වෘත්තීය සමිති, පෞද්ගලීකරනයට එරෙහි ඛනිජ තෙල් සේවක විරෝධතාවන් අධිකරනයට සහ දේවකන්නලව්වලට කොටු කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් 2022 අගෝස්තු 12 දා ගැසට් කෙරුනු, 'ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත' ට අනුව, ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීම සඳහා දැනට බලපත්‍ර හිමි, ඛනිජතෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව වෙනත් පාර්ශ්ව සඳහා ද ඉදිරියේදී බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත.

2022 අගෝස්තු 22 බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ පිකට් උද්ඝෝෂනය

2002 දී ගැසට් කෙරුනු ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනතේ අරමුන වූයේ, ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විවිධ කාර්යයන් පුද්ගලික අංශයට පැවරීමයි. නව සංශෝධනය එහි දිගුවකි. ඒ අනුව, චීනයේ සයිනෝපෙක්, ඕමානයේ පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් සහ ෂෙල් වැනි විදේශීය සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් 1,200 න් 800 ක් විකිනීමට ආන්ඩුව මුල් පියවරේ දී සැලසුම් කර ඇත.

නව පනත් සංශෝධනයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු දැඩි විරෝධතා හමුවේ, ශ්‍රී නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස), එකී සංශෝධන පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා, ශ්‍රේෂ්ඨාධිකරනයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කල බව මාධ්‍යයන්හි වාර්තා කෙරුනි. එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට තීන්දු කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමට ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත ඛනිජ තෙල් පොදු සේවක සංගමය (පොදු සේවක සංගමය), ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රගතිශීලී සේවක සංගමය සහ සමගි ජන බලවේගයට අනුබද්ධිත ජාතික සේවක සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති අත්සන් නොකල ද, ඒවායේ පිලිවෙත්, ආන්ඩුවට පීඩනය යෙදීමේ සහ අධිකරන ක්‍රියා මාර්ග තුල කම්කරුවන් කොටු කිරීමේ, ශ්‍රීලනිසේසයේ පිලිවෙතින් වෙනස් නොවේ.

පෙත්සම විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය සංශෝධන පනත් කෙටුම්පතේ 'ඇතැම් වගන්ති' පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරනයකින් සම්මත කලයුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ට දැනුම් දී ඇතිබව අද දෙරන සැප්තැම්බර් 22 වාර්තා කලේය.

අනතුරුව, “ශ්‍රේෂ්ඨාධිකරන තීන්දු“ අනුව, සංශෝධන පනත් කෙටුම්පත, විදුලිබල හා බලශක්ති කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ

උපදේශක කාරක සභාව විසින් ඔක්තෝබර් 4 දා සංශෝධනය කලේ යයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසූ අතර එය මෙම මස තුන්වන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නියමිතය.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හදිසි ඇප නය වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති විධානයන් අතර, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය අතිමූලික වෙයි. ප්‍රතිව්‍යූහකරනයට නියමිත රාජ්‍ය ව්‍යවසායන් අතරින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රමුඛතම තැනක් ගන්නා තතු තුල, කෙටුම්පතේ මූලික අරමුනු කවර ලෙසින් හෝ වෙනස් නොවන පරිදි, වචන එහාමෙහා කෙරුනු නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටට වැඩි දෙයක්, මෙහිදී සිදු නොවනු ඇත.

මෙම අධිකරන වටවංගු වනාහි කම්කරුවන් නිද්‍රාකොට, ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලට නීත්‍යනුකූලභාවයක්ද ලබා දෙමින් එය ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබා දීමකි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බහුතරයක් වෘත්තීය සමිති ඒකාබද්ධ වී සිටින වෘත්තීය සමිති එකමුතුව, තවත් ආකාරයකින් කම්කරුවන් නොමග යැවීම පිනිස, හලාවත, මුන්නේෂ්වරම දේවාලය සහ හික්කඩුවේ සීනිගම දේවාලය යන ස්ථානවල සැප්තැම්බර් 20 දා දේව පුජාවන් සහ පොල් ගැසීම් මගින් දේව කන්නලව් පැවැත්වූහ.

