කොලඹ කජීමා වත්තේ ජනයා ජීවත්වීමට සුදුසු නිවාස ඉල්ලා සිටියි

සැප්තැම්බර් 27 වන දා කොලඹ කජීමා වත්තේ ඇති වූ ගින්නෙන් නිවාස 60 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට පත් විය. 2016 දී, එවකට පැවැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ (නාසඅ) නිලධාරීන් මැදිහත් කරමින් කජීමාවත්තේ පැවති නිවාස බලහත්කාරයෙන් කඩා දැමීමෙන් පසු, එහි පදිංචි ව සිටි ජනයා ලෑලි ගසා සකසා ගත් නිවාස තෙවරක් ගිනි ගැනීමකට ලක් විය.

කජීමාවත්තේ ගින්නෙන් සතියකට පසු

1948 “නිදහසේ” සිට අද වනතුරුත් බලයට පත් වූ කිසිදු ආන්ඩුවක් කොලඹ දුගී ජනයාගේ නිවාස ප්‍රශ්නය නොවිසඳා ඇති අතර කිසිදු පහසු කමක් නොමැති පැල්පත්වල ඔවුන් ජීවත් වූයේ සිය කැමැත්තෙන් නොවේ. කොලඹ නගරයේ නිවාස 68,000 ක් කඩා දමා, ඒවායේ නීත්‍යානුකූල ව පදිංචිව සිටින පවුල් වලට, මහල් නිවාස ලබාදෙන බව 2016දී වාර්තා විය.

මෙය දුගී ජනයාගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා නොව, කොලඹ නගරයේ ඉඩම් නිදහස් කර ගනිමින් ආයෝජකයන්ට පැවරීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු ගෙන ගිය වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමක් විය. 2010 දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, “කොලඹ සංවර්ධන වැඩපිලිවෙල” නමින් මෙම ක්‍රියාදාමය ආරම්භ කල අතර, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව “මෙගාපොලිස්” ව්‍යාපෘතිය යටතේ එය ඉදිරියට ගෙන ගියේ ය. ලෝක බැංකුවේ යෝජනා ලෙස ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘති, ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධාන වෙලඳපොලක් බවට පරිවර්තනය කිරීම අරමුනු කර ගත්තේ ය.

සියලු ආන්ඩු, මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමේ දී, දහස් සංඛ්‍යාත මහජනයා “අනවසර” පදිංචිකරුවන් ලෙස නම් කර ඔවුනට නිවාස ලබා දීම ප්‍රතික්ෂේප කලහ. කජීමා වත්තේ නිවැසියන්ට ස්ථීර වාසස්ථාන නොලැබුනේ මෙම කොන්දේසි යටතේ ය. කොම්පඤ්ඤවීදිය, වනාතමුල්ල සහ මීතොටමුල්ල මෙ ලෙස ම ආන්ඩු විසින් නිවැසියන් ඉවත් කරනු ලැබූ ප්‍රදේශයන් ය.

ගින්නෙන් නිවාස අහිමි වූ කජීමාවත්තේ ජනයා, ආන්ඩුවෙන් යම් විසඳුමක් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටිය ද, මේ වන තුරු එය සාක්ෂාත් නොවීමෙන් අසහනයට පත් ව සිටිති. ඔවුහු ජීවත්වීමට සුදුසු නිවසක් ඉල්ලා සිටිති.

ඔක්තෝබර් 3 දින කජීමාවත්තට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දක්නට ලැබුනේ එය මිලිටරියේ අධීක්ෂනයට යටත් කොට තිබූ ආකාරයයි. වත්තට ඇතුලු වන ගේට්ටුව අසල මැෂින් තුවක්කු සහිත හමුදා භටයන් පස් දෙනෙකු සහිත මුර පොලක් අටවා තිබු අතර, වත්ත තුල ද මැෂින් තුවක්කු සහිත හමුදා භටයෝ රැඳී සිටියහ. වැඩෙන මහජන කෝපය විරෝධතාවක් ලෙස පුපුරා ගියහොත් එය තලා දැමීමත්, මහජනතාව බියවද්දා මෙල්ලකොට තබා ගැනීමත් මෙහි අරමුන විය.

