල් 20,000ක පමනක් ගෙවන බව දන්වා තිබේ. එහෙත්, පසුගිය අගෝස්තු මස වැටුපවත් අද දින තෙක් එනම් සැප්තැම්බර් 30 දින වන විටවත් ගෙවා නැත.

කර්මාන්ත ශාලාව වසා දැමීමේ තීරනය ඉවසන ලෙස කම්කරුවන්ට සිදුවන බව නරුම ලෙස දන්වන වොකාටේ, ඒ සමගම සඳහන් කර ඈත්තේ කම්කරුවන් වෙනත් ආයතනයකට රැකියාවකට ගියහොත් ඒ බව ආයතනයට දැන්වීමට කාරුනික වන ලෙසයි! ඔහුට එය දැන ගැනීමට අවශ්‍ය වී ඇත්තේ මූලික වැටුප පවා අත්හිටුවීමට බව අධ්‍යක්ෂ කියා ඇත.

පලමු කොට ම වයස අවුරුදු 50ට වැඩි හා සේවා කාලය මාස 6ට අඩු සේවකයින් ඉවත් කිරීමෙන් ඇරඹි ෆැෂන් ගාර්මන්ට්හි රැකියා කප්පාදුව අගෝස්තු මස අවසානයේ ෆැක්ටරිය වසා දමන විට සමස්තයක් ලෙස කම්කරුවන් දෙසීයකට අධික සංඛ්‍යාවකගේ දිවි මං අහුරා ඇත.

කොග්ගල නිදහස් වෙලඳ කලාපය තුල ලෝක සන්නාම දරන ඇඟලුම් කම්හල් පවා ඇනවුම් නොමැතිකම නිසා වැසී යාමේ අර්බුදයකට මුහුන දී ඇති තතු තුල මාස් හෝල්ඩින් සමාගමේ යුනිචෙලා කම්හලත් සැප්තැම්බර් මස මුල දී සතියකට දින තුනක් වසා තැබුනි.

මෙයින් ප්‍රකාශයට පත් වන්නේ දිවයිනේ සමස්ත ඇඟලුම් කම්හල් ක්ෂේත්‍රය ම අතිශයින් ම අවදානමකට ලක් වී ඇති තතු තුල ඇඟලුම් කම්හල් කම්කරුවන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවකගේ හා මිලියන සංඛ්‍යාත යැපෙන්නන්ගේ අනාගතය අර්බුදයක් කරා වේගයෙන් ලුහුටා යන කොන්දේසීන් ය.

වර්ධනය වන මෙම තත්වයට එරෙහි ව කම්කරු අයිතීන් රැක ගැනීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති ද පරම සතුරු ය.

එස්කුවෙල් ගාමන්ට් හි කම්හල් දෙක මාර්තු මස වසා දමන අවස්ථාව වන විට කම්මල් දෙකේ කම්කරුවන් 1600ක් පමන සේවයේ යෙදී සිටියහ. එම සමාගම් ජාලයට අයත් යක්කල, ඒකල හා කෑගල්ල කම්හල් වසා දැමීමෙන් කම්කරුවන් හාර දහසකගේ පමන රැකියා විනාශ කෙරුනි.

කොග්ගල කම්හල් වසා දැමීමේ තීරනය ගැන කම්හල් කලමනාකාරීත්වයෙන් දැන ගෙන, එය සමඟ මාස 18 ක් පමන සාකච්ඡා කල බව සඳහන් කරමින් ඇන්ටන් මාකස් මෙසේ ප්‍රකාශ කලේ ය: “පසුගිය වසර එක හමාරක පමන සිට අපි කම්කරුවන් හා එස්කුවෙල් හා ගැනුම්කරුවන් සමග සාකච්ඡා කොට එකඟතාවකට ඒමට උත්සාහ කලෙමු.” එහෙත් ඔහු කම්කරුවන්ගේ රැකියා රැක ගැනීමේ අරගලයකට කම්කරුවන් සුදානම් කලේ නැත.

ඔහු පැමිනි එකඟතාවය ගැන පවසමින් කොග්ගල එස්කුවෙල්හි කම්කරු කාන්තාවක් මෙසේ සඳහන් කලා ය: “අපිට වීආර්එස් [VRS] එක අස්සන් කරන්න බල කලා. මාස තුනකින් සමාගම වෙනත් නමකින් අරඹනවා කියලා කිව්වා ඒ දවස් වල සූම් [ZOOM] මීටින් තියපු ඇන්ටන් මාකස් දැන් අපේ දුරකථන ඇමතුමකටවත් පිලිතුරු දෙන්නෙ නෑ. අපි හැම මාසේ ම පඩියෙන් රුපියල් සීයක් වෘත්තීය සමිතියට ගෙව්වා” යනුවෙනි.

