න්‍යෂ්ටික යුද අන්තරාය පිලිබඳ ඔක්තෝබර් 16 සසප රැස්වීමට ශ්‍රී ලංකාවේ කම්කරුවෝ හා තරුනයෝ සහය දක්වති

[මෙය Sri Lankan workers and youth support October 16 SEP meeting on nuclear war danger යන මැයෙන් 2022 ඔක්තෝබර් 08 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනඟනු” යන මාතෘකාව යටතේ පැවැත්වීමට නියමිත ඔන්ලයින් රැස්වීම සඳහා ප්‍රබල ලෙස උද්ඝෝෂනය කරති. පුළුල් පරාසයක කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන් පවසා ඇත්තේ ඔවුන් ඔක්තෝබර් 16 ඉරිදා සවස 4 ට පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගී වන බවයි.

න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනගනු! සසප හා සසජාතශි (ශ්‍රී ලංකාව) සංවිධානය කරන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම, ඔක්තෝබර් 16 ඉරිදා සවස 4ට

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය න්‍යෂ්ටික ගැටුමක් බවට පත්වීමේ සැබෑ අනතුර මතු කරයි. න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෑතකදී කල අනතුරු ඇඟවීමෙන් පසු බයිඩන් පරිපාලනය ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇත.

සසප හා සසජාතශි සාමාජිකයන් සමග කතා කල බොහෝ කම්කරුවෝ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ සාහසිකත්වය සහ න්‍යෂ්ටික යුද්ධය සඳහා ඔවුන්ගේ සූදානම පිලිබඳව නොදැන සිටියහ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යුක්‍රේනයේ යුද්ධය ගැන ලියන නමුත්, න්‍යෂ්ටික යුද තර්ජන ගැන කලාතුරකින් වාර්තා කරන අතර සෑම විටම එහි ප්‍රතිවිපාක අඩුතක්සේරු කරයි. ව්‍යාජ-වම සහ වෘත්තීය සමිති මරාන්තික නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යති.

සසප රැස්වීම, යුද්ධයේ මූල හේතුව වන ධනවාදය අහෝසි කිරීම සඳහා, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ගෙන යන අරගලයේ කොටසකි.

රත්මලාන දුම්රිය වැඩපලේ සේවය කරන සුරංග මෙසේ පැවසීය: “වර්ධනය වෙමින් පවතින න්‍යෂ්ටික යුද තර්ජනයේ බරපතලකම මා අවබෝධ කර ගත්තේ [සසප උද්ඝෝෂකයින් සමඟ කල] මෙම සාකච්ඡාව හරහා පමනයි.

සුරංග

“කොරෝනා වෛරසය විසින් නිර්මානය කරන ලද අර්බුදය යුද්ධය විසින් තවත් තීව්‍ර කර තිබෙනවා. එයින් තෙල්, ගෑස් සහ ආහාර මිල පුපුරා යාම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය වර්ධනය වීම දැකගන්න පුලුවන්. ශ්‍රී ලංකා ආන්ඩු ඔවුන්ගේ වාර්ගික යුද්ධය [දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව] ක්‍රියාත්මක කරන විට එහි වියදම වැඩකරන ජනතාව මත පැටවූවා. දැන් මම දකිනවා මෙය ගෝලීය පරිමානයෙන් සිදුවෙමින් පවතින බව.

“වර්තමාන ආන්ඩුව ඔවුන් මත පටවන අර්බුදයේ බරට එරෙහිව සටන් කරන කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව සිය දඩයම තීව්‍ර කරමින් සිටිනවා. පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමට සම්බන්ධ ක්‍රියාකාරීන් දහස් ගනනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩකරන ජනතාවට තුන්වේල කන්නවත් බැහැ. අපගේ වැඩපලේ වැඩ කිරීමට අමුද්‍රව්‍ය හෝ නිසි මෙවලම් නොමැති තරම්‍.

“අපි මේ ප්‍රශ්න ගැන පුලුල් ලෙස කතා කල යුතුයි. දැනට කම්කරුවන් සමග මෙම අත්‍යවශ්‍ය ප්‍රශ්න මතු කරන්නේ සසප හා ලෝසවෙඅ පමනයි. යුද්ධය නැවැත්විය හැකි එකම බලවේගය කම්කරු පන්තිය බවට මම එකඟයි. කම්කරුවන් දැනුවත් කිරීම සහ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි.”

ඒ. එම්. කේ. අමරකෝන්

පේරාදෙනිය දුම්රිය ස්ථානයේ සේවය කරන ඒ. එම්. කේ. අමරකෝන් මෙසේ පැවසීය:

“යුක්‍රේනයේ යුද්ධය ලෝකයේ මිනිසුන්ගේ ජීවිතයේ සෑම අංශයකටම—දරුවන්ගේ සිට මහලු අය දක්වා බලපානවා. නමුත් මේ යුද්ධයට එරෙහිව ලෝකයේ වැඩකරන ජනතාව ඒකරාශී කිරීමෙන් එය නැවැත්විය හැකි බවද මම විශ්වාස කරනවා. අපේ වැටුප් ආහාර ගැනීමට ප්‍රමානවත් නොවන නිසාත් දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති නිසාත් අපට පෙර මෙන් ජීවත් විය නොහැකියි. මේ සියලු ගැටලු ධනවාදයේ ප්‍රතිඵලය තමයි.”