කජීමාවත්ත නිවැසියන් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡා කරමින්

ත්‍රීරෝද රථ රියදුරෙකු වන මුසාම්මිල් මෙසේ පැවසීය: “හරියාකාර උත්තරයක් තාම ලැබුනේ නෑ. දැන් දවස් 6ක් වෙනවා. තාම රජයෙන් කවුරුවත් ආවේ නැහැ. අපිට ඉන්න ගෙයක් අවශ්‍යයි. ගෑනු අයගෙන් භාගයක් පන්සලේ ඉන්නවා. තව කාන්තාවන් කන්ඩායමක් ෆ්ලැට් එකේ ප්‍රජා ශාලාවේ ඉන්නවා. පිරිමි අය මෙතන ඉන්නවා. පොඩි ලමයි ඉන්න අයගේ පිරිමිත් එහේ ඉන්නවා. අද (ඔක්තෝබර් 3 )අගමැති තුමාගේ මුලිකත්වයෙන් මීටිමක් තියෙනවාලු. ඒ අනුව තමයි මෙතනම ගෙවල් හදලා දෙනවද? එහෙම නැත්නම් වෙනත් තැනකට යනවද කියන එක තිරනය වෙන්නේ.”

ආහාර අවශ්‍ය අය 300 ක් පමන එහි සිටින බව ද, කොලඹ නගර සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන් සහ පුද්ගලීක අයගෙන් මෙතෙක් ආහාර ලැබුන ද එය අඛන්ඩ ව සිදුවේ යැයි බලාපොරොත්තු විය නෙහැකි බව ද ඔහු පැවසී ය.

තමා මුහුන දෙන රුදුරු කොන් දේසි විස්තර කරමින් ඔහු මෙසේ පැවසී ය: “2016 දී මහල් නිවාස දෙන බව පැවසූවා. පවුල් 50කට විතරක් මහල් නිවාස දුන්නා. තවත් පවුල් 50කට විතර නිවාස ලබා දෙන ෆෝම් කොල දුන්නා. ඒවා පුරවලා ග්‍රාම සේවකට කියලා අනුමත කරලා නාගරික සංවර්ධන අධිකාරියට බාර දුන්න. ඊට පස්සේ කිව්වා 2019 මහ මැතිවරනය එනවා ඊට පස්සේ නිවාස දෙනවා කියලා. 2019 පොහොට්ටු ආන්ඩුව ආවා. අලුත් ව්‍යාපෘති අධ්‍යක්ෂක කෙනෙක් පත්වුනා.ඒ අධ්‍යක්ෂක කිව්වේ ඔය ගොල්ලන්ට ගෙවල් දෙන්න ඕන නෑ කියලා”

ඔහුට දරුවන් තිදෙනෙකු සිටින බවද, ඔවුනගේ පොත් පත් ඇඳුම්, සපත්තු සහ පොත් බෑග් සියල්ල දැවී ගිය බවත්, පැවසූ මුසම්මිල් මෙසේ කීවේ ය: “පොත්පත් ඉස්කෝලෙන් දෙනවා කිව්වා. ඉස්කොලෙන් කිව්වා තියෙන ඇඳුමක් ඇඳගෙන පාසැල් එන්න කියලා.” එසේ නමුත් ඔවුන්ට පාසැල් යාමේ මානසික තත්වයක් නොමැත.

පිලිස්සී අඟුරු බවට පත් වූ දැව කඳන් ඇතුලු නිවාස වල සුන්බුන් අතර මුලුමනින් සහ අඩක් දැවුනු පාසැල් පොත් ද සුලබව දක්නට ලැබුනි. 10 සහ 11 ශ්‍රේනිවල අධ්‍යාපනය ලබන සිසු සිසුවින් පැවසුවේ තම පොත්පත් ගින්නට හසු වී දැවී ගිය නිසා මෙම වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙල ) විභාගයට පෙනී සිටීම ද ගැටලුවක් වන බවයි.

ගින්නෙන් විනාස වී ඇති පාසල් පොත්

මේසන් වැඩ කරන කම්කරුවකු වන පී.ඒ.ඩී. ලාල් මෙසේ සාකච්ඡාවට එක්විය. “අපිට ඇත්තට ම ගෙයක් තමයි ඕනා. දැන්බලන්න අපිට තව පාරක් මෙතන ගෙවල් හදන්න කිව්වොත් අපි අලුතින් බඩු ගෙනල්ලා හදනවා. ආයිපාරක් ගින්නක් ආවොත් ඒවා ඔක්කොම පිච්චිලා යනවා. මම තාම වැඩට ගියේ නෑ. මොකක් හරි දෙයක් වෙනකන් බලන් ඉන්නවා.”

“මම ඉන්නේ නංගිලගේ ගෙදර. ගින්න ඇවිලී ගෙන එන කොට මම නංගිගේ දුව එලියට ගත්තා. මගේ ඇදුම් අයිඩෙන්ටිටි කාඩ් ඔක්කොම ගිනි ගත්තා” යැයි ලාල් කීවේ ය.

