ඉදිරිදර්ශන

එක්සත් ජනපද-නැටෝ සන්ධානය සහ රුසියාව න්‍යෂ්ටික තර්ජන තීව්‍ර කරති

යුක්‍රේනය තුල යුද්ධය නතර කරනු!

(මෙය Stop the war in Ukraine! මැයෙන් 2022 ඔක්තෝබර් 3දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

1962 කියුබානු මිසයිල අර්බුදයේ පටන් කිසිදාක, ලෝකය අද තරම් න්‍යෂ්ටික යුද්ධය අද්දරට පැමින නැත.

එයට සහ අද දින ලෝකය වෙලාගනිමින් පවත්නා අර්බුදයට දක්වා ඇති ප්‍රතිචාරයන් අතර කැපී පෙනෙන වෙනස්කමක් තිබෙන බව හඳුනා ගැනීමට, එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි පසෙකින් තැබුව ද, ස්ටැලින්වාදී නායක නිකිතා කෘෂෙව් පවා උත්කර්ෂයට නැංවීම අවශ්‍ය නොවේ.

කියුබානු මිසයිල අර්බුදය පිලිබඳ ව මෑතක පල කල නියුක්ලියර් ෆෝලි (Nuclear Folly) නමැති කෘතියක් තුල, දෙපාර්ශවයෙන් ම යෝධ අවගනනයන් හා වැරදි සීරුමාරු කිරීම් තිබුන ද “කෙනඩි හා කෘෂෙව් යන දෙදෙනො ම න්‍යෂ්ටික ආයුධවලට හා ඒවා යොදාගැනීමේ අදහසට බිය වූ බැවින්, එම අර්බුදය වෙඩි තබාගැනීමේ යුද්ධයක් බවට වර්ධනය නො වූ” බව ඉතිහාසඥ සර්හී ප්ලෝකි ලියයි.

“න්‍යෂ්ටික යුද්ධයකින් ජයග්‍රහනය කල හැකි බව ඔවුන් විශ්වාස නො කල නිසා” කෙනඩි හා කෘෂෙව් “එතරම් මැ දක්ෂ ලෙස ඔවුන් විසින් ම නිර්මානය කරන ලද උගුල් තුලට පය නො තැබූ අතර, එවන් ජයග්‍රහනයකට මිලක් ගෙවීමට ද ඔවුහු සූදානම් නො වූ හ. න්‍යෂ්ටික ආයුධ යොදාගැනීම කෙරෙහි, එම නායකයන් දෙදෙනා වඩා වැඩි උද්ධච්ඡ ආකල්පයක් දැරුවේ නම්, කියුබානු අර්බුදයෙහි ප්‍රතිඵලය කවරක් වනු ඇද්දැයි සිතාගැනීම පවා අසීරු ය” යි ප්ලෝකි තව දුරටත් ලියයි.

නව ගෝලීය න්‍යෂ්ටික අර්බුදයක් මධ්‍යයේ, මෙම සිතාගත නො හැකි ප්‍රතිඵලය සැබෑවට ම කවරක් වනු ඇද්දැයි ප්‍රදර්ශනය කිරීම ඉලක්ක කරගත් අයුරකින්, එක්සත් ජනපද/නැටෝ සන්ධානය සහ රුසියාව ක්‍රියාත්මක වන බව පෙනෙයි. න්‍යෂ්ටික යුද්ධයක ඵලවිපාක කෙරෙහි ඇඟ කිලිපොලා යන නො තැකීමක් පවතී.

සිය බටහිර “හවුල්කරුවන්” සාකච්ඡාවට ගෙන ඒම සඳහා බල කරනු ලැබිය හැකි ය යන බොලඳ හා මංමුලා සහගත උපකල්පනය මත, යුක්‍රේන ආක්‍රමනය දියත් කර ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්‍රේනය තුල ඔහුගේ බංකොලොත් හා ප්‍රතිගාමී මූලෝපායෙහි ඇදහිය නො හැකි අසමර්ථතාවට මුහුන දෙයි. කාර්කිව්හි අන්ත පරාජය හා ඉන් පසුව රුසියාව දැන් තමන්ගේ ම යයි කියාපාන භූමිය තුලට යුක්‍රේනියානු මිලිටරිය ඉදිරියට පැමිනීම ඇතුලු ව, මෑත සති කිහිපයෙහි සිදු වූ පරාජයන් මාලාවක් රුසියානු මිලිටරියට අත්විඳීමට සිදු වී තිබේ.