මහනුවර ජාතික රෝහලේ හෙදියක්, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෛද්‍ය ආයතනය වන එහි ඛේදනීය තත්ත්වයන් මෙසේ පැහැදිලි කලාය.

“රෝහලෙහි අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරන හිඟ වන අතර, ඉවත දැමිය යුතු ඔක්සිජන් නල පිරිසිදු කර නැවත භාවිතා කිරීමට පවා අපට බල කෙරිලා තියෙනවා,” ඇය පැවසුවාය. පසුව හෙදිය රෝහලේ හෝ ෆාමසිවල නොමැති වැදගත් ඖෂධ වර්ග දිගු ලැයිස්තුවක් ගෙනහැර පෑවාය.

“අපි මුහුන දෙන තත්වය මෙයයි, නමුත් ලෝකය පුරා ගෝලීය නායකයින් යුද්ධය සඳහා වියදම් කරන්නේ කෙසේදැයි බලන්න. යුක්‍රේනය බේරා ගැනීමේ කඩතුරාව යටතේ බයිඩන් මෙම යුද්ධය සඳහා කොපමන මුදලක් වැය කරනවාද? ඒ වගේම යුද්ධය සඳහා විශාල මුදලක් වැය කිරීමට පොරොන්දු වෙමින් එසේ කරන බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස් දෙස බලන්න,” ඇය පැවසුවාය. “මිනිස්සු කියන්න බැරි තරම් දුක් විඳිනවා. අපි මේ යුද්ධයට විරුද්ධ විය යුතුයි, මන්ද ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කලහොත් අපි සියල්ලෝම විනාශ වී යනු ඇති.”

ලේඛිකාවක් වන සුරේඛා සමරසේන මෙසේ පැවසුවාය: “පලමු ලෝක යුද්ධයට ඔස්ට්‍රියාවේ සිදුවීම් තීරනාත්මක බලපෑමක් ඇති කලා සේම, යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද යුද්ධය තුන්වන ලෝක යුද්ධයක් ඇවිලවීමට තර්ජනය කරන බව පැහැදිලියි. පුටින් න්‍යෂ්ටික අවි භාවිත කරන බවට තර්ජනය කර ඇති නිසා, ‘යුක්‍රේනයේ ආරක්ෂාව’ වෙනුවෙන් රුසියාව විනාශ කිරීමට පසුබට නොවන බවට එක්සත් ජනපදය ද දැන් අඟවමින් සිටී.

සුරේඛා සමරසේන

“එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් බිලියන 51 කට වඩා ආයුධ ලබා දී ඇති අතර අඛන්ඩව ආයුධ සපයනවා. චීනය සමග ආතතීන් අවුලුවාලමින් වොෂින්ටනය තායිවානයට ද බිලියන ගනන් දෙන්න පොරොන්දු වෙලා. ඔවුන්ගේ චීන විරෝධී න්‍යාය පත්‍රයට අනුව ඇමෙරිකානු ජනාධිපතිවරු ඉන්දියාව සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන තියෙනවා.

“බයිඩන්, කුරිරු අධිරාජ්‍යවාදී නායකයෙකු වන අතර, යුක්‍රේන පාලක ප්‍රභූවේ ප්‍රතිගාමී අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින දක්ෂිනාංශික ජනාධිපති සෙලෙන්ස්කි මෙහෙයවීමෙන් මුළු ලෝකයම යුද්ධයට පැටලීමේ හැකියාවක් තිබෙනවා. පුටින්ගේ ප්‍රතිගාමී ජාතිකවාදයටත් මම විරුද්ධයි,” ඇය පැවසුවාය.

වාසයට නුසුදුසු ග්‍රහලෝකයක් නිර්මානය කරන න්‍යෂ්ටික ගැටුමක භයානක බව සමරසේන අවධාරනය කලාය. “එබැවින් මෙය කිසිවකුට නිහඬව සිටිය නොහැකි මොහොතක්”, යනුවෙන් ඇය පැවසුවේ, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම තුලට ශ්‍රී ලංකාව සහ සමස්ත කලාපයම ඇදී යන බව ද සඳහන් කරමිනි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය යටතේ ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම “හදිසි කර්තව්‍යයක්” බව ඇය තවදුරටත් කියා සිටියාය. එම සටන කරනු ලැබුවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනයි. “අනෙකුත් කිසිදු සංවිධානයක් මෙම ඉදිරි අවදානම හෙලි කරන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම රැස්වීමට සහභාගී වන අතර අනෙක් අය සහභාගී කරවීමට කටයුතු කරමිනුයි ඉන්නේ,” ඇය පැවසුවාය.

වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂන පීඨයේ ශිෂ්‍යයෙකු වන සජී, යුක්‍රේනයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මැදිහත්වීම සහ එහි ආයුධ, මුදල් සහ මිලිටරි ආධාර සැපයීම දැඩි ලෙස හෙලා දුටුවේය.

“ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව සහ සිරියාව වැනි බොහෝ රටවල් ව්‍යාජ කඩතුරාවන් මත ඇමරිකාව විසින් ආක්‍රමනය කර පහර දුන්නා. ඉරාකය සතුව සමූල ඝාතක අවි ඇති බව පැවසුවද කිසිවක් සොයා ගැනීමට නොහැකි වුනා. ඇෆ්ගනිස්තානයෙන් රත්තරන් කොල්ල කෑ අතර සිරියාව විනාශ කලා. දැන් රුසියාවට එරෙහිව යුද්ධයක් ගෙන යනවා, එය ඉරාක යුද්ධයට වඩා විනාශකාරී ගැටුමක් වේවි,” ඔහු පැවසීය.

ගෝලීය ආහාර මිල කෙරෙහි යුද්ධයේ බලපෑම ගැන සඳහන් කරමින් සජී මෙසේ පැවසීය: “ඉන්දියාව ඇතුලු ලෝකයේ සෑම තැනකම මෙන් ශ්‍රී ලංකාවට ද තිරිඟු පිටි ආනයනය කිරීම ගැටලුවක් වෙලයි තියෙන්නේ. යුද්ධය නිසා ඛනිජ තෙල් හා ගෑස් හිඟයක් ද නිර්මානය වී ඇති අතර ශ්‍රී ලංකාවේ තේ අපනයනය පහත වැටිලා. අපි ඇත්තටම මේ යුද්ධයට විරුද්ධ විය යුතුයි.”

විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි වූ 21 හැවිරිදි තරුනයෙක් පැවසුවේ තමා ජපන් භාෂාව ඉගෙන ගෙන රැකියාවක් සඳහා විදේශගත වීමට අදහස් කරන බවයි. ඔහු එලඹෙන සසප හා සසජාතශි රැස්වීමට සහාය දැක්වීය. “යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගිය හැකියි. ලොව පුරා ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමත් සමඟ අප මුහුන දෙන කටුක තත්වයන්ට සෑම රටකම ජනතාව දැන් මුහුන දෙමින් ඉන්නේ. යුද්ධය ඉදිරියට ගොස් න්‍යෂ්ටික අවි භාවිත කලහොත් සිතාගත නොහැකි තත්ත්වයක් වර්ධනය වේවි.”

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙක් පැවසුවේ, “යුක්‍රේන යුද්ධය ගැන අප බොහෝ දෙනෙක් දන්නේ නැහැ, මන්ද මේ රටේ මාධ්‍ය සහ දේශපාලන පක්ෂ අපට ඒ ගැන ඇත්ත කියන්නෙ නැහැ. එක්සත් ජනපදය සහ යුක්‍රේන යුද්ධය අතර සම්බන්ධකම් පවා මාධ්‍ය පෙන්වන්නේ නැති අතර, මෙම යුද්ධයට හේතු පිලිබඳව කිසිදු සංවාදයක් නැහැ.

“දේශීය මාධ්‍ය යුද්ධය ගැන ලියන විට, ඔවුන් පුටින් දරුනු රාක්ෂයෙකු ලෙස පින්තාරු කරන අතර ඔහු නිසා සියලු මිනිසුන් දුක් විඳින බව අවධාරනය කරනවා. යුක්‍රේන යුද්ධය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව අටවන ලද උගුලක ප්‍රතිඵලයක් බව මා දැනගත්තේ ඔබේ පැහැදිලි කිරීම් නිසා පමනයි.”

පේරාදෙනියේ ගුරුවරයකු වන සරත් විජේසිංහ මෙසේ පැවසුවේය: “පසුගිය වසර කිහිපය තුල කොවිඩ් විසින් සිදු කරන ලද විනාශය, එය ලෝකයට ගෙන ආ විනාශකාරී බලපෑම අපි දැක්කා.

සරත් විජේසිංහ

“යුක්‍රේනයේ යුද්ධය සිදුවෙමින් පවතින නමුත් අපට එය නිවැරදිව තේරුම් ගැනීමට හැකි වී ඇත්තේ, එය රුසියාවේ සම්පත් කොල්ලකෑම සඳහා එක්සත් ජනපදය විසින් නිර්මානය කරන ලද යුද්ධයක් බව පැහැදිලි කරන සසප හරහා පමනයි. එය ලෝකයේ සෑම රටකම ආර්ථික හා සමාජීය ජීවිතයට ද බලපා තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

යුද්ධය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඥානික මැදිහත්වීම තුලින් පමනක් බවට එකඟ වූ විජේසිංහ, තමන් ඔක්තෝබර් 16 දා පැවැත්වෙන සසප-සසජාතශි ඔන්ලයින් රැස්වීමට සහභාගී වන බව පැවසීය.

රැස්වීම සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.

Loading