සමාජවාදී සමානතා පක්ෂයේ ඉල්ලීම මත ගොඩනඟා ඇති කොග්ගල නිදහස් වෙලඳ කලාප ක්‍රියාකාරී කමිටුව දැනටමත් සියලු කම්හල් ආශ්‍රිත ව වැදගත් මැදිහත්වීමක් සිදු කරයි. ඊට සහාය පලකල අහංගම ප්‍රදේශයේ එස්කුවෙල් හි සේවය කොට රැකියාව අහිමි වූ කම්කරු කාන්තාවක් මෙසේ කීවා ය: “අපිට වයස නිසා වෙන රස්සාවකට යන්න බැහැ. වැඩ කරපු නිසා වෙන ෆැක්ටරියක වැඩට ගන්නෙත් නැහැ. මේ තත්වයට ඇන්ටන් මාකස් සම්පුර්නයෙන් ම වග කියන්න ඕනේ.”

කලාපය තුල ගොඩනගා ඇති නිදහස් වෙලඳ කලාප ක්‍රියාකාරී කමිටුව සම්බන්ධයෙන් තමාට දැනගැනීමට ලැබුනු බව පැවසූ ඇය අවශ්‍ය ඕනෑ ම මැදිහත් වීමක් සිදු කිරීමට සූදානම්‍ ය. “ඕන උද්ඝෝෂනයකට කතා කරන්න, ගෙදර හිටියත් අපි ඕන දේකට එනවා” යනුවෙන් පැවසුවා ය.

එස්කුවෙල් සමාගම් වසා දමන විට සොච්චම් වන්දියක් ලබාගෙන අස්වීමේ ලිපියකට අත්සන් කිරීමට බල කල ඇන්ටන් මාකස් ගේ සමිතිය කලාපයේ තරුන කම්කරුවන් අතර වපුරන මිත්‍යාව වන්නේ තමාගේ මැදිහත් වීම නොවන්නට කම්කරුවන්ට එවැනි කිසිදු මුදලක් නොලැබෙන බවයි. එහෙත්, සොච්චම් මුදලකට තම රැකියාව අහිමි කරගැනීමක් කම්කරුවන්ට අවශ්‍ය නැත.

ලංකාව තුල තියුනු ලෙස ප්‍රකාශයට පත්වන්නේ ගෝලීය වසයෙන් වර්ධනය වන අර්බුදයකි. අර්බුදයේ බර පටවා රැකියා, වැටුප් හා අනෙකුත් අයිතීන් කප්පාදු කිරීමට ධනපති සමාගම් හා ආන්ඩු ගෙන යන ප්‍රහාරයන්ට විරුද්ධව සෑම රටක ම කම්කරුවෝ අරගලවලට පිවිස සිටිති. ලංකාව තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට කම්කරුවන් හා දුගීන් ගොදුරු කිරීමේ ප්‍රහාරයක දී සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය කොග්ගල කම්කරුවන්ට අනතුරු අඟවා සිටින්නේ ඇන්ටන් මාකස්ගේ සංගමය අරඹා ඇති මැදිහත් වීමෙන් ප්‍රවේශම් වන ලෙසයි. ඔහු මැදිහත් වන්නේ හාම්පුතුන් වෙනුවෙනි. කම්කරුවන්, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගනිමින් රැකියා හා අනෙකුත් අයිතීන් රැක ගැනීමට වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව සංවිධානය වීම අවශ්‍ය ය. කම්කරුවන් තම අයිතීන් සඳහා සටන් කිරීමේ තීන්දු තීරන ගැනීම සියතට ගත යුතු ය. වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ සමාගම්වල කාර්මික පොලිස්කාරයන් ලෙස ය.

ධනපති ක්‍රමය තුල, මහ ව්‍යාපරිකයන්ගේ හා ආන්ඩුවේ ප්‍රහාරවලින් කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රැකගත නොහැකි ය. ධනපති සමාගම්, නිෂ්පාදනය හා බෙදා හැරීම තම අතෙහි තබා ගෙන, ලාභ ගරා ගැනීම සඳහා කම්කරුවන්ගේ හා දුගීන්ගේ යහපත බිල්ලට දෙති. කම්කරුවන් නිෂ්පාදනය හා බෙදා හැරීම් සියතට ගෙන මහජනයාගේ අයිතීන් තහවුරු කිරීම සඳහා සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු ය. සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සඳහාත්, මහා සමාගම්, බැංකු සහ වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල සඳහාත් සටන් කරන ලෙස අප ඉල්ලා සිටින්නේ මේ නිසා ය.

Loading