විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවෝ යුද්ධයට විරුද්ධ ව සසප පවත්වන රැස්වීමට සහාය පලකරති

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින්, “න්‍යෂ්ටික යුද අන්තරාය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනඟනු” යන මැයෙන්, ඔක්තෝබර් 16 වැනිදා සවස 4.00 ට පැවැත්වීමට නියමිත ඔන්ලයින් රැස්වීමට, විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ද සහාය ලැබෙමින් පවතී.

'විදේශගත කම්කරුවන් සඳහා සසප පනිවිඩ' ෆේස්බුක් පිටුව හරහා විවිධ රටවල රැකියාවේ යෙදෙන ශ්‍රී ලාංකික කම්කරුවන් ගනනාවක් සමග, උක්ත රැස්වීමේ අර්ථභාරය පිලිබඳව ඉතා වැදගත් සාකච්ඡාවක් වර්ධනය කර ගැනීමට සසප සාමාජිකයන්ට හැකිවිය.

වැඩෙන න්‍යෂ්ටික ලෝක යුද තර්ජනය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කෙරෙන ලිපි ගනනාවක් කම්කරුවන්ට සම්පාදනය කරමින් වර්ධනය කෙරුනු මෙම සාකච්ඡාවේ දී, “යුක්‍රේනය තුල යුද්ධය නතර කරනු!” යන මැයෙන්, 2022 ඔක්තෝබර් 04 වන දා, ලෝසවෙඅ කර්තෘ මන්ඩලය නිකුත් කල ප්‍රකාශයට මූලික අවධානයක් යොමුවිය.

යුක්රේන සොල්දාදුවෙක් ඛාර්කිව් ප්‍රදේශයේ යුද පෙරමුනේ ප්‍රහාර එල්ල කරමින්. 2022 ඔක්. 5 [AP Photo/Andrii Marienko]

“ලෝකය, ව්‍යසනය කරා ඇද ගෙන යමින් සිටින ආන්ඩුවල ඉව බව නැති ක්‍රියාවන්ට, කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ගෝලීය මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් මගින් ප්‍රතිමුඛ විය යුතු ය. මෙම ප්‍රතිගාමී යුද්ධය වහා ම අවසන් කල යුතු යයි කම්කරු පන්තිය බල කල යුතු ය. කම්කරුවන් ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාව සඳහා ගෙන යන අරගලය, යුද්ධයට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කල යුතු ය” යනුවෙන් ප්‍රකාශයෙන් අවධාරිත කරුනු සම්බන්ධයෙන් ඔවුහු බලගතු උනන්දුවක් දැක්වූහ.

එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ආහාර වෙලඳසැල් ජාලයක සේවය කරන කරන ශ්‍රී ලාංකික කම්කරුවකු තම දුෂ්කර ජිවන කොන්දේසි ගැන විස්තර කරමින් කතාබහට එකතු විය. ඉහල යන ඉන්ධන මිල දරාගත නොහැකි බවත්, මේ තත්වය සමහන් කිරීමට කැලිෆෝනියානු ආන්ඩුව සහනාධාර ලබාදෙන බව නිතර පැවසුව ද, එසේ ලබාගත් කිසිවෙකු තමා නොදන්නා බවත් ඔහු පැවසී ය. ඉන්ධන මිල අඩු කිරීම කල යුතු ව තිබිය දී සහනාධාර ලබා දෙන බව පැවසීම ව්‍යාජයක් බවත්, එය මහජන විරුද්ධත්වය යටපත් කිරීමේ උත්සාහයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

