ඉදිරිදර්ශන

න්‍යෂ්ටික අවි ගැටෙන අවසන් සංග්‍රාමයට සූදානම් වන්න: බයිඩන් අනතුරු අඟවයි

[මෙය Biden warns: Prepare for nuclear Armageddon මැයෙන් 2022 ඔක්තෝබර් 7 පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි]

“කෙනඩි (සමයේ) හා කියුබානු මිසයිල අර්බුදයේ සිට, න්‍යෂ්ටික අවි ගැටෙන අවසන් සංග්‍රාමයක භව්‍යතාවට අපි මුහුන දී නැතැ” යි, ඊයේ රාත්‍රීයේ පැවති අරමුදල් රැස්කිරීමේ හමුවක දී, බිලියනපතියන් කන්ඩායමක් අමතා, බයිඩන් පැවසූ බව නිව් යෝක් ටයිම්ස් වාර්තා කලේය.

බයිඩන් තවදුරටත් මෙසේ පැවසීය: “පුටින්ගේ ගැලවීමේ මාවත කුමක් ද? ඔහු මෙයින් ගොඩ ඒමට මාවතක් සොයාගන්නේ කොතැනින්ද? ඔහු ලැජ්ජාවට පත්වීම පමනක් නො ව බලයද සැලකිය යුතු ලෙසින් අහිමි කරගන්නා තැන කොහිද? -මේ දේවල් අවබෝධ කරගැනීමට අපි උත්සාහ දරමින් සිටිනවා.” මේවා බයිඩන් ඔහුගෙන් ම ඇසිය යුතු ප්‍රශ්න වේ.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය අවුලුවා, අසීමිත ආයුධ හා මුදල් යුක්රේනයට සම්පාදනය කොට, ක්‍රිමියාව යලි අල්ලා ගන්නා බවට ප්‍රතිඥා දී, රුසියාව තුල තන්ත්‍ර-මාරුවකට කැඳවුම් කර ඇති බයිඩන්ගේ, “ගැලවීමේ මාවත” කුමක් ද? “ලැජ්ජාවට පත්වීම පමනක් නො ව, බලයද සැලකිය යුතු ලෙසින් අහිමි කරගැනීමේ තැනින්” ඔහු ගැලවී ගන්නේ කෙසේද?

යතා තත්වය ආචාරශීලීව අවතක්සේරු කෙරුනු අගනා ලේඛනයක් පල කල ටයිම්ස් පුවත්පත, “අවසන් සංග්‍රාමය ගැන බයිඩන් මහතා කල සඳහන් කිරීම්, ඕනෑම ඇමරිකානු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් අතිශයින් ම අසාමාන්‍ය වේ” යැයි සටහන් කරයි. හුදෙක් අසාමාන්‍ය වනවා පමනක් නො ව, මුලුමනින් ම අතුල්‍ය ද වේ. තව ද මහා ව්‍යසනයනක් වලක්වා ගැනීමට ඔහු කරමින් සිටින්නේ කවරක්දැයි ඔහු පැහැදිලි කලේ ද නැත.

වඩාත් ම අත්‍යසාමාන්‍ය ලෙස, බයිඩන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කලේ, ඕවල් කාර්යාලයේ දී හෝ ජාතික පරිමාන හා ජාත්‍යන්තර ශ්‍රාවකයක් ප්‍රසිද්ධියේ අමතමින් නො ව, තෝරාගත් බිලියනපතියන් කන්ඩායමක් අමතා ය. එහි ප්‍රතිඵලය ලෙස, ඔහු ඔහුගේ සුපිරි ධනවත් පිටුබලය දෙන්නන්ට ඔවුන්ගේ බංකර සූදානම් කරගන්නා ලෙස කල් තබා අනතුරු ඇඟවීමක් නිකුත් කලේ ය.

තමා, අන්තරාය අතිශයෝක්තියට නංවන්නේ නැති බවට බයිඩන් අනතුරු ඇඟවී ය. පුටින් වනාහි “මා හොඳින් දන්නා කෙනෙක්. උපායික න්‍යෂ්ටික අවි හෝ ජීව විද්‍යාත්මක හෝ රසායනික අවි යොදාගැනීමේ හැකියාව ගැන කතා කිරීමේ දී ඔහු විහිලු නොකරන්නේ, ඔහුගේ මිලිටරිය සුවිශේෂී ලෙස ඌන හැකියාවන් පෙන්නුම් කරන බැවිනි.”

