හේග් නුවර මහජන විනිශ්චය සභාව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්, එවක පැවති රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කරයි

2009 දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම හා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකාවේ එවකට පැවති ආන්ඩුව වග කිව යුතු බව හේග් නුවර මහජන විනිශ්චය සභාව පසුගිය 19 දා ප්‍රකාශයට පත් කලේ ය. එවකට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ආරක්ෂක ලේකම් ව සිටි රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම මත මෙම මාධ්‍යවේදියා ඝාතනය කල බවට බොහෝ චෝදනා එල්ල විය. ඝාතනය සිදු කල ආකාරය, පැවති ආන්ඩුවේ මෙන්ම, ආරක්ෂක සංස්ථාපිතයේ ද ඊට ඇති සම්බන්ධය මනාව පෙන්නුම් කරයි. වික්‍රමතුංග ඝාතනයෙන් පසු, ප්‍රකට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් දුසිමක් පමන ලංකාවෙන් පලා ගියහ.

ලසන්ත වික්‍රමතුංගගේ අවමඟුල් බැනරයක් [Source: Wikimedia commons]

විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වන විනිසුරු එඩුවාඩෝ බර්ටෝනි සඳහන් කලේ වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් “කොලඹ ආන්ඩුවට” එරෙහිව අධි චෝදනා පත්‍රයක් නිකුත් කරන ලද බවයි. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියාගේ ජාත්‍යන්තර මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් “කොලඹ ආන්ඩුව” වගකිව යුතු බව අවධාරනය කරමින් මෙම අධි චෝදනා ගොනු කර ඇති බව බර්ටෝනි තව දුරටත් සඳහන් කලේ ය.

2009 ජනවාරියේ දී ගුවන් හමුදා මුරපොලකට මීටර් 100 ක් පමන දුරින් සහ අධි ආරක්ෂිත කලාපයකට යාබද ව, මහ දවාලේ, වික්‍රමතුංගව වෙඩි තබා ඝාතනය කරන ලද්දේ, කාර්යබහුල තදාසන්න මාර්ගයක වැඩට යමින් සිටිය දී ය. ඇසින් දුටු සාක්ෂිකරුවන් කියා සිටියේ, යතුරු පැදි වලින් පැමිනි මුහුනු ආවරනය කරගත් තුවක්කුකරුවන් හතර දෙනෙකු ඝාතනයට සම්බන්ධ වූ බව ය. එක් අයෙක් වික්‍රමතුංග ගමන් කරමින් සිටි වාහනය අවහිර කල අතර අනෙක් දෙදෙනා ආරක්ෂාව සලසද්දී අනෙකා වාහනයේ ඉදිරිපස වීදුරුවේ සිදුරක් කඩා වික්‍රමතුංගට පිස්තෝලකයකින් වෙඩි තැබී ය. පසු ව ඝාතකයෝ සලකුනකුදු නොතබා අතුරුදහන් වූහ.

විනිශ්චය සභාව දින දෙකක් තිස්සේ තම විභාගය පවත්වන ලදි. පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධවලට වගකිවයුත්තන් නිදැල්ලේ සිටින ආකාරය ගැන හා අනතුරට මුහුන දෙන සුවිශේෂී පුවත්පත් කලාවේදී කන්ඩායම් ගැන පලමු දිනයේ දී සාක්ෂි විභාග කල අතර, දෙවැනි දින වෙන් කර තිබුනේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙනුවෙනි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝත්ති සරවනමුත්තු, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීන් වෙනුවෙන් බෂ්නා අබේවර්ධන, අතුරුදහන් වූ පුවත්පත් කලාවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද, සන්ධ්‍යා එක්නැලිගොඩ, හා පුවත්පත් කලාවේදිනියක වන දිල්රුක්ෂි හඳුන්නෙත්ති, මෙම විනිශ්චය සභාවේ දී සාක්කි දුන්හ.