“යුද්ධය පිලිබඳව වහසි බස් කතා කලාට දෙපාර්ශවයම න්‍යෂ්ටික අවිවලින් පහර නොදේවී කියන එක තමයි බොහෝ දෙනා දරන අදහස. මම හිතන්නෙ එය ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරන නිසා තමයි මහජනතාවට එවැනි අදහසක් ඇවිල්ල තියෙන්නේ. මමත් හිතාගෙන හිටියේ ඒ අදහස හරි කියලා. නමුත්, බොහෝ දෙනා හිතනවා ඉස්සරහ කාලපරිච්ඡේදය දුෂ්කර වේවි කියලා. ආර්ථික අර්බූදය දරුනු වේවි කියලා. පහුගිය දවස් වල කිරිපිටි හොයාගන්න බැරි වුනා. ඒවායේ මිල ඉහල ගියා. දැන් මෙහි පවතින පොහොර හිඟයට හේතුව යුක්‍රේනයෙන් කරන ආනයනය අඩුවීමයි. ඒකෙන් ම පේනවා මහජනතාවගේ ප්‍රශ්න යුද්ධයට සම්බන්ධ බව.”

“න්‍යෂ්ටික යුද්ධයක් කියන්නේ වඩා බරපතල තත්ත්වයක්. එහෙත් බොහෝ දෙනෙක් යුද්ධය සහ ආරථික අර්බුදය අතර සම්බන්ධයක් දිකින්නෙ නෑ.”

ලෝසවෙඅ ඉදිරිපත් කරන කරුනු අධ්‍යනය කරමින් වර්ධනය වන තත්වය පැහැදිලි කරගැනීම සෑම කම්කරුවෙකුට ම අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසී ය. රැස්වීම පැවැත් වෙන අවස්ථාවේ රැකියාවේ නිරත වීමට සිදුවන බැවින් පසුව ඇසීමේ බලාපොරොත්තු ඇතුව ලියාපදිංචි වන බව ඔහු කීවේ ය.

ශ්‍රී ලංකාවේ පවත්නා අති දුෂ්කර ජීවන කොන්දේසි හේතුවෙන්, ජීවිත අවදානම පවා නොතකා නීති විරෝධී ලෙස ඉතාලියට සංක්‍රමනය වී අයිස්ක්‍රීම් නිෂ්පාදනයට සම්බන්ධ රැකියාවක නිරත ව සිටින කම්කරුවෙකු සමග සාකච්ඡා කිරීමට සසප සාමාජිකයන්ට හැකි විය.

“ඉතාලියේ සංචාරක ව්‍යාපාරය පවතින ප්‍රදේශයක් ආශ්‍රිත ව නිෂ්පාදන කම්කරුවකු ලෙස මම සේවය කරනවා. 2001 සිට 2007 දක්වා ලාංකිකයෙකු යටතේ රැකියාව කොට ඉන්පසුව ඉතාලි සමාගමක අයිස් ක්‍රීම් නිෂ්පාදනයට සම්බන්ධ වුනා. 2012 වසරේ බිරිඳ සහ දරුවන් ඉතාලියට ගෙන්වා ගැනීමට හැකිවුනා. දරුවන් දැනට පාසැල් අධ්‍යාපනය ලබනවා.”

2020 වර්ෂයේ කොරෝනා වසංගතය ඉතාලියේ පැතිරීම ආරම්භයේදී ආන්ඩුව එක් අයකුට මසකට යුරෝ 70 ක සහනාධාරයක් ලබා දුන් බවත් එම සහනාධාරය බිරිඳට සහ දරුවන්ට ලැබුනේ 2021 වසරේ පමනක් බවත් ඔහු පැවසිය. මෙම වසරේ සහනාධාරය පවුලකට යුරෝ 200 ක ට අඩුකොට අගෝස්තු මාසය දක්වා පමනක් ලබා දී තිබෙන බවත්, නව ආන්ඩුව යටතේ සහනාධාර ලබදීම නවත්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

'කොරෝනා වසංගතය මගේ රැකියාවට මරු පහරක් එල්ල කලා. 2020 මුල් මාස අට, ප්‍රදේශ අතර සංචරනය තහනම් කිරීමට එවක ඉතාලි ආන්ඩුව කටයුතු කල නිසා සංචාරකයන් පැමිනීම නතරවුනා. ප්‍රදේශය තුල සංචරනයට බාධාවක් නොපැවති නිසාත් වසංගතය මැඩලීමට ගතයුතු ක්‍රියා මාර්ග අනුගමනය නොකිරීම නිසාත් ඉතාලිය යුරෝපයේ වැඩි ම කොරෝනා මරන වාරතා කල රට බවට පත් වුනා. ඒ කාලය තුල ආයතනය පඩි භාගයක් ගෙව්වා. ප්‍රදේශ අතර සංචරන තහනම ඉවත් කිරීමෙන් පසු රෝගය පාලනය නැතුව පැතුරුනා.”