සැප්තැම්බර් 21 ලංකාදීප වාර්තාවකට අනුව, මුන්නේෂ්වරම් දේවාලයේ දේව කන්නලව්වෙන් පසු වෘත්තීය සමිති එකමුතුවට අයත් ජවිපෙ සමිතියේ නායකයකු වන අශෝක රංවල මෙසේ පවසා ඇත: 'අපේ රටට සම්පතක් වෙලා තිබුනු ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. අපි මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැනුවත් කරමින් කියා සිටියා කරන්න යන වැඩේ නොකල යුතු බව. නමුත් වෘත්තීය සමිති නායකයින්, සේවකයින් කියන කිසිදු දෙයක් මායිම් නොකර තමන්ගේ වාසිය ගැන පමනක් හිතන එක්තරා කන්ඩායමක් අද සුදානම් වන්නේ ඛනිජ තෙල් සම්පත සම්පූර්නයෙන්ම විනාශ කර දමන්නටයි.“

රංවලගේ ප්‍රකාශයෙන්මත් සනාථ වනුයේ, ආන්ඩු වලට කන්නලව් කිරීමේ වෘත්තීය සමිති පිලිවෙතේ ආන්තික බංකොලොත්භාවය යි. පුද්ගලීකරන වැඩපිලිවෙල ධනපති ආන්ඩුව මුහුන දී සිටින ගැඹුරු අර්බුදයෙන් ගලා එන්නක් බව වසන් කරන ඔහු, එය 'තමන්ගේ වාසිය ගැන පමනක් හිතන එක්තරා කන්ඩායමකට' පවරමින්, ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් කම්කරු පංතිය වලකාලීමට යත්න දරයි.

කෙසේවෙතත්, මෙම දේවකන්නලව්වට බොහෝ කම්කරුවන්ගෙන් විරෝධය මතුවී ඇත. කොලොන්නාව ශාඛාවේ කම්කරුවන් ලෝසවෙඅ වාර්තාකරුවෙකුට පැවසුවේ සමිති විසින් මෙම දේව කන්නලව් සඳහා කැඳවාගෙන යාම පිනිස සංස්ථාවේ විවිධ ශාඛාවලට බස් රථ එවා තිබුනද බොහෝ සේවකයින් මේවාට සහභාගි නොවූ බවයි.

මේ කන්නලව් වලට පෙර, අගෝස්තු 22 දා, ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ 1,500ක් පමන පෞද්ගලීකරනයට එරෙහිව උද්ඝෝෂනයක් පැවැත් වූහ. ඔවූහු කොලඹ විහාරමහාදේවි උද්‍යානය අසලට රැස් වී කිලෝමීටර් දෙකක පමන පා ගමනින් බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිනියහ.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස් විය යුතු බවටත්, සමාජ ව්‍යසනය අවසන් කල යුතු බවටත් බලකරමින්, අප්‍රේල් මස මුල සිට ආරම්භ වූ මහජන නැගිටීමත් සමග, මිලියන ගනනකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 28, මැයි 6 සහ 11 දිනවල දිවයිනඅලලාගත් මහ වැඩවර්ජනවලට ඛනිජ තෙල් සංස්ථා කම්කරුවෝ ද සහභාගී වූහ.

මෙම වර්ජන රැල්ලෙන් ආන්ඩුව පමනක් නොව සමස්ත සමිති නිලධරයම සලිත විය. කම්කරු පංතියේ එවන් බලමුලු ගැන්වීමකට පරම ලෙසින්ම සතුරු වූ ඔවුන් සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ධනපති පක්ෂ විසින් තොරොම්බල් කල අන්තර්වාර සර්ව පාක්ෂික ආන්ඩුවක් බලයට ගෙනඒමේ ප්‍රතිගාමී වැඩපිලිවෙල සමග ඒකාබද්ධ වෙමින් මහජන නැගිටීම පාවා දුනි.