මෙම ඝාතනය, එවක රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විරුද්ධවාදීන් නිහඬ කිරීමේ වැඩ කටයුතු වල කොටසකි. වික්‍රමතුංග ඝාතනයට දින දෙකකට පෙර, ජනවාරි 6 දා අලුයම එම්ටීවී/සිරස විකාශන ජාල මූලස්ථානයට කඩා වැඩුදන සන්නද්ධ කල්ලියක් ආරක්ෂකයින් යටත් කර, ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදු කරන ලදි. දැනුම් දුන් නමුත්, විනාඩි 30 ක ප්‍රහාරය අවසන් වන තෙක් පොලීසිය පැමිනියේ නැත. එම කාලය තුල. ස්වයංක්‍රීය රයිෆල්, පිස්තෝල, අත්බෝම්බ සහ බිම් බෝම්බයකින් වෙස්මුහුනු බැඳගත් සන්නද්ධ තුවක්කුකරුවන් 20 ක් පමන පාලක මැදිරිය විනාශ කර, කාර්යාල සහ චිත්‍රාගාරවලට වෙඩි තබමින් විශාල හානියක් සිදු කරන ලදී.

වික්‍රමතුංග ඝාතනය සහ විශ්ලේෂනය කරමින් 2009 ජනවාරි 13 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) මෙසේ ලිවීය:

“පසුගිය තෙවසර පුරා රටේ දෙමල සුලුතරයට ද ආන්ඩුව හා යුද්ධය පිලිබඳ ව විවේචනශීලී වූ කවරෙකුට හෝ එරෙහි ව එල්ල කල, සිය ගනනක් ප්‍රචන්ඩ ප්‍රහාරයන්, ඝාතන හා පැහැර ගෙන යාම් සඳහා වගකිව යුතු, මිලිටරියේ අනුග්‍රහය ලත් මැර කල්ලි විසින් සිදුකල ප්‍රහාරයන්හි මුද්‍රාව මෙම සිදුවීම් දෙක තුල ම දක්නට ඇත.”

හේග් විනිශ්චය සභාවේ වැඩ කටයුතු මගින් මෙම විශ්ලේෂනයේ නිවැරදි බව නැවත වරක් තහවුරු වෙයි.

වික්‍රමතුංග ඝාතනය ඇතුලු ව මාධ්‍යවේදීන්ට සහ ජන මාධ්‍යයන්ට එරෙහි ව එල්ල කල ප්‍රහාරයන් හෙලිදරව් කිරීමට ලෝසවෙඅ එක දිගට කටයුතු කර ඇත.

“ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිව යුත්තේ කවුද?” යන හිසින්, 2017 මාර්තු 28 දා ලෝසවෙඅ හි පල කෙරුනු ලිපිය මෙසේ පවසයි:

දි අයිලන්ඩ් පුවත්පතේ පලවූ ඒ පිලිබඳ වාර්තාවට අනුව, එම ප්‍රහාරක කන්ඩායම නියෝග ලබා ගත්තේ ගෝඨාභය රාජපක්ෂගෙනි.”

“ආන්ඩුව ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යොදාගත් මිලිටරි ඝාතක ජාලය ආරක්ෂා කරයි” යන මැයෙන්, 2018 මාර්තු 7 දා වෙබ් අඩවිය පලකල ලිපියේ මෙසේ සඳහන් විය:

“පසුගිය වසරේ මාර්තු මස, පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට කරුනු දක්වමින් කියා සිටියේ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ දිවුරුම් ප්‍රකාශයකින් හෙලිදරව් වන අයුරු, වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ විශේෂ මිලිටරි ඝාතක කන්ඩායමක් විසින් බවයි. එවක හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරන යටතේ එය ක්‍රියාත්මක වී ඇත. එකල, ද නේෂන් පුවත් පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු වූ කීත් නොයාර්ට බරපතල ලෙස පහර දීම ඇතුලු මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර වලට වගකිව යුත්තේ මෙම එකම කන්ඩායම බව ද ප්‍රකාශයෙන් එලිවන්නේ යයි රහස් පොලීසිය පැවසී ය.”

වික්‍රමතුංග ඝාතනය සිදු කලේ කොලඹ හා තදාසන්න ප්‍රදේශයන්හි මාර්ග බාධක ඇතුලු දැඩි ආරක්ෂක දැලක් එලා, ආරක්ෂක හමුදාවන් හා පොලීසිය විසින්, වාහන, මඟීන් හා පදිකයන් පවා දැඩි පරික්ෂාවට ලක් කරමින් තිබූ තත්වයක දී ය. නමුත් එය ඝාතකයන්ට නිදැල්ලේ පලායාමට බාධාවක් වූයේ නැත. විරුද්ධවාදීන් දඩයම් කිරීමට යොදාගත්, අංක තහඩු නොමැති වාහන පවා කිසිදු බාධාවකින් තොරව එකල නිදැල්ලේ සැරිසැරීය.