එක්සත් ජනපද-නැටෝ න්‍යාය පත්‍රය අවතක්සේරු කල රුසියාව, එරට මුලුමනින් ම නුසූදානම් ව සිටි යුද්ධයකට එක්සත් ජනපදය විසින් දක්කනු ලැබී ය. අවමන් සහගත පරාජයන් සහ රුසියානු කතිපයාධිකාරය ඇතුලත අභ්‍යන්තර අර්බුදය හා එකිනෙකාට දොස් පවරා ගැනීම් මධ්‍යයේ, පුටින් පාලන තන්ත්‍රය, න්‍යෂ්ටික අවි යොදාගන්නා බවට කරන නො වරදිනසුලු තර්ජන සහිතව ප්‍රතිචාර දක්වමින් සිටී.

අනෙක් අතින්, ඔවුන්ගේ ගෝලීය භූ-දේශපාලනික අරමුනු ලුහුබැඳීමේ දී සිය වාසිය තහවුරු කිරීමට අධිෂ්ටානවත් ව සිටින එක්සත් ජනපදය හා නැටෝව, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනයෙන් ඔවුන් “බිය නො වදින” බවට ප්‍රකාශ පලකරමින් සිටිති.

ඇමරිකානු පුවත්පත් හා රූපවාහිනී වැඩසටහන් තුල, න්‍යෂ්ටික යුද්ධයක ශක්‍යතාව පිලිබඳ විවෘත සාකච්ඡාවක් පවතී. නිව් යෝර්ක් ටයිම්ස් ඉරිදා මෙසේ ලීවේ ය: “යුක්‍රේනය තුල රුසියානු භටයන්ගේ පරාජයන් වසාගනුවස්, ජනාධිපති ව්ලැදිමීර් වී. පුටින් උපායාත්මක න්‍යෂ්ටික ආයුධයක් භාවිතා කිරීමට තීන්දු කරනු ඇතැයි යන්න මත වොෂින්ටන නිලධාරීහු පරිදර්ශන ක්‍රීඩාවක යෙදී සිටිති ... යුක්‍රේන භූමිය මත රුසියාව උපායාත්මක න්‍යෂ්ටික ආයුධයක් පුපුරුවා හැරිය හොත්, ... යම් ආකාරයක මිලිටරි ප්‍රතිචාරයක් ඇතුලත් විකල්පයන් නිලධාරීහු ගනනාවක්ම යෝජනා කල හ.”

රුසියාව න්‍යෂ්ටික අවියක් භාවිතා කලහොත් එක්සත් ජනපදය කුමක් කරනු ඇද්දැයි, ඒබීසී රූපවාහිනියේ “ජාතියට මුහුන දෙන්න” නමැති වැඩසටහනේ දී විමසූ විට, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ඩේවිඩ් පෙට්‍රේවුස් මෙසේ පිලිතුරු දුන්නේය: “යුක්‍රේන සටන් බිම මත මෙන්ම, ක්‍රිමියාව තුල අපට දැකගත හැකි හා හඳුනාගත හැකි සෑම සාම්ප්‍රදායික රුසියානු හමුදාවක් මෙන් ම, කලු මුහුදේ සෑම නැවක් ම ද විනාශ කිරීම සඳහා නැටෝ නායකත්වය සහිත සාමූහික ප්‍රයත්නයකින් අපි ප්‍රතිචාර දක්වනවා.”