මෙම පාවාදීමේ ප්‍රතිඵලය වූයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාත්මක කිරීමේ ගහලයෙකු සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ අන්තේවාසිකයෙකු ලෙස කුප්‍රකට රනිල් වික්‍රමසිංහ බලයට පැමිනීමයි. ජනාධිපති වික්‍රමසිංහ, කොරෝනා වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය විසින් ගැඹුරු කරන ලද ආර්ථික අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තිය හා දුගීන් මත පටවමින් සිටී.

ආන්ඩුවේ පෞද්ගලීකරන සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ පිලිවෙත් මගින් ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන් 1,500 ක් ඇතුලු රජයේ කම්කරුවන් ලක්ෂ ගනනකගේ රැකියා අහෝසි වීමට නියමිතය. ආන්ඩුව සැලසුම් කරමින් සිටින “ප්‍රතිව්‍යූහකරන වැඩසටහනේ” රුදුරුභාවය පිලිබඳ ව ඉඟියක් ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ, “වර්තමාන රාජ්‍ය අංශය සමග ඉදිරියට යා හැකි මාවතක් අපට නැහැ. රාජ්‍ය අංශයේ රැකියා දරාගත හැකි උපරිමය 500,000 හෝ වැඩිම වුනොත් 800,000 ක්,” යනුවෙනි.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් රුදුරුම ආකාරයෙන් මඩිනු පිනිස, ආන්ඩුව මහජන ආරක්ෂක ආඥා පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පුනරුත්ථාපන කාර්යාංශ පනත සහ රාජ්‍ය නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් පල කිරීම වාරනය කරන විශේෂ චක්‍රලේඛය ක්‍රියාත්මක කරමින් සිටී.

මෙම තතු තුල, “කවුරු විරුද්ධ වුනත් ලංවිම සහ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කරන” බව විදුලිබල සහ බලශක්ති ඇමති තර්ජනය කර ඇත.

මෙම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි නාමික විරෝධතාවන් පවා ඉසිලිය නොහැකි ආන්ඩුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරය ලවා, ඔක්තෝබර් 4 දා, ශ්‍රීලනිසේසයේ ලේකම් බංඩාර අරඹෙකුඹුරගේ වැඩ තහනම් කලේය. සංස්ථාව විසින් මෑතදී ගෙන්වන ලද බොර තෙල්, ප්‍රමිතියෙන් තොර බවට ඔහු විසින් මාධ්‍යයට කල ප්‍රකාශයක් මෙම වැඩතහනමට නිමිත්ත කරගෙන ඇත.

අරඹෙකුඹුරගේ වැඩ තහනම් කිරීමට එරෙහිව, කොලොන්නාව තෙල් සංකීර්නයේ කම්කරුවන් සිය ගනනක් ඔක්තෝබර් 4 සහ 6 දිනවල තම වැඩපල ඉදිරිපිට දිවා ආහාර කාලය තුල විරෝධතා පිකට් උද්ඝෝෂන පැවැත්වූහ. මෙයට සෙසු වෘත්තීය සමිතිද සහභාගි වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත ශ්‍රීලනිසේස යේ ධනපති දේශපාලනයට, සමාජවාදි සමානතා පක්ෂය එරෙහි වන නමුත් අරඹෙකුඹුර මෙසේ දඩයම් කිරීම හෙලා දකී. මෙම දඩයම සමස්ත කම්කරු පංතියට එරෙහිව ආන්ඩුව විසින් දියත් කෙරෙමින් පවතින මර්දනයේ කොටසකි.

ප්‍රතිව්‍යූහකරනයට සහ පෞද්ගලීකරනයට එරෙහිව සටන් කරමින් තම රැකියා සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා, ධනපති ගැති වෘත්තිය සමිති සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, සෙසු කම්කරුවන් සමග ක්‍රියාකාරී කමිටු සන්ධානයක් ගොඩනැගීමට ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් පෙරට පැමිනිය යුතුය.

Loading