ඉතාලියේ පත් වූ නව ආන්ඩුව යුධකාමී ආන්ඩුවක් ඇයි තමා සිතන බව ඔහු පැවසී ය. “එය ඇමරිකාව යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධයට සමීප සහයෝගයක් දක්වනවා. යුධ වියදම් සඳහා ජනතාවගෙන් විවිධ ක්‍රම වලට මුදල් අය කර ගන්නා ආන්ඩුව, සහනාධාර කපමින් බදු වැඩි කරමින් සිටිනවා.”

“යුද්ධය ඇරඹීමත් සමග බඩු මිල වේගයෙන් ඉහල යාමට පටන් ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය භාන්ඩ වන පාන් බිත්තර එලවලු තෙල් තිරිඟු පිටි මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්වල මිල දෙගුනයකට වඩා ඉහල ගොස් තිබෙනවා. බඩුමිල දරාගත නොහැකි තත්ත්වයට මහජනතාව පත් වෙලා.”

“ඉතාලි ආවෙ ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසා. මෙහෙම බැලුව ම දැන් ලෝකේ කොහේවත් ජීවත්වෙන්න අමාරුයි. කෝවිඩ් වසංගතය සහ යුද්ධය ලොව පුරා ම මිනිසුන් දුෂ්කරතා වලට ඇද දමමින් තිබෙනවා. යුද්ධය ඉස්සරහට ඇදිලා ගියොත් ජීවත් වීම වඩා දුෂ්කර තත්ත්වයට පත් වෙනවා. අපි යුද්ධෙ නැවැත්විය යුතුයි. ඒ පිලිබද අවධානය මිනිසුන් තුල ඇති කල යුතුයි. එම නිසා 16 වැනි දා ශ්‍රී ලංකාවේ සසප, යුද්ධයට එරෙහි ව පවත්වන රැස්වීමට මම සම්බන්ධ වෙනවා.”

අවුරුදු දහයකට අධික කාලයක් කටාර් හි ප්‍රවාහන සමාගමක සේවය කරන කම්කරුවෙකු ද සාකච්ඡාවට සහභාගි විය. කලක් විදේශ ගත වීමෙන් පසුව උපයාගන්නා මුදලින් ලංකාවේ ව්‍යාපාරයක් කරගෙන ජීවත් වීමට තමා අදහස් කලත් උපයා ගන්නා මුදල් ජීවත්වීමට ප්‍රමානවත් නොවන නිසා තවමත් රැකියාවේ නිරත වීමට සිදුවී ඇති බව ඔහු පැවසී ය.

ආසියාවෙන් පැමිනෙන සංක්‍රමනික කම්කරුවන් සහ එම රටේ කම්කරුවන් බෙදා වෙන් කොට පාලනය කිරීමට පාලකයන් උත්සාහ දරන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

“වසංගත සමයේ කරදර වැඩි වුනා. වැටුප් නොදී වැඩ ගන්න, අඩු වැටුපට වැඩ ගන්න, හාම්පුතුන් උත්සාහ කලා. ඒවාට ප්‍රතිරෝධය දැක් වූ කම්කරුවන්ට සිදු වුනේ අතවර වලට ලක් වෙන්න. සංක්‍රමන කම්කරුවන් අතර අඩුම පඩි ලබන ගෘහ සේවකයන් මේ තත්වයෙන් බැට කෑ කන්ඩායමක්. කම්කරු කාන්තාවක් සොරකම් කලා කියලා බොරුවට පැමිනිලි කරලා හිරේ යවන්න හාම්පුතුන් උත්සාහ කල අවස්ථාවක් මම දන්නවා.”