“රුසියාවට උපායාත්මක අවියක් යොදාගැනීමේ හා 'දුෂ්කරතා නො තකා අවසන් සංග්‍රාමයක නිරත වීමේ' හැකියාවක් ඇතැයි තමා විශ්වාස නො කරන බව බයිඩන් මහතා කීවේ”යැයි ටයිම්ස් වාර්තා කලේ ය. එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසන මේ වචනවල සාරභූත අර්ථය වන්නේ:

  1. එක්සත් ජනපදය, එක්කෝ, රුසියාව විසින් උපායික න්‍යෂ්ටික ආයුධයක් භාවිතා කිරීමට ප්‍රතිචාරී ලෙස, පූර්න පරිමාන තාප-න්‍යෂ්ටික ප්‍රහාරයක් රුසියාවට එල්ල කරනු ඇත; නැතහොත්,
  2. රුසියාව උපායික අවි භාවිතා කිරීම ඉතා ආසන්න යයි කියාපාන බයිඩන්, රුසියාවට එරෙහි පූර්ව-භංග න්‍යෂ්ටික ප්‍රහාරයකට නියෝග කරනු ඇත.

මේ විකල්ප දෙක ම, විශේෂයෙන් ම දෙවැන්න, ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රමුඛ වසයෙන් වාර්තා කෙරුනු, යුක්රේන ජනාධිපති සෙලන්ස්කි ගේ ප්‍රකාශයකින් රුසියාවට එරෙහි “පූර්ව-භංග ක්‍රියාවන් හා ප්‍රහාර” සඳහා කැඳවුම් කෙරී, යන්තම් පැය ගනනකට පසු බයිඩන් කරන ලද සැඳහුම්වලින් තර්කානුකූල ව ගලා එයි.

බ්‍රහස්පතින්දා බයිඩන් කල ප්‍රකාශය කොතරම් ඉව බව නැති එකක්දැයි කියන්නේ නම්, එහි සැබෑ සහ ගොරතර ගම්‍යයන් ප්‍රතික්ෂේප කිරීමට කෙනෙකුට සිතෙනවා විය හැකි ය. එහෙත්, එසේ සිතීමට වඩා විසල් වෙනත් කිසිදු අත්වැරැද්දක් තිබිය නො හැකි ය. සෑම අංශයකින් ම ගත් කල, පාලක ප්‍රභූන් හුදෙක් ඉව බව නැති කම පමනක් නො ව, මානව ජීවිත කෙරෙහි සුවිසල් නො තැකීමක් ද ප්‍රදර්ශනය කරයි.

මිලියනයකට අධික ඇමරිකානුවන්ගේ සහ ලොව පුරා තවත් මිලියන ගනනකගේ මරන හිතාමතා ම සිදුවන්නට ඉඩ හැරීමේ පිලිවෙතකින්, කෝවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වූ පාලක පන්තියක්, අසංඛ්‍ය මිලියන ගනනකගේ මරනවලට තුඩු දෙන මිලිටරි ක්‍රියාවන් සඳහා සූදානම් ය.

අතිමූලික ලෙස, ධනවාදයෙහි විසඳිය නො හැකි ආර්ථික හා සමාජ අර්බුදයේ පීඩනය යටතේ සිටින පාලක ප්‍රභූන්ට, ඔවුන්ගේ ම පිලිවෙත් හා ක්‍රියාවන් මගින් පොලඹවන සිද්ධීන්ගේ ප්‍රතිඵලය පාලනය කල නො හැකි ය.

1938 දෙවන ලෝක යුද්ධයේ මුවවිට දී, ලියොන් ට්‍රොට්ස්කි ලියූ පරිදි, පාලක පන්තිය “දැන් ආර්ථික හා මිලිටරි විනාශයක් කරා දෑස් වසාගෙන ලුහුටා යයි.” මානව වර්ගයාගේ වියදමින් සිය ලාභ හා ධනය ගලවා ගැනීමට මංමුලා සහගත ලෙස ක්‍රියා කරන උන්මත්තකයන් අතේ දැන් ලෝක දේශපාලනය පවතී.

මානව වර්ගයා නො නැසී පැවතිය යුතු නම්, කම්කරු පන්තිය පාලක පන්තිය නිරායුධ කොට, දේශපාලන බලය එයට අහිමි කොට, ධනපති ක්‍රමය අවසානයකට ගෙනැවිත්, සමාජවාදයේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කල යුතු ය. එය හැර මෙම ඓතිහාසික අර්බුදයෙන් මිදෙන වෙනත් මාවතක් නැත.

අනාගතයක් තිබිය යුතු නම් ඒ සඳහා සටන් කරනු ලැබිය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න.

Loading