බර්ටෝනි කියා සිටියේ, ජීවත් වීමට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඵලදායී පිලියම් සඳහා ඇති අයිතිය මත විශේෂයෙන් ම මෙම චෝදනා ගොනු කල බවයි. චෝදනා ඉදිරිපත් කිරීමේ දී විනිසුරුවරයා අවධාරනයෙන් ප්‍රකාශ කර සිටියේ “දේශපාලන මතය මත පදනම් ව වෙනස්කම් කිරීමෙන් නිදහස් වීමට වික්‍රමතුංගට ඇති අයිතිය ආන්ඩුව විසින් උල්ලංඝනය කර ඇති බව” ය.

විනිශ්චය සභාවේ තවන් විනිසුරුවරයෙකු වන මාටිනා ෆෝටි අවධාරනය කලේ, “ලංකාවේ වඩාත් ප්‍රකට හා විවෘත ව අදහස් ප්‍රකාශ කල පුවත්පත් කලාවේදියා” වෙත පැකිලීමකින් තොරව එල්ල කල මෙම ප්‍රහාරය, එදා ස්වාධීන පුවත්පත් කලාවේදීන් මුහුන දුන් වඩාත් විශාල ප්‍රශ්නයක කොටසක් බවත්, එය අද දින දක්වාමත් පවතින බවත් ය. පසුගිය මාර්තු 12 හා 13, හේග් නුවර පැවැත්වූ මෙම සභාවේ සැසිවාරයේ දී, 2004-2010 කාලයේ දී, පුවත්පත් කලාවේදීන් 27 දෙනෙකුගේ සහ ජනමාධ්‍ය සේවකයන් 17 දෙනෙකුගේ නීති විරෝධී ඝාතනයන් ගැන සාක්ෂි හා ලියවිලි ඉදිරිපත් වූ බව සඳහන් කල ඇය තව දුරටත් කියා සිටියේ, “මෙම ඝාතන ඵලදායි ලෙස විමර්ශනය කර අපරාධකරුවන් වරදකරුවන් කර නොමැති” බව ය.

මෙම ඝාතනයන් හුදෙක් ලංකාවට පමනක් සිමාවූවක් නොවේ. දේශසීමා රහිත මාධ්‍යවේදීන් හා වාර්තාකරුවන් ආරක්ෂා කිරීමේ කමිටුව, සිමාරහිත නිදහස් මාධ්‍ය ආරම්භකත්වය පිසින් මූලිකත්වය ගත් “සත්‍යය සඳහා ආරක්ෂිත ලෝකයක්” ව්‍යාපාරයට අනුව 1992 සිට ලොව පුරා මාධ්‍යවේදීන් 1400 කට වඩා ඝාතනය කර ඇති අතර, ඝාතකයන් මේ වන තෙක් සිටින්නේ නිදැල්ලේ ය. මහජන විනිශ්චය සභාව පිහිට වූයේ මෙම ආරම්භකත්වය විසිනි.

ශ්‍රී ලංකාවට අමතර ව, මෙක්සිකෝව හා සිරියාව මෙම සභාවේ අවධානයට ලක් ව ඇත. චෝදකයන් වරදකරුවන් කිරීමට මෙම විනිශ්චය සභාවට බලයක් නොමැති අතර, තම අරමුන වනුයේ, දැනුවත් කිරීම, ආන්ඩු වලට බලපෑම් කිරීම සහ සාක්ෂි රැස් කිරීම බව ඔවුන් පවසයි. නමුත් ඔවුනගේ අනාවරනයන්, ලොව පුරා ධනපති ආන්ඩු විසින් ජන මාධ්‍යයන්ට, මාධ්‍යවේදීන්ට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් ගැන වැදගත් තොරතුරු හෙලිදරව් කරයි.