ලක්ෂ සංඛ්‍යාත ජනයා මරනයට පත් කරමින්, ප්‍රතිප්‍රහාරයකින් තොරවම, රුසියානු හමුදා අතුගා දැමීමට එක්සත් ජනපදයට හා නැටෝවට හැකිවෙතැයි, ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ මිනීමරු ප්‍රචන්ඩත්වයන්හි දී එක්සත් ජනපද හමුදාවන්ට නායකත්වය දුන් ජෙනරාල් පෙට්‍රේවුස් විශ්වාස කරන බව පෙනේ. රුසියානු මිලිටරි හමුදාවන් මතට නැටෝව එල්ල කරන එවන් ප්‍රහාරයක්, බටහිර යුරෝපයේ ද උතුරු ඇමරිකාවේ ද සෑම ප්‍රධාන අගනුවරක ම බියකරු ජීවිත අහිමිවීමක් සහිත දැවැන්ත ව්‍යසනයක් ජනිත කරමින් ක්‍රෙම්ලිනයේ පාර්ශවයෙන් තාප-න්‍යෂ්ටික ප්‍රතිචාරයක් අවුලුවනු ඇතැයි අවබෝධ කර නො ගැනීමට නම්, යමෙකු උමතුභාවයට ආසන්නතම අවස්ථාවක සිටිය යුතු ය.

“රුසියාවේ ඈඳාගැනීම් ලෝකය න්‍යෂ්ටික යුද්ධයට ‘පියවර දෙක තුනක් ආසන්නයට ගෙන එයි’” යන හිසින් වොෂින්ටන් පෝස්ට් පල කල ලිපියක් තුල, නිර්නාමික යුරෝපීය නිලධාරියෙකු විසින් ඉව බව නැති කමේ මට්ටම සම්පින්ඩනය කරනු ලැබී ය: “පුටින් කවරක් කිරීමට තීන්දු කරනු ඇද්දැයි කිසිවෙක් දන්නේ නැහැ. නමුත් ඔහු මුලුමනින් ම කොන් වී, වියරු වැටී සිටිනවා ...ඔහුට එලියට මාවතක් නැහැ. ඔහුට පවතින එක ම මාවත සම්පූර්න ජයග්‍රහනය හෝ සම්පූර්න පරාජය වන අතර, අපි වැඩ කරමින් සිටින්නේ පසුව සඳහන් කල දෙය සිදු කිරීමට යි. යුක්‍රේනයේ ජයග්‍රහනය අපට අවශ්‍ය කරන අතර, යුක්‍රේනයට ජයග්‍රහනය සඳහා උදවු කිරීම මගින් නරක ම පරිදර්ශනයන් වැලැක්වීමට අපි ක්‍රියාත්මක වෙමින් සිටිනවා.”

මෙම ප්‍රකාශ සිදු කරන ආචාර්ය ස්ට්‍රේන්ජ්ලව්ස් වැනි අය, ඔවුන්ගේ ම පිලිවෙත්වල ගම්‍යයන් ගැන සිතා බලාවත් තිබෙනවා ද? කවර විපාක ජනනය කල ද, රුසියාවේ “සම්පූර්න පරාජයට” හේතු වන මාවතක් එක්සත් ජනපදය හා නැටෝ බලයන් අනුගමනය කල යුතු බව, ඔවුහු අවධාරනය කරති. “නරක ම පරිදර්ශනය” වැලැක්වීම වෙනුවට, ඔවුන්ගේ වචන හා ක්‍රියාවන්, “නරක ම” ප්‍රතිඵලයකට හේතු වන ගින්නක් අවුලුවාලයි. අගාධය අද්දර සිටින අධිරාජ්‍යවාදී බලයන්ගේ ආස්ථානය වන්නේ, “සම්පූර්න ජයග්‍රහනය තෙක් ඉදිරියට යාම” යි.