මීට වසර පහකට පමන පෙර කටාරය තුල සිදු වූ දැවැන්ත වැටුප් කප්පාදුවේ දී, බොහෝ කම්කරුවන්ට අඩ වැටුපකට සේවය කිරීමට සිදු වූ බවත්, එයට එකඟ නොවූ අයට රැකියාවෙන් සමු ගන්න සිදු වූ බවත් පැවසූ ඔහු, වර්තමානයේ තත්වය ඊටත් වඩා දරුනු යැයි කීවේ ය.

නොබෝ දිනකින් කටාරයේ ඇරඹෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සඳහා සිදු කල විශාල ඉදිකිරීම් වලට සම්බන්ධ වූ විදේශ කම්කරුවන් දැන් බුරුතු පිටින් තම මව් රටවල් වලට පිටත් කරමින් තිබෙන බව ඔහු පැවසී ය. විශාල ගනනකට රැකියා අහිමි වන අතර නැවත කම්කරුවන් ලෙස රැකියා ලබා දෙන්නේ මාස තුනක තාවකාලික වීසා යටතේය. පෙර පැවති ආකාරයට, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර, නවාතැන් පහසුකම් සහ ආහාර හාම්පුතා විසින් සැපයිය යුතු නොවේ. කම්කරුවන් කටාරයට පැමින රැකියාවක් සොයා ගත යුතු වෙයි. එමඟින් ඔවුන් සූදානම් වෙන්නේ “සංක්‍රමන කම්කරුවන් සූරාකෑම වැඩි කිරීමට” යැයි ඔහු කීවේ ය.

“ලංකාවේ රැකියා නැති තත්වයක් ඇතුලේ මගේ පුතා පවා මෙවැනි තාවකාලික වීසා ලබා ගෙන මෙහි පැමිනීමට සූදානම් වෙනවා. ලංකාවේ ආන්ඩුව සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කරන බව පැවසුවත්, විදේශ රැකියා බියුරෝව කරන්නේ මුදල් අය කර ගැනීම විතරයි. ලංකාවේ බඩු මිල වේගයෙන් ඉහල යන නිසා විදේශ රැකියාවක් කිරීම හැර ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. මම කලේ හම්බකරන මුදලින් ලමයින්ට උගන්නපු එක. නමුත් බලාපොරොත්තු නැති විදිහට ඔවුන් ද මේ තත්ත්වයට ගොදුරු වෙනවා ඉදිරි පරම්පරා මුහුන දෙන්නේ බරපතල ව්‍යසනයකට බව පෙනෙන්න තිබෙනවා.”

“යුද්ධය නිසා හැම රටක ම ජීවිතේ දුෂ්කර අඩියකට පත් වී තිබෙනවා. ආසන්න සෞදි අරාබියේ ඇමරිකානු කඳවුරු තියෙන නිසා අපි ලොකු අනතුරකට මුහුන දීල ඉන්නෙ. දැන් කටාර් සිට යුරෝපයට ගෑස් සහ තෙල් අපනයනය ඉහල ගොස් තියෙනව. සමාගම් මේ මගින් විශාල ලාභ ලැබුවත් කම්කරුවන්ගේ පඩි වැඩිවීමක් ඇතිවී නැහැ.”

“මම ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවනවා. යුද්ධය ගැන ඇත්ත මාධ්‍ය වල ප්‍රචාරය වීම අඩුයි. යුද්ධය සම්බන්ධයෙන් ඔබ පවසන දේ තාර්කිකයි. පිලිගන්න පුලුවන්. මම යුද්දෙට විරුද්ධයි. විදේශගත කම්කරුවෙකු හැටියට වසංගතේ දී කරදරයට මුහුන දුන්නා වගේ යුද්ධය මඟින් විශාල දුෂ්කරතාවන්ට මුහුනදීමට සිදුවන බව නිශ්චිතයි”

Loading