තම රැකියාව සම්බන්ධයෙන් මුහුන දෙන දුෂ්කරතා විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය: “දැන් සිමෙන්ති ගනන් නිසා මේසන් වැඩ නැහැ. මම කුලී වැඩ කරනවා. ඒකල , රාගම පොලවල්වල එලවලු විකුනන්න උදව්වෙනවා. උදේ 3.00 ට ගියාම රෑ 7.00ට එන්නේ. රු 800 ක් රු1000 ක් විතර හම්බ වෙනවා. දැන් අපිට ඉන්න තැනත් නැති වුනා.”

කජීමා වත්තේ කුඩා කඩයක් කරමින් තම දිවි ගැටගසා ගන්නා ෆාතිමා රිසානා දැක්වුයේ මෙවැනි අදහසකි: “මගේ කඩේ සිල්ලර බඩුත් තිබුනා. මම කෑමත් දුන්නා. දවසකට සුලු ලාභයක් තමයි තිබුනේ. අපිත් කෑම කැවේ ඒ කඩෙන්මයි. එදත් රෑ රු 20 000ක විතර බඩු ගෙනාවා. තේ කොල , සීනි, පිටි වගේ දේවල්. මුලු කඩේ ම ගිනි ගත්තා. අපි ඉල්ලන්නේ අපිට නිවසක් දෙන්න කියලා. මෙතන නම් අපිට එපා. ආයි ගෙවල් හැදුවත් ඒවත් ගිනි ගන්නවා. අපිට වෙන තැනකින් නිවාස දීල සහනයක් දෙන්න.”

තම දියනිය, බෑනා සහ මුනුපුරා සමග ජීවත් වූ නිවස මුලුමනින් ම දැවී යාමෙන් කම්පාවට පත්වූ කාන්තාවක් හඬමින් මෙසේ කීවා ය: “දැනට කජීමා වත්තේ මේ අවුරුද්දත් එක්ක අවුරුදු නවයක් පදිංචිවෙලා ඉන්නවා. මගේ සැමියා නැහැ. කලින් වෙච්ච ගිනි ගැනීම් දෙකට ම අපේ ගේ අහුවුනේ නැහැ. ඒ වෙලාවේ අපි ගේ කැඩුවා. එතකොට ගින්න ආවේ නෑ. මේ පාර අපේ ගේ සම්පුර්නයෙන්ම පිච්චුනා. මේ ඇඳුමත් මම ඉල්ල ගත්ත එකක්.'

දැවී ගිය නිවාසයක ඉතිරි වී ඇති සිමෙන්ති පොලව යකඩ ඉන්නකින් හෑරූ තරුනයන් කන්ඩායමක් වලලන ලද කැටයක් ගෙන එහි ඇති මුදල් ගනන් කලෝ ය. ඔවුන් කැටයකට මුදල් එකතු කර වලලා ඇත්තේ හදිසි අවස්ථාවකදී පාවිච්චියට ගැනීමටය.

සාකච්ඡාවට එකතු වූ රංජනී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිරන්තරව තම වත්තට මැදිහත් වෙමින්, නිවාස ප්‍රශ්නය ඇතුලු අනෙකුත් ගැටලු විසඳීමේ සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් සටන් කල ආකාරය මතකයට නැංවූවා ය. “2016 අපේ ගෙවල් කඩපුවෙලාවේ සසප තමයි ආවේ. මම ඕන තැනක කියනවා මේ පක්ෂය තමයි අපි වෙනුවෙන් සටන් කලේ.'

2016 අප්‍රේ 9 දින සසප නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සදහන් විය: “කොලඹ නගරයේ සහ බස්නාහිර පලාතේ පැල්පත්වාසීන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට එරෙහි ව ආන්ඩුව උග්‍ර කරන ප්‍රහාරය පරාජය කල හැක්කේ, ධනේශ්වර හා ව්‍යාජ වාම පක්ෂවලින් ස්වාධීන වූ සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ, කම්කරු පන්තියේ හා සියලු පීඩිත ස්ථරයන්ගේ ඒකාබද්ධ අරගලයක කොටසක් ලෙස පමනි.”

එම වැඩපිලිවෙල මත සසප කැඳවා ඇති කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සම්මේලනය පිලිබඳ ව පැහැදිලි කල ලෝසවෙඅ වාර්තාකරුවෝ, ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් තම අරගලය සංවිධානය කිරීමට මූලිකත්වය ගත යුතු බව අවධාරනය කලහ.

Loading