අන් සෑම විටක මෙන් මෙහි දී ද, න්‍යෂ්ටික ආයුධ යොදාගැනීමට පුටින් කරන තර්ජනයන්, මහ බලවතුන්ගේ සදාචාරය පෙර නුවූ විරූ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හෙලාදකිමින් සිටින අධිරාජ්‍යවාදී යුදකාමියෝ, ඔවුන්ගේ ම අතීත ක්‍රියාවන් පිලිබඳ විස්මයජනක අමතක වීමක් ප්‍රදර්ශනය කරති. එහෙත්, එක්සත් ජනපදය (හිරෝෂිමාවේ හා නාගසාකියේ අනාරක්ෂිත මහජනයාට එරෙහි ව) න්‍යෂ්ටික අවි භාවිතා කර ඇතුවා පමනක් නො ව, එය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයෝ මිලිටරි පරාජයක තර්ජනයන්ට මුහුන දුන් විට න්‍යෂ්ටික අවි යොදාගැනීමේ අද්දරට ම පැමිනිය හ.

1950 ගනන්වල දී, තම දේශසීමාව ඉක්මවමින් කොරියාවට පැමිනි චීන භටයන්ට එරෙහි ව, න්‍යෂ්ටික බෝම්බ 30ක තරම් විශාල ප්‍රමානයක් භාවිතා කිරීම සඳහා ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් අවසර ඉල්ලුවේ ය. 1954 දී, ඩීන් බීන් ෆූහි දී කොටු වුනු සිය භටයන් ආරක්ෂා කරගැනීමට න්‍යෂ්ටික ආයුධ භාවිතා කරන්නැයි, ප්‍රන්සය එක්සත් ජනපද ජනාධිපති අයිසන්හවර්ට ආයාචනා කලේ ය. 1962 කියුබානු මිසයිල අර්බුදය සමයේ දී, කෙනඩි මත් න්‍යෂ්ටික අවි යොදාගන්නා බවට තර්ජනය කලේ ය. 1973 දී, යොම් කිප්පූර් යුද්ධයෙහි ආරම්භක දවස්වල පරාජයට මුහුන දුන් ඊස්රායලය, ඊජිප්තුවට එරෙහි ව න්‍යෂ්ටික අවි යොදාගැනීමේ සමීපයට පැමිනියේ ය.

වොෂින්ටනය හා මොස්කෝව වෙලාගනිමින් තිබෙන මනෝගතීන් මංමුලාව හා ඉව බව නැති කම මගින් විස්තර කල හැකි වුවත්, එහි මූලාශ්‍රය ඒවාට විස්තර කල නො හැක. මෙම හැසිරීම සම්බන්ධයෙන් දේශපාලනික විග්‍රහයක් සොයාගනු ලැබිය යුතු ය.

පසුව පැමිනි සියලු සමාජ-ආර්ථික හා දේශපාලනික ව්‍යසනයන්ට හේතු වූ ඓතිහාසික පාවාදීමක් වන, සෝවියට් සංගමය බිඳ විසුරුවාහැරීමෙහි විපාකවලට එය මුහුන දෙතැයි යන කරුනෙන්, පුටින් පාලන තන්ත්‍රයෙහි මංමුලාව පැන නගී. සෝවියට් සංගමය බිඳ විසිරවීම මගින්, අධිරාජ්‍යවාදය පිලිබඳ ලෙනින්ගේ විශ්ලේෂනය වනාහි මාක්ස්වාදී මිථ්‍යාවකට වැඩි යමක් නො වේ ය යන මුලාව විශ්වාස කිරීම දක්වා ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය ධාවනය විය. එහෙත් දැන් මෙම “මිථ්‍යාව” සත්‍ය බව සනාථ වී ඇත. සෝවියට් සංගමයේ ඇදවැටීමෙන් තිස් වසරකට පසුව, රුසියාව කැබලි කිරීම ඉලක්ක කරගන්නා අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද්ධයකට එරට මුහුන දී සිටී.

ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සිරියාව ආක්‍රමනය කිරීම මගින් නිර්මිත ව්‍යසනයන් නො තකා, තමා බියපත් කරමින් හොල්මන් කරන කම්කරු-පන්තික විරුද්ධත්වයෙහි වර්ධනය, යුද්ධය හරහා යම් ආකාරයකින් වලකාගත හැකි යයි ඇමරිකානු පාලක පන්තිය විශ්වාස කරයි.