විනිශ්චය සභාව අනාවරනය කරන අයුරින්, වික්‍රමතුංග ඝාතනයට, පැවති රාජපක්ෂ ආන්ඩුවේ සම්බන්ධය පැහැදිලි ය. කොලඹ සංස්ථාපිතයේ සෙසු කොටස් මෙන්ම, එල්ටීටීයට එරෙහි යුද්ධයට සහාය දැක්වූ නමුත්, එවකට වික්‍රමතුංග කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පත, ඇමතිවරුන් හා ප්‍රධාන හමුදා නිලධාරීන් ගෙන ගිය ඉහල මට්ටමේ දූෂන සම්බන්ධයෙන් අවස්ථා ගනනාවක දී හෙලිදරව් කර තිබුනි. රාජපක්ෂ තන්ත්‍රයේ වැඩ කටයුතු මඟින්, දේශපාලන තත්වය තව තවත් අස්ථාවර කරන බවට කනස්සල්ලට පත් ව සිටි පාලක ප්‍රභූවේ ම කන්ඩායමක ආස්ථානයන් වික්‍රමතුංග ප්‍රකාශයට පත් කලේ ය.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව යුක්‍රේනයෙන් මිලට ගත් මිග් ප්‍රහාරක ගුවන් යානා පිලිබඳ ගනුදෙනුව මින් ප්‍රධාන ම හෙලිදරව්වකි. වික්‍රමතුංග ඝාතනය කරන අවස්ථාව වන විට, ලීඩර් පත්‍රයේ මේ සම්බන්ධ ව පල වූ ලිපියක් මත පාදක ව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා, ගෝඨාභය රාජපක්ෂ දිස්ත්‍රික් උසාවියේ අපහාස නඩුවක් ගොනු කර තිබුනි.

ගෝඨාභය රාජපක්ෂගේ හා ඔහුගේ බෑනා කෙනෙකු වන උදයංග රාපක්ෂගේ ප්‍රධානත්වයෙන් කෙරුන මෙම මිග් යානා ගනුදෙනුව, රාජපක්ෂ තන්ත්‍රය දූෂන චෝදනා ලැබූ ප්‍රධාන සිද්ධියකි. ටෙන්ඩර් පටිපාටියට පිටින් සිදු කල මෙම ගනුදෙනුව යුක්ති සහගත කෙරුනේ එය ලංකාවේ සහ යුක්‍රේනයේ රාජ්‍යයන් අතර 2007 දී ඇති කර ගත් ගිවිසුමක් මත සිදු කෙරුනක් ලෙස කියා පාමිනි.

නමුත් වික්‍රමතුංග ප්‍රමුඛ මාධ්‍යව්දීන් හෙලිදරව් කලේ එය එසේ නොවන බව ය. එම වර්ගයේ ගුවන් යානයකට 2000 දී ගෙවනු ලැබූ මිල මෙන් දෙගුනයක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 2.462 ගෙවා මිලදී ගනු ලැබූවේ එක්සත් රාජධානියේ බෙලිමිස්සා හෝල්ඩිංස් සමාගම හරහා බව රාජපක්ෂවරු ප්‍රකාශ කලහ. නමුත්, වික්‍රමතුංග පෙන්වා දුන්නේ ඇත්තටම එවැනි සමාගමක් එක්සත් රාජධානියේ ලියා පදිංචිව නොපැවති බව සහ යුක්‍රේනයට ගෙවා ඇති මුදල ඇත්තටම ප්‍රකාශ කල ඩොලර් 14,661,944.24 නොව ඩොලර් 7,833,000 පමනක් බව ය.

මීට පෙර, මැයි 13 දා පැවති සැසිවාරයක දී, සාක්ෂි දුන් අපරාධ පරික්ෂන දෙපාර්තමේතුවේ හිටපු නිලධාරියකු හා වික්‍රමතුංග ඝාතනය ගැන 2015 සිට 2019 දක්වා නිල පරීක්ෂනය ක්‍රියාත්මක කල නිශාන්ත සිල්වා කියා සිටියේ, අධිකරනයේ දී වික්‍රමතුංග විසින් තමන්ට එරෙහිව සාක්ෂි දීම වැලැක්වීම සඳහා පැහැදිලි අවශ්‍යතාවයක් මෙන්ම, අවශ්‍ය වන සම්පත් හා අවස්ථාවත්, ආරක්ෂක ලේකම්ට තිබූ බවත් ය. 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ව, සිල්වාට හොර රහසේ ලංකාවෙන් පැන යාමට සිදු විය.

වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කිසිදු මූලික වරදකරුවෙකු සොයා ගැනීමට එවක පැවති රාජපක්ෂ තන්ත්‍රය මෙන්ම පසු ව බලයට පත්වූ කිසිදු ආන්ඩුවක් කවර හෝ උත්සාහයක් නොදැරීම මගින් පෙන්නුම් කරන්නේ, එම ඝාතන ආරක්ෂා කිරීම සඳහා සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ම කැපවීමයි.

Loading