මේ සියල්ල මධ්‍යයේ, න්‍යෂ්ටික යුද්ධයෙහි විය හැකි විපාකවල ගම්‍යයන් ගැන අවංක ප්‍රකාශයක් නැත. මිලියන සිය ගනනක් හෝ බිලියන ගනනක් පවා වන මහා ජනකායක් සමූලෝත්පාඨනය කිරීමට තුඩු දිය හැකි සිද්ධියක් ගැන, දේශපාලනඥයෝ, ඉහල මිලිටරි නිලධාරීහු සහ මාධ්‍ය නොසැලිකිලිමත් ලෙස කතා කරමින් සිටිති.

කියුබානු මිසයිල් අර්බුදයට හා අද පවත්නා තත්ත්වයට දක්වන ප්‍රතිචාරය අතර වෙනසට හේතුව කුමක් ද? අවසානයේ දී, කියුබානු මිසයිල අර්බුදය න්‍යෂ්ටික යුද්ධයට තුඩු නො දුන්නේ ය යන කරුන, දේශපාලනික කාලපරිච්ඡේදයෙහි ස්වභාවයට ආරෝපනය කරනු ලැබිය හැකි ය. 1960 ගනන්වල දී, ඇමරිකානු අධිරාජ්‍යවාදය ගමන් කරමින් සිටියේ, පශ්චාත්-යුද ධනපති උත්පාතයේ යුගය හරහා ය. ලෝක භූමි භාගයෙන් හයෙන් පංගුවක් අයත් කරගෙන සිටි සෝවියට් සංගමය, මංමුලා සහගත හා වට වුනු වත්මන් රුසියානු රාජ්‍යයට වඩා නො ගිනිය හැකි තරම් ශක්ති සම්පන්න විය.

පුටින්ගේ ජාතික ස්වෝත්තමවාදය හා විදෙස් භීතිකාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් නිර්මිත අර්බුදයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැත. පරපුටු රුසියානු කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන පුටින්, එක්සත් ජනපදයට හා බටහිරට වඩා රුසියානු කම්කරු පන්තියට බිය වෙයි. සෝවියට් සංගමය බිඳ විසිරවීම මගින් නිර්මිත ව්‍යසනයට ඔහුගේ ප්‍රතිචාරය, සාර්වාදී රුසියාවේ මධ්‍යතන බුද්ධිරෝධවාදය, ස්ටැලින්වාදයෙහි ප්‍රතිවිප්ලවවාදී ජාතිකවාදී දේශපාලනය සමගින් සංයෝජනය කරයි.

ඇමරිකානු හෝ රුසියානු කතිපයාධිකාරීන්ගේ “සාධාරනත්වය” මත විශ්වාසය තැබිය නො හැක. මෙම දෙපාර්ශ්වයම මිනිස් ජීවිත කෙරෙහි දක්වන ආන්තික නොතැකීම, වසංගතය මගින් දැනට මත් හෙලිදරවු කර තිබේ. ක්‍රෙම්ලින් පාලන තන්ත්‍රය රුසියාව තුල පුද්ගලයන් 400,000කගේ මරනය පිලිගෙන ඇති අතර, එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන්, ලොව පුරා මිලියන ගනනක මරනවලට තුඩු දී ඇති “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත් අනුගමනය කරති.

ලෝකය, ව්‍යසනය කරා ඇදගෙන යමින් සිටින ආන්ඩුවල ඉව බව නැති ක්‍රියාවන්ට, කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ගෝලීය මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් මගින් ප්‍රතිමුඛ විය යුතු ය.

මෙම ප්‍රතිගාමී යුද්ධය වහා ම අවසන් කල යුතු යයි කම්කරු පන්තිය බල කල යුතු ය. කම්කරුවන් ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාව සඳහා ගෙන යන අරගලය, යුද්ධයට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කල යුතු ය.

නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පාදක විය යුතු අතර, ඒ සඳහා, සියලු ආකාරයේ ජාතිකවාදයන් සහ විදේශ භීතිකාවන් ප්‍රතික්ෂේප කරමින් සෑම රටකම කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් වැදිය යුතුවෙයි.

Loading